ඉදිරිදර්ශන

ලොව පුරා තරුනයන්ට කැඳවුමක්: යුක්‍රේන යුද්ධය නතර කිරීමට මහජන ව්‍යාපාරයක් ගොඩනගනු!

යුද්ධය සඳහා ධාවනයට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ දෙසැම්බර් 10 සෙනසුරාදා පවත්වන ජාත්‍යන්තර ඔන්ලයින් රැස්වීමක සත්කාරකත්වය දරයි. එම රැස්වීමට මෙතැනින් ලියාපදිංචි වන්න.

යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ සන්ධානය ගෙනයන යුද්ධයත්, තුන්වැනි ලෝක යුද්ධයක් දෙසට කරන සාහසික ධාවනයත්, වහා ම අවසන් කරන ලෙස බල කරන තරුන ජනයාගේ ගෝලීය මහජන ව්‍යාපාරයක් ගොඩනගන ලෙස, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ජාතික ශාඛාවන් වන, සමාජවාදී සමානතා පක්ෂවල ශිෂ්‍ය හා තරුන ව්‍යාපාරය වන, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කැඳවුම් කරයි.

2022 පෙබරවාරි 11 සිකුරාදා දින නැගෙනහිර රුමේනියාවේ කොන්ස්ටැන්ටා නමැති කලු මුහුදු වරාය නගරය අසල පිහිටි මිහයිල් කොගල්නිසීනු නමැති ගුවන් කඳවුරට නැටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් සංචාරය කරද්දී පෙලගැසී සිටින එක්සත් ජනපද සොල්දාදුවෝ (ඒපී ඡායාරූප/ අන්ද්රෙයා ඇලෙක්සැන්ඩෲ) [AP Photo/Andreea Alexandru]

යුද්ධයෙන් ගෝලීය ව්‍යසනයක් සිදු වීමට පෙර එය නතර කල යුතු ය. කවර හෝ විපාක දරාගෙන සිය ගෝලීය භූ-දේශපාලනික න්‍යාය පත්‍රය සාහසිකව හඹා යමින් සිටින නැටෝවෙහි අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ සහ රුසියාවේ කතිපයාධිකාරී ධනපති තන්ත්‍රයෙහි වැඩෙන මංමුලා සහගතභාවය අතර අන්තර්ක්‍රියාව, න්‍යෂ්ටික වහ්නිජාලාවක් බවට වැඩීයාමේ තර්ජනය ඉස්මතු කරයි.

“යුක්තිය ජයගනු ඇති” බවත්, යුද්ධය ඉක්මනින් ම සාකච්ඡාමය නිමාවකට ගෙන එනු ඇති බවත් අපේක්ෂා කිරීම, දේශපාලනික ව පක්ෂාඝාත කෙරෙන අන්තරායකාරී මායාවකි. නැටෝවට “සාමය” අවශ්‍ය නැත. එයට අවශ්‍ය වන්නේ යුද්ධය යි. රුසියාවේ දේශසීමාවන් වෙතට නැටෝව දශක ගනනක් පුරා ප්‍රසාරනය කිරීම සහ එහි දූෂිත රූකඩ කීව් පාලන තන්ත්‍රය යෝධ ලෙස සන්නද්ධ කිරීම හරහා ගැටුම හිතාමතා ම අවුලුවා ඇති අධිරාජ්‍යවාදී බලයෝ, ක්‍රෙම්ලිනයේ වරදවා ගනන් බැලූ, දේශපාලනික ව ප්‍රතිගාමී හා ව්‍යසනකාරී යුක්‍රේන ආක්‍රමනය මුලුමනින්ම ගසාකෑමට අධිෂ්ඨානවත් ව සිටිති.

රුසියාව අභිබවා මිලිටරි ජයග්‍රහනයක් ලබාගත හැකි යයි විශ්වාස කරන නැටෝව, සියලු රුසියානු “රතු නිවේදන” නො තකා හරිමින් සිටී. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුගයේ, විශේෂයෙන් ම 1950 ගනන්වල දී හයිඩ්‍රජන් බෝම්බය වර්ධනය කිරීමෙන් පසුව, න්‍යෂ්ටික යුද්ධය මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට තර්ජනය කරන්නේය යන අවබෝධය, න්‍යෂ්ටික ගැටුමක දී ජයග්‍රාහකයෙක් සිටිය නොහැකි බැවින්, එම ආයුධ කිසිදා භාවිතා නො කල යුතුය යන දේශපාලනික නිගමනය කරා පැමිනීමට හේතු කාරක විය. න්‍යෂ්ටික අවි භාවිතය “අන්‍යොන්‍යව සහතික කෙරුනු විනාශයක්” (Mutually Assured Destruction-MAD) ලෙස දැකගත් එකල, න්‍යෂ්ටික අවි භාවිතා නොකිරීමේ ධර්මතාව, MAD (උමතු) යන ස්වයං-විවරනාත්මක සංකේත නාමයෙන් හඳුන්වනු ලැබූ බල පවත්වන මිලිටරි මූලධර්මයක් විය.

එහෙත්, න්‍යෂ්ටික යුද්ධයකින් ජයග්‍රහනයන් ලැබිය නො හැකි යයි ද එවැන්නක් ආරම්භ කල හැක්කේ උමතු පුද්ගලයන් විසින් පමනක් යයි ද යන එම මූලධර්මය අදදින ප්‍රතික්ෂේප කෙරී ඇත. න්‍යෂ්ටික යුද්ධයක් මගින් සමාජීය සමූලෝත්පාඨනයක් ඇති කිරීමේ සම්භාවිතාව නො තකා, මෑඩ් මූලධර්මය, විස්ථාපනය කරනු ලැබ තිබෙන්නේ සාපරාධී ලෙස උන්මාදනීය “ඉතිං මොකද!” නමැති ධර්මතාව මගිනි. න්‍යෂ්ටික යුද්ධයේ හැකියාව විසින් තමන් “බියපත් වන්නේ” නැතැයි එක්සත් ජනපදය හා නැටෝ බලයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට, ඔවුන් ඉන් අදහස් කරන්නේ තම පිලිවෙත් හා ක්‍රියාවන්ට න්‍යෂ්ටික ව්‍යසනයේ අන්තරාය පවා අවහිරයක් නොවිය යුතු බව යි.

ඉතිහාසයෙන් පාඩම්

වර්තමාන අන්තරායේ පරිමානය අවබෝධ කරගැනීමට නම් අතීතයේ අත්දැකීම් යලි මතකයට නගාගත යුතු ය. ගෝලීය ආධිපත්‍යය, සංගත ලාභ හා පුද්ගලික ධනය ලුහුබැඳ යාමේ දී, පාලක පන්තියට කල නො හැකි ම්ලේච්ඡත්වයක් නොමැත.

යෝධ කාර්මික සංගතවල සංවර්ධනය සහ ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ප්‍රාග්ධනයේ දැවැන්ත වර්ධනය සමගින් 20වන ශතවර්ෂය මුල දී අධිරාජ්‍යවාදය ඉස්මතු විය. අප්‍රිකාව , මැද පෙරදිග, ආසියාව හා ලතින් ඇමරිකාව විජිතවාදයේ කෲරත්වයට බඳුන් කෙරුනි. වෙලඳපොල, අමුද්‍රව්‍ය හා ශ්‍රමය මත පාලනය සඳහා අරගලය තුල දී, ආධිපත්‍යධාරී ස්ථානයක් ලබා ගැනීමට ප්‍රධාන බලයන් පොර වැදුනි. මෙම අරගලයෙහි ප්‍රතිඵලය වූයේ, මානව ඉතිහාසයේ පෙර නුවූ විරූ පරිමානයකින් හා ප්‍රචන්ඩත්වයේ මට්ටමකින් ගෝලීය යුද ගැටුම් පැන නැගීමයි.

වර්ඩන් හි ආරක්ෂක අගලේ සිටින ප්‍රන්ස සොල්දාදුවෝ

1914 දී පුපුරා ගිය පලමුවැනි ලෝක යුද්ධය, මිලියන 20ට අධික ජනයාගේ මරනයට තුඩු දුනි. අගල් යුද්ධයේ හා විෂ වායුවල සන්ත්‍රාසය ද, ගුවනින් බෝම්බ හෙලීමේ, නාවික මිසයිලවලින්, සන්නද්ධ සබ්මැරීන් යාත්‍රාවන් හා යුද ටැංකිවලින් කෙරෙන ඝාතන සහිත මිනීමරු තාක්ෂනික සොයාගැනීම් ද අධිරාජ්‍යවාදය ලෝකයට හඳුන්වා දුන්නේ ය.

එහෙත් එම ගෝලීය ගැටුමේ සන්ත්‍රාසයය, පලමුවැනි ලෝක යුද්ධයෙහි අවසානයෙන් යන්තම් වසර 21කට පසුව 1939 දී ආරම්භ වුනු, දෙවැනි ලෝක යුද්ධයෙහි ම්ලේච්ඡත්වය සඳහා හුදු පූර්විකාවක් බව සනාථ විය. නිල හා දැනුවත් පිලිවෙතක ප්‍රතිඵලයක් වූ දෙවැනි ලෝක යුද්ධය, සිවිල් ජනගහනයන්ගේ මහා පරිමාන සමූල ඝාතනය දැක ගත්තේය. හොලෝකෝස්ටයෙහි කාර්මික ජනඝාතන හා (ජර්මනියෙහි ඩ්රෙස්ඩෙන් හා හැම්බර්ග් සහ ජපානයෙහි ටෝකියෝ වැනි) ප්‍රධාන නගරවලට ගුවනින් බෝම්බ හෙලීම් අඩංගු කරගත් මෙය අවසන් වූයේ, හිරෝෂිමා හා නාගසාකි නගරවලට එක්සත් ජනපදය විසින් පරමානු බෝම්බ හෙලීමෙනි. මරනවල පරිමානය තථ්‍ය වසයෙන් ම අවබෝධ කරගැනීම දුෂ්කර විය. යුදෙව්වන් මිලියන 6ක්, සෝවියට් සංගමයෙහි පුරවැසියන් මිලියන 27ක් සහ චීන ජාතිකයන් මිලියන 20ක් ඇතුලුව, මිලියන 85ක් මිනිසුන් මරුමුවට පත් වූ බවට තක්සේරු කරනු ලැබේ.

21වන ශතවර්ෂයේ තුන්වැනි දශකය තුල, දස මිලියන ගනන් වෙනුවට මිලියන සිය ගනනක් හෝ බිලියන ගනනකගේ පවා මරනවලට තුඩු දෙනු ඇති, න්‍යෂ්ටික ආයුධ යොදාගන්නා, තුන්වැනි ගෝලීය වහ්නිජාලයක් කරා උමතු ධාවනයක් පවතී. යුද්ධය “අවසන් සංග්‍රාමයක්” ඇති කල හැකි යයි පිලිගනිමින් පවා, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ගැටුම උත්සන්න කිරීම අඛන්ඩ ව තීව්‍ර කර ඇත.

රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සමගින් අධිරාජ්‍යවාදය දැනුම් දී ඇත්තේ, වඩා විශාල ගැටුමක් සූදානම් කරමින් පවතින බව යි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙහි මූලෝපායික ඉලක්කයන් කැටිකොට දක්වමින් 2022 ඔක්තෝබරයේ දී පලකරන ලද ලේඛන තුල, යුක්‍රේනය තුල ගැටුම වනාහි චීනයට එරෙහි අභිමුඛහනයක හුදු පූර්ව රංගනයක් පමනක් බව, බයිඩන් පරිපාලනය ඍජු ව පිලිගෙන ඇත.

පසුගිය අගෝස්තුවේ දී ඇෆ්ගනිස්තානයෙන් එක්සත් ජනපද භටයන් ඉවත් කරගන්නා බව බයිඩන් නිවේදනය කරද්දී, ඔහු කීවේ එම ඉවත් කරගැනීම “සදාකාලික යුද්ධයේ” අවසානය බව යි. දැන්, එක්සත් ජනපදය සදාකාලයට ම ජීවිතය අවසන් කල හැකි යුද්ධයක යෙදී සිටී.

තම භූ-දේශපාලනික අවශ්‍යතා ලුහුබැඳ යාමේ දී, පාලක පන්තිය ජීවිත කෝටි ගනනක් බිලිදීමට සූදානම් නැතැයි විශ්වාස කරන ඕනෑ ම අයෙක් කල යුතු වන්නේ, පසුගිය වසර දෙකහමාරේ අත්දැකීම සලකා බැලීම පමනි. කෝවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වසයෙන්, වෛරසය පැතිර යාම සීමාකිරීමට අවශ්‍ය අතිමූලික මහජන සෞඛ්‍ය පියවරයන් ගැනීම සංගත හා මූල්‍ය ප්‍රභූව ප්‍රතික්ෂේප කලේ, එසේ කිරීම ලාභ ගැරීමට හරහට හිටීම නිසා ය. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 20ට අධික පුද්ගලයන් පිරිසක් මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් මිලියනයකට අධික පිරිසක් වාර්තා වන්නේ එක්සත් ජනපදයෙනි.

මෙම යුද්ධය දියත් කිරීමේ දී අධිරාජ්‍යවාදී ආන්ඩු විසින් දෙනු ලබන සියලු සාධාරනීකරනයන් ගෙන් වහනය වන්නේ බොරුවේ හා නරුමත්වයේ ගන්ධස්කාරයයි .

රුසියානු ආක්‍රමනයෙහි දිනයට පෙරටුව ගමන් කල සිද්ධීන්ට අසම්බන්ධිත ව හා පලල් ඓතිහාසික සන්දර්භයෙන් වෙන් කොට, යුක්‍රේනය තුල යුද්ධය හුදකලා සිද්ධියක් ලෙස දැකගන්නේ නම්, එහි පුපුරා යාමට තුඩු දුන් හේතු හා අවශ්‍යතාවන් අවබෝධ කරගත නො හැක. “පලමු වෙඩිල්ල තැබුවේ” කවුරුන් ද යයි හඳුනාගැනීම මගින් යුද්ධය සඳහා වගකීම නීර්නය කරනු ලැබිය නො හැක. ඊටත් වඩා මුග්ධ කරුන වන්නේ, යුද්ධය තනි පුද්ගලයන්ගේ ක්‍රියාවන්වල ප්‍රතිඵලය ලෙස විස්තර කිරීමට දරන උත්සාහයන් ය. පසුගිය දශක තුන පුරා, එක්සත් ජනපදය විසින් දියත් කරන ලද සියලු යුද්ධයන් සාධාරනීකරනය කරනු ලැබ ඇත්තේ, එක් හෝ තවත් “යක්ෂයෙකුට” එරෙහි සදාචාරාත්මක කුරුස යුද්ධයන් ලෙස ය: එනම්, ඉරාකයේ සදාම් හුසේන්, සර්බියාවේ ස්ලොබෝදාන් මිලොසෙවික්, සිරියාවේ බෂාර් අල්-අසාද් හා ලිබියාවේ මුවම්මර් ගඩාෆි යනාදීන් ය. නවතම “යක්ෂයා” ව්ලැදිමීර් පුටින් ය; භූ-දේශපාලනික අවශ්‍යතාව මතු වන පරිදි නව යක්ෂයන් සොයාගැනෙනු ඇත. චීනයේ ෂී ජිංපිං ට යක්ෂාරෝපනය කිරීම ඉතා හොඳින් කෙරීගෙන යයි.

එක්සත් ජනපදය හා එහි නැටෝ සහචරයන් දියත් කරමින් සිටින්නේ අධිරාජ්‍යවාදී යුද්ධයකි

යුක්‍රේනයෙහි වර්තමාන ගැටුමෙහි හේතුව පසෙක තැබුවත්, අධිරාජ්‍යවාදය විසින් දියත් කරනු ලබන යුද්ධයේ සම්භවයන් පිලිබඳ කිසිවක්, ඒ හෝ මේ තනි දේශපාලන නායකයෙකුට එරෙහි ප්‍රචාරන උද්ඝෝෂන මගින් පැහැදිලි කරන්නේ නැත.

එක්සත් ජනපදය හා එහි නැටෝ සහචරයන් විසින් දියත් කරනු ලැබෙමින් තිබෙන වක්‍ර යුද්ධය, එහි ආර්ථික හා භූ-දේශපාලනික සාරයෙන් ගත් කල අධිරාජ්‍යවාදී වේ. එක්සත් ජනපදයට හා නැටෝවට, යුක්‍රේනයෙහි ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ මෙම යුද්ධයෙහි දී බිල්ලට දෙන යුක්‍රේනියානු ජනතාවගේ ඉරනම පිලිබඳ ව හෝ තැකීමක් ඇත්තේ නැත. පලමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ මෙන් ම මෙම යුද්ධයේ මූලික අභිප්‍රායය වන්නේ, අධිරාජ්‍යවාදී බලයන් අතර භූගෝලය ප්‍රතිසංවිධානය කර ගැනීම හා එහි සම්පත් යලි බෙදාගැනීම යි.

-මිලිටරි සන්ධානයේ “නැගෙනහිර අංශය” පෙන්නුම් කරමින් නැටෝව විසින් නිර්මානය කරන ලද චිත්‍රයක් (ඡායාරූපය: නැටෝ) [Photo: NATO]


යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය වනාහි, පසුගිය දශක තුන පුරා එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධ නව හා වඩා අන්තරායකාරී මට්ටමකින් අඛන්ඩව ගෙන යාමක් හා තීව්‍ර කිරීමකි. ඇමරිකානු ධනවාදයේ දීර්ඝ-කාලීන ආර්ථික කඩාවැටීම ආපසු හැරවීමට හා වැඩෙන අභ්‍යන්තර ආතතීන් යටපත් කිරීමට උත්සාහ දරන එක්සත් ජනපද පාලක පන්තිය, ගෝලීය ආධිපත්‍යය කරා ලඟා වීම එහි ගැටලුවලට පවතින එක ම විසඳුම ලෙස දැකගනී. එහි මිලිටරිවාදී ප්‍රචන්ඩ පුපුරා යාම විසින් සනාථ කෙරෙමින් පවත්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඓතිහාසික ගමන් මාවත පිලිබඳ ව, දෙවැනි ලෝක යුද්ධය ආරම්භයේ දී ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල අනාවැකිමය වූ විශ්ලේෂනයයි.

'ලෝකය බෙදී තිබේ? එය යලි බෙදාගත යුතු ය. ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල, එය 'යුරෝපය සංවිධානය කිරීම' පිලිබඳ ප්‍රශ්නයක් විය. එක්සත් ජනපදය ලෝකය “සංවිධානය” කල යුතු ය. ඉතිහාසය මානව වර්ගයාට අභිමුඛ කරමින් පවත්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රචන්ඩ පුපුරා යාම යි.”

රුසියාව කොටස් කිරීමේ ද එම රටෙහි යෝධ මූලෝපායික සම්පත් සැපයුම් වලට අබාධිත ප්‍රවේශය ලබාගැනීමේ ද යුරේසියානු භූ-ස්කන්ධය පුරා තීරනාත්මක පාලනය ලබාගැනීමේ ද මෙම පදනම මත අවසානයේ දී, ඇමරිකානු අධිරාජ්‍යවාදයෙහි ගෝලීය ආධිපත්‍යයට අභියෝග කිරීමට චීනයට පවතින හැකියාව විනාශ කිරීමේ ද එක්සත් ජනපදයේ දීර්ඝ-කාලීන අරමුනුවල සාරභූත අංශයක් ලෙස, යුක්‍රේනය නැටෝවෙහි බලපෑම් කලාපය තුලට අන්තර්ගත කරගැනීමේ අවශ්‍යතාවය 1991 දී සෝවියට් සංගමය බිඳ විසිරවූ තැන පටන් එක්සත් ජනපදය විසින් දැකගෙන ඇත. මෙම සාපරාධී අරමුනු ඍජු ව සඳහන් කරනු ලබන, ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ විය හැකි එක්සත් ජනපද ආන්ඩුවේ ලේඛන හා අධිරාජ්‍යවාදී චින්තන පර්ෂද වල මූලෝපායික විශ්ලේෂනයන් අසංඛෙය ප්‍රමානයක් පවතී.

එක්සත් ජනපදයේ තථ්‍ය වැයික්කියක් බවට හා යතා වශයෙන් නැටෝ සාමාජිකයෙක් බවට පරිවර්තනය කරනු ලැබ තිබෙන්නා වූ යුක්‍රේනය සුවිශාල ලෙස මිලිටරිමය වසයෙන් සන්නද්ධ කිරීම හරහා, එක්සත් ජනපදය හා නැටෝ බලයෝ ආක්‍රමනය ඇවිලවූ හ. මෙය, දශක ගනනාවක් තිස්සේ, රුසියාවේ දේශසීමාවන් අසලට ම ගෙන එමින් නැගෙනහිර යුරෝපය තුලට නැටෝ මිලිටරි සන්ධානය ප්‍රසාරනය කිරීමේ කොටසකි.

රුසියාව හෙලාදැකීමේ දී, රාජ්‍ය දේශසීමාවන්ගේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ හා යුක්‍රේනයෙහි “ස්වයං-නීර්න” අයිතියේ පාරිශුද්ධත්වය පිලිබඳ බොහෝ ගාම්භීර ප්‍රකාශයන් එක්සත් ජනපදය හා නැටෝව විසින් නිකුත් කෙරෙයි. 1999 සර්බියාවට එරෙහි යුද්ධය තුල කූටප්‍රාප්තියට ලඟා වෙමින්, 1990 ගනන්වල දී එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් යුගෝස්ලාවියාව කැබලි කිරීමේ දී එවන් උත්සුකතා මතු කරනු නො ලැබිනි. එක්සත් ජනපදයේ ම භූ-දේශපාලනික හා ආර්ථික අවශ්‍යතාවන්ට අවශ්‍ය පරිදි රටවල් ආක්‍රමනය කිරීම, ඒවාට බෝම්බ හෙලීම හා මැදිහත් වීම් සිදුකිරීමේ දී “ස්වයං-නීර්නයේ” මූලධර්මය ලෝකයේ ප්‍රධාන වසයෙන් උල්ලංඝනය කරන්නා වන්නේ එක්සත් ජනපදය යි.

2003 මාර්තු 21 සිකුරාදා හවස එක්සත් ජනපදය නායකත්වය දුන් හමුදා විසින් ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට කල විශාල බෝම්බ හෙලීමක් අතරතුර ආන්ඩුවේ ගොඩනැගිල්ලක් ගිනිගනී. (ඒපී ඡායාරූප/ජෙරෝමි ඩිලේ) [AP Photo/Jerome Delay]

බොරුවල පදනම මත දියත් කරන ලදුව, පුද්ගලයින් ලක්ෂ ගනනක් මරා දමමින් සමස්ත සමාජයක් විනාශ කල, 2003 දී දියත් කරන ලද ඉරාකයට එරෙහි දෙවැනි යුද්ධය විස්තර කිරීමට, එක්සත් ජනපද මිලිටරිය “කම්පනය සහ භීතිය” යන යෙදුම භාවිතා කලේ ය.

යුගෝස්ලාවියාව හා ඉරාකයට අමතර ව, ඇෆ්ගනිස්තානය (2001), ලිබියාව (2011) හා සිරියාව (2011) ඇතුලු ඇමරිකානු අධිරාජ්‍යවාදය දියත් කල යුද්ධවල දී, පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් මරා දමා, කෝටි සංඛ්‍යාත ගනනක් සරනාගතයන් බවට පත්කර ඇත. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කොටසක් ලෙසට, “තදින් ප්‍රශ්න කිරීම, ” “අබු ග්රයිබ්,” “බලහත්කාරයෙන්  භාරකිරීම,” “ජලප්‍රහාරය,” “ගුවන්තනාමෝ බොක්ක,” “ඩ්රෝන් ඝාතනය” හා “ත්‍රස්ත අඟහරුවාදාවන්” වැනි වචන ගෝලීය වාග්කෝෂයට ඇතුල් විය. ධවල මන්දිරය වර්තමානයේ අරක්ගෙන සිටින බයිඩන්, එක්සත් ජනපද සෙනෙට් සභිකයෙක් ලෙස මේ සියලු යුද්ධයන්ට ඡන්දය දුන්නේ ය.

“ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා වොෂින්ටනයේ ඊනියා කැපවීම ද නරුමත්වයෙන් හා රැවටිලිකාරීත්වයෙන් ඊට නො අඩු ය. 2014 දී එක්සත් ජනපදය පිටුබලය දුන් තන්ත්‍ර-මාරු මෙහෙයුමක් හරහා ස්ථාපිත කරන ලද කීව් ආන්ඩුව, කම්කරු පන්තියේ අයිතීන් මඩිමින් සිටින යුක්‍රේනයේ කතිපයාධිකාරය නියෝජනය කරයි. එම පාලන තන්ත්‍රය, මහා පරිමාන ඝාතකයෙකු වන ස්ටෙපාන් බන්ඩේරා සහ දෙවැනි ලෝක යුද්ධය සමයේ නාසි සහකරුවන් තුල සම්භවයන් සහිත ඇසොව් භටකාය ඇතුලු අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී සංවිධාන සමග බද්ධ වී ඒවා දිරිමත් කරයි.

2019 ජනවාරි 1දා, යුක්‍රේනයෙහි කීව් අගනුවර රැලියක් අතරතුර, අන්ත-දක්ෂිනාංශික පක්ෂවල ආධාරකරුවෝ පන්දම් හා ස්ටෙපාන් බන්ඩේරාගේ ආලේඛය ඡායාරූපයක් සහිත බැනරයක් රැගෙන යති. “තම වාරය එලඹ ඇති අදහසක් කිසිවෙකුට නැවැත්විය නො හැක” යි බැනරයේ සඳහන් වේ. (ඒපී ඡායාරුප/ එෆ්රම් ලුකාට්ස්කි) [AP Photo/Efrem Lukatsky]


ආඥාදායකත්වයට එරෙහි ව “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා ගෝලීය අරගලයක් යයි සඳහන් කරමින් බයිඩන් පරිපාලනය සිය විදේශීය යුද්ධ, සාධාරනීකරනය කරන අතර, එක්සත් ජනපද පාලක පන්තිය රට තුල ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි යුද්ධයක් දියත් කරමින් සිටී. එක්සත් ජනපදය ඇතුලත ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය පවතින්නේ බිඳවැටීමේ අද්දර ය. පවතින ව්‍යවස්ථාමය පද්ධතිය දශකය අවසන් වන තෙක් නො පවතිනු ඇතැයි බයිඩන් මත් ප්‍රසිද්ධියේ අනතුරු අඟවා තිබේ. ඇමරිකානු දේශපාලනයට ෆැසිස්ට්වාදය බෝ වී ඇත. 2021 ජනවාරි 6දා ජනාධිපතිගේ ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහය, සාර්ථකත්වයට ඉතා සමීප වීමේ සිට ගත වී ඇත්තේ වසර දෙකකටත් අඩු කාලයකි.

මුසෝලිනිට ආකර්ශනය වූවෙක් වන ඉතාලියේ ගියෝර්ජියා මෙලෝනි ප්‍රධානත්වය දරන ආන්ඩුවේ සිට, ප්‍රන්සය තුල මාරින් ල පෙන්ගේ ජාතික පෙරමුන හා බ්‍රසීලයේ ජායර් බොල්සොනාරෝගේ පක්ෂය දක්වා අන්ත-දක්ෂිනාංශය ගෝලීය වසයෙන් වර්ධනය වීම සමග, රිපබ්ලිකන් පක්ෂය අර්ධ-ෆැසිස්ට් සංවිධානයක් බවට පරිවර්තනය වීම බැඳී පවතී.

ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම හා ෆැසිස්ට්වාදය යලි හිස එසවීම සමගින්, මිලිටරිවාදය හා යුද්ධය විවෘත ව උත්කර්ෂයට නැංවීමක් පවතී. ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් යලි සන්නද්ධ කිරීමේ වැඩසටහන්වලට වියදම් කරනු ලැබේ. 20වන ශතවර්ෂයේ දී යුක්‍රේනය දෙවරක් ආක්‍රමනය කල හා එහි පුරවැසියන් මිලියන ගනනක් මරා දැමූ ජර්මානු පාලක පන්තිය, සිය මිලිටරි අයවැය තුන්ගුනයක් කිරීම සඳහා ව්‍යාජ හේතුව ලෙස දැන් ගසාකමින් සිටින්නේ යුක්‍රේනය යුද්ධය යි. සමාජ අවශ්‍යතාවන්ගෙන් සම්පත් උදුරාගෙන එලෙසින් යුද්ධයට හැරවීම, සියලු අධිරාජ්‍යවාදී රටවල් සිසාරා යමින් තිබේ.

එක්සත් රාජධානිය, ප්‍රන්සය සහ සියලු නැටෝ බලයන් යුක්‍රේනයට ආයුධ ලබා දී ඇත. යුක්‍රේනයේ අන්ත-දක්ෂිනාංශය සමග ඍජු පවුල් සබඳතා තිබෙන ක්‍රිස්ටියා ෆ්‍රීලෑන්ඩ් නියෝජ්‍ය අගමැති ධුරය දරන කැනේඩියානු ආන්ඩුව, යුක්‍රේනය නිල වසයෙන් නැටෝවට ඇතුලත් කරගත යුතු යයි කරන ඉල්ලීමෙහි පෙරමුනේ පසු වෙයි. රුසියාවට එරෙහි යුද්ධයට සම්පූර්නයෙන් සහයෝගය දෙන ඕස්ට්‍රේලියාව, චීනය සමග වන ඕනෑ ම ගැටුමක දී පෙරමුනේ සිටීමට සූදානම් වෙයි.

ආක්‍රමනය හා කුමන්ත්‍රනය හරහා, ලොව පුරා සියලු රටවල් රුසියාවට හා චීනයට එරෙහි සිය මූලෝපායික ප්‍රහාරයට එක් කරගෙන යටත් කරගැනීමට අධිරාජ්‍යවාදී බලයෝ උත්සාහ දරමින් සිටිති. මෙම ක්‍රියාදාමයේ දී ඔවුහු, ලෝක යුද්ධය සඳහා ප්‍රේරකයන් බවට පැමිනීමට තර්ජනය කරන ගනන් නැති ප්‍රාදේශීය ගැටුම් අවුලුවිමන් හා ගිනිදල්වමින් සිටිති. එක් උදාහරනයක් පමනක් දෙන්නේ නම්, චීනයට එරෙහි පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කරගැනීමට වොෂින්ටනය දරන ප්‍රයත්නය, ඉන්දු-පකිස්තාන ගැටුම එක්සත් ජනපදය හා චීනය අතර ගැටුමක් බවට විසඳිය නො හැකි ලෙස වෙලීගැනීමක් ජනිත කර ඇත.

රුසියාවේ ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමනය

රුසියාවේ යුක්‍රේන ආක්‍රමනය, එක්සත් ජනපද-නැටෝ සන්ධානයේ වක්‍ර යුද්ධයෙහි විවෘත අධිරාජ්‍යවාදී ස්වභාවය විසින් කිසිදු ලෙසකින් යුක්තියුක්ත කරන්නේ නැත. මෙම ආක්‍රමනය ට විරුද්ධ වන සසජාතශි එය හෙලා දකී. එහෙත් අපේ විරුද්ධත්වය කම්කරු-පන්තික සමාජවාදී වමෙන් එන විරුද්ධත්වයක් මිස, අධිරාජ්‍ය-ගැති දකුනෙන් එන එකක් නො වේ. නැටෝව හා බටහිර සංගත මාධ්‍ය විසින් ගොතනු ලබන ප්‍රතිගාමී හා වංචනික ආඛ්‍යානයට යටත් නො වී, සමාජවාදී මූලධර්ම මත පදනම් ව මෙම ආක්‍රමනය හෙලාදැකිය හැකි ප්‍රමානවත් වපසරියක් පවතී.

රුසියාව හා යුක්‍රේනය අතර ගැටුම, 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවය ස්ටැලින්වාදීන් විසින් පාවාදීමෙහි තවත් විනාශකාරී විපාකයකි. එම පාවාදීම කූටප්‍රාප්ත වී ඇත්තේ, 1991 දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය (සෝවියට් සංගමය) බිඳ විසිරවීම, ධනවාදය පුනස්ථාපනය කිරීම සහ කලින් සෝවියට් රාජ්‍යයට අයත් ව තිබූ වත්කම් සොරකම් කිරීම මගින් පොහොසත් වූ දූෂිත පැරනි නිලධරයන්ගේ කතිපයාධිකාරී පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීම තුලිනි. පුටින් වනාහි මෙම ප්‍රතිගාමී ධනපති මාෆියා තන්ත්‍රයෙහි නියෝජිතයා ය.

ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය බිඳ විසුරුවන විට, රුසියාවේ හා නැගෙනහිර යුරෝපයේ කම්කරුවන්ට හා තරුනයන්ට පවසන ලද්දේ, ඉන් සෞභාග්‍යයයේ හා සාමයේ නව කාලපරිච්ඡේදයක් උදා කරනු ඇති බවයි. එහෙත් එවන් කිසිවක් සිදුවූයේ නැත. කතිපයාධිකාරීන් බවට පරිවර්තනය වූ නිලධරයන් විසින් රාජ්‍ය වත්කම් කොල්ලකෑම ජීවන තත්වයන්ගේ හා ආයු අපේක්ෂාවේ යෝධ ඛාදනයකට තුඩු දුන්නා පමනක් නො ව, දැන් රුසියාව අධිරාජ්‍යවාදය විසින් වටලනු ලැබීමට මුහුනදෙයි. යුක්‍රේනය ආක්‍රමනය කිරීම වනාහි රුසියාවේ “ආරක්ෂක අවශ්‍යතාවන්ට,”--එනම්, අධිරාජ්‍යවාදී බලයන්ගේ අසාධාරන මැදිහත්වීමකින් තොර ව, රටෙහි යෝධ සම්පත් කොල්ලකෑමට කතිපයාධිකාරීන්ට පවතින අයිතියට-- සහන ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය මතට පීඩනය යෙදීමේ මංමුලා සහගත හා විනාශකාරී ලෙස අවතක්සේරු කරන ලද උත්සාහයක් විය.

රුසියාවේ පැවැත්මට ම එක්සත් ජනපදය හා නැටෝව වෙතින් තර්ජනයක් එල්ල වන බව නිසැක සත්‍යයකි. එහෙත්, රුසියාව අධිරාජ්‍යවාදී කැබලි කිරීමේ දංගෙඩිය මතට ගෙනඑනු ලැබුවේ, සෝවියට් සංගමය බිඳ විසිරවීම හා ධනවාදය පුනස්ථාපනය කිරීම විසිනි. පුටින් මෙම තර්ජනයට මුහුන දීමට උත්සාහ කරන්නේ “ශුද්ධ වූ රුසියාවේ” සාර්වාදී ප්‍රතිගාමී හා ගූඪවාදී ජාතිකවාදයට ආයාචනා කිරීම මගිනි. මෙය නිරර්ථක ය. 1917 දී පෙරලා දමන ලද සාර්වාදී රුසියාවේ රාජ්‍ය-ශිල්පය හා රාජ්‍යතාන්ත්‍රිකත්වය, 2022 දී විදෙස් පිලිවෙත සඳහා ආදර්ශනයක් ලෙස යොදාගත නො හැක.

රුසියාවෙන් නිදහස් නවීන යුක්‍රේනයකට පදනම් නිර්මානය කිරීම පිලිබඳ ව, පුටින් ඍජු ව හා යලි යලිත් දොස් පවරා ඇත්තේ, ඔක්තෝබර් විප්ලවයට සහ ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් බොල්ශෙවික් පාලනයටයි. රුසියානු ස්වෝත්තමවාදියෙක් හා සමාජවාද-විරෝධියෙක් වන පුටින් ගර්හාවට ලක්කරන්නේ, විප්ලවයෙන් වසර පහකට පසුව 1922 දී ස්වේච්ඡා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ලෙස සෝවියට් සංගමය ගොඩනගනු ලැබීම යි. සාර්වාදී පාලන තන්ත්‍රය විසින් පීඩනයට පත්කර තිබුනු සියලු ජාතිකත්වයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතික අයිතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, කම්කරුවන්ගේ බලය මත පදනම් වුනු සෝවියට් සංගමය කැප විය. ස්ටැලින් බලය කරා නැගීම තුල පුද්ගලාරෝපනය වූ සෝවියට් සංගමයේ නිලධාරිවාදී පිරිහීම, සුවිශේෂී තියුනු ප්‍රකාශනයක් අත් කරගත්තේ, සෝවියට් සංගමය ඇතුලත ජාතික සුලුතරයන්ගේ සුජාත වත් ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් උල්ලංඝනය කිරීම හා මැඩීම තුල ය. වත්මන් රුසියානු ආන්ඩුවෙහි ජාතික ස්වෝත්තමවාදය, හුදෙක් සාර්වාදයේ ප්‍රතිගාමී සම්ප්‍රදායයන් තුල පමනක් නො ව, ස්ටැලින්වාදයේ ප්‍රතිගාමී සම්ප්‍රාදයන් තුල ද ඓතිහාසික ව මුල්බැස පවතී.

හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භාකයාවූ ලියොන් ට්‍රොට්ස්කි

විප්ලවීය මාක්ස්වාදයේ හා සමාජවාදී ජාත්‍යන්තරවාදයේ සම්ප්‍රදායයන් මත අව්‍යාජව පදනම් වන සසජාතශි, “ජාතික ආරක්ෂාවේ” යල් පිනූ සංකල්පය මත පදනම් වෙමින් යුද්ධය පිලිබඳව ඉදිරිපත් කරන සියලු සාධාරනීකරනයන් ප්‍රතික්ෂේප කරයි. අපේ ආස්ථානය රුසියාව හා යුක්‍රේනය යන දෙකට ම අදාල වේ. පුටින් හා සෙලෙන්ස්කිගේ යුද පිලිවෙත්වලට එරෙහි ව, රුසියානු හා යුක්‍රේනියානු කම්කරුවන්ගේ එකමුතුව වෙනුවෙන් අපි පෙනී සිටිමු. පාලන තන්ත්‍ර දෙකේ ම ප්‍රතිගාමී ස්වෝත්තමවාදයට විරුද්ධ ව, අපි ට්‍රොට්ස්කිගේ වචනවලට අවධානය යොමු කරමු:

වර්තමාන ජාතික රාජ්‍යය ප්‍රගතිශීලී සාධකයක් නියෝජනය කරන්නේ නම්, එහි දේශපාලන රූපාකාරය කවරේ වුව ද හා යුද්ධය පලමුව “ආරම්භ කලේ” කවුද යන්න නො තකා, එය ආරක්ෂා කලයුතු වන්නේ ය. ජාතික රාජ්‍යයේ ඓතිහාසික කාර්යභාරය පිලිබඳ ප්‍රශ්නය, දෙන ලද ආන්ඩුවක “වරද” සමග පටලවා ගැනීම විකාරයකි. වාසයට සුදුසු නිවසක් ගිනි ගනිද්දී, එහි හිමිකරුවාගේ නො සැලකිල්ල හෝ අරමුන ගින්නට හේතුවීය යන්න සලකා, කෙනෙකුට නිවස ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල හැකි ද? එහෙත් මෙහි දී ප්‍රස්තුතය වන්නේ, ගිනි ගන්නා නිවස ජීවත් වීමට නො ව මියයාමට සුදුසු එකක් වී තිබීම යි. ජනයාට ජීවත්වීම සඳහා නම්, ජාතික රාජ්‍යයේ ව්‍යුහය බිමට ම සමතලා කර දැමිය යුතු වේ.

ජාතික ආරක්ෂාව දේශනා කරන “සමාජවාදියෙක්” යනු, පරිහානිගත ධනේශ්වරයට සේවය කරන සුලුධනේශ්වර ප්‍රතිගාමියෙකි. යුද සමයක දී ජාතික රාජ්‍යයට ගැටගැසී ගත නොහැක්කේත්, යුද සිතියම නො ව පන්ති අරගලයේ සිතියම අනුව ක්‍රියාකල හැක්කේත්, සාමකාලයේ දී ද ජාතික රාජ්‍යයට එරෙහි ව සම්මුති විරහිත යුද්ධයක් ප්‍රකාශ කර සිටින පක්ෂයකට පමනි. අධිරාජ්‍යවාදී රාජ්‍යයෙහි වෛෂයික ප්‍රතිගාමී කාර්යභාරය මුලුමනින් ම අවබෝධ කරගැනීමෙන් ම පමනි, කම්කරු පන්තික පෙරමුනු බලඇනියට, විවිධාකාර ගන්නා සමාජ දේශමාමකත්වයෙන් අත්මිදී පැවතිය හැක්කේ. මෙහි අර්ථය වන්නේ, “ජාතික ආරක්ෂාවේ” දෘෂ්ටිවාදයෙන් හා පිලිවෙතින් යථා වසයෙන් ම බිඳීගත හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්ති විප්ලවයේ ආස්ථානයේ පිහිටා පමනය යන්න යි. (යුද්ධය හා හතරවන ජාත්‍යන්තරය, 1934)

තරුන ජනයා අනාගතය සඳහා සටන් කල යුතු ය!

තරුන ජනයා මූර්තිමත් කරන්නේ හා නියෝජනය කරන්නේ, අනාගතයේ අපේක්ෂාව හා ප්‍රතිඥාව යි. එහෙත්, ආර්ථික හා භූ-දේශපාලනික අරමුනු කරා සාහසික ලුහුබැඳීමේ දී, ධනවාදය මානව වර්ගයාගේ පැවැත්ම ම අවදානමට ලක්කර තිබේ. වසර 400කට පෙර, ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යය පැවැත්ම පිලිබඳ අතිමූලික ප්‍රශ්නය ඉදිරිපත් කලේ ය: “මියෙම්වා, රැකෙම්වා?” වර්තමාන ලෝකය තුල, දාර්ශනික සමපේක්ෂනයෙහි කාරනයක් වෙනුවට, මානව වර්ගයා මුහුන දෙන ප්‍රධාන දේශපාලනික අභියෝගය ලෙස ඉස්මතු කරනු ලැබ ඇත්තේ මෙම ප්‍රශ්නය යි. න්‍යෂ්ටික යුද්ධයෙහි අන්තරායට අමතර ව, එලඹෙන දශකවල දී, දේශගුන වෙනස සහ අනාගත වසංගතයන් මිනිස් ජීවිත කෝටි ගනනක් බිලිගැනීමට තර්ජනය කරයි. ධනවාදය ලෝකය අවසන් කිරීමට පෙර, කම්කරු පන්තිය ධනවාදය අවසානයකට ගෙන ආ යුතු ය.

යුක්‍රේන යුද්ධයටත්, එය න්‍යෂ්ටික තුන්වැනි ලෝක යුද්ධයක් බවට තීව්‍ර කිරීමටත් විරුද්ධව බලගතු ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පදනම ලෙස, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය පහත දැක්වෙන මූලෝපායික මූලධර්ම ඉදිරිපත් කරයි.

යුද්ධය නැවැත් වීමට හැක්කේ, පාලක පන්තියට හා එහි ආන්ඩුවට කරන ආයාචනා හා විරෝධතා විසින් නො ව, ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලනික ව බලමුලුගැන්වීම මගිනි. සියලු ලාභයන්ගේ මූලාශ්‍රය වන සූරාකැවෙන ශ්‍රමය සහිත කම්කරු පන්තියෙන්, ලෝක මහජනයාගේ යෝධ බහුතරය සමන්විත වේ. එයට යුද්ධය අවශ්‍යව නැත. නව ලෝක යුද්ධයක් තුල දී වෙඩි උන්ඩ ලෙස බිලිවනු ඇත්තේ විශේෂයෙන් ම තරුන කම්කරුවන් ද ඇතුලු කම්කරුවන් ය.

මූලික අවශ්‍යතා සඳහා වියදම් කල නො හැකි තැනකට කම්කරුවන් ඇද දමන පිම්බෙන උද්ධමනය ජනනය කරමින්, යුද්ධය දැනට මත් කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් සුවිශාල ලෙස ඛාදනය කිරීමක් ඇති කර තිබේ. ජීවන තත්ත්වයන්ගේ ඇදවැටීම මගින් නිර්මිත අර්බුදය, එක්සත් ජනපදය, යුරෝපය, ලතින් ඇමරිකාව, මැද පෙරදිග හා අප්‍රිකාව තුල පන්ති අරගලයෙහි ගෝලීය නැග්මකට තුඩු දී තිබේ.

යුද උපකරන සඳහා සෑම වසරක ම ඩොලර් ට්‍රිලියන ගනන් වියදම් කරන පාලක පන්තිය, නිදහස් අධ්‍යාපනය ඇතුලු කම්කරු පන්තියට තීරනාත්මක සමාජ වැඩසටහන්වලට සහ ශිෂ්ට සම්පන්න වැටුප් ගෙවීමට හා සෞඛ්‍යාරක්ෂනය සම්පාදනය කිරීමට අරමුදල් සම්පාදනය කිරීම සඳහා මුදල් නැතැයි කියා සිටී. කම්කරු පන්තියෙහි එක දිගට පලල් වන ස්ථරයන් දුගී බවට ඇද දැමීම සමග යුද්ධය තීව්‍ර කිරීම අනිවාර්යයෙන් බැඳී තිබේ.

තමන් සමාජවාදී ලෙස ප්‍රෝඩාකාරී ලෙස මවාපෙන්වන ගමන්, එක්සත් ජනපද හා නැටෝ අධිරාජ්‍යවාදයේ වඩාත් ම දෘඩතර ආධාරකරුවන් ලෙස සේවය කරන්නාවූ, එක්සත් ජනපදයේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්ගේ (Democratic Socialists) සිට ජර්මනියේ හරිතයන් හා වාම පක්ෂය ද ග්‍රීසියේ සිරිසාව හා ස්පඤ්ඤයේ පොදේමෝස් ද දක්වා වන සියලු සංවිධාන, සසජාතශි විසින් හෙලා දකී.

“යුක්‍රේන ස්වෛරීභාවය” ආරක්ෂා කිරීමේ ව්‍යාජ හා ප්‍රතිගාමී සටන් පාඨය යටතේ, මෙම සංවිධාන එක්සත් ජනපදය හා නැටෝව විවේචනය කරන්නේ, යුක්‍රේනය අන්තයට ම සන්නද්ධ කිරීම හා රුසියාවට එරෙහි වක්‍ර යුද්ධයක් ගෙන යාම පිලිබඳ ව නො ව, ඇති තරම් ආයුධ සම්පාදනය නො කිරීම පිලිබඳ ව යි. දශක ගනනාවක් තිස්සේ, ව්‍යාජ-වමේ සංවිධාන, විශේෂයෙන් ම විශ්ව විද්‍යාල තුල වාර්ගික හා ලිංගික භේදයේ දේශපාලනය ඉදිරියට දමා ඇත්තේ, තානාන්තර හා ධනය සුරක්ෂිත කරගැනීමට කරන පොරබැදීමේ දී ඔවුන් පෙනී සිටින ඉහල මධ්‍යම-පන්තික සමාජ ස්ථරයන්ට ආධාර දෙන අතර කම්කරු පන්තිය බෙදීමට යි. දැන් ඔවුන් ම තමන් අධිරාජ්‍යවාදයේ විවෘත ආධාරකරුවන් බව හෙලිදරවු කරගනිමින් සිටී.

වෘත්තීය සමිති නිලධරයන් සම්බන්ධයෙන් සලකන කල, ඉහල මධ්‍යම-පන්තික කාර්යධරයන් දහස් ගනනකගෙන් පිරී ඇති ඊනියා “කම්කරු ව්‍යාපාරය” යුද්ධයට සහයෝගය දෙන්නේ, කම්කරු පන්තියට ඔවුන් දක්වන හතුරු කමේ හා සංගත කලමනාකාරීත්වයෙහි උපකරන ලෙස ඔවුන්ගේ භූමිකාවේ අනෙක් පැත්ත ලෙස ය.

මූලික කාරනා දෙකක් හේතුවෙන්, සසජාතශි “ජාතික ආරක්ෂාවේ” ප්‍රතිගාමී ක්‍රියා මාර්ගය ප්‍රතික්ෂේප කරයි.

පලමුව, ජාතික රාජ්‍යය යනු, ඒකාග්‍රිත හා අන්තර්-රඳාපැවැත්මක් සහිත ගෝලීය ආර්ථිකයක වර්ධනය සමග නො ගැලපෙන ඓතිහාසික වසයෙන් යල් පිනූ ඒකකයකි. නිෂ්පාදන බලවේගවල වර්ධනයට ද සමස්ත මානව වර්ගයා විසින් ඒවා සාමකාමී හා ඵලදායී ලෙස උපයෝගී කරගැනීමට ද එරෙහි යකඩ සැට්ටයක් ලෙස ජාතික රාජ්‍යය ක්‍රියාකරයි.

දෙවනුව, ආන්ඩු  පාලනය කරන සහ ඔවුන්ගේ ආර්ථික අවශ්යතා ඉදිරියට දමාගැනීමට රාජ්‍ය බලය පරිහරනය කරන ධනපති කතිපයාධිකාරිය අත තිබෙන සකල බලයද සමග සියලු ජාතික රාජ්‍යයන් පන්ති ගැටුම මගින් කීතුකරනු  ලැබ ඇත යන්න නොපිලිගැනීම මත “ජාතික එක්සත්කම” සඳහා කෙරෙන ආයාචනා පදනම්ව තිබේ.

ජාතික ස්වෝත්තමවාදයට සහ (“ප්‍රජාතන්ත්‍රවාදය” හා “මානව හිමිකම්” වැනි) අනෙකුත් කුහක සටන් පාඨවල ධජය යටතේ දියත් කරන යුද්ධයන්ට කම්කරු පන්තිය දක්වන විරුද්ධත්වය සරල සදාචාරාත්මක සලකා බැලීම් මත පදනම් නො වේ. ඊට පටහැනි ලෙස, වැඩකරන ජනයා සමන්විත වන්නේ ජාත්‍යන්තර පන්තියකිනි. වැඩකරන ජනයාගේ පොදු අවශ්‍යතා, ජාතික රාජ්‍යයන් විනිවිද යයි. වඩාත් ම ප්‍රගාඪ ඓතිහාසික හා ආර්ථික අර්ථයකින්, කම්කරු පන්තියට රටක් නැත.

විරෝධතාකරුවන්, 2022 ජූලි 9 සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි ජනාධිපති නිල නිවස දෙසට දිවෙන වීදියක රැස් ව සිටිති. (AP Photo/Amitha Thennakoon) [AP Photo/Amitha Thennakoon]

නිෂ්පාදනයේ ගෝලීයකරනය තුඩු දී ඇත්තේ ආසියාවේ, ලතින් ඇමරිකාවේ හා අප්‍රිකාවේ නව කම්කරුවන් කෝටි ගනනකින් වර්ධනය වීමට පමනක් නො ව, ප්‍රධාන ධනපති රටවල් තුල නිර්ධනීකරනය කරනු ලැබ ඇති තරුන ජනයා ඇතුලු ජනගහනයේ පලල් කොටස් ද සමගින් ලොව පුරා කම්කරු පන්තියේ වේගවත් වර්ධනයකට යි. ඒ අතර ම, පසුගිය දශක තුන පුරා සිදු වී ඇති සන්නිවේදන ‍සේවා අත්‍යසාමාන්‍ය අභිවර්ධනයන්, ජාතික දේශසීමා කපාගෙන එකිනෙකා සමග සන්නිවේදනය කිරීමටත්, පොදු ක්‍රියා මාර්ගයක හා පොදු ක්‍රියා සැලසුමක පදනම මත සිය අරගල සංවිධානය කිරීමටත්, කම්කරුවන්ට හා තරුන ජනයාට හැකියාව ලබා දී ඇත.

මෙම ගෝලීය යතාර්ථය හඳුනාගන්නා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය, කම්කරු පන්තිය දෙසට හැරීමටත්, ධනවාදය අහෝසි කිරීම පිනිස ව්‍යාපාරයක් ගොඩනැගීමටත්, ලොව පුරා තරුනයන් හා ශිෂ්‍යයන් එකමුතු කිරීමට සටන් වදී.

යුද්ධය එපා! සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය ගොඩනගනු!

දශක තුනකට පෙර, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිති ව, පාලක පන්තියේ දෘෂ්ටිවාදීහු “ඉතිහාසයේ අවසානය” ප්‍රකාශයට පත්කල හ. මෙම සටන් පාඨයෙහි අර්ථය වූයේ, සීතල යුද්ධයෙන් අධිරාජ්‍යවාදය ලබාගත්තේ යයි උපකල්පිත “ජයග්‍රහනය” නිසා ධනවාදයට එරෙහි විකල්පයක් තිබිය නො හැකි බව සනාථ වූ බව යි. ඒ අනුව, ජාතික රාජ්‍ය පද්ධතිය, නිෂ්පාදන බලවේගවල පුද්ගලික අයිතිය, ලාභ පද්ධතිය හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සමාජීය වර්ධනයේ ඉහල ම හා අවසාන අවදිය සලකුනු කලේ ය.

“ඉතිහාසයේ අවසානය” පිලිබඳ ප්‍රවාදය යනු, අපාය පිලිබඳ ඩාන්ටේගේ බියකරු දැක්මෙහි ධනපති තථ්‍යකරනය විය: “මෙහි ඇතුලු වන ඔබ සියලු බලාපොරොත්තු අත්හරීවා!.” මානව වර්ගයා ගැලවීමක් තිබිය නො හැකි වූ ධනේශ්වර දුෂ්ට රාජ්‍යයක් තුල උගුලට හසු වී සිටියේ ය. මානව වර්ගයා ඇද දමා තිබුනු ඉරනම වූයේ සමාජ අසමානතාව, දරිද්‍රතාව, සූරාකෑම හා සදාකාලික සංස්කෘතික හීනනය කිරීමකට යි.

මාධ්‍ය විසින් වැලඳගත් හා පුම්බන ලද, එමෙන් ම ගනන් නැති ශාස්ත්‍රාලිකයන් විසින් දේශනා කරන ලද “ඉතිහාසයේ අවසානය” ආඛ්‍යානයෙහි ඉලක්කය වූයේ, කලකිරීම, දිරිසුන් බව හා දේශපාලනික උදාසීනත්වය වගා කිරීම යි. එහෙත් එය ව්‍යාජ ආඛ්‍යානයක් විය. ඉතිහාසය පලිගනිමින් ආපසු පැමින ඇත. ධනවාදයෙහි ආර්ථික, දේශපාලනික හා සමාජීය පදනම් පුපුරුවා දමමින් තිබේ. ඓතිහාසික ප්‍රගතියේ ශ්‍රේෂ්ට ධාවක බලය වන පන්ති අරගලය, සමාජ පාලනයේ සියලු ආයතනීය යාන්ත්‍රනයන් බිඳ දමමින් පවතී.

යුද්ධයෙහි වර්ධනය තරුන ජනයාට හා සමස්ත මානව වර්ගයාට මහා අන්තරායන් ඉස්මතු කල ද සසජාතශි සිය ක්‍රියා මාර්ගය පදනම් කරන්නේ අපේක්ෂා භංඝත්වය මත නොව, අපට සටන් වැදී අනාගතය ජයග්‍රහනය කල හැකිය යන විශ්වාසය මත ය.

අසුභවාදීන්ගේ ඉරනම්වාදය ප්‍රකාශයට පත්කරන්නේ, ධනපති ලෝක පර්යාය ඇතුලත කරගත හැක්කේ කවරක්දැයි යන්නෙහි සීමාව තුල හිර වී පවතින දෘෂ්ටියකි. යුද්ධය, ආඥාදායකත්වය, දේශගුන වෙනස සහ සමාජ ප්‍රතිගාමීත්වය නිෂ්පන්න කරන එම ධනපති අර්බුදය ම, ජාත්‍යන්තර කම්කරු පන්තික අරගලයෙහි වර්ධනය ද නිෂ්පන්න කරන්නේ ය යන අවබෝධයෙන් සුභවාදය පැන නගී.

අසමානතාවට හා සූරාකෑමට විරුද්ධ ව කම්කරුවෝ අරගලයේ යෙදී සිටින කම්හල් හා වැඩපොලවල් වෙත අපි හැරිය යුත්තෙමු. ධනවාදය පෙරලා දැමීමේ ද මානව වර්ගයාට ඉදිරි මාවතක් සම්පාදනය කිරීමේ ද ශ්‍රේෂ්ට බලය වන්නේ ඔවුන් ය. සසජාතශි හුදෙක් යුද්ධයට එරෙහි අරගලයේ දී කම්කරුවන්ගේ සහයෝගය ලබාගැනීමට පමනක් උත්සාහ දරනවා නො වේ. ලෝක ධනපති ක්‍රමයට එරෙහි සටනේ දී, නායක හා තීරනාත්මක විප්ලවවාදී බලවේගය වන්නේ, සමාජවාදී ක්‍රියා මාර්ගයකින් සන්නද්ධ වුනු කම්කරු පන්තියෙහි ඉස්මතුවීම මත, අධිරාජ්‍යවාදයේ පරාජය රඳා පවතින බව අපි හඳුනාගන්නෙමු.

පලමුවැනි ලෝක යුද්ධයෙහි ගෝලීය සංහාරය අවසානයකට ගෙන ආ, ලෝක ඉතිහාසය තුල කම්කරු පන්තියේ ශ්‍රේෂ්ටතම මැදිහත් වීම වූ රුසියානු විප්ලවයේ දී මෙන් ම, තුන්වැනි ලෝක යුද්ධය දෙසට වන ඇදී යාම ද අද නවත්ලනු ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත් වීමෙනි.

1917 -1917 රුසියානු විප්ලවය සමයේ ජනකායක් අමතන ලෙනින්

සියල්ලට ඉහලින් ස්ටැලින්වාදයට එරෙහි සටන හරහා, මාක්ස්වාදයේ අඛන්ඩතාව පවත්වාගෙන ගිය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන, හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය මත ද සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය මත ද සසජාතශි සිය ඉදිරි දර්ශනය පදනම් කරයි. මාක්ස්වාදයට පාලක පන්තිය එල්ල කරන ප්‍රහාරයන් ද සියලු ආකාරවල ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් හා ඓතිහාසික මුසාකරනයන් එය (පාලක පන්තිය) විසින් දිරිමත් කිරීම ද මගින් මෙම ඉතිහාසයෙන් සහ කම්කරු පන්තික අරගලයේ සමස්ත ඉතිහාසයෙන් තරුන ජනයා ව බොහෝසෙයින් ම වෙන් කර දමනු ලැබ ඇත.

ශිෂ්‍යයන් අතර කරන තම වැඩකටයුතුවල දී, සකලාකාර ප්‍රති-මාක්ස්වාදී න්‍යායයන්ට එරෙහිව, විශේෂයෙන් ම කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරන්නා වූ ද සමාජවාදය සඳහා දේශපාලන අරගලයට විරුද්ධ වන්නා වූ ද ප්‍රතිගාමී ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයට හා දෙගුනයක් ප්‍රතිගාමී පශ්චාත් නූතනවාදයේ අහේතුවාදයට සම්බන්ධ සියලු රූපාකාරවලට සසජාතශි විරුද්ධ වෙයි.

තව ද විද්‍යාව හා ශාස්ත්‍රීයත්වය අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට යටත් කිරීමට දරන ධාවනය ද සසජාතශි විසින් හෙලිදරවු කර තිබේ. ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහි ව වර්ධනය වන විරුද්ධත්වය මැඩීමට දරන සියලු ප්‍රයත්නයන්ට ප්‍රතිරෝධය දක්වමින්, සසජාතශි, ඓතිහාසික සත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට එල්ල කරන ප්‍රහාරයන්ට අනවරත ව විරුද්ධ වී ඇත.

කම්කරු පන්තිය වෙතට යොමු වූ යුද්ධයට විරුද්ධ පොදු අරගලයක් තුල, තරුන ජනයා එකමුතු කරන ව්‍යාපාරයක් පනගැන්වීමට සසජාතශි කටයුතු කරනු ඇත. ලොව පුරා ශිෂ්‍යයන්ට හා තරුනයන්ට අපි මෙසේ කියමු: අපිට අනාගතයක් තිබිය යුතු නම්, අපි ඒ සඳහා සටන් කල යුත්තෙමු! සමස්ත ලෝකය න්‍යෂ්ටික වහ්නිජලාවක් තුලට හැරවීමට පාලක පන්තීන් කුමන්ත්‍රනය කරද්දී අපට පසෙකට වී බලා සිටිය නො හැක!

“යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය නතර කරනු” මැයෙන්, ලංකාවේ වේලාවෙන් දෙසැම්බර් 11දා උදෑසන 12.30ට පවත්වනු ලබන ගෝලීය අන්තර්ජාල රැස්වීමක් හරහා, මෙම උද්ඝෝෂනය දියත් කරනු ඇත. ලොව පුරා රටවල් තුල සම්බන්ධීකරනය කොට පවත්වනු ලබන රැස්වීම් හා අනෙකුත් ක්‍රියාවන් මාලාවක් සමග අන්තර්ජාල රැස්වීම ඒකාබද්ධ කරනු ඇත. යුද්ධයෙහි ඓතිහාසික සම්භවයන් සහ එය තීව්‍ර කිරීම ධාවනය කරනු ලබන සැබෑ දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා මෙම රැස්වීමේ දී විස්තර කරනු ඇත. සියල්ලටත් වඩා, මෙම රැස්වීම විප්ලවවාදී මූලෝපායක් ඉදිරිපත් කරමින්, යුද්ධය නැවැත්වීමට කල යුත්තේ කුමක්දැයි පැහැදිලි කරනු ඇත.

සහභාගි වීමට අවශ්‍ය සියලු දෙනාගෙන් රැස්වීමට ලියාපදිංචි වන ලෙස හා සසජාතශි අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට බැඳෙන්න! න්‍යෂ්ටික යුද්ධයක් දෙසට සාහසික ධාවනය නතර කරනු! දරිද්‍රතාවෙන්, සූරාකෑමෙන්, යුද්ධයෙන් හා සකලාකාර පීඩනයන්ගෙන් තොර සමාජවාදී අනාගතයක් සඳහා සටන සියතට ගන්න!

වැඩි දුර තොරතුරු හා සසජාතශි වෙත බැඳීම සඳහා /wswsiysse.org වෙත පිවිසෙන්න.

Loading