කෘතිම බුද්ධිය සහ චිත්‍රපට හා රූපවාහිනී රචකයන්ගේ වැඩ වර්ජනය

(මෙය Artificial intelligence and the film and television writers’ strike මැයෙන් 2023 මැයි 10දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

2023 මැයි 8දා, යුනිවර්සල් චිත්‍රාගාරය ඉදිරිපිට සිටින වැඩ වර්ජිත පිටපත් රචකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් (ඡායාරූපය: ලෝසවෙඅ)

මේ වන විට දෙවැනි සතියට පිවිස ඇති, ඇමරිකානු රූපවාහිනී හා චිත්‍රපට පිටපත් රචකයන්ගේ වර්ජනයෙහි වැදගත් ප්‍රශ්නයක් ලෙස ඉස්මතු වී තිබෙන්නේ, චිත්‍රාගාර සහ ජාල විසින් කථාවස්තු හා පිටපත් රචනය සඳහා කෘතිම බුද්ධිමය (ඒඅයි) භාවිතා කිරීමේ සැලසුම යි. ඇමරිකානු ලේඛකයන්ගේ සංගමයේ (ඩබ්ලිව්ජීඒ) සාමාජිකයන් 11,500ක් වැඩවර්ජනයේ නිරතව සිටිති.

වන්දි ඉහල දැමීම්, වඩා හොඳ වැඩ කොන්දේසි සහ වැඩි වර්ධිත සෞඛ්‍ය හා විශ්‍රාම ප්‍රතිලාභ පිටපත් රචකයෝ ඉල්ලා සිටිති. සමස්තයක් ලෙස, හාම්පුතුන්ගේ සංගමය වන චලන චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදකයන්ගේ සන්ධානය (ඒඑම්පීටීපී) ලේඛකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ, එම ඉල්ලීම් එකහෙලා ප්‍රතික්ෂේප කරමින්, නින්දාකාරී ප්‍රති යෝජනාවන් ඉදිරිපත් කරමිනි.

පිටපත් රචකයන්ගේ වැඩ වර්ජනය -මෙය සියලු කර්මාන්ත අලලාගෙන ජාත්‍යන්තර ව වර්ධනය වන කම්කරු ව්‍යාපාරයේ සංරචකයකි- යොමු වන්නේ, ලෝකයේ වඩාත් ම බලගතු ධනපති මාධ්‍ය සංගතයන්ට එරෙහි ව ය. භූගෝලය පුරා බිලියන ගනන් මහජනයා විසින් රඟහල් හා විසිත්ත කාමරවල සිට ද, ජංගම මෙවලම් හරහා ද නරඹනු ලබන චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලාවල අන්තර්ගතය සහ විධික්‍රම යන දෙක ම එයට විෂයය වේ.

මැයි 1දා ප්‍රසිද්ධ කරන ලද කොන්ත්‍රාත් සාකච්ඡා තුල, සිය කේවල් ඉල්ලීම් ලැයිස්තුවට පහත සඳහන් දේ ඇතුලත් කිරීමට ඩබ්ලිව්ජීඒ පියවර ගත්තේ ය: “එම්බීඒ ආවරනීය ව්‍යාපෘතිවලට (අවම මූලික එකඟතාව මගින් ආවරනය කරනු ලබන ව්‍යාපෘති) කෘතිම බුද්ධිය යොදාගැනීම නියාමනය කිරීම; සාහිත්‍යමය ලේඛන රචනය හෝ ප්‍රතිරචනය කිරීම කෘතිම බුද්ධියට කල නො හැක; එම ලේඛන මූලික සාහිත්‍යමය පදාර්ථ ලෙස යොදාගනු ලැබිය නො හැක; සහ කෘතිම බුද්ධිය පුහුනු කිරීම සඳහා එම්බීඒ ආවරනිත සාහිත්‍යය යොදාගනු ලැබිය නො හැක.”

ඩබ්ලිව්ජීඒ ලේඛනයට අනුව, සංගත නිෂ්පාදන සමාගම් තම ඉල්ලීමට දක්වන ප්‍රතිචාරය වන්නේ, “තාක්ෂනයේ අභිවර්ධනයන් සාකච්ඡා කිරීම සඳහා වාර්ෂික රැස්වීම් යෝජනා කරමින්, අපේ යෝජනාව ප්‍රතික්ෂේප කලේ ය” යන්නයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, තමා යෝග්‍ය යයි දකින ආකාරයට ශ්‍රම බලකායට ප්‍රහාර එල්ල කිරීම සඳහා තාක්ෂනය යොදාගැනීමට සැලසුම් කරමින් සිටින හාම්පුත්තු, වෘත්තීය සමිති කරමින් සිටින්නේ කුමක්දැයි තමන්ට කීමටත්, සමිති තුල සිටින සිය හවුල්කාරයන්ට වාරික රැස්වීම් පැවැත්වීමටත් ඉඩදෙනු ඇත.

පිටපත් රචකයන් හා නිෂ්පාදකයන් අතර ගැටුමෙහි හරි මැද පවතින්නේ මාධ්‍ය තාක්ෂනය යි. වීඩියෝ විකාශන සේවා වලට ලබදෙන අන්තර්ගතයන් සඳහා, ලේඛකයන්ට අවශේෂ දීමනා ගෙවීමේ විෂයය සාකච්ඡා කල නමුත් නො විසඳා අත්හැර දමන ලද, 2007-2008 සමයේ දින 100 වැඩ වර්ජනයේ සිට, නෙට්ෆ්ලික්ස්, හූලූ, ඩිස්නි+ සහ ඇපල්ටීවී+ වැනි සමාගම්, මෙම කර්මාන්තය තුල ආධිපත්‍යධාරී තරඟකරුවන් ලෙස ඉස්මතු වී ඇත.

අන්තර්ජාල විකාශන සේවාවන් විසින් වර්ධනය කරන අන්තර්ගතයන් පිටපත් රචකයන් මත ඇති කරන බලපෑම විනාශකාරී වී ඇත. ඇසෝෂියේටඩ් ප්‍රෙස් වාර්තාවකට අනුව, “යම් නිශ්චිත කාර්යයන් සඳහා අන්තර්ජාල විකාශන සේවාවන්ගේ කුඩා කාර්යය මන්ඩල යොදාගැනීම -මෙය කර්මාන්තය තුල ‘කුඩා කාමර’ ලෙස හැඳින්වේ- අඛන්ඩ ආදායමක් ලැබීම දුෂ්කර කර ඇතැයි රචකයන්ගේ සංගමය කියයි. පසුගිය දශකය තුල, සංගමයේ කුඩා කාමරවල වැඩ කරන ලේඛකයන් සංඛ්‍යාව තුනෙන් පංගුවක සිට භාගයක් දක්වා වැඩි වී තිබේ.”

පිටපත් රචකයන් සඳහා අන්තර්ජාල විකාශන අවකාශයේ නිතිපතා වැඩ ඌන කිරීම තුලින්, කම්කරුවන් රැකියාවේ යෙදෙන පැය ගනන අඩු කිරීම, නිර්මානශීලී කාර්යය මන්ඩලය සූරාකෑම ඉහල දැමීම සඳහා නිෂ්පාදන සමාගම් යොදාගෙන ඇති උපක්‍රමයක් බව පැහැදිලිය. පෙර පැවති කාර්ය මන්ඩල මොඩලය තුල රූපවාහිනී මාලාවක් සඳහා රචකයෙකුට ලබා දුන් කාලයේ සාමාන්‍යය සති 29ක් වූ අතර, නව මොඩලය සඳහා එය සති 20ක් වෙයි. මෙය ආසන්න වසයෙන් සියයට 30ක පිරිවැය කප්පාදුවක් බව වරයිටි (Variety) සඟරාවේ මෑත පුවතක වාර්තා විය.

“කෘතිම බුද්ධිමය සාහිත්‍යය කර්තෘ හිමිකම පැනවිය නො හැකි සංකීර්න” එකක් වන නිසා හා “එය වඩා වැඩි සාකච්ඡාවක් අවශ්‍ය දෙයක්” වන නිසා, ලේඛකයෙක් ඒඅයි භාවිතා කරන්නේ නම්, ලේඛන විශ්වාසීතාවන් නීර්නය කරනු ලබන්නේ කෙසේදැයි යන්න වෙනස් කිරීම ඔවුන්ට අවශ්‍ය බව මැයි 4දා නිකුත් කල ඒඑම්පීටීපීහි නිල ප්‍රකාශයක සඳහන් විය.

පිටපත් රචකයන් සංඛ්‍යාව කැපීම හා ඔවුන්ගේ කාර්ය චක්‍යන්ර අඩුකිරීම යන දෙකෙන් ම, චිත්‍රාගාර විසින් විශාල මුදල් ප්‍රමාන උපයාගනු ලැබේ. චිත්‍රපට හා රූපවාහිනී කතා තුල නිර්මානාත්මක හා අන්තර්ගත වර්ධන ක්‍රියාවලිය තුල මාධ්‍ය සංගත විසින් ඒඅයි යොදාගැනීමේ දී හරියට ම පරදුවට තැබී ඇත්තේ මෙය යි.

ගෙවී ගිය වසර පුරා, පරිඝනක දෘඪාංග, මෘදුකාංග හා ජාලකරනය තුල සිදු වී ඇති එකිනෙකට අන්තර්-සම්බන්ධිත අභිවර්ධනයන් මාලාවක් ඒකාග්‍ර වීම නිසා, ඒඅයි තාක්ෂනය වර්ධනයේ නව අවදියකට ලඟා වී ඇති අතර, එය සමහර විශේෂඥයන්ගේ වචනවලට අනුව, මානව-මට්ටමේ කුසලතාවන්ට කැපී පෙනෙන ලෙස සමීප වේ.

විවෘත ඒඅයි තාක්ෂනයේ චැට්ජීපීටී පූර්ව දර්ශන මුදාහැරීම -විශේෂයෙන් ම මධ්‍ය තාක්ෂනයේ 4වන සංස්කරනය- මිලියන ගනන් ජනයා විසින් භාවිතා කරන තතු තුල, බොහෝ කාර්යයන් ස්වයංක්‍රීය කිරීමට ඒඅයි තුල පවතින යෝධ විභවය ප්‍රදර්ශනය කරනු ලැබ ඇත.

එහි වර්තමාන මට්ටමේ දී, රූපවාහිනී හා චිත්‍රපට පිටපත් රචනයට ඒඅයි යොදාගැනීම, නිසැකයෙන් ම හොලිවුඩ් හා ප්‍රධාන චිත්‍රාගරවලින් පිටවන දේවල සංස්කෘතික හා දේශපාලනික මට්ටම පොදුවේ පහත හෙලීමක් සමග අත්වැල් බැඳගනු ඇත. සමාජීය ලෙස විවේචනශීලී බොහෝ ලේඛන කපා දැමීමට එය චිත්‍රාගාරවලට සහාය වනු ඇත.

ඒ අතර ම, දැනට පවතින සීමාකාරීත්වයන් නො තකා, චැට්ජීපීටී සහ අනෙකුත් ඒ හා සමාන පඨිත-පාදිත(text-based) පූර්ව-පුහුනුගත ජනන පරිනාමකයන් (generative pre-trained transformers- ජීපීටී), කර්මාන්ත ගනනාවක් හරහා අර්ථභාරී කුසලතාවන් ප්‍රදර්ශනය කර තිබේ.

එහෙත්, ධනවාදය යටතේ, මෙම විභවය යොදාගනු ලබන්නේ, සමාජයේ සෑම දෙනාගේ ම ජීවිත ආඪ්‍ය කිරීම වෙනුවට, කම්කරුවන් ඉවත් කරමින් හා පිරිවැය කපමින් සංගත ලාභ වැඩි කරගැනීමට ය. ලේඛකයන් මෙන් ශ්‍රම බලකායේ අනෙකුත් කොටස් මතට ප්‍රහාර එල්ල කිරීම සඳහා, චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තය පාලනය කරන නිෂ්පාදන ඒකාධිකාර ඒඅයි යොදාගැනීමට සැලසුම් කරමින් සිටිති.

ඒඅයි නව් ඉන්ස්ටිටියුට් ආයතනයේ කලමනාකාර අධ්‍යක්ෂිකා සාරා මේයර්ස් වෙස්ට් ටයිම් සඟරාවට මෙසේ කීවා ය: “මෙය ඒඅයි කිරීමට යන්නේ කුමක්ද යන්න නො ව, සමාගම් ඒඅයි තාක්ෂනය යොදාගෙන සාධාරනීකරනය කිරීමට යන්නේ කවරක්ද යන්න පිලිබඳ ප්‍රශ්නයකි.” ලේඛකයෙකු විසින් පසුව සංස්කරනය කල හැකි ජනනීය ඒඅයි ලේඛන අන්තර්ගතය සමගින්, චිත්‍රාගාරවලට, ලේඛකයන්ගේ කාමරවල පුද්ගලයන් සංඛ්‍යාව අඩු කල හැකි බව ටයිම් ලිපිය කියයි. “පලමු කෙටුම්පත නිර්මානය කිරීමට ඔවුන්ට ඒඅයි තාක්ෂනය යොදාගෙන, ඉන්පසුව දෙවැනි කෙටුම්පත සකස් කිරීමට වෙනත් කෙනෙකු ගෙන ආ හැකි යි. ලේඛකයන් සමස්ත ක්‍රියා දාමය තුල නිමග්න නො වන නිසා, ඒ මගින් ඔවුන්ගේ වැඩකටයුතුවල වටිනාකම පහත හෙලනවා” යි මේයර්ස් වෙස්ට් කියයි.

“එයට සාහිත්‍යමය ලේඛන ලිවීමට හෝ යලි ලිවීමට නො හැකි” වන පරිදි ඒඅයි “පාලනය කල යුතු” යයි ඩබ්ලිව්ජීඒ ඉදිරිපත් කරන ආස්ථානය, අන්තර්ගතය හා නිර්මානාත්මක ක්‍රියා දාමය පාලනය කරන්නේ කවුද යන ප්‍රශ්නය මග හැර යයි. ඒඅයි උපකරනවල විභවය වැලඳ ගන්නා අතරේ, ආදායම අඩු කිරීමකින් තොර ව පිටපත් රචකයන්ගේ වැඩ කන්දරාව අඩු කරන ලෙස ඉල්ලීම වෙනුවට, වෘත්තීය සමිතිය යෝජනා කරමින් සිටින්නේ ලේඛකයන්, ඒඅයිහි විභවයෙන් වෙන් කරන ලෙස යි.

ඩොලර් බිලියන ගනනක වත්කම් දරන යෝධ මාධ්‍ය සංගතයන්ට එරෙහි ව, චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තවල සියලු කම්කරුවන්ගේ ශක්තිය බලමුලු ගන්වනුවස් සටන් කරනු වෙනුවට, සැග්-ඇෆ්ට්‍රා වෘත්තීය සමිතිය නලුවන්, නිවේදකයන්, ගුවන් විදුලි ජනමාධ්‍යවේදීන්, පටිගත කරන කලාකරුවන්, ගායකයන්, ත්‍රාසජනක නලුවන්, පසුබිම් කථන කලාකරුවන් හා අනෙකුත් අය ඇතුලු 160,000ක් වන තම සාමාජිකයන්ට ලේඛකයන්ගේ පිකට් වැටවල් කරා නො යන නියෝග කර තිබිය දී, ඩබ්ලිව්ජීඒ සාමාජිකයන්ට තනි ව සටන් කිරීමට බල කරනු ලැබ ඇත.

විනෝදාස්වාද කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය කරන සංවිධානයක් වනු වෙනුවට, හාම්පුතුන්ට සේවය කරන ඒජන්ත කන්ඩායමක් බව යලි යලිත් තහවුරු කර ඇති වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහි ව ඍජු අභියෝගයක් ගොඩනැගීම හරහා පමනක් ම, කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්ත්වයන් මතට මාධ්‍ය ඒකාධිකාරයන් එල්ල කරන ප්‍රහාරවලට එරෙහි අරගලය ගොඩනැගිය හැකි ය.

ශ්‍රම බලකායෙන් හැකිතාක් උපරිම ලාභ උකහාගැනීමේ අරමුන පමනක් තිබෙන, බිලියනපතියන් අතලොස්සක් විසින් පිටපත් රචකයන් හා අනෙකුත් කම්කරුවන් විසින් භාවිතා කරනු ලබන චිත්‍රපට හා රූපවාහිනී නිර්මානවල අන්තර්ගතය, නිර්මානාත්මක ක්‍රියා දාමය හා උපකරනවල අයිතිය හා පාලනය දරන ධනපති ක්‍රමයෙහි රාමුව ඇතුලත, කෘතිම බුද්ධි උපකරන සහ අනෙකුත් තාක්ෂනයන් භාවිතා කිරීම පිලිබඳ ප්‍රශ්නය විසඳිය නො හැක.

අයිඒටීඑස්ඊ නායකත්වය විසින් (අතිමහත් බහුතර සාමාජිකත්වය විසින් ඡන්දයෙන් පරාජය කර තිබුන ද) තවත් කුනු වූ කොන්ත්‍රාත්තුවක් අධ්‍යක්ෂවරුන් හා නලුවන් සහ පහල කම්කරුවන්ගේ උගුරින් පහලට තල්ලු කරනු ලැබ තිබෙන තතු යටතේ, එම කම්කරුවන් කරා ද වරාය, දුම්රිය මාර්ග, යූපීඑස්, යූඑස්පීඑස් හා මෝටර් රථ කර්මාන්ත කම්කරුවන් ඇතුලු පලල් කම්කරු කොටස් කරා ද ලඟාවනුවස්, ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, පිටපත් රචකයන් හා විනෝදාස්වාද කර්මාන්තය තුල සිටින අනෙකුත් කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ හේතුව නිසා ය.

Loading