කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයට ගොවීහු සහය පලකරති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පන්තිය විසින් කම්කරු පීඩිත ජනයා මත එල්ල කරන ප්‍රහාරවලට එරෙහි අරගලය සංවිධානය කිරීම ට සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවුම් කර ඇති කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනය ගොඩනැගීමේ කොටසක් ලෙස සසප සාමාජිකයෝ පසුගිය සතියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැරගම ගොවි ජනපදයේ ගොවීන් අතර උද්ඝෝෂනයක නිරත වුහ.

රිදී වැව ව්‍යාපාරය යටතේ 1936 ආරම්භ කෙරුන මෙහි පවුල් 127 ට ඉඩම් ලබා දී ඇත. දැන් එම ඉඩම්වල ජීවත් වන පවුල් සංඛ්‍යාව 600 ක් දක්වා වර්ධනය වී ඇති අතර නීත්‍යානුකුල ඉඩම් නොමැති පවුල් 700 ක් පමන ගොවිබිම් ආශ්‍රිතව පදිංචි වී සිටිති. ඔවුන් ජීවිතය ගැට ගසා ගන්නේ එදිනෙදා කුලී වැඩකින් ලැබෙන සොච්චම් මුදලකිනි.

සසප සාමාජිකයෝ එහි දී කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා! සසප ප්‍රකාශය ගොවීන් අතර බෙදා හරිමින් ඔවුන් සමග ගොවිජනතාව මුහුන දී සිටින ගැටළු සහ ධනපති පාලක ප්‍රහාරවලට එරෙහි අරගලය ජාත්‍යන්තර සමාජවාදී ඉදිර්දර්ශනයක් මත පාදකව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා සංවිධානය කිරීමේ අවශ්‍යතාවය දීර්ඝව පැහැදිලි කලහ.

සසප සාමාජිකයන් සමග සාකච්ඡාවට සම්බන්ධ වූ ගොවීහු තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි විස්තර කල අතර කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ සම්මේලනයට පදනම දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම පිලිබඳව ඔවුන්ගේ එකඟතාවය ප්‍රකාශ කලහ.

වී වලට සාධාරන මිලක් නොලැබීම, ඉන්ධන, පොහොර සහ කෘෂි රසායන මිල ඉහලයාම සහ ප්‍රමානවත් තරම් පොහොර නොලැබීම නිසා ඔවුහු ඉමහත් දුෂ්කරතාවයන් ට මුහුන දී සිටිති.

මෙම තත්වය පැහැදිලි කරමින් එල්.ජී. නන්දතිලක මෙසේ පැවසීය: “ආන්ඩුව ගත් තීන්දු නිසා අප පත්ව සිටින දුෂ්කරතා විස්තර කර අවසන් කරන්න බැහැ. පොහොර ලබා දුන්නේ අක්කරයකට කිලෝ 40යි. නමුත්, එක් වරකට කිලෝ 70 ක් බැගින් තුන් වරක් යොදන්න ඕන. අවශ්‍ය ඉතිරි පොහොර ගත්තේ පුද්ගලික වෙලෙන්දන්ගෙන්. කිලෝ 50 මිටිය රුපියල් 40,000 යි. අන්තිමේ දී ලැබෙන කුඩා අස්වැන්නත් කුනු කොල්ලයට දෙන්න වෙනව. ඇමැතිවරුයි ආන්ඩුවයි බොරු කියල ගොවීන් රවට්ටනවා”.

යල කන්නයේ අස්වනු නෙලීම ආරම්භවීමත් සමග වී අලෙවි මන්ඩලය මගින් වී මිලදී ගන්නා බවත් පුද්ගලික මෝල් හිමියන්ට අඩු මිලට තොග රැස් කිරීමට අවකාශ ලබා නොදෙන බවටත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කල නමුත් යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමක් මෙතෙක් සිදු වී නොමැතිබව මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

