සසප/සසජාතශි ආන්ඩු විරෝධී විරෝධතා සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් බලගතු උද්ඝෝෂනයක් පවත්වයි

[මෙය Sri Lankan SEP/IYSSE holds powerful demonstration advocating a socialist program for the anti-government protests මැයෙන් 2022 අප්‍රේල් 23 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය, බ්‍රහස්පතින්දා පස්වරුවේ කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට 150 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථක රැලියක් පැවැත්වීය. මෙම රැලිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන මහජන විරෝධතා ව්‍යාපාරයට සහය දැක්වීමක් වූ නමුත්, කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් තව දුරටත් ඉදිරියට ගියේය.

සසප හා සසජාතශි සාමාජිකයින් සහ ආධාරකරුවන් ආන්ඩු විරෝධී විරෝධතා සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටිති. (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

විරෝධතාවයට කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයින්, වෘත්තිකයන් සහ ගෘහනියන් ද, සසප හා සසජාතශි සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලත් විය. සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව, ගුරු-සිසු-දෙමාපිය ආරක්ෂක කමිටුව, කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව, වතු කම්කරු ක්‍රියාකාරී කමිටු ඇතුළු ක්‍රියාකාරී කමිටු කිහිපයක සාමාජිකයෝ සහභාගී වූහ.

සසප ෆේස්බුක් පිටුවේ සහ ක්‍රියාකාරී කමිටුවල ෆේස්බුක් පිටුවල සජීවීව විකාශය වූ මෙම රැලියට සහභාගී වීම සඳහා තරුනයින් ඇතුලු පක්ෂ සාමාජිකයින්ගේ සහ ආධාරකරුවන්ගේ නියෝජිත කන්ඩායමක් යුද්ධයෙන් විනාශ වූ දිවයිනේ උතුරේ යාපනයේ සිට කිලෝමීටර් 400 ක් දුර ගෙවාගෙන පැමිනියේ ය.

ප්‍රධාන සටන් පාඨ වූයේ “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු”, “ජාමූඅහි කප්පාදු පියවර පරාජය කරනු” සහ “කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු” යන්නයි. 'ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය ඇතිව විදේශ නය ප්‍රතික්ෂේප කරමු', 'කිරිපිටි, ඉන්ධන සහ ගෑස් මිල වහා අඩු කරනු', 'ක්‍රමයෙන් ඉහල යන වැටුප් පරිමානයක් සඳහා සටන් කරමු', 'රුසියාවට එරෙහි නේටෝ යුද්ධය නවත්වනු', “හජාජාක ගොඩ නගමු” සහ “ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට සහභාගී වෙමු” ආදිය අනෙකුත් සටන් පාඨවලට ඇතුලත් විය.

සසප හා සසජාතශි සාමාජිකයින් ගාලු මුවදොර පිටියේ සහ රටේ අනෙකුත් ප්‍රදේශ වල ආන්ඩු විරෝධී විරෝධතාවලට පක්ෂයේ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කරමින් අඛන්ඩව මැදිහත් වී ඇත. මෙම මැදිහත්වීම් තුල දී මුනගැසුනු කිහිප දෙනෙකු ද බ්‍රහස්පතින්දා සසප රැලියට සම්බන්ධ වූ අතර, එය සිය රැකියා හා අධ්‍යයනවලින් ආපසු එන දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ හා තරුනයින්ගේ අවධානය දිනා ගත්තේ ය. උද්ඝෝෂකයෝ සසප අප්‍රේල් 7 ප්‍රකාශයේ පිටපත්, පසුකර යන පදිකයන්ට බෙදා දුන්හ.

සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන රැලිය ඇමතීය. ඔහු සිංහලෙන් කල කතාව දෙමල භාෂාවට පරිවර්තනය විය. '‘ගෝඨා ගෙදර යනු’ කියන බහුජන ව්‍යාපාරයට අපි සහයෝගය දෙනවා නමුත් අපි ඒ සටන් පාඨයෙන් නතර වෙන්නේ නැහැ. රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමීමෙන් පසු මීලඟට කුමක් කල යුතුද යන්න පිලිබඳව ඉදිරිදර්ශනයක් සහ වැඩපිලිවෙලක් අපි ගොඩනගාගෙන තිබෙනවා,” ඔහු පැවසීය.

2022 අප්‍රේල් 21 වන දින කොලඹ කොටුවේ පැවති රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන විරෝධතාව සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් සපයන සසප පිකට් උද්ඝෝෂනය අමතන පානි විජේසිරිවර්ධන (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

“ගෝටා ගෙදර යනු” වටා දිගහැරී ඇති ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ධනේශ්වර විරුද්ධ පක්ෂ, ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) දේශපාලනයෙන් තදබල ආභාසයකට ලක්ව ඇත. ඔවුන් සියල්ලන්ම ජාමූඅ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක පදනම මත අර්බුදයට “විසඳුම්” සොයමින් සිටින බව ඔහු පැවසීය.

“සජබ ආන්ඩුවට එල්ල කරන ප්‍රධාන විවේචනය වන්නේ ආන්ඩුව ජාමූඅ වෙත කල් පමා වී ගිය බවයි. එජාප මුලු හදවතින්ම [ජාමූඅ වෙත යාමේ] තීරනයට සහය දෙනවා,” යැයි විජේසිරිවර්ධන පැවසීය.

ධනේශ්වර පාලනයට මුක්කු ගැසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ එජාපය වැනි සම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ සමග සන්ධානගත වීමේදී ජවිපෙ සතු කුප්‍රකට වාර්තාව කෙරෙහි ද ඔහු අවධානය යොමු කලේය. 'ජවිපෙ ජාමූඅ වෙත හැරීමට සහාය දෙන අතර මේ ගැන නිහඬව සිටියි,' ඔහු පැවසීය.

ජාමූඅ වැඩපිලිවෙල, කම්කරු පන්තිය මත ඊටත් වඩා බරපතල සමාජ ප්‍රහාරයන් මුදා හරිනු ඇති බව කථිකයා පැහැදිලි කලේය. “මෙම ප්‍රහාර දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. උද්ධමනය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පොලී අනුපාත වැඩි කලේය. මෙය නිෂ්පාදනය අඩු කර විරැකියාව වැඩි කරනවා ඇත,” ඔහු තවදුරටත් පැවසීය.

“ආන්ඩුව සහ මෙම සියලු පක්ෂ දේශපාලන ස්ථාවරත්වය සඳහා කැඳවුම් කරයි—එනම්, ජාමූඅ වැඩසටහනට පූර්ව අවශ්‍යතාවයක් ලෙස විරෝධතා, පිකටින් හෝ වැඩ වර්ජනවලට ඉඩ දිය නොහැකි ය යන්නයි. පෙරේදා තම වාහනවලට ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හලක දින ගනනක් රැඳී සිටි නිරායුධ සිවිල් වැසියෙකු [චමින්ද ලක්ෂාන්] දැඩි ලෙස සන්නද්ධ පොලිස් බලඇනියක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙය, උද්ඝෝෂන හා වැඩ වර්ජනවලට වෙඩි උන්ඩවලින් පිලිතුරු දීමට සූදානම් බව ගෝලීය ප‍්‍රාග්ධනයට ආන්ඩුව කරන සංඥාවකි. මෙය ගාලුමුවදොර ව්‍යාපාරයටත් අනතුරු ඇඟවීමක්.”

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හුදෙක් රාජපක්ෂ පවුලේ ඥාති සංග්‍රහය සහ දූෂනය විසින් නිර්මානය කරන ලද බවට කරන ප්‍රකාශ විජේසිරිවර්ධන ප්‍රතික්ෂේප කලේය.

යාපනයේ සසප සහ සසජාතශි සාමාජිකයෝ අප්‍රේල් 21 වැනි දා කොටුව දුම්රිය ස්ථානයේ විරෝධතාවයේ දී (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

“මෙම අර්බුදය, 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ගෝලීය ධනවාදයේ දුරදිග යන පද්ධතිමය බිඳවැටීමේ අනිවාර්ය කොටසකි. න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දක්වා විකාසනය වීමට තර්ජනය කරන මෙම ක්‍රියාවලිය, කොවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ කුලී යුද්ධය මගින් වේගවත් කර ඇත,” යැයි ඔහු පැවසීය.

