මුර්ග කප්පාදු වැඩ පිලිවෙලට මුක්කුව දීමට ජනාධිපති වික්‍රමසිංහ ජාතික සභාවක් ඇටවීමට යයි

සැප්තැම්බර් 06 දා පැවති එක්සත් ජාතික පක්ෂයේ (එජාප) 76වන සංවත්සරයේදී, එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ පක්ෂ නායකයන් ඇතුලත් කරගත් ජාතික සභාවක් ගොඩනගන බවයි. ග්‍රාමසේවා වසම් 14,000ක් තුල ජන සභා පිහිටු වන බව ද ඔහු සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ඊට පසු දින ම අගමැති දිනේෂ් ගුනවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම ජාතික සභාව ගොඩ නැගීම සඳහා තීරනය කර ඇති අතර එම යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ් අනුව කතානායකවරයා ජාතික සභාවේ මූලාසනයට පත් කෙරෙන අතර අගමැති, විපක්ෂ නායක, සභානායක සහ ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ද එහි සාමාජිකයෝ වෙති. එම සාමාජිකයන් හැරුනු කොට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි සාමාජිකයින් 37ක සංඛ්‍යාවක් මෙම ජාතික සභාව සඳහා පත් කර ගැනීමට නියමිත ය. ජන සභා මගින් ගම දියුනු කරන ආකාරය මෙන් ම නීතිය හා ව්‍යවස්ථාව ආදිය පිලිබඳ ව දේශපාලනික න්‍යායපත්‍ර වලින් තොර අදහස් දැන ගැනීමට හැකි වන බවට වික්‍රමසිංහ පම්පෝරි ගැසුවේ රැස් ව සිටි දිරිසුන් පාක්ෂිකයන්ට උත්තේජන එන්නතක් දීමට ය.

ජනාධිපතිගේ මවා පෑම් තිබිය දී ඒවායින් ප්‍රකාශයට පත් වූයේ ඔහුගේ පාලනයේ අන්ත අස්ථාවර භාවය මෙන් ම කැකෑරෙන මහජන විරෝධය පිලිබඳ භීතියයි.

පසුගිය අගෝස්තු 3දා වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී, “අප සිටින්නේ ඉතා අන්තරායකාරී තත්ත්වයක” බව පවසමින් “රටේ යහපත වෙනුවෙන්...සර්ව-පාක්ෂික ආන්ඩුවක් තැනීමට ... එකමුතු” වන ලෙස විරුද්ධ පක්ෂවලින් ඉල්ලා සිටියේ ය. “දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක්” ද විවිධ සංවිධාන ඇතුලු “අවශ්‍යතා සහිත සියලු පාර්ශ්වවල අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රනයක් වන මහජන සභාවක්” ද ස්ථාපිත කරන බව ඔහු කියා සිටියේ ය.

සර්ව-පාක්ෂික ආන්ඩුවක් තැනීමේ ඔහුගේ යෝජනාව මේ වනවිට පුස්සක් බවට පත් ව ඇත. මෝදු වෙමින් පවතින කම්කරු පන්තිය ප්‍රමුඛ පුලුල් මහජනයාගේ විරෝධය මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ අලුත් වටය ක්‍රියාවට දැමීමට මහජන පිලිකුලට පත් ව සිටින මෙම නායකයා සමත් වේ ද යන්න ගැන කනස්සලු වී සිටින සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු අනෙකුත් ධනපති පක්ෂ සර්ව-පාක්ෂික ආන්ඩු යෝජනාවෙන් දුරස්ථ වී සිටියි. එම පක්ෂ මහජන විරෝධය අවමංගත කොට, මැඬලා, කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ මාවත් යෝජනා කරයි.

වික්‍රමසිංහ ආන්ඩුව මුහුනදී සිටින ආන්තික දේශපාලන අර්බුදය සනිටුහන් කරමින් සිය බලය රැක ගැනීමේ උපායාත්මක පියවරක් ලෙස පසුගිය දා මොහු වරප්‍රසාද සහිත රාජ්‍ය ඇමතිවරුන් 37ක් පත් කලේ ය. මහජන කෝපය උග්‍ර කරමින් තවත් ඇමතියන් පත් කිරීමට නියමිත බව ප්‍රකාශිත ය. පාර්ලිමේන්තුව තුල ඔහුගේ එජාපයට එක් ආසනයක් පමනක් ඇති තත්වය තුල වික්‍රමසිංහට තම තනතුර රැක ගැනීමට රාජපක්ෂලාගේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුන (ශ්‍රීලපොපෙ) මත වාරු වීමට සිදු ව තිබේ. අතිශය දුර්වල පදනමක පවතින තම පාලනය ස්ථාවර කර ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක ඔහු යෙදී සිටි.

ශ්‍රීලපොපෙ සමඟ සන්ධාන ගත ව පැවති පක්ෂ හා එහි සාමාජික මන්ත්‍රීන් ද එක් ව නව පක්ෂ හා සන්ධාන කිහිපයක් පිහිටුවා ගැනීම සමස්තයක් ලෙස පාලක පන්තියේ අර්බුදයේ ගැඹුර පෙන්නුම් කරයි. රාජපක්ෂගේ අත්ගෙඩි ලෙස ක්‍රියාකල ස්වෝත්තමවාදීන් කන්ඩායම් උත්තර ලංකා සභාගය පිහිටුවා ඇති අතර ඩලස් අලහප්පෙරුම හා ජී. එල්. පීරිස් තවත් පක්ෂයක් නිවේදනය කලේ ය. නව ලංකා නිදහස් පක්ෂය මෙසේ මෑත දී අටවා ගත් තවත් අට්ටාලයකි.

ඊනියා ජාතික සභාව පිහිටුවා ගැනීමට වික්‍රමසිංහ උත්සාහ දරන්නේ වෙනත් රවුමකින් ධනපති පක්ෂ වලට ගැලතී ගැනීමට වේදිකාවක් සකස් කර දීමටයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තම පක්ෂය මෙම ජාතික සභාවට සහභාගී වීමට විරුද්ධ බව මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇත. සජබ ප්‍රධාන ලේකම් මද්දුම බන්ඩාර පවසා ඇත්තේ සජබ තවමත් ඒ් පිලිබද තීන්දුවක් ගෙන නොමැති බවයි.

ජනාධිපති විසින් යෝජනා කර ඇති මෙම ජාතික සභා හා ජන සභා ඒ්වායේ ආරූඪ නම් වලට කිසිසේත් නොගැලපෙන ධනපති පන්ති පාලනයේ උපකරන මිස අති බහුතරයක් වන වැඩකරන ජනයාගේ වුවමනාවන් නියෝජනය කරන සභා නොවේ.

මෙම සභාවන් සංවිධානය කිරීම තුල කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් නොමැත. ඒ්වා එල්ල කෙරෙනු ඇත්තේ කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට විරුද්ධ ව, දූෂිත දේශපාලන පක්ෂ, මධ්‍යම පන්තික “සිවිල් සමාජ” කන්ඩායම් සහ වෘත්තීය සමිති රැලි කරගැනීම සඳහා ය.

ධනේශ්වර පාලනය ආරක්ෂා කරන දීර්ඝ කාලීන එක්සත් ජනපද-ගැත්තෙකු ලෙස 1993 සිට හය වතාවක් ලංකාවේ අගමැති ධූරය දරා ඇති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට කැපවී සහයෝගය දෙන්නෙකු ලෙස කුප්‍රකටය. 2020 මහ මැතිවරනයෙන් ඔහුගේ එජාපය පමනක් නොව සිය පාර්ලිමේන්තු ආසනය පවා සෝදා පාලු වූ අතර ඉතිරි වූයේ එක් ජාතික ලැයිස්තු ආසනයක් පමනි. අපකීර්තිමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ පාර්ලිමේන්තු කන්ඩායමේ ඡන්ද වලින් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු එම ආසනයට එජාපයේ වජිර අබේවර්ධන පත් කෙරිනි.

වික්‍රමසිංහ මෙසේ පැවසීය; “මා අද ඔබ අමතන්නේ පක්ෂයෙන් පත්වූ හතරවන රාජ්‍ය නායකයා ලෙසයි. ඒ්ත් අනෙක් එජාප නායකයන් මුහුන නොදුන් ආකාරයේ තත්වයකට මා මුහුන දෙනවා. මට එජාප ආන්ඩුවක් නැහැ. එජාප පාර්ලිමේන්තු කන්ඩායමක් නැහැ...ආර්ථිකය කඩා වැටී තියෙන නිසා ඊට විසඳුම් සෙවීය යුතුයි. මං ඇවිත් ඉන්නේ මෙම අර්බුදය මැදයි.”

මෙම අර්බුදය වැඩ කරන ජනයා මත පැටවීම තම ඉලක්කය බව ඔහු පැවසුවේ මේ ලෙසය: “මට ඔබට දිය හැක්කේ දහඩිය, උත්සාහය හා විවේචනය පමනයි. නමුත් අපේ දහඩිය හා උත්සාහය සමඟ මේ රට නගා සිටුවන බව මා තදින් ප්‍රකාශයට පත් කරනවා.” ඔහු කතා කලේ තමන්ගේ දහඩිය ගැන නොව කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් ශ්‍රමය මිරිකා ගැනීම පිලිබඳවයි.

තම පක්ෂය සමඟ පවතින මතභේද අතහැර කම්කරු පීඩිත ජනයා මර්දනය කරමින් ධනපති ක්‍රමය රැක ගැනීමට ඒ්කාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සමඟ එකතු වන ලෙස ධනේශ්වර පාලක ප්‍රභුවට ආයාචනා කරමින් ඔහු තම උත්සාහය විදහා දැක්වීය. තම කතාව තුලදී සියලු ධනපති පක්ෂ නම් කරමින් ඔහු මෙසේ පැවසීය. . “...අප අයත්වන්නේ එජාප, ශ්‍රිලනිප, සජබ, ශ්‍රීලපොපෙ, ඊපීඩීපී, ජවිපෙ, දෙමල කොන්ග්‍රසය, දෙමල ජාතික සන්ධානය හෝ වෙනත් පක්ෂයකටද යන්න නොතකා සියලු දෙනා එක මවකගේ දරුවන් මෙන් එකතුවී රට ගොඩ නැගිය යුතුයි.”

හාර දහසක් පමන ජනයා අරගලයේ නාමයෙන් අත් අඩංගුවට ගනිමින් හා ඉන් 1500ක් පමන දිගටම රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබා ගනිමින් හා ශිෂ්‍ය නායකයින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි මෘග ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් යටතේ දිගු කාලීනව සිර අඩස්සියේ රඳවා තබා ගනිමින් අප්‍රේල් සිට ජූලි දක්වා සමාජ අයිතීන් උදෙසා කෙරුනු මහජන අරගලයට එරෙහිව වික්‍රමසිංහ කඩා පැන ඇත.

සිය කතාවේදී වික්‍රමසිංහ මෙසේ පැවසීය; “මේ රටේ තරුනයින් ආයුධ අතට නොගෙන වෙනසක් ඉල්ලා සිටියා. එහෙත්, එවැනි සාමකාමී අරගල දිගටම කරගෙන යාම වෙනුවට පෙරටුගාමී කන්ඩායම් අරගලය තුල සිට ප්‍රචන්ඩත්වයට පටන් ගත්තා.”

වික්‍රමසිංහ මෙලෙස අභූත චෝදනා නගමින් යට ගසන්නට උත්සාහ දරන්නේ ප්‍රථමයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විසිනුත් අනතුරුව වික්‍රමසිංහගේ ආන්ඩුව විසිනුත් මෙම මහජන නැගිටීමට එරෙහිව එල්ල කල මැර ප්‍රහාර, පොලිස් - හමුදා ප්‍රහාර හා රාජ්‍ය ත්‍රස්තවාදයයි.

මෙලෙස දිගින් දිගටම කම්කරුපීඩිත ජනයා මර්දනය කරමින් සිටින වික්‍රමසිංහ සිය කතාව තුලදී සෝපහාසී ලෙසින් සඳහන් කලේ “පලමු අරගලය ඉවරයි. මෙතැන් සිට අප දෙවන අරගලය පටන් ගනිමු,” යනුවෙනි.

මෙම ඊනියා දෙවන අරගලය නම්---යුක්‍රේනය මැදි කරගෙන රුසියාවට එරෙහිව දියත් කර ඇති ඇමරිකාව ප්‍රමුඛ නැටෝ බලයන්ගේ යුද්ධයෙන් හා කෝවිඩ්-19 වසංගතයෙන් රට තුල උග්‍ර කෙරී ඇති---පෙර නුවූ විරූ සමාජ-ආර්ථික අර්බුදය වැඩ කරන ජනයා මත පැටවීමේ ජාමූඅලේ නිර්දේශ වලින් සමන්විත විසකුරු වැඩ පිලිවෙල තුලින් ධනපති ක්‍රමය රැක ගැනීමේ ප්‍රහාරයයි.

මෙම වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 ක් වේ යැයි ගනන් බැලෙන අයවැය හිඟය, 2025 වන විට 2.3ක අතිරික්තයක් දක්වා ගෙන යාමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය ලඟා කර ගැනීමට නම් එවන් තියුනු ප්‍රහාරාත්මක කප්පාදු වැඩ සටහනක් අවශ්‍යය.

ජාමූඅහි කොන්දේසි පටවමින් අවුරුදු 18ට වැඩි සියල්ලන් වෙත බදු දැල එලමින්ද වැට් හා අනෙකුත් බදු පනවමින්ද, රාජ්‍ය භාන්ඩාගාරයෙන් ලබා දෙන සියලු සහනාධාර කප්පාදු කරමින් විදුලි, ජල, ඉන්ධන, පොහොර ආදියේ මිල අහස උසට නංවමින්ද රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කරමින් රැකියා ලක්ෂ ගනනින් විනාශ කරමින්ද අධ්‍යාපනය හා සෞඛ්‍යාරක්ෂන රාජ්‍ය වියදම් කපා හෙලමින් ද වැඩ කරන ජනයා වෙත එල්ල කර ඇති පීඩනයට එරෙහි ව පැන නගින මහජන විරෝධය මැඩීම මෙම “දෙවන අරගලයේ” එල්ලයයි.

මෙම ප්‍රහාරයන්ට එරෙහි ව පැන නගින මහජන විරෝධය කම්කරු පන්ති සටන් ලෙස වර්ධනය වීමෙන් ධනපති පන්තියේ පාලන බලයට හා වරප්‍රසාද වලට මතු කර ඇති තර්ජනය, වික්‍රමසිංහ සිය ධනපති පන්ති සගයන්හට හුවා දක්වයි.

අප්‍රේල් හා මැයි මාසවල කම්කරුවන් දස ලක්ෂ ගනනින් සහභාගි වූ මහා වැඩ වර්ජන ඇතුලු මහජන විරෝධතාවලින් ධනේශ්වර පාලනය අරටුවට ම සොලවනු ලැබු අතර ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කෙරිනි. මෙම අරගල ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා ඉදිරියට යාම වැලකුනේ වෘත්තීය සමිති හා ව්‍යාජ වමේ පාවාදීම මඟිනි. වික්‍රමසිංහ සැලී ඇත්තේ මෙම අරගලයන්ගෙනි.

මෙම තියුනු ධනපති අර්බුදය තුල කම්කරු පන්තිය සහ ගම්බද පීඩිත ජනයා ඒ්කාග්‍ර ව දියත් කරන ස්වාධීන දේශපාලන අරගලයක් මගින් පීඩක ධනේශ්වර පාලනය අවසන් කිරීමේ කොන්දේසි ඉස්මතු වී තිබේ. වෘත්තීය සමිති හා ව්‍යාජ වම විසින් වලකා ගෙන සිටින්නේ කම්කරු පන්තිය එම මාවතට පිවිසීමයි.

එම කම්කරු පංතික වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසින්, සැප්තැම්බර් 25 දා පැවැත් වීමට නියමිත ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමට සහභාගි වන ලෙස සියලු කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ අනෙකුත් පීඩිතයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading