ශ්‍රී ලංකා ආන්ඩුව රජයේ රෝහල්වල ගෙවීම් වාට්ටු අනුමත කරයි

[ මෙය Sri Lankan government approves paying wards in state hospitals යන මැයෙන් 2023 ​මැයි 31 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පිහිටුවීමට වික්‍රමසිංහ රජය නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇත. එය ශ්‍රී ලාංකික කම්කරුවන්ගෙන් සහ දුගීන්ගෙන් අතිමහත් බහුතරය රඳා පවතින නිදහස් මහජන සෞඛ්‍ය සේවය අහෝසි කිරීම කරා ගෙන යන තවත් ප්‍රධාන පියවරකි.

සෞඛ්‍ය සේවකයින්ගේ 2022 ජූලි 7 වන දින කොලඹදී පැවති විරෝධතා පාගමනක කොටසක් [ඡායාරූපය: WSWS]

පසුගිය මාසයේ මෙම තීරනය ප්‍රකාශයට පත් කරමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන මෙසේ ප්‍රකාශ කලේය: “නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියට සමගාමීව ගෙවන වාට්ටු පද්ධතිය ස්ථාපිත කෙරෙනු ඇත... මෙම වාට්ටු සාධාරන ගෙවීමේ ක්‍රමයකින් ලබා ගත හැකි අතර එම පහසුකම් ලබා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට රාජ්‍ය රෝහලකට යා හැකිය.'

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථම වරට පසුගිය නොවැම්බර් මාසයේදී 2023 අයවැයෙන් ගෙවන වාට්ටු යෝජනා කලේය. මහජන සෞඛ්‍යයට එරෙහි මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු ඉල්ලීම් හා ආන්ඩුව ක්‍රියාවට නංවමින් සිටින දැවැන්ත පුද්ගලීකරන වැඩසටහන සමග සමපාත වේ.

අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු සෞඛ්‍යයට කෙරෙන වියදම් කප්පාදු කර ඇති අතර, ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම යටතේ ආර්ථිකයේ මෑත කාලීන කඩාවැටීම නිදහස් සෞඛ්‍ය සේවයට බැට දී ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරන හිඟය සමඟ වියදම් කප්පාදුව මහජන සෞඛ්‍ය සේවයට දැඩි ලෙස බලපාමින් එය කඩාවැටීමේ අද්දරට තල්ලු කර ඇත.

මේ සතියේ මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවසුවේ “රජයේ රෝහල්වල ඇතැම් ඖෂධවල උග්‍ර හිඟයක් පවතින” බවයි. විශේෂයෙන්ම සායනවල සිටින වෛද්‍යවරු “රෝගීන්ට බෙහෙත් වට්ටෝරු ලියන්නේ පිටතින් බෙහෙත් ගන්න. මීට අමතරව පෞද්ගලික ඔසුසල්වල පවතින අධික මිල ගනන් හේතුවෙන් ඇතැම් රෝගීන් නියමිත මාත්‍රාව ලබාගන්නේ නෑ. මෙය ඉතා ඉක්මනින් විසඳිය යුතු ප්‍රධාන ප්‍රශ්නයක්.”

'පසුගිය වසර එකහමාරක කාලය තුල ඖෂධ හිඟය පවතින තතු යටත ආන්ඩුව මෙම කාරනයේ බරපතලකම සුලු කොට තැබූ බවක් පෙනෙන්නට තිබේ' යැයි ආරියරත්න පැවසීය.

මූලික ඖෂධ තොග සීමිත වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම සිදු කිරීමට නොහැකි වී ඇත. රජයේ රෝහල්වල සහ ආන්ඩුව සතු වෛද්‍ය පර්යේෂන ආයතනයේ රසායනාගාර පරීක්ෂන සේවා අඩපන වී ඇත.

2023 මැයි මාසයේදී මහනුවර ජාතික රෝහලට ඇතුලත් වීමට බලා සිටින රෝගීන්. [ඡායාරූපය: WSWS]

උපයන විට (ගෙවන) බදු අනුපාත මෑතදී පැනවීම නිසා වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් සිය ගනනක් විදේශ රැකියා සඳහා යෑම සෞඛ්‍ය අර්බුදය තවත් උග්‍ර කර ඇත. වෛද්‍ය හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා රජයේ රෝහල්වල විශේෂිත සායනික සේවාවන් නතර කර ඇති බව වාර්තා වේ.

2020 දී, සෑම ශ්‍රී ලාංකිකයන් 1,000 කටම සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් 1.3 ක් සිටි අතර එය බොහෝ කාර්මිකරනය වී ඇති රටවල අනුපාතයෙන් අඩකි. එක් ජ්‍යෙෂ්ඨ රජයේ සෞඛ්‍ය නිලධාරියෙකුට අනුව, ශ්‍රී ලංකාවේ මීට පෙර සේවය කල 3,700ක් අතරින් වෛද්‍ය විශේෂඥයින් 1,000ක් පසුගිය වසර දෙක තුල රට හැර ගොස් ඇත.

රජයේ රෝහල්වල හෙද හෙදියන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් හිඟයක් පවතින බව වෙනත් වාර්තා පෙන්වා දෙයි. ඊට හේතු වී ඇත්තේ රජය හෙද පාසල්වලට යන සිසුන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කර සුදුසුකම් ලත් හෙදියන් බඳවා ගැනීම නතර කිරීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූලික රෝහල් සහ අනෙකුත් පලාත් රෝහල් මෙන්ම දිවයිනේ සුවිශේෂී පිලිකා රෝහල වන මහරගම අපේක්ෂා රෝහල සහ කොලඹ ප්‍රසිද්ධ ලමා රෝහල වන රිජ්වේ ආර්යා රෝහල තුලද කාර්ය මන්ඩල හිඟය සහ අරමුදල් කප්පාදුව දැඩි ලෙස බලපා ඇත.

නිදහස් මහජන සෞඛ්‍ය පද්ධතිය ගෙවන සේවාවක් බවට පත් කිරීම සඳහා ගෙවන වාට්ටු හඳුන්වාදීම සිදු වන්නේ නිදහස් මහජන සෞඛ්‍ය පද්ධතිය සහ රජයේ රෝහල් ජාලය හිතාමතාම කඩාවැට්ටවීමට ගන්නා පියවර මධ්‍යයේ ය.

මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු රෝගය නැවතත් වසංගතයක් බවට පත්වීමේ තර්ජනය මතුවන කොන්දේසි යටතේ, කෝවිඩ්-19 දිගින් දිගටම පැතිර යමින් පවතින අතර, පරීක්ෂන, ස්කෑන් පරීක්ෂන සහ හදිසි ප්‍රතිකාර ඇතුලු අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් සඳහා මුදල් වියදම් කිරීමට රෝගීන්ට දැනටමත් බල කෙරෙමින් පවතී.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ ශ්‍රී ලංකාවේ ධනවාදය ආරක්ෂා කිරීමට කැපවී සිටින ධනේශ්වර විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ විවිධ ව්‍යාජ වාම සංස්ථාපිතයන් විසින් මහජන සෞඛ්‍ය සේවයට එල්ල කරන මෙම විනාශකාරී ප්‍රහාරය වසන් කර ඇත. සෞඛ්‍ය සේවක සංවිධාන ඇතුලු එකදු වෘත්තීය සමිතියක්වත් ආන්ඩුවේ වාට්ටු ගෙවීමේ තීරනයට විරුද්ධ වී නැත.

සෞඛ්‍ය සේවකයින් සහ රෝගීන් කිහිප දෙනෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වාර්තාකරුව සමග කතා කරමින්, ආන්ඩුවේ තීරනයට සහ මහජන සෞඛ්‍ය පද්ධතියට එල්ල වන තර්ජනයට තම විරුද්ධත්වය ප්‍රකාශ කලහ.

කොලඹ ජාතික රෝහලේ උපස්ථායකයෙකු පැවසුවේ, ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සහ ගෙවන වාට්ටුවලට එරෙහිව අරගලයක් සංවිධානය කිරීමට වෘත්තීය සමිති නායකයින් දක්වන අකමැත්ත සම්බන්ධයෙන් කම්කරුවන් කලකිරීමට පත්ව සිටින බවයි. “රජයට සම්බන්ධ සමහර වෘත්තීය සමිති අපේ පඩි වැඩි කරන නිසා පෞද්ගලීකරනය හොඳයි කියන බොරුව පතුරවනවා. මේක බොරුවක්. දැන් තියෙන තත්වේ දරාගන්නවත් බැරි ලෙඩ්ඩු මැරෙන්න දාලා පෞද්ගලීකරනය ආවම අපේ අතිකාල දීමනා, නිවාඩු කප්පාදු කරලා රස්සාව අනතුරේ වැටෙනවා.” උපස්ථායකයා කීවේය.

මහනුවරට නුදුරින් පිහිටි පේරාදෙනියේ සිරිමාවෝ බන්ඩාරනායක ලමා රෝහලේ වෛද්‍යවරියක් පැවසුවේ “මම හිතන්නේ රජය නිදහස් සෞඛ්‍ය සේවාව කඩාකප්පල් කරන්න රජයේ රෝහලේ ගෙවන වාට්ටු දාන්න යනවා කියලා. ඔවුන් මුදල් ගෙවන සේවාව ටිකෙන් ටික ව්‍යාප්ත කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කරනු ඇත. දැනටමත් මගේ වාට්ටුවේ මූලික බෙහෙත්වත් නැහැ. අපේ රෝහල්වල ගෙවන වාට්ටු ඇඳන් වෙන් කරනවාට අපි අනිවාර්යයෙන්ම විරුද්ධ විය යුතුයි.”

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල රෝහලේ හෙදියක් වන අනුෂ්කා මෙසේ අදහස් දැක්වීය: “මෙම ගෙවන වාට්ටු නිර්මානය කිරීමෙන් අහිංසක දුප්පත් ජනතාව අනතුරේ වැටෙනු ඇත. ධනවතුන් සිංගප්පූරුව වැනි රටවලට ගොස් ප්‍රතිකාර ගන්නා අතර, හැකි අය පෞද්ගලික රෝහල්වලට යනවා. මෙම පියවර දුප්පත් ජනතාවට දැඩි ලෙස බලපානු ඇත. සෞඛ්‍ය සේවාව සැමට එක හා සමානව ලැබිය යුතු අයිතිවාසිකමක් වන නමුත් රජයේ රෝහල්වල මුදල් ගෙවා ඇඳන් ලබාගත හැකිවන්නේ නම් එහි අසමනතාවයක් ඇතිවේ.”

යාපනය රෝහලේ හෙදියක් වන පහීරතන් ලෝසවෙඅ වාර්තාකරුවන් සමඟ එකඟ වූයේ ගෙවන වාට්ටු ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයට හානිකර බවත් සෞඛ්‍ය සේවකයින්ගේ රැකියාවලට තර්ජනයක් වන බවත් කියමිනි. “දුප්පත් ජනතාව දැනටමත් ඖෂධ මිලදී ගන්නා අතර පරීක්ෂන සඳහා මුදල් ගෙවමින් සිටිනවා. මේ ගෙවන වාට්ටු ක්‍රමයෙන් ඔවුන් තවදුරටත් පීඩාවට පත් වෙනවා. මම මේකට විරුද්ධයි,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ කරාපිටිය රෝහලේ උපස්ථායිකාවක් ගෙවන වාට්ටු හඳුන්වාදීම කෝපයෙන් හෙලා දුටුවේය: “පුද්ගලීකරන ක්‍රියාවලිය ඉදිරියට ගියහොත් විශාල සමාගම් විසින් රෝහල් අත්පත් කරගෙන ශ්‍රම බලකාය අඩු කරනු ඇත. අපේ රැකියාව අනතුරේ වැටෙනවා” ඔහු පැවසීය.

2023 මැයි මාසයේදී මහනුවර ජාතික රෝහලට ඇතුලත් වීමට බලා සිටින රෝගීන්. [ඡායාරූපය: WSWS]

කරාපිටිය රෝහලේ හෙදියක් මෙසේ පැවසුවාය: “මගේ මූලික මාසික වැටුප රුපියල් 24,500 (ඇමරිකානු ඩොලර් 84.90) වේ. අතිකාල සහ දීමනා එක්ක රුපියල් 46,000ක් වෙනවා නමුත් මගේ නය ගෙවනකොට මට ලැබෙන්නේ රුපියල් 20,000යි. මට ඒකෙන් මගේ වියදම් දරාගන්න බැහැ.

“මෙම රෝහලේ තත්ත්වය ඉතා බරපතලයි - බරපතල රෝග සඳහා ඖෂධ නොමැති අතර පිලිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නොමැත. සමහර ඖෂධ හදිසි මිලදී ගැනීම් ලෙස ෆාමසියෙන් ලබා ගත යුතුය. රෝහල් පෞද්ගලීකරනයට මම සම්පූර්නයෙන්ම විරුද්ධයි. දැනටමත් රෝහල්වල තත්ත්වය මෙසේ නම් නිදහස් සෞඛ්‍ය සේවාව, ගෙවන සේවාවක් වූ විට එය සදහටම නැතිවී යනු ඇත.

“මේ රෝහලේ වෘත්තීය සමිති මේ [පුද්ගලීකරනය] ගැන කට ඇරියේ නැහැ. පසුගිය මැතිවරනයේදී අපේ රෝහලේ ජවිපෙට [ජනතා විමුක්ති පෙරමුනට] හිතවත් විවිධ කන්ඩායම් හැදුනත් මට නම් ජවිපෙ සහ වත්මන් ආන්ඩුව අතර වෙනසක් නැහැ. ඒ හැමෝම කියන්නේ මේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යමු කියලා.

“මම මෙහි ස්වාධීන සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට කැමතියි. [වෘත්තීය සමිති විසින්] කරන ලද මෙම පාවාදීම් ගැන මම කනගාටු වෙමි. මේ දරුනු තත්වය යටතේ පවා කිසිම විරෝධතාවයක් නෑ. මම හිතන්නේ මෙම [ක්‍රියාකාරී කමිටු] වල වැඩකටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

එක් රෝහල් රෝගියෙක් මෙසේ පැවසීය: “මම ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියත්, පෞද්ගලික රසායනාගාරවලින් අවස්ථා කිහිපයකදී සියලුම පරීක්ෂන සිදු කිරීමට සිදු වූ අතර, ඒ සඳහා මට පරීක්ෂන සඳහා රුපියල් 1,100 කට වැඩි මුදලක් වැය වුනා. ඖෂධ ද පිටතින් මිලදී ගැනීමට සිදු වුනා.

“මට එම්ආර්අයි (MRI) ස්කෑන් පරීක්ෂනයක් කිරීමට නියමිතව තිබුනා. රෝහලේ මුලු දකුනු කලාපයටම ඇත්තේ එකම එම්ආර්අයි යන්ත්‍රයක් විතරයි. බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට පවා පෝලිමේ සිටීමට සිදු වුනා. ස්කෑන් එක කරන්න කලින් දවස් තුනක් බඩගින්නේ ඉන්න වුනා. සිව්වැනි දිනයේ ස්කෑන් පරීක්ෂනය සිදු කලත් එය සාර්ථක නොවූ නිසා එය දින 14කට කල් දැමුනා. පෞද්ගලික රෝහලක එම්ආර්අයි ස්කෑන් සඳහා වැයවන මුදල රුපියල් 12,000 ඉක්මවනවා.

“මට ඇහුනා එක වෛද්‍යවරයෙක් රෝගියෙකුට කියනවා ‘අම්මේ මට මොකුත් කරන්න බැහැ. තුවාලයකට බෙහෙත් කරන්න පුලුන් වත් අපිට නැහැ.’ ඒ වගේම ලෙඩ්ඩුන්ව කිසිම ප්‍රතිකාරයක් නොකර, ඔවුන්ගේ රෝග සුව කල නොහැකියි කියා පිටත් කර හරින ආකාරය මම ඕනෑ තරම් දැක තිබෙනවා.”

ලෝසවෙඅ වෙත රෝගියෙක් මෙසේ පැවසුවේය පැවසූයේ “මේ තත්ත්වය නිසා සෞඛ්‍ය සේවකයන් විශාල දුෂ්කරතාවලට මුහුන දෙනවා. පරීක්ෂන සහ බෙහෙත් සඳහා මුදල් ගෙවීමට හෝ පෞද්ගලික පහසුකම් වෙත යාමට නොහැකි රෝගීන්, එක්කෝ මිය යනවා හෝ ප්‍රතිකාර නොගෙන ගෙදර යනවා”

ධනවාදයේ ගැඹුරු වන ආර්ථික අර්බුදයට සෑම රටකම ආන්ඩු ප්‍රතිචාර දක්වා ඇත්තේ මහජන සෞඛ්‍ය සේවයට එල්ල කරන ප්‍රහාර වේගවත් කරමින් සහ පුද්ගලික සෞඛ්‍ය සේවය නිර්දය ලෙස වර්ධනය කිරීමෙනි. මෙය රටවල් ගනනාවක සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ වර්ජන, පෙලපාලි සහ විරෝධතා වල පිපිරීමක් ඇති කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින් මෙම ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරිය යුතු අතර නිදහස් හා නිසි සම්පත් හා කාර්ය මන්ඩල සහිත මහජන සෞඛ්‍ය සේවාවන් ස්ථාපිත කිරීමට අරමුදල් වෙන් කරන ලෙසත්, යහපත් සෞඛ්‍යය සඳහා සියලු දෙනාගේ මූලික අයිතිවාසිකම ඉල්ලා සිටින ලෙසත් ඉල්ලා සිටිය යුතුය. මෙයට අවශ්‍ය වන්නේ මහා සංගත ජනසතු කිරීම, විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බිලියනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම ඇතුලු කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී පිලිවෙත් සඳහා අරගලය, මෙම සම්පත් වැඩකරන මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම ය.

වෘත්තීය සමිතිවලින් ස්වාධීනව රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය මධ්‍යස්ථාන වල ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට කම්කරුවන්ට අවශ්‍ය වන්නේ එබැවිනි. සසප දැනටමත් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවක් (සෞකක්‍රික) පිහිටුවීමට මූලිකත්වය ගෙන ඇති අතර මෙම කමිටුවට බැඳෙන ලෙසත්, ගෙවන වාට්ටු පිහිටුවීමට සහ පුද්ගලීකරනයට එරෙහිව අරගලයට එන ලෙසත් ශ්‍රී ලංකාව පුරා සිටින සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටී.

සෞකක්‍රික හි දුරකථනය සහ වට්ස්ඇප් (WhatsApp) අංකය +94773562327 වේ. සෞසේක්‍රික හා සම්බන්ධ වී මෙම සටන ගෙන යන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading