ඇප නයක් ලබාගැනීම සඳහා ජාමූඅ සමග සාකච්ඡා ඇරඹෙද්දී ජනාධිපතිවරයා අලුතින් කැබිනට්ටුවක් පත් කරයි

[මෙය Sri Lankan president appoints a new cabinet, as IMF bailout talks begin මැයෙන් 2022 අප්‍රේල් 19 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ඇමතිවරුන් 17කින් යුත් නව කැබිනට්ටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ කටයුතු කලේ මුදල් ඇමති අලි සබ්‍රි නායකත්වය දෙන රාජපක්ෂ ආන්ඩුවේ නියෝජිත කන්ඩායම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) අතර ඇප නයක කොන්දේසි පිලිබඳ සාකච්ඡාවක් අද්ද්දරය. ඔහු රාජ්‍ය ඇමතිවරුන් 21ක් ද පත්කලේ ය.

ගෝඨාභය රාජපක්ෂ (ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

තමන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වෙන මහජන විරෝධතා මධ්‍යයේ, රාජපක්ෂ කල පත්කිරීම් ශ්‍රී ලංකාව දේශපාලනික ව ස්ථාවර බව පෙන්නුම් කිරීමට ගත් මංමුලා සහගත පියවරකි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීම ආන්ඩුවට කල හැකි බව ජාමූඅ වෙත සනාථ කිරීම සඳහා, “දේශපාලන හා සමාජීය ස්ථාවරත්වය” තිබිය යුතු බව මහ බැංකු අධිපතිවරයා පසුගිය සතියේ ප්‍රකාශ කලේ ය.

ජනාධිපතිට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත්, සාමාන්‍ය මහජනයා මුහුන දෙන සමාජ ව්‍යසනය අවසන් කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ඇවිලී ඇති විරෝධතා ව්‍යාපාරය රට පුරා අඛන්ඩ ව ව්‍යාප්ත වෙමින් පවතී. ජනගහනයේ පලල් කොටස්, දැරිය නො හැකි උද්ධමනය, ආහාර, ඖෂධ හා ඉන්ධනවල තියුනු හිඟයන් හා දෛනික ව සිදු කරන දීර්ඝ විදුලි කප්පාදුවලට මුහුන දෙමින් සිටිති.

සිය අර්බුද-ග්‍රස්ත පාලන තන්ත්‍රයට අලුත් මුහුනත් තහඩුවක් දැමීමේ උත්සාහයක යෙදෙමින්, නව කැබිනට්ටුවේ සංඛ්‍යාව අඩු කල රාජපක්ෂ, හිටපු කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් සියල්ලන් ම පාහේ ඉවත් කලේ ය. ඒ අතර ම, මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද නව ඇමතිවරුන් අමතා කල කතාවේ දී ඔහු ප්‍රකාශ කලේ, වෙනස්කම්වල අරමුන මහජනයා මුහුන දෙන ගැටලුවලට ආමන්ත්‍රනය කිරීම බව යි.

ආර්ථික අර්බුදය නිසා මහජනයා මත පැටවී ඇති යෝධ පීඩනය ගැන තමන් “අතිශයින් කනගාටු” වන බව, ජනාධිපතිවරයා නරුම ලෙස කියා සිටියේ ය. “ඉහල මිලක් ගෙවා අත්‍යවශ්‍ය භාන්ඩ ලබා ගැනීමට පෝලිම්වල ගත කිරීමට සිදු වීම නිසා” මහජනයා ප්‍රදර්ශනය කරන “වේදනාව, අපහසුතාව හා කෝපය ...සාධාරන” බව ඔහු කීවේය.

ග්‍රාමීය ප්‍රදේශවල කැකෑරෙන විරුද්ධත්වයකට මුහුන දෙන රාජපක්ෂ, රසායනික පොහොර තහනම් කිරීමට තමන් ගත් තීරනය “වැරදි” බව කීවේ ය. කාබනික කෘෂිකර්මය කරා මාරුවීමට මුවා වී, විදෙස් සංචිත ආරක්ෂා කරගැනීම සඳහා පොහොර ආනයන තහනමක් පැනවීම, ගොවීන්ට දැවැන්ත දුෂ්කරතාවක් නිර්මානය කර තිබේ.

“ජාමූඅ සමග වැඩපිලිවෙලක් සඳහා අප යා යුතු ව තිබුනේ මීට පෙර බව” තමන් දැන් විශ්වාස කරන බව ද රාජපක්ෂ කීවේ ය. මෙය ආර්ථිකය ප්‍රකෘතිමත් කරගැනීමේ පැකේජයක් සඳහා ජාමූඅ සමග සකාච්ඡා කරන ලෙස බල කරමින් සිටි විරුද්ධ පක්ෂ, ආයෝජකයන් හා මහ ව්‍යාපාරිකයට කල ඍජු ආයාචනයකි. ජාමූඅ වෙත යාමෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිඵලය වනු ඇත්තේ වැඩකරන ජනයා මතට තව තවත් රුදුරු කොන්දේසිවලට මුහුන දීමට සිදුවීම යි.

විරුද්ධ පක්ෂවලට සහයෝගී වනලෙස යලිත් ආයාචනා කල ජනාධිපතිවරයා, විධායක ජනාධිපති ධූරයේ දුර දිග යන ඒකාධිපති බලතල සීමා කිරීම පිනිස කරන සීමිත ව්‍යවස්ථාමය සංශෝධනයන්ට ඔවුන්ගේ අනුමැතිය පවා ඉල්ලා සිටියේ ය.

විරෝධතා ගැන කතා කල රාජපක්ෂ, සමාජයේ වඩාත් ම ක්‍රියාකාරී කොටස වන්නේ තරුනයන් බව ද ඔවුන්ට ආවේනික ආකාරයට පීඩනය මුදා හරිමින් සිටින බව ද කීවේ ය. බහුතරය “රටට ආදරය කරන” නමුත්, ඔවුන් “තමන්ගේ විරෝධතාව කැරලි ගැසීමකට හැරවීමට අවස්ථාවාදීන්ට ඉඩ නො දිය යුතු” යයි ඔහු කීවේ ය.

මෙම සඳහන වනාහි, දිවයින පුරා විරෝධතාවන්ට සම්බන්ධ වී ඇති ලක්ෂ ගනන් ජනයාට කරන තර්ජනාත්මක අනතුරු ඇඟවීමකි. මෙම අනතුරු ඇඟවීම සිදු කෙරුනේ, විරෝධතාවන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවට චෝදනා කරමින් හා 1980 ගනන් අගභාගයේ අතීත තර්ජනයන් හා රටෙහි විෂකුරු සිවිල් යුද්ධයේ දී බලයේ සිටි ආන්ඩු ම්ලේච්ඡ මර්දනය දියත් කල ආකාරය මතකයට නංවමින්, අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ කල කතාවෙන් පසුවය.

ගෙවී ගිය වසර තුන තුල කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමා ඇති රාජපක්ෂ පාලනය, විධායක ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල ශක්තිමත් කොට, මිලිටරි නිලධාරීන් පත්කිරීම හරහා පරිපාලනය මිලිටරීකරනය කොට තිබේ. කම්කරු පන්තිය බෙදීමට උත්සාහ දරමින් මුස්ලිම්-විරෝධී හා දෙමල-විරෝධී වර්ගවාදය අවුලුවන අතර, දේශපාලන විරුද්ධවාදීන් හා ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ද ඇතුලු ව ප්‍රකාශනයේ නිදහස මැඬලීමට ආන්ඩුව දරුනු ලෙස ක්‍රියා කොට ඇත.

වැඩකරන ජනයා මත දැනට මත් පටවා ඇති දුෂ්කරතාවන්ට එරහිව පැන නැගී ඇති මහජන විරෝධයට මුහුන දෙන ආන්ඩුව, ගැඹුරු දේශපාලන කැලඹීමක හා පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයක ගිලී සිටී. ජාමූඅහි හදිසි සහයෝගය පැතීම හා එහි විෂඝෝර නියෝග පිලිගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි යන ව්‍යාජය ඉදිරියට දමමින්, එක්සත් ජනපද ඩොලර් බිලියන 51ක විදේශ නය තාවකාලික ව පැහැර හැරීමක් ප්‍රකාශයට පත් කිරීමට, මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අප්‍රේල් 12දා කටයුතු කල හ.

ජාමූඅ සමග සාකච්ඡා අද වොෂින්ටනයේ දී ඇරඹේ. බ්ලූම්බර්ග් රූපවාහිනියට කතා කල මුදල් ඇමති සබ්‍රි කියා සිටියේ, ලංකාව ජාමූඅ වෙතින් වසර තුනක් තුල ඩොලර් බිලියන 3-4ක විස්තීර්න අරමුදල් පහසුකමක් ඉල්ලා සිටින බව යි. අත්‍යවශ්‍ය ආනයන සඳහා ක්ෂනික අරමුදල් ද අපේක්ෂා කරන බව ඔහු කීවේ ය. නය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව, නය හිමියන්ට ලංකාව ආපසු ගෙවන බවට ඔහු ප්‍රතිඥා දුන්නේ ය. ගොවීන්ට ආධාර දීම සඳහා, මුදල් අමාත්‍යාංශය ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ද ඉල්ලා ඇත.

මෙම ආධාර ලබාගන්නට යන්නේ කම්කරු පන්තිය මත කවර බරක් පටවමින් ද?

රජයට අයත් ව්‍යවසායයන් එකින්-එක සලකා බලා, ගලවාගත හැක්කේ කවර ඒවා ද “ප්‍රතිසංස්කරනය” -එනම්, ප්‍රතිව්‍යුහකරනය, සංගතකරනය හා පුද්ගලීකරනය කල යුත්තේ- කවර ඒවා ද යන්න නීර්නය කිරීමට ආන්ඩුව කටයුතු කරන බව සබ්‍රි කීවේ ය. කටුනායක, මත්තල හා රත්මලාන ගුවන් තොටුපොලවල් බද්දට දීමටත්, කොලඹ උතුර වරාය සංවර්ධන ව්‍යාපෘතිය පුද්ගලික ආයෝජකයන්ට ප්‍රදානය කිරීමටත්, ශ්‍රී ලංකා ටෙලිකොම් හා ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ තවත් කොටස් විකුනා දැමීමටත්, රාජපක්ෂගේ ආර්ථික උපදේශකවරුන් දැනට මත් නිර්දේශ කර ඇත.

බදු වැඩි කිරීම සහ රාජ්‍ය අංශයේ රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා තවමත් ඉතිරි වී තිබෙන සහනාධාර ගැඹුරු ලෙස කප්පාදු කිරීම හරහා අයවැය හිඟය කැපීම ඇතුලු අනෙකුත් රුදුරු කප්පාදු පියවරයන් ද ජාමූඅ විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම පියවරවලින් වැඩකරන ජනතාවට අත්විඳින්නට වන සමාජ ව්‍යසනය, දැනට මත් සිදු වන ව්‍යසනයට වඩා රුදුරුවනු ඇත. මෙම අනුකම්පා විරහිත කප්පාදු වැඩපිලිවෙලින් සන්තර්පනය වනු ඇත්තේ, ජනගහනයේ බහුතරයෙහි වියදමින් විදෙස් නය දෙන්නන්ගේ සහ ලංකාවේ සංගත හා මූල්‍ය ප්‍රභූවේ අවශ්‍යතාවන් ය.

පසුගිය මාස හය පුරා, අනෙකුත් බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සමගින් හාල් හා පිටිවල මිල දෙගුන වී තිබේ. ඩීසල් මිල සියයට 60කින් ඉහල ගොස් ඇත. ඊයේ, ලංකාවේ තෙල් සමාගම් සියලු ඉන්ධන මිල ගනන් තුන්වන වරට ඉහල දැමූ හ. පසුගිය මාසයේ දී සියයට 18ක් වූ නිල උද්ධමනය අනුපාතය, මේ මාසයේ දී සියයට 28 කරා ලඟා වනු ඇතැයි පුරෝකථනය කරනු ලැබේ.

අර්බුදය ගැඹුරු වෙද්දී, සියලු ධනපති විරුද්ධ පක්ෂ උපාමාරු දමමින් සිටින්නේ, මහජන විරෝධතා ව්‍යාපාරය ආරක්ෂිත පාර්ලිමේන්තු මාර්ගයන් කරා අපසරනය කොට ධනපති පාලනය ආරක්ෂා කරගන්නා අතර, ව්‍යසනයේ වාසිය ඩැහැගැනීමට ය. විරෝධතා පැනනැගී ඇත්තේ මුලුමනින්ම වගේ මේ පක්ෂවලින් පිටස්තරවයි.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) ආන්ඩුවට එරෙහි විශ්වාස භංගයක් ඉදිරිපත් කරයි. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහයෝගය සහ මෑත දී පාලක සභාගය හැර ගිය මන්ත්‍රීවරු 40 දෙනාගේ පිටුබලය දිනාගත හැකි යයි සජබ ගනන් බලමින් සිටී.

ආන්ඩුවට එරෙහි විරෝධතාවන්ට පක්ෂ ව අප්‍රේල් 26දා මහනුවර සිට කොලඹ දක්වා “යෝධ” පෙලපාලියක් පවත්වන බව ද සජබ නිවේදනය කර ඇත. ඉරිදා තමන්ගේ ම තුන් දින පෙලපාලියකට ජවිපෙ ආරම්භකත්වය ගත් අතර, එය අද කොලඹට ලඟා වීමට නියමිත ය.

ඔවුන් අතර පවතින උපායාත්මක මතභේද කවරක් වුවත්, මෙම පක්ෂ දෙක ම නව මැතිවරනයකට සූදානම් වීම පිනිස රාජපක්ෂ පාලනය විස්ථාපනය කිරීම සඳහා අන්තර්වාර ආන්ඩුවකට කැඳවුම් කරති. ජාමූඅ කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීමේ වාර්තාවක් සහිත එම පක්ෂ, අනාගතයේ දී යලි එසේ කිරීමට මැලි නො වනු ඇත.

