ඉදිරිදර්ශන

මිලියන ගනනක් අරගල ක්‍රියාමාර්ග කරා තල්ලු වෙද්දී බ්‍රිතාන්‍යයේ වැඩ වර්ජන රැල්ල උත්සන්න වේ

[මෙය Britain’s strike wave escalates as millions push for action යන මැයෙන් 2022 අගෝස්තු 17 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

බ්‍රිතාන්‍යය දශක ගනනාවක් තුල නොවූ විරූ පරිමානයේ වැඩ වර්ජන රැල්ලකට මුහුන දෙමින් සිටී.

දුම්රිය, නාවුක හා ප්‍රවාහන සංගමය (ආර්එම්ටී) සහ ප්‍රවාහන වැටුප් කාර්ය මන්ඩල සංගමය (ටීඑස්එස්ඒ) නියෝජනය කරන 40,000 කට අධික දුම්රිය සේවකයින් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ජාතික දුම්රිය වැඩවර්ජන අඛන්ඩව ඉදිරියට යනු ඇත. ලන්ඩන් එක්සත් බස් කම්කරුවන් 1,600 ක් සමඟ ලන්ඩන් උමං (Underground) සහ භූමිය මතුපිට (Overground) ආර්එම්ටී සාමාජිකයින් 10,000 ක් සිකුරාදා වැඩ වර්ජනය කරනු ඇත.

එක්සත් රාජධානියේ ආර්ථිකයට දැවැන්ත ලෙස බලපාන ක්‍රියාමාර්ගයක දී, සියලුම බහාලුම් භාන්ඩ ප්‍රවාහනයෙන් අඩකට වගකියන එක්සත් රාජධානියේ ෆීලික්ස්ටෝ වරායේ කම්කරුවන් 1,900 ක් ඉරිදා දින අටක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ඇත. බ්‍රිතාන්‍යයේ සිවුවැනි විශාලතම වරාය වන ලිවර්පූල් වරායේ වැඩ වර්ජනය කිරීමට ද කම්කරුවන් 500 කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

සන්නිවේදන සේවක සංගමයේ රෝයල් මේල් සේවකයින් 115,000 කට ආසන්න පිරිසක් අගෝස්තු 26 සහ 31 ද, සැප්තැම්බර් 8 සහ 9 ද යන දිනවල වැඩවර්ජනය කරනු ඇත. එම සංගමයේම තවත් බීටී ටෙලිකොම් සේවකයින් 50,000 ක් අගෝස්තු 30 සහ 31 යන දිනවල වැඩවර්ජනය කරනු ඇත. තැපැල් කාර්යාල සේවකයියෝ අගෝස්තු 26, 27 සහ 30 යන දිනවල ඒ හා එක්වෙති.

කම්කරුවන් අතර කෝපාවිෂ්ට සහ අධිෂ්ඨානශීලී මනෝභාවය ප්‍රබල ලෙස තහවුරු කරමින්, ඇමේසන් හි දහස් ගනනක් සම්බන්ධ වූ හදිසි වැඩ වර්ජන වෘත්තීය සමිතිවලට පිටින් සිදු වී ඇති අතර එක්සත් රාජධානියේ අත්‍යවශ්‍ය බලශක්ති යටිතල ව්‍යුහය අලලාගෙන උප කොන්ත්‍රාත්කාර සමාගම් හි දෙසතියකට වරක් ඒවා අඛන්ඩව සිදුවෙමින් පවතී.

මෙම වැඩ වර්ජන සිදුවන්නේ යුරෝපය පුරා හා ජාත්‍යන්තරව ද කම්කරුවන් සැලකිය යුතු කාර්මික ක්‍රියාමාර්ග වෙත අවතීර්න වෙමින් සිටින විටදීය . ඉතාලිය, ග්‍රීසිය සහ බෙල්ජියම යන රටවල එක්දින මහා වැඩවර්ජන පවත්වා ඇත. තුර්කිය පුරා වැඩ වර්ජන රැල්ලක් පැතිර ගොස් ඇත, ස්පාඤ්ඤයේ රයන් එයාර් හි මාස පහක වැඩ වර්ජන සැලසුම් කිරීම ඇතුළුව යුරෝපයේ විශාලතම ගුවන් සමාගම් කිහිපයකට එරෙහිව ප්‍රධාන අරගල ක්රියාමාර්ග ගෙන ඇත.

1930 ගනන්වල මහා අවපාතයට පමනක් සංසන්දනය කල හැකි ජීවන තත්වයන්හි ව්‍යසනකාරී කඩාවැටීමක් විසින් කම්කරුවන් අරගලයකට තල්ලු කෙරෙමින් තිබේ. දශකයකට වැඩි කාලයක් එකතැන පල් වෙමින් පවතින එක්සත් රාජධානියේ වැටුප්, වාර්තාගත වේගවත්ම අනුපාතයට අනුව අප්‍රේල්-ජූනි දක්වා වසර තුල ආර්පීඅයි උද්ධමනයට සාපේක්ෂව අති විශාල ලෙස සියයට 7 කින් පහත වැටී ඇත. ලබන අප්‍රේල් වන විට සාමාන්‍ය බිල්පත් වසරකට පවුම් 4,426 දක්වා ඉහල යනු ඇති අතර, කුටුම්භවලින් තුනෙන් දෙකක් ඉන්ධන දරිද්‍රතාවයෙන් ශීත කාලයකට මුහුන දෙති. මිලියන ගනනකට තම පවුල් නිසි ලෙස පෝෂනය කිරීමට පවා නොහැකි ය.

වැඩෙන මහජන ව්‍යාපාරය විසින් කම්කරු පන්තිය, ඔවුන්ගේ අරගලය මැඩපැවැත්වීමට සහ කඩාකප්පල් කිරීමට මංමුලා සහගත ලෙස වැඩ කරන වෘත්තීය සමිති සමගත්, විපක්ෂය වන ලේබර් පක්ෂයේ සක්‍රීය සහයෝගීතාවය ඇතිව, අවශ්‍ය ඕනෑම ආකාරයකින් අර්බුදයේ සම්පූර්න බර කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් මත පැටවීමට උත්සාහ කරන කොන්සර්වේටිව් ආන්ඩුව සමගත් සෘජු ගැටුමකට ගෙන එයි.

මේ මාසයේ 200,000 කට අධික කම්කරුවන් වැඩවර්ජනයක යෙදී සිටින නමුත්, කම්කරු පන්තියේ විශාලතම බලඇනි වෘත්තීය සමිති නිලධරය විසින් හිතාමතාම ඉවත් නොකලේ නම්, මෙම ගනන මිලියන 3 කට ආසන්න වනු ඇත.

ජාතික සෞඛ්‍ය සේවයේ මිලියනයකට අධික කම්කරුවන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ පලාත් පාලන ආයතනවල තවත් මිලියනයකට වඩා වැඩි පිරිසක් උපදේශන ඡන්ද ලබාදීමේ දීර්ඝ ක්‍රියාවලියක් මගින් ද සරත් සෘතුවේ සහ ඉන් ඔබ්බට ප්‍රමාද වූ සැබෑ ඡන්ද ලබාදීම මගින් ද වර්ජනය කිරීමෙන් වලක්වනු ලැබ තිබේ.

මෙය හිතාමතාම කරන්නේ, ආන්ඩුව පෙරලිය හැකි බලමුලු ගැන්වීමක් වැලැක්වීමටය. ආර්එම්ටී ප්‍රධාන ලේකම් මික් ලින්ච් සහ ඇස්ලෙෆ් ප්‍රධාන ලේකම් මික් වේලන් ගේ අදහස් වලින් හෙලිදරව් වූ පරිදි වෘත්තීය සමිති මෙම ශක්‍යතාව දන්නා අතර ඊට බිය වෙති.

දෙදෙනාම මහා වැඩවර්ජනයක් පිලිබඳ මාතෘකාව මතු කලේ, එවැන්නක් සංවිධානය කිරීමට තමන්ට බලයක් නොමැති බව අවධාරනය කිරීමට පමනි. ලින්ච් බීබීසී නිව්ස්නයිට් වෙත පැවසුවේ “මහා වැඩ වර්ජනයක් කැඳවිය හැක්කේ මට නොව” වෘත්තීය සමිති සම්මේලනයට (ටීයූසී) පමනක් බවයි. “ඔවුන් එය කැඳවුවහොත් නියත වශයෙන්ම අපි එයට සහාය දෙමු.” ඔහු එසේ කලේ ටීයූසී එක කිසි දිනෙක එවන් කැඳවුමක් නොකරන බව හොඳින් දන්නා බැවිනි. ඒ හා සමාන ආකාරයකින් වේලන් ස්කයි නිවුස් වෙත පැවසුවේ, “මහා වැඩ වර්ජනයක් සිදුවනු ඇතැයි මම නොසිතමි... ” යනුවෙනි.

එසේ වුවද, වෘත්තීය සමිති නායකයන් දෙදෙනෙකුට මහා වැඩවර්ජනයක් ගැන කතා කිරීම අවශ්‍ය යැයි හැඟෙන්නේ මේ වන විටත් පිකට් ලයින්වල සහ රට පුරා වැඩබිම්වල මේ ගැන සාකච්ඡා කෙරෙන බැවිනි. ඔවුන්ගේ උත්සාහය පවත්නා වැටුප් කප්පාදුව, දහස් ගනනක රැකියා අහිමිවීම් සහ වැඩ වේගවත් කිරීම් සම්බන්ධයෙන් මහජන කෝපය සමනය කිරීම යි.

ආර්එම්ටී සහ සීඩබ්ලිව්යූ එකම වෘත්තීය සමිති අනුබද්ධිත ලේබර් පක්ෂයේ කෝබින්ට සහාය දෙන වාමාංශිකයින් සහ ජැකොබින් සඟරාව අයත් ට්‍රිබියුන් විසින් දියත් කරන ලද නව 'ඇති කියන්නේ ඇති' ව්‍යාපාරයේ ලින්ච්ගේ ඉදිරි ගමනට යටින් පවතින දේශපාලන උත්සුකයන්ම ය. එහි ඉල්ලීම් නම්: 'මූර්ත වැටුප් වැඩිවීමක්', 'බලශක්ති බිල්පත් කප්පාදු කිරීමක්', 'ආහාර හිඟය අවසන් කිරීම', 'සැමට සුවපහසු නිවාස' සහ 'ධනවතුන්ට බදු'.

මේවා ජනප්‍රිය හා අත්‍යවශ්‍ය පියවරයන් වන නමුත් ඒවාට ධනවාදයට එරෙහි ඉදිරි ප්‍රහාරයක් අවශ්‍ය වන අතර, සියල්ලටත් වඩා, වෘත්තීය සමිති විසින් වැලැක්වීමට මංමුලා සහගතව සිටින ලේබර් පක්ෂයට එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය වේ.

ලේබර් පක්ෂයේ නායක සර් කීර් ස්ටාර්මර් වැඩ වර්ජන හෙලා දකිද්දී, පිකට් ලයින් වලට සම්බන්ධ වීම නිසා තමන්ගේම මන්ත්‍රීවරුන් නෙරපා හරින බවට තර්ජනය කරද්දී සහ 'මැජික් මුදල් ගස' ප්‍රතිසංස්කරන වලට එරෙහි ටෝරින්ගේ ප්‍රහාර ප්‍රතිරාවය කරන විට පවා, ලින්ච් සහ වේලන් අවධාරනය කරන්නේ ටෝරිවරුන්ට ඇති එකම විකල්පය නම් ඔහුට සහය දීම බවයි, ඔවුන් ඔහු කරා 'වැටෙන් පැන ඒමට' උනන්දු කරවයි.

කම්කරු පන්තියට තම අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සැබෑ අරගලයක් කිරීමට නම් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව නව අරගල සංවිධාන ගොඩනැගීම අවශ්‍ය වේ. දැන් පුපුරා යන අරගල ඒකාබද්ධ කිරීමටත් මහා වැඩ වර්ජනයක් සඳහා කොන්දේසි සකස් කිරීමටත්, වඩාත්ම විශ්වාසදායක කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව මෙහෙයවනු ලබන ක්‍රියාකාරී කමිටු, සෑම සේවා ස්ථානයකම සහ ප්‍රජාවක් තුලම ගොඩනැගිය යුතුය.

මෙම අරගලය ගෙන යාමේදී, බි‍්‍රතාන්‍යයේ කම්කරුවන්ගේ වැදගත්ම සගයන් වන්නේ යුරෝපයේ සහ ජාත්‍යන්තරව සිටින ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ය. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය හරහා ඔවුන්ගේ සහාය ඉල්ලා සිටීමට ඔවුන්ට හැකි වනු ඇත.

එවැනි අරගලයක් කාර්මික ක්ෂේත්‍රයට සීමා කල නොහැක. බොහෝ කම්කරුවෝ තමන් සටන් කරන්නේ මේ හෝ ඒ හාම්පුතාට එරෙහිව පමනක් නොව, ප්‍රධාන සංගත, බැංකු සහ මූල්‍ය කතිපයාධිකාරයේ අන පැනවීමට ටෝරි ආන්ඩුවක් සහ ලේබර් පක්ෂයක් එක්ව ක්‍රියා කරන බව තේරුම් ගෙන ඇත.

ටෝරි නායකත්ව තරඟයේදී ලිස් ට්‍රස් සහ රිෂි සුනක් මහා වැඩ වර්ජන බිඳීම සහ වැඩ වර්ජන සහ විරෝධතා මුලුමනින්ම තහනම් කිරීම සඳහා වඩාත් කුරිරු සැලසුම් ඉදිරිපත් කල හැක්කේ කාටද යන්න පිලිබඳව තරඟ කරන බව පෙනෙන්නට තිබේ. සැප්තැම්බරයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග අතරට, සියලුම 'තීරනාත්මක කර්මාන්ත සහ සේවා' වල අවම සේවා මට්ටම් බලාත්මක කිරීම, එකම සේවා ස්ථානයේ විවිධ වෘත්තීය සමිති විසින් වැඩ වර්ජන තහනම් කිරීම, සේවා යෝජකයාට 'ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතිය' සමඟ වැඩ වර්ජන ප්‍රමාද කිරීම, ඉදිරි මාස හය තුල ඕනෑම අවස්ථාවක වෘත්තීය සමිතිවලට වැඩවර්ජන වරමක් භාවිතා කිරීමට ඉඩ සලසන නීතිය ඉවත් කිරීම සහ එක් එක් වර්ජනයෙන් පසු දින 60 ක් දක්වා පවතින අනිවාර්ය නිවාඩු කාල සීමාවන්
ඇතුලත් වේ.

පුහු විවේචන කිහිපයක් සමඟින්, ලේබර් පක්ෂය මෙම සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දෙන අතර ඒවාට විරුද්ධ වන ඕනෑම කම්කරුවෙකුට පහර දෙනු ඇත.

එවැනි කුරිරු පියවරයන් හරහා, සංගත වාර්තාගත ලාභ ඉපැයීම දිගටම කරගෙන යද්දී නැටෝ බලවතුන් විසින් දියත් කරන ලද යුක්‍රේනයේ අධිරාජ්‍යවාදී වක්‍ර යුද්ධයේ අති විශාල වියදම් සහ වසංගත සමයේ මහා ව්‍යාපාරිකයන්ගේ දැවැන්ත ඇපදීම සඳහා කම්කරු පන්තියට ගෙවීමට සලස්වනු ලැබේ.

වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරය මර්දනය කිරීමට සහ ටෝරි ආන්ඩුවට සහ ලේබර් පක්‍ෂයේ දක්ෂිනාංශික පිලිවෙත්වලට කිසිදු දේශපාලන අභියෝගයක් වැලැක්වීම සඳහා වෘත්තීය සමිති දරන උත්සාහයන් පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ ඒකාබද්ධ කාර්මික හා දේශපාලන ප්‍රහාරයකට පමනි.

වෙස්ට්මිනිස්ටර් හි දේශපාලන කුමන්ත්‍රනකරුවන් හෙලිදරව් කිරීම සහ පරාජය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය වහාම මහ මැතිවරනයක් ඉල්ලා සිටින ලෙස කම්කරුවන්ට කැඳවුම් කරයි.

අපගේ අරමුන වන්නේ ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි නිර්දය ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි; න්‍යෂ්ටික යුද්ධයක අවදානමක් දක්වා පවා රුසියාවට එරෙහි යුද්ධය නිර්දය ලෙස උත්සන්න කිරීම; වසංගතය අවසන් කිරීමට සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කිරීම සහ මහා ආසාදන හා මරනයට ඉඩ දීම; ධනවාදයට සමාජවාදී විකල්පයක් සඳහා සහයෝගය ගොඩනැගීමට යි. මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂවලට පාලනය කිරීමට ඇති අයිතියට අභියෝග කරමින් බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ එවන් සටනක් ලොව පුරා කම්කරුවන්ගේ අරගල සඳහා ආශ්වාදයක් වනු ඇතැයි අපේ විශ්වාසය යි.

Loading