විශ්වවිද්‍යාල තුල දේශපාලනයේ නිරතවීමට සසජාතශි සතු ප්‍රජාතන්ත්‍රීය අයිතියට අත නොතබනු!

ජයවර්ධනපුර මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයට, එහි මහා ශිෂ්‍ය සංගමයට සහ අවිශිබම ට විවෘත ලිපියක්

සභාපති,

මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය,

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

සභාපති,

මහා ශිෂ්‍ය සංගමය,

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

වසන්ත මුදලිගේ,

කැඳවුම්කරු,

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය.

2023 පෙබරවාරි 23 දා, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී, එහි මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සාමාජික පිරිසක්, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමාජික සකුන්ත හිරිමුතුගොඩ ට එරෙහිව සිදුකල මැර ක්‍රියාවත්, එය දැනගත් සැනින් ඔහුගේ ආරක්ෂාවට එහි පැමිනි, සසජාතශි ට නායකත්වය දෙන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩල සාමාජිකයන් දෙදෙනෙකු වන පානි විජේසිරිවර්ධන ට සහ වසන්ත රූපසිංහ ට එල්ල කල මැර තර්ජනයත්, සසජාතශි දැඩි පිලිකුලෙන් හෙලා දකී.

එම විශ්ව විද්‍යාලයේම ව්‍යවහාරික විද්‍යා පීඨයේ ඉගෙනුම ලබා හයමසකට පෙර තම උපාධිය අවසන් කොට තිබූ හිරිමුතුගොඩ, පෙබරවාරි 23 දා හවස් වරුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ පරිශ්‍රයේදී එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයෙකු සමග දේශපාලන සාකච්ඡාවක නිරතව සිටියේ ය. පෙබරවාරි 7 වනදා, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ඇරයුමකට අනුව “ජනතා අරගලය සහ මාක්ස්වාදය” යන මාතෘකාව යටතේ සසප පැවැත්වූ දේශනයට සහභාගි වී සිටි එම ශිෂ්‍යයා ට සසප සහ සසජාතශි යෙදී සිටින කම්කරු පංතික ජාත්‍යන්තර සමාජවාදී දේශපාලනය සම්බන්ධයෙන් තවදුරටත් දැනගැනීමට අවශ්‍ය වූ අතර, හිරිමුතුගොඩ එහි ගියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යි.

මහජන අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් සහ භාෂනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කලහැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පංතිය බව ඉහත සසප දේශනයේදී විස්තාරනය කෙරුනි. ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් හසුරුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) තොරොම්බල් කරන ඊනියා ශිෂ්‍ය දේශපාලනය, එම සම්භාව්‍ය මාක්ස්වාදී සංකල්පයට පරම සතුරු බවත් එහිදී පැහැදිලි කෙරුනි.

'ශිෂ්‍ය දේශපාලනයේ' අරමුන වනුයේ, ශිෂ්‍යයන් කම්කරු පංතිය දෙසට යොමුවීම වලක්වා, ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් තම අයිතීන් තහවුරු කල හැකිය යන මිත්‍යාව තුල ඔවුන් කොටුකොට ධනපති ක්‍රමය ආරක්ෂා කරදීම බව ද දේශනයේදී අවධාරනය කෙරුනි.

අවිශිබම යේ සහ ඉන් මෙහෙයවෙන ශිෂ්‍ය සංගම්වල භාවිතය විශ්ලේෂනය කරමින්, හිරිමුතුගොඩ එකී ශිෂ්‍යයාට 'ශිෂ්‍ය දේශපාලනයේ' ප්‍රතිගාමිත්වය පැහැදිලි කරමින් සිටියේ ය.

එම මොහොතේ එතනට කඩා වැදි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් දෙදෙනෙක්, පෙබරවාරි14 වනදා විශ්වවිද්‍යාලය තුල වූ ගැටුමක් සම්බන්ධයෙන් එම ශිෂ්‍යයාට චෝදනා කරමින් ඔහුට පහරදෙන බවට තර්ජනය කලහ. හිරිමුතුගොඩ එයට තම විරුද්ධත්වය පෑමත් සමග, ඉහත ගැටුමට ඔහු ද සම්බන්ධ බවට චෝදනා කල ක්‍රියාකාරිකයන් දෙදෙනා, තමන් මෙහි කුමක් කරන්නේදැයි හිරිමුතුගොඩගෙන් විමසා සිටියහ.

එකී ගැටුමට තමාගේ කිසිම සම්බන්ධයක් නොමැති බවත්, තමා සසප සහ සසජාතශි සමාජිකයෙකු බවත් සඳහන් කල හිරිමුතුගොඩ විශ්ව විද්‍යාලය තුල මැදිහත්වීම සඳහා තමාසතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවධාරනය කරමින් ඔවුනට අභියෝග කලේය. ඒ සමගම කුපිත වූ ඔවුන් දෙදෙනා “පක්ෂ දේශපාලනය” මෙහි කල නොහැකි බවත් “ශිෂ්‍ය දේශපාලනය” පමනක් මෙහි පවතින බවත් සඳහන් කරමින් කායිකව පහර දීමට තැත් කලේය. ඒ අතර දුරකථන පනිවිඩ ලබා දෙමින් මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් පිරිසක් කැඳවීමට ඔවුහු කටයුතු කලහ.

හිරිමුතුගොඩ, තමා මුහුන දී සිටින තත්වය පිලිබඳව තම පක්ෂයට දැනුම් දෙමින් සිටියදී, මැරයින් ලෙසින් හැසිරුනු මෙම ක්‍රියාකාරීහු ඔහුගේ ජංගම දුරකථනය උදුරා ගත්හ. තමන් “සස්පෙන්ඩ් වී (පංති තහනම්) සිටියේ නැතිනම් මූන කුඩු වෙන්න ගහන” බවට එක් ක්‍රියාකාරීකයෙක් තර්ජනය කලේය. දහදෙනෙකුගෙන් පමන සමන්විත මෙම පිරිස අතර, මානව ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ ලක්ෂාන් සඳරුවන්, රනිඳු රත්නායක සහ හසිත පියුමාල් බන්ඩාර යන සිසුන් සිටි බවට සාක්ෂි ලැබී ඇත.

ඒ අතර එම ස්ථානයට පැමිනි විශ්ව විද්‍යාලයේ විනය පාලක නිලධාරියෙක් හිරිමුතුගොඩ විනය අධිකාරී කාර්යාලයට ගෙන ගියේය. 'විශ්ව විද්‍යාල උපසංස්කෘතිය පිලිගන්නවද?”, “පක්ෂ දේශපාලනය ගෙන ඒමෙන් ශිෂ්‍යයින් බෙදෙනවා” සහ “ආයෙ විශ්ව විද්‍යාලට ආවොත් බලාගමු” ආදී දෑ සඳහන් කරමින් ශිෂ්‍ය කන්ඩායම ඔහු පසු පසින් පැමිනියහ. සසජාතශි සාමාජිකයා විනය අධිකාරී කාර්යාලය තුල රඳවා සිටියදී, ශිෂ්‍ය මැරයෝ එහි දොරටුව ඉදිරිපිටට වී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කලහ.

සරසවි තුල පක්ෂ දේශපාලනයට ඉඩ නැතැයි සඳහන් කරන ඔබේ සංවිධානයන්, විශ්ව විද්‍යාල තුල සහ ඉන් පිටත නිශ්චිත පක්ෂ දේශපාලනයක නිරතව සිටී. එය පෙසප දේශපාලනය බව, ඔබ මෙන්ම, අනෙකුත් සිසුන් සහ මහජනතාව හොඳින්ම දන්නා කරුනකි.

ඔබ සංවිධානයන් විශ්ව විද්‍යාල තුල පක්ෂ දේශපාලනයේ යෙදී සිටියදී, අනෙකුත් දේශපාලන පක්ෂ, විශේෂයෙන්ම කම්කරු පංතික ජාත්‍යන්තරවාදය මත පාදක වූ සසප සහ සසජාතශි, විශ්ව විද්‍යාල තුල දේශපාලනයේ නිරතවීම බලහත්කාරයෙන් වලකාලීමේ මෙම පිලිවෙත් මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ය, වංචනිකය.

එම වංචනික පිලිවෙතට විපරීතව, විශ්ව විද්‍යාල තුල සහ අන්සෑම තැනකම සසජාතශි විවෘතවම පෙනී සිටින්නේ, සසප හි සහ එයට නායකත්වය දෙන ලෝක කම්කරු පංතික පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ධජයන් යටතේ ය. තමා නියෝජනය කරන දේශපාලන සංවිධානයේ නමින් විවෘතවම පෙනී සිටීම මාක්ස්වාදීන්ගේ සම්ප්‍රදාය යි. ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙසප ට සහ ඉන් මෙහෙයවෙන අවිශිබම ට එම සම්ප්‍රදායන් මුලුමනින්ම අරහං ය.

ඒ සමගම තවත් යමක් සඳහන් කල යුතුය. කිසිදා නොපෑහෙන දේශපාලන වෙනස්කම් තිබියදී පවා, ඔබවැනි සංවිධානයන් ට සහ ඒවායේ නායකත්වයන්ට එල්ල කෙරෙන සෑම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයකට ම සහ රාජ්‍ය දඩයමකට ම එරෙහිව සටන් කිරීමේ කීර්තිමත් සහ අනභියෝගී ඉතිහාසයක් සසප සහ සසජාතශි සතුය.

සසප සහ සසජාතශි දේශපාලනයට විශ්ව විද්‍යාල තුල තහංචි පැනවීමෙන් ඔබ උල්ලංඝනය කරනුයේ, එම දේශපාලන අදහස් ශිෂ්‍යයන් අතරට ගෙන යාමට අප සතුව පවත්නා මෙන්ම, එම අදහස් දැනගැනීමට ශිෂ්‍යයන් සතුව පවත්නා, භාෂනයේ නිදහස සඳහා වූ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යි.

“ශිෂ්‍ය දේශපාලනය” තොරොම්බල් කරමින්, කම්කරු පන්තික සමාජවාදී දේශපාලනයට විශ්ව විද්‍යාල තුල තහංචි පැනවීම ආරම්භ කෙරුනේ, එවකට අවිශිබමට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසිනි. පෙසප, ජවිපෙ න් සංවිධානාත්මකව බිඳුන ද එහි ප්‍රතිගාමී දේශපාලන පිලිවෙත්ම ඉදිරියට ගෙන යයි.

ඔබ විසින් මෙම මැර ක්‍රියාවන් මෙහෙයවනු ලබන්නේ විශ්ව විද්‍යාල “උප සංස්කෘතිය” ආරක්ෂා කිරීම යන කඩතුරාව යටතේ ය. සසජාතශි ට එරෙහි කඩා පැනීමෙන් එම 'උප සංස්කෘතියේ' පවත්නා අසංස්කෘතිකභාවය ගැඹුරෙන්ම ප්‍රකාශයට පත්වෙයි. ඔබේ 'උප සංස්කෘතිය' සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. 2002 වසරේ නොවැම්බරයේදී, “නවක වදයට” එරෙහි වූ සමන්ත විතානගේ නම් වූ ශිෂ්‍යයාගේ හිසට පරිගනක මොනිටරයකින් ගසා ඝාතනය කිරීමට ශිෂ්‍ය කන්ඩායමක් පොලඹවනු ලැබුවේ 'නවක වදය' ආරක්ෂා කරන මෙම 'උප සංස්කෘතිය' ඉදිරියට දමමිනි.

ඊනියා උපසංස්කෘතිය යටතේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සාකච්ඡාවන්ට මුලුමනින්ම තහංචි පනවා ඇත. ඔබ ඇතුලු ශිෂ්‍ය සංගම් නායකයන් පවසන අයුරු, පක්ෂ දේශපාලනය විශ්ව විද්‍යාල තුලට පැමිනීමෙන් සිසුන් අතර ගැටුම් ඇතිවී ශිෂ්‍ය සමගිය නැතිවනවා නොවේ. ඊට විපරීතව, ශිෂ්‍ය ගැටුම් ඇතිවීමට මූලික හේතුව වනුයේ, විකල්ප දේශපාලන අදහස් දරන සිසුන් මැරබලයෙන් යටපත් කිරීමට ඔබේ නායකත්වය යටතේ ශිෂ්‍ය සංගම් කරගෙනයන වැඩකටයුතු ය.

එපමනක් නොව, තම දේශපාලන විරුද්ධවාදීන් මැඩීමට, විශ්ව විද්‍යාල පරිපාලනය සහ සමහරවිට පොලීසිය සමග පවා එක්ව කටයුතු කිරීමට තරම් ඔබේ ශිෂ්‍ය සංගම් ප්‍රතිගාමීය. සසජාතශි සාමාජිකයාට එරෙහිව ප්‍රජාතන්ත්‍රවිරෝධී මැදිහත්වීමේදී ඔබ සංවිධානය මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයේ කොටසක් වන විශ්වවිද්‍යාල පාලනාධිකාරයට අයත් විනය අධිකාරී කාර්යාලය සමග නිර්ලජ්ජිතව ඒකාබද්ධවූයේ, මෙම මර්දන යන්ත්‍රය ඔබ ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් මර්දනය කිරීම සඳහා ද යහමින් යොදා ගැනෙන තතු තුලය.

විනය අධිකාරීවරයා ද, මැර සිසු කන්ඩායමේ චෝදනාව අනුයමින්, විශ්ව විද්‍යාලයට “අනවසරයෙන් ඇතුලු වූ' බවටත්, “ශිෂ්‍යයින් අතර ගැටුමකට හේතු වූ' බවටත් සසජාතශි සාමාජික හිරිමුතුගොඩ ට චෝදනා කලේය. හිරිමුතුගොඩ ඊට විරුද්ධත්වය පල කරමින්, තමාට විශ්ව විද්‍යාලය තුල දේශපාලනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පවතින බව සඳහන් කලේය. තමාගේ පැමිනීම ගැටුමකට හේතු වූ බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කල ඔහු, ගැටුම අවුලුවාලූයේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් පිරිස බව අවධාරනය කලේය.

විනය අධිකාරීවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ, අවශ්‍ය නම් හිරිමුතුගොඩ “පොලීසියට බාරදිය හැකි” බවට තර්ජනය කරමිනි. විනය අධිකාරීවරයා, ශිෂ්‍ය ක්‍රියාකාරීකයින්ගෙන් දුරකථනය යලි සසජාතශි සාමාජිකයාට ලබා දීම ප්‍රතික්ෂේප කලේය. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ විශ්ව විද්‍යාලය “ආයතනයක්” බවත් ඒවා තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් “නොමැති” බවත් පිටස්තර පුද්ගලයෙකුට විශ්ව විද්‍යාලය තුලට ඇතුලුවීමට නම් “උපකුලපතිවරයාගෙන්” අවසර ගත යුතු බවත් ය.

දුරකථනය පැහැර ගැනීමට පෙර හිරිමුතුගොඩ දුන් පනිවිඩයක් මත ඔහුගේ ආරක්ෂාවට එහි පැමිනි සසප සහ ලෝසවෙඅ කතෲ මන්ඩල සාමාජිකයන් දෙදෙනාට එරෙහිව ද මැර බලය යෙදවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ, ඔවුන්ගේ දුරකථන ද බලහත්කාරයෙන් පරීක්ෂා කිරීමට තැත් කලහ. ඔවුහු, විනය පාලක නිලධාරීන් සමග එක්ව, සසප සාමාජිකයන් දෙදෙනා විශ්ව විද්‍යාල භූමියෙන් පිටමං කලහ.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත්වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඔබ සංවිධානය සතු කවර හෝ ශක්තියක් නොව, ධනපති ක්‍රමයේ ගැඹුරු වන අර්බුදය හමුවේ ආන්ඩුවලට බලපෑම් දමා ඉල්ලීම් දිනාගැනීමේ ඔබේ ඉදිරි දර්ශනයේ බංකොලොත්භාවය වඩාත් තියුනු ලෙසින් හෙලිදරව් වෙමින් පවතින තතු තුල, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය ශිෂ්‍යයින් අතර තහවුරු වෙතැයි පවත්නා ඉමහත් භීතියයි.

ශිෂ්‍යයන්ට මෙම සංවිධාන සමග පෙරට යා නොහැක. ඔවුන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ මෙම ධනපති ගැති සංවිධාන වලින් බිඳී කම්කරු පන්තිය දෙසට හැරී ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය සඳහා සටන් වැදීමෙන් පමනි.

සසජාතශි සටන් වදින්නේ එම ඉදිරි දර්ශනය මත ශිෂ්‍යයන් සහ තරුනයන් බලමුලු ගැන්වීමටයි. ධනපති ක්‍රමය මුහුන දී ඇති අර්බුදයෙන් ගලා එන තුන්වන ලෝක යුද තර්ජනයට, කප්පාදුවට සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කර ඇති ප්‍රහාර වලට එරෙහිව, එවන් ශක්‍ය ඉදිරි දර්ශනයක් මත ශිෂ්‍යයන් සහ තරුනයන් අතර සටන් වදින එකම සංවිධානය, සසජාතශි ය.

බිය ගැන්වීමට හෝ අපගේ දේශපාලනය සීමා කිරීමට අපි ඉඩ නොදෙමු. අපි සැමවිටම අපගේ අදහස් විවෘතව ප්‍රකාශ කර ඇති අතර ඒවා ප්‍රසිද්ධියේ විවාද කිරීමට වඩා කැමැත්තෙමු. එහෙත් තහංචි පැනවීම සහ අදහස් දැරීමේ නිදහස සීමා කිරීම පිලිගැනීමට අප සූදානම් නැත. අපි මේ සඳහා විශ්වවිද්‍යාල තුලත් ඉන් පිටතත් සහයෝගය බලමුලු ගන්වන්නෙමු.

මෙයට,
විශ්වාසී,

කපිල ප්‍රනාන්දු

සසජාතශි කැඳවුම්කරු

Loading