ව්‍යාජ-වාම පෙසප දක්ෂිනාංශික පක්ෂ සමග සාකච්ඡා පවත්වයි

[මෙය Sri Lankan pseudo-left FSP holds talks with right-wing parties මැයෙන් 2022 මැයි 28 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය සහ අප්‍රේල් මුල පටන් සිදුවන කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගලවල උද්ගමනය විසින් ශ්‍රී ලංකාව සොලවාලනු ලැබ තිබේ. අප්‍රේල් 28 හා මැයි 6 දිනවල පැවති එක් දින මහා වැඩ වර්ජනයන්ට මිලියන ගනන් කම්කරුවෝ සහභාගි වූ හ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්වන ලෙස හා ව්‍යසනකාරී සමාජ කොන්දේසි අවසන් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. එම ඉල්ලීම් සාරභූත වසයෙන් යොමු වී තිබුනේ සමස්ත දේශපාලන සංස්ථාපිතයට ම එරෙහි ව ය.

2022 අප්‍රේල් 28 වැනි දින කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන් විරෝධතාවයේ [ඡායාරූප: WSWS මාධ්‍ය]

දේශපාලන අර්බුදය හේතුවෙන් දුර්වල වී සිටින ජනාධිපති රාජපක්ෂ ධනේශ්වර පාලනය ආරක්ෂා කරගැනීමට, මහජන ව්‍යාපාරය තලා දැමීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ප්‍රතිගාමී කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීමට මංමුලා සහගත වෑයමක යෙදී සිටී.

සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු විරුද්ධ පක්ෂ, තමන්ගේ පැත්තෙන්, මෙම මහජන කෝපය ආරක්ෂාකාරී පාර්ලිමේන්තු මාවත් තුලට හැරවීමට උත්සාහ දරමින් සිටිති. ඔවුන් අතර සුලුපහේ උපායික මතභේද කවරක් වුවත්, ජාමූඅහි න්‍යාය පත්‍රයට සහයෝගය දෙන මෙම පක්ෂ, එය ක්‍රියාවට දැමීමට අන්තර්වාර පාලන තන්ත්‍රයක් හා මහ මැතිවරනයක් සඳහා උද්ඝෝෂනය කරති. කම්කරුවන්ගේ විරුද්ධත්වය සීමා කිරීමටත්, මෙම ධනේශ්වර පක්ෂවලට කම්කරුවන් ගැටගැසීමටත්, ධනපති-ගැති වෘත්තීය සමිති මැදිහත් වී තිබේ.

මෙම කුනු දේශපාලන උපාමාරුවලට ක්‍රියාශීලී ව සහයෝගය දෙමින් සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), සන්ධානයක් කූත්තු කරගැනීම සඳහා විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා අරඹා ඇත. ඒ අතර ම, පන්ති අරගලය විප්ලවීය දිශානතියක් අත් කරගැනීම වැලැක්වීමට එය වෘත්තීය සමිති සමග සමීප සහයෝගයෙන් කටයුතු කරයි.

ධනේශ්වර පාලනයට හා මුර්ග දෙමල-විරෝධී 26-අවුරුදු වාර්ගික යුද්ධයට ජවිපෙ දුන් සහයෝගය නිසා, කම්කරුවන් හා විශේෂයෙන් ම තරුනයන් අතර එය වඩ වඩා අපකීර්තිමත් වීම හේතුවෙන්, ඉන් බිඳී ගිය කන්ඩායමක් 2012 දී පෙසප බිහිකලේ ය. සමස්ත යුද්ධ කාල පරිච්ඡේදය පුරා, අද දින ප්‍රමුඛ පෙලේ පෙසප නායකයන් සිටියේ ජවිපෙ තුල ය. ඔවුන්ගේ බිඳී වෙන්වීම, ජවිපෙහි වර්ගෝත්තමවාදයෙන් හා අවස්ථාවාදී දේශපාලනයෙන් මූලික බිඳීමක් නියෝජනය කලේ නැත.

කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ව්‍යාපාරයකට ඉඩ නොතැබීම සඳහා බාධක යෙදීමේ හා ධනපති පාලනයට මුක්කුව දීමේ මෙම ව්‍යාජ-වාම පක්ෂයේ භූමිකාව ගෙවී ගිය මාස දෙක පුරා ඇති තරම් පැහැදිලි වී ඇත. සමාජවාදය ඈත අනාගතයේ කර්තව්‍යක් ලෙස අවධාරනය කරමින් පෙර දී එය වැහැරූ සමාජවාදී වාගාලාප අතහැර දමා ඇති පෙසප, දූෂනය අවසන් කර නාමික ප්‍රතිසංස්කරන සිදුකිරීම හරහා ධනවාදය ඇතුලත විසඳුම් ලබාගැනීම පිලිබඳ ව ව්‍යාජ අපේක්ෂාවන් දල්වයි.

සජබ, දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා තවත් ව්‍යාජ-වාම කන්ඩායමක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ඇතුලු කුඩා දේශපාලන පක්ෂ සමග ද පෙසප මෑත දී සාකච්ඡා පවත්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමට “එක්සත් පෙරමුනුවලට” එලැඹීමේ කඩතුරාව යටතේ, ප්‍රධාන ධනපති පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උද්ඝෝෂනයන්ට සහයෝගය දීමේ වාර්තාවක් එසප සතුව ඇත.

සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බන්ඩාර සහ කබීර් හෂීම් නායකත්වය දුන් සජබ නියෝජිත කන්ඩායමක් සමග, පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව හා සංජීව බන්ඩාර ඇතුලු පෙසප නායකයෝ මැයි 20දා සාකච්ඡා පැවැත්වූ හ.

පුබුදු ජයගොඩ (ෆේස්බුක් ඡායාරූපය) [Photo: Facebook]

ගැඹුරින් ම අපකීර්තියට පත් එජාපයෙන් භේදවී 2020 මුල දී දක්ෂිනාංශික සජබ බිහිකරන ලදී. හිටපු අගමැතිවරයෙක් වන රනිල් වික්‍රමසිංහ එක ම මන්ත්‍රී ධූරය දරන එජාපය දැන් ලෙල්ලක් බවට පත්ව ඇති පක්ෂයකි. එජාපයේ කම්කරු පන්ති-විරෝධී, ව්‍යාපාර-ගැති හා එක්සත් ජනපද-ගැති වැඩපිලිවෙල සජබ ද අනුගමනය කරයි. ආන්ඩුව ජාමූඅහි සියලු කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කරන බව පෙන්නුම් කිරීම සඳහා, ජනාධිපති රාජපක්ෂ දැන් වික්‍රමසිංහ නව අගමැති ලෙස පත්කර ඇත. සජබ, වික්‍රමසිංහ ආන්ඩුවට කොන්දේසි සහිත සහයෝගය ලබා දෙයි.

දක්ෂිනාංශික ධනේශ්වර සජබ සමග සන්ධානයක් සඳහා උත්සාහ දැරීමේ ලා පෙසපට කිසිදු දුෂ්කරතාවක් නැත. සජබ සමග පැවැත්වූ “පලල් සාකච්ඡාව” පිලිබඳ ජයගොඩගේ ප්‍රමුදිත සටහන් පෙසප ෆේස්බුක් පිටුවේ වාර්තා කර තිබේ. “මේ හදිසි අවස්ථාවේ කෙටි කාලීන ව ජනතාවට ජයග්‍රහන සහ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග ගැන [අපි] කතා කලා” යි ඔහු කීවේ ය.

යතාර්ථයේ දී, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විධානය කරන කප්පාදු පිලිවෙත් පැටවීමේ දී සජබ ආන්ඩුවක් වර්තමාන පාලනය මෙන් ම රුදුරු වනු ඇති නමුත්, වැඩකරන ජනයා මුහුන දෙන සමාජ ව්‍යසනය අවසන් කල හැකි වාහකයක් ලෙස පෙසප එය විලිලජ්ජා නැතිව පුම්බයි.

සජබ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නෙක් ලෙස පුම්බා දැක්වීමට ද පෙසප නරුම ලෙස ක්‍රියාකරයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ආකාරය අරබයා පක්ෂ දෙක අතර “කුඩා වෙනස්කම්” පැවතිය ද එය සම්පූර්නයෙන් ම අහෝසි කිරීම පිලිබඳ එකඟතාවක් පවතින බව ජයගොඩ ප්‍රකාශ කලේ ය. ජනාධිපතිගේ හස්තයේ ඉමහත් බලතල සංකේන්ද්‍රනය කරන ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කරන ලද්දේ, සජබහි මව් පක්ෂය වන එජාපය විසිනි. යතාර්ථයේ දී, විධායක ජනාධිපති ධූරය වහා ම අහෝසි කිරීම යෝජනා නො කරන සජබ හා පෙසප, යෝජනා කරන්නේ එය සංශෝධනය කිරීමකි.

රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) සන්නද්ධ මැරයන් විසින් ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට මැයි 9දා එල්ල කල කායික ප්‍රහාරය -මෙය ආන්ඩුවට එරෙහි විරෝධතාරුවන්ට එරෙහි පොලිස් දඩයමක් සඳහා යොදා ගනිමින් තිබෙන ප්‍රකෝපකරනයකි- පිලිබඳ ව ද පක්ෂ දෙක සාකච්ඡා කලහ. පෙසප නායකයන් ප්‍රකාශ කලේ “මෙම මර්දනය පරාජය කිරීමට” සජබ සිය සහයෝගය දීමට සහතිකවූ බවයි. එය තඹයක් නොවටිනා පොරොන්දුවකි.

එජාපයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී මර්දනයෙහි දීර්ඝ වාර්තාවෙන් දුරස්ථ වී මහජනයාගේ විශ්වාසවන්තභාවයක් ලබාගැනීම සඳහා සජබ නායකයෝ මංමුලා සහගතව සිටිති. සංස්ථාපිතයේ මෙම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී වර්නයන්ගෙන් පින්තාරු කිරීමට පෙසප අනුග්‍රහ පුර්වකව ඉදිරිපත්ව සිටී. මෙම තතුතුල, පෙසප සමග තවත් සාකච්ඡාවක් සඳහා “කාර්ය පත්‍රිකාවක්” සජබ විසින් සූදානම් කරමින් පවතින බව සජබ මන්ත්‍රී හෂීම් සඳහන් කිරීම පුදුමයක් නොවේ.

පෙසප මැයි 18 දා දෙජාස සමග ද ඒ හා සමාන සාකච්ඡාවක් පැවැත්වූයේය. පෙසප එම සාකච්චඡාව නරුම ලෙස යොදා ගත්තේ ද දෙමල ප්‍රභූවේ ප්‍රධාන සංවිධානය වන ධනපති දෙජාස කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන සමාජ ව්‍යසනයට විසඳුම් දිය හැකි හැකි වාහකයක් ලෙස ඔසවා තැබීම සඳහා ය. පෙසප, දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වල ආරක්ෂකයා ලෙස දෙජාස ඉදිරියට දමයි. යතාර්ථයේ දී නම්, ඊනියා ජාතික ප්‍රශ්නයට දෙජාසහි “විසඳුම” වන්නේ, දෙමල කම්කරුවන්, ගොවීන් හා තරුනයන්ගේ වියදමින් දෙමල ධනේශ්වරයට වඩා වැඩි බලතල සහිත බලය විමධ්‍යගත කර ගැනීමයි.

ඒ අතර ම, පෙසප, එහි ජන අරගල මධ්‍යස්ථානය (ජඅම) හා කුඩා වෘත්තීය සමිති, කම්කරු අරගල පීලි පැන්නවීම සඳහා අනෙකුත් වෘත්තීය සමිති සමග සමීප ව වැඩ කරති. අප්‍රේල් 28 හා මැයි 6 පැවති මහා වැඩ වර්ජන ද ඇතුලු ව අප්‍රේල් මුල සිට පුපුරා ගිය කම්කරුවන්ගේ විරෝධතා හා වැඩ වර්ජනවල දී මෙම මැදිහත් වීමේ සාපරාධිත්වය වෙසෙසින්ම කැපී පෙනුනි.

වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව (ටීයූසීසී) සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන (ටීයූඑම්ඕ) මෙම විරෝධතා හා වැඩ වර්ජන කැඳවූයේ, ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස් වී, සජබ හා ජවිපෙහි ඉල්ලීම් සමග එකපෙලට හිටිමින්, එම ආන්ඩුව අන්තර්වාර පාලන තන්ත්‍රයකින් එය විස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටීමට ය. කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කිසිදු ඉල්ලීම් හෝ පිලිවෙත් ඉස්මතු නො කල මෙම වෘත්තීය සමිති පෙරමුනු, කම්කරුවන්ගේ කෝපය ගසාකෑම සඳහා “ගෑස් නෑ, විදුලිය නෑ, ඉන්ධන නෑ” යන හිස් සටන් පාඨ ඉදිරියට දැමූ හ.

ජඅම නායක දුමින්ද නාගමුව හා පෙසපට අනුබද්ධ එක්සත් ගුරුසේවා සමිතියේ ප්‍රධානත්වය දරන සංජීව බන්ඩාර ටීයූසීසීහි හවුල්කරුවෝ වෙති. රාජපක්ෂ පාලනයෙහි අර්බුදයේ මුදුනත දී, මැයි 11දා සිට කැඳවා තිබුනු අඛන්ඩ මහා වැඩ වර්ජනය අතහැර දැමීම ඇතුලු වෘත්තීය සමිති පෙරමුනු දෙකේ තුච්ඡ පාවාදීම්වලට මෙම පෙසප සමිති නායකයෝ පිටුබලය දුන් හ. සමස්ත දේශපාලන සංස්ථාපිතය මෙන් වෘත්තීය සමිති ද එක් දින මහා වැඩ වර්ජන දෙකට සම්බන්ධ වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන් විසින් භීතියට පත්කරනු ලැබිනි.

ප්‍රධාන ලේකම් ගුනරත්නම් විසින් මැයි 11දා ඉදිරිපත් කල පරිදි, වර්තමාන ආර්ථික හා සමාජ අර්බුදයට “ක්ෂනික විසඳුම්” සඳහා පෙසප කරන යෝජනා, එහි ධනපති-ගැති ස්වභාවය මනා ලෙස හෙලිදරවු කරයි. අන්තර්වාර ආන්ඩුවක් සඳහා එය කරන කැඳවුම සජබ හා ජවිපෙහි කැඳවුමට පමනක් නො ව, රටෙහි මහ ව්‍යාපාරික කන්ඩායම් හා ධනපති මාධ්‍ය කරන කැඳවුමට ද මුලුමනින් ම සමාන වේ.

තාවකාලික අන්තර්වාර පාලන තන්ත්‍රයක් සඳහා පෙසප ඉදිරිපත් කරන කරුනු හතේ කැඳවුමට අනුව, මාස හයක් සඳහා පාලන තන්ත්‍රය “පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පත්කිරීම” අවශ්‍ය වේ. “විධායක ජනාධිපති ධූරය අහෝසි කරන හා එය ජනමත විචාරනයකට යොමු කරන නව ජනතා-හිතැති ව්‍යවස්ථාවක්” සූදානම් කිරීම එහි කර්තව්‍යය යි. සමාජ අයිතීන් ලැයිස්තුවක්, අධිකරනමය විමර්ශන, වර්ගවාදය හා ජාතික පීඩනය අහෝසි කිරීම මෙන් ම වෘත්තීය සමිති සහ ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්, ගොවීන්, ධීවරයින්, ශිෂ්‍යයන් හා අනෙකුත් අය නියෝජනය කරන සංවිධාන වෙතින් විස්තීර්න “උපදෙස් ගැනීම” ඇතුලු පලල් “ප්‍රජාතන්ත්‍රවාදී” පිට ඔප දැමීමක් සහිතව එම කැඳවුම විස්තාරනය කර ඇත.

.

මේ සියල්ල වනාහි පවතින අපකීර්තිමත් ධනපති පක්ෂ විසින් සකස් කරනු ලබන, දිවයිනේ සුපිරි-ධනවතුන්ගේ වරප්‍රසාද හා ධනය ද විදේශීය ආයෝජකයන්, බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ද ආරක්ෂා කරන ධනේශ්වර ව්‍යවස්ථාවක් බව සැඟවීම පිනිස දමන පිරුවටයකි.

ධනවාදයේ දේශපාලන සේවකයන්ගෙන් සැදුම් ලත් බංකොලොත් පාර්ලිමේන්තු පද්ධතිය වෙනුවට, කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන සමාජ විනාශය අවසන් කරන පලල් අරගලයක කොටසක් ලෙස වැඩකරන ජනයාගේ ස්වාධීන අරගලයක් මගින් විධායක ජනාධිපති ධූරය වහා ම අහෝසි කිරීමට කැඳවුම් කරන එක ම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි.

පෙසප දූෂනයට එරෙහි ව පෙනී සිටින්නේ, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ආර්ථික අර්බුදයෙහි සැබෑ මූලාශ්‍රය වන්නේ ලාභ පද්ධතිය බව වසං කිරීමට යි. ධනවතුන් මත ඉහල බදු හා විදේශ නය “ප්‍රතිව්‍යුහකරනය” සඳහා එය කැඳවුම් කරතත්, සුපිරි-ධනවතුන්ගේ ධනය අස්වාමික කිරීම හෝ සියලු විදේශ නය මුලුමනින් ම ප්‍රතික්ෂේප කිරීම එයට ඇතුලත් නොවේ.

