ඉන්ධන හිඟයට හා මිල ඉහල නැංවීමට එරෙහිව ධීවර විරෝධය වැඩෙයි

කුඩා බෝට්ටු ධීවරයන් මත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් රුපියල් 87 ට පැවති භූමිතෙල් ලීටරයක මිල වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය 21 දා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 341 දක්වා සියයට 2,90 කින් ඉහල නැංවීය. නව මිල ඉහල යෑම තම එදිනෙදා ගෘහමය අවශ්‍යතා සඳහා භූමිතෙල් භාවිතා කරන වතු කම්කරුවන්ට හා රටපුරා අනෙකුත් දිලිඳු ජන කොටස්වලට ද දරුනු පහරකි.

ඉන්ධන හිඟයටත් ඉහිලුම් නොදෙන ධීවර ආම්පන්නවල මිල ගනන්වලටත් එරෙහිව පසුගිය සතියේ සිට ආරම්භ වී පැවති හලාවත ධීවර විරෝධතාව

රටපුරා පැවති බරපතල ඉන්ධන හිඟය හේතුවෙන් පසුගිය මාස 04 ක කාලයක් ධීවර ජනයාගේ රැකී රක්ෂා අඩපන වී පැවතුනි. ඉන්ධන හිඟයටත් ඉහිලුම් නොදෙන ධීවර ආම්පන්නවල මිල ගනන්වලටත් එරෙහිව පසුගිය සතියේ සිට ආරම්භ වී පැවති ධීවර විරෝධතා නව මිල ඉහල දැමීමත් සමග තීව්‍ර වෙමින් පවතී.

ඉන්ධන මිල ඉහල යෑමට හා හිඟයට එරෙහිව, පුත්තලම, හලාවත, මිගමුව, කලුතර සිට මාතර දක්වා මෙන්ම අම්පාර, ත්‍රීකුනාමලය, මන්නාරම් හා යාපනය යන ප්‍රදේශවල ධීවරයෝ දහස් ගනනක් විරෝධතාවලට එක්ව සිටිති. හලාවත හා මීගමුව නගරවල ධීවරයෝ තම බෝට්ටු පාරවල්වලට ගෙන එමින් විරෝධතාවල යෙදී ගත්හ.

කුඩා බෝට්ටු ධීවරයන්ගේ දෛනික භූමිතෙල් අවශ්‍යතාවය ලීටර් 30-50 ත් අතර වේ. ඒ අනුව, නව මිල ගනන් යටතේ රුපියල් 15,000 ක් පමන තෙල් සඳහා පමනක් වැය කිරීමට ධීවරයන්ට සිදුව තිබේ. ඇම්, තන්ගුස් නූල්, දැල්වල ඉරුම් බැඳීමට යන වියදම් සමග බොහොමයක් ධීවරයන්ගේ දෛනික වියදම රුපියල් 25,000 ක් ඉක්මවා යයි. එවැනි වියදමක් ආවරනය කල හැකි පරිදි මාලු අස්වනු නෙලා ගැනීම කල නො හැක්කක් බව ධීවරයෝ පවසති.

ඉන්ධන හිඟයෙන් බැට කද්දී හා රට අභ්‍යන්තරයේ වෙනත් රැකියා සෝදාපාලුවට ලක්ව ඇති තත්වයක දී ධීවර පවුල්වල අඹු දරුවන් ද කුසගින්නට ඇද වැටී තිබේ. “අපේ දරුවෝ බඩගින්නේ, දරුවන්ව පාසල් යවන්නේ කොහොමද” යැයි ප්‍රශ්න කරන ධීවර කාන්තාවන්ගේ රූපරාමු මාධ්‍ය තුල ප්‍රචාරය විය.

ධීවර බෝට්ටු පෙලගස්වා තිබෙන අයුරු

වර්ධනය වන කෝපය සමහන් කිරීමේ අරමුනින්, භූමිතෙල් මත යැපෙන “අඩු ආදායම්ලාභී” පවුල්, ධීවර හා වතු කම්කරු ජනයා වෙත “ඍජු මුදල් සහනාධාරයක්” ලබා දෙන බව විදුලිබල හා බලශක්ති ඇමති කාන්චන විජේසේකර 22 දා ප්‍රකාශ කලේ ය. එම සහනාධාරය ලබාදීමට වික්‍රමසිංහ ධීවර ඇමති ඩග්ලස් දේවානන්දට “පොරොන්දු“ වූ බව පසුගිය දා මාධ්‍ය වාර්තාවන්හි සඳහන් විය.

මහජනයා රැවටීමේ මෙවැනි ප්‍රෝඩාවන්ගේ අතීත අත්දැකීම් ඇති ධීවරයෝ ආන්ඩුවේ සහනාධාර ප්‍රතික්ෂේප කරති. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ ධීවරයන්ට අනුව ඔවුන්ගේ ඉල්ලීම වනුයේ, “සහන මිලට අඛන්ඩව ඉන්ධන ලබාදෙනු!” යන්න යි.

හලාවතට උතුරු දෙසින් පිහිටි කරුකුපනේ ධීවර ගම්මානයේ ධීවරයෙක් තෙල් මිලට අමතරව දැල් ආම්පන්නවල මිල ඉහල යෑම පිලිබඳව මෙසේ විස්තර කලේ ය: “දැනට වසර දෙකකට පමන පෙර ලක්ෂ දෙක හමාරකට විතර තිබුනු බෝට්ටුවක් දැන් ලක්ෂ පහක් පනිනවා. රුපියල් 16,500ට තිබුනු දැලක් රුපියල් 28,000 ක් වෙනවා. ලක්ෂ 5 ට තිබුනු එන්ජිමක් ලක්ෂ 12ක් විතර වෙනවා. රුපියල් 2,00 ට තිබුනු නයිලෝන් නූල් රෝලක් රුපියල් 5,00 ක් වෙලා”. මේ තත්වය උඩ ධීවරයන් කෙසේ රස්සාවේ යෙදෙන්න දැයි ඔහු ප්‍රශ්න කලේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ දිනවල නිසි ආහාරයක් නොලබන බවයි. “දරුවන්ට කන්න දෙන්න දැන් අපේ තිබුන කනකර උගස් කලා. නය ගත්තා. දැන් මේවා ගෙවන්න කොහොමද. හැමදාම නයට කන්න බෑ”.

“මේ ආන්ඩු අපේ ප්‍රශ්න විසඳයි කියලා අපිට කිසිම විශ්වාසයක් නෑ” යයි හලාවත වැල්ලේ පදිංචි තරුන ධීවරයන් දෙදෙනෙක් කෝපයෙන් ප්‍රකාශ කලහ. ඉන් එක් ධීවරයෙකු ප්‍රකාශ කලේ තමන් අමතර ආදායම් මාර්ගයක් සකස ගැනීමට ගත් ත්‍රිරෝද රථයට ෆිනෑන්ස් ගෙවා ගත නොහැකිව සිටින බවයි.

ගෝලීය වසංගතයෙන් හා යුක්ක්‍රේනය තුල රුසියාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලයන් විසින් ගෙන යන යුද්ධයෙන් ගෝලීය ධනේශ්වර අර්බූදය ගැඹුරු කර බලගතු පන්ති සටන් ලොව පුරා අවුලුවා තිබේ. එහි කොටසක් ලෙස, ඉන්ධන හිඟයට, විදුලි බල කප්පාදුව හා අහස උසට යන බඩු මිලට එරෙහිව ලංකාවේ කම්කරු පන්තිය, නාගරික හා ගම්බද දිලිඳු ජනයා හා තරුනයන් ආන්ඩුවට එරෙහිව බලගතු අරගලවලට පිවිසියහ.

මේ වසරේ අප්‍රේල් 28, මැයි මස 06 පැවති මහ වැඩවර්ජනවල දී කම්කරු පන්තිය සිය සමාජ බලය පෙන්නුම් කල අතර ජුනි 09 දා මිලියන ගනනක මහජන නැගිටීම හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුනි.

කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගම්බද පීඩිත ජනයා හා තරුන කොටස් බලුමුලු ගන්වා සමාජවාදී වැඩපිලිවෙල යටතේ මහජන ව්‍යාපාරය මෙහෙයවීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කල වැඩපිලිවෙලට හතුරුව, වෘත්තීය සමිති, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි සංස්ථාපිත ධනේෂ්වර පක්ෂ ධනේශ්වර ක්‍රමය රැක ගැනීම සඳහා අන්තර්වාර හා සර්ව පාක්ෂික ආන්ඩු යෝජනා යටතේ පෙල ගැසී කම්කරුවන් තරුනයන් අවමංගත කිරීමට වැඩ කලහ.

එහි ප්‍රතිඵලය වූයේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා මහ ධනපති පන්තියේ සහයෝගය යටතේ රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමයි. ඔහු ක්‍රියාවේ යෙදවීමට යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙල හා පොලිස්-මිලිටරි රාජ්‍ය සැලසුම් වටා සියලු ධනපති පක්ෂ ඒකාබද්ධව සිටිති.

