සමාජවාදී සමානතා පක්ෂයේ තුන්වැනි ජාතික සම්මේලනය සඳහා හදිසි යෝජනාව: රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීම හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

පහත හදිසි යෝජනාව, 2022 මැයි 14-16 දක්වා මාර්ගගතව පවත්වන ලද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ තුන්වන ජාතික සම්මේලනය විසින් ඒකමතික ව සම්මත කරන ලදී. එය සම්මේලනයේ සම්මත වූ යෝජනා දෙකෙන් පලමුවැන්නයි. දෙවන යෝජනාව සහ සම්මේලනයට එක් කෙරුනු ජාත්‍යන්තර සුබපැතුම් මෙම සතිය අගදී ප්‍රකාශයට පත් කෙරේ.

මෙම යෝජනාව ඉංග්‍රීසි බසින් මෙම සබැඳිය හරහා කියවිය හැකි ය.

***

1. ශ්‍රී ලංකාවේ වත්මන් අත්‍යසමාන දේශපාලන තත්වය මනාව අවබෝධ කරගත හැක්කේ, එය කෝවිඩ්-19 වසංගතය හා රුසියාවට එරෙහිව දැන් සිදුවන එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය මගින් අතිශයින් උත්සන්න කෙරී ඇති ගෝලීය ධනවාදයේ අතිමහත් අර්බුදයේ සන්දර්භය තුල තැබීමෙන් පමනි. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ වැඩෙන මහජන ව්‍යාපාරය දෙසට පක්ෂයේ නිවැරැදි දේශපාලන දිශාවනතියක් වර්ධනය කර ගත හැක්කේ එවන් ජාත්‍යන්තර ප්‍රවිෂ්ටයක් හරහා පමනි.

2. වසංගතය, ලෝක ධනවාදයේ අතිමූලික ප්‍රතිවිරෝධතා – යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය හා අතිශයින් ම ගෝලීයකරනය වූ ලෝක ආර්ථිකය අතර සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය හා සමාජීයකරනය වූ නිෂ්පාදනය අතර ප්‍රතිවිරෝධතා – මතුපිටට ගෙනවිත් ඇත්තේ ඒවා තියුනු පුපුරනසුලු ස්වභාවයක් අත්පත් කර දෙමිනි. යුක්රේනය ඇමක් ලෙස යොදා ගෙන රුසියාවට එරෙහිව ගෙන යන එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය, ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් අතර සෘජු ගැටුමක් දෙසට වර්ධනය විය හැකි අතර එය, ලොව පුරා බිලියන ගනනක ජීවිතවලට තර්ජනය කරමින් තෙවන ලෝක යුද්ධයක අන්තරාය මතු කරයි. යුක්රේන යුද අර්බුදය සහ ඔවුන්ගේ වක්‍ර යුද්ධයේ කොටසක් ලෙස රුසියාවට එරෙහිව එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන් විසින් පනවනු ලැබ ඇති රුදුරු සම්බාධක ගෝලීය පරිමානව ආහාර, ඉන්ධන හා සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟකම හා ඉහල මිල ගනන්වලට තුඩු දී ඇති අතර එය ජාත්‍යන්තරව පන්ති අරගලය උත්සන්න කර තිබේ. ශ්‍රී ලංකාවේ අත්‍යසමාන දේශපාලන තත්වය වර්ධනය වී ඇත්තේ මෙම සන්දර්භය තුලයි.

ගාලු මුවදොර පිටියේ ප්‍රහාරයට එරෙහි ව 2022 මැයි 9දා රාගම දී විරෝධතාවේ යෙදෙන වෛද්‍ය සිසුන් (ඡායාරූපය: ලෝසවෙඅ)

3. ප්‍රධාන වසයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟකම, අහස උසට නගින මිල ගනන් සහ පැය ගනන් දීර්ඝ විදුලි කප්පාදු ආදී වශයෙන් වන, වැඩකරන ජනයා, තරුනයන් හා ගම්බද පීඩිතයන් මුහුන දෙන දැරිය නො හැකි කොන්දේසි අරබයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි ව වැඩෙන මහජන විරෝධතා, කම්කරු පන්තියේ බලගතු මැදිහත් වීමක් සමගින් දැන් තීරනාත්මක ලක්ෂ්‍යයකට ලඟා වී ඇත. අප්‍රේල් 28 හා මැයි 6 දිනවල පැවති එක් දින මහා වැඩ වර්ජන දෙකට ද, විරෝධතාකරුවන්ට ආන්ඩුවේ මැරයන් එල්ල කල ප්‍රහාරයෙන් පසුව මැයි 9දා සිට පැවති මෑත ම මහා වැඩ වර්ජනයට ද, රාජ්‍ය, පුද්ගලික හා අර්ධ-රාජ්‍ය යන සියලු අංශවලින් රට පුරා මිලියන ගනන් කම්කරුවන්, ජනාධිපතිට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සහභාගි වීම, එය ප්‍රදර්ශනය කලේ ය. කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීම සඳහා, විවිධාකාරයේ වර්ගෝත්තමවාදයන් ඇවිලවීම සම්බන්ධයෙන් ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ සතු වාර්තාව මධ්‍යයේ, මෙය අතිශයින් ම අර්ථභාරී ය.

4. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ ආන්ඩු-විරෝධී නැගී සිටීම, කෝවිඩ්-19 වසංගතය හා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය විසින් අතිශය ඉහල මට්ටම්වලට තීව්‍ර කර ඇති, ගෝලීය ධනවාදයේ අතිමහත් ආර්ථික අර්බුදයෙහි බර, කම්කරුවන්ගේ උර මත පටවමින්, ඔවුන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ආන්ඩු හා සංගත විසින් මුදාහරිනු ලබන ප්‍රහාරවලට එරෙහි ව ඉස්මතු වී ඇති කම්කරු පන්තියේ ජාත්‍යන්තර නැගිටීමේ කොටසකි. ගෝලීය ව මෙන් ම, ලංකාවේ මහජන නැගිටීම, රාජපක්ෂ ආන්ඩුවේ හා ධනපති පාලනයේ දේශපාලන අර්බුදය තව දුරටත් ගැඹුරු කර ඇත.

5. අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයට පිටත හා විරෝධතාවන්ගේ අපිකේන්ද්‍රය වන ගාලු මුවදොර පිටියේ සිටි ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එරෙහි ව, රාජපක්ෂ ආන්ඩුවේ මෙහෙයවීමෙන් මැයි 9දා එල්ල කරන ලද ම්ලේච්ඡ මැර ප්‍රහාරය, විරෝධතාකරුවන් මතට මූලික මර්දනයක් මුදාහැරීමට තිරයෙන් පිටුපස සිට ආන්ඩුව සූදානම් කරමින් සිටින විෂකුරු සැලසුම් ගැන ඉඟි කර තිබේ. මෙය වනාහි, මිලිටරිය හා පොලීසිය මත පදනම් වන, ආඥාදායක පාලන රූපයක් කරා මාරු වීමට ආන්ඩුව දරන ප්‍රයත්නයන් තීව්‍ර කිරීමේ සැලැස්මෙහි කොටසකි. පොලු මුගුරු රැගත් මැරයන්ට විරෝධතා භූමියට ඇතුලුවී, විරෝධතාකරුවන්ගේ ඉදිකිරීම් විනාශ කර, ඔවුන්ට ම්ලේච්ඡ ලෙස පහර දීමට ඉඩ දී බලා සිටිමින්, ගාලු මුවදොර පිටියේ යොදවා සිටින පොලීසිය ක්‍රියා කල ආකාරය, පොලීසිය හා මිලිටරිය ඇතුලු ධනේශ්වර රාජ්‍යයේ කොටස්වලින් කිසිදු ආකාරයක ආරක්ෂාවක් තමන්ට නැත යන බලගතු පාඩමක්, වැඩකරන ජනයාට ලබා දී ඇත. රඹුක්කන දී අධික ඉන්ධන මිල ගනන්වලට විරෝධය පෑ නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලීසිය, චාමින්ද ලක්ෂාන් යන කම්කරුවා මරා දමා, තවත් දුසිම් ගනනකට තුවාල සිදුකිරීම තුල පැහැදිලි ව පෙන්නුම් කරන පරිදි, මිලිටරියේ හා පොලීසියේ සැබෑ භූමිකාව වන්නේ, වැඩකරන ජනයාගෙන් හා පීඩිත මහජනතාවන්ගෙන් එන ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කොට, ධනේශ්වර පාලනය රැක දීම යි.

6. ආන්ඩුවට එරෙහි ව තමන් මාසයකටත් අධික කාලයක් තිස්සේ යෙදී සිටින අරගලය තුල, මහජනයා මුහුන දෙන දැවැන්ත අන්තරායන් ද ආන්ඩුව විසින් මෙහෙයවන ලද එවන් මැරයන්ගෙන් සහ පොලීසිය හා මිලිටරිය ඇතුලු ධනේශ්වර රාජ්‍යයෙන් තමා සහ පීඩිත මහජනතාවත් ආරක්ෂා වීමට, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත් වීමක හදිසි භාවය ද මැයි 9දා මැර ප්‍රහාරය මගින් පැහැදිලි ව අවධාරනය කෙරෙයි. ආහාර, ඖෂධ හා ඉන්ධන ඇතුලු සිය දෛනික ජීවිතයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම ඇතුලු ව, ඔවුන්ගේ මූලික අයිතීන් හා අවශ්‍යතාවන් සුරක්ෂිත කරගැනීමට ද, එම මැදිහත් වීම හදිසි අවශ්‍යතාවක් වේ. මෙම අවශ්‍යතා සඳහා වන කම්කරු පන්තියේ අරගලයට නායකත්වය දීම පිනිස, වෘත්තීය සමිති, දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ හා ඒවායේ ව්‍යාජ-වාම අත්ගෙඩිවලින් බිඳී වෙන් වෙමින්, සියලු කම්හල්, වැඩපොලවල්, වතු හා නිවහන් ප්‍රදේශයක ම ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය ය. වතු කම්කරුවන් හා සෞඛ්‍ය කම්කරුවන්, ගුරුවරුන් හා කලාකරුවන් අතර එවන් කමිටු තැනීම මගින්, සසප ගෙන ඇති ආරම්භකත්වය වැඩිදුර විස්තාරනය කරමින්, දිවයින පුරා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පක්ෂය ගෙන යන අරගලය තීව්‍ර කිරීමට මෙම සම්මේලනය ප්‍රතිඥා දෙයි. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ දී ආරම්භකත්වය ගන්නා වැඩකරන ජනයාට, තරුනයන්ට හා ශිෂ්‍යයන්ට උපරිම දේශපාලන සහයෝගය සම්පාදනය කිරීමට පක්ෂය සූදානම් විය යුතු ය.

7. දැනට පැවතීගෙන යන ආන්ඩු-විරෝධී නැගිටීම තුලට කම්කරු පන්තියේ බලගතු මැදිහත් වීම සහ සමස්ත ධනේශ්වර පාලනයට එහි විභව තර්ජනය, හුදෙක් රාජපක්ෂ ආන්ඩුව පමනක් නො ව, ප්‍රධාන වසයෙන් සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු එහි පාර්ලිමේන්තු විපක්ෂය ද භීතියෙන් වෙවුලුම් කවා ඇත. ඔවුන්ගේ ව්‍යාජ-වාම සහචරයන් සහ වෘත්තීය සමිතිවල උදවුව සහිත ව, මහජන ව්‍යාපාරය උගුලට හසු කිරීම සඳහා, “අන්තර්වාර” හෝ “සර්ව-පාක්ෂික” හෝ “ජාතික සමගි” ආන්ඩුවක රූපයේ විකල්ප ධනපති ආන්ඩුවක් වාත්තු කරගැනීමට ඔවුන් යුහුසුලු වී ඇත. කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් මුහුන දෙන බරපතල ප්‍රශ්න එකක් වත්, එවන් විකල්ප ආන්ඩුවක් විසින් නො විසඳනු ඇති බව, සසප බලගතු ලෙස කම්කරු පන්තියට අනතුරු අඟවයි. ගෝලීය ධනවාදයෙහි ඛාදනයේ යුගයේ දී, මහජනතාවගේ කිසිදු සමාජීය හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තහවුරු කිරීමට ධනේශ්වරය මුලුමනින් ම අසමත් ය. දේශීය වසයෙන් මිලිටරි ආඥාදායකත්වය හා ෆැසිස්ට්වාදය ස්ථාපිත කිරීමට හා ජාත්‍යන්තර ව තුන්වන ලෝක යුද්ධයක් දියත් කිරීමට ඔවුන් තර්ජනය කරන්නේ එබැවිනි.

8. රාජපක්ෂගේ සභාග ආන්ඩුවට මූලික වසයෙන් වෙනස් කිසිදු ආර්ථික හා දේශපාලනික පිලිවෙතක් නොමැති ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කිසිදු පක්ෂයක් කෙරෙහි කම්කරු පන්තිය විශ්වාස නො කල යුතු ය. ඕනෑ ම වියදමක් දරා ධනේශ්වර පන්ති පාලනය ආරක්ෂා කිරීමට කැප වී ඇති ඒ සියලු පක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විධානය කරන කප්පාදු පියවරයන් අඛන්ඩ ව ක්‍රියාවට දමනු ඇත. මීට පෙරාතුව ජාමූඅ වෙත ප්‍රවිෂ්ට නො වීම ගැන රාජපක්ෂ ආන්ඩුව විවේචනයට බඳුන් කිරීමට සජබ ක්‍රියාකර ඇති අතර, ජවිපෙ හා පෙසප ජාමූඅ නියෝග කරන කප්පාදු පියවරයන්ට හා එහි නය ප්‍රතිව්‍යූහකරන වැඩසටහනට ඔවුන්ගේ පිටුබලය සංඥා කර තිබේ.

9. සසප සිය අප්‍රේල් ‍ 7 ප්‍රකාශයෙහි විදාරනය කල පරිදි, ආන්ඩු-විරෝධී විරෝධතා ව්‍යාපාරය තුල “ගෝඨා යා යුතුයි!” යනුවෙන් වැඩකරන ජනයා කරන ඉස්මතු කරන ප්‍රධාන ඉල්ලීම පිටුපස පක්ෂය ඍජු ව සිට ගන්නා අතර ම, එය මෙම ප්‍රශ්නය ඉස්මතු කරයි: “ඔහු ව විස්ථාපනය කරන්නේ කුමකින් ද? රාජපක්ෂගේ ඉවත් වීම පමනක් ඉල්ලා සිටීම ප්‍රමානවත් නො වන” අතර, “වර්තමාන දේශපාලන අර්බුදයට ආමන්ත්‍රනය කිරීමේ මූලික පියවරක් ලෙස, එහි දුරදිග යන ඒකාධිපති බලතල සමගින්, කම්කරු පන්තියේ හිස්වලට ඉහලින් තුවක්කුවක් මානාගෙන සිටින විධායක ජනාධිපති ධුරය වහා ම අහෝසි කල යුතු යයි සසප ඉල්ලා සිටී.”

10. ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරයේ අන්තරායකාරී දේශපාලන දිශාවනතිය පිලිබිඹු කරන, එහි සංවිධායකයින් විසින් ඉදිරියට දමා ඇති “දේශපාලනය එපා” යන විධානයට එරෙහි ව ද සසප කම්කරු පන්තියට අනතුරු අඟවයි. ධනේශ්වර සංස්ථාපිතයේ දේශපාලන පක්ෂවල, දශක හතකට අධික පාලනය යටතේ උකහාගෙන ඇති කටුක අත්දැකීම් සමීකරනය කරගනිමින්, ඒ සියලු පක්ෂ කෙරෙහි වැඩකරන ජනයා, තරුනයන් හා ගම්බද දුගීන්ගේ පලල් හතුරුකම පිලිබිඹු කරන අතර ම, “දේශපාලනය එපා” යන සටන් පාඨය යොදාගනු ලැබෙන්නේ, ධනපති පාලනයට එරෙහි කම්කරු පන්තියේ අරගලය පදනම් කල යුතු විප්ලවීය සමාජවාදී දේශපාලනය දැනුවත් ව බැහැර කිරීමට යි. රාජපක්ෂ ආන්ඩුව හා පාලක පන්තිය විසින් කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරය ඉදිරියේ, එය කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කරනු ඇත. ප්‍රතිගාමී ධනේශ්වර දේශපාලනයේ සියලු රූපාකාරයන් නිවැරදි ව ප්‍රතික්ෂේප කරන අතර ම, රාජපක්ෂ පාලන තන්ත්‍රයට හා ධනපති පාලනයට එරෙහි ව සටන් වැදීම පිනිස, වැඩකරන ජනයාට, තරුනයන්ට හා ගම්බද පීඩිතයින්ට විකල්ප සමාජවාදී දේශපාලන ඉදිරි දර්ශනයක් සම්පාදනය කිරීම හදිසි අවශ්‍යතාවකි.

11. පසුගිය වසර කිහිපය තුල කම්කරු පන්තියේ අරගලවල හා විශේෂයෙන් ම වර්තමාන ආන්ඩු-විරෝධී මහජන ව්‍යාපාරයේ සමස්ත අත්දැකීම, ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ද, ඔවුන්ගේ ජාත්‍යන්තර සහකරුවන් මෙන් ම, ආන්ඩුව හා හාම්පුතුන් වෙනුවෙන් කාර්මික පොලිස්කාරකමේ යෙදෙන ද්‍රෝහී භූමිකාව පැහැදිලි ව ම ඉදිරියට ගෙනැවිත් ඇත. වෘත්තීය සමිති වැඩෙන පන්ති අරගල මර්දනය කිරීමට වැඩ කර තිබෙන අතර, ඒවා වැලැක්වීමට ඔවුන් දරන උත්සාහය නොතකා වැඩ වර්ජන පැන නැගුන විට, පසුගිය වසරේ දී ගුරුවරුන් නියැලුනු දවස් 100ට අධික වැඩ වර්ජනයේ දී මෙන් ම, රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කම්කරුවන් හා වතු කම්කරුවන් යලි යලිත් පිවිසුනු වැඩ වර්ජනවල දී ඔවුන් කලාක් මෙන්, ආන්ඩුව හා හාම්පුතුන් විසින් දෙන ව්‍යාජ පොරොන්දු ඩැහැගනිමින් ඒවා පාවාදී ඇත. බහුතරයක් රාජ්‍ය අංශයේ වැඩ වර්ජන තහනම් කර ඇති, රාජපක්ෂගේ මර්දනීය අත්‍යවශ්‍ය මහජන සේවා පනත පිලිබඳ ව, මෙම වෘත්තීය සමිති සියල්ල මාරාන්තික නිහඬතාවක් පවත්වාගෙන යති.

12. වර්තමානයේ වර්ධනය වන රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන විරෝධතා පිලිබඳ ව මෙම වෘත්තීය සමිති සති ගනනක් ගත වන තෙක් මුනිවත රැක්කේ, මෙම යෝධ අර්බුදකාරී තත්ත්වයට කම්කරු පන්තිය කිසිදු ආකාරයකින් ස්වාධීන ව මැදිහත් වීම ද්‍රෝහී ලෙස වලක්වමිනි. කම්කරුවන්ගෙන් පැනනැගුනු වැඩෙන පීඩනය හේතුවෙන්, අප්‍රේල් 28දා හා මැයි 6දා මහා වැඩ වර්ජන දෙකක් කැඳවීමට බලකෙරුනු තතු යටතේ, එම වර්ජනයන් එක් දිනකට සීමා කිරීමට වෘත්තීය සමිති ක්‍රියාකල හ. මැයි 11දා සිට අඛන්ඩ මහා වැඩ වර්ජනයක් කැඳවීමට ඔවුන් කලින් කර තිබූ කැඳවීම, පසුව ඉවත් කරගත්තේ, මැයි 9 මැරප්‍රහාරය ඇතුලු ම්ලේච්ඡ මර්දන සැලසුම් සමගින් ඉදිරියට යා හැකි පරිදි වඩා දුර්වල රාජපක්ෂ ආන්ඩුවේ අත් ශක්තිමත් කරමිනි. ප්‍රහාරය පිලිබඳ ව දැනගැනීමෙන් පසුව, කොලඹ ජාතික රෝහලේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කම්කරුවන් ඇතුලු අංශ කිහිපයක කම්කරුවන්, තමන්ගේ ම තීරන මත අඛන්ඩ වැඩ වර්ජනවලට යාමට තීන්දු කල පසු, මැයි 9දා සිට මහා වැඩ වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිතිවලට සිදු විය. යන්තම් දින දෙකකට පසුව කම්කරුවන්ට පෙරලා වැඩට යන ලෙස නියෝග කරමින්, මෑත ම මහා වැඩ වර්ජනය ද නතර කිරීමට වෘත්තීය සමිති දැන් තීන්දු කර ඇත්තේ, වැඩකරන ජනයාගේ හා පීඩිතයන්ගේ මහජන නැගිටීම මර්දනය කිරීමේ ප්‍රතිගාමී සැලසුම් සමගින් ඉදිරියට යාමට රාජපක්ෂ ආන්ඩුවට හා පාලක පන්තියට වාසිය ලබා දෙමිනි. වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව පිලිබඳ කම්කරුවන්ගේ මෙම සමස්ත කටුක අත්දැකීම, ඔවුන් වෘත්තීය සමිතිවලින් බිඳී, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා දේවල් තමන්ගේ ම අතට ගැනීමේ අවශ්‍යතාව බලගතු ලෙස අවධාරනය කරයි.

13. අප්‍රේල් 7 සිට මැයි 10 දක්වා නිකුත් කරන ලද පක්ෂ ප්‍රකාශයන් මාලාවක් තුල විදාරනය කරන පරිදි, සසප “මහජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීම පිනිස, ක්‍රියාකාරී කමිටුවලට ජීවය සපයන වැඩපිලිවෙලක් හා පිලිවෙත්” ඉදිරිපත් කරයි. ඒවායින් සමහරක් නම්: කුඩා ගොවීන්ගේ, ධීවරයන්ගේ, කුඩා කර්මාන්තකරුවන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ නය අහෝසි කිරීම; සියලු අත්‍යවශ්‍ය භාන්ඩවල හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය අනෙකුත් සම්පත්වල නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීම; බැංකු, මහා සංගත, විශාල වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම; සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම; සහ ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු විධානයන් ප්‍රතික්ෂේප කිරීම යි.

14. ඉහත ක්‍රියා මාර්ගය හා පිලිවෙත් මත, ක්‍රියාකාරී කමිටු හරහා සංවිධානය කරනු ලබන කම්කරු පන්තියේ අරගලය, ගම්බද ගොවීන් හා අනෙකුත් පීඩිත ජනයා තමන් පිටුපස රැලි කරගනිමින්, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පිලිවෙත් සඳහා කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම දෙසට වර්ධනය කල යුතු ය. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා ගෙන යන පලල් අරගලයක කොටසක් වන ලංකාවේ කම්කරු පන්තියේ මෙම සටන, ඔවුන්ගේ දකුනු ආසියානු හා ගෝලීය පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුවී ගෙන යා යුතු ය.

15. වර්ගෝත්තමවාදයේ විවිධ රූපාකාරයන් ඇවිලවීමට, රාජපක්ෂ ආන්ඩුව හා පාලක පන්තියේ අනෙකුත් කොටස් දරන උත්සාහයන්ට විරෝධය දක්වමින්, වත්මන් ආන්ඩු-විරෝධී නැගිටීමේ දී පැහැදිලි ව ප්‍රකාශ කෙරී ඇති, කම්කරු පන්තියේ එකමුතුව ආරක්ෂා කර ගනිමින් හා වැඩිදුර ශක්තිමත් කරගැනීමට ක්‍රියා කල යුතුය. පන්ති සමගියේ මෙම වෛෂයික එකමුතුව සඳහා දේශපාලන උදීරනය සැපයීම පිනිස, ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියා මාර්ගය හා ඉදිරි දර්ශනය මත පදනම් ව, කම්කරු පන්තිය දේශපාලනික ව සන්නද්ධ කිරීමට, සසප සටන් වැදිය යුතු ය.

16. රාජපක්ෂ ආන්ඩුවටත්, සමස්තයක් ලෙස ධනේශ්වර පාලනයටත් එරෙහි එහි තීරනාත්මක අරගලයේ දී, ඉන්දියාවේ හා අනෙකුත් දකුනු ආසියානු රටවල ද ජාත්‍යන්තර ව ද තමන්ගේ පන්ති සහෝදරයන්ට සහයෝගය පතා විශේෂ ආයාචනයක් කිරීමට, ලංකාවේ කම්කරු පන්තිය හැරවීමට සසප ආරම්භකත්වය ගත යුතු ය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලබන මේ හා සමාන ආයෝජක-ගැති ආර්ථික ප්‍රතිසංස්කරන සහ ඒ හා බැඳුනු කප්පාදු පියවරයන්ට එරෙහි ව, ඉන්දියාව පුරා කම්කරුවන් කෝටි ගනනක් මාර්තු 28-29 දෙදින මහා වැඩ වර්ජනයකට එක් වූ හ. එය වනාහි, ගෙවීගිය කාලපරිච්ඡේදය තුල ඉන්දියානු කම්කරු පන්තිය නියැලුනු අරගල මාලාවකින් නවතම එකයි. ධනේශ්වර පාලනයට එරෙහි ඔවුන්ගේ පොදු අරගලයේ දී, ලංකාවේ හා ඉන්දියාවේ කම්කරු පන්තියේ එකමුතුව සඳහා බලගතු පදනමක්, මෙම වර්ධනයන් විසින් සපයනු ලබයි.

2011 පෙබරවාරි 4 වැනි දා ටරීර් චතුරශ්‍රයේ මහජන විරෝධතා (මූලාශ්‍රය: විකිපීඩියා)

17. මිලිටරි ආඥාදායකත්වයකට මගපාදමින්, ධනපති මුස්ලිම් සහෝදරත්වයේ හා ව්‍යාජ-වාම විප්ලවීය සමාජවාදීන්ගේ (ආර්එස්) ඒකාබද්ධතාවක් විසින් ම්ලේච්ඡ ලෙස පාවා දුන්, ඊජිප්තුවේ සිය පන්ති සහෝදර සහෝදරියන් විසින් 2011 දී දියත් කරන ලද ධෛර්යය සම්පන්න විප්ලවවාදී අරගලයෙන්, ලංකාවේ කම්කරු පන්තියට අගනා පාඩම් උකහාගත හැකි ය. 2011 දී, හොස්නි මුබාරක්ගේ දශක ගනනක් පැවති ආඥාදායක පාලන තන්ත්‍රය පෙරලා දැමීමට, කම්කරුවන්ගේ හා පීඩිත මහජනයාගේ මහජන නැගී සිටීම සමත් වුවත්, ජාතික ධනේශ්වරයේ කන්ඩායම්වලට කම්කරු පන්තිය යටත් කරමින්, මිලිටරිය පිලිබඳ මිථ්‍යාවන් දැල්වූ ආර්එස් විසින් පහසුකම් සපයන ලදුව, මුබාරක්ගේ හිටපු ආරක්ෂක ඇමති මොහොමඩ් තන්තාවි යටතේ බලය යලි අත්පත් කරගැනීමට මිලිටරියට හැකි විය. 2012 වසරේ මිලිටරි පාලනය යටතේ පැවැත්වූ මැතිවරනයේ දී, බලයට ඒමට මුස්ලිම් සහෝදරත්වයට (එම්බී) උදවු කරමින්, මහජන විරෝධය එය පිටුපසට අපසරනය කිරීමට ආර්එස් ක්‍රියා කලේ ය. 2013 දී එම්බී ආන්ඩුවට එරෙහි මහජන කෝපය වර්ධනය වූ විට, ආර්එස් යලිත් මිලිටරියට පිටුබලය දුන් අතර, මුබාරක්ගේ හිටපු ජනරාල් අබ්දෙල් ෆාටා අල්-සිසිගේ කුමන්ත්‍රනයක් හරහා මිලිටරි බලයට පත් විය. දේශපාලන විරුද්ධවාදීන් මැඩීමේ දී දේශපාලන සිරකරුවන් 60,000ට අධික පිරිසක් රඳවා ගනිමින් හා දහස් ගනනක් ඝාතනය කර ඇති ම්ලේච්ඡ ආඥාදායකත්වයක් හරහා අල්-සිසි එතැන් සිට ඊජිප්තුව පාලනය කර ඇත. සන්නද්ධ හමුදා වීදි බැස්සවීමට ක්‍රියාකරන අතර ආන්ඩුවක් තැනීමට රාජපක්ෂ විරුද්ධ පක්ෂ සමග දමන අඛන්ඩ උපාමාරු, ජවිපෙ ඇතුලු සියලු පාර්ලිමේන්තු පක්ෂ එයට දෙන නිහඬ අනුමැතිය සහ ව්‍යාජ-වාම පෙසප ඉටු කරන භූමිකාව, මෙම ක්‍රියා දාමයන් ලංකාව තුලට පැමිනීමට ඉඩ ලබා දෙයි. එවන් ව්‍යසනයක් නතර කිරීමට නම්, දැන් කර්තව්‍යය වන්නේ, දැනටමත් පවතින සසප, කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීම සහ දකුනු ආසියාව තුල ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමයි.

18. මේ වසර ආරම්භයේ පටන්, වැඩ වර්ජන හා විරෝධතා සමගින්, ලෝකය පුරා -එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව ඇතුලු ව- කම්කරු පන්තිය, ශිෂ්ට සම්පන්න වැටුප්, වඩා හොඳ වැඩ හා ජීවන කොන්දේසි සඳහා ද අන්තරායකාරී අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ වැඩ කරවීමට පාලක පන්තිය දරන උත්සාහයන්ට එරෙහි ව ද යුක්රේනය මැදි කරගෙන එක්සත් ජනපද-නැටෝ සන්ධානය යෙදීගෙන සිටින වක්‍ර යුද්ධය විසින් ප්‍රේරනය කරන ලද අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ හිඟයන්ට හා අහස උසට නගින මිල ගනන්වලට එරෙහි ව ද අරගලවලට පිවිසී ඇත. ඔවුන්ගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහි ඔවුන්ගේ අරගල, ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවනයක කොටසක් ලෙස දැකගත යුතු ලංකාවේ කම්කරු පන්තිය,   එම ජාත්‍යන්තර ව්‍යාපාරය සමග එකමුතු විය යුතු ය. ඒ සඳහා, ලංකාවේ කම්කරුවන් ගොඩනගන ස්වාධීන ක්‍රියාකාරී කමිටු, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ආරම්භකත්වය ගෙන ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) සමග සම්බන්ධ කිරීම අවශ්‍ය ය.

19. මෙම අත්‍යසාමාන්‍ය දේශපාලන තත්ත්වයේ දී වඩාත් ම තීරනාත්මක වන්නේ, කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීම යි. මේ මහජන නැගිටීමේ දී, කම්කරුවන්, තරුනයන් හා ගම්බද පීඩිතයන් අතර පක්ෂයේ කේඩරයන් කර ඇති අඛන්ඩ ක්‍රියාකාරී දේශපාලන මැදිහත් වීම් හරහා ලඟා කරගත් වැදගත් ජයග්‍රහන තක්සේරු කරමින්, එම ඉලක්කය කරා ලඟාවීමට ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත සිය දේශපාලනික හා න්‍යායික අරගලය වැඩිදුර වර්ධනය කිරීමට සසප ක්‍රියා කලයුතු ය.

Loading