අර්ථභාරී ලෙස, පෙසප ග්‍රීසියේ සිරිසාවට හා ස්පාඤ්ඤයේ පොදේමෝස් පක්ෂයට තදින් ආකර්ශනය වූ පක්ෂයකි. 2015 දී බලයට පැමිනි ව්‍යාජ-වාම සිරිසා ආන්ඩුව, විනාශකාරී සමාජයීය විපාක ගෙන දෙමින්, රටෙහි ගැඹුරු ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවමින්, මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් ක්‍රියාවට දැමී ය. සමාජවාදී පක්ෂය සමග සභාග ආන්ඩුවකට ඇතුලු වූ පොදේමෝස් පක්ෂය, වැඩකරන ජනයාගේ සමාජ අයිතීන් මතට එය එල්ල කරන ප්‍රහාරයන්ට පිටුබලය දුන්නේ ය.

ශ්‍රී ලංකාව තුල ද එම දේවල්ම කරන ධනපති පාලනය ආරක්ෂා කරගැනීම සඳහා හොඳ ම ආධාරකය තමන් ලෙස දැන් පෙසප තමන් ම ප්‍රවර්ධනය කර ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ සංස්ථාපිත මාධ්‍ය මෙම ව්‍යාජ-වාම කන්ඩායමට සැලකිය යුතු ප්‍රමුඛතාවක් දීමත්, එහි සහයෝගය ලබා ගැනීමට ධනපති පක්ෂ දක්වන උත්සුකතාවත්, පුදුමයට කරුනක් නො වේ.

කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමටත්, සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා වන සටනටත් පෙසප හි හතුරුකම ගලා එන්නේ එහි පන්ති ආස්ථානයෙනි. මෙම පක්ෂය නියෝජනය කරන්නේ වර්ධනය වන කම්කරු-පන්තික අරගලය විසින් භීතියට පත් කරන ලද රටෙහි ඉහල-මධ්‍යම පන්තික කොටස් ය.

පෙසපයේ ව්‍යාජ ජනතාවාදී මවාපෑම හා අන්තර්වාර ධනපති ආන්ඩුවක් සඳහා වන එහි ඉදිරි දර්ශනය ප්‍රතික්ෂේප කරන ලෙස, සසප කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරයි. ලාභ පද්ධතිය හා ජාතික රාමුව ඇතුලත, වැඩකරන ජනයා මුහුන දෙන යෝධ සමාජ ගැටලුවලට කිසිදු විසඳුමක් ඇත්තේ නැත.

විරුද්ධ පක්ෂවල සහයෝගය සමගින් රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව සූදානම් වෙමින් සිටින්නේ, ජාමූඅ විසින් විධානය කරනු ලබන රුදුරු ප්‍රහාර ක්‍රියාවට දැමීමට ය. පෙසප පෙනී සිටින අන්තර්වාර ආන්ඩුව බලයට පැමිනිය ද එය ද ක්‍රියාකරනු ඇත්තේ එම විධානයන් ම ක්‍රියාවට දැමීමටය.

කම්කරු පන්තියට එහි සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගත හැකි ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කර ඇත්තේ සසප පමනි. වෘත්තීය සමිති හා ඔවුන්ගේ ව්‍යාජ-වාම අත්ගෙඩි ද ඇතුලු ධනපති පක්ෂවලින් ස්වාධීන ව, සෑම කම්හලක, වැඩපොලක, වත්තක හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස අපි කම්කරුවන්ට කැඳවුම් කරමු.

විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ කම්කරු පාලනය, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ප්‍රධාන බැංකු හා සංගත ජනසතු කිරීම ඇතුලු ව, මෙම කමිටුවලට සටන් කල හැකි පිලිවෙත් සසප විසින් ඉදිරිපත් කර ඇත. ධනවත් සුලුතරයේ ලාභ වෙනුවට, අතිමහත් බහුතරයේ අවශ්‍යතා ඉටු කරන පරිදි, සමාජය සමාජවාදී ව යලි ගොඩනැගීම සඳහා කැපවුනු කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටනකට පදනම දමන එවන් අරගලයක්, නාගරික හා ගම්බද දුගීන්ගේ පලල් ස්ථර කම්කරු පන්තියේ පාර්ශවයට දිනාගනු ඇත.

ජාත්‍යන්තර ව ඉස්මතු වන කම්කරු පන්තියේ අරගලවල කොටසක් වන මෙම දේශපාලන අරගලය, ලොව පුරා ධනවාදය අහෝසි කිරීම දෙසට යොමු කරනු ලැබිය යුතු ය. සසපට බැඳී මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading