ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කිගේ විචාර නිබන්ධයන්හි සිංහල ප්‍රවාචයක්

කලාකරුවා සංකල්පරූප ඇසුරින් ලෝකය ඥානනය කරනුයේ එය වෙනස් කිරීම උදෙසා ය

‍කෘතහස්ත සෝවියට් සෞන්දර්යවේදියෙකු හා කලා විචාරකයෙකු වූද, පශ්චාත් විප්ලවීය රුසියානු බුද්ධිමය ජීවිතයෙහි විශිෂ්ට ප්‍රතිරූපයක් වූ ද, විසිවැනි සියවසේ සාහිත්‍ය විචාර ක්ෂේත්‍රය තුල සම්භාව්‍ය මාක්ස්වාදයේ අව්‍යාජ නියෝජිතයෙක් වූ ද ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි (1884-1937) විසින් රචිත නිබන්ධ සමුච්චය අතරින් තෝරා ගත් ලියවිලි කීපයක (ලියෝ තොල්ස්තෝයිගේ සාහිත්‍යය හා ඔහුගේ කලාත්මක භාවිතාව අලලා ගත් පඨිතයන්හි) සිංහල ප්‍රවාචයක් මෙතැන් සිටමෙහි පල කෙරෙන බව පාඨකයන් වෙත සතුටින් දන්වා සිටිමු.

මේ කොටස් උපුටා ගැනුනේ වොරොන්ස්කිගේ Art as the Cognition of Life (Selected Writings 1911-1936) (ජීවිත ඥානනය වසයෙන් කලාව: තෝරා ගත් ලියවිලි 1911-1936, මෙහ්රිං ප්‍රකාශන, මිචිගන්, 1998) නමැති මරනාපර ග්‍රන්ථයෙනි. කලාමය ඉදිරිදර්ශනයෙහි අර්බුදය පිලිබඳව සෘජුව කතා කෙරෙන වොරොන්ස්කිගේ විචාර ලිපිතුල ලියෝ තොල්ස්තෝයිට අද්විතීය ස්ථානයක් හිමි වෙයි. ඔහුගේ ලියවිලි තුල තොල්ස්තෝයි භූමිකාව කෙතරම් ප්‍රානභූත ද යත් වොරොන්ස්කිගේ හොඳ ම විචාර ලියැවුනේ තොල්ස්තෝයි ආශ්‍රිතව යයි පැවසීම වුව සාවද්‍ය නොවේ.

වොරොන්ස්කිගේ Art as the Cognition of Life (Selected Writings 1911-1936) (ජීවිත ඥානනය වසයෙන් කලාව: තෝරා ගත් ලියවිලි 1911-1936, මෙහ්රිං ප්‍රකාශන, මිචිගන්, 1998)

කලාත්මක නිර්මානශීලිත්වය අරබයා පොදුවේ ද, ලියෝ තොල්ස්තෝයිගේ කලාත්මක සුධීමත්වය අරබයා සුවිශේශීව ද ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි විසින් දායාද කෙරුනු මෙකී න්‍යායික සම්ප්‍රදාන මාක්ස්වාදී කලා විචාර වංශයෙහි සදා දිදුලන ප්‍රදීපස්ථම්භයෝ වෙත්.

ඉංග්‍රීසි භාෂාවෙන් මුල් වරට එලි දුටු වොරොන්ස්කිගේ යථොක්ත වෙළුම, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශන ආයතනය වන මෙහ්රිං බුක්ස් විිසින් පල කිරීම කැපී පෙනෙන සංස්කෘතික කටයුත්තක් විය. එම ග්‍රන්ථය දොරට වැඩීම නිමිති කොටගෙන එහි සංස්කාරක හා පරිවර්තක වන කැලිෆෝනියා සරසවියෙහි රුසියානු සාහිත්‍යය පිලිබඳ කථිකාචාර්ය ෆ්‍රෙඩ්රික් එස්. චෝට් විසින් නිව්යෝක් නුවර ලෝක වෙලෙඳ මධ්‍යස්ථානයේ බෝඩර්ස් බුක් ෂොප් හි දී පැවැත්වුනු කෙටි දෙසුම නැවත පල කරමින් ප්‍රස්තුත ලිපි මාලාව අරඹමු.

