ඕමාන පොලීසියේ අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් වහා නිදහස් කරනු! සුරක්ෂා නිවාසයන්හි රඳවා සිටින සියලු කම්කරුවන් ශ්‍රී ලංකා රජයේ වියදමින් ආපසු ගෙන්වනු!

තම මව්‍-රටට යලි ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින්, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල උද්ඝෝෂනයක යෙදුනු ශ්‍රී ලංකික කම්කරු කාන්තාවන් පිරිසක්, මැයි 22 දා සිට, ඕමාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටී. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉවසිය නොහැකි දුෂ්කර සේවා කොන්දේසි හේතුවෙන් රැකියා ස්ථානයෙන් පලාවිත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ සුරක්ෂා නිවාසයේ රැකවරනය පතා සිටි කම්කරුවන් පිරිසකි.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකික කාන්තා කම්කරුවන්ගේ විරෝධතාවය -2023 මැයි (ඡායා රූපය: විරෝධතාවයේ යෙදුන ශ්‍රී ලාංකික කාන්තා කම්කරුවන්ගෙනි) img2

තානාපති කාර්යාල නිලධාරීන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (විසේනිකා) නිසි පරිදි ලියා පදිංචි නොවී ඕමානයට පැමින ඇති බැවින් රජයේ වියදමින් ඔවුන් යලි ලංකාවට යැවිය නොහැකි බවයි. එක් කම්කරුවෙකු විසින් ලක්ෂ 18ත් 20ත් අතර මුදලක් හාම්පුතාට සහ රැකියා ඒජන්සියට ගෙවන්නේනම් පමනක්, ඔවුන්ට ලංකාවට යාහැකි බව තානාපති නිලධාරීන් තවදුරටත් පවසා ඇත. මෙම දැවැන්ත මුදල ගෙවාගත නොහැකිව සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කම්කරුවෝ, ශ්‍රී ලංකා රජයේ වියදමින් ඔවුහු යලි මව්‍රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

ලංකාවේ ආන්ඩුව මෙම ඉල්ලීම මාස ගනනාවක් පුරා නොතකා සිටින තතු තුල, එම කම්කරුවන් අතරින් පිරිසක් තම ඉල්ලීම වහාම ඉටු කරන ලෙස ඉල්ලා, මැයි 08 දා සිට, තානාපති කාර්යාලය අසල ඉහත විරෝධතා උද්ඝෝෂනය ආරම්භ කලහ. විරෝධතාකරුවන්ට ආහාරපාන සම්පාදනය කරමින්, ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් විදේශ රටවල කම්කරුවන් ලබාදුන් පුලුල් සහයෝගය හේතුවෙන්, උද්ඝෝෂනය සති දෙකක් පුරා ඉදිරියට ඇදී ගියේය.

තානාපති කාර්යාලය පොලීසිය මැදිහත් කොට කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කලේ එම තතු යටතේ ය. උද්ඝෝෂනයට සහභාගි වූ අය පමනක් නොව, සුරක්ෂා නිවසේ රැඳී සිටි 75 කට අධික කාන්තා කම්කරුවන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුහු සොහාරා සහ මස්කට් පොලීසිවල රඳවා සිටිති. උද්ඝෝනයට සම්බන්ධ වූ ලක්මාලි සුදර්ශනී සොයිසා ට එරෙහිව, තානාපති කාර්යාලයේ නිලධාරිනියකට පහරදුන් බවට ව්‍යාජ චෝදනා ද ඉදිරිපත්කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ඕමාන පාලකයන් සමග එක්ව සංක්‍රමනික කම්කරුවන්ට එරෙහිව ගෙනයන මෙම මර්දනයට එකහෙලා විරුද්ධ වන සංක්‍රමනික කම්කරු ක්‍රියාකාරී කමිටුව (සකක්‍රික), පොලිස් අත්අඩගුවේ සිටින එම කම්කරුවන් වහා නිදහස් කලයුතු බවත්, ඔවුන් සියලුදෙනා ශ්‍රී ලංකා රජයේ වියදමෙන් වහා ලංකාවට ගෙන්වා ගතයුතු බවත් අවධාරනය කර සිටී.

ඕමානයේ රැකියාවේ නියුතු සියලු විදේශීය සහ දේශීය කම්කරුවන් ද, ශ්‍රී ලංකාව ඇතුලු ලොවපුරා අවශේෂ කම්කරුවන් ද, තම පංති සහෝදරියන්ට එරෙහිව ගෙනයන ශ්‍රී ලංකා-ඕමාන ද්වි-පාර්ශ්වීය රාජ්‍ය මර්දනය පරාජය කොට ඔවුන් ආරක්ෂා කිරීම සඳහා වහා පෙරට පැමිනිය යුතුය. ඒ සඳහා විරෝධතා උද්ඝෝෂන, පෙලපාලි සහ රැස්වීම් ඇතුලු කාර්මික ක්‍රියා සංවිධානය කරන ලෙස සකක්‍රික ලොවපුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව යනු, ලෝක ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ඓතිහාසික අර්බුදය ගැඹුරින්ම ප්‍රකාශයට පත්වන රටකි. අන් රටවල පාලකයන් මෙන්ම, ශ්‍රී ලංකාවේ පාලකයන් ද තමා මුහුන දී සිටින අර්බුදයේ සියලු බර, කම්කරු-පීඩිත මහජනතාව මත පටවන තතු තුල, ඔවුන් ලක්ෂ සංඛ්‍යාතව දරිද්‍රතාවට ඇද වැටෙමින් පවතී. මෑතම ලෝක බැංකු වාර්තාවකට අනුව, 2021 සිට 2022 වන විට රටෙහි සමස්ත ජනගහනයෙන් දරිද්‍රතාවට ඇද වැටී ඇති ප්‍රතිශතය දෙගුනයකින්, එනම් සියයට 13 සිට සියයට 25 දක්වා වැඩී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු හරහා මෙම තත්වය වඩාත් දරුනු වීමට නියමිතය. ජීවනෝපායන් මුහුන දී සිටින 'විවිධ අවදානම්' හේතුවෙන් ඉදිරි වසර වලදී දරිද්‍රතා ප්‍රතිශතය සියයට 25 කට ඉහල අගයන්හි රැඳී පවතිනු ඇති බවට ඉහත ලෝක බැංකු වාර්තාව පෙර දකී.

දරාගත නොහැකි මෙම ආර්ථික කොන්දේසි හේතුවෙන්, සාපේක්ෂ වසයෙන් ඉහල වැටුප් ඇති විදේශ රැකියාවන් සොයා යාමට කම්කරුවෝ වඩවඩාත් පෙලඹෙති. මෙහිදී රැකියා ඒජන්සි වලින් අය කෙරෙන දැවැන්ත මුදල් ඔවුන් විසින් සොයාගනු ලබන්නේ බොහෝවිට කනකර හෝ ගේදොර ඉඩකඩම් උගසට තබමිනි, නැතහොත් විකුනා දමමිනි. මෙම ආන්තික දුගීභාවය නිසාම, විසේනිකා හි ලියාපදිංචි වීම සඳහා අයකරන අධික ගාස්තු නොගෙවා සංචාරක වීසා මගින් විදේශ ගතවීමට සමහර කම්කරුවෝ යොමුවෙති.

ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් පාලක පංතීන් ක්‍රියාත්මක කරන රුදුරු කප්පාදු පිලිවෙත් හේතුවෙන් දරිද්‍රතාවේ පතුලටම ඇද දැමූ පීඩිත ජන කොටස් ඉන් කෙසේ හෝ ගොඩ ඒමට දරන දුෂ්කර ප්‍රයත්නයන්හි දී ධනපති නීති-රීති හරස්කොට ඔවුන් දඬු ගැසීම ධනපති ක්‍රමයට ආවේනික ලක්ෂනයකි. රැකියා ස්ථානයන්හි දී මුහුන දීමට සිදුවන අති දුෂ්කර, බොහෝවිට අමානුෂීය, සේවා කොන්දේසි හමුවේ, තානාපති කාර්යාලයට පැමිනි මෙම කම්කරුවන්ට රැකවරනය වෙනුවට ලැබී ඇත්තේ පොලිස් දන්ඩනය යි.

සංක්‍රමනික කම්කරු සහෝදර-සහෝදරියනි, ඔබේ අවශ්‍යතා වෙනුවෙන් විදේශ රටවල නාමිකව හෝ පැවති විසේනිකා කාර්යාල සියල්ල ගෝඨාභය රාජපක්ෂ ආන්ඩු සමයේ වසා දැමුවේ, රට ආර්ථික අර්බුදයක කිඳී සිටින බැවින් ඒවා නඩත්තු කරගෙන යාමට මුදල් නොමැති බව පවසමිනි.

රැකියා ඒජන්සි මාෆියාවේ දැවැන්ත ගසාකෑම් වලින් සහ වංචාවන්ගෙන් පීඩා විඳින සංක්‍රමනික කම්කරුවන්, විශේෂයෙන්ම ගෘහ සේවිකාවන්, මිනිස් ජාවාරම් වලට ද නිරන්තරව ගොදුරු වේ. විසේනිකා පසුගිය වසරේ දෙසැම්බර් මස ප්‍රකාශනයක් නිකුත් කරමින් කියා සිටියේ, මිනිස් වෙලඳාමට සම්බන්ධ පාර්ශ්වයන්ට විරුද්ධව ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. එවන් නෛතික ක්‍රියාමාර්ග මගින් දඬු ගසනු ඇත්තේ දරිද්‍රතාවය නිසා මෙම ජාවාරම් වලට ගොදුරුවන කම්කරුවන්ම මිස ජාවාරම්කරුවන් නොවේ.

ඕමානයේ සහ අනෙක් රටවල මෙලෙස සිරවී සිටින කම්කරුවන් සම්බන්ධයෙන් කොලඹ පාලක පංතියේ බලගතු නොතැකීම අහම්බයක් නොවේ. කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ රැකියා වලින් දොට්ට දැමුනු දහස් සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන් නිසි වාසස්ථානයක් හෝ නොමැතිව අනේකවිධ දුක්පීඩාවන් විඳිද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ඔවුන් ගෙන්වා ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කලේය. අවසානයේදී ඔවුන්ට ලංකාවට පැමිනීමට සිදුවූයේ ගුවන් ගමන් වලට සහ නිරෝධායන ආයතන වලට ඉහල මිලක් ගෙවමිනි. බොහෝ කම්කරුවන්ට, වසර ගනනාවක් කඹුරා උපයාගත් සබ්බ සකලමනාවම මේ සඳහා වියදම් කිරීමට සිදුවිය.

විදේශ ප්‍රේෂන පිපාසයෙන් දැඩිව පෙලෙන වත්මන් වික්‍රමසිංහ ආන්ඩුව විදේශ රැකියා සඳහා කම්කරුවන් වඩවඩාත් දිරි ගන්වන නමුත්, ඔවුන් අසරන වූ අවස්ථාවන්හි දී ඉටුකලයුතු වගකීම් වලින් අත සෝදා ගන්නවා පමනක් නොව, විදේශ රටවල රුදුරු පාලකයන් සමග එක්ව එම කම්කරුවන් දඬු ගැසීමට තරම් සාහසික වෙයි.

ආන්ඩුව ඔවුන්ගේ සුබසාධන ද සුවිසල් පරිමානයෙන් කප්පාදු කරමින් සිටී. විසේනිකා හි ලියාපදිංචි නොවී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් රැකියා ස්ථානවල ගැටලුවලට මුහුනදෙන කම්කරුවන් අප්‍රේල් 1 වැනිදා සිට සුරක්ෂා නිවාසවලට භාර ගැනීම අත්හිටුවීමට ආන්ඩුව තීරනය කොට ඇත. 2022 වසරේ ආරම්භයේ අබුජා හි පිහිටි නයිජීරියාවේ මහකොමසාරිස් කාර්යාලය, ෆ්‍රෑන්ක්ෆර්ට් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය. නිකොසියා හි පිහිටි සයිප්‍රස් කොන්සල් ජෙනරාල් කාර්යාලය ඇතුලු තානාපති කාර්යාල වසා දැමිමද කම්කරුවන්ගේ සුබසාධන කප්පාදුවේ පියවරකි.

සංක්‍රමනික කම්කරුවන්ට එල්ල කෙරෙන මෙම ප්‍රහාරයන්, වික්‍රමසිංහ ආන්ඩුව සමස්ත කම්කරු පංතියට එල්ල කරන ප්‍රහාරයේ කොටසකි. මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය දැවැන්ත පරිමානයෙන් කප්පාදු කරන ආන්ඩුව, ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිත වලට බලපාන පරිදි රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පුද්ගලීකරනය කිරීමට හෝ වසා දැමීමට පියවර ගනිමින් සිටී. දරාගත නොහැකි උද්ධමනයෙන් පීඩා විඳින කම්කරු-පීඩිත මහජනතාව මත පටවා ඇත්තේ ඉමහත් බදු බරකි.

මෙම ප්‍රහාරයන්ගේ ගේ මූලය පවතින්නේ, කෝවිඩ්-19 වසංගතයෙන් සහ රුසියාවට එරෙහි නැටෝ යුද්ධයෙන් ගැඹුරු කෙරුනු ගෝලීය ආර්ථික අර්බුදය තුල බව ද එය ලංකාවට පමනක් සීමා නොවන ජාත්‍යන්තර ප්‍රපංචයක් බව ද සකක්‍රික අවධාරනයෙන් කියා සිටී. රැකියා සහ වැටුප් කප්පාදු කරමින්, වැඩවේගවත් කරමින් සහ මහජන සුබසාධන කපා දමමින්, රටක් රටක් පාසා පාලක පංතීහු තමා මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ සියලු බර කම්කරුවන් මත පටවමින් සිටිති.

මෙම ප්‍රහාරයන්ට එරෙහිව වේගයෙන් වැඩෙන පංති අරගල රැල්ල තලා දැමීම සඳහා ලොවපුරා පාලකයන් ආඥාදායක පාලන රූපයන් වෙත වේගයෙන් මාරු වෙමින් සිටී. ප්‍රති-ත්‍රස්ත පනත ඇතුලු විවිධ අනපනත් ගෙන එමින් ජනාධිපති වික්‍රමසිංහ තහවුරු කර ගනිමින් සිටින්නේ එවන් පාලනයකි. ඔහු, අරගලයට ඇදෙන කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව රුදුරු මර්දනයක් දියත්කර ඇති අතර, ඕමානයේ උද්ඝෝෂනයේ යෙදුනු කම්කරුවන්, එහි පොලීසිය ලවා අත්අඩංගුවට ගැනීම මෙම මර්දනයේම කොටසකි.

මෙම සියලු ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනපති ආන්ඩුවලටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා පමනක් බව සකක්‍රික කියා සිටී. නමුත්, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු ධනපති පක්ෂ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන, කම්කරු පංතිය එම අවබෝධය සහ ක්‍රියා මාර්ගය කරා යොමුවීමෙන් වලකනුවස් විවිධ අපසරනයන්හි යෙදෙති.

ඕමාන පොලීසියේ අත්අඩංගුවේ සිටින කම්කරුවන් 'ආරක්ෂා කිරීමට' යැයි කියමින්, මැයි 17 වන දා, ජවිපෙ කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, එහි නායකයෙකු වන සුනිල් හඳුන්නෙත්ති, කම්කරුවන් මුහුන දී සිටින තත්වය පිලිබඳ වගකීම තානාපති නිලධාරීන්ට පැවරීය. එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කලේය. “තානාපති කාර්යාල තිබෙන්නේ ඒජන්සිකරුවන් කැඳවල සාකච්ඡා කරල ප්‍රශ්න විසඳන්න. ඒ වෙනුවට සේෆ් හවුස් එකේ දාල මාස ගනනක් ඔවුන් තියා ගන්නවා.” තානාපති කාර්යාල ක්‍රියාත්මක වන්නේ, ආන්ඩුවේ නියෝග සහ පිලිවෙත් මත බව හඳුන්නෙත්ති හිතාමතාම වසන් කරයි.

මැයි 8 වැනිදා පැවති මෙවැනිම මාධ්‍ය හමුවකදී හඳුන්නෙත්ති ආන්ඩුවට පුහු තර්ජනයක් කරමින් කියා සිටියේ, කම්කරුවන්ගේ පවුල් එකතුකරගෙන උද්ඝෝෂනයක් ආරම්භ කිරීමට පෙර ඔවුන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි. මෙවැනි බොරු තර්ජන වලින් ආන්ඩුව නම්මාගත හැකි වෙතැයි යන මිත්‍යාවට සංක්‍රමනික සහ අවශේෂ කම්කරුවන් හසු නොවිය යුතුය.

ජවිපෙ විසින් සංක්‍රමනික ශ්‍රී ලාංකික කම්කරුවන් අතර පවත්වාගෙන යන 'එතෙර අපි' සංවිධානය, ධනවාදයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා ඇති ප්‍රධානතම බාධකයකි. සංක්‍රමනික කම්කරුවන්, ධනපති ක්‍රමයේ ආරක්ෂක උපකරන වන එවන් සංවිධාන වලින් දැනුවත්ව බිඳී වෙන්වී, තම අයිතීන් වෙනුවෙන් අව්‍යාජව සටන් වදින තමාගේම ස්වාධීන බල සංස්ථාවන් ලෙස, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට පැමිනිය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ආරම්භකත්වයෙන් ගොඩනගා තිබෙන සංක්‍රමන කම්කරු ක්‍රියාකාරී කමිටුව එබඳු එකකි. එයට සම්බන්ධවීමට තීන්දු ගන්නා ලෙසත්, තමා රැකියාවේ නියුතු වැඩපොලවල සහ ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ආරම්භකත්වය ගන්නා ලෙසත් සියලු විදේශගත කම්කරුවන්ගෙන් සකක්‍රික ඉල්ලා සිටී.

එම කමිටු, පහත ඉල්ලීම් මත සටන් වැදියයුතු යැයි සකක්‍රික යෝජනා කරයි:

*ඕමාන පොලිස් අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික කම්කරු කාන්තාවන් වහා නිදහස් කරනු!

*විදේශයන්හි කොටුවී සිටින සියලුම ශ්‍රී ලාංකික කම්කරුවන් රජයේ වියදමින් වහා ලංකාවට ගෙන්වනු!

*විදේශ කම්කරුවන්ගේ වැටුප්, වැඩ කාලය සහ සේවා තත්වයන් සුරක්ෂිත කරනු!

*කම්කරුවන්ගේ මුදල් ගසාකන ඊනියා රැකියා ඒජන්සි අහෝසි කරනු!

*රාජ්‍ය ආයතන හරහා අවම වියදමෙන් රැකියා සඳහා විදේශගතවීමේ අවස්ථා සුරක්ෂිත කරනු!

*වීසා හෙවත් දේශ සීමා තහංචි ඉවත්කොට කම්කරුවන්ට තමා කැමති රටක රැකියාවක යෙදීමට ඇති අයිතිය තහවුරු කරනු!

මෙම ඉල්ලීම් තහවුරු කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත, ජාත්‍යන්තර කම්කරු පංතිය සමග ඒකාබද්ධව සටන් කිරීමෙන් පමනකි. ඒ සඳහා, සසපට නායකත්වයදෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගා ඇති ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ඉහත කමිටු ඒකාග්‍ර කලයුතු වෙයි.

'විදේශයන්හි සේවයේ නියුතු කම්කරුවන්ට සසප පනිවිඩ' මුහුනු පොත් පිටුවේ පාඨකයෙකු වන්න

දුරකථනයෙන් සම්බන්ධ වන්න +94773562327

Loading