සසප සහ සසජාතශි, යාවජීව ට්‍රොට්ස්කිවාදිනී ජෙරානි රත්නායක අනුස්මරනය කිරීමේ රැස්වීමක් පැවැත්වීමට යයි

[මෙය Sri Lankan SEP/IYSSE to hold memorial meeting for lifelong Trotskyist Jerani Ratnayake යන මැයෙන් 2023 ජූනි 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ යාවජීව සාමාජිකාවක් වන ජෙරානි රත්නායක සහෝදරියට උපහාර දැක්වීම සඳහා අනුස්මරන රැස්වීමක් පවත්වනු ඇත. ඇය පසුගිය වසරේ ජූලි 8 වන දින කොලඹ රෝහලකදී හෘදයාබාධයකින් මිය ගියේ ඊට දින කිහිපයකට පෙර කෝවිඩ්-19 ආසාදනය හේතුවෙන් රෝහල් ගත කර සිටියදී ය.

ජෙරානි රත්නායක [ඡායාරූපය: ලෝසවෙඅ]

ඇයගේ අභාවප්‍රාප්තියේ පලමු සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන මෙම රැස්වීම ජූලි 8 වැනි සෙනසුරාදා ප.ව. 4.00 ට බොරලැස්ගමුව සුසානභූමියේ අවමංගල්‍ය ශාලාවේදී පැවැත්වෙනු ඇත.

ජෙරානි, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ශ්‍රී ලංකාවේ ජාතික කර්තෘ කමලසිරි රත්නායකගේ බිරිඳ සහ යාවජීව සහකාරිය වූවාය.

ජෙරානි දෙමල විය. ඇය ඇගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් සමඟ, දශක ගනනාවක් තිස්සේ අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් උසිගන්වන ලද දෙමල විරෝධී වර්ගවාදයේ කටුක අත්දැකීම් තුලින් ගමන් කලාය.

ඇය උපාධිය ලැබීමෙන් පසු මහ බැංකුවේ සේවය කල අතර එහිදී ඇය සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයින් හමුවී පක්ෂයට බැඳුනි. එතැන් පටන් ඇය ට්‍රොට්ස්කිවාදයේ ඉදිරිදර්ශනයට ගැඹුරින්ම කැප වූ අතර මහ බැංකු සේවක සංගමයේ (මබැසේසං) විකොස කන්ඩායමේ කොටසක් ලෙස ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම සඳහා නොසැලෙන සටන්කාරිනියක වූවාය.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය වැනි විවිධ සුලු ධනේශ්වර දෙමල ජාතිකවාදී ව්‍යාපාරවල ඉදිරිදර්ශනය ජෙරානි විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 1970 ගනන්වල මේවා මතු වූයේ, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය අතහැර 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර සභාග ආන්ඩුවට ඇතුලු වූ ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) පාවාදීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) 1988-89 දී විකොස සහෝදරවරුන් තිදෙනෙකු ඝාතනය කරමින් සහ විකොස සාමාජිකයින්ට මහ බැංකුවේදී තර්ජනය කරමින් එහි ෆැසිස්ට්වාදී ව්‍යාපාරය මුදාහල විට, ඇය ට්‍රොට්ස්කිවාදී මූලධර්ම මත පදනම්ව අනෙකුත් සහෝදරවරුන් සමග නිර්භීතව සටන් කලාය.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය තුලින් ප්‍රකාශිත ගෝලීය ධනේශ්වර අර්බුදය මෙන්ම ලොව පුරා පන්ති අරගලවල පුපුරන සුලු වර්ධනය මධ්‍යයේ, අද ජාත්‍යන්තර කමිටුවේ සහෝදර-සහෝදරියන්ගෙන් මූර්තිමත් වන, ට්‍රොට්ස්කිවාදය සඳහා ජෙරානි සහෝදරියගේ අධිෂ්ඨානශීලී සටන, කම්කරුවන්, වැඩ කරන ජනයා සහ තරුනයින් දිරිමත් කරනු ඇත.

සසප අනුස්මරන රැස්වීම තුල, ධනවාදයට එරෙහි අරගලයේ දී වත්මන් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පරම්පරාවට අත්‍යවශ්‍ය වන ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සඳහා ඇයගේ දශක ගනනාවක අරගලයේ දේශපාලන පාඩම් සාකච්ඡා කෙරෙනු ඇත. මෙම අවස්ථාවට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ලෝසවෙඅ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

දිනය සහ වේලාව: ජූලි 8 සෙනසුරාදා, ප.ව. 4 ට
ස්ථානය: බොරලැස්ගමුව සුසානභූමියේ අවමංගල්‍ය ශාලාව
Loading