ආන්ඩුවට එරෙහි විරෝධතාවට එල්ල කල මැර ප්‍රහාරයේ නායකයන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති නියෝග කරයි

[මෙය Sri Lankan attorney general orders arrest of leaders of mob violence against anti-government protesters යන මැයෙන් 2022 මැයි 19 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

මැයි 9දා ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට ප්‍රචන්ඩ ලෙස ප්‍රහාර එල්ල කල මැර කල්ලියේ නායකයන් 22 දෙනෙකු පමන අත්අඩංගුවට ගැනීම, නීතිපති සන්ජේ රාජරත්නම් දුන් නියෝග යටතේ පොලීසිය විසින් අරඹා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය නායකයෝ, මෙම පුද්ගලයන් 22 දෙනා අතර සිටිති. මෙම ප්‍රහාරයට අදාල ව, කොලඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කලේ ය.

ජනාධිපතිට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස් වන ලෙස ද ඉහල යන මිල ගනන් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟය නිසා ඇතිව තිබෙන නොඉවසිය හැකි දුෂ්කරතා අවසන් කරන ලෙස ද ඉල්ලමින්, ආන්ඩුවට එරෙහි උද්ඝෝෂකයෝ කොලඹ ගාලු මුවදොර පිටිය මාසයකටත් වැඩි කාලයක් තිස්සේ වාඩිලාගෙන සිටිති. අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිට ද සමහර උද්ඝෝෂකයෝ විරෝධතා ගෙනයමින් සිටියහ.

රටෙහි බොහෝ ප්‍රදේශවල සිට බස්රථ පුරවා අගමැතිගේ නිල නිවසට ගෙන එන ලද 1,000ට අධික ශ්‍රීලපොපෙ මැර කන්ඩායමක් එහිදී කුපිත කරවා ප්‍රහාරය සඳහා ලිහා හරින ලදී. අගමැති නිල නිවස ඉදිරිපිට සිටි නිරායුධ විරෝධතාකරුවන්ට පලමුව ප්‍රහාර එල්ල කල මැරයෝ ඊලඟට ගෝල්ෆේස් පිටියේ සිටි විරෝධතාකරුවන්ට පහර දුන්හ. එහි ඉදිකර තිබූ තාවකාලික කුටි කුඩුකර දැමූ ඔවුන් සිදුකල ශාරීරික පහර දීම් නිසා සියයකට වැඩි විරෝධතාකරුවන්ට තුවාල සිදුවිය.

ගාලු මුවදොර දී විරෝධතා අට්ටාලයකට ප්‍රහාර එල්ල කරන දක්ෂිනාංශික මැරයෙක් (ඡායාරූපය: ෆේස්බුක්)

ගාලු මුවදොර පිටිය පුරා නිදැල්ලේ පහර දීමට ඉඩ දී බලා සිටි පොලීසිය, ප්‍රහාරකයින් විසිරවීම පිනිස කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කලේ පසුව ය. ඔවුන් කිසිදු මැරයෙකු අත්අඩංගුවට ගත්තේ නැත.

ප්‍රහාරයට විරෝධය පාමින් ගාලු මුවදොර පිටියට ගලා ආ දහස් ගනන් කම්කරුවෝ හා අනෙකුත් ජනයා ප්‍රහාරයට වගකිව යුත්තන් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස බලකලහ . සෞඛ්‍ය, තැපැල් හා වරාය කම්කරුවන් වහා ම වැඩ වර්ජනය කල අතර, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් පසුදින මහා වැඩ වර්ජනයකට ඒකාබද්ධවූහ.

ආන්ඩුවට එරෙහි විරෝධතාවන්ට නින්දිත ප්‍රහාර එල්ල කල කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හා චෝදනා ඉදිරිපත් කිරීමට ක්‍රියා නොකිරීමට විරුද්ධව, පසුගිය සතිය පුරා පලල් මහජන කෝපය අඛන්ඩ ව නැගී ආවේය.

ගාටමින් සිටි නීතිපති, අවසානයේ දී පුද්ගලයන් 22ක් අත්අඩංගුවට ගෙන ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස, පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ මේ තතු තුලය.

නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට අමතර ව, හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ සංජීව එදිරිමාන්න හා මිලාන් ජයතිලක යන මන්ත්‍රීන් ද මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ද අත්අඩංගුවට ගත යුතු අනෙක් අයයි.

ප්‍රහාරය අරබයා ඇති වූ මහජන ආන්දෝලනයට ප්‍රතිචාර දක්වමින්, තනතුරෙන් ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහි ව යම් පියවරක් ගනු ලබන්නේදැයි ලංකාදීප පුවත්පත විමසා ඇත. මැරයන් කුපිතකිරීම පිලිබඳ ව ඔහු ට පලල් ලෙස විවේචන එල්ල වී තිබේ.

අගමැතිවරයාගේ නිල නිවසේ පැවති රැස්වීමට ඇතුල් වූ ජනයා, “කාගෙද මේ බලවේගේ? මහින්දගේ බලවේගේ!” යැයි සටන් පාඨ කී බව, කොලඹ සිටි රොයිටර් ජනමාධ්‍යවේදීහු වාර්තා කල හ.

රොයිටර් පුවත් සේවයට අනුව, තමන් ඉල්ලා අස්විය යුතු දැයි මහින්ද රාජපක්ෂ වාචාල ලෙස අසන අයුරු වීඩියෝවක් තුල පෙන්වයි. රැස්වීමේ සිටියවුන් “නෑ” යයි හඬ තැලුහ. “ඒ කියන්නේ මම ඉල්ලා අස්වීම අවශ්‍ය නැහැ...මම හැමවෙලේ ම ඉඳල තියන්නෙ රටේ පැත්තෙ...මහජනතාවගේ යහපත වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්න මම ලෑස්තියි” යි ඔහු කීවේ ය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ (ස්තුතිය: විකිමීඩියා කොමන්ස්)

වීඩියෝව තුල හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ කියයි: “සූදානම් වෙන්න...අපි සටන පටන්ගමු. ජනාධිපතිතුමාට බැරි නම්...ඔහු ඒක අපට භාරදිය යුතු යි. අපි ගෝල් ෆේස් එක සුද්ධ කරනවා.”

තතු එසේ වුවද නීතිපති දෙපාර්තමේන්තුව අගමැති ගැන ලංකාදීපයට කීවේ, පරීක්ෂන පැවැත්වෙමින් පවතින බවයි.

පොලීසිය මේ දක්වා සනත් නිශාන්ත හා මලිත් ජයතිලක අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ඊයේ උසාවියට ඉදිරිපත් කරනු ලැබ මැයි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනි. ලැයිස්තුවේ නම් ඇති තවත් හතරදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රීලපොපෙහි ප්‍රමුඛයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දුට නිදහසේ සැරිසැරීමට ඉඩ ලබා දී තිබේ. මේ සතියේ ඔහු පාර්ලිමේන්තු සැසියට ද සහභාගි විය. සීඅයිඩීය නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ගෙන් පැය අටක් තිස්සේ ප්‍රශ්න කරන ලද නමුත්, නීතිපතිගේ නියෝගය තිබුන ද ඔහු ව අත්අඩංගුවට ගත්තේ නැත.

ඉහල පෙලේ දේශපාලනඥයන්ට හා අනෙකුත් පුද්ගලයන්ට එරෙහි නඩු යටගැසීම පිලිබඳ ව ලංකාවේ පොලීසිය හා බලධාරීන් කුප්‍රකට ය. ඔවුන්ගේ අපරාධ වසංකල නො හැකි නම්, සැබෑ වැරදිකරුවන් මුදාලීම සදහා දඩමීමුන් සොයාගනු ලැබේ.

ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරය, මහජන විරෝධතා ව්‍යාපාරය මත පලල් රාජ්‍ය මර්දනයක් දියත් කිරීම පිනිස කොන්දේසි නිර්මානය කරගැනීම ඉලක්ක කරගෙන හිතාමතා සිදුකල ප්‍රකෝපකරනයකි.

ආර්ථිකය මුලුමනින්ම පාහේ වසා දමමින්, දිවයින පුරා මිලියන ගනන් කම්කරුවන්ගේ හා කුඩා ව්‍යාපාර සම්බන්ධ වී, මැයි 6දා පැවති දෙවන මහා වැඩ වර්ජනයෙන් සහ හර්තාලයෙන් අනතුරු ව මෙම ප්‍රකෝපකරිත්වය සිදුකෙරුනි. ඊට පෙර අප්‍රේල් 28දා පැවති එක් දින මහා වැඩ වර්ජනයට ද පලල් සහයෝගයක් ලැබුනි.

කම්කරු පන්තික අරගලය ඉස්මතු වන්නේ හුදෙක් ආන්ඩුවට එරෙහි ව පමනක් නො ව, විරුද්ධ පක්ෂ හා අරගලය කැඳවා තිබුනු වෘත්තීය සමිති ද ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයට ම එරෙහි ව ය. මිලිටරිය වීදි බැස්සවීම ඇතුලු තමන්ගේ ඒකාධිපති බලතල පුලුල් කරගනිමින්, ජනාධිපතිවරයා මැයි 6 රාත්‍රියේ ම හදිසි තත්වය ප්‍රකාශයට පත් කලේ ය.

ගාලු මුවදොර පිටියේ දී මැයි 9දා එල්ල වූ ප්‍රහාරයෙන් ඉක්බිති ව, ආන්ඩුවේ ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට එල්ල වූ ප්‍රචන්ඩ ප්‍රතිප්‍රහාර, දිවයින පුරා මිලිටරිය හා පොලීසිය වීදි බැස්සීමට හා ජාතික පරිමාන පැය 24 ඇඳිරි නීතියක් පැනවීමට ජනාධිපතිවරයා විසින් යොදා ගත්තේය. නීතිය අකුරට ම බලාත්මක කරන ලෙසත්, කැරලිකරුවන්ට හා කොල්ලකන්නන්ට දුටු තැන වෙඩි තබන ලෙසත්, සොල්දාදුවන්ට නියෝග කෙරුනි. රට පුරා මිලිටරි මුරපොලවල් ඉදිකරනු ලැබී ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවූ පරිදි, ආන්ඩුවේ පුද්ගලයන්ට ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කිරීම සහ ඔවුන්ගේ නිවාස ගිනිතැබීම තුඩු දෙනු ඇත්තේ, ප්‍රතිගාමීත්වයේ හා රාජ්‍ය යාන්ත්‍රනයේ අත් ශක්තිමත් කිරීමට පමනි.

ශ්‍රීලපොපෙ මැරයන්ට හා ඔවුන්ගේ නායකයන්ට එරෙහි නිතිය ක්‍රියාත්මක කිරීම පමාවුවත්, වාඩුව ගැනීමේ විරෝධතාවල නියැලුනු බොහෝ දෙනා වහා ම අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කලේ ය. සීසීටීවී දර්ශන හා සාමාන්‍ය පැමිනිලි මත, මේ දක්වා පුද්ගලයන් 900 පමන අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම, රට තව දුරටත් දේශපාලන අර්බුදය තුලට ඇද දැමී ය. ආහාර, ඉන්ධන හා ඖෂධ යනාදී අත්‍යවශ්‍ය ආනයනයන්ට ගෙවීමට හැකි වීම පිනිස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) හා අනෙකුත් ආයතනවල හදිසි මුදල් ලබාගැනීමට, පාලක පන්තිය මංමුලා සහගත ව ක්‍රියා කරයි. ඕනෑම ඇප නයක් ලැබෙනු ඇත්තේ, අනිවාර්යයෙන් ම රුදුරු කප්පාදු කොන්දේසි සමගය. එමගින් සිදුවනු ඇත්තේ වැඩකරන ජනයා මුහුනදෙන සමාජ අර්බුදය ගැඹුරු වීම පමනි.

ගිය සතියේ මංමුලා සහගත පියවරක් ගත් ජනාධිපති රාජපක්ෂ, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කලේ ය. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් රුදුරු ලෙස ක්‍රියාවට දැමීම හා වොෂින්ටනයේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සේවය කිරීම සම්බන්ධයෙන් ඔහු කුප්‍රකට ය. මාස ගනනක් තිස්සේ ඔහු, ජාමූඅ සමග ක්ෂනික ව සාකච්ඡා නො කිරීම ගැන ආන්ඩුව විවේචනය කර ඇත.

මැයි 16දා ජාතිය අමතා කතා කල වික්‍රමසිංහ, එලඹෙන මාස කිහිපය, මහජනයා මුහුන දෙනු ඇති දුෂ්කර ම කාලය වනු ඇතැයි අනතුරු ඇඟවී ය. රටෙහි ආර්ථික අර්බුදයේ පරිමාව ඔහු විස්තර කලේ, දුෂ්කරතාවන් අනිවාර්යය ලෙස පිලිගැනීම පිනිස මහජනයාට තැලීමේ උත්සාහයක යෙදෙමිනි.

පලල් ලෙස අපකීර්තිමත් එජාපයේ හිටපු අගමැතිවරයෙකු වන වික්‍රමසිංහ එහි එක ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය. එහෙත්, සමගි ජන බලවේගය, දෙමල ජාතික සන්ධානය සහ රාජපක්ෂගේ පාලක සභාගයෙන් මෑත දී බිඳී ගිය “ස්වාධීන” කන්ඩායම ඇතුලු විරුද්ධ පක්ෂ සියල්ල, වික්‍රමසිංහගේ “සංවර්ධන වැඩ කටයුතුවලට” පිටුබලය දෙන බව ප්‍රකාශ කර ඇත.

වෘත්තීය සමිති ද මේ සමග පෙලගැසී තිබේ. ජනාධිපතිවරයා හා ආන්ඩුව ඉල්ලා අස් නො වුන හොත්, අඛන්ඩ මහා වැඩ වර්ජනයක් කැඳවන බවට කලින් පොරොන්දු වූ වෘත්තීය සමිති, ඒ වෙනුවට සංකේත විරෝධතා ආදේශ කරමින් ඔවුන්ගේ මවා පෙන්වීම් අත්හැර දමා ඇත. මුල පටන් ම ඔවුන්ගේ ඉලක්කය වූයේ, කම්කරු පන්තියේ නැගෙන කෝපය හා විරුද්ධත්වය අපසරනය කොට යටපත් කිරීම යි.

වැඩකරන ජනයා මුහුන දෙන සමාජ අර්බුදයට ලාභ පද්ධතිය හෝ ලංකාවේ ජාතික දේශසීමාව ඇතුලත කිසිදු විසඳුමක් නැති බව සසප යලි යලිත් පැහැදිලි කර ඇත. ලංකාව තුල පවතින කැලඹීම, ධනවාදයෙහි ගෝලීය අර්බුදයේ සුවිශේෂී තියුනු ප්‍රකාශනයකි.

ජාමූඅහි විධානයන් වැඩකරන ජනයා මත පැටවීමට රුදුරු ලෙස ක්‍රියාකරනු ඇති ජනාධිපති රාජපක්ෂ හා අගමැති වික්‍රමසිංහ නායකත්වය දෙන ආන්ඩුව, ඕනෑ ම විරුද්ධත්වයකට එරෙහි ව පොලිස් රාජ්‍ය පියවරවල් යොදාගැනීමට පසුබට නො වනු ඇත.

හදිසි නීතිය තවමත් ක්‍රියාත්මක වේ. රාත්‍රී ඇඳිරි නීතිය තවමත් බලාත්මක වේ. රටෙහි නිදහස් වෙලඳ කලාප ද ඇතුලු ව රට පුරා, සන්නද්ධ භටයන් යොදවනු ලැබ ඇත. සමාජ මාධ්‍ය මත කඩාපැනීමක් තීව්‍ර කර තිබේ.

වැඩපොල, කම්හල්, වතු හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා, තීන්දු තීරන ගැනීම තමන්ගේ ම අතට ගන්නා ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලයි. වැඩකරන ජනයා මුහුන දෙන දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීම සඳහා මෙම කමිටුවලට සටන් වැදිය හැකි පිලිවෙත් ද සසප ඉදිරිපත් කර ඇත.

එවන් සටන් සංවිධාන ගොඩනැගීම මගින්, දුගීන් හා පීඩිතයින් තමන්ගේ පාර්ශ්වයට දිනාගෙන, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන දේශපාලන අරගලයකට පදනම දැමීම, කම්කරු පන්තියට කල හැකි ය. සමාජවාදී අනාගතයක් සඳහා කරන පොදු අරගලයක් තුල, විශේෂයෙන් ම ඉන්දියාවේ හා දකුනු ආසියාවේ තමන් හා සමාන කොන්දේසිවලට මුහුන දෙන ජාත්‍යන්තර කම්කරුවන් වෙතට හැරීම එවන් අරගලයකට අවශ්‍ය කරයි.

Loading