එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව යෝජනාව, චීනය සමඟ සබඳතා අවසන් කිරීමට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම අරමුනු කර ගෙන ඇත

[මෙය New UNHRC resolution aimed at pressuring Sri Lanka to end ties with China යනමැයෙන් 2022 ඔක්තෝබර් 01 පලකෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සැප්තැම්බර් මස මැද භාගයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (එජාමාහික) 51 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. “ශ්‍රී ලංකාවේ සහජීවනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාව පිලිබඳ ඡන්ද විමසීම ඔක්තෝබර් 6 වැනිදා පැවැත්වීමට නියමිතය.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ජර්මනිය මෙන්ම මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව විසින් අනුග්‍රහය දක්වන ලද මෙම යෝජනාව, අමතර කරුනු කිහිපයක් සමඟ 2021 මාර්තු මාසයේදී සම්මත කරන ලද එජාමාහික යෝජනාවක් මත පදනම් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට “දූෂනයෙහි” බලපෑම සහ “විරෝධතා ව්‍යාපාරය මර්දනයකිරීම” පිලිබඳ විමර්ශනයක් මේවාට ඇතුලත් වේ.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි, 2022 සැප්තැම්බර් 24 සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය අමතයි. [ඒපී ඡායාරූප//ජේසන් ඩික්‍රෝ] [AP Photo//Jason DeCrow]

මෙම යෝජනාවට ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනය කිරීම හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැත. එය නරුම ලෙස කොලඹ ආන්ඩුවල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට විරුද්ධ වන නමුත්, ඒ මුදල් අහේනියෙන් පෙලෙන කොලඹ ආන්ඩුවට පීඩනය වැඩි කිරීමට සහ බීජිනය සමග එහි සබඳතා අවහිර කිරීමට පමනි. චීනය සමග තීව‍්‍රවන භූ-මූලෝපායික ගැටුමේදී ශ‍්‍රී ලංකාවේ සම්පූර්න පිටුබලය ලබා ගැනීමට එක්සත් ජනපදයට අවශ්‍යය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දීර්ඝ කාලීන ආවතේව කාරයෙකි. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීනය සමඟ සබඳතා පවත්වාගෙන ගිය ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් විසින් ඔහු මෙම තත්ත්වයට ඔසවා තැබීම පිලිබඳ ව වොෂින්ටනය සැලකිලිමත් ය

වොෂින්ටනයේ ප්‍රධාන මූලෝපායික සහචරයෙකු වන නව දිල්ලිය, කොලඹ සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සහ චීන බලපෑම කොන් කර දැමීමේ උත්සාහයක් ලෙස මේ වසරේ ආර්ථිකය අර්බුදයකට ඇද වැටුනු ශ්‍රී ලංකාවට සැලකිය යුතු මූල්‍ය ආධාර සැපයීය. එම හේතුව නිසාම, වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වීමෙන් පසු, යූඑස්ඒඅයිඩී ප්‍රධානී සමන්තා පවර් ඇතුලු ජ්‍යෙෂ්ඨ බයිඩන් පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකු ද ශ්‍රී ලංකාවට පැමින ඇත.

පසුගිය වසරේ කරුනු 16 කින් යුත් එජාමාහික යෝජනාව, බලය බෙදීම, මානව හිමිකම් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිලිබඳ “සමාලෝචනයක්”, වගවීම සහ ආගමික නිදහසට ගරු කිරීම ඉල්ලා සිටියේය. සිවිල් පරිපාලනය මිලිටරිකරනය වීම ගැන ද එය කනස්සල්ල පල කලේය.

කොලඹින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය ලැබූ (එල්ටීටීඊ) ලේවැකි පරාජයෙන් පසුව, 2009 ජූනි මාසයේ යෝජනාවක් සඳහා එහි සහයදීම දක්වා ශ්‍රී ලංකාව පිලිබඳ එජාමාහික තුල එක්සත් ජනපද මැදිහත්වීම් දිව යයි. යෝජනාවේ “වගවීම” යන යෙදුම වර්ගවාදී යුද්ධයේ අවසන් මාසවල ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලද අපරාධ ගැන සඳහන් කරයි. අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය කිරීම සහ යටත් වූ එල්ටීටීඊ නායකයින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම ඊට ඇතුලත් ය.

එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රධාන බලවතුන් කොලඹ යුද්ධයට පිටුබලය දුන් අතර මෙම අපරාධවලට සහාය දැක්වීමේ වගකීම දරයි. කෙසේ වෙතත්, ඔබාමා පාලනාධිකාරය, ආයුධ සහ මූල්‍ය ආධාර ප්‍රධාන සපයන්නා බවට පත් වූ චීනය දෙසට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැරීමට විරුද්ධ විය. වොෂින්ටනයේ උත්සුකයන් එහි “ආසියාවට හැරීම” සමග බැඳී තිබුනි—එනම්, යුද්ධයට සූදානම් වීමේ දී චීනය රාජ්‍ය තාන්ත්‍රිකව හුදකලා කිරීම සහ මිලිටරි වටලෑම යි.

චීනයෙන් ඈත් වන ලෙස කොලඹට බලපෑම් කිරීම අසාර්ථකවීමෙන් පසු, වොෂින්ටනය, 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියෙන් නෙරපා හරිමින්, ඔහු වෙනුවට මෛත්‍රීපාල සිරිසේන පත් කර ගැනීමේ පාලන තන්ත්‍ර මාරුකිරීමේ මෙහෙයුමක් සැලසුම් කලේය. පසුව ඔහුගේ අගමැති ලෙස වික්‍රමසිංහ පත් කල අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තිරය පිටුපස සිට මෙහෙයුමට සහාය දුන්නාය.

සිරිසේන සහ වික්‍රමසිංහ පාලනය, එක්සත් ජනපදයට පක්ෂව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තියුනු ලෙස මාරු කල අතර, ඉක්බිතිව එය, කොලඹට එරෙහි එහි “මානව හිමිකම්” ව්‍යාපාරය දියාරු කර දැමීය. කෙසේ වෙතත්, වොෂින්ටනය, 2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු සහ ඔහුගේ සහෝදරයා වන මහින්ද 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරනයෙන් ජයග්‍රහනය කර අගමැති ධුරයට පත්වීමෙන් පසු සිය රාජ්‍යතාන්ත්‍රික පීඩනය නැවත ආරම්භ කලේය.

එජාමාහික නවතම යෝජනාවට අනුකූලව, එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු සභාපති බොබ් මෙනෙන්ඩෙස් සහ සෙනෙට් සභිකයින් වන ඩික් ඩර්බින්, පැට්‍රික් ලීහි සහ කෝරි බුකර් සෙනෙට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එය “රාජපක්ෂ පවුලේ පාලනය යටතේ පවතින දුර්වල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්තියට සම්බන්ධ අභියෝග ඇතුලුව, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳීම සඳහා පුලුල් ජාත්‍යන්තර ප්‍රවේශයක්” ඉල්ලා සිටී., ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, චීනයේ “නය උගුල් රාජ්‍යතාන්ත්‍රිකත්වයේ කොටසක් වන කොල්ලකාරී නය මගින් උත්සන්න වූ බව විදේශ සබඳතා කමිටු යෝජනාව සඳහන් කරයි.

එජාමාහික නවතම යෝජනාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ “දැඩි ආර්ථික අර්බුදය” විසින් ආහාර අනාරක්ෂිතභාවය උග්‍ර කර ඇති බවත්, ඖෂධ සහ ඉන්ධනවල දැඩි හිඟයක් ඇති කර ඇති බවත්, ගෘහස්ථ ආදායම අඩු කර ඇති බවත්‍ ය. “දූෂනය, මානව හිමිකම් භුක්ති විඳීම කෙරෙහි බරපතල ඍනාත්මක බලපෑමක් ඇති කල හැකි,” බව එය සඳහන් කරන අතරම, “රාජ්‍ය සහ හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ” දූෂන විමර්ශනය කර නඩු පැවරීමට ඉල්ලා සිටී.

ප්‍රධාන වශයෙන් රාජපක්ෂ පවුලට සහ එහි ගජමිතුරන්ට දූෂන චෝදනා එල්ල වී ඇත්තේ ඔවුන් නැවත බලයට පැමිනීම වැලැක්වීම සඳහා ය.

ඊට පටහැනිව, යෝජනාව මගින් වික්‍රමසිංහ “පවත්නා ආර්ථික අර්බුදය විසඳීමට” දරන ප්‍රයත්නයන් “පිලිගන්නා” අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග කොලඹ මෑතකදී අවසන් කරන ලද ඇප දීමේ නය ගිවිසුම “සාදරයෙන් පිලිගනී”. දුක්විඳින ශ්‍රී ලංකා මහජනතාව පිලිබඳ ඔවුන්ගේ නරුම උත්සුකයන් නොතකා, එජාමාහික යෝජනාවට අනුග්‍රහය දක්වන ප්‍රධාන බලවතුන්, ජාමූඅ කප්පාදු පියවර කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව ඊටත් වඩා ම්ලේච්ඡ ආර්ථික ප්‍රහාර එල්ල කරනු ඇති බව දනී.

රාජපක්ෂ පවුල විසින් නායකත්වය දෙන ලද ආන්ඩු ද ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩුවල දූෂනය ප්‍රකට වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම, කොවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් උත්සන්න කරන ලද ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොටසකි.

එජාමාහික යෝජනාව, “විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීම” සහ උද්ඝෝෂකයින් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද සිය කනස්සල්ල පල කරයි. රාජ්‍ය දේපලවලට සහ ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට හානි කල බවට චෝදනා කරමින්, අප්‍රේල් මාසයේ සිට, ආන්ඩුව පුද්ගලයන් 4,000 ක් පමන අත්අඩංගුවට ගෙන, 1500 කට අධික පිරිසක් බන්ධනාගාරවල රඳවා ඇත.

“සාමකාමී විරෝධතාවලට සහභාගී වීම යනු සාමකාමීව රැස්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, ආශ්‍රය කිරීමේ, පොදු කටයුතු මෙහෙයවීමේ සහ නිදහසේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ වැදගත් ආකාරයක් විය හැකිය” යනුවෙන් යෝජනාවේ සඳහන් වේ.

එක්සත් ජනපදයේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ උත්සුකයන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන නොව, රටේ දැවැන්ත සමාජ අර්බුදයට එරෙහිව වැඩකරන ජනතාව අතර පුලුල්ව පැතිරුනු විරුද්ධත්වය පාලනය කිරීමට වික්‍රමසිංහට ඇති හැකියාව ගැන ය. තමන්ගේම රටවල නැගී එන සමාජ ආතතීන්ට මුහුන දෙමින් සිටින සෑම තැනකම සිටින පාලක ප්‍රභූහු, ජූලි මාසයේදී ජනාධිපති රාජපක්ෂට රටින් පලා යාමට සහ ඔහුගේ ආන්ඩුව බිඳවැටීමට බල කල, ශ්‍රී ලංකාවේ මහජන විරෝධතා හා වැඩ වර්ජන පිලිබඳව දැඩි ලෙස කලබලයට පත්ව සිටිති.

“දෙමල සහ මුස්ලිම් ජනතාවගේ දිගුකාලීන දුක්ගැනවිලි සහ ඉල්ලීම් විසඳීමේ ප්‍රගතියක් නොමැතිකම” ගැන යෝජනාව සටහන් කරන අතර, “මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්‍ෂකයින්, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට එල්ල වන සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම්” ගැන කනස්සල්ල පල කරයි. එක්සත් ජනපද ගැති සිරිසේන තන්ත‍්‍රය විසින් අටවන ලද, අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය යන, කිසිවක් නොකල සහ යුද්ධයෙන් විපතට පත් වූවන්ගේ පවුල් මුලා කිරීමට යොදා ගත්, දත් හැලුනු ආයතන “යලි බලගැන්වීමට” එය යෝජනා කරයි.

එජාමාහික අමතමින්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි යෝජනාවට විරුද්ධ වූයේ, රජයේ ප්‍රතිපත්තිය තුල, ඕනෑම මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් “ගෘහස්ථ යාන්ත්‍රනයක්” ඇති බව පවසමිනි. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු සියලුම යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර වගකිව යුතු මිලිටරි හා දේශපාලන නායකයින් දැඩි ලෙස ආරක්ෂා කර ඇත.

කොලඹ තුල තමන්ගේ බලපෑම ඉදිරියට ගෙන යාමට උත්සාහ කරමින්, බීජිං, ශ්‍රී ලංකාව පිලිබඳ එජාමාහික යෝජනාවට විරුද්ධ විය. එහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත චෙන් ෂු කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට තැත්කරන ඕනෑම රටක ස්වයං-අභිලාෂයට චීනය විරුද්ධ වන” බවත්, “ශ්‍රී ලංකාව ස්වාධීනව තෝරාගෙන ඇති මානව හිමිකම් සංවර්ධනයේ මාවතට ගරු කරන” ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින බවත් ය.

විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) පක්ෂය, ශ්‍රී ලංකාවේ දූෂන ගැන විමර්ශනයක් ඉල්ලා සිටින අතර රාජපක්ෂ ආන්ඩුවලට දොස් පවරමින් යෝජනාවට සහාය දක්වයි. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යෝජනාව ගැන කිසිවක් ප්‍රකාශ කර නැති නමුත්, බලයට ඒමේ තිරය පිටුපස උත්සාහයේ කොටසක් ලෙස එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අනෙකුත් ප්‍රධාන බලවතුන් සමඟ සමීප සබඳතා වර්ධනය කරගමින් සිටී.

සජබ සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට යොදා ගත හැකි බව පවසමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නියෝජිතයන් යැවීය. ඇත්ත වශයෙන්ම, සජබ, ජවිපෙ සහ පෙසප සියල්ලෝම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජනපද සහ අනෙකුත් අධිරාජ්‍යවාදී “කනස්සල්ල” පිටුපස ඇති චීන-විරෝධී භූ-මූලෝපායික න්‍යාය පත්‍රය ගැන සාපරාධී නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සැම විටම අවධාරනය කර ඇති පරිදි, යුද අපරාධ පිලිබඳ අව්‍යාජ පරීක්ෂනයක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ ධනේශ්වර පාලනයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස පමනි. ශ්‍රී ලංකාවේ කම්කරුවන් මෙම අරගලයේ දී එහි සගයින් වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරිය යුතුය.

එක්සත් ජනපදය විසින් අනුග්‍රහය දක්වන ලද නව යෝජනාව ගෝලීය යුද ආතතීන්ගේ දියුනු අවධියක් වෙත යොමු වේ. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද හා නැටෝ යුද්ධය සහ චීනයට එරෙහිව උත්සන්න වන මිලිටරි ප්‍රකෝප කිරීම් න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය මතු කරයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ එහි ජාත්‍යන්තර සහචරයින්ට අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකාව තුල සුවචකීකරු වොෂින්ටන් ගැති පාලනයකට වඩා අඩු දෙයක් නොවේ. තුන්වන ලෝක යුද්ධය වැලැක්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය තුලින් පමනි.

මෙම විශ්ලේෂනය සහ කම්කරු පන්තියේ ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා අරගලය, සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසින් කැඳවනු ලබන ඔක්තෝබර් 16 රැස්වීමේදී විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත. මෙතැනින් ලියාපදිංචි වී මෙම තීරනාත්මක රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading