තොටලඟ කජීමා වත්තේ නිවැසියෝ ඉහල යන ජීවන වියදම සහ උග්‍ර නිවාස ප්‍රශ්නය ගැන ලෝසවෙඅ ට කතා කරති

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කන්ඩායමක් පසුගිය සති අන්තයේ, කොලඹ තොටලඟ කජීමාවත්තේ නිවැසියන් මුන ගැසී ඔවුන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි පිලිබඳව සාකච්ඡා කලහ. ඔවුන්ගෙන් බහුතරයක්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ “කොලඹ සංවර්ධන වැඩසටහන” යටතේ, විවිධ ප්‍රදේශ වලින් ඉවත් කොට, බලහත්කාරයෙන් එහි පදිංචි කරවූ දුගී පවුල් වල සමාජිකයේ වෙති. ඔවුන් කලින් පදිංචිව සිටි නිවාස වලින් ඉවත්කොට ඇත්තේ ඒවා 'අනවසර' ඉදිකිරීම් ලෙස නම් කරමිනි. ඇපල් වත්ත ඇතුලු තවත් ප්‍රදේශවලින් ඉවත් කල නිවැසියන් ද 2014 සිට කජීමාවත්තේ පදිංචි කර ඇත.

ස්ථීර රැකියා නොමැති කොලඹ නගරයේ කුඩා හෝටල්වල සේවකයෝ, නාට්ටාමිවරු, පදික වෙලෙන්දෝ සහ ත්‍රීවීල් රියදුරෝ තම පවුල් සමග මෙහි ජීවත් වෙති. ඔවුහු, බඩු මිලෙහි දැවැන්ත ඉහල යාමෙන් සහ ගෘහස්ත ගෑස් ඇතුලු ඉන්ධන හිඟයෙන් වඩාත්ම පීඩා විඳින ජන කොටස් වලට අයත් වෙති.

පිටකොටුවේ නාට්ටාමි කෙනෙකු වශයෙන් වැඩ කරන කම්කරුවකුගේ කුඩා නිවසේ ඔහුගේ බිරිද, විවාහක පුතෙකු සහ දුව ජීවත් වෙති. ජීවන වියදම ඉහල යෑම සහ පවතින දුෂ්කර කොන්දේසි පිලිබඳව ඔහු මෙසේ විස්තර කලේ ය.

“දැන් ගෑස්, භූමිතෙල් නැහැ, දරවලින් තමයි උයන්නෙ. දර මිටියක් රු 40 යි. ඒ මිටියක් දවසකටවත් මදි. දැන් බතුයි හොද්දකුයි විතරයි කන්න පුලුවන්. කඩේ කෑම එකක් රු 250 යි, 350 යි. දැන් මාසෙකට දවස් 15 ක් විතර තමා වැඩ තියෙන්නේ, දවසකට රු 1,500 ක් විතර ලැබෙනවා.“

ආදායම් අඩුවීමට ප්‍රතිකූලව ආහාර මිල ගනන් පිම්මේ ඉහල ගොස් ඇති ආකාරය ඔහු මෙසේ විස්තර කලේ ය. “පොඩි ඇන්කර් කිරිපිටි පැකට් එක රු 70 ටයි අපි කලින් ගත්තේ දැන් රු 170 යි. එක පාර සීයක් වැඩි කරා. සීනි කිලෝව තුන්සිය ගානක්. හාල් රු 2,30යි. පරිප්පු රුපියල් 650 යි. රු 150 ට ගත්තු සාලයො ගෑම් 500 දැන් රුපියල් 500 යි. ලොකුමාලු කන්න ගියොත් රු 2,000 ක් 3,000 ක් යනවා“.

ගෑස්, භූමි තෙල් නො මැති වීමෙන් මෙම ජනයා දර ලිප් භාවිතයට හුරු වී ඇතැත් පිටපලු වැනි ලී, තහඩු සහ රෙදි එල්ලා කාමර වෙන්කර ඇති මෙම පැල්පත් නිවාසවල දර ලිප් භාවිතය ඉතා අනතුරුදායක තත්වයක් උද්ගත කර තිබේ.

කජීමාවත්තේ අප්‍රේල් මාසයේ සිදුවූ ගින්නකින් වත්තේ පැල්පත් 25

අප්‍රේල් මාසයේ සිදුවූ ගින්නකින් වත්තේ පැල්පත් 25කට අධික ප්‍රමානයක් ගිනිගෙන විනාශ වී ඇත. ගින්නේ නිවාස අහිමිවූවන් මාස දෙකක් පමන ජීවත් වන්නේ අවම පහසුකම් හෝ නොමැති වත්තේ ප්‍රජා ශාලාවේ ය. ගින්නෙන් දැවුනු නිවාස යලි සකසා නොදී, ජූනි 15 දින වනවිට රු 20,000 ක සොච්චමක් ලබාදීමේ පොරොන්දුව මත ඔවුනට ප්‍රජා ශාලාවෙන් පිටවෙන ලෙස බලධාරීන් දන්වා ඇත.

