මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව සාර්ථක රැස්වීමක් පවත්වයි

මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව, ඔක්තෝබර් 16 වැනි දා, “මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට සහ වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට සටන් කරන්නේ කෙසේද?” යන මැයෙන් රැස්වීමක් පැවැත්වීය. රෝහලේ කේ.එස්.එම් ශාලාව තුල පැවති මෙම රැස්වීමට වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය කාර්ය සහායකයන් සහ අතුරු වෛද්‍ය ශ්‍රේනිවල සෞඛ්‍ය සේවකයෝ සහභාගි වී සිටියහ.

රැස්වීමට කායික ව සහභාගි වීමට නොහැකි වූ මහනුවර රෝහලේ සහ අනෙකුත් රෝහල්වල සෞඛ්‍ය සේවකයන්ට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැකි අයුරින්, රැස්වීම Zoom තාක්ෂනය ඔස්සේ ද විකාශය කෙරිනි. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රහාර පරාජය කරන්නේ කෙසේ ද” යන මැයෙන් මෙ වැනි ම රැස්වීමක් ජුනි මස 16 වැනි දින කමිටුව විසින් පවත්වන ලදී.

2022 අප්‍රේල් 28 මහජන ව්‍යාපාරයට සහාභාගී වූ මහනුවර රෝහලේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ.

ඔක්තෝබර් 16 වැනි දා රැස්වීම ගොඩනැගීම සඳහා කමිටු සාමාජිකයන් දින ගනනාවක් පුරා ගෙන ගිය උද්ඝෝෂනය තුල, “අපගේ දැවෙන ඉල්ලීම් දිනා ගැනීමට කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගනු!” නැමැති සිරස සහිත බැනරයක් රෝහල තුල ප්‍රදර්ශනය කෙරුනු අතර, රැස්වීමේ අරමුන පැහැදිලි කෙරුනු පත්‍රිකාවක් බෙදා හරිමින්, ඒ මත රෝහලේ සේවකයන් අතර බලගතු සාකච්ඡාවක යෙදී ගත්හ.

“මහජන සෞඛ්‍යය පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට වහා අරමුදල් සම්පාදනය කරනු!” සහ “සෞඛ්‍යය ඇතුලු සෑම ක්ෂේත්‍රයක ම කම්කරුවන්ට, ජීවන වියදමට අනුව ඉහල යන පරිමානයකින් වැටුප් ලබා දෙනු!” ආදී වශයෙන්, ක්‍රියාකාරී කමිටුව තම පත්‍රිකාව තුල ඉදිරිපත් කල මූලික ඉල්ලීම් සාක්ෂාත් කර ගන්නේ කෙසේ ද යන්න මත වර්ධනය කෙරුනු මෙම පුලුල් සාකච්ඡාවට රෝහලේ සියලු ක්ෂේත්‍රයන්හි සේවකයෝ උද්‍යෝගයෙන් සහභාගි වූහ.

සෞඛ්‍ය සේවකයන් ඇතුලු ලංකාවේ කම්කරුවන්ට සහ ලොව පුරා සහෝදර කම්කරුවන්ට එල්ල කෙරෙමින් පවතින ප්‍රහාරයන්හි සමානකම ගැනත්, එම ප්‍රහාරයන්ට එරෙහි ව ලොව පුරා වේගයෙන් වැඩෙන කම්කරු පංතික අරගල ගැනත් මෙහිදී සාකච්ඡා කෙරුනි. දියුනු යැයි කියන රටවල පවා මේ තත්ත්වයන් ඇති වීමට හේතු මොනවා දැයි දැනගැනීමට කම්කරුවෝ දැඩි උනන්දුවක් දැක්වූහ.

ජාත්‍යන්තර කම්කරු අරගල සම්බන්ධ ව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපි ඇසුරු කර ගනිමින්, පද්ධතිමය බිඳ වැටීමකට ලක් ව ඇති ගෝලීය ධනපති ක්‍රමයේ පෙර නොවූ විරූ අර්බුදය මෙම ප්‍රහාරයන්ගේ මූලය බව කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

බොහෝ සේවකයින් පැවසුවේ, වෘත්තීය සමිති, ජනතා විමුක්ති පෙරමුන සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කිසිම සංවිධානයක් ඔවුනට මෙම සත්‍ය හේතු පැහැදිලි කර නොදෙන බවයි. එම සංවිධාන පවසන පරිදි, ධනපති ආන්ඩු වලට බල කිරීමෙන් හෝ එම ආන්ඩු වෙනස් කිරීමෙන් තම ඉල්ලීම් දිනාගත නොහැකි බව මෙම සාකච්ඡාවන් තුලින් වැටහුනු බව ඔවුහු අවධාරනය කලහ.

කම්කරු පංතියේ බල සංස්ථාවන් ලෙස, වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරි කමිටු, සෑම රෝහලක ම, සෑම වැඩපොලක ම සහ සෑම වතුයායක ම ගොඩනගා ගැනීමේ අත්‍යවශ්‍යභාවය මෙම සාකච්ඡාවන්හි දී රෝහල් සේවක-සේවිකාවන්ට කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

එම කමිටුවල නියෝජිතයන්ගෙන් සමන්විත “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” කැඳවීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන ඇති ආරම්භකත්වය පිලිබඳව දැන ගැනීමට සෞඛ්‍ය කම්කරුවන් අතර බලගතු උනන්දුවක් පැවතුනි.

සති දෙකකට වඩා කාලයක් කල උද්ඝෝෂනයෙන් පසු ඔක්තෝම්බර් 16 වැනිදා කෑම විවේකයේදී රැස්වීම ආරම්භ විය.

රැස්වීම මුලින්ම ඇමතූ, කේ.ධම්මික විසින් කමිටු සාමාජිකයන් ඉදිරිපත් කරන ඉල්ලීම් මොනවාදැයි පැහැදිලි කරමින් එම ඉල්ලීම් ලබා ගැනීමට “කම්කරුවන් විදිහට අපි අපේ ම වැඩපිලිවෙලක් දියත් කල යුතු” යැයි පැවසී ය.

ආන්ඩුව සිදු කරමින් සිටින්නේ කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දීම නොව, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු කොන්දේසි කම්කරුවන් මත පටවමින් සහ ඊට විරුද්ධව පැන නගින කම්කරු අරගල රුදුරු ම ආකාරයෙන් මර්දනය කිරීමට අවශ්‍ය අන පනත් සාදමින් රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීම” බව ධම්මික තවදුරටත් පෙන්වා දුන්නේ ය.

වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය විවිධ ආකාරයෙන් එයට සහයෝගය දෙමින් කම්කරු අරගල දිය කරමින් සිටින බව පෙන්වා දෙමින් ඔහු මෙසේ පැවසී ය: “රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නායකයා, සමන් රත්නප්‍රිය, රනිල් වික්‍රමසිංහට කාලය ලබා දිය යුතු යැයි කියනවා. තාක්ෂනවේදීන්ගේ සංගමයෙ නායකත්වයෙ ඉන්න රවි කුමුදේශ් වික්‍රමසිංහට කියනව, ‘අපි හතුරන් නෙවේ, ඔබතුමාට සහයෝගය ලබා දෙනව’ කියල. ඔවුන් වික්‍රමසිංහට කල් දෙන්නෙ සහ සහයෝගය දෙන්නෙ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ විධානයන් මත එල්ල කරන ප්‍රහාරය වඩාත් සැලසුම්ගත ව සූදානම් කරන්න.”

මේ වන විට, ධීවරයන්, ගුරුවරුන්, වතු කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන් සහ ගොවීන් අතර, සසප මූලිකත්වයෙන් ක්‍රියාකාරී කමිටු පිහිටුවා ඇති බවත්, “පසුගිය කාලේ කම්කරුවන්ගේ ජනප්‍රිය සටන් පාඨ වූ පාර්ලිමේන්තුවේ 225 ම එපා, වසර 74 ක සාපයෙන් ගැලවෙමු සහ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියන ඒවාට දෙන්න පුලුවන් අතිශයින්ම ප්‍රායෝගික හා විද්‍යාත්මක ප්‍රකාශනය ලබාදිය හැක්කේ මෙම ක්‍රියාකාරි කමිටු මත ගොඩනගන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් මගින් පමනක්” බවත් ඔහු පැවසී ය.

නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය ලෝක පරිමාන ව පෙරලා දමා, නිෂ්පාදන මාධ්‍යයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කොට, මානව අවශ්‍යතාවයන් සපුරාලන පරිදි සමස්ත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් එම සම්මේලනය තුල සම්මත කල හැකි බවත්, ඒ මත කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන් මෙහෙයවා ගතහැකි බවත් පෙන්වා දෙමින් ධම්මික තම කතාව අවසන් කලේ ය.

අනතුරුව රැස්වීම ඇමතුම් කමිටු සාමාජික ගමගේ සඳහන් කලේ, ආන්ඩුව අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන මුදල් කපා දමමින්, කම්කරු අරගල මැඩීම සඳහා පොලීසිය සහ මිලිටරිය ශක්තිමත් කිරීමට දැවැන්ත මුදල් සම්භාරයක් වැය කරන බවයි. ගමගේ මෙසේ පැවසී ය: “සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ අනෙකුත් මහජන අවශ්‍යතාවන්ට මුදල් ඕන තරම් තියෙනව. නමුත් ඒ මුදල් තියෙන්නෙ මහධනපතියන්ගෙ අතේ. ඔවුන් ඒ මුදල් ගොඩගසා ගත්තෙ කම්කරු පංතියෙ ශ්‍රමය සූරා කෑමෙන්. වසංගතය පැවති වසර දෙකේ දී හේලීස් සහ එල්ඕඑල්සී වැනි සමාගම් වාර්තාගත වැඩිම ලාභය උපයා ගත්ත. ආන්ඩුව සල්ලි නෑ කියන්නේ එවැනි සමාගම් වලට අධික බදු සහන ලබාදෙමින් සිටින අතරෙ.”

ආර්ථික අර්බුදයෙන් වෙලී සිටින ලංකාව ඇතුලු ලොවපුරා ආන්ඩු, කම්කරුවන් මත දැවැන්ත බදු පටවන අතරේ, මහ ධනපතියන්ට බදු සහන ලබාදෙන ආකාරය ඔහු පෙන්වා දෙන ලදී. කොරෝනා වසංගතයෙන් උග්‍ර කෙරුනු මෙම ධනේශ්වර අර්බුදය, එක්සත් ජනපදය සහ නැටෝව රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධයෙන් වඩාත් ගැඹුරු කෙරෙන තතු යටතේ, පාලකයන් විසින් ගෙන යන ඉහත ක්‍රියාදාමය වඩාත් තීව්‍ර වන බව ගමගේ පෙන්වා දුන්නේ ය.

“මෙම ධනපති ප්‍රහාරය පරාජය කිරීමට, කම්කරු පංතියේ ජාත්‍යන්තර ප්‍රතිප්‍රහාරයක් අවශ්‍ය යි. ලෝක පරිමාන ව ගොඩනගන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් මේ සඳහා අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි. එම ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස අප ක්‍රියාකාරි කමිටුව වර්ධනය කිරීමටත්, අනෙකුත් රෝහල් සහ වැඩබිම් තුල ක්‍රියාකාරි කමිටු ගොඩනැගීමටත් පෙරට එන ලෙස මම සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”

රැස්වීමේ අවසාන භාගයේ දී, රැස්වීම ගොඩනැගීම සඳහා කල උද්ඝෝෂනය තුල දී කම්කරුවන් මතු කල ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙන ලෙස සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධනට ආරාධනය කෙරිනි. ඔහු රැස්වීමට සම්බන්ධ කර ගනු ලැබුවේ Zoom තාක්ෂනය හරහා ය.

“කම්කරුවන් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ගෙන යන සටනේ දී මුහුන දෙන රාජ්‍ය මර්දනය ඇතුලු ප්‍රශ්න ජය ගන්නේ කෙසේද?” යන ප්‍රශ්නයට ඔහු දීර්ඝ ලෙස පිලිතුරු දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ පසුගිය මහජන නැගිටීම විශ්ලේෂනය කරමින්, විජේසිරිවර්ධන මෙසේ පැවසී ය:

“එම නැගිටීම තුල කම්කරුවන් තමා සතු දැවැන්ත සමාජ බලය ඉතා පැහැදිලි ව පෙන්නුම් කලා. විශේෂයෙන් ම, අප්‍රේල් 28, මැයි 06 සහ මහ වැඩවර්ජනයන්ට මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගි වීමත් සමග මහජන නැගිටීම නව තලයකට සේන්දු වුනා. ධනපති ආන්ඩුවට පමනක් නොව, ධනපති රාජ්‍යයට අභියෝග කරමින් එය ඉදිරියට වර්ධනය වෙතැයි යන භීතියෙන් ධනපති පාලකයන්ගේ පමනක් නොව, ධනපති ක්‍රමයට ඓන්ද්‍රීය ව බැඳීගත් වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන භීතියෙන් ඇලලුනා. මහජන නැගිටීම, ධනපති විපක්ෂ වල ‘අන්තර් වාර ආන්ඩු’ වැඩපිලිවෙල යටතට හරවා, කම්කරු පංතියේ ස්වාධින දේශපාලන ව්‍යාපාරයක් ලෙස එය වැඩී යාම දැනුවත් ව වලකනු ලැබුවා.”

කම්කරු පංතියට නායකත්වය සහ ඉදිරි දර්ශනය සම්පාදනය කරන කම්කරු පංතික මහජන විප්ලවවාදී පක්ෂයකින් එම නැගිටීම මෙහෙයවා ගැනීමට නොහැකි වීම, ධනපති ආන්ඩුවක් යලි බලයට පැමිනීමේ අතිමූලික හේතුව බව විජේසිරිවර්ධන පැවසී ය.

“වෘත්තීය සමිති වලින්, ව්‍යාජ-වාම සහ ධනපති දේශපාලනයෙන් ස්වාධීන වූ තමාගේ ම බල සංස්ථාවන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතු බවට සමාජවාදී සමානතා පක්ෂය කරන අවධාරනයේ වැදගත්කම මෙහි දී බලගතු ලෙස ඉස්මත්තට පැමිනෙනවා. මහනුවර රෝහලේ සේවකයන් ලෙස ඔබ දැනටමත් එම ආරම්භය ගෙන, අනෙකුත් කම්කරුවන්ට ආදර්ශයක් සම්පාදනය කර තිබෙනවා.”

එම කමිටු වටා ගම්බද පීඩිත ජනයා රැලි කර ගැනීම අත්‍යවශ්‍ය බව විජේසිරිවර්ධන පැවසී ය. “ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත එම කමිටු ඒකාග්‍ර කොට, කම්කරු පංතිය අතට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මෙහෙයවා ගන්නා විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීම මෙහිදී අති මූලික වෙනවා. 1917 දී රුසියාවේ සිදුවූ කම්කරු පංතික සමාජවාදී විප්ලවය සාක්ෂාත් කරගත හැකිවූයේ, කම්කරු පංතික බල සංස්ථාවන් ලෙස ගොඩනැගුනු සෝවියට් සභා, ලෙනින් සහ ට්‍රොට්ස්කි නායකත්වය දුන් බොල්ෂේවික් පක්ෂය යටතේ ඒකාග්‍රකොට මෙහෙයවා ගැනීමට හැකි වූ නිසයි.”

“කම්කරු පංතියට එරෙහි ව ධනපති අවශ්‍යතා සඳහා මධ්‍යගත ව සංවිධානය වී ඇති ධනපති රාජ්‍යයේ මර්දනය ජය හැක්කේ මධ්‍යගත ව සංවිධානය වූ මහජන විප්ලවවාදී පක්ෂයකින් කම්කරු පංතිය ඒකාග්‍රකොට මෙහෙයවා ගැනීමෙන් බව ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයේ පාඩමයි. අපි එය ආදර්ශයට ගතයුතු වෙනවා.”

තම කමිටුවට බැඳෙමින් අනෙකුත් රෝහල්වල සහ වැඩබිම් තුල ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ක්‍රියාශීලි ව කටයුතු කරන මෙන් රැස්වීම මෙහෙය වූ ගමගේ කරන ලද කැඳවුමකින් රැස්වීම අවසන් විය.

Loading