යුද්ධයට එරෙහි ව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා!

[මෙය For the organization of an international movement of workers and young people against war! මැයෙන් 2022 ඔක්තෝබර් 12 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට (හජාජාක) දේශපාලන සහයෝගය ප්‍රකාශයට පත්කර ඇති සංවිධානයක් වන, රුසියාවේ තරුන බොල්ෂෙවික්-ලෙනින්වාදී නියාමකයන් (වයිජීබීඑල්) විසින් මෙම ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී. යුද්ධයට විරුද්ධ ව තරුන ජනයාගේ ව්‍යාපාරයක් ගොඩනැගීම සාකච්ඡා කිරීම සඳහා ඔක්තෝබර් 9දා හජාජාක සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය පැවැත්වූ රැස්වීමකට වයිජීබීඑල්හි නියෝජිතයෝ ද සහභාගි වූ හ.

1. යුක්‍රේනය මැදි කරගෙන රුසියාව සහ එක්සත් ජනපද-නැටෝ සන්ධානය අතර කෙරෙන යුද්ධයට එරෙහි ව, ජාත්‍යන්තර තරුන ජනයාගේ ව්‍යාපාරයක් සංවිධානය කිරීමේ දී, බොල්ෂෙවික්-ලෙනින්වාදී තරුන නියාමකයෝ (වයිජීබීඑල්) සංවිධානය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට (හජාජාක) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයට විවෘත ව සහෝදරත්වය ප්‍රකාශ කරයි.

2. මෙම සහෝදරත්වය සනාථ කරමින්, ඔක්තෝබර් 9දා හජාජාක සහ සසජාතශි යුද්ධයට විරුද්ධ ව පැවැත්වූ ජාත්‍යන්තර රැස්වීමට, වයිජීබීඑල් නියෝජිතයෝ සහභාගි වූ හ. එම රැස්වීමේ දී, වයිජීබීඑල්, හජාජාකට හා සසජාතශිට සිය දේශපාලන සහයෝගය ප්‍රකාශ කලේ ය. සමාජවාදී ඉදිරි දර්ශනයක් සඳහා වන අරගලයෙහි කොටසක් ලෙස, ජාත්‍යන්තර යුද-විරෝධී තරුන ව්‍යාපාරයක් ස්ථාපනය කිරීම පිනිස පියවර ගැනීම වෙනුවෙන්, වයිජීබීඑල් නියෝජිතයෝ ද ඡන්දය පාවිච්චි කල හ.

3. ධනේශ්වර රටවල ප්‍රතිගාමී පිලිවෙත් සහ සමාජය තුල පන්ති අරගලයෙහි ගතිකය අවසානයේ දී නීර්නය කරන තියුනු අර්බුදයක ලෝක ධනේශ්වර පද්ධතිය දැන් ගිලී සිටී. විසි වන ශතවර්ෂයේ නො විසඳුනු ගැටලු - අන් සියල්ලටමත් වඩා නිෂ්පාදනයෙහි සමාජීය ස්වභාවය හා ධනපති ආත්මසාත්කරනයේ පෞද්ගලික රූපාකාරය ද භූගෝලීකෘත ආර්ථිකය හා ලෝකය ජාතික රාජ්‍යයන්ට බෙදී පැවතීම ද යන පරස්පර විරෝධයන් - හේතුවෙන් සමස්ත ධනපති ක්‍රමය එහි දාරයන්ගෙන්ම පුපුරා යමින් පවතී. මෙම පරස්පර විරෝධයන් උග්‍රවීම විසින්, ප්‍රතිගාමී, ස්වෝත්තමවාදී හා මිලිටරිවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමට ධනපති රටවල් මෙහෙයවනු ලබයි. තියුනු අර්බුදයකට මුහුන දෙන එක්සත් ජනපදය, ලෝකය නව නියාමයන් මත යලි බෙදීමට උත්සාහ දරයි.

4. එක්සත් ජනපදයට ස්ථාපනය කිරීම අවශ්‍ය කරන නව ලෝක පර්යායේ පින්තූරය මෙයාකාරව දිස්වේ: රුසියාවේ හා චීනයේ ස්වාභාවික, කාර්මික-තාක්ෂනික හා මානව සම්පත් මත ඍජු පාලනය අත්කර ගැනීම සඳහා එම රටවල් අධිරාජ්‍යවාදයට යටත් කරගෙන බෙදා ගත යුතුය.

5. යලි බෙදනු ලබන ලෝකය තුල තමන්ගේ ස්ථානය ලබා ගැනීම සඳහා යුරෝපීය අධිරාජ්‍යවාදී බලයෝ එක්සත් ජනපදයට සහයෝගය දෙති. ඒ අතර ම, එක්සත් ජනපදය විසින් සලාක මත තබා තිබෙන යුරෝපීය අධිරාජ්‍යවාදය, එයට පුර්වයේ පැවතියා වූ විභූතිය යලි අත් කර ගැනීම සඳහා ලෝකය යලි බෙදීමක් තුලින් සිය ආර්ථික හා භූ-දේශපාලනික දුර්දසාවෙන් එලියට ඒමේ මාවතක් දැකගනී.

6. පැසිෆික් කලාපය තුල චීනයට එරෙහි සිය අරගලය තුල දී, සිය අවශ්‍යතාවන්ට ගැලපෙන තරමට පමනක්, ජපානය, දකුනු කොරියාව හා ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයට සහයෝගය දෙති. තමන්ට චීනය සමග තරඟ කිරීමට ඉඩ ලබා දෙන තාක් කල්, මෙම රටවල් එක්සත් ජනපදයට සහයෝගය දෙනු ඇත. බලපෑම් කල හැකි කලාප බෙදාගැනීමේ ක්‍රියාදාමය, යුරෝපය තරම් ම යටපත්ව තිබූ පැසිෆික් ධනේශ්වර බලයන් අතර ද පරස්පර විරෝධයන් පනගන්වනු ඇත.

7. 2008 අර්බුදය ලොව පුරා පන්ති අරගල පුනර්ජීවනය කලේය. 2010 ගනන් මුල අරාබි වසන්තය, මෙම පුනර්ජීවනයෙහි විචිත්‍ර ප්‍රකාශනයකි. එය එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයට, වඩා තීරනාත්මක පියවරයන් ගැනීමට බල කලේ ය. 2014 දී ඔවුහු යුක්‍රේනයේ කුමන්ත්‍රනයට සහයෝගය දුන් හ. මෙම කුමන්ත්‍රනය හරහා, රුසියාවට එරෙහි අනාගත යුද්ධයක දී, මුරපොලක් ගොඩනැගීම සඳහා සියලු කොන්දේසි නිර්මානය කරගැනීමට එක්සත් ජනපදයට හැකි විය.

8. 2020 දී පුපුරා ගිය කෝවිඩ්-19 වසංගතය, ධනවාදයේ පරස්පර විරෝධයන් ගැඹුරු කලේ, රුසියාවට හා චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීම් ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වඩා වේගවත් ප්‍රසාරනයක් සඳහා ප්‍රේරකය බවට පත්වෙමිනි. “එක් චීනයක්” පිලිගැනීමේ පිලිවෙත අත්හැර දැමීමේ ද සෙලෙන්ස්කිගේ “ක්‍රිමියානු වේදිකාවට” සහයෝගය දුන් 2021 අගෝස්තුවේ පැවති නැටෝ සමුලුව තුල ප්‍රකාශයට පත් වූ ආකාරයෙන් යුක්‍රේනයට දෙන සහයෝගය ඉහල දමමින් ද වඩා ප්‍රකෝපකාරී මාවතක් අනුගමනය කිරීමට එක්සත් ජනපදය කටයුතු කලේ ය.

9. ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රතිගාමී පාලන තන්ත්‍රය ඉස්මතු වූයේ, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය ද්‍රෝහී ලෙස විසුරුවා දමා, ධනවාදය පුනස්ථාපනය කිරීමෙනි. අවසන් විග්‍රහයේ දී පුටින්ගේ පිලිවෙත්වල ඉලක්කය වන්නේ, ඉහලින් එන බටහිර අධිරාජ්‍යවාදයේ පීඩනයෙන් ද වඩාත් තීරනාත්මක ලෙස පහලින් වර්ධනය වන රුසියානු කම්කරු පන්තියේ ගමනින් ද පශ්චාත්-සෝවියට් කතිපයාධිකාරයේ ධනය ආරක්ෂා කරදීම යි.

10. මෙම භූ-දේශපාලනික හා සමාජීය සන්දර්භය ඇතුලත, පෙබරවාරි 24දා පුටින් සිදු කල අතිධාවනකාරී යුක්‍රේන ආක්‍රමනය වනාහි, නැටෝව අඛන්ඩව නැගෙනහිර දක්වා ප්‍රසාරනය කිරීම කෙරෙහි රුසියානු කතිපයාධිකාරය දැක්වූ ප්‍රතිචාරය විය. පුටින්ගේ ආක්‍රමනයට තුඩු දෙමින් එක්සත් ජනපද-නැටෝ පාර්ශවය විසින් “රතු සීමා” පැන අවසන් සාකච්ඡා වටය නිම කෙරුනු තතු යටතේ, පුටින් පාලන තන්ත්‍රයේ ප්‍රධාන අරමුන වූයේ, එහි “විශේෂ මෙහෙයුමෙහි” පීඩනය යෙදීම මගින් එක්සත් ජනපද-නැටෝ සන්ධානය සමග සාකච්ඡාවල නව වටයක් ලබා ගැනීම යි.

11. රුසියානු ධනේශ්වරය බටහිර සමග “සම හවුල්කාරීත්වයක්” අපේක්ෂා කිරීම, බොහෝ මනෝරාජික මායාවන්ගෙන් එකක් විය. ස්ටැලින්ගේ “මහජන පෙරමුනු” පිලිවෙතින් හා “සාමකාමී සහජීවනයෙන්” ඓතිහාසික ව තද්භව වන මෙම මායාව, 1990 ගනන්වල දී නැගී එමින් පැවති රුසියානු ධනපති පන්තිය අතර වර්ධනය වූ එකකි.

12. පුටින් පාලන තන්ත්‍රය මෙම මනෝරාජික මායාවෙන් අත්මිදී නැත. එහි සමස්ත පිලිවෙත ලෙස පැවතියේ, බටහිර සමග උපාමාරු දැමීම හා සම්මුති සෙවීම ය. රුසියානු කතිපයාධිකාරයට බටහිර සමග “සම තත්ත්වයක සිටීම” අවශ්‍ය වුයේය. රුසියාව අල්ලාගැනීමේ අභිලාෂයන් සහිත බටහිර අධිරාජ්‍යවාදය, පුටින් පාලන තන්ත්‍රයේ මෙම සමාදානමය හඬ ගැන තැකීමක් කලේ නැත.

13. සිය සැබෑ කොම්ප්‍රදෝරු ස්වභාවයෙන් අනූන වූ යුක්‍රේනියානු කතිපයාධිකාරය සඳහා, ඔවුන්ගේම ස්වයං-නීර්නය සහිත ස්වාධීන “ප්‍රජාතන්ත්‍රවාදී” යුක්‍රේනයක් පිලිබඳ සිහිනය ඉදිරියට දැමීම ලාභදායී විය. මෙම මනෝරාජ්‍යය, ලෝක අධිරාජ්‍යවාදී පද්ධතිය නියෝජනය කරන යතාර්ථීය ප්‍රාකාරයේ ගැටී වහා සුන්වී ගියේය. රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී අභිලාෂයන් හිදී යුක්‍රේනය බටහිර ප්‍රාග්ධනයේ උපකරනයක් බවට පත්ව ඇත.

14. බටහිර සමග “සමාන” සාකච්ඡාවක් පිලිබඳ රුසියාවේ මනෝරාජික සිහිනයන් මෙන් ම, යුක්‍රේනයෙහි නිදහස ද ආරම්භ වීමටත් පෙර අවසන් විය. සෝවියට් සංගමයේ විනාශකාරී ඇදවැටීමෙන් පීඩා විඳ ඇති මෙම රටවල් දෙක ම, බියකරු යතාර්ථයකට මුහුන දුනි. ඒවායේ ප්‍රතිගාමී අරමුනු අත්පත් කරගැනීමේ හැකියාවට අත්වූයේ ද එම ඉරනම ම ය.

15. ධනවාදී රුසියාව නිදහස් ව පැවතුනේ, එය තවමත් සෝවියට් උරුමය අයත් කරගෙන සිටි ප්‍රමානයට පමනි: එනම් එය සතුව පැරනි සෝවියට් සමූහාන්ඩුවල මිලිටරි කඳවුරු, න්‍යෂ්ටික ආයුධවල යෝධ ගබඩා හා පොහොසත් අමු ද්‍රව්‍ය යනාදිය භුක්ති විඳි තතු තුලය. රුසියානු කතිපයාධිකාරය වහා ද්වන්ද්ව තත්ත්වයක් අත් කරගත්තේ ය: අමු ද්‍රව්‍ය සම්පාදකයෙකු ලෙස, අමු ද්‍රව්‍ය කලමනාකරනය කිරීම හා පාලනය කිරීම නිදහසේ කරගෙන යාමටත්, ඒවායින් ලාභ ලැබිමටත් එයට අවශ්‍ය විය.

16. සැබෑ නිදහස සඳහා වන යුක්‍රේනයේ සිහින, වත්මන් ධනපති ක්‍රමය තුල මිරිඟුවකි. යුක්‍රේනියානු ප්‍රශ්නයට පවතින එක ම සැබෑ විසඳුම විය හැක්කේ ලෝක සමාජවාදී විප්ලවයයි. තව ද මෙය අදාල වන්නේ, යුක්‍රේනියානු ප්‍රශ්නයට පමනක් නො වේ. ඕනෑ ම ප්‍රාදේශීය ප්‍රශ්නයක් අවසානයේ දී විසඳනු ලැබිය හැක්කේ, ලෝක පරිමානයකින් හෙවත් ගෝලීය මාවතකින් පමනි.

17. පුටින්ගේ යුක්‍රේන ආක්‍රමනයෙන් පසුව යුද්ධය ගත් මාවතෙන් වඩවඩාත් තහවුරු කෙරෙන්නේ මෙම ආක්‍රමනයෙහි ප්‍රතිගාමී ස්වභාවයයි. බටහිර අධිරාජ්‍යවාදයේ තර්ජනයෙන් රුසියානු ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්නේ යයි කියාපාන පුටින් යතාර්ථයේ දී ආරක්ෂා කරමින් සිටින්නේ රුසියානු කම්කරු පන්තිය හා රටෙහි අමු ද්‍රව්‍ය සම්පත් සූරාකෑමට රුසියානු කතිපයාධිකාරයට පවතින නිදහස පමනි.

18. සැප්තැම්බරයේ හා ඔක්තෝබරයේ පුටින් තන්ත්‍රය ලත් මෑත පරාජයන්ගෙන් අවධාරනය කෙරෙන්නේ, රුසියානු සමාජයෙහි වර්තමාන අර්බුදයෙන් එලියට ඒමේ මාවතක් එම තන්ත්‍රයට නැති බව යි. පුටින් පාලන තන්ත්‍රයේ සියලු මිලිටරි හා දේශපාලනික ක්‍රියාකාරකම්, බටහිර අධිරාජ්‍යවාදයේ ප්‍රහාර තීව්‍ර කිරීමටත්, රුසියානු, යුක්‍රේනියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොන්දේසි ඛාදනය කිරීමටත් පමනක් දායක වනු ඇත.

19. ධනේශ්වර පද්ධතියෙහි රාමුව ඇතුලතින් සිතා බලන කල, වත්මන් යුද්ධයේ අපේක්ෂා අතිශයින් ම අඳුරු සහගතය. පලමුව, මෙම යුද්ධය දීර්ඝ-කාලීන ස්වභාවයක් අත් කරගනු ඇති අතර, එය හුදෙක් රුසියාව හා යුක්‍රේනය අතර සටනක් ලෙසට සීමා නොවේ. එය වනාහි, තුන්වැනි ලෝක යුද්ධයක තර්ජනය නො වැලැක්විය හැකි සේ ලෝක තත්ත්වය අවුලුවා ලන පලමු පියවරයි. ඉදිරි යුද්ධයකට ලෝකයේ සියලු රටවල් සහභාගි වනු ඇත.

20. දෙවනුව, මේ වන විට තරයේම මානව-විරෝධී ආස්ථානයක සිටින පාලක පන්තීන්ගේ පිලිවෙත් මගින්, යුද්ධයෙහි ස්වභාවය තීන්දු කෙරනු ඇත. පාලක පන්තීන් මෙම ගැටුමේ දී න්‍යෂ්ටික ආයුධ භාවිතය දක්වා සාහසිකව ගමන් ගනිමින් සිටින්නේ, ඒ මගින් අවසන් මහා න්‍යෂ්ටික සංග්‍රාමයක සැබෑ ඉඩකඩ නිර්මානය කරමිනි. අධිරාජ්‍යවාදී හා ධනපති ආන්ඩුවල උමතු පිලිවෙත් වෙතින් ග්‍රහලෝකය විනාශ කිරීමේ තර්ජනය පැනනගී. පාලක ධනපති ප්‍රභූවේ සැහැසිකම් විසින් තරුනයන්ට බලකෙරෙන්නේ මොවුන් තමන්ට මොනම අනාගතයකටවත් ඉඩ තබනු ඇත්දැයි ප්‍රශ්න කිරීමටයි.

21. එහෙත්, මානව වර්ගයා අනිවාර්යයෙන්ම විනාශයට ඇද වැටීමට නියමිත නැත. දැනට පවතින ලෝක ධනපති පර්යාය ඇතුලත කරගත හැකි දේවල සීමාවට ගොදුරුවූ දෘෂ්ටියක් කරපින්නා ගත් අසුභවාදීන්ගේ ඉරනම්වාදය, වයිජීබීඑල් සංවිධානය ප්‍රතික්ෂේප කරයි. ජාත්‍යන්තර කම්කරු පන්තියෙහි මහා දේශපාලන අරගලයක සන්දර්භය තුල යතාවත් කරගනු ලැබිය හැකි සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් වන සුභවාදී විකල්පයක් පවතින බව අපි අවධාරනය කරමු. ලෝකය සමන්විත වන්නේ අධිරාජ්‍යවාදීන්ගෙන් හා කතිපයාධිකාරීන්ගෙන් පමනක් නො වේ. සිය සියලු විවිධාකාර, සංකීර්න හා අසීමිත නිර්මානශීලී රූපයන් සමගින් මානව ප්‍රගතියේ ධාවන බලය ලෙස ක්‍රියා කරන්නාවූ සාමූහික ශ්‍රමයක් සහිත යෝධ කම්කරු පන්තියක් ද සිටී.

22. දරිද්‍රතාව, අසමානතාව, යුද්ධය, ලෙඩරෝග හා දේශගුන වෙනස්කම් සමග පොරබදමින්, ධනවාදයේ අර්බුදය විසඳීමේ හැකියාව සහිත ව සමාජයේ සිටින එක ම විප්ලවවාදී බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. පන්ති පීඩනයට එරෙහි එහි අරගලයේ ඓතිහාසික වර්ධනය තුලින්, කම්කරු පන්තියේ සමාජීය හා ආර්ථික කොන්දේසි තුල මෙම විප්ලවවාදී ස්වභාවය ගැබ්ව තිබේ.

23. එහෙයින්, බටහිර අධිරාජ්‍යවාදය සහ පුටින් පාලන තන්ත්‍රය ඇතුලු අනෙකුත් ධනපති රටවලට එරෙහි අරගලය, ධනපති සමාජය කොමියුනිස්ට් සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අරගලයෙහි කොටසක් ලෙස ගෙන එය කම්කරු පන්තියේ පලල් බලමුලු ගැන්වීමක් මත පදනම් කරනු ලැබිය යුතු ය. මෙම අරගලය, මනස්කල්පිත නො වන සැබෑ විප්ලවවාදී නායකත්වයක් කම්කරු පන්තිය තුල ගොඩනැගීමේ අභියෝගය මුන ගස්වනු ලබයි. සමාජවාදී විප්ලවය කරා ලඟාවීමේ ද, සමස්ත ලෝකය පුරා රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ ද, මට්ටම දක්වා කම්කරු පන්තියේ දේශපාලන විඥානය ඉහල නංවනු ලැබිය හැක්කේ, එවන් නායකත්වයක් හරහා පමනි.

24. අපගේ යුගයේ දී, කම්කරු පන්තියේ විශාලතම අර්බුදය වන්නේ, විප්ලවවාදී නායකත්වයේ අර්බුදය යි. ධනේශ්වරයට එරෙහි සාර්ථක අරගලයක දී ප්‍රධාන කොටම අවශ්‍ය වන්නේ විප්ලවවාදී නායකත්වය යි. ලොව පුරා සමාජවාදී විප්ලවය සාර්ථක ව පැතිරවීමට හා තහවුරු කිරීමට ස්වභාවයෙන් ආත්මීය වන මෙම සාධකය තීරනාත්මක වේ.

25. කම්කරු පන්තියේ සැබෑ විප්ලවවාදී නායකත්වය විය හැක්කේ, මාක්ස්වාදයේ හා කම්කරු ව්‍යාපාරයේ සමස්ත අතීත ෙඑතිහාසික අත්දැකීම ක්‍රමානුකූල ව පිරිසැකසුම් කරගත් සංවිධානයට යි. නුතන ලෝකය තුල නිර්ධන පන්ති නායකත්වයේ විප්ලවවාදී මූලෝපාය සහ උපායන් නිශ්චිත ව ම සකස් වනු ඇත්තේ, මෙම අත්දැකීම ද වෛෂයික කොන්දේසි ද ස්වීකරනය කරගැනීමේ පදනම මත ය.

26. කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයෙහි අර්බුදය විසඳීමට සමත් එක ම ජාත්‍යන්තර සංවිධානය වන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි. හතරවැනි ජාත්‍යන්තරයේ හා ලියොන් ට්‍රොට්ස්කිගේ එක ම සුජාත අනුප්‍රාප්තිකයා ලෙස පවතින්නේ හජාජාක යි. හජාජාක යනු හතරවැනි ජාත්‍යන්තරයයි යනුවෙන් ප්‍රකාශ කිරීම පවා වඩාත් ම නිවැරදි වේ.

27. වයිජීබීඑල් සංවිධානය ට්‍රොට්ස්කිවාදය දෙසට හැඩගැස්ම , හුදෙක් ට්‍රොට්ස්කිට අනුග්‍රහශීලී වන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ රුචිකත්වය නිසා සිදුවන්නක් නො වේ. මාක්ස්වාදයේ එක ම සුජාතවත් උරුමකරුවා වන්නේ ට්‍රොට්ස්කිවාදය ය; සමාජවාදය සඳහා නිර්ධන පන්තික අරගලයේ දී එහි ස්වාධීන පිලිවෙත නියෝජනය කරන්නේ ට්‍රොට්ස්කිවාදය ය; ට්‍රොට්ස්කිවාදය යනු 21වැනි සියවසේ මාක්ස්වාදය ය යන කරුනු මත එය පදනම් වේ. ලෝක විප්ලවය යතාවත් කරගත හැක්කේ ට්‍රොට්ස්කිවාදයේ පදනම මත පමනි.

28. බොල්ශෙවික් පක්ෂයේ හා ඔක්තෝබර් විප්ලවයේ මිනීවල හාරන්නා ලෙස තම නාමය සදා අපකීර්තිමත්ව පවතිනු ඇති ස්ටැලින් විසින් නායකත්වය දුන් ප්‍රතිගාමී ජාතිකවාදී නිලධාරී තන්ත්‍රයට එරෙහි ව ට්‍රොට්ස්කි ගෙන ගිය වික්‍රමාන්විත අරගලය ඉතිහාසය විසින් සනාථ කරනු ලැබ ඇත. ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය කම්කරු පන්තිය විසින් පෙරලා නො දැමුව හොත්, එය සෝවියට් සංගමය විනාශ කරනු ඇති බවට ඔහු කල අනතුරු ඇඟවීම 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම තුල සනාථ විය.

29. ට්‍රොට්ස්කි'ගේ නො නවතින විප්ලව න්‍යාය, “ධනවාදයේ මරලතෝනිය” ලෙස එතරම් ම ප්‍රගාඪව ඔහු විසින් විදහා දක්වන ලද යුගයක් තුල, ජාත්‍යන්තර පන්ති අරගලයෙහි ගතිකය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් සම්පාදනය කලේ ය. ට්‍රොට්ස්කිවාදය සැබෑ ප්‍රකාශනය වන මාක්ස්වාදී කෝෂ්ඨාගාරයෙන් යතාර්ථය පිලිබඳ අවබෝධයක් ලබාගැනීම පමනක් ම, නිර්ධන පන්තියට එහි තත්ත්වය යතාර්ථවත් කරගැනීමට උදවුකාරක වනු ඇත.

30. හජාජාකහි තරුන අංශය වන්නේ, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය යි. මෙම ව්‍යාපාරයෙහි ප්‍රධාන කර්තව්‍යය වන්නේ, තරුනයන් හා කම්කරු පන්තිය සමාජවාදය සඳහා කරන පොදු අරගලය තුල දී, ඔවුන් අතර සම්බන්ධතාව තහවුරු කිරීම යි. තුන්වැනි ලෝක යුද්ධයක ඇරඹුම වියහැකි වර්ධනයන් තුල තරුන ජනයාට ඔවුන්ගේ අනාගතය පිලිබඳ ප්‍රශ්නය දැන් අන් කවරදාටත් වඩා වැදගත් ය.

31. තරුන ජනයාට උවමනා වඩා යහපත් අනාගතය ලබා ගැනීමට නම් ඔවුන් ඒ සඳහා සටන් වැදිය යුතු ය. අනාගතය සඳහා වන අරගලය අනිවාර්යයෙන් ම, සමාජවාදී ඉදිරි දර්ශනයක් වෙතට තරුනයන් ව මෙහෙයවන ධනවාදයට එරෙහි අරගලයක් බවට පත්වෙයි. එහෙත්, තරුනයන්ගේ අරගලය හුදකලා නො කල යුතු අතර ම, තමන්ගේ අනාගතය සඳහා වන අරගලයේ ප්‍රධාන සගයා වන්නේ කම්කරු පන්තිය බව, තරුනයන් අවබෝධ කරගැනීම අවශ්‍යය.

32. සසජාතශි මුහුන දෙන ප්‍රධාන කර්තව්‍යය වන්නේ තරුනයන් ජාත්‍යන්තර ව සංවිධානගත කිරීම හා සම්බන්ධීකරනය කිරීම යි. වර්තමාන තත්ත්වයට අදාල වන වඩාත් ම වැදගත් න්‍යායික හා ඓතිහාසික ප්‍රශ්න විස්තර කිරීමෙන් තොර ව එය කල හැක්කක් නොවේ. අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහි ස්වාධීන කම්කරු ව්‍යාපාරයෙහි වැදගත් කොටසක් වන්නේ තරුන ව්‍යාපාරය යි.

33. රුසියාව හා පැරනි සෝවියට් සමූහාන්ඩු තුල හජාජාක හා සසජාතශි පිලිබඳ ව ද අනෙකුත් රටවල් තුල මෙම සංවිධානවල ක්‍රියාකාරකම් පිලිබඳ ව ද පවතින්නේ මඳ දැනුමක්‍ය යන පැහැදිලි අවබෝධයක් මත, වයිජීබීඑල් සංවිධානයෙහි වර්තමාන කර්තව්‍යයන් පදනම් කෙරේ. එම නිසා, පැරනි සෝවියට් සංගමය තුල මහජනතාවන්ගේ විඥානය මත හජාජාක හා සසජාතශිහි ආනුභාවය විස්තාරනය කිරීමට වයිජීබීඑල් උත්සාහ දරනු ඇත.

34. වයිජීබීඑල් සංවිධානයේ ප්‍රකාශය සමග ඔබ සහයෝගී වන්නේ නම්, රුසියාව, යුක්‍රේනය හා පැරනි සෝවියට් සමූහාන්ඩු තුල හජාජාක හා සසජාතශි ශාඛාවන් ගොඩනැගීමට අප ගෙන යන අරගලය සමග සම්බන්ධ වන්න. විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමටත්, ලොව පුරා සමාජවාදී විප්ලවයක් ගෙන ඒමටත්, හජාජාක හා සසජාතශි ශාඛාවන් ගොඩනැගීම අත්‍යවශ්‍ය පියවරක් වේ.

Loading