නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබඳ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය

2022 නොවැම්බර් 12 දා, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), යුක්තියුක්ත නිශ්චිත හේතු මත, නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර පක්ෂයෙන් නෙරපා දැමීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක දී ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලද, ඔවුන් නෙරපීම පිලිබඳ යෝජනාව, මෙම පුද්ගලයන් දෙදෙනාගේ විනය විරෝධී සහ දේශපාලනිකව සතුරු ක්‍රියාවන් සවිස්තරව ගෙනහැර දැක්වීය. සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, ඔවුන් නෙරපීම ගැන සංජයට හා නන්දනට ලිඛිතව දැනුම් දෙමින් මධ්‍යම කාරක සභා යෝජනාවේ පිටපතක් ද ඔවුන් වෙත යැවීය.

නෙරපීම සිදු කෙරුනේ, මාස ගනනාවක් තිස්සේ ඔවුන් විසින් පක්ෂ විනය උල්ලංඝනය කරමින් ගනන් බලා සිදු කරන ලද ක්‍රියාවන් මාලාවකට පසුව ය.

නීතිඥ වෘත්තියට පිවිසුන දා පටන්, සංජය විශ්වාස කලේ, නීතිඥයකු ලෙස තමන්ට පවතින ඉහල සමාජ තත්වය හේතුකොට ගෙන සමාජවාදී සමානතා පක්ෂය තුල ඔහුට විශේෂ සැලකිල්ලක් ලැබිය යුතු බවයි. සිය නීති උපාධිය පක්ෂයේ නීතිරීතිවලට ගරු කිරීමේ මුලු වගකීමෙන් තමන්ව නිදහස් කරනු ඇතැයි ඔහු ඒත්තු ගෙන සිටියේය. එවන් නීතිරීති සාමාන්‍ය පක්ෂ සාමාජිකයන්ට පමනක් බලපාන බවත් එහෙත් තමන් වැනි නීතිඥයන්ට අදාල නොවන බවත් සංජය විශ්වාස කලේය.

නීති උපාධිය ලැබුනු තැන් පටන්, සංජය, තමන්ගේ ම බුද්ධිප්‍රභාව පිලිබඳ ගරුත්වයෙන් යුක්තව, උඩඟු ලෙස හැසිරෙන්ට පටන් ගත්තේ, පිල් විදහා ගත් අධිපෝෂිත මොනරකු මෙනි.

ඔහු පක්ෂය දැකගත්තේ, ස්වකීය පුද්ගලික දේශපාලන අභිලාෂයන් සඳහා වූ වාහනයක් ලෙස යි. එහෙත් ඔහු විමතියට පත් කරමින්, ඔහුගේ වෘත්තීය සුදුසුකම් නිසා සසප බිය ගත්තේ නැත. සසප අවධාරනය කලේ, පක්ෂ සාමාජිකත්වයට අදාල නීතිරීති සෙසු සාමාජිකයන්ට මෙන්ම සංජයට ද බලපාන බවයි. විශේෂයෙන් ම, පක්ෂයේ අවසරයකින් තොරව, තමන්ගේ ම දේශපාලන රැස්වීම් සංවිධානය කිරීමට සංජයට කිසිදු “අයිතියක්” නැති බව සසප නායකත්වය ඔහුට අනතුරු ඇඟවීය.

රාජපක්ෂට එරෙහි පසුගිය වසරේ මහජන විරෝධතා මධ්‍යයේ, කොලඹ ගාලු මුවදොර පිටියේ තමන්ගේ ම ප්‍රසිද්ධ රැස්වීමක් සහ දේශනයක් පැවැත්වීමට සංජය තීන්දු කලේය. පක්ෂ විනය මෙලෙස බරපතල ලෙස උල්ලංඝනය කිරීම ඔහු සාධරනීකරනය කලේ, එම “දේශනය පක්ෂයට නොව, මාගේ පුද්ගලික තත්වය හේතුකොටගෙන මට ලැබුනු මා සඳහා සංවිධානය කෙරුනු” අවස්ථාවක් බව ප්‍රකාශ කරමිනි.

විවිධ කාරනා සම්බන්ධයෙන් පක්ෂයේ ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය පිලිබඳව සසප සමග ඔහුට පවතින මතභේද පෙන්නුම් කරමින් සිය පේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ ප්‍රකාශ පල කිරීම ඒ් වන විටත් අරඹා තිබූ නන්දන සමග සංජය පෙලගැසුනි. නන්දනගේ මෙම භාවිතය පක්ෂ විනය උල්ලංඝනය කිරීමක් විය. පේස්බුක් තුල විවෘතව ප්‍රකාශ කර ඇති ඔහුගේ අදහස් පක්ෂයේ දිගුකාලීනව තහවුරු කෙරුනු ආස්ථානවලට එරෙහිව යන්නේ කෙසේද යන්න, පක්ෂ සාමාජිකත්වය තුල බෙදාහැරි අභ්‍යන්තර ලියවිලි හරහා, පෙන්වා දෙමින්, සසප නායකත්වය මෙම කාරනා පැහැදිලි කල නමුත්, නන්දන සිය ප්‍රසිද්ධ ප්‍රකාශ ඉවත් කර ගැනීම ප්‍රතික්ෂේප කලේය.

නන්දන, මෙම පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම් නව ඉහල මට්ටමකට නංවාලමින්, පසුගිය සැප්තැම්බරයේ දී, පොදුවේ පක්ෂ නායකත්වය ද විශේෂයෙන් මූලික සහෝදරවරුන් ගනනාවක් ද ප්‍රසිද්ධියේ හෙලාදකිමින්, සිය පේස්බුක් පිටුවේ ප්‍රකාශ මාලාවක් පල කලේය. එවන් විවෘත පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම් නතර කරන ලෙසත් පක්ෂයට එරෙහි සිය ප්‍රසිද්ධ ප්‍රහාර ඉවත් කරගන්නා ලෙසත් ඉල්ලා සිටිමින්, පක්ෂ දේශපාලන කමිටුවේ ඒකමතික තීරනයකට අනුව, සසප ප්‍රධාන ලේකම් විසින් ඔහු වෙත යවන ලද ලිඛිත උපදේශය නොතකා, ඔහු, පේස්බුක්හි පක්ෂයට එරෙහිව තව තවත් එවන් ප්‍රසිද්ධ විවේචන පල කරමින්, සිය භාවිතාව අඛන්ඩව ඉදිරියට ගෙන ගියේය.

මෙම සියලු පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම්වල දි, නන්දන, සංජය සමග අප්‍රතිපත්තික කල්ලි සබඳතාවක් පවත්වා ගෙන යමින්, ඔහු සමග සමීපව හා විවෘතව සහයෝගී විය. සංජය ගාලු මුවදොර පිටියේ පැවැත්වූ ඉහත සඳහන් කල ප්‍රසිද්ධ දේශනයට ද නන්දන සහභාගි විය.

නන්දන සහ සංජය පක්ෂ විනය පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ, ඔවුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීම හැර වෙනත් විකල්පයක් සසප මධ්‍යම කාරක සභාවට ඉතිරිව තිබුනේ නැත. ඔවුන් සිය වඩවඩා විනාශකාරී හැසිරීමත් පක්ෂ තීන්දුවලට අනුකූල වීම ප්‍රතික්ෂේප කිරීමත් යලි සලකා බලනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් යුතුව, ඔවුන්ව නෙරපීම ප්‍රසිද්ධ නොකිරීමට පක්ෂය තීන්දු කලේය. එහෙත් පසුව ඔප්පු වූයේ මෙම බලාපොරොත්තුව නිෂ්ඵල එකක් බවයි.

ඒ වෙනුවට, නන්දන සහ සංජය සිය විවෘත පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම් උත්සන්න කර තිබේ. ඔවුන්ව ප්‍රසිද්ධියේ හෙලාදැකීමෙන් සසප වැලකී සිටීම නරුම ලෙස ගසාකමින්, ඔවුහු, ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයන් හා ප්‍රකාශකයන් ලෙස මහජනතාව ඉදිරියේ තමන්ව ප්‍රදර්ශනය කර ගනිමින්, සසප ආධාරකරුවන් අතර ව්‍යාකූලත්වයක් ජනිත කිරීමට උත්සාහ දරා ඇත.

නන්දන සහ සංජය. ඔවුන්ගේ මූලිකත්වයෙන් තනන ලද ඊනියා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) සසපට පහර ගැසීමේ මාධ්‍යක් ලෙස යොදා ගනිති. කොක්‍රික සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම එය ප්‍රතික්ෂේප කිරීම නිසා, ස්වකීය ක්‍රියාකාරී කමිටු තනන ලෙස කම්කරුවන්ට ජාත්‍යන්තර කමිටුව/සසප කරන කැඳවුමෙන් සසප “කට්ටිවාදී” ලෙස අපසරනය වී ඇතැයි ද ඔවුහු කියාපාති.

කොක්‍රික, කම්කරුවන් හා ගම්බද දුගීන් විසින් තනන ලද අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවක් නොවේ. කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කර ඇති කැඳවුම සමග එයට කිසිදු සම්බන්ධයක් නැත. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද, ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනය පිලිබඳ පක්ෂ ප්‍රකාශ සහ සෙසු ලිපි ගනනාවක් හරහා, සසප කම්කරුවන්ට කර ඇති කැඳවුම වී ඇත්තේ, සෑම වැඩපලකම, කම්හලකම, වත්තකම සහ නිවහන් ප්‍රදේශයක ම වෘත්තීය සමිතිවලින් හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි. ගම්බද දුගීන් සිය ප්‍රදේශවල එවන් ක්‍රියාකාරී කමිටු තනන ලෙස ද සසප කැඳවුම් කර තිබේ.

ඊට ප්‍රතිකූලව, කොක්‍රික යනු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහුලා ගන්නා ලද සමහර දේශපාලන ක්‍රියාකාරීන් ද ඇතුලු, පුද්ගලයන්ගේ එකතුවකි. නන්දන සහ සංජය සසපට ප්‍රසිද්ධියේ පහර ගැසීම පිනිස පෙරමුනු සංවිධානයක් ලෙස කොක්‍රික යොදා ගනිමින් සිටිති.

ඔවුන් පක්ෂයෙන් නෙරපීමේ පටන් මේ දක්වා, නන්දන සහ සංජය, පීඩක පක්ෂ නිලධරයක ගොදුරු සහ පුද්ගලික නිදහස වෙනුවෙන් සටන් වදින විරුවන් ලෙස තමන්වම ප්‍රදර්ශනය කර ගැනීමට, සමාජ මාධ්‍ය යොදා ගෙන තිබේ. ඔවුන්ගේ ආයාචනය එල්ල කෙරී ඇත්තේ ජාත්‍යන්තර කමිටුවට එරෙහි ඕනෑම ප්‍රහාරයකට වහාම අනුමැතිය හා ප්‍රසිද්ධිය ලබා දෙනු ඇති, ක්‍රෝධයෙන් දැවෙන සුුලු ධනේශ්වර හා ව්‍යාජ-වාම පුද්ගලයන් පෙලඹවීම සඳහා ය. එහෙත් මෙම උද්ඝෝෂනය සේවය කරන්නේ, ඔවුන් ව්‍යාපාරයේ මූලධර්මවලට හා සම්ප්‍රදායන්ට කෙතරම් නම් පිටස්තර ද යන්න එලිදරව් කිරීමට යි. අනාගත සීතල-යුද කාලීන ප්‍රති-කොමියුනිස්ට් දෘෂ්ටිවාදීන් වූ, ජේම්ස් බර්න්හැම් සහ මැක්ස් ෂැට්මන් විසින් නායකත්වය දෙන ලද සුලු ධනේශ්වර සුලුතරයට එරෙහි අරගලයේ සමාප්තියේ දී, 1940 අප්‍රේල් මස, ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂයේ සාමාජිකත්වය සම්මත කල යෝජනාවක් තුල, ජේම්ස් පී. කැනන් විසින් පැහැදිලිවම අර්ථනිරූපනය කරන ලද පක්ෂ විනය පිලිබඳ සංකල්පය, සසප අනුගමනය කරයි:

“පක්ෂ අයිතීන් සමග, සාමාජිකත්වයට එක්තරා නිශ්චිත වගකීම් ද ඇත. පක්ෂයේ න්‍යායික හා දේශපාලනික ස්වභාවය නිර්නය කෙරෙන්නේ, කම්කරු පන්තිය තුල අන් සියලු පක්ෂවලින්, කන්ඩායම්වලින් හා ප්‍රවනතාවන්ගෙන් විප්ලවවාදී පක්ෂය වෙන් කරන රේඛා ඇඳ දක්වන පක්ෂ ක්‍රියාමාර්ගය විසිනි. පක්ෂ සාමාජිකත්වයේ ප්‍රථම වගකීම වන්නේ, පක්ෂයේ ක්‍රියාමාර්ගය පක්ෂපාතීව පිලිගැනීම සහ පක්ෂයේ මූලික ඒකකවලින් එකකට නිතිපතා සම්බන්ධ වීම යි. පක්ෂය සෑම සාමාජිකයකුගෙන්ම ඉල්ලා සිටින්නේ, එහි විනය පිිලිගැනීම සහ එහි සම්මේලන මගින් සම්මත කෙරෙන තීන්දු සමග, පක්ෂ නායකත්වය විසින් සූත්‍රගත කෙරෙන හා යොමු කෙරෙන පිලිවෙත් සමග, පක්ෂයේ ක්‍රියාමාර්ගයට අනුකූලව, එහි ක්‍රියාකාරකම්වල අඛන්ඩව යෙදීම යි.

“සංවිධානයට සියයට සියයක් ම පක්ෂපාතිත්වය, එහි සාමාජිකත්වය තුල සෙසු සතුරු කන්ඩායම්වල සියලු ඒජන්තයන් ප්‍රතික්ෂේප කිරීම සහ භින්න පක්ෂපාතිත්වයන් පොදුවේ නොඉවසීම පිලිබඳ වගකීමක් පක්ෂ සාමාජිකත්වය යන්නෙන් ගම්‍ය කෙරෙයි.”

යෝජනාව තව දුරටත් මෙසේ තිරසරව කියා සිටියේය:

“එක් එක් තනි සාමාජිකයාගේ අයිතීන් යන්නෙන් . . . සමස්තයක් ලෙස සාමාජිකත්වයට, නමින් සඳහන් කල හොත් පක්ෂයට ම, තමන්ගේ ම අයිතීන් නැත යන්න ගම්‍ය නොවේ. එහි වැඩකටයුතු කඩාකප්පල් නොකල යුතු හා අවුල් නොකල යුතු යයි ඉල්ලා සිටීමට ද එහි නිරන්තර හා සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සහතික කරගැනීමට එය අවශ්‍ය යයි සලකන සියලු පියවර ගැනීමට ද සමස්තයක් ලෙස පක්ෂයට අයිතිය ඇත.

“ඕනෑම තනි සාමාජිකයකුගේ අයිතීන් සමස්තයක් ලෙස පක්ෂ සාමාජිකත්වයේ අයිතීන්ට පැහැදිලිවම ද්විතීකය. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මගින් අදහස් කෙරෙන්නේ, දෙන ලද සුුුලුතරයක අයිතීන් වඩාත්ම සාවධාන ලෙස ආරක්ෂා කිරීම පමනක් නොව, බහුතරයේ පාලනය ද ආරක්ෂා කිරීම යි. එබැවින් සාකච්ඡා සංවිධානය කොට එහි රූපාකාර හා සීමාවන් නිර්නය කිරීමට පක්ෂයට අයිතිය ඇත.

“පක්ෂයේ වැඩකටයුතු කඩාකප්පල් කිරීමට හා අවුල් කිරීමට එරෙහි අරගලයේ අවශ්‍යතාව මත, සංවිධානයේ නීතිරීතිවලට අනුකූලව හැසිරෙන ලෙස වගකීම් විරහිත පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටීමේ සහ අවශ්‍ය නම්, ඔවුන් සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ අයිතිය පක්ෂයට දිය යුතු” යයි යෝජනාව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. [ජේම්ස් පී. කැනන්, The Struggle for a Proletarian Party (නිර්ධන පන්තික පක්ෂයක් සඳහා අරගලය). සියලු උපුටා දැක්වීම්වලට මෙම සබැඳියෙන් පිවිසිය හැකිය: https://www.marxists.org/archive/cannon/works/1940/party/ch08.htm]

සංජය සහ නන්දන එවන් වගකීම් විරහිත පුද්ගලයෝ ය. ඔවුන්ගේ අප්‍රතිපත්තික ක්‍රියාකලාපයට ප්‍රතිචාර වශයෙන්, සසප, සුදුසු පරිදි ම, ඔවුන් සිය සාමාජිකත්වයෙන් නෙරපා දැමීය.

මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය සමගින්, සසප කම්කරු පන්තිය වෙත පැහැදිලි කර සිටින්නේ, මෙම වංචාකාරයන් දෙදෙනාගේ ප්‍රකාශවලට සහ ක්‍රියාවන්ට පක්ෂයේ අනුමැතිය නොලැබෙන බව සහ ඒවාට කිසිදු පිලිගැනීමක් නොදිය යුතු බවයි.

පක්ෂය මෙම ප්‍රකාශයට අතිරේක වශයෙන්, නන්දන සහ සංජය නෙරපීම සඳහා හේතු පැහැදිලි කරන නොවැම්බර් 12 සසප මධ්‍යම කාරක සභා යෝජනාව ද පල කරයි. එමෙන් ම දේශපාලන කාරනා තව දුරටත් විස්තාරනය කරමින්, 2022 දෙසැම්බර් 05 දා පක්ෂ සාමාජිකයන් වෙත සසප ප්‍රධාන ලේකම් විසින් යවන ලද ලිපිය ද අපි ප්‍රසිද්ධ කරන්නෙමු.

Loading