වඩාත් නරක අතට හැරෙන ආර්ථික බිඳවැටීම, ගෝලීය වශයෙන් කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතාවලට තුඩු දෙමින්, ලෝකය පුරා ඒකාකාරී සමාජ ව්‍යසනයක් නිර්මානය කරමින් සිටින බව ඔහු තවදුරටත් පැවසීය. “සමාජ දුක්ඛිත තත්වයට එරෙහි ව ජාත්‍යන්තරව කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා වෛෂයික පදනම මෙයයි,” විජේසිරිවර්ධන පැවසීය.

“අපට මෙම සමාජ අර්බුදය හුදෙක් ශ්‍රී ලංකාවට විශේෂිත වූ දෙයකට ඌනනය කල නොහැකි අතර, ධනවාදයට ම ආවේනික වූ දූෂනය තුරන් කිරීමෙන් විසඳා ගත නොහැකි ය. අර්බුදයෙන් මිදීමේ මාවත ගොවියන්ගේ සහාය ඇතිව කම්කරු පන්තිය බලය ලබා ගැනීමයි. ඒ සඳහා කම්කරු පන්තිය දේශපාලන බලය ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. මෙම ක්‍රියාකාරී කමිටුවල කම්කරුවන් ප්‍රජාතන්ත්‍රවාදීව තීරන ගනු ඇත,” ඔහු පැවසීය.

ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා ශ්‍රී ලාංකික කම්කරුවන්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් දියත් කරන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාකස) සමග පෙලගැසීමේ අවශ්‍යතාවය විජේසිරිවර්ධන පැහැදිලි කලේය. හජාජාක සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් අනුග්‍රහය දක්වන ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට සහභාගී වන ලෙසත්, කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා සසපට බැඳෙන ලෙසත් පැමින සිටි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් ඔහු කතාව අවසන් කලේය.

උද්ඝෝෂනයෙන් පසුව සසප සහ සසජාතශි උද්ඝෝෂකයෝ පැමින සිටි සමහර අය සමඟ කතා කලහ.

රැලිය නැරඹූ ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයෙක් මෙසේ පැවසීය: “මෙම සිදුවීම දැක ඔබ සමඟ කතා කිරීමට පෙර, අත්‍යවශ්‍ය භාන්ඩවල මිල මෙතරම් ඉහල යන්නේ ශ්‍රී ලංකාවේ පමනක් යැයි මම සිතුවා. කම්කරුවන් මුහුන දෙන කොන්දේසි, ඔවුන් කුමන රටක ජීවත් වුවත්, එක සමාන සහ දරාගත නොහැකි බව මට දැන් වැටහෙනවා.'

ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ සේවකයෙක් මෙසේ පැවසීය: “මට මේ [පවත්නා] දේශපාලනය එපා වෙලා. රුපියල් 30,000 සිට 40,000 දක්වා මාසික වැටුපකින් ජීවිතය ගැට ගසා ගත නොහැකි තරමට උද්ධමනය ඉහලයි. සමහර පක්ෂ තමන් 'විපක්ෂයක්' ලෙස හැඳින්වුවද, [සැබෑ] විරුද්ධ පක්ෂ නැහැ. ඔවුන් සියල්ලෝ ම යන්නේ එකම පාරේ. මම මගේ උසස් පෙලට දේශපාලන විද්‍යාව හදාරා ඇති නිසා දේශපාලන භූමියේ සිදුවන්නේ කුමක්දැයි මට වැටහෙනවා. මම වත්මන් ක්‍රමයට සැබෑ විරුද්ධත්වයක් සෙවීමට උත්සාහ කරන නිසා ඔබේ ප්‍රකාශය හැදෑරීමට යොමු වෙනවා.'

තරුනයෙකු වන කෙවින් පැවසුවේ, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සඳහා සසප කරන ඉල්ලීමට තමා සම්පුර්නයෙන්ම එකඟ වන බවයි. “මේ විදේශ නය අපේ යහපතට ගත්ත ඒවා නෙවෙයි. ඒවා මහා ධනපතියන් සඳහායි, ”ඔහු පැවසීය. “සිදු කර ඇති විනාශයට කිසිදු වන්දියක් අපි ගෙවිය යුතු නෑ. මම මේ නිගමනයට ආවේ ඔබේ සටන් පාඨවලට සවන් දීමෙන් පසුවයි.”

Loading