ඉදිරිදර්ශන

කුසගින්න සහ ආහාර මිල ඉහල යාමට වගකිව යුත්තේ කවුරුන් ද?

[මෙය Who is responsible for starvation and rising food prices? මැයෙන් 2022 මැයි 24 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

බයිඩන් පරිපාලනයේ උසිගැන්වීම් මත, ලෝකයේ ධනේශ්වර දේශපාලනඥයන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ව්‍යාපාරික මාධ්‍යවේදීන්ට අනුව ව්ලැඩිමීර් පුටින් විසින්ම පමනක් නිර්මානය කරන ලද ගෝලීය ආහාර අර්බුදය සම්බන්ධයෙන් ඔවුහු කිඹුල් කඳුලු දෝරේ යවමින් සිටිති.

සඳුදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ දී වරප්‍රසාදිත ශ්‍රාවකයක් අමතමින්, යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන්, ඉහල යන ආහාර මිලෙන් 'වඩාත් පීඩාවට පත්වන' 'අස්ථාවර රටවල් සහ අවදානමට ලක්විය හැකි ජනගහනය' සඳහා නව සැලකිල්ලක් ප්‍රකාශ කලාය. හිටපු ජර්මානු ආරක්ෂක ඇමති සාගින්නෙන් 'ලැජ්ජා සහගත ලෙස' ලාභ ලැබීම ගැන රුසියාවට දොස් පවරන විට ප්‍රකෝටිපති සමූහය ශුද්ධවන්තයන් ලෙස අත්පොලසන් දුන්හ. මහා සාගින්නෙන් පෙලීමේ තර්ජනය සමනය කිරීම සඳහා “ලෝක ආහාර වැඩසටහනට අවශ්‍යම වී ඇති සැපයුම් ගැන” අවධානය යොමු කරන ලෙස ඇය ශ්‍රාවකයෙන් ඉල්ලා සිටින විට ගාම්භීර ලෙස ඔවුහු හිස් වැනුවෝ ය.

මේ තනිකරම කුහකකමයි. මාස හයකට පෙර, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ සභාපති ඩේවිඩ් බීස්ලි, “සාගතයට එරෙහිව සටන් කිරීමට උදව් කරන ලෙස ප්‍රකෝටිපතියන්ට වරක් ආයාචනයක්” නිකුත් කරමින් පැහැදිලි කලේ, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් ඔවුන්ගේ සාමූහික ඩොලර් ට්‍රිලියන 13.1 ක ධනයෙන් ඩොලර් බිලියන 6.6 ක් පරිත්‍යාග කලොත් (හෝ මුලු වත්කම් වලින් සියයට 0.04 ක්) 2022 දී ගෝලීය කුසගින්න තුරන් කල හැකි අතර මිලියන ගනනකගේ ජීවිත බේරා ගත හැකි බව ය.

මෙම ඉල්ලීම සිතාගත හැකි පරිද්දෙන්ම බිහිරි අලින්ට වීනා වැයීමක් විය. පසුව ගතවූ මාස හය තුල, විශ්මයජනක තාක්ෂනික දියුනුවක් ඇති නවීන ලෝකයක, මිනිසුන් මිලියන 4.5 ක් සිතේ මවාගත හැකි පැරනි ආකාරයට මිය ගියේය. සෑම වසරකම මිලියන 9 ක ජනතාවක් සාගින්නෙන් මිය ගිය ද ඒ පිලිබඳව ධනේශ්වර මාධ්‍යවල කිසිදු සැලකිල්ලක් නොමැත, යුද ප්‍රචාරනය සඳහා නම් මලවුන් ගැන පමනක් කතා කර යි.

මහා සාගින්න සහ ගෝලීය කුසගින්න පිලිබඳ සැබෑ මූලය ධනවාදයයි. මිලියන 20 ක ජනතාවක් මරා දැමූ කොරෝනා වෛරස් වසංගතය හමුවේ සමාජ අසමානතාවයේ දැවැන්ත වර්ධනය විස්තර කරන වාර්තාවක් මේ සතියේ ඔක්ස්ෆෑම් විසින් නිකුත් කරන ලදී. කෘෂි ව්‍යාපාර කර්මාන්තයේ ඉහල යන ආහාර මිලෙන් මුදල් ඉපැයූ පුද්ගලයන් 62 දෙනෙකු ඇතුලුව “වසංගතය අතරතුර සෑම පැය 30කට වරක්ම සාමාන්‍යයෙන් එක් නව ප්‍රකෝටිපතියෙකු බිහි වී ඇති” බව ඔක්ස්ෆෑම් වාර්තා කලේ ය. 'අපගේ ආහාර පද්ධතියෙන් වැඩි කොටසක් පාලනය කරන සංස්ථා සහ ප්‍රකෝටිපති වංශවතුන් ඔවුන්ගේ ලාභය ඉහල යන බව අත්දකිමින් සිටියි' යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

නිදසුනක් වශයෙන්, ව්ලැඩිමීර් පුටින් “බලය සඳහා කුසගින්න සහ ධාන්‍ය භාවිතා කිරීම” පිලිබඳව වොන් ඩර් ලෙයන්ගේ හෙලා දැකීම කෙරෙන අතරතුරේදී කාගිල්හි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් මැක්ලෙනන් සහ අත්පොලසන් දෙමින් ඊට සහය පලකලා විය හැකි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බ්‍රයන් සික්ස් එහි වූහ. නමුත් ඔක්ස්ෆෑම් වාර්තාවට අනුව, වසංගතය ආරම්භයේ සිට කාගිල් පවුලේ ඒකාබද්ධ ධනය ඩොලර් බිලියන 14.4 කින් වැඩි වී ඇති අතර එය ලෝකයේ කුසගින්නෙන් පෙලෙන අය දෙවරක් පෝෂනය කිරීමට ප්‍රමානවත් වන අතර තවත් බිලියන ගනනක් ඉතිරි වනු ඇත.

කොවිඩ්-19 වසංගතය පෙන්නුම් කර ඇති පරිදි, ධනේශ්වර පන්තිය සිය ධනයෙන් සුලු ම කොටසක් හෝ බෙදා හදා ගන්නවාට වඩා අසීමිත ජීවිත සංඛ්‍යාවක් ඒ වෙනුවෙන් බිලි දීමට සූදානම්ව සිටිති. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ කුලීකාර යුද්ධයේ නිර්මාපකයින්, රුසියාව හා එහි සම්පත් පැහැර ගැනීම සඳහා, කුසගින්න සහ න්‍යෂ්ටික ව්‍යසනය තුලින්. බිලියන ගනන් වැඩකරන ජනතාවගේ ජීවිත බිලි දීමට ඒහා සමානවම සූදානම්ව සිටියි.

වර්තමාන ආහාර මිල ඉහල යාම සම්බන්ධයෙන්, එක්සත් ජනපද ආන්ඩුව සහ එහි අධිරාජ්‍යවාදී සහචරයින් මූලික වශයෙන් වගකිව යුතුය. එක්සත් ජනපද ආන්ඩුවේ අරමුන 'දිගු හා වේදනාකාරී යුද්ධයක්' පිලිබඳව සහතික වීම බව ජෝ බයිඩන් නැවත නැවතත් ප්‍රකාශ කර ඇති අතර, ආහාර මිල ඉහල යාම බොහෝ දුරට එක්සත් ජනපදය ප්‍රමුඛත්වය දරන සම්බාධක වලට දැක්වෙන ප්‍රතිචාරයක කොටසකි. ඊජිප්තුවේ විදේශ ඇමති ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසූ පරිදි, යුද්ධය දිග්ගැස්සීමේ ප්‍රතිඵලයක් ලෙස, “මිලියන ගනනක් මිය යනු ඇත.”

එක් කාර්මාන්ත විශේෂඥයෙක් පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට පැවසුවේ, “මෙය භූ කම්පන තරංගයකි. අසාමාන්‍ය සංඛ්‍යාවක් මිනිස් දුක් වේදනාවලට ගොදුරු වීමේ අවදානම අපි දරන්නෙමු.” යුරේසියා කන්ඩායමේ මැයි 23 වාර්තාවට අනුව, දින 90කදී මිලියන 400ක ජනතාවක් ආහාර අනාරක්ෂිත බවට පත් කර ඇති අතර, එමඟින් මුලු සංඛ්‍යාව බිලියන 1.6ක් දක්වා නංවයි. එම වාර්තාවම පැහැදිලි කරන්නේ, යුද්ධය දිගටම පැවතුනහොත්, මේ වසරේ ගෝලීය ආහාර මිල සියයට 45 කින් ඉහල නඟිනු ඇති බවත්, එය පෙර නොවූ විරූ වර්ධනයක් වනු ඇති බවත්‍ ය.

මේ මාසයේ එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් සම්මත කරන ලද ඩොලර් බිලියන 40ක මිලිටරි ආධාර පනත, හිතාමතාම යුද්ධය දිග්ගැස්සීමට ඉලක්ක කර ඇති අතර එය, වගා කිරීමේ කාල සමයන්ට බාධා කරමින් ආහාර අර්බුදය දැවැන්ත ලෙස තීව්‍ර කරනු ඇත. 'මානුෂීය' ආධාර සඳහා පනත් කෙටුම්පත යොමු කරන සත ගනන හුදෙක් ඇස් බැන්දුමකි. ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය වාඩිලෑමේදී එක්සත් ජනපදය විසින් සපයන ලද “ආධාර” සේම ඒ සියල්ලමත් දූෂිත නිලධාරීන්ගේ සහ අපරාධකරුවන්ගේ සාක්කුවලට යනු ඇත.

මෙම පනතට සහාය දුන් සෑම දේශපාලනඥයෙකුම සහ සෑම සංවිධානයක්ම ඡන්දය දී ඇත්තේ, ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ මුවින් ආහාර උදුරා ගැනීමටය. මෙයට ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ කොර්ටෙස්, බර්නි සෑන්ඩර්ස්, රෂිඩ් ටලිබ්, ඉල්හාන් ඕමාර් සහ ජමාල් බෞමන් ද ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් සහ ජාත්‍යන්තර සමාජවාදී සංගමය, ප්‍රංශ නව ධනේශ්වර විරෝධී පක්ෂය සහ ලෝකයේ හරිත පක්ෂ වැනි ජාත්‍යන්තර 'වාම' කන්ඩායම් ද ඇතුලත් වෙති. යුද්ධයට ඔවුන්ගේ සහයෝගය තුල ඔවුන්, යුද්ධය ව්‍යසනකාරී බලපෑමක් ඇති කරනු ලබන කම්කරු පන්තියට සතුරු ප්‍රවනතා ලෙස නොමැකෙන සලකුනක් තබා ඇත.

ආහාර අර්බුදයේ උත්සන්න වීම කම්කරුවන් විශාල වශයෙන් පන්ති අරගලයට ඇද දමයි. සමාජ අසමානතාවයේ දැවැන්ත මට්ටම් සහ මූල්‍ය වෙලඳපොලවලට නිරන්තරයෙන් මුදල් පොම්ප කිරීම, සියලු නිෂ්පාදනවල සහ මූලික අවශ්‍යතාවල පිරිවැය ඉහල දමමින් උද්ධමන ධාවනය නිර්මානය කර ඇත.

ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂ ඩේවිඩ් බීස්ලි මෑතකදී අනතුරු ඇඟවූයේ, “අපි දැනටමත් කැරලි සහ විරෝධතා අත්දකිමින් සිටිමු - ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, පකිස්ථානය, පේරු හි. සහේල්, බුර්කිනා ෆාසෝ, මාලි, චැඩ් හි දැනටමත් අස්ථායී ගතිකත්වයන් අපි දැක ඇත්තෙමු. මේවා ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල්වල සලකුනු පමනයි.

මිලියන 8.5ක ජනගහනයක් වෙසෙන ටෙහෙරානය වැනි නගරවල කම්කරුවන්ගේ වැඩ වර්ජනවලට සමගාමීව, තිරිඟු පිටි මුල්කොටගත් ප්‍රධාන ආහාර ද්‍රව්‍ය මිල සියයට 300කින් ඉහල දැමීමට විරුද්ධ පෙලපාලි අවුලුවා ඇති ඉරානය පුරා මහජන විරෝධතා දැන් පැන නැගී ඇත. ශ්‍රී ලංකාව, පේරු සහ වෙනත් තැන්වල රටවල් පුරා අඛන්ඩ විරෝධතා සහ වැඩ වර්ජන සිදුවෙමින් පවතී.

සෑම රටකම වෘත්තීය සමිති, පන්ති අරගලය බිඳ දැමීමට සේවය කරන අතර, හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා කම්කරුවන්ට ඒකාබද්ධ අරගලයක යෙදීමට තහංචි දැමීමේ යෙදී සිටි යි.

ටියුනීසියාවේ ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලනයට, හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයන් හොල්මන් කිරීම වැලැක්වීම සඳහා මහා වැඩ වර්ජනයක් සඳහා සූදානම් වන බව නිවේදනය කිරීමට බල කෙරුනි. දකුනු අප්‍රිකාවේ නැඟෙනහිර කේප් ප්‍රදේශය පුරා සෞඛ්‍ය සේවකයින්, මේ මාසයේ වෘත්තීය සමිතිවල අනුමැතියකින් තොරව වැඩ වර්ජනයක නිරත වූයේ ආහාර මිල ඉහල යාමේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය සේවා පද්ධතිය මත වසංගතයේ විනාශකාරී බලපෑම හේතුවෙනි. ආර්ජන්ටිනාවේ කෝර්ඩෝබා හි බස් රථ රියදුරෝ ආහාර සහ අනෙකුත් ජීවන වියදම් සම්බන්ධයෙන් හදිසි වර්ජනයක් ආරම්භ කලහ.

මෙම ව්‍යාපාරය සංවර්ධනය වෙමින් පවතින ලෝකයට සීමා නොවේ. කෝපන්හේගන්හි ගමන් මලු හසුරුවන්නන් පසුගිය සති අන්තයේ ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතාවන්හි මිල ඉහල යාම සම්බන්ධයෙන් හදිසි වර්ජනයක් දියත් කරන ලදී. ඩෙන්මාර්ක පුවත්පත් වලට අනුව, 'ඉරිදා ඩෙන්මාර්ක කම්කරු උසාවිය තීරනය කලේ, ගමන් මලු කාර්ය මන්ඩලය සඳුදා නැවත වැඩ ආරම්භ කල යුතු බවයි, නමුත් එය ඉටු නොවීය.' ප්‍රංශයේ සේන්ට් නසායර් හි ගුවන් යානා සේවකයන් වැටුප් හා ජීවන වියදම් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් දෛනික පදනමින් හදිසි වර්ජන දියත් කර ඇත.

බි‍්‍රතාන්‍යයේ, එංගලන්ත බැංකුව ජීවන වියදම් අර්බුදය හැඳින්වූයේ “ලෝක අවසාන වීනාශය” යනුවෙනි. සියයට 9ක උද්ධමනය සහ ගෑස් සහ විදුලි බිල වාර්තාගත සියයට 54ක ඉහල යාම සමඟ කම්කරුවන් පොරබදමින් සිටියි. ඉප්සොස් නම් සමීක්ෂන ආයතනයේ මත විමසුමකට අනුව, ඉදිරි මාස හය තුල ඉහල යනු ඇති ජීවන වියදම්වල බලපෑම ගැන බ්‍රිතාන්‍යයන්ගෙන් සියයට 85ක් කනස්සල්ලට පත්ව සිටිති.

මෙම පුපුරන සුලු සන්දර්භය තුල, ඉහල යන ජීවන වියදම මත දැවැන්ත වැටුප් වැඩි වීම් ඉල්ලා උතුරු මුහුදේ තෙල් හා ගෑස් කැනීමේ අටලු ගනනාවක කම්කරුවන් 1,000ක් විසින් කරන ලද හදිසි වැඩවර්ජනය, ඉහල යන ජීවන වියදමට එරෙහි සටන පිලිබඳව ගත් කල, කම්කරුවන්, වෘත්තීය සමිති දෙස බලන්නේ පහසුකම් සපයන්නන් ලෙස නොව බාධක ලෙස බවට බලවත් සලකුනකි.. වැඩවර්ජනය සංගත මාධ්‍ය විසින් අවහිර කරන්නේ වුවද, එක් කාර්මික පුවත් වාර්තාවක් සඳහන් කලේ, “වැටුප් විප්ලවය ආරම්භ වී ඇත. අපි එක සමාගමක් වෙත ඇඟිල්ල දිගු කරනවා නොව සමස්තයක් ලෙස ලොව පුරා සියලු කර්මාන්ත වලට පොදු දෙයක් ලෙස එය හඳුනා ගනිමු.”

කෙතරම් සටන්කාමී වුව ද එක් හාම්පුතෙකුට හො සමාගමකට එරෙහි පුද්ගලවාදී අරගලයක අකෘතිය තුල, ගොලීය ආහාර හෝ ජීවන වියදම් අර්බුදයට විසඳුම් සෙවිය නොහැක. සාධාරන මිලට ආහාර හා අනෙකුත් අත්‍යවශය දේ ලබාගන්නාවූ දැවැන්ත ලෙස වැටුප් වැඩිකිරීමේ සටන සඳහා සිය පූර්න සවිය ගොනුකර ගන්නට නම්, වැඩපොලවල්, කර්මාන්ත පමනක් නොව රටවල් හරහා ද ඒකාබද්ධ විය යුතුය.

එම සටන, පාලනය ගෙනියන ආන්ඩු වලට මෙන්ම සමස්ත ධනපති පන්තියටම එරෙහි දේශපාලන අරගලයකි. එය, සෑම තැනකම ජීවිත සුරැකීමටත් නඟා සිටුවීමටත් බෙහෙවින්ම අවශ්‍ය මානව වර්ගයාගේ තාක්ෂනික ජයග්‍රහන හා ශක්තිය විනාශ කරන, අධිරාජ්‍යවාදී යුද්ධයට, එරෙහි සටනකින් තොරව ජයගත නොහැකිය. කුසගින්න සහ හිඟය සදහටම තුරන් කිරීමට, ලෝකයේ නිෂ්පාදන බලවේග කම්කරු පාලනය යටතේ තැබීමත් ධනපතීන් සතු ධනය අත්පත් කර ගන්නාවූත් සමාජවාදී විප්ලවයක් මේ සඳහා අවශ්‍ය කෙරේ.

කම්කරු පන්තියේ මෙම ජාත්‍යන්තර ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමති සියලුම කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අද දින ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානයට සම්බන්ධ වන ලෙසයි.

Loading