ඉදිරිදර්ශන

වැඩ වර්ජනයක් වැලැක්වීම සඳහා දුම්රිය වෘත්තීය සමිති බයිඩන් මුනගැසෙද්දී, සාමාන්‍ය කම්කරුවන්ගේ විරෝධය සංවිධානය කිරීම සඳහා දුම්රිය කම්කරුවෝ 500ක් රැස්වීමකට සහභාගි වෙති

[මෙය While rail unions meet with Biden to avert strike, 500 railroaders attend meeting to organize rank-and-file opposition මැයෙන් 2022 සැප්තැම්බර් 16 පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදය තුල ජාතික පරිමාන දුම්රිය වැඩ වර්ජනයක සේයාව මතු වෙද්දී, බදාදා රාත්‍රීයේ රැස්වීම් දෙකක් පැවැත්වුනි. වොෂින්ටනයෙහි දොරවල් වැසූ රැස්වීම් කාමරයක රහසිගත ව පවත්වන ලද ඉන් පලමුවැන්න, වෘත්තීය සමිති, දුම්රිය සංගතවල නිලධාරීන් සහ ජනාධිපති බයිඩන් අතර සිදුවූවකි. පැය 20ක් පුරා ඇදී ගොස් බ්‍රහස්පතින්දා උදෑසන අවසන් වූ, මෙම දීර්ඝ සාකච්ඡාවේ අභිප්‍රාය වූයේ, සහන ගිවිසුමකට එලැඹෙමින් වැඩ වර්ජනයක් වලකාලීමයි.

බයිඩන්ගේ ජනාධිපති බේරුම්කාර මන්ඩලය (බේරුම්කාර මන්ඩල) විසින් පසුගිය මාසයේ කරන ලද යෝජනාවට සුලු වෙනස්කම් කීපයක් පමනක් එකතු කරමින් ඊයේ එලැඹි ගිවිසුම කෙටුම්පත් කොට තිබුනි. උක්ත බේරුම්කාර මන්ඩල යෝජනාවට බලගතු ලෙස විරුද්ධ වූ කම්කරුවෝ, ඊට එරෙහි ව වැඩ වර්ජනය කිරීමට සූදානම් වූහ. බේරුම්කාර මන්ඩල යෝජනාවට එකතු කොට ඇත්තේ, වැටුප් සහිත එක් අසනීප නිවාඩු දිනයක් සහ වැටුප් රහිත අසනීප නිවාඩු දින තුනක් පමනි. වොෂින්ටනයේ කුමන්ත්‍රනකරුවන්ගේ ආස්ථානයෙන් ගත් කල වඩාත් ම වැදගත් වනුයේ, වැඩ වර්ජනයක් වැලැක්වීම පිනිස “මැදිහත් වීමේ කාලය” එමගින් දීර්ඝ කිරීමයි.

2022 සැප්තැම්බර් 14 බදාදා ටෙක්සාස්හි සැගිනෝව්හි දී බීඑන්එස්එෆ් දුම්රිය හරස් මාර්ගයක දී කම්කරුවෙක් දුම්රිය රථයක් පැදගෙන යයි. [AP Photo/LM Otero]

තීරනාත්මක කොංග්‍රස් මහ මැතිවරනයට යන්තම් සති ගනනකට පෙර වැඩ වර්ජනයක් තලා දැමීම එල්ල කරගත් නීතියක් සම්මත කිරීමෙන් ඇතිවන දේශපාලනික බලපෑමෙන් ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයින් ආරක්ෂා කරගනුවස්, නියමිත කාලය අවසන් වීමට පෙර එකඟතාවයකට එලැඹීම සඳහා ධවල මන්දිරය අධිෂ්ඨානවත් විය. “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියෙකු” පෙනී සිටින බර්නී සෑන්ඩර්ස්, සෙනෙට් සභා භූමියේ සිට කුමන්ත්‍රනයෙහි ඔහුට පැවරුනු භූමිකාව රඟපෑවේ, බයිඩන්ගේ බේරුම්කාර මන්ඩල යෝජනාව බලාත්මක කරනුවස්, රිපබ්ලිකානුවන්ගේ අනුග්‍රහනයෙන් ගෙන ආ පනතක් වලක්වමිනි. 1991 දී, අතිවිශාල (ඩිමොක්‍රටික්-රිපබ්ලිකන්) ද්වි-පාර්ශවික බහුතරයකින් යුතුව අවසන් ජාතික දුම්රිය වැඩ වර්ජනය බිඳීම සඳහා ඡන්දය දුන් සෑන්ඩර්ස්, කාලය ලබා ගැනීමට උපාමාරු දමමින් සිටියේ, දුම්රිය කම්කරුවන්ට එරෙහි ද්වි-පාර්ශවික එකමුතුව සඟවමිනි.

පාවා දීමේ ගනුදෙනුව තුල අඩංගු “සැබෑ ප්‍රගතිය” ප්‍රකාශ කිරීම සඳහා සෑන්ඩර්ස් වේගයෙන් ක්‍රියා කලේ ය. වැඩ වර්ජනය ආරම්භ වූයේ නම්, එය කල් තබා නීති-විරෝධී කරන පනතක් ඩිමොක්‍රටිකයන් විසින් ඒ වන විටත් සූදානම් කර තිබුනු බව, කථානායිකා නැන්සි පෙලෝසි බ්‍රහස්පතින්දා පිලිගත්තා ය.

නව තාවකාලික ගිවිසුම, යතාර්ථයේ දී, මුලුමනින් ම පාහේ, වෘත්තීය සමිති වහන්තරාව හරහා බලාත්මක කරන ලද තහනම් නියෝගයකි.

ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය, එහි සියලු විදේශීය යුද්ධ දියත් කරනු ලැබුවේ, මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බව කියා පෑමෙන් කිසිදා වෙහෙසට පත්වන්නේ නැත. නමුත් ඒ සම්බන්ධයෙන් ගත් කල, කම්කරුවන් සතු අති මූලික අයිතිය වන වැඩ වර්ජනය කිරීමේ අයිතිය එක්සත් ජනපදය තුල නො පවතී. මෙය සියලු ආඥාදායකත්වයන් සමග ඔවුන්ට තිබෙන එක් පොදු දෙයකි. සැබවින් ම, “දුම්රිය නිසි වේලාවට ධාවනය වෙමින් තිබේ” යනුවෙන් බයිඩන් බ්‍රහස්පතින්දා ට්විටර් පනිවුඩයක කයිවාරු ගැසූ අතර, එම වාක්‍යාංශය පොදුවේ මුසෝලිනිගේ ෆැසිස්ට් ඉතාලිය ද එය විසින් දුම්රිය කම්කරුවන් ද ඇතුලු කම්කරු-පන්තික විරෝධය ම්ලේච්ඡ හා ලේ වැකි ලෙස මර්දනය කිරීම සමග ද ආබද්ධ වූ එකකි.

කොංග්‍රසය, පොලීසිය හා අධිකරනය යොදාගැනීමට අමතර ව, වර්ජනය කිරීමට තිබෙන අයිතිය ප්‍රතික්ෂේප කරනු ලබන ප්‍රධාන උපකරනයක් වන්නේ, වෘත්තීය සමිති නිලධරය යි. එක් පාවාදීමකට පසු තවෙකක් බලාත්මක කිරීමටත්, වැඩ වර්ජන බාධනය හෝ හුදකලා කිරීමටත්, කලමනාකාරීත්වය හා රාජ්‍යය සමග මුලුමනින් ඒකාග්‍ර වී සිටින වෘත්තීය සමිති දශක ගනනක් තිස්සේ ක්‍රියාත්මක වී ඇත. “ඇමරිකානු ඉතිහාසයේ වඩාත් ම කම්කරුවන්ට හිතවත් ජනාධිපති” ලෙස තමන් ම හඳුන්වා ගන්නා බයිඩන්, දැනට මත් පවතින එම දූෂිත සබඳතා මත රඳා සිටිමින්, ඒවා බොහෝ සෙයින් විස්තාරනය කිරීමට උත්සාහ දරයි. මේ වසර මුල දී නාවික හා පිරිපහදු කම්කරුවන්ට එරෙහි ව වෘත්තීය සමිති සමගින් හවුල් වී කරන ලද ඒ හා සමාන උපාමාරුවලින් පසු ව, දුම්රිය කම්කරුවන් මත පැටවීම පිනිස, ධවල මන්දිරයේ තැරැව්කාරකම් කරන නවතම පාවා දීම පැමිනෙයි.