ගින්න ගැන විස්තර කල නාට්ටාමිවරයාගේ බිරිඳ පැවසුවේ 'වතුර බවුසරය එක විනාඩි පහක් හෝ පරක්කු වුනානම්' තම නිවසත් තවත් නිවාස කිහිපයකුත් විනාශ වන බවයි. “වැස්සට තෙමෙනවා, අව්වට වේලෙනවා. ගංවතුරට යටවෙනවා. මෙතැනට ඇවිත් අවුරුදු 8 ක් වෙනවා. අවුරුදු අටම දුක් විඳිනවා.“

තමන් තට්ටු නිවාසවලට යාමේ බලාපොරොත්තුවෙන් හිතාමතා මෙම ගිනි තැබීම සිදුකලා යනුවෙන් පොලීසිය ව්‍යාජ චෝදනාවක් කල බව නිවැසියෝ ලෝසවෙඅ පැවසූහ. ඔවුහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරති.

මේ වසරේ මාර්තු 2 දා මෙම පැල්පත් වලට කඩාපැනීමක් කල පොලිසිය, අනවසරයෙන් විදුලිය ලබා ගත්තේ යයි චෝදනා නගමින් නිවැසියන් 128ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීය. මෙම නිවැසියන්ට නීත්‍යනුකූලව විදුලි බලය ලබා ගැනීමේ අවසරය පවා බලයට පත් ආන්ඩු විසින් අහුරා දැමීමෙන් මෙසේ අන්තුරු දායක තත්වයකට තල්ලු කර දමා තිබේ.

ගින්ෙනන් විනාශ වූ පසු නැවත ගොඩනඟා ගත් නිවාසය

කොලඹ ඇතුලු නාගරික පැල්පත්වාසි ජනයා මුහුන දෙන කටුක ආර්ථික හා සමාජ කොන්දේසි කජීමා වත්තේ නිවැසියන් මුහුන දෙන තත්වය මගින් මනාව නිරූපිත වේ. මෙම මහජනයා මුහුන දෙන නිවාස අර්බූදයට ප්‍රධාන හේතුව වන්නේ කොලඹ ඇතුලු නාගරික ප්‍රදේශවල වටිනා ඉඩම් ආයෝජකයන්ට පැවරීමේ ධනපති පාලකයන්ගේ ක්‍රියාදාමයන් ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කොලඹ නගරය තුල වටිනා ඉඩම් විදේශීය සමාගම් වලට දීර්ඝ කාලීනව බදු දුන්නේ ය. 2013 දී කොම්පඤ්ඤවීදියේ නිවැසියන් බලහත්කාරයෙන් ඉවත්කර අක්කර 8ක් (හෙක්ටයාර් 2.4 ක) ඉඩමක් ඉන්දියානු ටාටා සමාගමට වසර 99කට බදුදෙන ලදී. තවත් අක්කර 3 ක් (හෙක්ටයාර 1.2) පාකිස්තානයේ ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගමට බදු දුනි. කොලඹ නගරය දකුනු ආසියානු වානිජ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ සැලසුමේ කොටසක් ලෙස මෙම බදුදීම් සිදු කෙරිනි.

පසුව 2015 බලයට පත්වූ සිරිසේන-වික්රමසිංහ ආන්ඩුව විසින්, “මෙගාපොලිස්” වැඩපිලිවෙල යටතේ, 2016 පෙබරවාරි මාසයේ කජීමා වත්තේ නිවාස විශාල ගනනක් කඩා දමා, ජලය හා විදුලි සැපයුමද විසන්ධි කලේය. මෙයට එරෙහිව පැන නැගුනු ජනතා විරෝධය නිසා නිවාස සම්පූර්නයෙන් ඉවත් කිරීම තාවකාලිකව හකුලා ගැනීමට ආන්ඩුවට සිදු සිදුවිය.

2016 දී එහි පදිචියට පැමිනි තරුනයෙක් මෙසේ කීවේය: “2016 දී ගෙවල් කැඩුවා, ඊටපස්සෙ පාලම උඩ උද්ඝෝෂනය කලා. පස්සෙ තමයි ආයෙ ගෙයක් හදා ගත්තෙ. අපිට මහල් නිවාස දෙනව කියල නිවාස සංවර්ධන අධිකාරිය (යූඩීඒ) තුන්ඩුත් දුන්නා.' ඔහු තවදුරටත් පැවසුවේ මට්ටක්කුලිය ලංකා ඔක්සිජන් නිෂ්පාදනාගාරය අසල ඇති තට්ටු නිවාස තමන්ට ලබා දෙන බවට පොරොන්දු වූවත් එම නිවාස කිසිවෙකුටත් ලබා නොදී තවමත් වසා දමා ඇති බව යි.

අප්‍රේල් මාසයේ සිදු වූ නිවාස ගිනි ගැනීම ගැන විස්තර කරමින් ඔහු මසේ පැවසීය: “මෙතන ගෙවල් 26 ක් ගිනිගත්ත. සල්ලි ටිකක් තිබුන අය ගෙවල් හදා ගත්තා. ග්‍රාමසේවක මහත්තය විතරයි ආවේ. එයා කිව්ව තහඩු දෙන්නම් කියල, රු. 20,000 ක් සල්ලි දෙන්නම් කිව්වා. මන්ත්‍රීලත් ආවා ඔවුන්ට අපේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.“

දරුවන් තිදෙනෙකුගේ මවක් සාකච්ඡාවට අවතීර්න වූවා ය. ඇය 2014 දී කජීමා වත්තට පැමිනි බවත් තම පවුලට මෙම ස්ථානයේ ලිපිනයෙන් ඡන්දය පවා හිමි බවත් ඇය පැවසුවා ය. “අපි මීට පෙර 219 වත්තෙ කුලියට හිටියෙ. අපේ ගෙවල් හදිසියේම උදුර ගත්තා ගෙවල් දෙනව කියල. දුප්පත්කම නිසාම කව්රුවත් අපිට මේ පැත්තෙ ගෙවල් කුලියට දුන්නෙ නෑ. අපිට යන්න එන්න තැනක් නැතිව මේ වත්තට ආවා“.

ඇය තවදුරටත් ප්‍රකාශ කලේ 2019 ජනාධිපතිවරනයට පෙර සිය ගනනකට නිවාස දෙන බව පැවසුව ද මෝදර උයනේ සහ සත්සර උයනේ නිවාස ලැබුනේ පවුල් කිහිපයකට පමනක් බවයි. ඉතිරි බහුතරයකට ඡන්දයෙන් පසු දෙන බවට කල පොරොන්දු තවම ඉටු වී නැත.

“අපිට නොලැබිච්ච හේතුව දන්නේ නැහැ. දැන් අපි යූඩීඒ (නගර සංවර්ධන අධිකාරිය) එකට ගියාම කජිමවත්තෙ කිව්වහම අපිව ඔෆිස් එක ඇතුලට ගන්නේ නැහැ. ෆයිල් පරන වෙලාලු.”

ඇය තවදුරටත් මෙසේ පැවසුවාය.'මෑත ගින්නෙන් පසුව අපි කන්ඩායමක් ආයෙත් යූඩිඒ එකට ගියා. ඔයගොල්ලන්ට ගෙවල් දෙන්නේ නැහැ, කජිමවත්තේ ගෙවල් කඩල ඉවත් කරන්නයි ඉන්නේ කියල ඒකෙ නිලධාරි‌යෙක් කිවුවා. අපි මේ ගෙවල්වල වල සෑහෙන්න දුක් විදිනවා. 2016 ත් බැකෝ දාල ගෙවල් කැඩුවා, මිනිස්සු කූඩාරම් ගහගෙනයි හිටියෙ. අනවසර කිව්වාට අපිටත් ඉගෙනගන්න ලමයින් ඉන්නවා. අපි කැමතියි ලමයි පිලිවෙලකට හැදෙනවනම්.'

ඇගේ දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් පිරිමි දරුවා මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ පුහුනවක් ලබා ගනිමින් සිටින අතර තවත් දුවක් පාසැල් අධ්‍යාපනයේ නිරත වන්නීය. ස්වාමිපුරුෂයා කුලී වැඩකර දිනකට උපයන්නේ රු. 1,500 ක් පමනි.

රුසියාවට එරෙහිව ඇමරිකාව හා නේටෝව දිගේලි කර තිබෙන යුද්ධය, එමගින් වර්ධනය කර තිබෙන ආහාර අර්බූදය පිලිබඳව ලෝසවෙඅ වාර්තාකරුවෝ නිවැසියන් සමග සාකච්ඡා කලහ. මෙම යුද්ධය ලෝක යුද්ධයක් දිශාවට වර්ධනය විය හැකි බවත්, එය වලකාලීම සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යබවත් ඔවුන්ට පහදා දුන්හ.

Loading