පෞරානික මානව ජාන අධ්‍යයනය කිරී‌ම වෙනුවෙන් ස්වාන්ටේ පේබෝට නොබෙල් ත්‍යාගය පිරිනැමේ

[මෙය Nobel Prize awarded to Svante Pääbo for study of ancient human DNA 2022 ඔක්තෝබර් 10 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජර්මනියේ ලිප්සිග්හි මැක්ස් ප්ලාන්ක් පරිනාමීය මානව විද්‍යා ආයතනයේ (එම්පීඅයි-ඊවීඒ) සේවය කරන ස්වීඩන ජාන විද්‍යාඥ ස්වාන්ටේ පේබෝට, මේ වසරේ කායික විද්‍යාව නොහොත් වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබ ඇත. නියාන්ඩතාල්වරු හා ඩෙනිසෝවන්වරු ඇතුලු පෞරානික මානවයන්ගේ ජානමය කේත අර්ථ නීර්නය කිරීමේ දී පේබෝගේ පුරෝගාමී මෙහෙවර නොබෙල් කමිටුව විසින් උපුටා දැක්වී ය. ඩෙනිසෝන්වරුන් ව පලමු වරට පේබෝගේ පර්යේෂනය මගින් හඳුනාගත් අතර, එය මානව පරිනාමය අධ්‍යයනය කිරීමේ ක්ෂේත්‍රයට කල මහඟු ප්‍රතිපදානයකි.

මහාචාර්ය ස්වාන්ටේ පේබෝ [Photo by Duncan Hull / CC BY-SA 4.0]

නොබෙල් කමිටුවේ උපුටනය මෙසේ සඳහන් කරයි: “පරිනාමය තුල පවතින අනපේක්ෂිත සංකීර්නත්වයක් සහ පෞරානික මානවයන්ගේ සම්මිශ්‍රනයක් අනාවරනය කරන අතර ම, අපව සුවිශේෂී ලෙස මානවයන් බවට පත් කරන ජානමය ලක්ෂනවල වැඩි දියුනු අවබෝධයකට පදනම සම්පාදනය කරන, පේබෝගේ නව සොයා ගැනීම් අපගේ පරිනාමීය අතීතය හැදෑරීමට නව අවස්ථාවක් විවෘත කලේ ය.”‍

ජාන විද්‍යාඥයා නායකත්වය දුන් පර්යේෂනය මෙම කාර්යසාධනය අත්පත් කර ගත්තේ, වසර දසදහස් ගනනක හායනය නො තකා පෞරානික ජාන පෙලගස්වන සහ නවීන ජානවල අපවිත්‍රනයෙන් පෞරානික ජාන වෙන්කරන තාක්ෂනයන් වර්ධනය කරමින් වන අතර, ඒ හරහා එම පර්යේෂනය ජානමය පොසිල විද්‍යා ක්ෂේත්‍රය ආරම්භ කලේ ය.

1850 ගනන්වල දී, ඩුසෙල්ඩෝෆ් අසලින් සොයාගනු ලැබ තිබුනු ආසන්න වසයෙන් වසර 40,000ක් පැරනි නියාන්ඩතා මානවයෙකු යොදාගනිමින්, (සෛල තුල පවතින ප්‍රාක්ප්ලාස්මයන් වන) මයිටොකොන්ඩ්‍රියාවකින් පෞරානික මානව ජානවල පලමු පෙලගැස්වීම, පේබෝ 1997 දී නිවේදනය කලේ ය. සෛලවල “බලාගාර” ලෙස හැඳින්වෙන මයිටොකොන්ඩ්‍රියාවන්ට ඒවායේ ම ජාන සැකැස්මක් ඇති අතර, එම සැකැස්ම සෛලයේ න්‍යෂ්ටික ජානමය ද්‍රව්‍යයට වඩා කෙටි වන හෙයින් පෙලගැස්වීම වඩා පහසු ය.

අවශ්‍ය විධික්‍රමවල වැඩිදුර වර්ධනය සමගින්, පේබෝ හා කන්ඩායම 2010 දී නියාන්ඩතාල් ප්‍රවේනි ද්‍රව්‍යයන් සම්පූර්නයෙන් පෙලගැස්වීම සමාප්ත කල හ. මේ දක්වා ප්‍රතිනිර්මානය කරනු ලැබ ඇති වයස්ගත ම පෞරානික මානව ජානය, ස්පාඤ්ඤයෙන් සොයාගත් වසර 430,000ක් පැරනි ශේෂයකි.

මානව ප්‍රවේනි ව්‍යාපෘතිය විසින් නවීන මානව ජාන පෙලගස්වනු ලැබීම කෙරෙන්, ජානමය පොසිල විද්‍යා පර්යේෂනය විශාල වසයෙන් ප්‍රයෝජන ලැබී ය. පෞරානික ජානමය පෙලගැසීම් හඳුනාගැනීම පිනිස, සන්සන්දනය සඳහා නවීන කේත සැලැස්ම තිබීම අත්‍යවශ්‍ය වේ.

පෞරානික ජාන පෙලගැස්වීමට ඇති හැකියාව, මානව පරිනාමය ද වඩා පොදු ලෙස ජීවවිද්‍යාත්මක පරිනාමය ද අධ්‍යයනය කිරීමට බලගතු මෙවලමක් එක් කරයි. පරිනාමීය පථය පෙන්නුම් කරමින්, වඳ වී ගිය සත්ත්වයන් අතර සබඳතාවන්ට ඉඟියන් ලෙස, සමානත්වයේ හා වෙනස්කමේ ප්‍රමානයන් හඳුනා ගැනීමට දරන උත්සාහය තුල දී, පොසිලවල ශාරීරික ලක්ෂනයන් සන්සන්දනය කිරීම මත රඳා සිටීමට, මීට පෙර පොසිල විද්‍යාඥයන්ට සිදු විය. පැහැදිලි ව ම, පොසිල ප්‍රජනනය නො කරයි. එම නිසා, ජීවී විශේෂයන් අර්ථ දැක්වීමට පවතින නවීන කේතය වන ජානමය සබඳතාවන්ගේ ප්‍රමානයන් දුරවබෝධී වේ. ජානමය පොසිල විද්‍යාව, පරිනාමයෙහි ගමන් මාවත පැහැදිලි කර ගැනීමට උදවු වන ජානමය සමානකම් හා වෙනස්කම් සම්බන්ධ දත්තයන්ගේ ස්වාධීන මූලාශ්‍රයක් සම්පාදනය කරයි.

ආසන්න වසයෙන් වසර 300,000ත් 200,000ත් අතර කාලයකට පෙර අප්‍රිකාවෙහි සම්භවය ලද නවීන හොමෝ සේපියන්ස් මානවයන්, දල වසයෙන් වසර 50,000ක් හෝ 60,000කට පෙර යුරේසියාවට විසිරී යමින් යුරෝපයෙහි නියන්ඩතාල් මානවයන් සහ සයිබීරියාවෙහි ඩෙනිසෝවන් මානවයන් සමගින් සහජීවනයේ යෙදී ඔවුන් දෙගොල්ලන් ම සමග අන්තර්-අභිජනනයෙහි යෙදුනේ ය යන සොයාගැනීම කිරීමට පේබෝගේ පර්යේෂනය සමත් විය. වසර 30,000කට පමන පෙර නියාන්ඩතාල් මානවයන් වෙනස් මානව ජනගහනයක් ලෙස පැවතීම අවසන් විය.

මෙම මානව කන්ඩායම් අන්තර්-අභිජනනයෙහි යෙදුනේය යන නිගමනය පදනම් වන්නේ, නවීන යුරේසියානු ජන කන්ඩායම් තුල ඉහත පසුව සඳහන් කරන කන්ඩායම් දෙකෙහි ජානමය පදාර්ථයන් කුඩා ප්‍රමානයන්ගෙන් අඛන්ඩ ව පැවතීම මත යි. සැලකිය යුතු කරුනක් වන්නේ, යුරේසියාවේ සිට අර්ථභාරී “ආපසු සංක්‍රමනයක්” නො තිබුනු බව පෙන්නුම් කරමින්, නවීන අප්‍රිකානුවන් තුල එවන් සම්මිශ්‍රනයක් නො පැවතීම යි. යුරෝපීය හෝ ආසියානු සම්භවය සහිත නවීන මානවයන්, නියාන්ඩතාල් මානවයන්ගේ ජානවලින් සියයට 1 සිට 4 දක්වා ප්‍රමානයක් තවමත් රඳවා ගනී. ඩෙනිසෝවන් මානවයන්ගේ ජාන සැකැස්මෙහි කොටස් ද බොහෝ නවීන ජනගහනයන් තුල සොයාගනු ලබන්නේ, ගිනිකොනදිග ආසියානු ජනගහනයන් තුල සියයට 6ක තරම් ඉහල ප්‍රමානයක් පවතිද්දී ය.

මෙම වැදගත් නිගමනය, සමහර අය සිතා ඇති පරිදි, මෙම කන්ඩායම් එකිනෙකට වෙනස් විශේෂයන් (එනම්, ජානමය වසයෙන් හුදකලා) නො වන බව ප්‍රදර්ශනය කලේ ය. ආසන්න වසයෙන් වසර 600,000කට පෙර, නියාන්ඩතාල් මානවයෝ හා නවීන මානවයෝ පොදු පූර්වජයෙකුගෙන් ප්‍රභව වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස, විසිරී යාමෙන් පසු ව, කන්ඩායම් දෙක ම වසර ලක්ෂ ගනනක් පුරා භූගෝලීය වසයෙන් එකිනෙකට වෙනස් කලාප තුල පරිනාමය වූ අතර, එම නිසා, වෙනස් වෙමින් පවතින පාරිසරික සාධකවලට හා ජානමය ප්ලාවනයට ප්‍රතිචාර ලෙසින් සමහර වෙනස්කම් වර්ධනය කරගෙන තිබුනි. එහෙත්, සැලකිය යුතු වෙන්වීමක දීර්ඝ කාලපරිච්ඡේදය නො තකා, ප්‍රාථමික වසයෙන් සංස්කෘතිය හා භාෂාව මත රඳා පැවැත්ම වන ඔවුන්ගේ පොදු අනුවර්තනය, අපසරනයෙහි ප්‍රමානය සීමා කලේ ය. එබැවින්, සංක්‍රමනය මෙම ජනගහනයන්ගේ කොටස් සම්පර්කයට ගෙන ආ විට, අන්තර්-අභිජනනයෙහි යෙදී ශක්‍ය දූදරුවන් නිෂ්පාදනය කිරීමට ඔවුහු සමත් වූ හ.

මෙහි වැදගත් අනුගාමී සොයාගැනීමක් වන්නේ, සමහර ආන්තික අර්ථකථනයන්ට විපරීත ව, නවීන හෝමෝ සේපියන් මානවයන්ගේ උපකල්පිත බුද්ධිමය උත්තරීතරත්වය හේතු කොට ගෙන, ලේවැකි සංහාර හෝ සම්පත් සඳහා තරඟ වැදී ජයග්‍රහනය කිරීම මගින්, පෞරානික කන්ඩායම් හායනය කිරීමට ඔවුන් ක්‍රියා නො කලේ ය යන්නයි. එවන් හැසිරීම් හෝ බුද්ධියෙහි සාපේක්ෂ වෙනස් කම් බැහැර කල නො හැකි අතර ම, අන්තර්-කන්ඩායමික අභිමුඛ වීම්වල දී සැලකිය යුතු අනුපාතයකින් ඔවුහු යම් ආකාරයක ඵලදායී අන්තර්-ක්‍රියාවන්වල නිරත වූ හ. මෙම ගනුදෙනු පැහැදිලි ලෙස ම ජානමය වසෙයන් සීමා වූ ඒවා නො වී ය. උදාහරනයක් ලෙස, චාටෙල්පෙරෝනියන් යනුවෙන් හැඳින්වෙන සමහර පසුකාලීන නියාන්ඩතාල් ජනගහනයන්ගේ මෙවලම් එකලස් කිරීම්, අනුමානනීය ලෙස ආසන්න නවීන මානව කන්ඩායම්වලින් ලත් තාක්ෂයෙහි අංග යොදා ගැනීම මගින් වෙනස් කරනු ලැබ තිබුනි.

මෙම නව පර්යේෂන ක්ෂේත්‍රයෙහි වැඩි දුර ප්‍රතිලාභවලට, විවිධාකාර මෑත මානව ජනගහනයන්ගේ සංක්‍රමනයන් හා අන්තර්ක්‍රියාවන් හසු කරගැනීමේ සහ උදාහරනයක් ලෙස විවිධාකාර ජනගහනයන්ගේ ප්‍රතිශක්තිකරන පද්ධතිවල වර්ධනයේ විවිධත්වය විභාග කිරීම ඇතුලත් වේ. ඩෙනිසෝවන් පූර්වජයන්ගෙන් තද්භව වූ බව පෙනෙන්නට තිබෙන ආකාරයේ අනුවර්තනයක් වන, ටිබෙට් සානුව මත ජීවත් වන නවීන මානවයන්ට ඉහල උන්නතාංශයන්ට අනුවර්තනය වීමේ හැකියාව (මෙය ඩෙනිසෝවන මානවයන්ගේ පැවැත්මට ප්‍රයෝජනවත් වූවකි.) එසේ උරුම කර ගත්තක් විය හැකි ය. පෞරානික මානවයන්ගෙන් උරුම වන සමහර ජානමය අංගලක්ෂන එතරම් ම හිතරක නො වන්නටත් පුලුවන. නියාන්ඩතාල්වරුන්ගෙන් උරුම කරගත් ජානවලින් නිශ්චිත කොටසක් , කෝවිඩ්-19හි වඩා දරුනු රෝග ලක්ෂනවලින් පීඩා විඳින වාහකයින් ජනනය කල හැකි බව ආචාර්ය පේබෝ හා ඔහුගේ සගයෙක් 2021 දී නිවේදනය කල හ.

පෞරානික ජාන අධ්‍යයනයෙන් ප්‍රතිලාභ ලබන මෑත ජානමය පර්යේෂනයක් ද නියාන්ඩතාල් හා ඩෙනිසෝවන් යන ආදීතමයින් හා නවීන මානවයන් අතර වෙනස්කම් ඉස්මතු කොට දක්වයි. මෑත දී පල කරන ලද පර්යේෂනයක්, නවීන මානවයන් තුල තිබෙන එහෙත් පැරනි මානවයන් තුල නැති, ඉහල නියුරෝනමය වර්ධනයක් පෙන්නුම් කරන ජාන ප්‍රභේදයක් රසායනාගාර පරීක්ෂන තුල දී හඳුනා ගත්තේ, නවීන මානවයන් සතුව සත්‍ය වසයෙන් ම ඔවුන්ගේ පෞරානික ඥාතීන්ට නැති බුද්ධිමය වාසියක් තිබුනු බව පෙන්නුම් කරමිනි.

මේ සියලු අවස්ථාවන්හි දී, වර්ධිත සෞඛ්‍ය ප්‍රතිඵලයන් සඳහා පවතින විභවය ඇතුලු ව, පෞරානික ජාන අධ්‍යයන ක්ෂේත්‍රයෙන් තද්භව කරගන්නා ලද වර්ධනය වන ඥාන සම්භාරය, මානව ජීව විද්‍යාව පිලිබඳ අපගේ අවබෝධය වර්ධනය කිරීමට දායක වෙයි. මෙම පර්යේෂනයෙහි වටිනාකම ඇගයීමට ලක් කිරීම මුලුමනින් ම සාධාරන වේ.

Loading