මෙය Over 115 million across US and Canada choked by smoke as massive wildfires burn out of control මැයෙන් 2023 ජුනි 7 වන දා පල කල ඉදිරි දර්ශනයේ පරිවර්තනය යි.)
උතුරු ක්විබෙක්හි ඇවිලෙන දැවැන්ත ලැව්ගිනිවලින් හටගත් හුස්ම හිරවන දුමාරය ටෙක්සාස් සහ ෆ්ලොරිඩා දක්වා දකුනට ගමන් කිරීමත් සමඟ නැගෙනහිර එක්සත් ජනපදය සහ කැනඩාව පුරා මිලියන 115 කට අධික ජනතාවක් බදාදා නිකුත් කල ආන්තික වායු තත්ත්ව අනතුරු ඇඟවීම් යටතේ සිටී.
ධනපති ක්‍රමයෙන් -ප්‍රේරිත දේශගුනික විපර්යාසයන් හේතුවෙන් හටගනු ලබන අතිශය වියලි තත්වයන් සහ වාර්තාගත උෂ්නත්වය හේතුවෙන් මැයි මස මුල සිට කැනඩාව පුරා දැවැන්ත ලැව්ගිනි පුපුරා යාමට හේතු වී තිබේ. දැන් මෙය විශාල පරිමානයේ මහජන සෞඛ්‍ය අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත.
ක්විබෙක්හි ඇති වූ ලැව්ගිනි හේතුවෙන් 11,400 කට වැඩි පිරිසකට තම නිවෙස්වලින් පලා යාමට සිදු වී ඇති අතර, චිබෝගමවු හි පදිංචිකරුවන් 7,500ක් ඇතුලුව සමස්ත ප්රජාවක්ම ඉවත් කර ඇත. හෙක්ටයාර 460,000කට වැඩි ප්‍රමානයක් දැනටමත් දැවී ගොස් ඇති අතර, වසර 30කට වඩා පැරනි ලැව්ගිනි වාර්තාවන් බිඳ දමමින්, මෙහෙයුම් තවත් සති ගනනාවක් ඉදිරියට ඇදී යනු ඇත.
දුමාරයෙන් වඩාත් බලපෑමට ලක් වූ ප්‍රදේශ අතර කැනඩාවේ ප්‍රධාන ජනගහන මධ්‍යස්ථාන වන ක්විබෙක්හි මොන්ට්රියල්ද, දකුනු ඔන්ටාරියෝහි ඔටාවා සහ ටොරොන්ටෝද නිව් යෝර්ක් ඉහල කොටස් සහ නිව් යෝර්ක් නගරයද මෙන්ම, නැගෙනහිර පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා සහ බටහිරින් පිට්ස්බර්ග් වේ.
වෝල් වීදියේ සහ ලෝක මූල්‍ය ප්රාග්ධනයේ කේන්ද්‍රස්ථානය වන නිව් යෝර්ක් නගරයේ, වායු තත්ත්ව දර්ශකය (AQI) 400 ට වඩා ඉහල ගිය අතර, එය ලෝකයේ ඕනෑම ප්‍රධාන නගරයකටම වඩා නරකම වායු තත්ත්වය වූ අතර 1999 පාරිසරික ආරක්ෂන ඒජන්සිය (EPA) මිනුම් වාර්තා කිරීම ආරම්භ කිරීමේ සිට වාර්තා වූ ඉහලම අගය ලබා දුනි.
බදාදා පස්වරුවේ AQI 400 ඉක්මවීමත් සමඟ මධ්‍යම නිව් යෝර්ක් සහ නැගෙනහිර පෙන්සිල්වේනියාව සහ සිරකූස් සිට ඇලන්ටවුන් දක්වා අනතුරුදායක වායු තත්ත්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. පෙන්සිල්වේනියා, නිව් යෝර්ක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් හි සියලුම ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන ආශ්‍රිතව ෆෙඩරල් ආන්ඩුව සෞඛ්‍යයට අහිතකර යැයි සලකන AQI 150 ට වැඩි අගයක් වාර්තා කලේය.
ඡායාරූප සහ වීඩියෝවලින් පෙන්නුම් කලේ මෑන්හැටන් හි අහස අධික දුමාරයෙන් වැසී ගොස් ඇති අතර අහස තද තැඹිලි පැහැ ගැන්වී ඇති බවයි. ෆෙඩරල් ගුවන් පාලනාධිකාරය ලා ගුආර්ඩියා ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගුවන් ගමන් සඳහා තහනමක් නිකුත් කරන ලද අතර පාරදෘශ්‍යතාව සැලකිය යුතු ලෙස අඩු වීම හේතුවෙන් නෙරාක් ලිබර්ටි ඉන්ටර්නැශනල් ගුවන් තොටුපල වෙත ගුවන් ගමන් මන්දගාමී විය. පෙන්සිල්වේනියා පරිසර ආරක්ෂන දෙපාර්තමේන්තුව බදාදා මුලු ප්‍රාන්තය සඳහාම රතු වායු තත්ව කේත ක්‍රියාවලීන් නිකුත් කරන ලදී.
ලැව්ගිනිවලින් පිටවන සියුම් අංශු දුමාරය ආශ්වාස කිරීම ඇදුම රෝග සහ හෘදයාබාධ ඇති කල හැකි අතර පෙනහලු පිලිකා ඇතුලු දිගුකාලීන සෞඛ්‍ය ගැටලුවලට හේතු වේ. එයට මෑතකදී නියුමෝනියාව හෝ මයෝකාඩයිටිස් රෝගයෙන් පීඩා විඳි අයට හා කෝවිඩ්-19 ආසාදනය වූවන්ගේ පොදු තත්ත්වයන් වඩාත් උග්‍ර කල හැකිය. වාතයේ දුර්වල ගුනාත්මක භාවය ගෝලීය වශයෙන් වසරකට මිලියන හයකට වඩා වැඩි මරන සඳහා වගකියමින් ඒ සඳහා ප්‍රධාන හේතු අතර වේ.
සෞඛ්‍ය විශේෂඥයින් එලිමහනේ ක්‍රියාකාරකම් සහ ව්‍යායාම කිරීමෙන් වැලකී සිටීම පිලිබඳව හදිසි අනතුරු ඇඟවීම් කර ඇති අතර, පිටතට යාමට සිදුවන අය අවම වශයෙන් එන්95 මුඛ ආවරන පැලඳිමට නිර්දේශ කර ඇත.
කෙසේ වෙතත්, තර්ජනයේ බැරෑරුම් බව නොතකමින්, දුමෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල එලිමහනේ සිටින විට ජනතාව N95 මුඛ හා ශ්වසන ආවරන පැලඳිය යුතු බවට ෆෙඩරල්, ප්‍රාන්ත හෝ පලාත් ආන්ඩුවලින් කිසිදු නිර්දේශයක් පැමින නැත. නිව් යෝර්ක් නගරයේ සහ බලපෑමට ලක් වූ කලාපය පුරා, ගොඩනැගිලි දුමෙන් පිරී තිබියදී පවා ලමයින් තවමත් පාසල් යවා ඇත. කෘෂිකර්මාන්තය, භූමි අලංකරනය, ඉදිකිරීම් සහ කර්මාන්තශාලාවල වැඩ කරන අයට විෂ දුමාරයේ ක්ෂනික බලපෑම හොඳින් දන්නා නමුත්, නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කර නොමැත.
ඇලන්ටවුන්ට මදක් ඔබ්බෙන් පෙන්සිල්වේනියාවේ මැකුන්ගි හි මැක් ට්‍රක් කම්හලේ කම්කරුවන්ගෙන් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සහ බදාදා ලෝසවෙඅ වෙත වාර්තා කලේ, කම්හල දුමෙන් පිරී ඇති බවත්, කම්කරුවන් දුම නිසා ඔක්කාරය හා හිසරදයෙන් පෙලෙන නමුත් නිෂ්පාදනය දිගටම පවතින බවයි. දරුනු ලෙස පිරිහුනු වාතයේ ගුනාත්මක භාවය සහ උෂ්න තත්වයන් යටතේ, බලාගාරය වාතාශ්රනය කිරීමට හෝ කම්කරුවන්ට උසස් තත්ත්වයේ මුඛ හා ශ්වසන ආවරන ලබා දීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. අවසානයේ තත්වයන් දිගින් දිගටම නරක අතට හැරෙමින් කම්කරුවන් අසනීප වූ බැවින් බදාදා දින දෙවන වැඩ මුරය අවලංගු කරන ලදී.
නිව් යෝර්ක් නගරයේ, ට්‍රේඩර් ජෝ හි කම්කරුවන්, අනාරක්ෂිත තත්වයන් මත පිටව ගිය අතර, වාතය කෙතරම් නරකද යත් ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති බව වාර්තා විය.
එක්සත් ජනපදයේ සහ කැනඩාවේ බලපෑමට ලක් වූ ප්‍රදේශ පුරා ගනන් කල නොහැකි සේවා ස්ථානවල මෙම භීෂන පුනරාවර්තනය වූ අතර, මිලියන දස ගනනකට අනාරක්ෂිත සහ මාරාන්තික තත්වයන් යටතේ වැඩ කිරීමට බල කෙරුනි.
සෑම කාලගුන ව්‍යසනයක්ම හෝ මහජන සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම, ධනේශ්වර පාලක ප්‍රභූන් සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් ජනගහනයේ දුක් වේදනා ගැන මුලුමනින් ම උදාසීන ය. ඔවුන්ගේ එකම උත්සුකය වන්නේ නිෂ්පාදනය පවත්වා ගෙන යාම සහ මහා දුක්ඛිත තත්වයන් හා මරනය හමුවේ පවා ලාභය පවත්වා ගැනීමයි.
පුරෝකථනය කල හැකි පරිදිම වෘත්තීය සමිතිවල උපකරන, , කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කිසිවක් කර නැත. වෘත්තීය සමිති නිලධරය බලපෑමට ලක් වූ කලාපය පුරා කම්කරුවන් රැකියාවේ තබා ඇති අතර, කම්කරුවන් විසින්ම පියවර ගත් විට පමනක් නිෂ්පාදනය නතර කර ඇත.
ගෝලීය වශයෙන් මිලියන 20 කට වැඩි ජනතාවක් සහ එක්සත් ජනපදයේ පමනක් මිලියනයකට වඩා වැඩි පිරිසක් මරා දැමූ කෝවිඩ් -19 වසංගතයේ අත්දැකීම, ධනේශ්වරය, කම්කරු පන්තිය මත ඇති කරන දුක්ඛිත තත්වය තව දුරටත් වර්ධනය කර ඇත. කෝවිඩ් 19 පැතිරීම අවම කිරීම සඳහා වූ සියලු මවාපෑම් අත්හැරීම, වෛරසය නව සහ වඩාත් භයානක ප්‍රභේද බවට පරිනාමය වීමට ඉඩ සලසා දීම, මහජන සෞඛ්‍යයේ මූලික මූලධර්ම අත්හැරීම සංඥා කරයි. නව වසංගතයක් මතුවීමට ප්‍රතිචාර වශයෙන් වේවා, දුම් ආඝ්‍රහනයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් මහා පරිමානයෙන් වස විසට ලක්වීමට ප්‍රතිචාර වශයෙන් වේවා, පාලක පන්තිය කිසිවක් නොකරන බවට අධිෂ්ඨාන කර ඇත.
කැනඩාව සහ එක්සත් ජනපදය පුරා පැතිරී ඇති වායු දූෂනය ගැඹුරු වන දේශගුනික අර්බුදයේ බලපෑම පිලිබඳ නිරූපනයක් වන අතර, එය වඩාත් ව්‍යසනකාරී නියඟ, ගංවතුර, ලැව්ගිනි, සුලි කුනාටු සහ අනෙකුත් විනාශකාරී කාලගුනික සිදුවීම්වලට ඉන්ධන සපයන බවට විද්‍යාඥයින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත. පාලනය නොකල ගෝලීය උෂ්නත්වය ඉහල යාමේ ප්‍රතිවිපාක අනාගතයේදී නොව, දැනටමත් සිදුවෙමින් පවතින අතර ලොව පුරා කම්කරුවන් විසින් දරනු ලැබේ.
පසුගිය වසරේදී පාකිස්තානය ඉතිහාසයේ දරුනුතම ගංවතුරට මුහුන දුන් අතර, රටෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී, 1,700 කට වැඩි පිරිසක් මියගොස් මිලියන 2 කට වැඩි පිරිසකට නිවාස අහිමි විය. 2019-20 වසර තුල ඔස්ට්‍රේලියාව එහි දරුනුතම ලැව්ගිනි සමයක් අත්දුටු අතර, නිවාස දහස් ගනනක් විනාශ වූ අතර පුද්ගලයන් 34 දෙනෙකු සෘජුවම මිය ගියේය. දුම් ආඝ්‍රහනය වීමෙන් පුද්ගලයන් 445 දෙනෙකු මිය ගිය බව ගනන් බලා ඇත. මේ අතර, චීනයේ සහ ඉන්දියාවේ සිට පෘථිවියේ වේගයෙන්ම උනුසුම් වන කලාපයක් වන ආක්ටික් ප්‍රදේශය දක්වා ලොව පුරා ආන්තික තාප ප්රවාහයන් සමතුලිතතාවය නැවත නැවතත් බිඳ දමා ඇත. පසුගිය වසර ගෝලීය වශයෙන් වාර්තා වූ පස්වන උනුසුම්ම වසර වූ අතර පසුගිය වසර නවය එහි උච්චතම අවධිය විය.
එක්සත් ජනපදයේ මිලියන ගනනක් කම්කරුවන් විෂ දුම් ආඝ්‍රහනය වීම ගෝලීය වශයෙන් කම්කරුවන් අතර කම්පනයක් සහ කනස්සල්ලක් ඇති කර තිබේ. පාලක ප්රභූවේ උදාසීනත්වයට ප්රතිවිරුද්ධව, කම්කරුවන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ සෞඛ්‍යය සහ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට ය. මෙම ආරක්ෂිත සේවා කොන්දේසි බලාත්මක කිරීම සඳහා කම්කරුවන්ගෙන් සමන්විතව සහ පාලනය කරනු ලබන සංවිධාන, ක්‍රියාකාරී කමිටු සංවර්ධනය කිරීම අවශ්‍ය වේ.
එමෙන්ම එයට පාලක පන්තිය හා ධනේශ්වර පද්ධතිය වෙත ප්රතිමුඛ වූ දේශපාලන ව්‍යාපාරයක වර්ධනය අවශ්‍ය වේ. නිමක් නැති සම්පත් යුද්ධය සඳහා කැප කර ඇති අතර, සමාජ යටිතල පහසුකම් විනාශ වී ඇති අතර මහජන සෞඛ්‍යය නොසලකා හැර ඇත.
දේශගුනික විපර්යාස සහ ජාතික විසඳුමක් නොමැති එහි වඩාත්ම විනාශකාරී බලපෑම් වලට එරෙහිව සටන් කිරීම සඳහා ක්ෂනික ගෝලීය ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. ජාතික සීමාවන් හෝ භාෂාමය හෝ වාර්ගික බෙදීම් නොසලකා, නවතම විද්‍යාත්මක දැනුම මගින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයකට පමනක් ගෝලීය උනුසුම නැවැත්වීමට සහ අවසානයේ ආපසු හැරවීමට හැකි වනු ඇත. තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා පෘථිවිය විනාශ කරන ධනේශ්වර මූල්‍ය කතිපයාධිකාරය අතුගා දැමීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය අතට බලය ගෙන සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම අත්‍යාවශ්‍යය.
