දෙමාපියන් විදේශගතවීම හේතුවෙන් ලමා මානසික සෞඛ්‍යය බිඳ වැටීම අවම කිරීමේ පියවර ගැනීම සියලු ආන්ඩු පැහැර හරී

ජාත්‍යන්තර සංක්‍රමන සංවිධානය (අයිඕඑම්), ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ “බයෝ මෙඩි සෙන්ටර්” ඇතුලු ජාතික හා ජාත්‍යන්තර පර්යේෂන ආයතන ගනනාවක්, ශ්‍රී ලංකාව තුල සිදු කරන ලද සමීක්ෂනයන්ට අනුව, රැකියා හෝ අන්‍ය කටයුතු සඳහා දෙමාපියන් විදේශගතවීම එම පවුල්වල දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හා පෝෂනයට බලපාන බව තහවුරු කර ඇත.

එම සමීක්ෂන මත පදනම්ව 2015 දී එලිදක්වන ලද අධ්‍යයන වාර්තාව, මෙම 'සමාජ අවදානම අවම කිරීමේ' යෝජනා මාලාවක් ඉදිරිපත් කල නමුත්, කම්කරුවන් සහ ඔවුන්ගේ දරුපවුල් සම්බන්ධයෙන් ධනපති පාලක පංතියේ තුච්ඡ නොතැකීම ප්‍රදර්ශනය කරමින්, අනුප්‍රාප්තික ආන්ඩු සියල්ල එම යෝජනා ක්‍රියාත්මක කිරීම මුලුමනින්ම පැහැර හැර තිබේ.

ඩුබායි උද්‍යානයක අතරමං වූ ශ්‍රී ලාංකික රැකියා සොයන්නන්, 2020 ඔක්තෝබර් [මූලාශ්‍රය: Facebook]

සමීක්ෂන සිදුකොට ඇත්තේ, රැකියා සඳහා ඉහලම විදේශ සංක්‍රමනයන් වාර්තා කෙරෙන දිස්ත්‍රික්ක හයක, දෙමාපියන් සංක්‍රමනය වූ පවුල්වල විවිධ වයස් කාන්ඩයන්හි පිරිමි හා ගැහැනු ලමුන් අහඹු ලෙස තෝරා ගෙන, දෙමාපියන් සංක්‍රමනය නොවූ පවුල්වල දරුවන් සමග සංසන්දනය කරමිනි. සමීක්ෂන සියල්ලට ම අයිඕිඑම් මූලස්ථානයේ මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කෝලිත වික්‍රමගේ ඇතුළු කන්ඩායමක් සහභාගි වී ඇත.

දෙමාපියන් නැති විට ඇති වන සමාජ චිත්තවේගී බව නිසා ලමුන් අසමතුලිත ව හැසිරීම සහ අධි ක්‍රියාකාරිත්වය වැනි ගැටළුවලට ගොදුරුවිය හැකි බව මෙම අධ්‍යයනයන් පෙන්වා දෙයි. සංක්‍රමනික කම්කරුවන්ගේ පවුල්වල දරුවන් පස්දෙනකුගෙන් දෙදෙනෙකු චිත්තවේගී වන අතර දරුවන් පස් දෙනකුගෙන් දෙදෙනෙකු මානසික ආබාධවලට ලක් වෙයි. විශේෂයෙන් ම දරුවන්ට සැලකිය යුතු මානසික හා චිිත්තවේගී ඇඟවුම් ඇති වන්නේ කම්පන සහගත සිදුවීම්වල දී ප්‍රධාන ආධාරකයක් නොමැති වීමෙනි.

දෙමාපිය සංක්‍රමනය සහ මන්දපෝෂනය අතර සම්බන්ධය ද විභාග කරන පර්යේෂකයෝ, දෙමාපියන් ලඟ නැති විට, දරුවාගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා රැක බලා ගන්නන් කාලය යෙදවීම අඩු වීම, පෝෂනය ගැන නොතැකීම දරුවාගේ වර්ධනයට බලපානබව පෙන්වා දෙති. අනෙකුත් දරුවන්ගේ බර හා සසඳන විට සංක්‍රමනික කම්කරුවන්ගේ පවුල්වල දරුවන්ගෙන් සියයට 30කගේ බර අඩු ය.

එ මෙන් ම කලත්‍රයන්ගෙන් සියයට 20.7ක් මානසික අවපීඩනය, කාන්සාව, නින්ද සම්බන්ධ හා වෙනත් එ වැනි ආබාධ අත් විඳ ඇති බවත් රැකබලාගන්නන් (බොහෝ විට මිත්තනිය) ජාතික සාමාන්‍යයට වඩා තුන් ගුනයකට වැඩි එ වන් ආබාධ අත් විඳ ඇති බව අධ්‍යනයෙන් අනාවරනය වෙයි.

දිගු කලක් දෙමාපියන්ගෙන් වෙන් වී සිටීම මගින් දරුවන්ගේ මානසික යහ පැවැත්මට බලපෑම් කෙරෙන බව, කාර්මික රටවල්වල කරන ලද අධ්‍යයනවලින් ද එලිදරව් වී ඇති බව මේ පර්යේෂකයෝ සඳහන් කරති.

අවසානයේදී අධ්‍යනය මෙසේ යෝජනා කරයි: 'එක් එක් අනාගත සංක්‍රමනික පවුලක් සඳහා ලමා අවදානම් තක්සේරු කිරීම් සහ අදාල සෞඛ්‍යය, සමාජ සුබසාධනය, අධ්‍යාපනය සහ එ වැනි සාධකවලට විසඳුම් සෙවීම සඳහා සම්බන්ධීකරන සත්කාරක සැලැස්මක් අනුගමනය කල යුතු ය. සෞඛ්‍යය හා සමාජ අවදානම් අවම කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ලමා ආරක්ෂක නිලධාරීන් වැදගත් වනු ඇත.”

අධ්‍යන වාර්තාව ඉදිරිපත්කොට වසර හතක් ගතවී ඇතත්, මහජනයා අත් දකින්නේ, එහි යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවට, අනුප්‍රාප්තික ආන්ඩු විසින් පැවති සීමිත මහජන සෞඛ්‍යය වඩවඩාත් විනාශ මුඛයට ඇද දමන ආකාරය යි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත රාජ්‍ය වියදම් දැවැන්තව කප්පාදු කරමින්, තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස, කොලඹ ජාතික රෝහලේ සිට ප්‍රාදේශීය රෝහල් දක්වා වන සමස්ත රෝහල් පද්ධතිය ඖෂධ සහ උපකරනවල දරුනු හිඟයකින් වෙලී පවතී. සමස්ත මහජන සෞඛ්‍ය පද්ධතිය මුලුමනින්ම බිඳ වැටීමේ අද්දරටම පැමින ඇත.

වසංගතය වේගයෙන් පැතිරෙද්දී, එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධයෙන් දැක්වූ කුරිරු ප්‍රතිචාරය, එම කම්කරුවන්ගේ දරුවන් සම්බන්ධයෙන් පාලක පංතියේ උත්සුකය කවරේද යන්න පිලිබඳ බලගතු උදාහරනයකි. වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූ සහ රැකියා කාලය අවසන්වූ දසදහස් සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන් දිවයිනට ගෙන්වා ගැනීම ප්‍රතික්ෂේප කල රාජපක්ෂ, ඔවුන් වසංගතයට සහ හාමතට ඇද දැමීය.

සංක්‍රමනික කම්කරුවන් හා ඔවුන්ගේ දරුවන් මුහුන දෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම වෙනුවට, ධනපති පාලක පංතීන් පසුගිය දශක කීපය පුරා ඔවුනගේ සමාජ-ආර්ථික ප්‍රශ්න වඩාත් ගැඹුරු කර ඇත.

විදේශගත ව සිට පැමිනි සුබානි නම් වතු කම්කරු කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ කීවාය: “මං රට ගියේ දරුවන්ට උගන්වන්න. මහත්තය වත්තෙ වැඩට යන ගමන් දරුවො බලාගත්තා. නමුත් මං ආපහු එනකොට ලමයින්ගෙ ඉස්කෝලෙ ගමන නැවතිලා. දුව ගෙදර වැඩට හිරවෙලා. මට හරි දුකයි.”

පාසල් ගුරුවරයෙකු තම අත්දැකීමක් විස්තර කලේය: “අපේ පසලේ උනන්දුවෙන් ඉගෙන ගනිමින් සිටි දක්ෂ ම දරුවෙකුගෙ පියා හදිසියේ මිය ගිය නිසා මවට විදේශ ගත වෙන්න සිද්ධ වුනා. ඇය දරුවන්ට මුදල් එව්වා. නමුත් මේ දරුවගේ උනන්දුව ක්‍රමයෙන් පහල බැස්සා. පැමිනීම අක්‍රමවත් වුනා. ඒ ලමය කිව්වෙ ‘අම්ම ගෙදර නැතුව මට මොකුත් කරන්න හිතෙන්නෙ නැහැ කියල.'

තමා මුහුනදෙන දහසක් ආර්ථික ගැටලු වලට යම් හෝ සහනයක් පතා විදේශ රැකියාවලට යොමුවන කම්කරුවන්ගේ දරුවන්ට අත්වන මෙම ඛේදජනක ඉරනම සම්බන්ධයෙන් වගකිව යුත්තේ එම කම්කරුවන් නොව, ඔවුන් මේ සා සමාජ-ආර්ථික ව්‍යසනයකට ඇදදැමූ ධනපති පාලකයන් සහ ධනපති ක්‍රමයයි.

ඊට විපරීතව, ලමා මානසික සෞඛ්‍යය බිඳ වැටීම, නිසි පෝෂනය නොලැබීම සහ ඔවුන් මුහුනදෙන අනෙකුත් අතවර සම්බන්ධයෙන්, රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ට දොස් පවරමින්, කාන්තාවන්ට විදේශ රැකියා තහනම් කරන ලෙස ඉල්ලා ගෙනයන අන්ත ප්‍රතිගාමී උද්ඝෝෂනයක් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ කලක සිට යෙදී සිටිති. මෙහිදී ඔවුන් පෙරට දමා ඇත්තේ 'සිංහල-බෞද්ධ සංස්කෘතියට අනුව මවුවරුන්ට ඇති වගකීම' යන කඩතුරාවයි. මෙම ඊනියා සංස්කෘතිය පෙරට දමන සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ වලට, දරිද්‍රතාවයෙන් බැටකන පවුල් වල අනේකවිධ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක් නොමැත.

කම්කරු පංතිය බෙදීමේ මූලික දෘෂ්ටිවාදාත්මක අවිය ලෙස සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය අඛන්ඩව යොදාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව, මෙම දක්ෂිනාංශික උද්ඝෝෂනය සමග මාට්ටු වෙමින්, 2013 දී සංක්‍රමනික කම්කරු කාන්තාවන් සඳහා නව නීති සම්පාදනය කලේය. ඒ අනුව, වයස අවුරුදු 5ට අඩු දරුවන් ඇති මව්වරුන්ට විදේශගතවීම තහනම් කෙරුනි. වයස අවුරුදු 5ට වැඩි දරුවන් ඇති මවුවරුන් විදේශගත වන්නේනම් දරුවන්ට නිසි රැකවරනයක් ඇති බව ප්‍රාදේශීය ලේකම් විසින් සනාථ කලයුතු වෙයි.

දරුවන් සම්බන්ධයෙන් ධනපති පාලකයන්ගේ මෙම උත්සුකයේ ව්‍යාජත්වය දැන් එලිමහනට පැමින ඇත. “රට විදේශ විනිමය හිඟයට මුහුන දෙන බැවින් කාන්තාවන්ට විදේශගත වීමට හා විදේශ මුදල් ඉපයීම අනිවාර්ය අවශ්‍යතාවලින් “පවුල් පසුබිම්” වාර්තාව ඉවත් කිරීමේ පියවරක් ශ්‍රී ලංකාවේ කැබිනට් මන්ඩලය අනුමත කර' ඇතිබව 2022 ජූනි 25 දා “ඉකොනොමි නෙක්ස්ට්” වාර්තා කලේ ය.

ගෘහස්ත රැකියා සඳහා විදෙස් ගත වන කාන්තාවන්ගේ අවම වයස පැවතියේ සෞදි අරාබියට වයස 25 ද මැද පෙරදිග රටවලට 23 ද අනෙක් රටවලට 21 ද වශයෙනි. එය සංශෝධනය කරමින් අවම වයස 21 දක්වා අඩු කිරීමට ද ජූනි මාසයේ ම කැබිනට් මන්ඩලය අනුමැතිය දුන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාව සම්මත කරමිනි.

ධනපති පාලකයන්ගේ එකම උත්සුකය, කම්කරුවන්ගේ ලාභ ශ්‍රමය විදේශයන්ට සපයා ප්‍රේෂන ඉපැයීම මිස දරුවන්ගේ ආරක්ෂාව නොවන බව මේ පියවර මගින් යලිත් සනාථ වෙයි.

තම දරු පවුල් සමග එකට වාසය කරමින්, ඔවුනගේ අවශ්‍යතා සපුරාලිය හැකි වැටුපක් සහිත රැකියාවක යෙදීම සාක්ෂාත් කල හැක්කේත්, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනෙකුත් අවශ්‍යතා සුරක්ෂිත කල හැක්කේත්, නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතුකොට මානව අවශ්‍යතා සපුරාලන පරිදි, සමස්ත ගෝලීය ආර්ථිකය සමාජවාදී නිෂ්පාදන-ආර්ථිකයක් ලෙස ප්‍රතිසංවිධානය කර ගැනීමෙනි.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන මෙම සටන පෙරට ගැනීමට, සංක්‍රමනික කම්කරුවන් ඇතුලු සියලු කම්කරුවන් අතර ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාපත් කරගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. සමාජවාදී ඉදිරි දර්ශනයක් සාකච්ඡා කොට අනුමත කරගැනීම සඳහා, මෙම ක්‍රියාකාරී කමිටු දිවයින පුරා විස්තාරනය කොට, සම්බන්ධීකරනය කරමින් හා කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයකට නියෝජිතයන් තෝරාගැනීමේ පදනම් සංවිධාන බවට පත් කරගනු ලැබිය යුතු ය.

Loading