මෙම ලිපිය 1998 දෙසැම්බර් 04 කම්කරු මාවත පුවත්පතේ පල විය. මෙහි ඉංග්‍රීසි ලිපියට මෙතැනින් පිවිසිය හැකි ය.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (වත්මන් සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා) පුවත්පත වූ “කම්කරු මාවත”හි පල වූ, වොරොන්ස්කිගේ ග්‍රන්ථය දොරට වැඩීමේ දී,  එහි සංස්කාරක ෆ්‍රෙඩ්රික් චෝට් පැවත්වූ දෙසුම ද ඇතුලු ව මෙම ලිපි මාලාවේ සියලු ලිපි සිංහල බසට පරිවර්තනය කලේ, ප්‍රකට කවියෙකු සහ මාක්ස්වාදී කලා විචාරකයෙකු වන දර්ශන මේදිස් ය. 

ලිපි මාලාවේ පලමු ලිපිය එලැඹෙන සඳුදා (28) පල කරන්නෙමු.

***

1970 දශකය මුල දී, සෝවියට් සාහිත්‍යය පිලිබඳ පාඨමාලාවක් හදාරන අතර ලියොන් ට්‍රොට්ස්කිගේ සාහිත්‍යය හා විප්ලවය මම කියවීමි. එය, සමාජවාදය හා සාහිත්‍යය පිලිබඳව මේ සියවස තුල ලියැවුනු වඩාත් සූක්ෂ්ම හා විනිවිද දක්නාසුලූ ග්‍රන්ථයන්ගෙන් එකක් බව අවිවාදිත ය. එම කෘතියෙහි වශීකාරක බලය විසින් ට්‍රොට්ස්කිගේත් සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානියට එරෙහිව වාම විපාර්ශ්වය ගෙනගිය අරගලයේ දී ඔහු සමග සහයෝගීව සිටි තැනැත්තන්ගේත් ලියවිලි කරා මා රැගෙන යනු ලැබින.

මහාචාර්ය රොබට් මැග්වයර් විසින් පල කෙරුනු ග්‍රන්ථයක් විසින් වාම විපාර්ශ්වයෙහි සාමාජිකයෙකු වූත් 1920 ගනන්වල වැදගත් ම සාහිත්‍ය වාරිකය වූ රතු නැවුම් පස සඟරාවේ සංස්කාරක වූත් ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි කෙරෙහි මගේ අවධානය යොමු කරනු ලැබින. සාහිත්‍යමය කර්තව්‍යයන් වෙත මූලිකව ම කේන්ද්‍රගත වූ වඩාත් බැරෑරුම් රුසියානු මාක්ස්වාදියා සමහර විට වොරොන්ස්කි බැව් ඉන් ගම්‍ය වේ. වාම විපාර්ශ්වයට අයත්ව සිටි බැවින්, 1937 ස්තාලින්වාදී විරේකයන් පැවති සමයෙහි ඔහු ඝාතනය කෙරුනා මතු නොව ජනහතුරෙකු ලෙස හංවඩු ගසා සෝවියට් ඉතිහාසයෙන් ද අකාමකා දැමින.

ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි 1929 වසරේ දී ඔහු අත්තඩංගුවට ගනු ලැබෙද්දී

1987 වර්ෂය අග දී, තෙමසකට මොස්කව් නුවරට යෑමෙන් මා අපේක්ෂා කලේ, වොරොන්ස්කි පිලිබඳව තවතවත් තොරතුරු සොයා ගැනුමට ය. එහෙත්, වොරොන්ස්කිගේ දේශපාලන හා න්‍යායික අදහස් හෙලිදරව් කර ගැනුම සඳහා වඩා පුලුල් පර්යේෂනයක් අත්‍යවශ්‍ය බැව් එම සංචාරයේ දී මට පැහැදිලි විය. 1991 දී, ඇමරිකාවේ රුසියානු භාෂා ගුරුවරුන්ගේ කවුන්සිලයෙහි අනුග්‍රහය යටතේ වසරක පර්යේෂනයක් සඳහා මම යලි වතාවක් මොස්කව් වෙත ගියෙමි. සෝවියට් සංගමය මුහුන දුන් පෙර නොදුටු විරූ දේශපාලන පෙරලිය නිසා මෙකී එක් අවුරුදු චාරිකාව, සිව් වසරක පදිංචියක් බවට පෙරැලින.