එහෙත් මේ සියල්ල අනභියෝගී ව ඉදිරියට යමින් තිබුනු කාලය දැන් අහවර ය. ලෝකය පුරා කම්කරු පන්තිය අරගලය තුලට චලනය වීම ආරම්භ කරමින් සිටී. මේ අරගලවලින් සෑම එකක් ම, වෘත්තීය සමිති යාන්ත්‍රනයට හා ධනපති රාජ්‍යය යන දෙකට ම එරෙහි කැරැල්ලක් බවට වර්ධනය වීමේ නැඹුරුව පෙන්වා ඇත. මෙහි ඉහල ම සංවිධානාත්මක හා මූලෝපායික ප්‍රකාශනය වන්නේ, ලෝකය පුරා ක්‍රියාකාරී කමිටුවල ක්ෂනික වර්ධනය යි.

බදාදා රාත්‍රීයේ පැවති දෙවන රැස්වීම, වැඩෙන මෙම සාමාන්‍ය කම්කරු විරුද්ධත්වයෙහි ප්‍රධාන සැතපුම් කනුවක් විය. මෙය, දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික), ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) අනුග්‍රහයෙන් හා 500ට අධික සාමාන්‍ය දුම්රිය කම්කරුවන්ගේ හා ඔවුන්ගේ ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති ඔන්ලයින් රැස්වීමක් විය. එය වනාහි, සියලු ප්‍රධාන කර්මාන්ත හා සියලු ජාතික දුම්රිය මාර්ගවල කම්කරුවන්ගේ පලල් ප්‍රාදේශීය නියෝජනයක් සහිත, ප්‍රජාතන්ත්‍රවාදී හා විවෘත සාකච්ඡාවක් විය.

එහි දී දැක්වූ අදහස්, සිය සූරාකැවෙන කොන්දේසි හා වෘත්තීය සමිති නිලධරය කෙරෙහි කම්කරුවන්ට දැනෙන ආවේනික වෛරය ප්‍රකාශ කලේ ය. යන්ත්‍ර ශිල්පියෙක් හා දුකක්‍රික ආරම්භක සාමාජිකයෙක් වන මාක් මෙසේ කීවේ ය: “ එක් කොන්ත්‍රාත්තුවකින් පසුව තවත් කොන්ත්‍රාත්තුවක් ලෙස, අපට කරන ගෙවීම් හා අපේ ප්‍රතිලාභවලින් සහන උදුරාගෙන තිබෙනවා. සෑම දිනයක් පාසා ම, අපි අපේ සෞඛ්‍යය හා අපේ ජීවිත පරදුවට තබනවා. බොහෝ පවුල් නො විඳින කැපකිරීම් කිරීමට අපේ පවුල්වලට සිදු වී තිබෙනවා: එනම්, නිවාඩු දින, උපන් දින, පවුලේ උත්සව, අවමංගල උත්සව ආදිය කලට වෙලාවට කර ගන්නට බැරි ව තියෙනවා.”

