රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලට එරෙහිවනු! රැකියා සහ වැටුප් රැකගැනීම සඳහා සටන් කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

(මෙය Oppose Sri Lankan government’s privatisation of state enterprises! Build workers’ action committees to fight for jobs and wages! මැයෙන් 2023 මැයි 29දා පල කල සසප ප්‍රකාශයේ පරිවර්තනය යි.)

රාජ්‍ය ආයතන සිය ගනනක් පුද්ගලීකරනය හා “වානිජකරනය” කිරීමේ ඉලක්කය ඇතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද රජයට අයත් ව්‍යවසායයන් “ප්‍රතිසංස්කරනය කිරීමේ පිලිවෙතකට” ලංකාවේ කැබිනට් මන්ඩලය අනුමැතිය දී ඇත.

රජයට අයත් ව්‍යවසායයන් මහා පරිමානයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම කම්කරු පන්තියේ විශාල කොටසකට විනාශකාරී වනු ඇත. මෙම වැඩපිලිවෙල, ලංකාවට එජ ඩොලර් බිලියන 3ක ඇප නයක් ලබාදීමේදී එලඹෙන මාස හය තුල දී ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු විධානයන්ගෙන් එකකි.

සංස්ථා 30ක්, ප්‍රාදේශීය වතු සමාගම් 21ක් ඇතුලු සමාගම් 218ක් සහ ව්‍යවස්ථාපිත මන්ඩල 173ක් ඇතුලු ව රාජ්‍ය ව්‍යවසායන් 430ක් දංගෙඩියට යැවීමට ආන්ඩුව තීරනය කර තිබේ. සමහර ව්‍යවසායයන් විදේශීය හෝ දේශීය ආයෝජකයන්ට විකුනා දැමෙන අතර, අනෙකුත් ඒවා බද්ධ කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීම හෝ මුලුමනින් ම වසා දැමීම සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන. [Photo: Bandula Gunawardena Facebook]

ඇමති බන්දුල ගුනවර්ධන මැයි 17දා මාධ්‍යයට මෙසේ සඳහන් කලේ ය: “මෙම පිලිවෙතෙහි ඉලක්කය වන්නේ, ...වෙලඳපොලට යොමු වන පරිදි... පිරිවැය-පිලිබිඹු කරන පිලිවෙතක් (සමගින්) රටට හා අයැවයට බරක් නො වන අයුරින් (රාජ්‍ය ව්‍යවසායයන්) පරිවර්තනය කිරීම යි.” ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ඉලක්කය වන්නේ, “දේශීය හා විදේශීය ආයෝජන ඇදගැනීමට අවශ්‍ ය... තත්වය නිර්මානය කිරීම යි.”

මෙම ව්‍යවසායන්වල සේවයෙහි නිරත මිලියන භාගයකට අධික සේවකයන්ට මෙය බලපානු ඇත. දසදහස් ගනනක් දෙනාට සිය රැකියා අහිමි වනු ඇත; ඉතිරි වන අය වැටුප්, විශ්‍රාම වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවට ද වැඩ වැඩි කිරීමට ද මුහුන දෙනු ඇත. පවුල් මිලියන ගනනක් මෙම කම්කරුවන්ගෙන් යැපෙති.

තව ද “පිරිවැය පිලිබිඹු කරන පිලිවෙතක්” යන්නෙහි අර්ථය වන්නේ සියලු භාන්ඩ හා සේවාවල මිල උපරිම ලාභ ලබන පරිදි තීන්දු කොට, දැනට මත් අති-උද්ධමනයෙන් හා බරපතල හිඟයන්ගෙන් පීඩා විඳිමින් සිටින කම්කරුවන් හා දුගීන් මත තවත් බර පටවනු ලැබීම යි.

පසුගිය වසරේ අවම වසයෙන් කම්කරුවන් 500,000කට රැකියා අහිමි වූ අතර, 2019 දී සියයට 13.1ක් වූ දරිද්‍රතාවෙන් පෙලෙන ජනයාගේ ප්‍රතිශතය සියයට 25.6 දක්වා ඉහල ගොස් තිබේ. අවම වසයෙන් සියයට 32ක් වත් කුසගින්නේ හෝ හාමතට ආසන්න තත්ත්වයෙන් පීඩා විඳිති. මෙම දරුනු සමාජ අර්බුදය දැන් එල්ලවන ප්‍රහාර සමග වඩාත් ගැඹුරු වීමට නියමිත ය.

වරාය, විදුලිය, ඛනිජ තෙල්, ටෙලිකොම්, ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය, රක්ෂන සංස්ථාව හා රජයට අයත් බැංකු ඇතුලු ප්‍රධාන අංශ කප්පාදුවට ලක්වේ. මෙයින් පහර වදින්නන් අතර, උග්‍ර දරිද්‍රතාවයට ඇදලනු ලැබ සිටින ප්‍රාදේශීය වතු සමාගම් 21ක කම්කරුවෝ 150,000ක් පමන සිටිති.

මේ ව්‍යවසායයන් සියල්ල ම පාහේ, 1960 ගනන් හා 1970 ගනන්වල දී ලංකාවේ ආන්ඩු විසින් ස්ථාපිත කරන ලද්දේ, ජාතික ආර්ථික නියාමනයේ හා ආනයන ආදේශන පිලිවෙත්වල කොටසක් ලෙස මෙන්ම පුද්ගලික විදේශීය හා දේශීය සමාගම් තුල පැවති සූරාකෑමේ කොන්දේසිවලට එරෙහි ව පැන නැගුනු කම්කරු අරගලවලට ප්‍රතිචාර ලෙසිනි.

තමන්ගේ අරගලවල ප්‍රතිඵලයක් ලෙස, සමහර ආයතන තුල කම්කරුවෝ රැකියා සුරක්ෂිතතාව, ඉහල වැටුප් හා යහපත් සේවා කොන්දේසි දිනාගැනීමට සමත් වූ හ. පසුගිය දශක හතර තුල, අනුප්‍රාප්තික ආන්ඩු පුද්ගලීකරනය ඇතුලු වෙලඳපොලට අවශ්‍ය ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම හේතුවෙන්, මෙම ජයග්‍රහන සැලකිය යුතු ලෙස ඛාදනය කරනු ලැබ තිබේ. දැන් ඉතිරි වී තිබෙන රජයට අයත් ව්‍යවසායයන් කුනු කොල්ලයට විකුනා දැමීම හෝ පුද්ගලීකරනයට සූදානම් කරනුවස් ලාභ උපදවන ආයතන බවට ප්‍රතිව්‍යුහගත කරනු ඇත.

රාජ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා තව දුරටත් පැවතිය ද ඒවායේ අරමුදල් හා කාර්යය මන්ඩල කපා දමා ඇත්තේ, එම අංශ තුලට පුද්ගලික ආයෝජකයන්ට අවසර දෙමිනි. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය තව දුරටත් කපා දමමින් පුද්ගලික ආයෝජකයන් දිරිගැන්වීම ජාමූඅ විධානයන්ට ඇතුලත් වේ.

සෞඛ්‍ය සේවකයින්ගේ 2022 ජූලි 7 වන දින කොලඹදී පැවති විරෝධතා පාගමනක කොටසක් [ඡායාරූපය: WSWS]

අතිරික්ත ශ්‍රමය, ඉහල වැටුප් හා අතිකාල වැඩ සහ පාරිභෝගිකයන්ට මිල සහනාධාර ද ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ආයතන පාඩු ලබන්නේ යයි ආන්ඩුව හා ධනපති මාධ්‍ය කම්කරුවන්ට දෝෂාරෝපනය කරති.

මේ චෝදනා පට්ටපල් බොරු ය. සියලු විරුද්ධ පක්ෂවල සහයෝගය සහිත ව, ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලබන විනාශකාරී ජාමූඅ කප්පාදු පියවරයන් වනාහි, ගැඹුරු වන ගෝලීය ධනවාදයේ ඍජු විපාකයක් වන අතර, පසුගිය වසරේ දී නය පැහැර හැරීමට සිදු වූයේ ද එබැවිනි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සහ ලංකාවේ පාලක පන්තිය රුදුරු ලෙස ක්‍රියා කරන්නේ, වැඩ කරන ජනයා මත එම අර්බුදයේ සමස්ත බර පැටවීමට යි.

එහෙත්, පසුගිය සතියේ නිවේදනය කරන ලද පුද්ගලීකරන සැලසුම් පිලිබඳව වෘත්තීය සමිති මුඛ පූට්ටුකරගෙන සිටිති. මෙය අහම්බයක් නො වේ. වෘත්තීය සමිති තන්ත්‍රය ධනවාදය රැකීමට කැපවී, ඍජු ව හෝ වක්‍ර ව ජාමූඅ කප්පාදුවට සහයෝගය දෙන අතර, ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය වෙනුවෙන් පන්ති අරගලය සීමා කොට යටපත් කරන කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වෙති.

එහෙත්, මෙම ප්‍රහාර නො ඉවසනු ඇති කම්කරුවන් රැකියා, වැටුප් හා සේවා කොන්දේසි සඳහා සටන් වැදීමට ඇදී එනු ඇත. ඔවුන් ඒ සඳහා දේශපාලනික ව සූදානම් වීම අවශ්‍ය ය.

ප්‍රතිව්‍යුහකරන සැලසුම්වලට එරෙහි ව බලගතු ලෙස සටන් වැදීම සඳහා, තම වැඩපොලවල හා නිවහන් ප්‍රදේශ තුල වෘත්තීය සමිති හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම රාජ්‍ය ව්‍යවසායයන්හි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඔබේ රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා අනෙකුත් අයිතීන් ආරක්ෂා කරගැනීමට ඔබට වෘත්තීය සමිති කෙරෙහි නම් කිසිදු විශ්වාසයක් තැබිය නො හැක.

කම්කරු පන්තියට රුදුරු කප්පාදු පියවරයන් නැවැත්විය හැක්කේ, වික්‍රමසිංහ පාලනය පෙරලා දැමීම සඳහා, සිය ස්වාධීන දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනකි. මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා, ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාපත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයත් ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි.

පසුගිය මාස කිහිපය තුල කම්කරුවන්ගේ අත්දැකීම් මෙම කර්තව්‍යයන් සඳහා සටන් කිරීමේ හදිසි භාවය පෙන්නුම් කරයි.

ආන්ඩුවේ කප්පාදු සැලසුම්වලට එරෙහි ව කම්කරුවන්ගේ විරෝධය වර්ධනය වෙද්දී, මාර්තු 1 හා 15 දිනවල රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක්, වැඩ වර්ජන හා පෙලපාලි ඇතුලත් වුනු එක්දින විරෝධතා කැඳවුම් කල හ.

මාර්තු 1දා ක්‍රියාවන් කැඳවන ලද්දේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස), විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆූටා) ඇතුලු වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සහ සෞඛ්‍ය හා විදුලිබල සේවකයන්ගේ සමිති විසිනි.

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් ප්‍රධාන වසයෙන් පාලනය කරනු ලබන පලල් වෘත්තීය සමිති එකතුවක වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (ටීයූසීසී) විසින් මාර්තු 15 වැඩ වර්ජනය සංවිධානය කරන ලදී.

එම අවස්ථා දෙකේ දී ම වෘත්තීය සමිති නිලධරයන් හිතාමතා ම ක්‍රියාත්මක වූයේ, කම්කරුවන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවන බද්දට වෙනස් කරන ලෙස ඉල්ලීමට වැඩ වර්ජන හා විරෝධතා සීමා කිරීමට යි. ජාමූඅහි පලල් කප්පාදු න්‍යාය පත්‍රයට එකදු වෘත්තීය සමිතියක් වත් විරුද්ධ නො වී ය.

ඇත්තෙන්ම, මාර්තු මාසයේ දී කොලඹ සිටි ජාමූඅ නිලධාරීන් ව හමුවීමට, රවෛනිස, ෆූටා අනෙකුත් වෘත්තිකයන්ගේ සමිති ගිය හ. පසුගිය සතියේ දී, වෘත්තීය සමිති නිලධාරියෝ කම්කරුවන්ට හොරෙන් ගොස් කොලඹට පැමිනි ජාමූඅ කන්ඩාමක් හමු වූ හ.

ජාමූඅහි ආසියා හා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසයන් මාධ්‍ය හමුවක දී මෙසේ කීවේ ය: “රට පැවතියේ අර්බුදයක යන්නත්, උන්නතිකාමී ප්‍රතිසංස්කරන අවශ්‍ය වූ බව හා අවශ්‍ය කරන බවත්, ඒවා විස්තීර්න ආකාරයකින් ලුහුබැඳිය යුතුය යන්නත් ගැන (වෘත්තීය සමිති නායකයන් ද ඇතුලු කොටස් අතර) පලල් පිලිගැනීමක් පවතිනවා.”

පලල් මහජන බලපෑමක් යෙදීමෙන් ආන්ඩුව එහි කප්පාදුවෙන් ආපස්සට තල්ලු කරනු ඇතැයි යන මාරාන්තික මිථ්‍යාව ප්‍රචාරය කිරීමට වෘත්තීය සමිති කටයුතු කරති. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම කන්ඩායම්, වෘත්තීය සමිතිවලට හා ඒවායේ ද්‍රෝහී භූමිකාවට පිටුබලය දෙති.

වර්ධනය වන පන්ති අරගල වික්‍රමසිංහ පාලනය සමග විප්ලවවාදී ගැටුමක් බවට වර්ධනය වී, සමස්තයක් ලෙස ධනේශ්වර පාලනයට තර්ජනය කරනු ඇතැයි, ධනවාදය ආරක්ෂා කරන ඔවුන් සියලු දෙනා පාලක පන්තිය තරම් ම බිය වෙති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට එරෙහි ව පසුගිය වසරේ පැනනැගුනු මහජන නැගිටීමේ ප්‍රතිඵලය කුමක් ද? සමගි ජන බලවේගය (සජබ) හා ජවිපෙ යන ධනපති විරුද්ධ පක්ෂ අන්තර්වාර ආන්ඩුවක් වෙනුවෙන් කල කැඳවුමට, පෙසප පිටුබලය ලත් වෘත්තීය සමිති විසින් මහජන ව්‍යාපාරය යටත් කලේ ය.

ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව, ගම්බද දුගීන්ගේ ද සහයෝගය සමගින්, සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත සටන් කිරීමට කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා සසප ගෙන ගිය උද්ඝෝෂනයට වෘත්තීය සමිති සහ ව්‍යාජ-වම තරයේම විරුද්ධ වූ හ.

වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වයේ ප්‍රතිඵලයක් ලෙස, රාජපක්ෂ ඉවත් කිරීමෙන් පසුව, මොනම සැලකිය යුතු මහජන සහයෝගයක් වත් නැති, දක්ෂිනාංශික රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුල පැවති ප්‍රජාතන්ත්‍ර-විරෝධී ඡන්දයක් හරහා ජනාධිපති ලෙස ස්ථාපිත කිරීමට, පාලක පන්තියට හැකි විය.

ජාමූඅ විධානයන් රුදුරු ලෙස ක්‍රියාවට දමා ඇති වික්‍රමසිංහ, ඕනෑ ම විරුද්ධත්වයකට එරෙහි ව පොලිස් මර්දනය මුදාහැරීමට යොමු වී සිටියි. විදුලිබල, ඛනිජ තෙල් හා සෞඛ්‍ය සේවාව ඇතුලු මූලික රාජ්‍ය අංශවල කාර්මික ක්‍රියා සාපරාධීකරනය කිරීමට, ඔහු අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යොදාගෙන ඇත.

මාර්තු 20 හා 28 දිනවල, පුද්ගලීකරනයට එරෙහි ව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ (සීපීසී) කම්කරුවන් ගෙන ගිය වැඩ වර්ජනය මැඩීමට, ආන්ඩුව දහස් ගනන් හමුදා භටයන් හා පොලීසිය යෙදවූයේය. වෘත්තීය සමිති නායකයන් හා කම්කරුවන් විසිදෙනෙකු අනිවාර්ය නිවාඩු යවන ලද නමුත්, ඊට විරුද්ධ ව වෘත්තීය සමිති ඇඟිල්ලක් වත් ඔසවා නැත.

මැයි 21දා පැවති ප්‍රසිද්ධ උත්සවයක දී ජනාධිපති වික්‍රමසිංහ ඔහුගේ මන්තරය පුනරුච්ඡාරනය කලේ ය: “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දැඩි කොන්දේසි පනවා තිබෙනවා. එහෙත් අපට වෙනත් විකල්පයක් නැහැ.” මෙම මූලික කරුනේ දී, විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම කන්ඩායම් සියල්ල එකඟ වෙති.

ධනපති ලාභ පද්ධතිය ඇතුලත විකල්පයක් නැත; කම්කරු පන්තිය සමාජවාදී ඉදිරි දර්ශනයක් වෙත හැරී, එම පදනම මත ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට සටන් කිරීම අවශ්‍ය වන්නේ ඒ නිසා ය. ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන්ට කැඳවුම් කිරීමේ දී, ඔවුන්ට සටන් වැදිය හැකි ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීමට ද සසප ක්‍රියා කර ඇත:

* පුද්ගලීකරනය හෝ වානිජකරනය හෝ වසාදැමීම් එපා!

* රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු එපා!

ජාමූඅ කප්පාදු පිලිවෙත්වලටත්, ධනපති අර්බුදයේ බර වැඩකරන ජනයා මත පැටවීමට දරන සෑම ප්‍රයත්නයකටත් එරෙහි පලල් අරගලයක කොටසක් බවට මෙම ඉල්ලීම් පත්විය යුතු ය.

අපි මෙසේ කියමු:

* සියලු විශාල සමාගම්, වතු හා බැංකු සහ රජයට අයත් සියලු ව්‍යවසායයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරනු!

* විදේශ නයට කම්කරුවන් හා දුගීන් වගකිව යුතු නැත; සියලු විදේශ නය ගෙවීම් ප්‍රතික්ෂේප කරනු!

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට සසප මෙම ඉල්ලීම් සඳහා සටන් කරන ලෙස ඉල්ලා සිටියි:

*තරයේම වෛරයට පාත්‍රවී ඇති විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු!

*ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අත්‍යවශ්‍ය සේවා පනත ඇතුලු සියලු මර්දන නීති ඉවත් කරනු!

ධනවාදයෙහි ගෝලීය බිඳවැටීමේ ප්‍රකාශනයක් වන ලංකාවේ පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයට, ප්‍රතිසංස්කරනවාදී හා ජාතිකවාදී විසඳුමක් නැත. මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ පන්ති අරගල, ලාභ පද්ධතියට සහ ධනවත් සුලුතරයකගේ අවශ්‍යතා ආරක්ෂා කරන ධනේශ්වර රාජ්‍යය සමග ඍජු ව ගැටෙයි.

මෙයින් කම්කරු පන්තිය ඉදිරියේ මතුවී ඇත්තේ, ධනපති පාලනය පෙරලා දැමීමේ සහ දකුනු ආසියාවේත් ජාත්‍යන්තරවත් සමාජවාදය සඳහා ගෙන යන පලල් සටනක ආරම්භය ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ අභියෝගයයි.

මෙම අරගලය ඉදිරියට ගෙන යාමේ මාවත වන්නේ, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් ව, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම යි.

ජාත්‍යන්තර ව, රටක් රටක් පාසා කම්කරු-පන්ති අරගල වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ආන්ඩුව විසින් විශ්‍රාම වැටුප්වලට සිදු කරන දරුනු කප්පාදුවලට විරුද්ධ ව, ප්‍රන්සයේ මිලියන ගනන් කම්කරුවෝ මාස ගනනක් තිස්සේ සටන් වැදී සිටිති. එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය තුල, රැකියා, වැටුප් හා සේවා කොන්දේසි ආරක්ෂා කරගැනීමට, කම්කරුවෝ කටුක අරගලවල නියැලෙති. ලංකාව තුල මෙන් ම, මෙම රටවල් තුල දී ද වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වයට කම්කරුවෝ මුහුන දෙති

පන්ති අරගලය ජාත්‍යන්තර ව යලි ඉස්මතු වීම, දැනට මත් රටවල් ගනනාවක් තුල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට අවස්ථාව ලබාදී ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍ය්නතර කමිටුව ආරම්භකත්වය ගෙන ඇති, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග තමන්ගේ ක්‍රියාකාරී කමිටු සම්බන්ධීකරනය කිරීම මගින්, ලංකාවේ කම්කරුවන්ට ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු වීමට අවශ්‍ය කොන්දේසි එය මගින් නිර්මානය වී තිබේ.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් වැදීමට සසපට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading