ඉදිරිදර්ශන

චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය සහ “චීන ලක්ෂන සහිත සමාජවාදයේ” බංකොලොත් භාවය

[මෙය The CCP Congress and the bankruptcy of “Socialism with Chinese Characteristics” මැයෙන් 2022 ඔක්තෝබර් 25 පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයට ෂී ජිංපිං තුන්වැනි වරටත් පත් කරගැනීමෙන් ද, පක්ෂයෙහි ඉහල ම මන්ඩලය වන සාමාජිකයන් හත්දෙනෙකුගෙන් යුත් දේශපාලන මන්ඩලයේ ස්ථීර කාරක සභාව ෂීගේ ආධාරකරුවන්ගෙන් පිරවීමෙන් ද, පක්ෂයෙහි ව්‍යවස්ථාවට තුලට “නව යුගයක් සඳහා චීන ලක්ෂන සහිත සමාජවාදය පිලිබඳ ෂී ජිංපිං චින්තනය” ඇතුලත් කරමින්ද චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනය පසුගිය සතියේ සමාප්තියට පත් විය.

2022 ඔක්තෝබර් 16 ඉරිදා, චීනයෙහි පාලක කොමියුනිස්ට් පක්ෂයෙහි 20 වැනි සම්මේලනයේ ආරම්භක උත්සවයෙන් පිට ව යද්දී, චීන ජනාධිපති ෂී ජිංපිං අත වනයි [AP Photo/Mark Schiefelbein]

එහි සුවිශාල නිලධාරිවාදී යාන්ත්‍රය ෂී වටා එකමුතු කරමින්, පක්ෂයෙහි “අරටුව” ලෙස ඔහුව උත්කර්ෂයට බඳුන් කරන මෙම සමස්ත චාරිත්‍රමය හා වේදිකා පාලිත කටයුත්ත, සීසීපී පාලන තන්ත්‍රය සෑම පෙරමුනකින් ම මුහුන දෙන යෝධ අර්බුදය වසං කිරීමකි. ශ්‍රේෂ්ඨ නාය‍කයෙකු ලෙස ෂී ආරෝහනය කිරීම සහ නො නවත්වා එය ඉදිරියට දැමීම ශක්තියෙහි ලක්ෂනයක් නොවේ; දුර්වලතාවෙහි ලක්ෂනයකි.

මන්දගාමී වන චීන ආර්ථිකයක්, ප්‍රගාඪ සමාජ ආතතීන් හා බෙයිජිනයට එරෙහි යුද්ධයක් දෙසට වන ධාවනය වොෂින්ටනය විසින් වේගවත් කිරීම මධ්‍යයේ, පක්ෂය තුල ව්‍යාප්ත ව පවතින යටිබිම්ගත කන්ඩායම් අස්ථීර ලෙස තුලනය කරමින් සිටින බොනපාට්වාදී නායකයෙකුගේ ස්වභාවය ෂී විසින් අත්පත් කරගෙන ඇත.

ෂී සම්මේලනය විවෘත කලේ සිය පාලන තන්ත්‍රය මුහුන දෙන හා තමන්ට විසඳුමක් සම්පාදනය කල නො හැකි බොහෝ ප්‍රගාඪ ගැටලු ගැන සඳහන් කරමින්, පැය දෙකක් තිස්සේ දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් ය. “මෙම සම්මේලනයෙහි තේමාව වන්නේ, චීන ලක්ෂන සහිත සමාජවාදය පිලිබඳ චින්තනය සම්පූර්නයෙන් ක්‍රියාවට දමමින්, චීන ලක්ෂන සහිත සමාජවාදයේ ධජය ඉහලින් එසවීමයි” යන ප්‍රකාශය සමගින් එම වාර්තාව ආරම්භ විය.

“චීන ලක්ෂන සහිත සමාජවාදය” යන මන්තරය පුනරුච්ඡාරනය කිරීම මධ්‍යයේ, ජාතික සංවර්ධනයක් එනම් යථාර්තයේදී චීන ධනවාදය පිලිබඳ ව, එය මුලුමනින් ම රැඳී පවතින ලෝක ආර්ථිකයෙන් වියෝ කරනු ලබමින්, ෂී ජිංපිං සිය සංකල්පය විස්‌තාරනය කලේ ය.

ෂීගේ ජාතිකවාදය මුල් බැස තිබෙන්නේ “තනි රටේ සමාජවාදය” නමැති ස්ටැලින්වාදී න්‍යායය තුල යි. 1917 රුසියානු විප්ලවය පදනම් කර තිබුනු ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය ආරක්ෂා කල ලියොන් ට්‍රොට්ස්කි, “තනි රටේ සමාජවාදය” යනු ජාතිකවාදී මනෝරාජ්‍යයක් බවට යලි යලිත් අනතුරු ඇඟවී ය.

සෝවියට් සංගමයෙහි අනාගත ගමන් මාවත විශ්ලේෂනය කරමින් ලියූ, සමාජවාදය දෙසට ද ධනවාදය දෙසට ද? නමැති 1925 දී පල කල පොත් පිංච තුල ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය: “සෝවියට් සංගමයෙහි දේශසීමාවන් ඇතුලත, යමෙක්ට ආවෘත හා අභ්‍යන්තර ලෙස සමතුලිත සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගිය හැකි යයි, ශාස්ත්‍රාලීය ව අවබෝධ කරගනු ලැබේ; එහෙත් මෙම ‘ජාතික’ පරමාදර්ශය කරා වන දීර්ඝ ඓතිහාසික මාවත යෝධ ආර්ථික මාරුවීම්, සමාජ කලබැගෑනි හා අර්බුදයන්ට තුඩු දෙනු ඇත...

“තනි රටක් තුල ස්වයං-පෝෂිත සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගීමේ නො හැකියාව, සෑම නව අවදියක දී ම වඩා විස්තීර්න පරිමානයකින් හා සුවිශාල ගැඹුරකින්, සමාජවාදී ගොඩනැංවීමේ මූලික පරස්පර විරෝධයන් හිස ඔසවයි. මේ අර්ථයෙන් ගත් කල, තවත් දීර්ඝ ඓතිහාසික යුගයක් පුරා තමන් ම පැවතී ගැනීමට ලෝකයේ අනෙකුත් ධනපති පාලන තන්ත්‍රයන් සමත් බව සනාථ වුව හොත්, සෝවියට් සංගමයෙහි නිර්ධන පන්ති ආඥාදායකත්වය අනිවාර්යයෙන් ම විනාශයට මුහුන දෙනු ඇත.”

ට්‍රොට්ස්කිගේ දුරදක්නාසුලු පෙර දැකීම නිවැරදි යයි සනාථ වීමට නියමිත විය. 1991 දී, සෝවියට් සංගමය විසුරුවා හල සෝවියට් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය, එය ධනපති කොල්ලකෑමට විවෘත කලේ ය. 1978 පටන් ඉදිරියට, ධනවාදී වෙලඳපොල බලවේගයන්ට හා ගෝලීය සංගත ආයෝජනවලට දොරටු විවෘත කලා වූ, 1949 විප්ලවයෙන් පසුව චීනය තුල ඉස්මතු වූ විකෘත කම්කරු රාජ්‍යය, වඩා දුර්වල හා පහසුවෙන් ම විනාශයට ගොදුරු වන බව සනාථ විය.

පසුගිය දශක තුන තුල චීන ආර්ථිකයෙහි විස්මය ජනක වර්ධනය ඇතුලු, චීනයේ වැදගත් ජයග්‍රහන ඔහුගේ කතාව තුල දී ෂීපෙන්වා දුන්නේ ය. එහෙත්, හුදෙක් ම ජාතික ආර්ථික සංවර්ධනයක් නො වූ එය, රුසියානු විප්ලවයේ සහ පශ්චාත් දෙවැනි ලෝක යුද සමයේ පැවති කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයේ නැගීමට තුඩු දුන් ජාත්‍යන්තර ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලය වූ, 1949 චීන විප්ලවය විසින් සිදු කරන ලද යෝධ අභිවර්ධනයන්ගේ නිෂ්පාදනය විය.

තමන්ගේ ධනවාදී පිලිවෙත්, සමාජවාදයේ පිට කබාය යටතේ සැඟවීමට ෂීට සිදු වන්නේ ය යන කාරනය මත්, චීනය තුල කම්කරු පන්තියෙහි පලල් ස්ථරයන් අතර චීන විප්ලවය සැලකෙන ගෞරවනීයත්වය ගැන සැඳහුමක් වෙයි. එහෙත්, වර්තමාන චීනයෙහි ධනපති ස්වභාවය, ඌනපූර්නයකට - එසේ නොවේ නම් සෞඛ්‍ය සම්පන්න සමාජවාදයක් මත වන කුඩා කැලලකට- සිඳුවනු ලැබේ!.

කෝවිඩ්-19 වසංගතයෙහි පුනර්කරනීය රැලි මර්දනය කිරීමේ දී හා ජීවිත මිලියන ගනනක් ආරක්ෂා කරගැනීමේ දී, ආන්ඩුව ලබාගත් සැලකිය යුතු ජයග්‍රහන පෙන්වා දීමට සිය කතාවේ දී ෂීට හැකි විය. සිය සුභ සාධන සුරක්ෂිත කරගත යුතු යයි වැඩකරන ජනයා අතර පවතින අපේක්ෂාවන්ට දක්වන ලද ප්‍රතිචාරයක් වන එහි ශූන්‍ය-කෝවිඩ් පිලිවෙත, ජාත්‍යන්තර ව සංවිධානය කරන්නේ නම් පමනක්, වෛරසය මුලිනුපුටා දැමිය හැකි බව ප්‍රදර්ශනය කලේ ය.

එහෙත්, චීනයෙහි ආර්ථික නැගීම යන කාරනය මත් සිදු කර ඇත්තේ, පාලන තන්ත්‍රය මුහුන පාන ජාතික රාමුවක් ඇතුලත විසඳුමක් සොයාගත නො හැකි ගැටලු සංකීර්න කිරීම පමනි. පොහොසතුන් හා දුගීන් අතර වැඩෙන සමාජ ධ්‍රැවීකරනය සහ කම්කරු පන්තිය නිර්දය ලෙස සූරාකෑම විසින් අවුලුවාලනු ලබන සමාජ ආතතීන්ගේ යෝධ තීව්‍ර වීමකට ආර්ථික වර්ධනය තුඩු දී තිබේ.

සෝවියට් සංගමයට ලෝකයේ සම්පත් හා තාක්ෂනය වෙත ප්‍රවිෂ්ටය අවශ්‍ය බවට ට්‍රොට්ස්කි ලියූ දෙය, චීනය සම්බන්ධයෙන් නිශ්චිත ව ම සත්‍ය වේ. එහි අත්‍යසාමාන්‍ය ආර්ථික වර්ධනය මුලුමනින් ම බැඳී තිබෙන්නේ, එය ගෝලීය සංගත සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීම සමග යි. එහි භාන්ඩ විකිනීම සඳහා ලෝක වෙලඳපොල මත රඳා සිටි හා තවමත් රඳා සිටින චීනයට, ඒ අතර ම, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට හා දියුනු තාක්ෂනයට ප්‍රවිෂ්ටය අවශ්‍ය කරයි.

එහෙත්, චීන ආර්ථිකයෙහි ජාත්‍යන්තර ජීවනාලිය දැන් පවතින්නේ තර්ජනයට ලක් ව ය. එහි වර්ධනය මත්, චීනය සිය ගෝලීය ආධිපත්‍යය සඳහා ප්‍රධාන තර්ජනය ලෙස සලකන ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග යෝධ ආතතීන් ජනනය කර ඇත. කිසිදු අවස්ථාවක දී ඍජු ව එක්සත් ජනපදය ගැන සඳහන් නො කරමින්, ෂී සටහන් කලේ, “චීනය බිය ගැන්වීමට, සීමා කිරීමට, බාධාවට ලක් කිරීමට හා එය මත උපරිම පීඩනය යෙදීමට දරන සුවිශේෂී බාහිර ප්‍රයත්නයන් සහිත ව, ජාත්‍යන්තර තලයේ බලගතු වෙනස්කම්” පවතින බව යි.

චීන ලක්ෂන සහිත ධනවාදය දැන් ඇමරිකානු ලක්ෂන සහිත අධිරාජ්‍යවාදයට මුහුන දෙයි. චීනයට යටින් වලකපා යටත් කරගැනීම පිනිස, එක්සත් ජනපදය එහි සගයෝ ද ආර්ථික හා මිලිටරි සම්පත් ද පෙලගස්වමින් සිටිති. ට්‍රම්ප් විසින් චීනය මත පනවන ලද යෝධ වෙලඳ සම්බාධක එලෙස ම පවත්වාගෙන ගොස් තිබෙන බයිඩන් පරිපාලනය, සියලු නවීන අර්ධ-සන්නායක හා ඒවා නිෂ්පාදනයට අවශ්‍ය උපකරන අඩංගු කරගන්නා තාක්ෂනික තහනම් කිරීම් පලල් කර ඇත. යුක්‍රේනය තුල දැනට මත් රුසියාවට එරෙහි ව යුද්ධයක යෙදෙන එක්සත් ජනපදය හා එහි සගයෝ, මුලුමනින් ම සන්නද්ධ කරනු ලැබ ඇති තායිවානය යලි ඈඳා ගැනීම වෙනුවෙන් මිලිටරිමය ක්‍රියාවන් හි යෙදීමට චීනය පෙලඹවීම සඳහා උත්සාහ දරමින් සිටිති.

යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය, චීනය සමග යුද්ධයෙහි පෙර සූදානම බව ෂී හා සීසීපී පාලන තන්ත්‍රය හොඳින් ම දනිතත්, එක්සත් ජනපද ආක්‍රමනයට ඔවුන් සතුව ප්‍රගතිශීලී පිලිතුරක් නැත. එක්සත් ජනපදයේ සම්බාධකවලට හා මිලිටරි ගොඩනැංවීම්වලට ප්‍රතිචාර ලෙස, තාක්ෂනික ව හා මිලිටරිමය සමානත්වයක් ලබාගැනීමට සීසීපීය මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටී. එහෙත්, මෙම ආයුධ තරඟයේ තර්කනය වන්නේ, මානව වර්ගයා සමූලෝත්පාටනය වීමේ තර්ජනය ගෙන එමින්, න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් අතර යුද්ධය කරා වේගයෙන් ඇදී යාම යි.

සීසීපී පාලන තන්ත්‍රය මත්, අර්බුද ග්‍රස්ත තන්ත්‍රයකි. තමන් ඉහල ම නායකයා ලෙස ස්ථාපනය කල අනම්‍ය, නිලධාරී තාන්ත්‍රික යාන්ත්‍රනය පිලිබඳ ව, විනාශකාරී චිත්‍රයක් ෂී විසින් පින්තාරු කලේ ය. එය වනාහි “දුර්වල, හිස් හා දියාරු වුනු නායකත්වයක් හා භාවිතාවක් දෙසට ලුහුටා යන, පැහැදිලි අවබෝධයකින් හා ඵලදායී ක්‍රියාවන්ගෙන් තොර වීම විසින් විපත් පමුනුවන පක්ෂයක්...යලි යලිත් කරන ලද අනතුරු ඇඟවීම් නො තකා, අරමුනු රහිත සිරිත්, නිලධාරිවාදය, සුඛපරමවාදය හා පමනට වඩා වියදම් කිරීම දිගට ම පැවතුනා... සමහර ගැඹුරට ගිය ගැටලු, ආයතන සහ වරප්‍රසාදිත අවශ්‍යතා විසින් ගොඩනගන බාධාවන් වඩ වඩා පැහැදිලි වෙන්න පටන් ගත්තා...මුදල් වන්දනාව, සුඛපරමවාදය, ආත්මාර්ථය හා ඓතිහාසික නාස්තිකවාදය වැනි නො මග ගිය චින්තන රටාවන් සුලභයි, මාර්ගගත (ඔන්ලයින්-පරි.) කතිකාව ව්‍යාකූලත්වයෙන් පිරී තිබෙනවා. මේ සියල් මහජනයාගේ චින්තනය හා මහජන මතික පරිසරය මත බරපතල බලපෑමක් ඇති කලා.”

ෂී දූෂනය ගැන කතා කරන විට, එය සෑම විට ම නරක තනි පුද්ගලයන්ට හා ඔවුන්ගේ අභිලාෂයන්ට සිඳුවන අතර, ධනවාදයෙහි සමාජ පර්යායට යොමු නො කරයි. තව ද එය වනාහි පුද්ගලයන් බිලියන 1.4ක් සිටින රටක සියලු බලය නිලධරයෙහි හස්තයේ පවතින පාලන තන්ත්‍රයකි. ෂීගේ “අභිවර්ධිත සමාජවාදී අදහස් විමසන ප්‍රජාතන්ත්‍රය” තුල, පුද්ගලයන්ගේ ජීවිතවලට බලපාන තීන්දු අරබයා කිසිවෙකුගෙන් අදහස් විමසන්නේ ද ඒ කවර විට ද යන්න තීරනය කරන්නේ නිලධර යාන්ත්‍රනය විසිනි.

ධනපති ක්‍රමයේ ගෝලීය අර්බුදයට සීසීපීය දක්වන ජාතිකවාදී ප්‍රතිචාරය, එක් හෝ තවත් ආකාරයකින් එක්සත් ජනපදය හා සියලු අධිරාජ්‍යවාදී බලයන් මෙන් ම රුසියානු පාලන තන්ත්‍රය විසින් ද අනුගමනය කරයි. මෙම රාජ්‍යයන්ගේ ජාතික අවශ්‍යතා අතර ගැටුම සාමකාමී ආකාරයකින් විසඳිය නො හැකි නිසා, එම ජාතිකවාදී ප්‍රතිචාරය වනාහි, තීව්‍ර වන මිලිටරි ගැටුමකට හා න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් අතර ලෝක යුද්ධයකට නිර්දය ලෙස තුඩු දෙන මාවතකි.

තනි රටේ සමාජවාදයට හා ආර්ථික ජාතිකවාදයට එරෙහි ව ට්‍රොට්ස්කි ඉස්මතු කල කාරනාවන්, චීන පාලන තන්ත්‍රය මුහුන දෙන මූලික පරස්පර විරෝධයන් අවබෝධ කරගැනීමට මූලික වන අතර, අත්‍යසාමාන්‍ය අදාලත්වයක් දරයි. ආර්ථික ජාතිකවාදයට පවතින එක ම ශක්‍ය විකල්පය වන්නේ, 1917 රුසියානු විප්ලවයට ද චීනය ඇතුලු ලොව පුරා රටවල් තුල කොමියුනිස්ට් පක්ෂ ගොඩනැගීමට ද අනුප්‍රානය සැපයූ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය පමනි. ධනවාදය විසින් ඉදිරියට දමන රෝගයේ, දරිද්‍රතාවේ හා යුද්ධයේ තර්ජනයට එරෙහි සටනේ දී, චීනයේ හා ජාත්‍යන්තර කම්කරුවන් සියතට ගත යුතු ක්‍රියා මාර්ගය වන්නේ එය යි.

Loading