ඒ අතර ම, හෙට දින පවත්වන දීප-ව්‍යාප්ත විරෝධතා දිනයක් ප්‍රකාශ කර ඇති වෘත්තීය සමිති පෙරමුනක් සිය සාමාජිකයන්ට කලු පටි පැලඳ රට පුරා විරෝධතා පවත්වන ලෙස කැඳවුම් කර ඇත. අප්‍රේල් 28දා පැවැත්වෙන වැඩ වර්ජනයක් තුල විරෝධතා කුලුගැන්වෙන අතර, ඒ හා සමග සීමිත සහන පතා ඔවුන් කරන ඉල්ලීම් ඉටු නො කල හොත්, අඛන්ඩ වැඩ වර්ජනයක තර්ජනය පවතී.

දවස් ගනනක නිශ්ශබ්දතාවකින් පසුව, වෘත්තීය සමිති දරන මෙම මංමුලා සහගත උත්සාහයේ අරමුන වන්නේ, තමන් මුහුන දෙන දැරිය නො හැකි කොන්දේසි නිසා රැඩිකලීකරනය වී සිටින සමිති සාමාජිකයන් මත පාලනය පවත්වා ගැනීම යි. පසුගිය වසර දෙක පුරා වැඩි වැටුප් හා හොඳ කොන්දේසි ඉල්ලා කම්කරුවන් යෙදුනු අරගල එකකට පසු තවෙකක් වසයෙන් පාවා දී ඇත්තේ ද මෙම වෘත්තීය සමිති ම ය.

පසුගිය වසරේ දී ගුරුවරු දවස් 100ක් තිස්සේ ගෙන ගිය උද්ඝෝෂනයක් පාවා දුන් ලංකා ගුරු සංගමය සහ ජවිපෙ පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය, ආන්ඩුව දුන් සොච්චම් වැටුප් වැඩිකිරීම පිලිගත් හ. පසුගිය මාසයේ දී වැඩ වර්ජනයක් පාවා දුන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය, සිය සීමිත උද්ඝෝෂන පවත්වන්නේ තම සාමාජිකයන්ගේ කෝපය “කලමනාකරනය” කිරීමටය යන්න පවා පිලිගත්තේ ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීම සඳහා ඔවුන්ට ක්‍රියාකාරී සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා උද්ඝෝෂනය කරයි. අපි ජනාධිපතිවරයා හා ඔවුන්ගේ ආන්ඩුව යා යුතු යයි එකඟ වන නමුත් එය පමනක් ප්‍රමානවත් නො වේ. ජනාධිපතිවරයාගේ අතේ දුර දිග යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී බලතල තබන මතුපිට වෙනස්කම් වෙනුවට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස සසප කැඳවුම් කරයි.

ධනපති පාලනය විසින් නිර්මානය කරනු ලබන සමාජීය ව්‍යසනයට විසඳුමක් සම්පාදනය කල හැක්කේ කම්කරු පන්තියට පමනකි. අද දින ඒ සඳහා අව්‍යාජ සටනක් කිරීම වලක්වාගෙන සිටින්නේ, පාලක පන්තියේ කාර්මික පොලීසිය ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති විසිනි. වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් බිඳෙන ලෙසත්, වැඩපොලවල, කම්හල්වල හා කම්කරු නිවහන් ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා තීන්දු තීරන ගැනීමේ අයිතිය තමන්ගේ ම අතට ගන්නා ලෙසත්, සසප කම්කරුවන්ට කැඳවුම් කරයි.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කල හැක්කේ ආර්ථිකය මුලුමනින් ම ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, නිෂ්පාදනය හා බෙදාහැරීම මත කම්කරු පාලනය සහ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු හා ප්‍රධාන සංගත ජනසතු කිරීම සඳහා අපි පෙනී සිටින්නෙමු.

මෙම දේශපාලන සටනේ පදනම මත, කම්කරු පන්තියට නාගරික හා ගම්බද ජනයා තමන්ගේ පැත්තේ රැලි කරගෙන, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පදනම් දැමිය හැකි ය. මේ අරගලයේ දී ලංකාවේ කම්කරුවන්ගේ සගයන් වන්නේ, තමන් මෙන් ම අත්‍යවශ්‍ය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයන්ට මුහුන දෙන ලොව පුරා කම්කරුවන් ය.

සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන දේශපාලන ඉදිරි දර්ශනය මෙයයි. මේ අරගලයට සම්බන්ධ වන ලෙසත්, සසපට බැඳී එය ගොඩනගන ලෙසත් අපි ඔබෙන් ඉල්ලමු.

Loading