රුසියාවෙහි ගත කල කාලය තුල, වොරොන්ස්කි පිලිබඳව නවතම තොරතුරු විශාල ප්‍රමානයක් මම එක්රැස් කලෙමි. කියවීම පිනිස තමන්ට ලබා ගත හැකි වොරොන්ස්කිගේ ලිපිලේඛන කවරේ දැයි මිතුරෝ ද සගයෝ ද නිතර ම මා විමසති. සිය ස්වයංචරිතාපදානය වන Waters of Life and Death (ජීවිතයේ හා මරනයේ ජල ධාරා) හැරුනු කොට ඔහුගේ ලියවිලි අතරින් ඉංග්‍රීසියෙන් පල කෙරී තිබුනේ රචනාද්වයක් පමනි. මෙහ්රිං බුක්ස් වෙතින් ලද ධෛර්යය මත වොරොන්ස්කිගේ ඉතා ම වැදගත් රචනාවන්හි එකතුවක් මෙලෙස සංග්‍රහ කිරීමට මට හැකි වූ අතර මේ දිනවල ඔහු පිලිබඳව චරිතාපදානයක් ලියමින් සිටිමි.

ස්තාලින්වාදය විසින් තනන ලද බාධක බිඳ දැමීමටත් මාක්ස්වාදී සාහිත්‍ය චින්තනය තුල වොරොන්ස්කි ඔහුට හිමි නියම ස්ථානයෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් හැකි වීම ‌‌‌ඓතිහාසික සිද්ධියක් වනුයේ, සිය ජීවිත කාලය පුරා වොරොන්ස්කි සාකච්ඡා කල ගැටලු බොහොමයක් අදටත් නොවිසඳී පවතින බැවිනි. ඔහුගේ මුඛ්‍ය ලියවිලි අඩංගු ග්‍රන්ථයක් පලමු වරට ඉංග්‍රීසි පාඨකයා හමුවට දැන් පැමින තිබෙන අතර එමගින් මාක්ස්වාදී සාහිත්‍ය විචාරයට වොරොන්ස්කිගෙන් සැපයුනු න්‍යායික සම්ප්‍රදාන විමසා බැලීමට යමෙකුට අවස්ථාව පෑදෙනු ඇත.

පසුගිය දශක කීපය මුලුල්ලේ සාහිත්‍ය විචාරය විෂයයෙහි බහුලව ආධිපත්‍යය උසුලන ලද්දේ ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, විසංයෝජනය (deconstruction) පශ්චාත් නූතනවාදය සහ බාක්තීන් වටා ගොඩනැඟුනු ලබ්ධියකින් මායිම් වන දෑ විසිනි. මාක්ස්වාදී සාහිත්‍ය විචාරය සැලකිල්ලට ගන්නා තැනැත්තෙකු විසින් පවා, නිතර ම සඳහන් කෙරෙනුයේ ලුකාක්ස්, ඇඩෝර්නෝ ප්‍රමුඛ ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ තැනැත්තන්, රේමන්ඩ් විලියම්ස්, ටෙරී ඊගල්ටන්, නැතහොත් ෆ්‍රෙඩ්රික් ජේම්සන් ආදී නාමයන් ය. බටහිර ලෝකය තුල සෝවියට් සාහිත්‍ය විචාරකයන් කෙරෙහි කලාතුරෙකින්වත් බැරෑරුම් අවධානයක් යොමු වීම අරුමයකි. එම හේතුව නිසා ම ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කිගේ මෙම ලිපි සංග්‍රහය ප්‍රියජනක අපූර්වයක් වෙතැයි මම අපේක්ෂා කරමි.

වොරොන්ස්කි පිලිබඳව පවතින අල්ප දැනුම අහම්බයක් නොවේ. ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් වාම විපාර්ශ්වයට අයත්ව සිටි බැවින් 1937 දී ඝාතනය කෙරුනු වොරොන්ස්කි නිල සෝවියට් ඉතිහාසයෙන් අතු ගා දැමින. ඔහුගේ කෘති පුස්තකාලවලින් ඉවත් කෙරුනු අතර ඔහුගේ ජීවිතයත් සාහිත්‍යය කෙරෙහි ඔහුගේ ආකල්පයන්හි පරිනාමයත් පිලිබඳව විශ්වාසදායක තොරතුරු ලබා ගැනුම බෙහෙවින් දුෂ්කර විය. වොරොන්ස්කි, 1920 ගනන්වල පල කෙරුනු ප්‍රමුඛතම සාහිත්‍ය සඟරාවේ සංස්කාරක ලෙස කටයුතු කල බවත් සාපේක්ෂ වසයෙන් කෙටි කාලවකවානුවක් තුල, එනම්, ස්තාලින්වාදය විසින් සාහිත්‍ය විචාරකයෙකු ලෙස ඔහු නිහඬකරනු ලැබීමට පෙර (1921-27) දීප්තිමත් ලිපි සරනියක් රචනා කිරීමට සමර්ථ වූ බවත් අපි දනිමු.

වොරොන්ස්කිගේ ලියවිලිවල වැදගත්කම වඩාත් මැනවින් අවබෝධ වනු පිනිස ඔහුගේ ජීවිතය පිලිබඳව දල විස්තරයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි. 1884හි දී, ටැම්බොව් පලාතෙහි උපත ලද වොරොන්ස්කි, පූජකයෙකු වීමට ඉගෙනුම ලබමින් සිටිය දී බෝල්ෂෙවික් පක්ෂයට බැඳුනි. 1905 දී, ශිෂ්‍ය කැරැල්ලකට නායකත්වය දුන් ඔහු ටැම්බොව් සෙමනේරියෙන් පලවා හැරින. වැඩි කල් නොයා ඔහු පීටර්ස්බර්ග්හි සිට 1905 විප්ලවයට ක්‍රියාකාරීව සහභාගි විය. 1906 දී අත් අඩංගුවට ගැනුනු හෙතෙම බන්ධනාගාරයෙහි වසරක් ගත කල අතර 1907 ඔක්තෝබරයෙහි යලි අත් අඩංගුවට පත්ව දෑවුරුදු කාලයකට පිටුවහල් කෙරින. 1912 දී, ප්‍රාග් සම්මේලනයට සහභාගි වූ වොරොන්ස්කි හට ලෙනින්, සිනොවියෙව්, කමනෙව්, ඔර්ඩ්ෂොනිකිඩ්ස් සහ සෙසු බොල්ෂෙවික් නායකයන් මුනගැසින. පෙරලා රුසියාවට පැමිනි විගස ඔහු නැවත වරක් අත් අඩංගුවට ගෙන පිටුවහල් කෙරින.

1917 පෙබරවාරි විප්ලවයෙන් පසුව, මින්ස්කිහි සෙබල නියෝජිතයන්ගේ කවුන්සිලයෙහි ද, අනතුරුව, ඔඩෙස්සාවෙහි සෝවියට් බලය ගොඩනැගීම උදෙසා ද ඔහු ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කලේ ය. 1918 දී, ඔඩෙස්සාව ජර්මානුන්ට පරාජය වූ කල්හි, බොල්ෂෙවික් බලකොටුවක් හා ප්‍රධාන පෙලේ රෙදිපිලි මධ්‍යස්ථානයක් වූ ඉවානොවෝ වෙත ඔහු මාරු කර යැවින. එහි දී, ඔහු පක්ෂයේ නාගරික කමිටුවෙහි නායකත්වය ද කම්කරු දේශය නමැති පුවත් පතෙහි කර්තෘත්වය ද දැරී ය. 1918 සිට 1920 දක්වා වොරොන්ස්කි ඒම පත්‍රයට හාරසියයකට අධික ලිපි සංඛ්‍යාවක් ලියූ අතර රුසියාවෙහි හොඳම ප්‍රාදේශීය පුවත්පත හැටියට එය කීර්තියට පත් විය. 1921 දී මොස්කව් වෙත කැඳවන ලදුවරතු නැවුම් පස නමැති බරසාර සාහිත්‍ය සඟරාව බිහි කිරීම අරබයා ලෙනින්, කෲප්ස්කායා සහ ගෝර්කි සමඟ වොරොන්ස්කි සාකච්ඡා පැවැත්වී ය.

