රුසියාවේ සහ යුක්‍රේනයේ බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල ටොරොන්ටෝ යුද විරෝධී රැලියට සහය පල කරයි

(මෙය Young Guard of Bolshevik Leninists in Russia and Ukraine issue statement in support of Toronto anti-war meeting මැයෙන් 2023 ජුනි 6 වන දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

මෙම සහෝදරත්වයේ පනිවිඩය සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) කැනඩාවේ ටොරොන්ටෝ හි පැවැත්වූ යුද විරෝධී රැස්වීමට යවන ලද්දකි. රැස්වීම පැවැත්වූයේ එය අවලංගු කිරීමේ එල්ලයෙන් ඔන්ටාරියෝ ආන්ඩුවේ සහය සහිතව අන්ත දක්ෂිනාංශික යුක්‍රේනියානු කැනඩියානු කොංග්‍රසය ගෙන ගිය රුදුරු උද්ඝෝෂනය මධ්‍යයේය.

***

රැස්වීමට සහභාගීවන හිතවතුනි,

අධිරාජ්‍යවාදය සහ යුද්ධයටත් අපගේ අරගලය යටපත් කරනුවස් අන්ත දක්ෂිනාංශය එල්ල කරන ප්‍රහාරයටත් එරෙහිව ඔබ ගෙනයන අරගලයට අපි සහෝදරත්වය සහ සහයෝගය පලකරන්නෙමු. අප ව්‍යාපාරය පවරාගෙන ඇති ආකාරයේ සුවිසල් කර්තව්‍යයකදි බරපතල බාධකයන්ට අනිවාර්යයෙන්ම මුහුන දීමට සිදුවනු ඇත. අධිරාජ්‍යවාදය යුද්ධයේ ලේ වැගිරීමට අධිෂ්ඨානයෙන් සිටින විට සහ අතීත විප්ලවවාදී අරගල වලින් දිනාගත් සියළු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට පහර එල්ල කරන විට ඊට ප්‍රතිරෝධය දැක්වීමට අපි බැඳී සිටින්නෙමු. එවන් ප්‍රතිරෝධයකට කම්කරු පන්තියේ පලල් ජාත්‍යන්තර අරගලයක් ආරම්භ කිරීම සඳහා ප්‍රශස්තම ගාමකය නිර්මානය කල හැක.

මෙය ධනපති ප්‍රභූවෙන් ස්වාධීනවූ දේශපාලන ආස්ථානයක් ඉදිරිපත් කරන අපගේ රැස්වීම් කඩා කප්පල් කිරීමට යුක්‍රේනියානු ධනපති ජාතිකවාදීන් සහ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් මැදිහත්වූ පලමු අවස්ථාව නොවේ. නමුත් ඔවුන් අපගේ රැස්වීම් කඩාකප්පල් කිරීමට උත්සාහ දැරූ සෑම අවස්ථාවකම, සසජාතශි ඔවුන්ටම ගැලපෙන බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කලේය. එය අපගේ ව්‍යාපාරයේ බලගතු ශක්තිය පිලිබඳ සංකේතයකි. අද අප අන්ත දක්ශිනාංශයට එවන් ප්‍රතිරෝධයක් දැක්වීමට සමත් වන්නේ නම්, එය වඩවඩාත් මහජන ව්‍යාපාරයක් බවට පත් වන තතු යටතේ විදහා පානු ඇත්තේ කුමක්ද? මෙහි පිලිතුර අපගේ දේශපාලනික විරුද්ධවාදීන් ඉමහත් භීතියට පත් කරයි.

බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය විසින් එහි 5 වන සංවත්සරයට බුහුමන් දැක්වීම සඳහා නිර්මානය කරන ලද ග්‍රැෆික් චිත්‍රයක්. [ඡායාරූපය: ලෝසවෙඅ]

රුසියාවේ සහ යුක්‍රේනයේ, වරප්‍රසාදිත සුළුතර, සුවිශේෂී ස්ථරය, කම්කරු පන්තිය ජාතික රාජ්‍යයේ රාමුවට ගැට ගැසීමට උත්සාහ දරති. යුක්‍රේන ජාතිකවාදීන් සම්බන්ධයෙන් ගත් කල මෙය පුටින් තන්ත්‍රයට සහ රුසියාවට එරෙහි වක්‍ර යුද්ධයට සහයෝගය දැක්වීමේ රූපය ගනී. රුසියානු ජාතිකවාදීන් සම්බන්ධයෙන් ගත් කල මෙය අත්කර ගන්නේ, ඔවුන් “අධිරාජ්‍ය විරෝධී” යැයි කියනු ලබන පුටින් ට සහය දැක්වීමේ රූපය යි. නියත වශයෙන්ම විෂමජාතීය වන මෙම ජාතිකවාදීන් අතර ඒ හෝ මේ නොඑකඟතාවයන් තිබුනද, එය කම්කරු පන්තියේ ස්වාධීන සහ ජාත්‍යන්තර ව්‍යාපාරයකට ඔවුන් දක්වන එක හා සමාන සතුරුකමෙන් ඔවුන් වලක්වා නැත.

මෙම “මහත්වරුන්ට” අප සඳහා දීමට ඇත්තේ කුමක්ද? අපගේ අභිප්‍රාය ලාභයේ ධනපති යන්ත්‍රයට සහ මරනයට යොමු කිරීමයි. නැඟෙනහිර යුරෝපයේ මතුව ඇති යුද්ධයේ ප්‍රශ්නය විසඳීමට ඔවුන්ට ඉදිරිපත් කල හැක්කේ කුමක්ද? ස්වකීය ධනේශ්වර රාජ්‍යයන්ගේ ආයතනයට සහාය දීමයි. මෙය, අදදින ලෝක ආර්ථික තත්වයේ සමස්ත සාරය මගින් නිශ්ප්‍රභ කරන ප්‍රතිගාමී දේශපාලන පිලිවෙතකි. ඔවුන්ගේ ආස්ථානයන් අනුගමනය කිරීම තුඩු දිය හැක්කේ, සමාජය පෙරකල සාක්ෂාත් කරගත් සියළු දෑ විනාශභාග් කිරීමකට පමනි. මෙම විනාශභාග් කිරීමෙහි පලමු පියවර මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් මැඩලීම තුල ප්‍රකාශයට පත්වේ.

අපි බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල ගොඩනගන විට විවිධ අපවාදමය චෝදනා වලට මුහුන දෙන්නෙමු. රුසියානු ජාතිකවාදීන් අතර සිටින අපගේ විරුද්ධවාදීහු අධිරාජ්‍යවාදය ආරක්ෂා කරන බවට අපට චෝදනා කලහ. යුක්‍රේනියානු ජාතිකාවාදීන් අතර සිටින අපගේ විරුද්ධවාදීහූ අප “පුටින් තන්ත්‍රයට සහය දෙන්නන්,” “රාශිස්ට්ස්” [යුක්‍රේනය තුල “රුසියානු හිතවාදීන්” හැඳින්වීමට යොදාගන්නා අපහාසාත්මක යෙදුමක්] ලෙස චෝදනා කරමින්, අනෙකුත් අපවාදාත්මක ලේබල් අපට අලවති. අපගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ සාමාන්‍ය ආයුධය බවට පත්ව ඇත්තේ අපවාදයන් ය. ඔවුන්ගේ “දුෂ්ට ධනවාදයේ සහ යහපත් ධනවාදයේ” ලෝකයට අප නොගැලපෙන බව හඳුනාගෙන, ධනේශ්වර ප්‍රභූන් අතර ගැටුමේ පටු සීමාවන් තුල අපව තැබීමට ඔවුහු මෙම ආයුධය ඉදිරිපත් කරති.

ඔවුන්ට, ජාත්‍යන්තරවාදය සඳහා අපගේ කැප වීම “යතාර්ථය” සමග කිසිසේත්ම නොපෑහෙන වෙනත් ලෝකයක පවතින්නක් වැනිය. කිසිදා වෙනස් නොවන පෞද්ගලික දේපල, ඉහල ලාභ, අසමානතාවය, දුප්පත්කම, සදාකාලික යුද්ධයන් සහ වසංගත වලින් සමන්චිත ඔවුන්ගේ “යතාර්ථයට” පිටින් අපගේ ව්‍යාපාරය පිහිටා ඇතැයි යන්නට ඔවුන් තදබල ලෙස අකමැතිය. ඔවුන්ගේ “යතාර්ථය” පවත්වාගෙන යාමට රැස්වීම් මත සරල තහනම් පැනවීමේ සිට කම්කරු පන්තියේ ජීවන කොන්දේසි වලට එරෙහිව සැබෑ යුද්ධයන් දක්වා මුග්ධ පියවරයන් ගැනීමට පවා කැපවී සිටිති. සෑම යුද්ධයකටම වන්දි ගෙවිය යුතුය, නමුත් අපගේ ඉලක්කය විය යුත්තේ මේ වතාවේ කම්කරු පන්තියට නොව ධනවාදයට වන්දි ගෙවීමට සලස්වා ධනවාදය සදහටම අහෝසි කිරීමයි.

අපගේ ව්‍යාපාරය උත්සාහ කරන්නේ ලේ වැකි අරගල තුලින් දැඩි ලෙස දිනාගත් ඉතා වැදගත් සත්‍යයක් කම්කරු පන්තිය තුලට කාවැද්දවීම සඳහාය: අධිරාජ්‍යවාදී යුගයේ දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, ලොවපුරා පැතුරුනු සෞඛ්‍ය සම්පන්න සමාජවාදී ව්‍යාපාරයකින් තොරව සිදු කල නොහැක. එම ව්‍යාපාරය පාදක විය යුත්තේ, ධනපති රාජ්‍යයේ, වෘත්තීය සමිති නිලධරයේ සහ සංගත අවශ්‍යතා සඳහා නොව කම්කරු පන්තියේ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම මත යි. කම්කරු පන්තියේ ශක්තිය රඳා පවතින්නේ හුදෙක් ඔවුන්ගේ ඒකාබද්ධතාවය මත පමනක් නොව ධනවාදයට සහ යුද්ධයට එරෙහි අරගලය තුල තමන්ගේ භූමිකාව තේරුම් ගැනීම තුලය.

ව්ලැම්ඩීර් ලෙනින් ගෙන් උපුටා දැක්වුවහොත්, 'නිර්ධන පංතියට සේවය කිරීමට කැමති ඕනෑම අයෙකු 'තමාගේම' රටේ සහ 'විදේශීය' රටවල ධනේශ්වර ජාතිකවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයක් තුල සියලු රටවල කම්කරුවන් එක්සත් කිරීමට සටන් කල යුතුය.'

සුබ පැතුම් සහිතව,

යුක්‍රේනයේ සහ රුසියාවේ බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල

Loading