ඉන්ධන මිල ඉහල දැමීම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුභසාධන සහ සහනාධාර කප්පාදුව මෙන්ම, පෞද්ගලීකරනය වේගවත් කිරීම යන සියල්ල ජාමූඅ විසින් පනවා ඇති රුදුරු නියෝගයන් ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව “පාඩු ලැබීමට” හේතුවක් වූයේ භූමිතෙල් “සහන මිලට” ලබා දීම නිසා බව සඳහන් කරන ඇමති විජේසේකර වැඩිකල මිල ගනන් යලි සංශෝධනය කල නො හැකි යයි කියා සිටී. ඛනිජ තෙල් සංස්ථාව ඇතුලු රජයේ ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම සඳහා ආන්ඩුවේ සැලසුම් යුක්ති සහගත කිරීමට ද ආන්ඩුව යොදා ගන්නේ ද මෙම “පාඩු ලබනවා” යන කුතර්කයයි.

වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු පාලක පංතිය එකාවන්ව පෙල ගැසී සිටින්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සියලු කප්පාදු විධානයන් ක්‍රියාවට නංවා ධනපති අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනයා මත පටවන අතරේ දෙස් විදෙස් මහා ව්‍යාපාරිකයන්ට ලාභ තවත් තර කර දීමටයි.

ඒ තත්වය තුල ඒකාබද්ධ ධීවර සංවිධානය, ජවිපෙ ට සම්බන්ධ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය හා කතෝලික පල්ලිය ධීවරයන්ට සහන සලසන ලෙස වික්‍රමසිංහ ආන්ඩුවට නිස්සාර ආයාචනා කරමින් ධීවර අරගලය හුදකලා කිරීමට කටයුතු කරමින් සිටිති. පසුගිය දිනවල ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා සිදුකල විරෝධතාවලින් පසු ධීවරයන්ගේ වෛරය තවදුරටත් වාෂ්ප කර දැමීමේ එල්ලයෙන් හලාවත, මීගමුව නගර සභා පරිශ්‍ර තුල සහ මාර්ගය අසල අටවා ඇති කූඩාරම් තුල ධීවරයන් හෙම්බත් කිරීමට සමිති නායකයෝ ක්‍රියා කර ඇත.

එම ක්‍රියාමාර්ගවල බංකොලොත්භාවය හලාවත අලුත්වත්ත ශාන්ත සෙබස්තියන් ධීවර සමිතියේ ඇන්ටන් සුදේශ් නැමැති සමිති නායකයා ලෝසවෙඅ කල ප්‍රකාශයකින් එලිමහනට පැමිනියේ ය. “අපි කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැතිව ධීවර සමිති කිහිපයක ධීවරයන් සම්බන්ධ කරගෙන විරෝධතාවයක් පටන් ගත්තා. නමුත් ඒක අසාර්ථකයි. මොකද ? ආන්ඩුව ඊට කන් නොදෙන නිසා”.

හලාවත වැල්ල දේවස්ථානයේ පූජකවරයා අඛන්ඩව ඉන්ධන සම්පාදනය කරන ලෙස ඉල්ලා, පසුගිය දා ධීවර අමාත්‍යාංශ නියෝජිතයන් වෙත සංදේශයක් භාර දෙන ලදී.

“දේශපාලනය එපා” යන්න, සමිති නිලධරය සහ ව්‍යාජ-වාම පක්ෂ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකට හතුරුව පෙරට දමා ඇති උගුලකි. කම්කරු පීඩිත මහජනයාට තම පන්ති අවශ්‍යතාවයන් සඳහා සටන් වැඳීමට තමන්ගේම දේශපාලන ඉදිරිදර්ශනයක් සහ පක්ෂයක් තිබිය යුතු ය.

වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් පෙරට ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා සෑම වැඩබිමකම, නිවහන් ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු බවත් සසප හා ලෝසවෙඅ ප්‍රදේශයේ ධීවරයන්ට අවධාරනය කල අතර ඒ සම්බන්ධව උනන්දු සහගත ප්‍රතිචාරයක් ධීවරයන්ගෙන් පල විය.

හලාවත තොඩුවාව ධීවරයෙකු වන කැමිලස් ප්‍රනාන්දු මෙසේ ප්‍රකාශ කලේ ය: “කම්කරුවෝ සූරාකලා ධනපතියෝ සුලුතරයක් ලාභ පොදි ගසා ගැනීමේ ක්‍රමය පෙරලා දැමීමකින් තොරව මහජනයාගේ ප්‍රශ්න විසඳන්න බෑ. දූෂනය, වංචාව ගැන නිතර නිතර කියන ජවිපෙ කැප වී සිටින්නෙත් මේ ධනපති ක්‍රමය රකින්නයි. සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීම ඉලක්ක කරගත් කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයට මගේ සහයෝගය ලබා දෙනවා. ධීවර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට මම එකඟයි”.

Loading