ටෙලිකොම් සහ රක්ෂන සමිති නිලධරය සසප සාමාජිකයින්ට විරුද්ධව මෙහෙයවූ මැර ක්‍රියාව හෙලා දකිනු!

දෙසැම්බර් 08 දා කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති ටෙලිකොම් සහ රක්ෂන කම්කරුවන්ගේ විරෝධතාවයේදී, වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමා ඇති කප්පාදු සහ පුද්ගලීකරන ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් මැදිහත්වූ තම පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව වෘත්තීය සමිති නිලධරය මෙහෙයවූ මැර ක්‍රියාව සමාජවාදී සමානතා පක්ෂය (සසප) තරයේ හෙලා දකී.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයෝ 2022 දෙසැම්බර් 8 වැනි දින කොලඹදී පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතාවයේ නිරත වෙති. [ඡායාරූපය: ලෝසවෙඅ]

ජාතික සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමයට අයත් රක්ෂන සංස්ථා සේවක සංගමය සහ වෘත්තීය සමිති 20 කින් සමන්විත ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාව කැඳවා තිබුනි. මෙම වෘත්තීය සමිති පිලිවෙලින් සමගි ජන බලවේගය, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන යන ධනපති පක්ෂවලට සම්බන්ධ සමිති වෙති. මෙම සියලු පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) පුද්ගලීකරනය ඇතුලු කප්පාදු වැඩපිලිවෙලට පක්ෂය.

මේ පක්ෂවල ගැත්තන් වන සමිති නිලධරය ද ජාමූඅ වැඩපිලිවෙල පිලිගන්නා නමුත් ව්‍යාජ විවේචන ඇතැම්විට එල්ල කරන්නේ සාමාජිකයන්ගේ ඇස්වලට වැලිගැසීමටය.

ශ්‍රී ලංකා ටෙලිකොම් කම්කරුවන් 2022 නොවැම්බර් 28 වන දින කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් කරමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

සසප උද්ඝෝෂකයන්ට එරෙහි මැර ක්‍රියාව එල්ල කෙරුනේ, “ලංකාවේ කම්කරුවන්ට ජාමූඅ කප්පාදු වලට එරෙහි ව සටන් වැදීම සඳහා ක්‍රියාකාරී කමිටු අවශ්‍යයි” යන සසප ප්‍රකාශය සහ “ශ්‍රී ලංකාවේ ටෙලිකොම් කම්කරුවන් පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතාවයක” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපිය අඩංගු අත් පත්‍රි‍කා ඔවුන් විසින් කම්කරුවන් අතර බෙදා හරිමින් සිටියදීය. දිවයිනේ නන් දෙසින් පැමිනි දෙදහසකට අධික කම්කරු පිරිසක් විරෝධතාවයට සහභාගි වී සිටියහ.

සසප සාමාජිකයෝ, එදින උදයේ විරෝධතාව ආරම්භ කල අවස්ථාවේ සිට රක්ෂන සංස්ථා සහ ටෙලිකොම් කම්කරුවන් සමග තම ප්‍රකාශයේ අන්තර්ගත ඉදිරි දර්ශනය සාකච්ඡා කලහ. එයට ඔවුන්ගෙන් ලැබුනේ උනුසුම් ප්‍රතිචාරයකි. දහවල් දොලහමාරට පමන අත් පත්රිකා බෙදා හැරීම ආරම්භ කිරීමෙන් ස්වල්ප වේලාවකට පසු නිලධරය මෙම මැර ක්‍රියාව මෙහෙයවී ය.

කම්කරුවන් අතර පත්‍රිකා සංසරනය වනු දැක කුපිත වූ ටෙලිකොම් සහ රක්ෂන වෘත්තීය සමිති නිලධරය, පත්‍රිකා බෙදා හැරීම නතර කරන ලෙස තර්ජනය කරමින් සසප සාමාජිකයන් අත තිබූ පත්රිකා උදුරා ගැනීමට ද, ඔවුන් විරෝධතා භූමියෙන් ඉවත් කිරීමට ද තැත් කලහ. පත්‍රිකා බෙදා හැරීම තමා සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව කම්කරුවන්ට පැහැදිලි කරමින් සසප සාමාජිකයෝ සමිති නිලධරයට අභියෝග කලහ. අනතුරුව, ආන්ඩුවට සහාය දෙන “කඩාකප්පල්කාරීන්” ලෙස සසප සාමාජිකයින් නම් කරමින්, නිලධරය ඔවුන් ට කායිකව පහර දීමට ද උත්සාහ කලහ.

මෙම මැරයෝ පුද්ගලීකරනයට එරෙහි උද්ඝෝෂනයේ යෙදෙන මෙම ආයතනවල සේවකයන්ට සසප පත්‍රිකාවෙන් ඉදිරිපත්කල වැඩපිලිවෙල දැන ගැනීමට පවතින අයිතිය ද උදුරා ගත්හ.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටින ලාල් පෙරේරා නමැත්තා, තම 'ටෝක් විත් ලාල්' (Talk with Lal) යූ ටියුබ් චැනලය තුල සසපට එරෙහි ප්‍ර කෝපකාරී මඩ වීඩියෝවක් පල කලේය. සමිති නිලධරය සසප සාමාජිකයින්ට බාධා කරන දර්ශන සහිත එම වීඩියෝව, “ටෙලිකොම් ඉන්ෂුවරන්ස් සටන අල කරන්න පිරිසක් පැමිනීමෙන් ගැටුමක්” යන ශීර්ෂය යටතේ පල කෙරුනු අතර, ඔහු එහිදී සසප සාමාජිකයින් “ආන්ඩුවේ ඉත්තන්” ලෙස අර්ථ දක්වමින් ප්‍රකෝපකාරීත්වයක් ඇවිලවීමට උත්සාහ දරයි. මෙම ප්‍රකොපකාරියා සසප පත්‍රිකාවේ සඳහන් කරතිබූ කරුනු බියගුලු ලෙස වසන් කර තිබුනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවාහැරි පසුගිය මහජන නැගිටීමේදී ගාලුමුවදොර විරෝධතාකරුවන් අතර මැදිහත් වූ සසප සාමාජිකයන්ට එරෙහිව ප්‍රකෝපකාරී ක්‍රියා උසිගැන් වූ මැරයන් සමග ද ඔවුන් මෙහෙය වූ මධ්‍යම පංතික නඩ සමග ද ලාල් පෙරේරා සහයෝගීව සිටි බවට සාක්ෂි පවතී.

වෘත්තීය සමිති නිලධරය සසප ට එරෙහිව මෙහෙය වූ බියගුලු මැර ක්‍රියාව සහ නින්දිත මඩ ප්‍රහාරය හෙලා දකිමින්, ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පංතිය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලමුලු ගැන්වීම සඳහා අඩසියවසකටත් වැඩි කාලයක් මූලධර්මාත්මකව සටන් වැද ඇති සසප ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස අපි සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

සසප ප්‍රකාශය සම්බන්ධයෙන් සමිති නිලධරය මේ සා තැති ගෙන ඇත්තේ ඇයි?

සසප ප්‍රකාශය හරහා ඔවුන්ගේ ධනපති ගැති භූමිකාව බලගතු ලෙස හෙලිදරව් වීම සහ කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනය සසප ඉදිරි දර්ශනය සමග අන්තර්ඡේදනයවීමේ ශක්‍යතාව සම්බන්ධයෙන් ඔවුන් තැතිගෙන සිටිති.

මෙම සමිති, විරෝධතා කැඳවීමට පෙලැඹුනේ, කම්කරුවන්ගේ 'රැකියා හා කොන්දේසි කෙරෙහි තැකීමක් නිසා නො ව, කම්කරුවන් අතර වැඩෙන කෝපය නිසා' බවත්, මේ සියල්ලට වඩා, 'ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව බිඳ වැටීමට තුඩු දුන් වර්ගයේ තවත් කම්කරු පන්තික නැගිටීමක් ගැන ඔවුහු බියපත්ව' සිටින නිසා බවත් ප්‍රකාශය පෙන්වා දෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධානවල පිටුබලය ලත් වෘත්තීය සමිති, විරුද්ධ පක්ෂ තොරොම්බල් කල අන්තර්-වාර ආන්ඩු වැඩපිලිවෙල යටතට කම්කරු පන්තික නැගිටීම හරවා යවා අවසානයේදී එය පාවාදුන් අයුරු ද සසප ප්‍රකාශය පැහැදිලි කරයි.

ඔවුන් වඩාත්ම කුපිතව ඇත්තේ මෙම ධනපති ගැති සමිති වලින් බිඳී තමාගේම ස්වාධීන බල සංස්ථා ගොඩනගා ගැනීමට සසප කරන කැඳවුමටයි. සසප ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි: 'තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් උදෙසා සටන් කරනුවස්, තීන්දු තීරන ගැනීම තමාගේම අතට ගැනීම සඳහා, සෑම වැඩපොලකම, කම්හලකම හා නිවහන් ප්‍රදේශයක ම, සියලු ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට කැඳවුම් කරයි. එලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ගම්බද පීඩිතයන්ට ද අපි කැඳවුම් කරමු.'

සමිති නිලධරය සහ ව්‍යාජ-වාම පක්ෂ විසින් මෙලෙස වැට බඳිනු ලබන්නේ සසප ට තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති සහ කම්කරුවන්ට එම අදහස් දැන ගැනීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටයි. මෙය රනිල් වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව ගෙනයන ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයන්ට පූර්න පිටුබලය ලබාදෙමින් එහි මර්දන හස්තය ශක්තිමත් කරයි. සැබවින්ම නම්, වික්‍රමසිංහ ආන්ඩුවේ හා ධනපති පක්ෂවල ඒජන්තයන් ලෙස ක්‍රියා කරන්නේ කම්කරුවන් අවමන්ගත කර ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමේ වැඩපිලිවෙලකට සටන් කිරීම වලක්වා පාවා දෙන සමිති නිලධරයයි.

යලිත් ඔප්පුවී ඇත්තේ, කම්කරුවන් සිය අයිතීන් රැක ගැනීමේ අරගලය තමන් අතට ගැනීම සඳහා වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීනව සෑම වැඩපොලකම, කම්හලකම හා කම්කරු නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස කරන ඉල්ලීමේ වලංගුතාවයයි. සසප සටන් කරන්නේ, ධනපති පක්ෂවලට, ආන්ඩුවලට හා හාම්පුතුන්ට කම්කරුවන් යටත් කිරීමට එරෙහිව අරගල කරමින් සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කොට බලමුලුගැන්වීම සඳහාය.

සමාජ අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ද තහවුරු කල හැකි ශක්තිමත්ම සමාජ බලවේගය වන කම්කරු පන්තිය ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර වලින් සසප ආරක්ෂා කිරීමට පෙරට පැමිනිය යුතුය.

එහි කොටසක් ලෙස, සසප සාමාජිකයන්ට එරෙහිව දෙසැම්බර් 08 දා සමිති නිලධරය මෙහෙයවූ මැර ක්‍රියාවට විරෝධය පල කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට හැකිතාක් ලිපි යොමු කරන ලෙසත්, එයට එරෙහිව සසප ගෙනයන උද්ඝෝෂනයට සහායදෙන ලෙසත්, කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් සසප ඉල්ලා සිටී.

Loading