සසප/සසජාතශි, අප්‍රේල් 3දා, එලිමහන් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට යයි

ජනාධිපතිගේ පලාත් පාලන මැතිවරන මර්දනයට එරෙහිවනු! ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

“ජනාධිපතිගේ පලාත් පාලන මැතිවරන මර්දනයට එරෙහිවනු! ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!” යන තේමාව යටතේ, ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, අප්‍රේල් 3දා කොලොන්නාවේ දී එලිමහන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

(ඡායාරූපය: ලෝසවෙඅ)

රටෙහි ව්‍යවස්ථාව නග්න ලෙස උල්ලංඝනය කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ආන්ඩුව, පලාත් පාලන මැතිවරනය පැවැත්වීම වලක්වා ඇත. මුල දී මාර්තු 9දා පැවැත්වීමට තිබූ මෙම මැතිවරනය, අප්‍රේල් 25දාට කල් තබන ලද්දේ, ඡන්දය දීම සඳහා මහජනයාට පවතින ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නො තකමිනි.

පලාත් පාලන මැතිවරනය අත්‍යවශ්‍ය අයිතම ලැයිස්තුවෙන් ඉවත් කරමින්, එය සඳහා අරමුදල් නිකුත් නො කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් දීම හරහා මැතිවරනයට බාධා කලේ ය. විපාර්ශවික සමගි ජන බලවේගය (සජබ) ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට ප්‍රතිචාර දක්වමින්, මාර්තු 3දා, ශ්‍රේෂ්ඨාධිකරනය නිකුත් කල අතුරු නියෝගයක් මගින්, මැතිවරනය සඳහා වෙන්කරන ලද අරමුදල් නිකුත් කිරීම වැලැක්වීමෙන් වලකින ලෙස, මුදල් අමාත්‍යාංශ ලේකම්ට අන කෙරුනි.

මැතිවරනය වැලැක්වීම සඳහා වික්‍රමසිංහ පාලන තන්ත්‍රයට පවතින අධිෂ්ටානය පැහැදිලි ව පෙන්නුම් කරමින්, අමාත්‍යාංශය අධිකරන නියෝගයට අනුව කටයුතු කිරීමෙන් වැලකී ඇත. අතිශයින් ම වෛරයට පාත්‍ර ජනාධිපතිවරයා හා ඔහුගේ පාලක පක්ෂය, නිශ්චිත මැතිවරන පරාජයක් හා ගැඹුරු වන දේශපාලන අස්ථාවරත්වයක් පිලිබඳ ව දැනුවත් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ලබා දෙන ඇප නයට ගැට ගසන කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට, එවන් මැතිවරන පරාජයක් බාධා කරනු ඇතැයි ද වික්‍රමසිංහ හා පාලක පන්තිය බිය වෙති.

එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක ඇප නයක් කොලඹ ආන්ඩුවට ලබාදීම සඳහා ජාමූඅ හි අනුමැතිය සඳුදා ලැබුනු නමුත්, කම්කරුවන් හා දුගීන් දැනට මත් මුහුන දෙන ගැඹුරු සමාජ අර්බුදයක් -ඉහවහා යන උද්ධමනය, පලල් රැකියා විනාශය සහ ඇද වැටෙන සෞඛ්‍ය සේවාව හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හාමතට ඇද වැටීම- ඉස්මත්තේ, එම නය සම්පූර්නයෙන් නිදහස් කිරීම කප්පාදු විධානයන් මුලුමනින් ක්‍රියාවට දැමීම මත රඳා පවතිනු ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නින්දිත ලෙස රටින් පලාගොස් ඉල්ලා අස්වීමට බල කල පසුගිය වසරේ අප්‍රේල්-ජූලි සමයේ මතු වූ මහජන නැගිටීම, ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ලද වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබී ය. ජාත්‍යන්තර ව ඉස්මතු වන පන්ති අරගලවල කොටසක් ලෙස, ජීවන කොන්දේසි මත අනවරත ව එල්ල වන ප්‍රහාරයන්ට එරෙහි ව සටන් කිරීම සඳහා, කම්කරුවන් හා දුගීන් ඉදිරියට පැමිනීම ආරම්භකොට තිබේ.

මෙම නැගී සිටීම තලා දැමීමට උත්සාහ කරමින්, වික්‍රමසිංහ හා පාලක පන්තිය ඒකාධිපති පියවරයන් වේගයෙන් වර්ධනය කරති. දැනට මත්, ඔහු වැඩ වර්ජන තහනම් කර හා දේශපාලන විරුද්ධවාදීන් රඳවාගෙන ඇත්තේ, විරෝධතා මැඩීම සඳහා පොලිස් හා හමුදා භටයන් වීදිවලට කැඳවමිනි.

ආන්ඩුවට එරෙහි නැගෙන මහජන කෝපය පීලිපැන්වීමේ උත්සාහයක යෙදෙන විපාර්ශවික සජබ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය හා අයිතිවාසිකම් සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු පවරා ඇත්තේ, මෙම ධනපති රාජ්‍යයමත් වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි යන මිථ්‍යාව වපුරමිනි.

මෙම අධිකරන උද්ඝෝෂනයට, වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වම පිටුබලය දෙමින් සිටිති. ඒ අතර ම, යලි වතාවක් කම්කරු අරගල සීමා කරමින් ද කප්පාදුව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට එල්ල කරන ප්‍රහාර නැවැත්වීම සඳහා ආන්ඩුවට පීඩනය යෙදිය හැකිය යන මායාව වගාදිගා කරමින් ද ඉස්මතු වන අරගල ඔවුහු පාවා දෙමින් සිටිති.

ධනපති විරුද්ධ පක්ෂවල හා ඒවායේ අන්තේවාසිකයන්ගේ මෙම ව්‍යාජ උද්ඝෝෂනය ප්‍රතික්ෂේප කිරීමට කම්කරුවන් හා දුගීන් ක්‍රියා කල යුතු ය. ආඥාදායකත්වයේ තර්ජනය පරාජය කිරීමටත්, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමටත්, සසප හා සසජාතශි විප්ලවීය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරයි.

සියලු වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව සෑම වැඩපොලක, කම්හලක, වත්තක හා කම්කරු නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි කම්කරුවන්ට හා ගම්බද ජනයාට කැඳවුම් කරමු. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන්වැදීමේ පදනම ලෙස, මෙම ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාපත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා අපි උද්ඝෝෂනය කරමින් සිටිමු.

මෙම රැස්වීමට පැමින, අපේ විප්ලවීය ක්‍රියා මාර්ගය පිලිබඳ මෙම වැදගත් සාකච්ඡාවට සහභාගි වන්න.

ප්‍රසිද්ධ රැස්වීම පැවැත්වෙන ස්ථානය: කොලොන්නාවහන්දිය අසල, ලංකා බැංකු ගොඩනැගිල්ලට යාබද ඉඩම:

දිනය හා වේලාව: අප්‍රේල් 3 සවස 3ට

Loading