මෙකී සඟරාවෙහි සංස්කාරකවරයා හැටියට ඔහු ගෝර්කි, එසනින්, මයාකොව්ස්කි, පිල්නියැක්, ඉවානොව් සහ මුල්කාලීන සෝවියට් සාහිත්‍ය වංශය සමන්විත වන තවත් බොහෝ ලේඛකයන්ගේ නිර්මාන පල කලේ ය. එහෙත් ප්‍රොලිකල්ට් ව්‍යාපාරයෙහි සිටි තරුන හා අඩු අධ්‍යාපනයක් සහිත බොහෝ කොමියුනිස්ට්වරු ඔහුට බලවත් ලෙස විරෝධය පෑහ. ශ්‍රේෂ්ඨ ධනේශ්වර විප්ලව පිටුපස සිටි ධනපති පන්තිය නව සංස්කෘතියක් බිහි කලා සේ සමාජවාදී විප්ලවයත් සමග ඉස්මතු වූ නව පාලක පන්තිය විසින් අලුත්, නිර්ධන පන්තික සංස්කෘතියක් ගොඩනැංවිය යුතුව ඇතැයි ඔවුහු කියා සිටියෝ ය.

ප්‍රොලිකල්ට්වරුන් විවේචනය කරමින් ලියොන් ට්‍රොට්ස්කි ලිපි මාලාවක් (1922-23) ලියූ අතර පසුව එය සාහිත්‍යය හා විප්ලවය මැයෙන් පල විය. එලඹෙන දශක යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ කටුක කාලපරිච්ඡේද වන බවත් මේ අතර ලෝක පරිමානව බලය දිනා ගනු ලබන කම්කරු පන්තිය, පන්තියක් හැටියට තම පැවැත්ම අහෝසි කිරීම අරඹන බවත් එහිලා ඔහු විස්තර කලේ ය. වෙනත් වචනවලින් කියතොත්, නව සංස්කෘතිය පදනම් වනු ඇත්තේ පන්ති රහිත නව සමාජයෙහි රජයන සහයෝගීතාව හා සමානාත්මතාව පිලිබඳ විශ්වව්‍යාපී මූලධර්ම මත ය. ධනේශ්වර පාලන සමය තුල සංස්කෘතියට දොර විවෘත නොවීම හේතු කොට ගෙන කම්කරු පන්තියට තම පන්ති අනන්‍යතාව අවලංගු වීමට මත්තෙන් නව සංස්කෘතියක් වර්ධනය කිරීමට කාලයක් නොතිබින. එහෙයින් සැබෑ නිර්ධන පන්තික සංස්කෘතියක් කිසි විටෙක නොපැවතුනු අතර පවතින්ට ද බැරි ය. වොරන්ස්කි, මෙම ලිපි සංග්‍රහයෙහි එන රචනා කීපයක ම මෙකී අදහස් ආරක්ෂා කොට තිබේ.

1923 දී, කොමියුනිස්ට් පක්ෂය තුල නැගී ආ නිලධාරිවාදය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවේචනයට සහාය පල කෙරුනු “හතලිස් හය දෙනාගේ ලිපිය”ට වොරොන්ස්කි අත්සන් තැබී ය. එවක් පටන්, ඔහු මුහුන දුන් තතු ට්‍රොට්ස්කිගේ තත්ත්වයට සමාන්තර විය. 1925 ජනවාරියෙහි දී යුද කොමිසාර් ධුරයෙන් ට්‍රොට්ස්කි පහ කෙරෙන විට, රතු නැවුම් පස කර්තෘත්වයෙන් වොරොන්ස්කි ඉවත් කෙරින. තමන් සෝවියට් සඟරාවලට ලිවීම නතර කරන බවට ගෝර්කි හා එසනින් තර්ජනය කල කල්හි වොරොන්ස්කි එම තනතුරෙහි යලි පිහිටුවන ලදී. 1927 ගිම්හානයේ දී, “අසූතුන් දෙනාගේ ප්‍රකාශය”ට අත්සන් තබා වැඩි කල් ගියේ නැත -1928 පෙබරවාරියෙහි දී, වොරොන්ස්කි පක්ෂයෙන් නෙරපා හැරින. එහෙත්, 1929 ජනවාරියෙහි ලිපෙට්ස්ක් වෙත පිටුවහල් කෙරෙන තෙක් ඔහු අත් අඩංගුවට ගැනුනේ නැත. Back in Time (යලි එසමයට) නමැති ස්වකීය මතක සටහන්වල නදේෂ්දා යොෆේ සඳහන් කරන පරිදි, එසමයෙහි ආගමන නියත වසයෙන් ම විගමන සමග බැඳී පැවතින. 1929 වර්ෂය අවසානයේ දී, වොරොන්ස්කි හට මොස්කව් පැමිනීමට ඉඩ දෙන ලදී. ඒ තමන් වාම විපාර්ශ්වය අතහැර ගිය බව සඳහන් කෙරුනු ලිපියකට ඔහු අත්සන් කල බැවිනි. 1930 මැයි මස දී ඔහු යලිත් පක්ෂයට බඳවා ගැනුනි.

දැඩි පොලිස් මුරකාවල් මධ්‍යයේ, මොනයම් හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරිත්වයක එලිපිට නිරත වීම අසීරු දෙයක් වුව, යටත් පිරිසෙයින්, 1932 ගෙවී යන තෙක් වොරොන්ස්කි වාම විපාර්ශ්වයෙහි රැදී සිටි බවට පිලිගත හැකි සාක්ෂි තිබේ. රාජ්‍ය ප්‍රකාශන මන්දිරයෙහි සංස්කාරකවරයෙකු ලෙස විනා සාහිත්‍ය විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවසර නොලැබින. කිරොව් ඝාතනයත් සමඟ, 1934 දෙසැම්බරයෙහි දී, වොරොන්ස්කි නැවතත් - අවසන් වරට - පක්ෂයෙන් නෙරැපින. 1937 ජනවාරි පලමුවැනි දින ඔහු අත් අඩංගුවට ගැනුනු අතර අගෝස්තු 13 දා විනාඩි විස්සක නඩු වාරයකින් අනතුරුව විගස ඔහු මරා දැමින. ඔහු වූ කලි, 1936-38 මහා භීෂනය සමයෙහි ස්තාලින් විසින් සමූලඝාතනය කෙරුනු කුදු මහත් මාක්ස්වාදී පරපුරක එක් තැනැත්තෙකි.

වොරොන්ස්කිගේ ලිපිලේඛනවලින් ආවරනය වූ බොහෝ තේමාවන්ට සාධාරනය ඉටු කිරීමට මට නොහැකි වුවත් ඉන් කීපයක් මෙහිලා සඳහන් කරමි. බෙලින්ස්කි හා ප්ලෙහානොව් අනුව යමින්, කලාව වනාහි ඥානන මාර්ගයකැයි ද, කලාකරුවා සංකල්පරූප ඇසුරින් සිතීම මගින් ලෝකය ඥානනය කරනුයේ එය වෙනස් කිරීම උදෙසා යයි ද වොරොන්ස්කි තරයේ කියා සිටියේ ය. කෙසේවෙතත්, කලාව විෂයෙහි අන්තර්ඥානය හා උපවිඥානය දැවැන්ත ක්‍රියාකලාපයක් ඉටු කරයි. මෙකී අදහස් කරනකොටගෙන, වොරොන්ස්කිට බර්ග්සන්වාදියෙකු හා ෆ්‍රොයිඩ්වාදියෙකු ලෙස චෝදනා කෙරින (ඔහු ඒ කිසිවෙකුත් නොවී ය). විචාරකයාගේ කාර්යභාරය වනුයේ, කලාකෘතියක ගැබ් වන සමාජ විද්‍යාත්මක අවස්ථා සහ සෞන්දර්යාත්මක අවස්ථා යන ද්වය ම ඇගැයුමට භාජන කිරීම යයි වොරොන්ස්කි දැඩිව පැවසී ය. මෙහි පලමු මූලිකාංගය (කලාකරුගේ පන්ති දෘෂ්ටිය) සාපේක්ෂ වසයෙන් පැහැදිලි ය.

රමනීයභාවයට සත්‍යය සමග පවතින ඥාතිත්වය හා බැඳී තිබෙන හෙයින්, දෙවැනි මූලිකාංගය නිර්නය කිරීම වඩාත් දුෂ්කර ය. (නිදසුනක් ලෙස, සාවද්‍ය සංකල්පනාවකට රමනීය රූපාකාරයක් තිබීමට නුපුලුවන - නැතහොත් එවැන්නක් පැවතිය හැක්කේ ඉතා සීමිත අරුතකිනි යන ප්ලෙහානොව්ගේ මතය වොරොන්ස්කි ප්‍රතිරාවය කලේ ය). ආත්මීයයට වෛෂයිකය සමඟත් සමාජයට පුද්ගලයා සමඟත් පවතින සම්බන්ධතාව පරීක්ෂා කරමින්, වොරොන්ස්කි, නිර්මානාත්මක සන්තතියෙහි මනෝවිද්‍යාව කෙරෙහි බොහෝ සෙයින් නැඹුරු විය. මේ සෑම ක්ෂේත්‍රයක ම ඔහුගේ මතිමතාන්තර බොහොමයක් නිෂ්ඨාවකට පැමිනියේ නැත - ස්තාලින්වාදය විසින් නිශ්ශබ්ද නොකෙරිනි නම්, ඔහු කොතැනට සේන්දු වනු ඇති දැයි අපි නොදනිමු. එක් දෙයක් පැහැදිලි ය: ඔහු, 1934 අගෝස්තුවෙහි පැවති සෝවියට් ලේඛකයන්ගේ ප්‍රථම නියෝජිත සමුලුවෙහි දී ව්‍යවස්ථාපිතව, සෝවියට් සාහිත්‍ය ප්‍රතිපත්තිය බවට පත් සමාජ සත්තා යථාර්ථවාදයෙහි (socialist realism) මීමුත්තෙකු නොවූ බව ය. මෙකී සමුලුවට ලද ආරාධනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරිනි.

1937 දී වෙඩි තබා ඝාතනය කෙරෙන විට වොරොන්ස්කි 53 හැවිරිදි විය ඉක්මවා නොසිටියේ ය. 1957 දී, ඔහු නිල වසයෙන් ‘පුනරුත්ථාපනය’ කෙරුනු අතර ඔහුගේ කෘති සමහරක් දැඩි වාරනයකට යටත් කොට සෝවියට් සංගමය තුල පල කෙරින. ඔහුගේ ප්‍රමුඛ නිබන්ධ බොහොමයකින් එලෙස කපා හරින ලද කොටස් මෙම ඉංග්‍රීසි සංස්කරනයෙහි සංරක්ෂිතව ඇත. වොරොන්ස්කි පිලිබඳව කථා කිරීමටත් ලිවීමටත් බොහෝ දෑ ඉතිරිව තිබෙන අතර මේ අපූර්ව මාක්ස්වාදී සාහිත්‍ය විචාරකයා සහ ඒ හා සමාන අපූර්වත්වයෙන් යුත් ඔහුගේ ලියවිලි අරබයා පැන නඟින යම් ප්‍රශ්න වෙතොත් ඉදිරිපත් කරන මෙන් මම ඔබට ඇරැයුම් කරමි.

Loading