තීව්‍ර වන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ පලාත් පාලන මැතිවරනය ප්‍රකාශයට පත් කෙරේ

[මෙය Local government elections announced in Sri Lanka amid intense political crisis මැයෙන් 2023 ‌ ජනවාරි 16 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනවාරි 18 සහ 21 අතර නාමයෝජනා භාරගෙන, මාර්තු මාසයේදී දිවයින පුරා පලාත් පාලන මැතිවරනය පවත්වන බව ශ්‍රී ලංකා මැතිවරන කොමිෂන් සභාව (මැකොස) නිවේදනය කර තිබේ. වත්මන් පලාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වන මාර්තු 19 ට පෙර මැතිවරනය පැවැත්විය යුතුය.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

මැතිවරනය පැවැත්වෙන්නේ ආන්ඩුව මුහුන දෙන දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ), ජීවන වියදම ඉහල යාම සහ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන්ගෙන් නැගී එන විරෝධයට මුහුන දී සිටී.

මෙම මහජන කෝපය, නින්දා සහගත මැතිවරන පරාජයක් තුලින් ප්‍රකාශ වනු ඇතැයි බියෙන් සිටින වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව, මැතිවරනය කල් දැමීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි. පලාත් පාලන මැතිවරනය නියමිත පරිදි පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබුනද, ඒවා අවහිර කිරීමට අවසන් මොහොතේ ආන්ඩුව ගන්නා පියවර බැහැර කල නොහැකිය.

පලාත් පාලන මැතිවරනය පසුගිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රීලංපොපෙ ආන්ඩුව විසින් එය වසරකට කල් දමන ලදී.

ජනවාරි 6 දා, වික්‍රමසිංහ, නැවත ඡන්දය ප්‍රමාද කිරීමේ පැහැදිලි උත්සාහයක යෙදෙමින්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැකොස නිලධාරීන් තම කාර්යාලයට කැඳවීය.

රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් වූයේ කුමක් ද යන්න අනාවරනය වී නොමැති නමුත් ලැබී ඇති වාර්තාවලට අනුව, මැතිවරනය පැවැත්වීමේ දී “මූල්‍ය දුෂ්කරතා” ගැන වික්‍රමසිංහ සඳහන් කර තිබේ. “ව්‍යවස්ථාපිත හෝ අධිකරනමය ක්‍රියාමාර්ගයකින් තොර ව පලාත් පාලන මැතිවරනය පැවැත්වීම වැලැක්විය හැකි ක්‍රමයක්” නොමැති බව මැතිවරන කොමිෂන් සභාව ඔහුට දන්වා ඇතැයි පැවසේ.

වික්‍රමසිංහගේ මෙම පියවර මැතිවරනය නැවැත්වීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත්වීමකි. ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරනයකට මැදිහත් වීමට, අවහිර කිරීමට හෝ කල් දැමීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල අයිතියක් නැත.

ජනවාරි 9 දා, කැබිනට් මන්ඩල රැස්වීමක්, ශ්‍රී ලංකාව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය උපුටා දක්වමින් මැතිවරනය කල් දැමීම ගැන සාකච්ඡා කලේ ය.

පසු දා, කැබිනට් ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දුගේ ලිඛිත නියෝගය මත, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බන්ඩාර හපුහින්න සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් යවමින්, මැතිවරනයට තරග කරන පක්ෂ හා ස්වාධීන කන්ඩායම්වල ඇප මුදල් භාර නොගන්නා ලෙසට නියෝග කලේ ය. දිස්ත්‍රික් ලේකම්වරු මැතිවරනවල දී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරති.

එහි ව්‍යවස්ථා විරෝධී ස්වභාවය හෙලිදරව් වීමත් සමඟ චක්‍රලේඛය පසු ව ඉල්ලා අස්කර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ආන්ඩුවට මැකොස තීරනයක් අවලංගු කල හැක්කේ පාර්ලිමේන්තු පනතක් හෝ අධිකරන තීන්දුවක් හරහා පමනි.

ඒ සමගම, විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මැතිවරනය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනු කලේය. තම පෙත්සම පුද්ගලික මුලපිරීමක් මත යොමු කල බව විජේසුන්දර කියා සිටින මුත්, එය වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව වෙනුවෙන් ගත් පැහැදිලි පියවරකි.

විජේසුන්දරගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා පෙත්සම් තුනක් ගොනු කර ඇත. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවන ජාතික ජන බලවේගයේ (එන්පීපී) විධායක කමිටු සාමාජික සුනිල් වටගල; ජනතා විමුක්ති පෙරමුනේ තරුන අංශය වන සමාජවාදී තරුන සංගමයේ (සතසං) ජාතික සංවිධායක එරංග ගුනසේකර; සහ කොලඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් යන අය විසින් මේවා ඉදිරිපත් කරන ලදී.

ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) ද මැතිවරනය නැවැත්වීමට කැබිනට් මන්ඩලය දරන උත්සාහයට එරෙහිව වෙනම පෙත්සමක් ගොනු කර ඇත.

මහජන විරෝධතා සමග අප්‍රේල් සහ ජූලි අතර පැමිනි මහා වැඩවර්ජන තුනකින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හැරීමට බල කෙරුනු පසු පාර්ලිමේන්තුව විසින් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කරන ලදී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සුප්‍රසිද්ධ ඒජන්තයෙකු වන වික්‍රමසිංහ ජනාධිපති වී ආන්ඩුවක් පිහිටුවා ගත්තේ ප්‍රධාන වශයෙන්ම රාජපක්ෂගේ ශ්‍රීලංපොපෙ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මගිනි.

වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව දැන් නිර්දය ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනවන පියවර ක්‍රියාත්මක කරමින් සිටී. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම, කම්කරු පන්තිය සහ දුප්පතුන් මත බදු වැඩි කිරීම, රාජ්‍ය අංශයේ රැකියා හා වැටුප් විනාශ කිරීම සහ සමාජ සහනාධාර කප්පාදුව මේවාට ඇතුලත් ය.

එහි කප්පාදු පියවර, කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන්ගේ මහජන ක්‍රියාමාර්ග යලි මතු කරනු ඇති බවට හොඳින් ම දන්නා කොලඹ ආන්ඩුව, කුරිරු මර්දනයකට සූදානම් වෙමින් සිටී.

හදිසි නීති රෙගුලාසි භාවිතා කිරීම සහ වැඩ වර්ජන සහ විරෝධතා තලා දැමීම සඳහා ආරක්ෂක හමුදා යෙදවීම හරහා සියලු විරුද්ධත්වයන් යටපත් කරන බවට වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇත. පලාත් පාලන මැතිවරනය වැලැක්වීමට ආන්ඩුව දරන මංමුලා සහගත උත්සාහය, සියලු වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන පුලුල් ප්‍රහාරයන් හා එක පෙලට සිටගනියි.

පාලක පන්තිය ග්‍රහනය කර ගෙන ඇති උග්‍ර දේශපාලන අර්බුදය පිලිබඳ ඇඟවුමක්, පලාත් පාලන මැතිවරනයට ඉදිරිපත් වන ධනේශ්වර පක්ෂ විසින් දැන් එකට පුරුද්දාගෙන සිටින සන්ධාන තුලින් පිලිබිඹු වේ.

වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සහ ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුලු දෙමල පක්ෂ මෙන්ම වතුකරයේ ප්‍රධාන පක්ෂය/වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය ඇතුලු පක්ෂ 12 ක් පමන සමග ශ්‍රීලංපොපෙ සන්ධානයක් ගොඩනඟා ගනිමින් සිටී.

දිගුකාලීන ධනේශ්වර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නිවේදනය කර ඇත්තේ තමන් පසුගිය වසරේ එවකට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් බිඳී ගිය කන්ඩායම් සමඟ සන්ධානයක් ගොඩනඟන බවයි. ජාතික නිදහස් පෙරමුන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට ඇතුලත් ය.

සජබ සහ ජවිපෙහි ජාතික ජන බලවේගය උත්සාහ කරන්නේ, පලාත් පාලන මැතිවරනයෙන් ජයග්‍රහනය කිරීම සඳහා ජනප්‍රිය ආන්ඩු විරෝධය ගසාකෑමට සහ ජාතික මහ මැතිවරනයක් පැවැත්වීමට ආන්ඩුවට බලපෑම් කිරීමට ය. වික්‍රමසිංහට ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇතැයි ඔවුන් පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන එම ප්‍රතිපත්ති ම ක්‍රියාවට නැංවීම සඳහා “ජනවරමක්” සහිතව තමන්ගේම ආන්ඩුවක් පිහිටුවීමට සෑම කෙනෙකුම බලාපොරොත්තු වේ.

විදේශ නය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ප්‍රමාද කරන බවටත්, රටේ ආර්ථික අර්බුදයෙන් “මිදීමට” අවශ්‍ය “ආර්ථික ප්‍රතිසංස්කරන” ක්‍රියාත්මක නොකරන බවටත් සජබ ආන්ඩුවට චෝදනා කරයි.

දේශපාලන සංස්ථාපිතයේ සියලුම ප්‍රධාන පක්ෂ, වැඩකරන ජනතාව සහ ග්‍රාමීය කම්කරුවන් අතර අපකීර්තියට පත්ව ඇති තත්වයන් යටතේ, ජවිපෙ ධනේශ්වර පාලනය සුරක්ෂිත කිරීමේ වගකීම භාරගත හැකි පක්ෂය ලෙස තමන්ව ප්‍රවර්ධනය කර ගනිමින් සිටී.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක “ස්වර්නවාහිනී” නාලිකාවේ සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් “ආදර්ශමත් කන්ඩායමක පාලනයක්”—එනම් ඔහුගේ පක්ෂය—තහවුරු කරනු ඇති බවත්, ජාමූඅ වැඩසටහනේ “පිරිවැය ජනතාව විසින් දරනු ඇති” බවට සහතික වන බවත්‍ ය.

කම්කරු පන්තියේ සහ දුප්පතුන්ගේ දැවෙන ප්‍රශ්න විසඳීමට මෙම කිසිදු පක්ෂයකට නොහැකි ය. ඔවුන් සියල්ලන්ගේ ම ඉලක්කය වන්නේ ගැඹුරු වන ආර්ථික අර්බුදයේ සම්පූර්න බර මහජනතාව මත පැටවීම සහ දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීම ය. වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ තන්ත‍්‍රය මෙන් ම, මෙම සියලු පක්ෂ ද සියලු මහජන විරෝධතා නිර්දය ලෙස මර්දනය කරනු ඇත.

කම්කරු පන්තියට සහ දුප්පතුන්ට තම සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ධනේශ්වර පාලනයට සහ සියලු ධනේශ්වර පක්ෂවලට එරෙහි දේශපාලන අරගලයක් මගින් පමනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ධනේශ්වර පාලනය පෙරලා දමා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා ග්‍රාමීය දුගීන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදී.

සියලු ධනේශ්වර පක්ෂවලින් හා ඔවුන්ගේ වෘත්තීය සමිතිවලින් සහ ව්‍යාජ වාම නියෝජිතයන්ගෙන් ස්වාධීන ව සෑම වැඩපොලක ම, කම්හලක ම, වතුකරයක ම, අසල්වැසි ප්‍රදේශයක ම සහ ග්‍රාමීය ප්‍රදේශයක ම කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු මත පදනම් ව, එම සටනට නායකත්වය දීමට, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනය කරන්නේ එබැවිනි.

Loading