ග්ලිනුයිජ් වත්තේ කම්කරුවන් 500 ක් අඛන්ඩ වර්ජනයක

මස්කෙලිය අප්කොට් හි ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෝ වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව ඔක්තෝබර් 27 වෙනිදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක යෙදී සිටිති. වර්ජනයට වත්තේ ග්ලිනුයිජ් සහ ඩීසයිඩ් යන කොටස් දෙකේම කම්කරුවෝ 500 ක් පමන සහභාගී වෙති. වතු පාලනාධිකාරය විසින් දෛනිකව නෙලන තේ දළු ප්‍රමානය කිලෝ 16 සිට 18 දක්වාත්, බිම සුද්ධ කිරීමේ වපසරිය හතරැස් මීටර් 75 සිට 150 දක්වා දෙගුනයකිනුත් වැඩිකර ඇත.

ඩීසයිඩ් වත්තේ කම්කරු වර්ජනය 2022 නොවැම්බර් ( ලෝසවෙඅ)

එම ඉහල දැමු වැඩ ඉලක්කයන් සම්පූර්න කිරීම දුෂ්කර හෙයින් වැඩ ඉලක්කයන් පහත දමන ලෙසත්, වැඩ ඉලක්කයන් සම්පූර්න කිරීමට නොහැකි වූ විට කෙරෙන වැටුප් කප්පාදුව නතර කරන ලෙස හා රුපියල් 1000 දෛනික වැටුප ගෙවන ලෙසත් කම්කරුවෝ ඉල්ලා සිටිති. දීපවාලී උත්සවය සඳහා පෙර වසරවල ගෙවූ රුපියල් 15,000 අත්තිකාරම් මුදල 10,000 දක්වා අඩුකිරීමට ද කම්කරුවෝ විරෝධය පල කරති.

වතු කම්කරුවන් මෙම අරගලයට එලැඹ ඇත්තේ අහස උසට නගින බඩුමිල, ආහාර අහේනිය සහ ලැබෙන සොච්චම් වැටුපෙන් කිසිසේත් දිවි ගැට ගසා ගැනීමට නොහැකි කොන්දේසි තුලය. එය ධනපති පාලක පන්තීන්ගේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරයන් ට එරෙහිව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගේ අරගලයේ කොටසකි.

කම්කරුවන් වර්ජනයට එලඹ ඇත්තේ වෘත්තීය සමිති වලට පිටිනි. ඔවුන් සාමාජිකත්වය දරන ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) සහ ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) වර්ජනය නතර කර කම්කරුවන් ආපසු වැඩට තල්ලු කිරීමේ උත්සාහයක යෙදී සිටිති.

සීඩබ්ලිව්සී යේ හැටන් ප්‍රාදේශීය නායකයෙකු වන පිච්චමුත්තු දුරකථන ඇමතුමක් දී වර්ජනය නතර කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා ඇත. හැටන් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් සමග සාකච්ඡා කර ප්‍රශ්න විසඳා ගත හැකි බව ද ඔහු කම්කරුවන්ට කියා ඇත.

එහෙත් ඔක්තෝබර් 31 වෙනිදා පැවති සකාච්ඡාවේ දී වතු පාලකයන් කම්කරුවන්ගේ ඉල්ලීම් වලට එකඟ නොවීම නිසා සාකච්ඡාව අසාර්ථක විය. කම්කරුවන් දිගටම වර්ජනයේ යෙදී සිටින තතු තුල එලඹෙන සඳුදා වතු පාලකයන් සමග සාකච්ඡා කර ප්‍රශ්න විසඳන බවත් එතෙක් වර්ජනය කරගෙන යන ලෙසත් සීඩබ්ලිව්සී ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් කම්කරුවන් ට පවසා තිබේ. එය කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීමට සහ පාවාදීමට කල් ගැනීමේ තවත් උප්පරවැට්ටියකි. ඔක්තෝබර් 31 සහ ඊට පෙර සාකච්ඡාවලදී මෙන් ම හය වෙනිදා සාකච්ඡාවෙන් ද කම්කරුවන්ගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුම් නොලැබෙනු ඇත.

කම්කරුවන්ගේ අරගල සහ විරෝධතා වර්ධනය වන කොන්දේසි තුල පසුගිය රාජපක්ෂ ආන්ඩුව විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ රුපියල් 1000 දෛනික වැටුපක් ගෙවන ලෙස වතු සමාගම්වලට නියෝග කලේ ය. එය ප්‍රතික්ෂේප කල වතු සමාගම් ආන්ඩුවේ නියෝගය බල රහිත කරන ලෙස අධිකරනයෙන් ඉල්ලා සිටියහ. කම්කරුවන් අතර පවතින කැකෑරෙන තත්වය තුල අධිකරනය එය ප්‍රතික්ෂේප කලේ ය. එසේ වුව ද වතු සමාගම් රුපියල් 1000 දෛනික වැටුප නොගෙවන අතර ඒ වෙනුවට දෛනික වැඩ ඉලක්කයන් ඉහල දමමින් වැටුප් කප්පාදුවක් ක්‍රියාවට දමා තිබේ.

වැඩ වේගවත් කිරීමට, වැටුප් කප්පාදුවට සහ රුපියල් 1000 දෛනික වැටුප නොගෙවීමට විරුද්ධව ග්ලිනුයිජ්, ඕල්ටන්, තලවකැලේ කටුකැලේ සහ හැටන් වැලිඔය තවත් වතුවල කම්කරුවෝ වසරකට අධික කාලයක් වර්ජන හා විරෝධතා උද්ඝෝෂන වල වරින් වර නිරත වූහ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෝ දින 16 ක් අඛන්ඩ වර්ජනයක යෙදුනාහ. වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් අතර අඛන්ඩව විරෝධය වර්ධනය වන කොන්දේසි යටතේ සීඩබ්ලිව්සී ය පසුගිය සැප්තැම්බර් මාසයේ මස්කෙලිය වතු සමාගම විසින් පාලනය කරන වතු 14 ක තේ ප්‍රවාහනය අවහිර කිරීමේ විරෝධතා උද්ඝෝෂනයක් කැඳවීය. එය 14 වෙනිදා සිට 23 දක්වා පැවතුනි. දළු නෙලීම සහ ක්ෂේත්‍ර වැඩවල යෙදෙන කම්කරුවන් විරෝධතා උද්ඝෝෂනයට සහභාගිවීමෙන් වලකාලීමට සිඩබ්ලිව්සි නායකයෝ වගබලා ගත්හ.

විරෝධතා උද්ඝෝෂනය නතර කිරීමෙන් අනතුරුව රුපියල් 1000 වැටුප හා සෙසු ඉල්ලීම් වලට එකඟව වතු පාලකයන් ලිඛිත පොරොන්දුවක් දුන් බවත්, එය ජයග්‍රහනයක් බවත්, සීඩබ්ලිව්සී සභාපති මාධ්‍යට ප්‍රකාශ කලේ ය. එහෙත් එය මුසාවක් බව කම්කරුවන්ට දැන් වැටහී ඇත. ඔවුන් යලි අරගලයට පිවිස ඇත්තේ එම තතු තුල ය.

ඉහල යන ජීවන වියදම හමුවේ ජීවිතය පවත්වාගෙන යාම අතිශය දුෂ්කර බව වර්ජනයේ නිරත කම්කරුවෝ පැවසූහ. 'ලැබෙන වැටුපෙන් දවසකට එක වේලක්වත් කන්න බැහැ . ලමයින්ට පිටිකිරි පැකට් එකක් ගන්න එක හරිම අමාරුයි. බස් ගාස්තු වැඩිවුන නිසා ලමයි පාසැල් යවන්න බැහැ .නමුත් වතු පාලකයන් අපේ පඩිය කපනවා. ඔවුන් එ්ක කරන්නේ වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව යි” කම්කරුවෙක් පැවසීය.

වැඩ වේගවත් කිරීම, වැටුප් හා සෙසු දීමනා කප්පාදුව ඇතුළු ප්‍රහාරයන් වතු කම්කරුවන් මතට එල්ල කෙරෙන්නේ වැවිලි කර්මාන්තය මුහුන දී ඇති අර්බුදයේ බර ඔවුන් මත පැටවීමේ කොටසක් ලෙසය. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය 2014 වසරේ සිට බරපතල අර්බුදයකට ඇදවැටී ඇත. කොරෝනා වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපදය හා නැටෝව විසින් මෙහෙයවන යුක්රේන යුද්ධය විසින් ගැඹුරු වී ඇති ලෝක ධනවාදයේ අර්බුදය තුල එය තවත් වැඩිදියුනු වී ඇත.

තේ නිපදවන කෙන්යාව, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් සමග තරඟය තියුනු වී ඇති අතර ඉල්ලුම පහත වැටී තිබේ. තේ අපනයනකරුවන්ගේ සංගමයට අනුව මෙම වසරේ ගෙවුන මාස නවය තුල කිලෝ ග්‍රෑම් මිලියන 192.62 දක්වා තේ අපනයනය පහත වැටී ඇත. පසුගිය වසරේ එම කාලය තුල අපනයනය කල තේ ප්‍රමානය කිලෝ ග්‍රෑම් මිලියන 211.11 කි.

වතු සමාගම් එම වන්දිය ගැනීමට යත්න දරන්නේ, වැටුප් කප්පාදුව හරහා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම, වැඩ වේගවත් කිරීම සහ ආදායම් බෙදීමේ ක්‍රමය ඇතුළු නිෂ්පාදන පලදායිතාවය ඉහලදමන ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීමේ ක්‍රමවේදයන් කම්කරුවන් මත පැටවීමෙනි.

එවන් තතු තුල වතු සමාගම්වලට බලපෑම් දමන හුදු විරෝධතා උද්ඝෝෂන තුලට තමා කොටු කරන, වතු පාලකයන්ගේ සහ ධනපති ආන්ඩුවේ ඒජන්තයන් ලෙස හා කම්කරුවන්ගේ අරගල කඩාකප්පල් කරන කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන, වෘත්තීය සමිති තුලින් කම්කරුවන්ට තම අයිතීන් දිනාගත නොහැකිය.

කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගාගනිමින් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සංවිධානය වීමේ හා සෙසු රටවල වතු කම්කරුවන් සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කරගනිමින් තම අයිතීන් සඳහා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ එම නිසාය. සසප මඟ පෙන්වීම යටතේ ගොඩනගා ඇති ග්ලිනුයිජ් සහ ඕල්ටන් වතු කම්කරු ක්‍රියාකාරී කමිටු ඒ සඳහා සහයෝගය සහ නායකත්වය සම්පාදනය කරනු ඇත.

Loading