“මම ක්‍රියාකාරී කමිටුවට බැඳීමට මේ සියල්ල හේතු වුනා. එනම්, සංවිධානය වීමට, ඡන්දය දීමට අපට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමට -ඒ වගේ ම, එම ඡන්දවලට ගරු කිරීම, එම අයිතීන් අහිමි කිරීම සෙනෙට් සභාවේ සිටින පුද්ගලයින් 60 දෙනා විසින් නීර්නය නො කිරීම- වැඩ වර්ජනය කිරීමට අපට තිබෙන අයිතිය දුබල කරන දුම්රිය කම්කරු පනත අහෝසි කිරීම, නිලධරය හා වෘත්තීය සමිති යාන්ත්‍රනය අහෝසි කිරීම හා සාමාන්‍ය කම්කරුවන් වෙත ආපසු බලය ගෙන ඒම අවශ්‍ය නිසයි.”

“ආන්ඩුව, දුම්රිය සංගතය හා වෘත්තීය සමිතිවල ඉහල නිලධාරීන් අතර දූෂිත සබඳතාවට” එරෙහි ව “එක්සත් පෙරමුනක්” තැනීම සඳහා, ක්‍රියාකාරී කමිටුව හා එක් වන ලෙස කම්කරුවන්ට කැඳවුම් කරමින් ඔහු සිය කතාව නිමා කලේ ය. අවසානයේ දී ඔහු “මේවා වනාහි ක්‍රියාවන් සඳහා කැඳවුම් කරන පෙර නුවූ විරූ කාලයන්” යයි කීවේ ය.

චිකාගෝ වෙතින් පැමිනි රඌල් නමැති ඉංජිනේරුවෙක් මෙසේ කීවේ ය: “ගොවියෙකු මෙන් සලකනු ලැබීම නිසා මම හෙම්බවත් වෙලා ඉන්නේ.” වැඩ වර්ජනයක ආර්ථික බලපෑම පිලිබඳ ව දුම්රිය සංගත නරුම ලෙස අනතුරු අඟවන අතර, රඌල් එයට ප්‍රතිචාර දැක්වූයේ, රැකියා දසදහස් ගනනක් අහෝසි කිරීම මගින් දුම්රිය සංගත ම “මෙම අවුල් ජාලය ඔවුන් මතට ගෙන ආ” බව කියමිනි. “සංක්‍රමනිකයන්, වහලුන් හා චීන ජාතිකයන්” ඇතුලු කම්කරුවන්ගේ ශ්‍රමයෙන් එක්සත් ජනපදයේ දුම්රිය මාර්ග ජාලය ගොඩනගන ලද බව ඔහු කීවේ ය. “...මේ රටේ සාර්ථකත්වයට හා සෞභාග්‍යයට කම්කරුවන් ප්‍රතිපදානය කලා, ඒත් අපට ඒ සඳහා ප්‍රශංසාව ලැබෙන්නේ නැහැ.”

නිලධරයේ පාලනය බිඳ දැමීමේ දී හා සාමාන්‍ය කම්කරුවන් සවිබල ගැන්වීමේ දී, අන්තර්ජාලයේ භූමිකාව ගැන දුම්රිය කම්කරුවෙකුගේ බිරිඳ කතා කලා ය. “තොරතුරු ක්ෂනික ව ගලා යන කාලයක අපි ජීවත් වෙනවා... දැන් සිදුවෙමින් පවතින දෙයෙහි මූලික වෙනස්කම වන්නේ එය යයි මම විශ්වාස කරනවා” යි ඇය විස්තර කලා ය. “බේරුම්කාර මන්ඩල එහි නිර්දේශ නිකුත් කල වහා ම, වෘත්තීය සමිති එය කියවා ප්‍රකාශයක් කිරීමටත් පෙර, සෑම කෙනෙක් ම එය ක්ෂනික ව ලබාගත්තා...එය අන් කවරදාක වත් අපට නො තිබුනු බලයක් අපට ලබා දෙනවා. අන්තර්ජාලය යනු ඔවුන්ට පාලනය කල නො හැකි සතෙක්. කලින් ඔවුන්ට තිබුනු පාලනය දැන් ඔවුන්ට හිමි වන්නේ නැහැ.”

වෘත්තීය සමිති නිලධරය අහෝසි කිරීමේ හා සාමාන්‍ය කම්කරුවන්ගේ පාලනය සඳහා සටන් වැදීමේ වැඩපිලිවෙලක් මත, එක්සත් මෝටර් කම්කරු සමිතියේ සභාපති ධූරයට තරඟ කරන මැක් ට්‍රක් කම්කරුවෙකු වන විල් ලෙහ්මන් ද රැස්වීමේ දී කතා කලේ ය. “බලය කම්කරුවන් අතේ පවත්නා, සමානතාවේ පදනම මත අපි නිපදවන ධනය බෙදාහැරීම අපේ අතේ පවත්නා, එමෙන් ම මෙම ධනය අතලොස්සක් පුද්ගලයින් පිරිසක් විසින් ගිල දැමීම අර්ථවත් නො කරන” ක්‍රමයක් ලෙස ඔහු අර්ථ දැක්වූ, සමාජවාදය සඳහා සටන සහ කම්කරුවන්ගේ අරගලය අතර තිබෙන සබඳතාව අවබෝධ කරගන්නා ලෙස, සමාජවාදියෙකු වන ලෙහ්මන් කම්කරුවන් ව දිරිමත් කලේ ය. 2021 වසරේ දී වොල්වෝ ට්‍රක් කම්කරු වැඩ වර්ජනයට සහයෝගය පල කිරීම සඳහා මැක් ට්‍රක් කර්මාන්තශාලාවේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමේ දී ඔහු ම ලබාගත් අත්දැකීම් ද ඔහු බෙදාහදා ගත්තේ ය.

රැස්වීම අවසානයේ දී, දුම්රිය කම්කරුවන්ගේ මනෝගතිය ප්‍රකාශ කරන යෝජනාවක් අතිමහත් බහුතරයෙන් සම්මත කිරීම සඳහා, සහභාගි වූවෝ ඡන්දය දුන් අතර, එය මෙසේ කියයි:

සාමාන්‍ය දුම්රිය කම්කරුවන්‌ගේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී රැස්වීම මෙසේ යෝජනා කරයි:

1. වැඩ වර්ජනය කිරීම සඳහා අපට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින්, අපි පිලි නො ගන්නා හා සාමාන්‍ය කම්කරුවන් අනුමත කර නැති කොන්ත්‍රාත්තුවක් කොංග්‍රසය විසින් අප මත පැටවීම අපි පිලි නො ගන්නෙමු.

2. වසර ගනනාවක් තිස්සේ ඛාදනය වෙමින් පවතින වැටුප්වලට හිලවු කිරීම සඳහා ප්‍රධාන වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම; ඉහල යන උද්ධමනයට ගැලපෙන ජීවන වියදම් දීමනා; සේවයට පැමිනීම සම්බන්ධිත රුදුරු ප්‍රතිපත්ති අවසන් කිරීම; සහතික කල විවේක කාලයන් හා ලෙඩ නිවාඩු දින; සහ තනි-කම්කරු කාර්ය මන්ඩල සඳහා වන බලපෑම අවසන් කිරීම ඇතුලු අපේ අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කරන කොන්ත්‍රාත්තුවක් අපි ඉල්ලා සිටිමු.

3. අපි පිලි නො ගන්නා හා ඡන්දයට ඉදිරිපත් කර නැති කොන්ත්‍රාත් තල්ලු කිරීමට හෝ කොන්ත්‍රාත්තුවක් රහිත ව අප ලවා වැඩ කරවා ගැනීමට ගන්නා ඕනෑ ම උත්සාහයක්, සාමාන්‍ය කම්කරුවන් විසින් දෙන ලද උපදෙස් පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බව අපි වෘත්තීය සමිතිවලට දැනුම් දෙමු.

සමාජවාදී සමානතා පක්ෂයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, කම්කරුවන් අමතමින් ඔවුන්ගේ රැස්වීමෙහි අර්ථභාරය ගැන කතා කලේ ය.

“මෙහි කතාකල සෑම කෙනෙක් ම මෙම සංවිධාන (වෘත්තීය සමිති) ඔබ ව නියෝජනය නො කරන බව එක් හෝ තවත් ආකාරයකින් පෙන්වා දී තිබෙනවා. ඔවුන් කරන දෙය ගැන ඔබට පාලනයක් නැහැ” යි ඔහු කීවේ ය. “එම නිසා ක්‍රියාකාරී කමිටු ගැන කතා කිරීමේ දී, අපි සත්‍ය වසයෙන් ම කතා කරමින් සිටින්නේ, කම්කරුවන්ට ම ඔවුන්ගේ බලය අභ්‍යාස කල හැකි උපකරනයක් නිර්මානය කරන්නේ කෙසේ ද යන්න ගැන යි.”

ක්‍රියාකාරී කමිටු සහ ඇමරිකානු විප්ලවය සමයේ ජනපද වැසියන් විසින් ආරම්භ කරන ලද “ලිපි හුවමාරු කමිටු (Committees of Correspondence)” සන්සන්දනය කිරීම කරා ඔහු ඉදිරියට ගියේ ය: “විශාල භූමිභාගයක ජීවත් වූ ජනයා, (බ්‍රිතාන්‍ය) කිරීටයේ බලයට දැක්වූ ප්‍රතිරෝධය සංවිධානය කොට, ඔවුන් ම දැනුවත් ව සිටිමින් තමාගේම පිලිවෙත සූත්‍රගත කල හැකි පරිදි ඒකරාශි කල, නව සංවිධාන රූපයක් වූ මහාද්වීපික කොංග්‍රසය, මෙම කමිටුවලින් ඉස්මතු වුනා.”

“භාවිතා කරන්නේ කෙසේදැයි දන්නේ නම්, ඔබට විශාල බලයක් තිබෙනවා, එහෙත් ඔබ කල යුතු දෙය වන්නේ, සෑම වැඩපොලක ම ඔබ ව පාවාදෙනු ලැබ ඇතැයි යන්න දැනගත් විට, එය කතාවේ අවසානය නො වන බව තහවුරු කල හැකි විකල්ප ව්‍යුහයක් ගොඩනැගීම” යැයි ඔහු කියා සිටියේ ය. “ඔබ, ඔබගේ සතුරන්ට සේවය කරමින් සිටින නිලධරයන්ගේ තීරන නිෂ්ප්‍රභ කරන, මැඩපවත්වන හා අවලංගු කරන” උපකරන නිර්මානය කල යුතු ය.

මෙම රැස්වීම පැවැත්වෙද්දී, වෘත්තීය සමිති, සංගත හා රාජ්‍යය, වැඩ වර්ජනයක් වලකා සංගත-ගැති ගිවිසුමක් තල්ලු කරගැනීමට කුමන්ත්‍රනය කරමින් සිටි බවට නෝර්ත් අනතුරු ඇඟවී ය. බයිඩන් ඔහුගේ තැරැව්කාර ගිවිසුම නිවේදනය කිරීම මගින්, මෙම අනතුරු ඇඟවීම් පැය ගනනක් ඇතුලත සනාථ විය.

රැස්වීම හා එය සම්මත කල යෝජනාව, විකල්ප නායකත්වයක් සඳහා වන මෙම සටනෙහි වර්ධනය සඳහා බලගතු පදනමක් සම්පාදනය කරයි. සෑම අංගනයක හා පර්යන්තයක ම කමිටු ගොඩනගමින් ද බයිඩන්ගේ තැරැව්කාරකම්න් සිදු කෙරුනු පාවාදීම ප්‍රතික්ෂේප කිරීම සහ තීරන ගැනීමේ ක්‍රියා දාමයේ වගකීම භාරගැනීම පිනිස සාමාන්‍ය කම්කරු නායකයන් තෝරාගනිමින් හා තොරතුරු බෙදාහදා ගනිමින් ද දැන් මෙම සටන දුම්රිය කම්කරුවන් විසින් පෙරට ගෙන යා යුතු ය.

Loading