කෙතරම් දුෂ්කරතා තිබුන ද, තම එකම ජීවනෝපාය වන ගොවිතැන අතහැරීමට ගොවීන්ට නොහැකි බව නන්දතිලක පැවසීය. “අතහැරියොත් අපට බඩගින්නේ ඉන්න වෙනවා. අපේ ගැටලු කතා කරන්න තැනක් නැහැ. ගොවි සංවිධානයට සාමාජික මුදල් ගෙවනවා . ඒවායේදිත් කතා කරන්න අවස්ථාවක් නැහැ. ඔබ පැහැදිලි කරන අයුරු අප මුහුන දෙන ප්‍රශ්න සාකච්ජා කර විසඳුම් සඳහා තීරනගෙන ඉදිරියට යා හැකිනම් එය වැදගත්. ඔබ යෝජනා කරන ක්‍රියාකාරි කමිටු ගොඩනගා නියමිත අයුරු ක්‍රියාත්මක කලොත් මෙතෙක් පැවති සංවිධාන වලට වෙනස්ව අපේ ප්‍රශ්න සඳහා අරගලයක් කරන්න හැකි වේවි. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සහ එමගින් කම්කරු ගොවි සම්මේලනයට සහභාගිවීමට මම කැමතියි.”

පසුගිය මහජන නැගිටීම සම්බන්ධයෙන් කතා කරමින් නන්දතිලක කියා සිටියේ, මහජනතාව තමා මුහුනදෙන බරපතල ප්‍රශ්න මත අරගලයට පිවිසි නමුත්, අවසානයේදී එම ප්‍රශ්න වඩාත් ගැඹුරු වී දැඩි මර්දනයකට මුහුන දීමට ඔවුන්ට සිදුව ඇති බවයි. “මමත් අරගල භූමියට ගියා. අරගලය අනිත් පැත්ත ගැසුවේ කෙසේද කියා සිතන්න වෙලා තිබෙනවා” යැයි පැවසූ ඔහු, පවත්නා ධනපති දේශපාලන සංස්ථාපිතය සම්බන්ධයෙන් තම වෛරය ප්‍රකාශයට පත් කරමින්, “පවතින කාලකන්නි දේශපාලනය අවසන් කල යුතු” යැයි කීවේය.

“අරගලය අනිත් පැත්ත ගැසුනේ”, ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය බලමුළු ගැන්වී ගැනීම වලකමින්, අන්තර්කාලීන ධනපති ආන්ඩුවකින් ප්‍රශ්නවලට විසඳුම් සම්පාදනය කරගත හැකිය යන මිත්‍යාවට ඔවුන් යටත් කොට විපක්ෂයේ ධනපති පක්ෂවල අතයටට තල්ලු කිරීම සඳහා වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉටුකල ද්‍රෝහී භූමිකාව නිසා බව සසප සාමාජිකයෝ ඔහුට පැහැදිලි කලහ.

58 හැවිරිදි එච්.වී.කේ. ප්‍රේමරත්න සඳහන් කලේ වගාවට යන වියදම පමනක් නොව, එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන සැම දෙයක්ම පිම්මේ මිල ඉහල යන බවයි.

“ආන්ඩුව නාඩු වී කිලෝවක මිල රුපියල් 120 ට නියම කිරීම සාධාරන නැහැ. වී මිලදී ගන්න බවට ආන්ඩුව මොනවා කිව්වත් ආන්ඩුව ට එහෙම සැලැස්මක් නැහැ. වී ගබඩා වහලා. බැංකු සල්ලි දුන්නොත් වී ගන්න පුලුවන් කියලා ඇමැති කියනවා. මේවා කාටද කියන්නේ. අමාරුවෙන් අමාරුවට පත්වනවා මිස පේන තෙක් මානයක අපට විසඳුමක් නැහැ” යැයි ඔහු කීවේය.

කුඹුරු අක්කරයක් ටැක්ටරය යොදා සීසෑමට කලින් වැයවූයේ රුපියල් 10,000 ක් වුව ද, මේවනවිට එය රුපියල් 30,000 ක් බවට පත්ව ඇති බවත් රසායනික පොහොර තහනම් කිරීමට පෙර සහනාධාරයක් ලෙස රුපියල් 500 කට ලබා දුන් පොහොර මිටිය කලු කඩේ විකුනන්නේ රුපියල් 40,000 ට බවත් ප්‍රේමරත්න සඳහන් කලේ ය.

“ඉන්දියාවෙන් ගෙන්වු පොහොර මිටියකට නියම කල මිල රුපියල් 10,000 ක්. නමුත් වෙලඳපලේ රුපියල් 25,000 යි. වැපිරීමට පෙර යොදන මඩ පොහොර ලැබුනෙම නැහැ. තුන්වරක් ⁣පොහොර යොදන්න ලක්ෂයක් වැයවුනා. වල්නාශක වල පැරනි මිල රුපියල් 4,000 පමන වුනා. දැන් රුපියල් 17,000 ක්. ඒ ගානට ගත්තත් නියම ප්‍රමිතියට නැහැ. ගොයම සමග වල් වැවුනම අස්වැන්න සියයට පනහක්වත් ලැබෙන්නේ නැහැ”

අවශේෂ කම්කරු-පීඩිත ජනයා මෙන් ම ගොවීන් මුහුන දෙන ප්‍රශ්න වලට හේතුව, මහා පරිමාන කම්හල්, වතු සහ බැංකු ඇතුලු නිෂ්පාදන මාධ්‍යයන්, අතලොස්සක් වූ ධනපතියන් අත පවතින අතරේ, ඔවුනගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් සමස්ත නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කෙරෙන ධනපති සමාජ ක්‍රමය මුහුන දී සිටින ඓතිහාසික අර්බුදය බව සසප සාමාජිකයෝ ඔහුට පෙන්වා දුන්හ. කෝවිඩ්-19 වසංගතය සහ එක්සත් ජනපදය සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන් විසින් රුසියාවට එරෙහිව යුක්රේනයේ ගෙන යන යුද්ධයෙන් එම අර්බුදය වඩාත් ගැඹුරු වී ඇති බව ද සසප සාමාජිකයෝ ඔහුට පැහැදිලි කලහ.

පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අඩු මිලට ලබා ගැනීම, සීසෑමට සහ ප්‍රවාහනයට වැයවන වියදම් අවමකර ගැනීම, නිෂ්පාදනය කරන වී ඇතුලු ධාන්‍ය වලට සහ එලවලු වලට යහපත් මිලක් ලබා ගැනීම, නය බරෙන් නිදහස්වීම, ජලය සහ ඉඩම් ප්‍රශ්නය විසඳා ගැනීම යන මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමට නම්, නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කොට, ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කලයුතු බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන මෙම අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනේ තීරනාත්මකභාවය ඔවුහු වැඩිදුරටත් පැහැදිලි කලහ.

ප්‍රදේශයේ තවත් ගොවියෙකු වන මුනසිංහ⁣ මෙසේ අදහස් දැක්වීය.“නිදහසෙන් පස්සෙ මේ ජනපදයෙ බහුතරයක් එක්කො යූඇන්පීයට නැත්නම් ශීු ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්නා. නමුත් එන්ට එන්ටම වුනේ අයිතීන් අහිමිවීමත් දුෂ්කරතා නිර්මානයවීමත් පමනයි. මේ කාගෙන්වත් වැඩක් නැහැ. මුනගැසෙන හැම කෙනෙක්ම ප්‍රකාශ කරන්නේ මේ දේශපාලනය ගැන කලකිරීම. ඔය සහෝදරවරු ඉදිරිපත් කරන අදහස් වැදගත් බව පේනවා. ගොවීන්ට තනිවම සටන් කරන්ට බැහැ . කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සහාය අවශ්‍යයි. කිුයාකාරි කමිටුවක් ගොඩනගාගෙන කටයුතු කිරීමට මම කැමතියි”.

තිලක ගමගේ මෙසේ පැවසීය : “ගොවීන් මුහුන දෙන ගැටලු දිගින් දිගටම උත්සන්න වෙනවා. ඒ සඳහා විසඳුමක් සොයා ගත හැක්කේ කම්කරු පංතිය වටා ගොවියන් හා සියලු පීඩිත කොටස් එකතු වෙමින්, ධනපති පංති පාලනය අවසන් කිරීම සඳහා ගෙනයන අරගලය තුලින් පමනයි. සසප කැඳවුම් කරන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ඒ සඳහා තීරනාත්මක ඉදිරි පියවරක් වන බව මගේ විශ්වාසයයි”.

Loading