අවමංගල්‍ය පෙලපාලිය, ඝාතනය කල ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදියාට උපහාර දක්වයි

මෙම ලිපිය ප්‍රථම වරට 1989 ජූලි 7 දින එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගයේ පුවත්පතවූ බුලටීන් හි ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නිල ප්‍රකාශනය වූ ෆෝත් ඉන්ටර්නැෂනල්' සඟරාවේ 1989 ජූලි-දෙසැම්බර් කලාපයේ ද පලවිය.

ග්‍රේෂන් ගීකියනගේ [wsws]

1989 ජූනි 27 දා, ජවිපෙ ෆැසිස්ට්වාදීන් විසින් ඝාතනය කරන ලද, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජික, ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයාගේ අවමංගල්‍ය පෙලපාලියට කම්කරුවන්, මිතුරන් හා නෑදෑයින් 600 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

විකොස සහ හජාජාක ධජ සහ ග්‍රේෂන් සහෝදරයාට විප්ලවවාදී ආචාරය පුද කිරීමේ ධජයක් සමඟ පෙරහැර ග්‍රේෂන් උපන් ගම්මානයේ සොහොන් බිම වෙත ගමන් කල අයුරු [wsws]

විකොස සහ හජාජාක ධජ සහ ග්‍රේෂන් සහෝදරයාට විප්ලවවාදී ආචාරය පුද කිරීමේ ධජයක් සමඟ පෙරහැර ග්‍රේෂන් උපන් ගම්මානයේ සොහොන් බිම වෙත ගමන් කරන විට, පෙලපාලිකරුවෝ මෙසේ හඬ නැගුහ: 'ෆැසිස්ට්වාදීන් භංග වේවා! එජාප ආන්ඩුව පලවා හරිනු! කම්කරු පන්තියේ සන්නද්ධ ආරක්ෂක භටකායන් ගොඩනඟමු! කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වදිනු! ග්‍රේෂන් සහෝදරයා පිලිබඳ මතකය සදාකල් දිනේවා!'

අවමංගල්‍ය පෙලපාලිය ජවිපෙ ෆැසිස්ට්වාදීන්ට එරෙහිව කම්කරු පන්තියේ බලවත් ප්‍රතිප්‍රහාරයක් විය. කම්කරුවන්ගේ, දිලිඳු ධීවරයන්ගේ සහ අනෙකුත් පීඩිතයන්ගේ නැගී එන කෝපය හමුවේ, ෆැසිස්ට්වාදීහු අවමංගල්‍යය උත්සවය අතරතුර ප්‍රදේශයෙන් බැහැරව සිටියහ.

ග්‍රේෂන් සහෝදරයා ජූනි 23 වැනිදා සවස ඔහුගේ නිවසේදී ජවිපෙ ඝාතකයන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර පසුවදා කොලඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය. ඝාතකයින් ග්‍රේෂන්ගේ වැඩිමහල් සොහොයුරා වන නිහාල් ගීකියනගේ ද ඔවුන්ගේ මරන ලැයිස්තුවට ඇතුලත් කර තිබුනි.

සුසාන භූමිය තුල සමස්ත අවමංගල්‍ය උත්සවය පැය එකහමාරකට වැඩි කාලයක් පැවති අතර, එහිදී විකොස ප්‍රමුඛ සාමාජිකයෝ, ෆැසිස්ට්වාදීන්, යූඇන්පී තන්ත්‍රය සහ ධනේශ්වර රාජ්‍යය විකොසට පහර දීමට අත්වැල් බැඳ ගත්තේ මන්දැයි පැහැදිලි කලහ.

රැස්වීම ආරම්භ කරමින් නිහාල් ගීකියනගේ සහෝදරයා මෙසේ පැවසීය: “ග්‍රේෂන් නිර්ධන පංතික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශන මත පදනම් වෙමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල බැවින් ෆැසිස්ට්වාදීන් ඔහු ඝාතනය කලා.

'අපි නියෝජනය කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. අපි ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් සටන් කරන්නේ, 1940 ගනන්වල ශ්‍රී ලංකාවේ පදනම දැමූ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ උරුමය ආරක්ෂා කරමින්. අපගේ ව්‍යාපාරය, දෙමල ජාතියේ ස්වයං නිර්න අයිතිය මර්දනය කිරීමට එරෙහිව නොබියව සටන් කලා.'

නිහාල් සහෝදරයා, මේ අරගලයට ග්‍රේෂන් සහෝදරයා සහභාගි වූ අවස්ථා පිලිබඳ උදාහරන සිහිපත් කලේය. '1986 නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ව්‍යාපාරයේ දී අපේ සහෝදරවරු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් විට ඔවුන් නිදහස් කර ගැනීමට ග්‍රේෂන් සහෝදරයා අප සමඟ උරෙන් උර ගැටී සටන් කලා. ලීවර් බ්‍රදර්ස් සමාගම සහ මත්ස්‍ය ව්‍යාපාරිකයන්, එක පැත්තකින් සමාගම් සේවකයන් අතරත් අනෙක් පැත්තෙන් කොන්ත්‍රාත් සේවකයන් අතරත් ගැටුමක් ඇති කරන්න උත්සාහ කලා. ලිවර් බ්‍රදර්ස් සමාගමේ උත්සාහය පරාජය කරන්න ග්‍රේෂන් අපිත් එක්ක හිටියා.

'ෆැසිස්ට්වාදීන් යෙදී සිටින්නේ, කම්කරු පන්ති ව්‍යාපාරයට සහ පීඩිත මහජනතාවට එරෙහි මිනීමරු ප්‍රතිපත්තියක' යයි ඔහු පැවසීය. 'ඔවුන්ගේ පූර්වගාමීන් වන්නේ හිට්ලර්, මුසෝලිනි සහ පෝලන්තයේ පිල්සුඩ්ස්කි.

'කම්කරු පන්තිය ෆැසිස්ට් බලවේගවලට එරෙහිව එක්සත්ව පෙරට පැමිනියහොත්, ඔවුන් පරාජය කල හැකියි. ෆැසිස්ට්වාදීන්ට සහ රාජ්‍ය බලවේගවලට එරෙහිව කම්කරු පන්තියේ එක්සත් පෙරමුනකට විරුද්ධ වන ලංකා සම සමාජ පක්ෂය (ලසසප), නව සම සමාජ පක්ෂය (නසසප), කොමියුනිස්ට් පක්ෂය (කොප) සහ සීඩබ්ලිව්සී නායකයින්, ෆැසිස්ට්වාදීන්ට දඬුවම් නොලබා ඉදිරියට යාමට ඉඩ හැරීම වෙනුවෙන් වගකිව යුතුයි.'

දවසේ දැවෙන අවශ්‍යතාවය වනුයේ කම්කරු පන්තිය ආරක්ෂා කිරීම සඳහා කම්කරු සංවිධාන සහ කම්කරු ආරක්ෂක බලඇනිවල එක්සත් පෙරමුනක් ගොඩනැගීම බව ඔහු පෙන්වා දුන්නේය. තම කතාව අවසානයේදී, ඔහු ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය පරදුවට තබමි වෙතින් උපුටා දැක්වීය:

'සමාජවාදය යනු හිස් වචනයක් ලෙස නොව ස්වකීය සදාචාර ජීවිතයේ අන්තර්ගතය ලෙස ගත්තාවූ තැනැත්තෙනි---පෙරටම! තර්ජනවලට, වධහිංසාවලට හා ප්‍රචන්ඩත්වයට අප නම් නතර කල නොහැක්කේ ය! අපගේ ඇටමිදුලු මතින් වේවා සත්‍යය ජයග්‍රහනය කරනු ඇති! අපි එහි මාර්ගෝපදේශකයෝ වෙමු! එහි විජයග්‍රහනය නියත ය!'

හජාජාක සහ විකොස වෙනුවෙන් ග්‍රේෂන් සහෝදරයාට ආචාර කරමින් අවමගුල් රැස්වීමේ අවසාන කතාව පැවැත්වූ විකොස මධ්‍යම කාරක සභික ඩබ්ලිව්.ඒ.සුනිල් [wsws]

විකොස මධ්‍යම කාරක සභික ඩබ්ලිව්.ඒ.සුනිල් සහෝදරයා හජාජාක සහ විකොස වෙනුවෙන් ග්‍රේෂන් සහෝදරයාට ආචාර කරමින් අවමගුල් රැස්වීමේ අවසාන කතාව පැවැත්වූයේය.

“කම්කරුවන් හා දුගීන් සිය ගනනක් මෙහි රැස්ව සිටින්නේ ග්‍රේෂන් සහෝදරයාගේ නිර්භීත අරගලයට ආචාර කිරීමට පමනක් නොව, ලසසප-කොප-නසසප නායකයින් ජවිපෙ ෆැසිස්ට්වාදීන්ට එරෙහිව ඇඟිල්ලක්වත් ඔසවන්නේ නැතිව සම්පූර්නයෙන්ම යටත් වී ඇති කොන්දේසි යටතේ, විකොස සහ හජාජාක තුල එහි සම-චින්තකයින් විසින් ගෙන යන අරගලයට සහයෝගය දැක්වීම සඳහායි.

“ග්‍රේෂන් සහෝදරයා තරුන වියේදී ම මිය ගියා. එසේ වුවද, ධනවාදයට එරෙහි අරගලයට ගමන් කරන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට ඔහු වැදගත් පාඩමක් ඉතිරි කර තියෙනවා. ඔහුගේ නම කම්කරු පන්තිය වෙනුවෙන් තම ජීවිතය කැප කල වීරයෙකු ලෙස සිහිපත් කෙරෙනු ඇති.

“ග්‍රේෂන් සහෝදරයා, අධිරාජ්‍යවාදී ක්‍රමය පෙරලා දැමීම සඳහාත් පීඩිතයන්ගේ විමුක්තිය සඳහාත් ජාත්‍යන්තර නිර්ධන පංති විප්ලවය ජයග්‍රහනය කරා ගෙන යාමට සටන් කරන ලෝක පක්ෂය වන ජාත්‍යන්තර කමිටුවේ සහ එහි ලංකා ශාඛාවේ සාමාජිකයෙක්.

“ගැඹුරු වන ලෝක අර්බුදය විසින් ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්තියේ අර්බුදය තීව්‍ර කර තිබෙනවා. ප්‍රේමදාස ආන්ඩුවට භීතිය ගෙන දෙමින් කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව අරගලවලට එලඹෙමින් සිටිනවා.

“මෙම අරගලයේ දී කම්කරු පන්තිය විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සමඟ එක්සත් වනු ඇති. ධනේශ්වර ඒකීය රාජ්‍යය පෙරලා දමනු ඇත්තේ එලෙසයි. ජනතා විමුක්ති පෙරමුනේ ෆැසිස්ට්වාදීන් බිය වන්නේ ද මෙයට යි. එසේ වුවද, විකොස එජාපයේ උන්ඩවලට මුහුන දෙමින් සිය අරගලය ඉදිරියට ගෙන යනවා.

“ග්‍රේෂන් සහෝදරයා ඝාතනය කිරීමේ වගකීම ප්‍රසිද්ධියේ බාර ගත නොහැකි, බියගුලු ෆැසිස්ට්වාදීන් ඔහු සුලු ධනේශ්වර සන්නද්ධ කල්ලියක් වන ‘ප්‍රා’ සංවිධානයේ සාමාජිකයෙකු යයි සඳහන් කොලයක් දමා ගොස් තිබෙනවා.

“ග්‍රේෂන් සහෝදරයාගේ දේශපාලන වාර්තාව සුප්‍රසිද්ධයි. ඔහු 1982 දී විකොසට බැඳුනා. එම වසරේ මැතිවරන ව්‍යාපාරයේ දී සහ ඉන් අනතුරුව, කම්කරුවන්, දුගී ගොවීන්, ධීවරයින් සහ ප්‍රදේශයේ අනෙකුත් පීඩිත කොටස් අතර හජාජාක ඉදිරිදර්ශනය ප්‍රචාරය කිරීමට ඔහු සටන් කලා.”

මහා මාලු ව්‍යාපාරිකයන් සහ බහුජාතික සමාගම්, ලිවර් බ්‍රදර්ස් සමාගමේ කම්කරුවන් සහ කොන්ත්‍රාත් සේවකයන් අතර ඇති කිරීමට උත්සාහ කල ගැටුම් වලක්වා ගැනීමට ග්‍රේෂන් සහෝදරයා ශාරීරිකව මැදිහත් වූ බව සුනිල් පෙන්වා දුන්නේය. ඔහු ශ්‍රී ලංකාවේ ගොඩනැගූ පලමු ධීවර වෘත්තීය සමිතිය සංවිධානය කිරීමට සහභාගී විය.

“තොඩුවාව ඉස්සන් ගොවිපලේ කොන්ත්‍රාත් කම්කරුවන්ගේ සුබසාධන සමිතියක් සංවිධානය කිරීමට ඔවුන් පියවර ගත්තා. මොවුන් අතිශයින්ම සූරාකෑමට ලක්වූ කන්ඩායමක්. පරපුටු කම්කරු කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ දෛනික වැටුපෙන් රුපියල් 5 ක් කඩා ගන්නවා. අතිකාල දීමනා වලින් ඔවුන් දිනකට රු. 3.38 ක් ගන්නවා.

“විකොස නායකත්වය යටතේ මෙම කම්කරුවන්ගේ සංවිධානය ගොඩනැගීම, බහුජාතික සමාගමක් වන ලිවර් බ්‍රදර්ස් හා සහ මාලු වෙලෙන්දන් අතර භීතියක් ඇති කලා. පසුගියදා විකොස සාමාජික අයිවන් සහෝදරයාට නිර්නාමික ලිපියක් යවා තර්ජනය කරමින්, මාලු ව්‍යාපාරිකයන් ඔහු ඇතුලු සංගමයේ සංවිධානයට සම්බන්ධ සෙසු සගයන් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට තර්ජනය කලා.

“ජවිපෙ දඩ බල්ලන්, බහු ජාතික සංස්ථා සහ එජාප වෙලෙන්දන් සමඟ එකට දුවන බවට අපට චෝදනා කරන්නේ මේ තත්වය තුලයි!

“මෙම ප්‍රතිගාමීන්ගේ මංමුලා සහගතභාවය උග්‍රවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය ප්‍රපාතයට ඇදගෙන යන ලෝක අර්බුදය ගැඹුරු වීමත් සමඟයි. ප්‍රේමදාස පාලනය ධනේශ්වරය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් අර්බුදයකට ගිහින්. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ වර්ධනය වන අරගලය ධනේශ්වර පන්තිය තුල බෙදීම් ඇති කරලා. ධනේශ්වරයේ වඩාත්ම සවිඥානික කොටස් මිලිටරි ආඥාදායකත්වයක් සඳහා ඔවුන්ගේ සැලසුම් සාකච්ඡා කරමින් සිටිනවා. හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස හමුදා ප්‍රධානීන් ඉල්ලා තිබෙනවා.

“ප්‍රේමදාස ආන්ඩුව ෆැසිස්ට්වාදීන්ට හේත්තු වෙන්න හදන්නේ මේ තත්වය තුලයි.

“ජවිපෙ ප්‍රහාර විකොස වෙත පමනක් නොව, සියලුම කම්කරු පන්ති සංවිධාන වෙත ද එල්ල වෙනවා. නසසප, ලසසප සහ කොප සාමාජිකයන් සිය ගනනක් ඝාතනය කරලා. යන්තම් මීට සති කිහිපයකට පෙර තමයි ආන්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.ඩී. විමලසේන ඝාතනය කෙරුනේ. දින හතරකට පසු, රජයේ ලිපිකරු සේවා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මෙත්තානන්ද ඝාතනය කලා.

“පසුගිය නොවැම්බරයේ විකොස වැලිමඩ ශාඛාවේ සාමාජිකයෙකු වූ ආර්.ඒ. පිටවෙල සහෝදරයා ජවිපෙ විසින් ඝාතනය කලා. දෙසැම්බර් මාසයේදී ඔවුන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු වූ විකොස මහනුවර ශාඛාවේ සාමාජික පී.එච්. ගුනපාල මරා දැමුවා.

ෆැසිස්ට්වාදීන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය ගොනු කිරීම සඳහා පසුගිය මාස හය තුල හජාජාක හා විකොස ගෙන ගිය අරගලය සුනිල් විස්තර කලේය. ඕස්ට්‍රේලියාව, යුරෝපය, එක්සත් ජනපදය හා ඉන්දියාව තුල විකොස එක්සත් පෙරමුනු උද්ඝෝෂනය සඳහා බලමුලු ගන්වන ලද පුලුල් සහයෝගය පිලිබඳව ඔහු සිහිපත් කලේය.

හරියටම වසර 10 කට පෙර විකොස රාජාංගන ප්‍රදේශයේ සංවිධායක ආර්.පී පියදාස සහෝදරයා එජාප ආන්ඩුවේ මැරයන් විසින් ඝාතනය කරන ලද බව ප්‍රකාශ කල ඔහු එම අවස්ථාවේ විකොස කම්කරු පන්ති සංවිධාන වලට කල අනතුරු ඇඟවීම මතකයට නැංවූයේය

ප්‍රේමදාස ආන්ඩුව සහ ෆැසිස්ට්වාදීන් ඉන්දියානු විරෝධී වර්ගවාදය මගින් ද ඉන්දියාවේ රජිව් ගාන්ධි ආන්ඩුව රටේ උතුරේ සහ නැගෙනහිර මිලිටරි මැදිහත්වීම හරහා ද මහජනතාවගේ විප්ලවවාදී ව්‍යාපාරයෙන් ධනේශ්වර පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරුවන් සහ පීඩිතයින් අතර සමගිය බිඳ දැමීමට උත්සාහ කරන ආකාරය සුනිල් පැහැදිලි කලේය. ඉන්දු උප මහද්වීපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස දෙමල ඊලම් හි සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.

ධනවාදයේ අර්බුදයට මුහුන දීමට නම් අධිරාජ්‍යවාදී ධනවාදී දේපල ජනසතු කල යුතු බව ඔහු පැවසීය. මෙය සාක්ෂාත් කරගත හැක්කේ උතුරේ සහ නැගෙනහිර දෙමල ජාතිය ද ඇතුලුව සියලුම කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ කම්කරු හා ගොවි ආන්ඩුවකට පමනි. පීඩිත ගොවීන්ගේ ප්‍රශ්නය විසඳිය යුතුය. සිංහල භාෂාව කතා කරන සහ දෙමල කතා කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව ස්ථාපිත කිරීම අවශ්‍ය වේ. මෙම අයිතීන් සාක්ෂාත් කර ගැනීම සඳහා ධනේශ්වර එජාපය පලවා හැර කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කල යුතුය. .

ෆැසිස්ට්වාදීන් විකොසට පහර දෙන්නේ එය මෙම අරගලයට නායකත්වය දෙන බැවිනි.

කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ ආරක්ෂාව කම්කරු පන්ති සංවිධානවල එක්සත් පෙරමුනක් හරහා සංවිධානය කල යුතු බවත් කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ සන්නද්ධ ආරක්ෂක භටකායන් ගොඩනැගීමට වහා පියවර ගත යුතු බවත් සුනිල් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් විකොස යෝජනාව අවධාරනය කරමින් ඔහු පැවසුවේ, ග්‍රේෂන් සහෝදරයාගේ ඝාතනය, අතිශය තියුනු ආකාරයෙන් එවන් ආරක්ෂාවක් සඳහා අවශ්‍යතාවය මතු කර ඇති බවයි. තොඩුවාව ප්‍රදේශයේ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ ආරක්ෂක භටකායක් ගොඩනඟන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඒ සමගම සුනිල් කම්කරු පන්තියේ අරගලය වර්ධනය කිරීමට ගත යුතු පියවර විස්තර කලේය. ලසසප, නසසප, කොප සහ සීඩබ්ලිව්සී යන ද්‍රෝහී නායකත්වයන්ට එරෙහිව මෙම අරගලය ගෙන යාමට කම්කරුවන් හා පීඩිතයන් දැන් ඉදිරිපත් විය යුතු යැයි ඔහු කියා සිටියේය.

ඔහු, ලංකාව තුල මෙම සටන ගෙන යාමට අවශ්‍ය සියලු දෙනාගෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවයේ පක්ෂය වන විකොසට බැඳෙන ලෙස ඉල්ලා සිටියේය.