ආන්ඩුවේ පිටුබලය ලබන අන්ත දක්ෂිනාංශික යුක්‍රේන කඩාකප්පල්කාරීන්ගේ වාරන ව්‍යාපාරය පරාජය කරමින්, සසජාතශි ටොරොන්ටෝ හි බලගතු යුද විරෝධී රැස්වීමක් පවත්වයි

[මෙය IYSSE holds powerful anti-war meeting in Toronto, defeating government-backed censorship campaign, far-right Ukrainian disrupters යන මැයෙන් 2023 ජූනි 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, මාස 15 කට පෙර යුක්‍රේනයේ යුද්ධය ඇරඹීමෙන් පසු ටොරොන්ටෝ හි පැවැත් වුනු පලමු යුද විරෝධී රැස්වීම ජූනි 4 වැනි දා ඉරිදා පැවැත්වීය. එම රැස්වීම, යුද විරෝධී ගෝලීය කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා බලගතු කැඳවීමක් නිකුත් කලේ ය. අන්ත දක්ෂිනාංශික යුක්‍රේන කැනේඩියානු කොංග්‍රසය (යූසීසී) විසින් මෙහෙයවන ලද සහ ඔන්ටාරියෝ හි කම්කරු ඇමති මොන්ටේ මැක්නෝටන් විසින් රාජ්‍ය පිටුබලය දුන් රැස්වීම වාරනය කරවීමේ උද්ඝෝෂනයක් ද, එය කඩාකප්පල් කිරීමට සටන්කාමී යුක්‍රේන ජාතිකවාදීන්ගේ උත්සාහයන් ද නොතකා රැස්වීම පැවැත් වුනි.

කීත් ජෝන්ස්, ජූනි 4 ටොරොන්ටෝහි යුද විරෝධී රැස්වීම අමතමින්

වාරන ව්‍යාපාරයට එරෙහි පෙත්සමකට ලොව පුරා පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් කර ඇති අතර පින්ක් ෆ්ලොයිඩ් සංගීත කන්ඩායමේ හිටපු නායක රොජර් වෝටර්ස් රැස්වීම පැවැත්වීමට සසජාතශිට ඇති අයිතියට සහයෝගය දක්වමින් ට්විටර් පනිවුඩයක් නිකුත් කලේ ය.

රුසියාවේ සහ යුක්‍රේනයේ බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවලුන් සංවිධානය ද යුද විරෝධී රැස්වීමට සුභ පැතුම් එවමින් තම එකමුතුව සහ සහයෝගීතාවය ප්‍රකාශ කලේ ය. “යුද්ධයේදී ලේ වැගිරවීමටත්, අතීතයේ විප්ලවවාදී අරගල මගින් දිනාගත් සියලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දීමටත් අධිරාජ්‍යවාදයට අවශ්‍ය නම්, ඊට ප්‍රතිරෝධය දැක්වීමට අපි බැඳී සිටිමු,” යි එම සංවිධානය ප්‍රකාශ කලේ ය. 'එවැනි ප්‍රතිරෝධයකට කම්කරු පන්තියේ පුලුල් ජාත්‍යන්තර අරගලයක් දියත් කිරීම සඳහා හොඳම ගාමකය නිර්මානය කල හැක.'

රැස්වීම පැවැත්වුනේ, ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයට මදක් ඔබ්බෙන් පිහිටි ටොරොන්ටෝ මහජන පුස්තකාලයේ ලිලියන් එච්. ස්මිත් කොටසේ ය. එය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) තරුන ව්‍යාපාරය වන සසජාතශි සහ එහි සමාජවාදී සමානතා පක්ෂ විසින් සත්කාරකත්වය දරන ජාත්‍යන්තර රැස්වීම් මාලාවක නවත ම රැස්වීම විය. එය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි විනාශකාරී එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ ඓතිහාසික හා දේශපාලන සන්දර්භය පිලිබඳවත්, ගැටුමට තිත තැබීමට කම්කරු පන්තිය තුල ව්‍යාපාරයක් ගොඩනගන්නේ කෙසේද යන්න ගැනත් සාකච්ඡා කිරීමට අරමුනු කලේ ය. මෙම සාකච්ඡාවේ කේන්ද්‍රීය කාරනය වූයේ, රුසියාව කැබලි කිරීම හා එහි ස්වභාවික සම්පත් කොල්ලකෑම ඉලක්ක කරගත් වත්මන් අධිරාජ්‍යවාදී ප්‍රහාරය සඳහා කොන්දේසි නිර්මානය කල ස්ටැලින්වාදී සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සහ ධනවාදය පුනස්ථාපනය කිරීමේ විනාශකාරී ප්‍රතිවිපාක වගවිභාග කිරීමයි.

රැස්වීම් මාලාවේ පෙර රැස්වීම් දෙකක්, කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ මොන්ට්‍රියල් හි දී සහ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ වෝටර්ලූ හි දී පැවැත්විනි. වෝටර්ලූ රැස්වීම අවලංගු කරන ලෙස වෝටර්ලූ විශ්ව විද්‍යාලයට බලපෑම් කිරීමට යූසීසී විසින් දරන ලද උත්සාහය, සසජාතශි විසින් සාර්ථක ව මැඩ පවත්වන ලදී. ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි සහ නවසීලන්තයේ වෙලින්ටන් හි පැවති යුද විරෝධී සසජාතශි රැස්වීම් අවලංගු කිරීමට දක්ෂිනාංශික කොටස් උත්සාහ කල මුත් එය ද එසේ ම අසාර්ථක විය.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

ටොරොන්ටෝහි රැස්වීමට සහභාගී වූ යුක්‍රේන ජාතිකවාදීන්ගේ කන්ඩායමක් පුස්තකාලය විසින් නියම කර ඇති මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින්, කෑගසමින් කථිකයන්ට නැවත නැවතත් බාධා කල අතර, අනෙකුත් සහභාගිවන්නන් රූගත කිරීම මගින් බිය ගැන්වීමට උත්සාහ කලේ ය. ප්‍රශ්නෝත්තර කාලසීමාව තුල ඇතැමුන්, දෙවන ලෝක යුද්ධ සමයේ දී නාසි සහයෝගිතාකරුවන් විසින් ප්‍රචලිත කරන ලද, “ස්ලාවා යුක්‍රේනි, හීරයාම් ස්ලාවා!” (යුක්‍රේනයට කීර්තිය අත්වේවා, වීරයන්ට කීර්තිය අත්වේවා) යනුවෙන් ෆැසිස්ට් සටන් පාඨ කියමින් රැස්වීමෙන් ඝෝෂාකාරී ව පිට ව ගියහ.

රැස්වීම හඳුන්වා දෙමින් සසජාතශි සාමාජික ඩයිලන් ලුබාඕ සඳහන් කලේ, රැස්වීම අවලංගු කිරීමේ ව්‍යාපාරය පෙලඹ වූයේ, ඕනෑ ම විවෘත විවේචනයක් සහ ඔවුන්ගේ යුද ගැති ආඛ්‍යානය පිලිබඳ විමර්ශනයක්, නැටෝව රුසියාවට එරෙහිව නාමික ව හැර අන් සියලු ආකාර වලින් යුද්ධයක් කරන්නේ යුක්‍රේනය තුල 'ප්‍රජාතන්ත්‍රවාදය' සහ 'ස්වෛරීත්වය' ආරක්ෂා කිරීම සඳහා බවට වූ බොරුව පුපුරවා හරිනු ඇතැයි යන බිය නිසා බවයි. වෘත්තීය සමිති අනුග්‍රහය ලබන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එන්ඩීපී) ඇතුලු ව කැනේඩියානු රජය තුලින් සහ සෑම සංස්ථාපිත දේශපාලන පක්ෂයකින් ම ලැබෙන පිටුබලය නොතකා, පුලුල් ජනතාව අතර ඔවුන්ට ඇත්තේ අඩු සහයෝගයක් ය යන යථාර්ථය ද එය ඉක්මනින් හෙලිදරව් කරනු ඇත.

ප්‍රේක්ෂකාගාරයේ සිටි සෑම සාමාජිකයෙකුට ම උසස් තත්ත්වයේ මුහුනු ආවරනයක් ලබා දීම, අතේ ගෙන යා හැකි වායු පෙරීමේ උපාංග සහ වාතය විෂබීජහරනය කිරීම සඳහා ෆාර්-යූවීසී ලාම්පුවක් ඇතුලුව, රැස්වීමට සහභාගී වූවන් ආරක්ෂා කිරීම සඳහා සසජාතශි ගෙන ඇති කෝවිඩ්-19 පූර්වාරක්ෂාවන් ලුබාඕ විසින් ගෙනහැර දැක්වී ය. වසංගතය අවසන් වී ඇති බවට මාධ්‍ය සහ කැනේඩියානු ආන්ඩුව අවධාරනය කර තිබිය දී ත්, වෛරසය සෑම දිනක ම රට පුරා දහස් ගනනක් සහ ලොව පුරා ලක්ෂ ගනනක් රෝගාතුර කරයි. ආන්ඩුවේ සෑම තරාතිරමක ම අනුගමනය කරන “ජීවිතයට පෙර ලාභය” ප්‍රතිපත්තිය හේතුවෙන්, 2020 සිට කැනේඩියානුවන් 52,000 කට වඩා නිකරුනේ මරා දමා ඇති කෝවිඩ්-19 දැන් කැනඩාවේ මරනවලට තුන්වන ප්‍රධාන හේතුවයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (කැනඩාවේ) ජාතික ලේකම් කීත් ජෝන්ස් ප්‍රධාන දේශනය පැවැත්වීය. ඔහු ආරම්භ කලේ, යුක්‍රේනියානුවන්ට සහ රුසියානුවන්ට පමනක් නොව මුලු ලෝකයට ම අත්වන යුද්ධයේ බිහිසුනු ප්‍රතිවිපාක ගැන සටහන් කිරීමෙනි. 'යුද්ධය සහ නැටෝව විසින් පනවන ලද ආර්ථික සම්බාධක ලොව පුරා ආර්ථික ජීවිතය කඩාකප්පල් කර ඇත, යුරෝපය ද ඇතුලුව මිලියන සිය ගනනක් දරිද්‍රතාවයට පත් කර ඇත, ඌන සංවර්ධිත රටවල ජනතාව සාගින්නෙන් හා ඊටත් වඩා නරක තත්වයන්ගෙන් තර්ජනයට ලක් කර ඇත.'

රුසියාවට එරෙහි ව ප්‍රහාරයක් දියත් කරන ලෙස අධිරාජ්‍යවාදී බලවතුන් කියෙව්ට බලපෑම් කරන විට සහ එක්සත් ජනපදය හා එහි සහචරයින් රුසියාවට එරෙහි ප්‍රහාරයට යාමට අධිරාජ්‍යවාදී බලවතුන් විසින් යුද ටැංකි ඇතුලු දියුනු ආයුධ වලින් සහ ඉක්මනින්ම F-16 ප්‍රහාරක ජෙට් යානා වලින් රට පුරවා ඇති තත්වයක් තුල, යුක්‍රේනයේ දැවැන්ත මිලිටරි ගොඩ නැගීම ඔහු සමාලෝචනය කලේ ය. 'රුසියාව සමග මෙම යුද්ධය දියත් කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ නැටෝවේ සමස්ත කීර්තිය පරදුවට තබා ඇති බයිඩන් පරිපාලනයට සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ඔවුන්ගේ මිලිටරි හා භූ දේශපාලනික අරමුනු අසාර්ථක වීම ඉවසිය නොහැක.'

සසප සහ සසජාතශි “මෙම ගැටුමේ දී දෙපැත්තේ ම පාර්ශ්වකරුවන්” නොවන බව ජෝන්ස් පැහැදිලි කලේ ය, “ධවල මන්දිරයේ හෝ වේවා ක්‍රෙම්ලිනයේ හෝ වේවා, අපි මෙම යුද්ධයට වගකිව යුතු සියල්ලන් ගේ ම අසමසම විරුද්ධවාදීන් වෙමු.” සසජාතශි අනුග්‍රහය දක්වන රැස්වීම් මාලාවේ අරමුන වන්නේ යුද්ධය අවසන් කිරීමට ලොව පුරා වැඩ කරන ජනතාව බලමුලු ගැන්වීමයි.

'සැබෑ මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා, දේශපාලන සංස්ථාපිතයේ සහ සංගත මාධ්‍යවල නොනවතින ප්‍රචාරක ප්‍රහාරයට විරුද්ධ වීම අවශ්‍ය වේ,' ජෝන්ස් සඳහන් කලේ ය. 'මෙම රැස්වීම අවලංගු කිරීමේ ඔන්ටාරියෝ ආන්ඩුව සහාය දක්වන ව්‍යාපාරයේ දී මෙන්, දේශපාලන වාරනයේ වඩ වඩාත් ආක්‍රමනශීලී ක්‍රියාවන් සමග මෙම බොරු සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරන ව්‍යාපාරය කැනඩාවේ ගෙල සිර කරගෙන සිටියි.' මාර්තු මාසයේ දී විදේශ කටයුතු ඇමතිනි මෙලනි ජොලි විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල පරිදි, මොස්කව්හි 'තන්ත්‍ර-මාරු කිරීමේ' ඉලක්කයක් ඇති ව, කැනේඩියානු අධිරාජ්‍යවාදය යුක්‍රේනයේ යුද්ධය සූදානම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බව ඔහු සඳහන් කලේ ය.

රැස්වීම් මාලාවේ අනෙකුත් කථිකයන් මෙන් ම, ජෝන්ස් ද යුක්‍රේනයේ යුද්ධයේ ඓතිහාසික පසුබිම ගෙනහැර දැක්වී ය. “යුද්ධය යනු අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයකි: එනම් ස්ටැලින්වාදී නිලධරය විසින් ධනවාදයේ විනාශකාරී පුනස්ථාපනය, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ එයට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය වන ගෝලීය ආධිපත්‍යය සඳහා වන ධාවනයයි. තම ගෝලීය තරඟකරුවන්ට සාපේක්ෂ ව ඇමරිකාවේ ආර්ථික බලය පහත වැටෙමින් තිබෙන බැවින් ඇමරිකාව එය සමනය කිරීමට තම මිලිටරි බලය භාවිතා කිරීමට උත්සාහ කරයි,” යැයි ඔහු පැවසී ය.

“පුටින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම ප්‍රතිගාමී අපරාධයක් බවට සැකයක් නැත. නමුත් ගැටුමක මූලාරම්භය සහ ස්වභාවය තේරුම් ගැනීම යනු, පලමු වෙඩි තැබීම කලේ කවුරුන්ද යන්න තීරනය කිරීම නොවේ,” යැයි ඔහු පැහැදිලි කලේ ය. 1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසු, නැටෝව රුසියාවේ බටහිර දේශසීමාව දක්වා ම නාටකාකාර ලෙස ව්‍යාප්ත වී ඇති අතර, එක්සත් ජනපදය ලොව පුරා නීති විරෝධී යුද්ධ මාලාවක් දියත් කර ඇති ආකාරය ජෝන්ස් සමාලෝචනය කලේ ය. මෙම ඉතිහාසය සාකච්ඡා කිරීමට අන්ත දක්ෂිනාංශික යුක්‍රේන ජාතිකවාදීන්ගේ සහ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අනුග්‍රාහකයන්ගේ කටුක සතුරුකම ජෝන්ස් සඳහන් කලේ ය. මන්ද, එවන් සාකච්ඡාවක් ගැටුම “පුටින්ගේ අප්‍රකෝපිත යුද්ධය” ලෙස විස්තර කරන ඔවුන්ගේ යුද ගැති ආඛ්‍යානය මුලුමනින් ම කඩා බිඳ දමන බැවිනි.

සසජාතශි හි ටොරොන්ටෝ යුද විරෝධී රැස්වීම නවතා දැමීමට සහ කඩාකප්පල් කිරීමට උත්සාහ කල කලහකාරී, අන්ත දක්ෂිනාංශික නායකත්වයෙන් යුත් යුක්‍රේන ජාතිකවාදීන්ගෙන් කොටසක්

යුක්‍රේන අන්ත දක්ෂිනාංශික ජාතිකවාදීන්, විශේෂයෙන්ම යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ සහ 14 වැනි වෆෙන් එස්එස් අංශයේ ප්‍රවීනයන් සමඟ දශක ගනනාවක් තිස්සේ පැවති සන්ධානය හරහා යුක්‍රේනයේ යුද්ධය දේශපාලනික ව හා මතවාදී ව සූදානම් කිරීමේ කැනේඩියානු රාජ්‍යයේ භූමිකාව පිලිබඳ ප්‍රශ්නය වෙත ජෝන්ස් යොමු වූ විට, රැස්ව සිටි යූසීසී සමග පෙලගැසී සිටි ප්‍රකෝපකාරීහු රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් කෑගැසීම් සිදුකලහ. ජෝන්ස් ඔවුන් වෙත අවධානය යොමු කලේ, යුදෙවු සමූලඝාතනය (Holocaust) සිදු කිරීමේ දී හිට්ලර්ගේ හෙංචයියන් වූ බලවේගයන් ප්‍රවර්ධනය කිරීම පිලිබඳ ඔවුන්ගේ සීතල ආකල්පය පිලිකුලෙන් යුතු ව හෙලා දකිමිනි.

යුද්ධයට එරෙහි මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී කැනඩාව, යුක්‍රේනය, රුසියාව සහ සෑම රටක ම කම්කරුවන්ගේ හා තරුනයන්ගේ එකමුතුකම සඳහා ආයාචනා කරමින් ඔහු සිය ප්‍රකාශය අවසන් කලේ ය. “එවැනි ව්‍යාපාරයක් මුල් බැස ගෙන නායකත්වය දිය යුත්තේ—මාක්ස් නිවැරදි ව සඳහන් කල පරිදි, සමාජයේ ධනය නිපදවන පන්තිය සහ ජාත්‍යන්තර පන්තියක් වන කම්කරු පන්තිය තුල ය. එය ජාත්‍යන්තර පන්තියක් වන අතර, ඔවුන්ගේ අවශ්‍යතා රැඳෙන්නේ එක් ජාතික ප්‍රතිවාදී ධනපති කල්ලියකට තවත් වාසි ලබා ගැනීම සඳහා සහාය දීමට නොව, සියලු ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස සුරක්ෂිත කිරීමට ධනවාදය පෙරලා දැමීම සහ වඩා දියුනු ගෝලීය සමාජයක් සඳහා—එනම් සමාජවාදය සඳහා ය.”

ප්‍රශ්නෝත්තර කාලය අතරතුර, යුක්‍රේනයේ යුද්ධය අවසන් කල හැකි බවට ජෝන්ස් විසින් ගෙන හැර දක්වන ලද ඉදිරිදර්ශනය පිලිබඳ ව තරුන ප්‍රේක්ෂක සාමාජිකාවක් ඇගේ සැකය මතු කලා ය. “අපට තෝරා ගත යුත්තේ බලවේග දෙකක් පමනක් බව අපට කියනවා: එනම් නැටෝව සහ එහි යුක්‍රේන ඒජන්තයින් හෝ රුසියාව යි. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා,” යැයි ජෝන්ස් පිලිතුරු දුන්නේ ය. “අපි බලන්නේ යුද සිතියම දෙස නොව පන්ති අරගලයේ සිතියම දෙසයි. තත්වයට මැදිහත් වීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය මත අපි පදනම් වෙනවා. මෙය මනෝරාජික ඉදිරිදර්ශනයක් නොවේ; ඇත්ත වශයෙන් ම පලමු ලෝක යුද්ධය අවසන් වූ ආකාරය මෙයයි.”

බොල්ෂෙවික්වරුන්ගේ නායකත්වය යටතේ කම්කරු පන්තිය බලයට ගෙන ආ 1917 රුසියානු විප්ලවය, සෝවියට් යුක්‍රේනයක් නිර්මානය කිරීමට සහ සාර්වාදී ආඥාදායකත්වය යටතේ මීට පෙර නිර්දය ලෙස පීඩාවට පත් වූ බොහෝ ජනයා අතර ස්වේච්ඡා සහයෝගීතාවයට පදනම දැමූ ආකාරය ජෝන්ස් තවදුරටත් පැහැදිලි කලේ ය.

ලෝසවෙඅ ලේඛක ජේම්ස් ක්ලේටන්, ඔහු සම-කර්තෘත්වය දරන “කැනේඩියානු අධිරාජ්‍යවාදයේ ෆැසිස්ට් මිත්‍රයෝ” යන ලිපි මාලාව ගැන කතා කිරීමටත්, යුක්‍රේනය සඳහා ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ වැදගත්කම පැහැදිලි කිරීමටත් උත්සාහ කල විට, අන්ත දක්ෂිනාංශික යුක්‍රේන ජාතිකවාදී ප්‍රකෝපකාරීන්ගේ කන්ඩායම ඝෝෂාකාරී ලෙස කෑගැසූහ; ඕයූඑන් හි ෆැසිස්ට් සටන් පාඨ කියමින්, මුලු සාකච්ඡාව ම නවතා දැමීමට උත්සාහ කලහ.

සසජාතශි, ටොරොන්ටෝ රැස්වීම අවලංගු කිරීමට යුක්‍රේන ජාතිකවාදීන් අසමත් වීම සහ යුද විරෝධී දේශනය කඩාකප්පල් කිරීමට නොහැකි වීමත්, රාජ්‍ය යාන්ත්‍රනයෙන් සහ දිනපතා මාධ්‍යවල ප්‍රචාරක ප්‍රහාරයෙන් ඔවුන්ට ලැබෙන නොමඳ සහයෝගයත් නොතකා, ඔවුන්ගේ සාපේක්ෂ හුදකලාව හා කම්කරුවන් හා තරුනයන්ගේ පුලුල් ස්ථරයන් අතර සැඟවුනු යුද විරෝධී හැඟීම් ගැන කථා කලේ ය.

කැනඩාවේ විශාලත ම නගරය සහ හිටපු යූසීසී සභාපති පෝල් ග්‍රෝඩ් විසින් නායකත්වය දෙන ලද යුක්‍රේන ලෝක සම්මේලනයේ මූලස්ථානය වන ටොරොන්ටෝ හි, සසජාතශි රැස්වීම නවතා දැමීමේ උත්සාහයේ දී ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වූයේ 40 කට වඩා අඩු පිරිසකි. මේ අතර, තවත් සහභාගිවූවන් 40 ක් ජෝන්ස්ගේ දේශනය ඇසීමට උනන්දු වූ අතර, යුක්‍රේනයේ යුද්ධය ආරම්භ වූ දා සිට ටොරොන්ටෝහි යුද විරෝධී රැස්වීමක් පැවැත්වූ එක ම දේශපාලන සංවිධානය සසජාතශි වීම නිසා බොහෝ දෙනෙක් එයට සිය කෘතඥතාව පල කලහ.

Loading