ශ්‍රී ලංකාවේ ආන්ඩුවට එරෙහිව නැගී ඇති විරෝධතා මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න

2022 අප්‍රේල් 22 දා පලමු වරට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ මෙම ලිපිය යලිත් වරක් පල කරනු ලබන්නේ, මසක් ඇතුලත එහි අන්තර්ගත විශ්ලේෂනය පරිපූර්න වශයෙන් සනාථ වී ඇති තතු යටතේ ය.

අහස උසට නගින මිල ගනන්, ආහාර, ඉන්ධන හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් සහ දීර්ඝ දෛනික විදුලිය  කප්පාදුව ආදී රුදුරු කොන්දේසි පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින් පමනක් බව ලිපිය අවධාරනය කරයි.

***

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස් වන ලෙස බලකරමින් ලංකාවේ පැවැත්වෙන මහජන විරෝධතා තීරනාත්මක අවදියකට ඇතුලු වී ඇත. කොලඹ ගාලු මුවදොර පිටියෙහි ප්‍රධාන විරෝධතා පැවැත්වෙන ස්ථානයේ දී, දිවා කාලයේ මෙන් ම රාත්‍රීයේ ද අප්‍රේල් 9දා සිට දහස් ගනනක් අඛන්ඩ විරෝධතාවන්ට දෛනික ව සහභාගි වී තිබේ.

කම්කරු පන්තිය හා පීඩිත මජහනයා බෙදීමට ප්‍රජාගනවාදය ඇවිලවීම සඳහා, රාජපක්ෂ ආන්ඩුව හා එහි ආධාරකරුවන් දරන විෂකුරු ප්‍රයත්නයන් මධ්‍යයේ, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී සියලු ජනවාර්ගික හා ආගමික රේඛා කපාගෙන, වැඩකරන ජනයා, තරුනයෝ, වෘත්තිකයෝ, ගම්බද දුගීහු හා ගෘහනියෝ    මෙම විරෝධතාවට සහභාගි වෙමින් සිටිති.

ගාලු මුවදොර පිටිය වාඩිලා ගැනීම, අහස උසට නගින මිල ගනන්, ආහාර, ඉන්ධන හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් සහ දීර්ඝ දෛනික විදුලිය    කප්පාදුව ආදී රුදුරු කොන්දේසිවලට එරෙහිව දිවයින පුරා වැඩකරන ජනයා විසින් පවත්වනු ලබන පලල් විරෝධතාවල කොටසකි.

කෙසේ නමුත්, එය වනාහි, “ගෝඨා ගෙදර යනු” යන සටන් පාඨය වටා, දිවයිනේ සමාජීය හා ආර්ථික ව්‍යසනයට එරෙහිව    සටනක් කල යුතු ය යන අවශ්‍යතාවයෙන් ඒකාබද්ධ වී සිටින, දේශපාලනික ව නිරූපිමය    ව්‍යාපාරයකි. එමතු නොව, හුදකලා හා සීමිත ක්‍රියාවන්ගෙන් ඔබ්බට ගොස් තමන්ගේ ම ඉල්ලීම් ඉදිරිපත්කරමින් කම්කරු පන්තිය පන්තියක් ලෙස    මෙම ව්‍යාපාරයට මැදිහත් වීම වෘත්තීය සමිති විසින් වලක්වාගෙන සිටියි.

මෙම තත්ත්වය අවිනිශ්චිත කාලයක් පුරා අඛන්ඩ ව නො පවතින බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි. අගමැති මහින්ද රාජපක්ෂ විරෝධතා ව්‍යාපාරය මතට ලේවැකි කඩා පැනීමක් කරන බවට පසුගිය සතියේ දී වක්‍ර අනතුරු ඇඟවීමක් නිකුත් කලේ ය. චාමින්ද ලක්ෂාන් මරා දමමින් හා තවත් අයට තුවාල සිදු කරමින්, රඹුක්කන දී පොලීසිය විරෝධතාකරුවන්ට අඟහරුවාදා වෙඩි තැබී ය.

විරෝධතාවල නායකයන්ට යැදීමේ ප්‍රයත්නයන් සමග එකට මෙම තර්ජනයන් ඉදිරියට යමින් තිබේ. “ඔවුන් සිතන ආකාරයට හා ඔවුන්ගේ දුක්ගැනවිලිවලට සවන් දෙමින්” හා “ලංකාව ආරක්ෂා කරගැනීම සඳහා කල හැකි හා විශ්වාසවන්ත ක්‍රියා මාර්ගයක් පිලිබඳ ව සාකච්ඡා කිරීමට” ගාලු මුවදොර පිටියේ කඳවුරු ලාගෙන සිටින්නන්ට අගමැතිවරයා ආරාධනා කලේ ය.

ගාලු මුවදොර විරෝධතාවේ සංවිධායකවරු රාජපක්ෂගේ ආරාධනය ප්‍රතික්ෂේප කල ද විරෝධතා භූමියේ ප්‍රමුඛ ව ප්‍රදර්ශනය කරනු ලබන හා සමාජ මාධ්‍ය තුල බෙදාහරිනු ලබන ඔවුන්ගේ ඉල්ලීම් ලැයිස්තුව, ආන්ඩුව ප්‍රතිසංවිධානය කිරීම, සුලුපහේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරන සහ වැඩකරන ජනයා මත තවතවත් දුෂ්කරතා පටවනු ඇති ජාමූඅ කප්පාදු ක්‍රියාත්මක කිරීම කරා යොමු වේ.

එම කන්ඩායම ම, ගාලු මුවදොර විරෝධතාවල දී “දේශපාලනය මැදිහත් නො විය යුතු” යයි අවධාරනය කරයි.    විපක්ෂයේ    සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි කම්කරුවන්ට හා තරුනයන්ට පවතින පලල් හතුරුකමට, මෙම සටන් පාඨය ආයාචනා කරයි. “පාර්ලිමේන්තුවේ 225 ම එපා” -එනම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ම එපා- යන ජනප්‍රිය සටන් පාඨය තුලින් එය පිලිබිඹු වේ.

එහෙත්, ගාලු මුවදොර විරෝධතාවයේ නායකයන් විසින් ඉදිරියට දමනු ලබන ඉල්ලීම්වලට නිශ්චිත දේශපාලන අන්තර්ගතයක් තිබේ. “දේශපාලනය එපා” යන්න ප්‍රකාශ කරන අතර ම, ඔවුන්ගේ ඉල්ලීම් සජබයේ හා ජවිපෙහි ඉල්ලීම් සමග අත්‍යන්තයෙන් ගැලපෙමින්, පාර්ලිමේන්තු ක්‍රමය හා ලාභ පද්ධතියේ රාමුව ඇතුලත මුලුමනින් ම රැඳී පවතී. “දේශපාලනය එපා” යන සටන් පාඨය සියල්ලට ඉහලින් එල්ල වන්නේ සමාජවාදී දේශපාලනයට විරුද්ධ ව ය.

මෙම ඉල්ලීම් මොනවා ද?

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතුය, රාජපක්ෂ පවුලේ කිසිවෙකුට පාර්ලිමේන්තුවේ තනතුරු ලබා නොදිය යුතුය සහ “රාජපක්ෂ පවුලේ දූෂිත සාමාජිකයන්, දූෂිත දේශපාලකයන් සහ දූෂනය හා අක්‍රමිකතා හා සම්බන්ධ නිලධාරීන් ඇතුලු සියලු දෙනා විසින් සොරාකන ලද සියලු මුදල් හා දේපොල ආදිය නැවත ලබා ගැනීම සඳහා වූ ක්‍රමවේදයක් සැකසීමටත් ක්‍රියාවේ යෙදවීමටත් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම”.

විරෝධතාවේ නායකයන් පෙර නුවූ විරූ වර්තමාන අර්බුදය පිලිබඳ දේශපාලනඥයන්ගේ දූෂනයට වරද පටවන්නේ, ගෝලීය ධනවාදය හා ලොව පුරා රටවල් අලලා ගනිමින් තිබෙන ආර්ථික කලබැගෑනිය නොතකා හරිමිනි. ලෝක ධනවාදී ආර්ථිකයේ වර්ධනය වන අර්බුදය, ගෝලීය කෝවිඩ්-19 වසංගතයෙන් ද, ශ්‍රී ලංකාව ඇතුලු සියලු රටවල ආන්ඩුවල සාපරාධී “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත් විසින් ද    දැන් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ ව පිටුපසින් සිට ගෙනයන යුද්ධයෙන් ද වේගවත් කරනු ලැබ ඇත.

1948 නිදහසේ පටන්, සමස්ත දේශපාලන සංස්ථාපිතය ම දූෂනයේ ගිලී ඇත. දූෂිත දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට එරෙහි ව, ඔවුන් ගසා කෑ යමක් යලි අත් කරගැනීමට නීතිමය ක්‍රියා මාර්ග ගැනීම, වැඩකරන ජනයා මුහුන දෙන ආර්ථික හා සමාජ ව්‍යසනය විසඳාලීම කරනු නැත.

පාර්ලිමේන්තු මැතිවරනයක් හා ජනාධිපතිවරනයක් පැවැත්වීමට කටයුතු කිරීමට මාස හයක් සදහා අන්තර්කාලීන ආන්ඩුවක්.

එවැනි අන්තර්වාර ආන්ඩුවක් තනනු ඇත්තේ කවර පක්ෂ විසින් ද? එය ප්‍රධාන වසයෙන් සමන්විත වනු ඇත්තේ සජබ හා ජවිපෙ හා අනෙකුත් විරුද්ධ පක්ෂ වලිනි. එමෙන් ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් නො වන, ආන්ඩුවේ දේශපාලනඥයන්ට ද විරෝධතා නායකයෝ දොරටු විවෘත කරති.

එවන් ආන්ඩුවක්, වර්තමාන ආන්ඩුවේ මූලික පිලිවෙත් ම - එනම්, මොන යම් හෝ ජාමූඅ ඇප නය දීමක ප්‍රතිඵලය ලෙස, දැවැන්තව    ගැඹුරු වනු ඇති විෂකුරු කප්පාදු පියවරයන්- ක්‍රියාවට දමනු ඇත. සජබ හා එක්සත් ජාතික පක්ෂය (එජාප), ආන්ඩුව හිඟන පාත්තරය රැගෙන මීට පෙරම    ජාමූඅ වෙත නො ගියේ යයි එය විවේචනය කර තිබේ. ජවිපෙ සැකකටයුතු නිශ්ශබ්දතාවක් පවත්වාගෙන ගොස් ඇත්තේ, එවන් පිලිවෙත් වලට සිය සහයෝගය ඉඟි කරමිනි.

මෙය වනාහි, කම්කරුවන්, තරුනයන් සහ නාගරික හා ගම්බද දුගීන්ගේ වියදමින් ධනවතුන්, විදෙස් නය දෙන්නන් හා සංගත ප්‍රභූවේ අවශ්‍යතා රකින ආන්ඩුවක් වනු ඇත. තව ද එය, පැන නැගී ඇති විරුද්ධත්වය මාස හයකින් පවත්වන මැතිවරන තුලට යොමු කිරීම සඳහා පාලක පන්තියට කාලය ගත හැකි මංමුලා සහගත උත්සාහයකි.

කම්කරු පන්තිය මුහුන දෙන සමාජ ව්‍යසනය විසඳීම සඳහා සටන් කිරීම පිනිස, සංවිධානාත්මක හා දේශපාලන විධික්‍රම එයට අවශ්‍ය අතර, ඒ සඳහා මාස හයක් බලා සිටිය නො හැක. ඒ සඳහා ආන්ඩුවේ හා විරුද්ධ පක්ෂයේ සිටින සංස්ථාපිතයේ සියලු පක්ෂවලටත් ඔවුන් ආරක්ෂා කරන ලාභ පද්ධතියටත් එරෙහි දේශපාලන අරගලයක් අත්‍යවශ්‍ය වේ.

“19 වන සංශෝධනය නැවත බලාත්මක කිරීම.”

2015 දී මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දැරූ ජාතික “සමගි” ආන්ඩුව යටතේ බලාත්මක කොට, වර්තමාන රාජපක්ෂ ආන්ඩුව විසින් වෙනස් කරන ලද 19වන ව්‍යවස්ථා සංශෝධනය, පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි නො කර, ජනාධිපතිවරයාගේ බලතලවලට සුලුපහේ සීමාවන් කිහිපයක් පැනවී ය.

19වන සංශෝධනය ඇති ව හෝ නැති ව, රාජපක්ෂ දැනට මත් කර ඇති පරිදි, කම්කරු පන්තියට එරෙහි ව හදිසි නීතිය පැනවීම හා ආරක්ෂක හමුදා බලමුලු ගැන්වීම පැනවිය හැකි දුර දිග යන ඒකාධිපති බලතල විධායක ජනාධිපතිට තිබේ.

අතීතයේ දී කම්කරුවන්ට එරෙහි ව යලි යලිත් යොදාගනු ලැබ ඇති ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති මාලාව සමගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතු යයි සසප ඉල්ලා සිටී.

“අත්‍යාවශ්‍ය සේවාවන් අර්බුදයට ලක්ව ඇති විශේෂ ක්ෂේත්‍රයන් යථා තත්වයට පත් කිරීම (සෞඛ්‍යය අධ්‍යාපනය ආදි)” පිනිස අන්තර්වාර ආන්ඩුවක්.

මිලියන ගනන් දෙනා මුහුන දෙන සමාජ අර්බුදය අන්තර්වාර ආන්ඩුවක් විසින් සතුටු දායක ලෙස විසඳනු ඇතැයි යෝජනා කිරීම ම දෙපිටකාට්ටු ය. අන්තර්වාර ආන්ඩුවක් ජාමූඅ, විදෙස් නය දෙන්නන් හා ලංකාවේ සංගත ප්‍රභූවේ විධානයන් ක්‍රියාත්මක කිරීමට යන්නේ කප්පාදු වැඩි කිරීමට මිස අඩු කිරීමට නො වේ.

තම පවුල්වලට කෑම ඇඳීම සැපයීමට හා දෛනික ජීවන අවශ්‍යතා සඳහා ප්‍රවේශ වීමට අරගලයේ යෙදෙන වැඩකරන ජනයාගේ යෝධ දුෂ්කරතා ගැන සඳහනක් කිරීම වත් මෙම ඉල්ලීම් තුල අඩංගු නො වේ. රෝහල් ඖෂධ හා උපකරනවල දැඩි හිඟයකට මුහුන දෙයි. ගොවීන්ට රසායනික පොහොර සපයා ගත නො හැක. ඉන්ධන හිඟයන් විසින් ප්‍රවාහනය හා බලශක්ති සැපයුම් ඇද වට්ටවමින් පවතී.

ජාමූඅ විධානයන් පැටවීමේ දී වත්මන් පාලන තන්ත්‍රයට වඩා රුදුරු භාවයෙන් අඩු නො වනු ඇති අන්තර්වාර ආන්ඩුවක්, විරෝධතා ව්‍යාපාරයට එරෙහි ව ආරක්ෂක හමුදා බලමුලු ගැන්වීමට පසුබට නො වනු ඇතැයි අපි අනතුරු අඟවමු.

ගාලු මුවදොර පිටියේ විරෝධතාවල නායකයන් විසින් ඉදිරියට දමන ඉල්ලීම්වලින් නියෝජනය වන්නේ, සාපේක්ෂ ව කතා කල හොත්, සිය සුවපහසු තත්ත්වය වැඩි දියුනු කරගැනීම සඳහා ජාමූඅ හා ධනපති විරුද්ධ පක්ෂ මත විශ්වාසය තබන, ඉහල මධ්‍යම-පන්තික ස්ථරයක අවශ්‍යතා මිස, කම්කරු පන්තියේ හා දුගීන්ගේ අවශ්‍යතා නො වේ.

ඔවුන්ගේ පන්ති යොමුව පවතින්නේ බැංකුවලට හා මහ ව්‍යාපාරිකයට මිස කම්කරු පන්තියට නො වේ. “ගාලු මුවදොර වාඩිලාගැනීම (ඕජීඑෆ්) සඳහා පෙනී සිටින්නන්” ඔවුන්ගේ ඉල්ලීම්වලට පිටුබලය දෙන ලෙස පුද්ගලික අංශයට ආයාචනා කර ඇතැයි, ද ඩේලිඑෆ්ටී.එල්කේ වාර්තා කර ඇත. ඕජීඑෆ් සඳහා සහයෝගය දෙන ප්‍රකාශ, “පැහැදිලි සලකුනක් සහිත ව ගාලු මුවදොරට සැපයුම් ලබා දෙමින් උදව් වීමට” කැපකිරීම, “සමාගම්වල බැනර හෝ දෘෂ්‍ය ප්‍රකාශ සමගින්” විරෝධතා භූමියට පැමිනීම් සහ “සේවකයන්ට තම කාර්යාල පරිශ්‍රවලින් පිටත විරෝධතා දැක්වීම” සඳහා අවස්ථාව සම්පාදනය කිරීම විරෝධතා නායකයන් විසින් ඉල්ලා ඇත.

විරුද්ධ පක්ෂවල ව්‍යාපාරික-ගැති දිශානතියට එරෙහි ව, සසප කම්කරු පන්තියට ක්‍රියාකාරී සමාජවාදී ක්‍රියා මාර්ගයක් විස්තාරනය කර ඇත. අප්‍රේල් 7දා නිකුත් කල ප්‍රකාශය තුල, රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස වැඩකරන ජනයා කරන ඉල්ලීම් සමග එකට සිටින බව පැහැදිලි කල සසප, එහෙත් එය පලමු පියවර පමනක් බව විස්තර කලේ ය. “කම්කරු පන්තියේ හිස්වලට තුවක්කුවක් මානාගෙන සිටිමින් දුර දිග යන ඒකාධිපති බලතල දරන විධායක ජනාධිපති ධුරය වහා ම අහෝසි කරන ලෙස” එය කැඳවුම් කලේ ය.

ධනේශ්වරයේ සියලු පක්ෂවලින් සහ කම්කරු පන්තිය යකඩ සැට්ටයකට සිරකර එක් අරගලයකට පසු තවෙකක් පාවා දී ඇති වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, ක්‍රියාකාරී කමිටු කිහිපයක් ගොඩනැගීමට සසප දැනට මත් ක්‍රියාකර ඇත. තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා වන දේශපාලන අරගලයකට සංවිධානාත්මක පදනම දැමීමට, සෑම කම්හලක, වැඩපොලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගන්නා ස්වකීය ක්‍රියාකාරී ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු.

විදෙස් නය සහ ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු විධානයන් ප්‍රතික්ෂේප කිරීම ඇතුලු ක්‍රියාකාරී කමිටුවලට සිය සටන සංවිධානය කල හැකි පිලිවෙත් මාලාවක් සසප ප්‍රකාශය විසින් යෝජනා කලේ ය. මහජනයාගේ දැවෙන අවශ්‍යතා ඉටු කිරීමට, වැඩකරන ජනයාගේ ජීවිතවලට තීරනාත්මක වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම පාලනය කම්කරු පන්තිය තමන් අතට ගැනීම අවශ්‍ය ය.

කම්කරු පන්තියේ එවන් ව්‍යාපාරයක්, ගම්බද දුගීන් ඇතුලු පීඩිත මහජනයාගේ සහයෝගය දිනාගෙන, සමාජවාදී පිලිවෙත්වලට කැප වුනු කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනට පදනම දමනු ඇත. ලංකාවේ කම්කරුවන්ගේ සගයන් වන්නේ, ඔවුන් මෙන් ම ගැඹුරු වන සමාජ අර්බුදයකට මුහුන දෙන දකුනු ආසියාවේ හා ලොව පුරා ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් ය. සමාජවාදී අනාගතයක් සඳහා වන සටන අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර එකකි.

මෙම අරගලයට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසපට බැඳී එය ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading