දඩයමට ලක්වූ වතු කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා ගෙනයන උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමේ උත්සාහයට විරුද්ධ වෙනු!

[මෙය Oppose attempt to disrupt defence for witch-hunted Sri Lankan plantation workers යන මැයෙන් 2023 ජූනි 13 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවේ මධ්‍යම වතුකරයේ මස්කෙලියේ අප්-කොට්හි ඕල්ටන් වතුයායේ කලමනාකාරිත්වය, වතුකම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව (PWAC) වතුයායේ දඩයමට ලක්වූ කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ගිය පෙත්සම් ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට අසාර්ථක උත්සාහයක නිරත විය.

දඩයමට ලක්වූ ඕල්ටන් වතු කම්කරුවෙකු සහ ඇගේ දරුවා [ඡායාරූපය: WSWS]

හේලීස් සමූහ ව්‍යාපාරයේ හොරන වතු සමාගම විසින් පාලනය කරනු ලබන වතුයායේ කම්කරුවන් 22 දෙනෙකුට සහ තරුනයින් දෙදෙනෙකුට එරෙහිව නගා ඇති බොරු චෝදනා වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත යොමු කරන ලද මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සහයෝගය ඇතිව පීඩබ්ලිව්ඒසී මෙම කම්කරුවන්ට එරෙහි චෝදනා පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ වෙනත් තැන්වල කම්කරුවන්ගේ සහයෝගය බලමුලු ගැන්වීම සඳහා උද්ඝෝෂනයක් දියත් කර ඇත. උද්ඝෝෂනයේ කොටසක් ලෙස ඔන්ලයින් පෙත්සමක් දියත් කර ඇති අතර කම්කරුවන්ගේ අත්සන් ලබා ගැනීම සඳහා ඔවුන් අතර එහි මුද්‍රිත පිටපත් බෙදා හරිමින් පවතී. මෙම උද්ඝෝෂනය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගේ උද්‍යෝගිමත් සහයෝගය දිනා ගනිමින් සිටී.

පසුගිය ඉරිදා, පීඩබ්ලිව්ඒසී සහ සසප සාමාජිකයින් කිහිප දෙනෙකු ඕල්ටන් වතු කම්කරුවන්ගෙන් අත්සන් ලබා ගනිමින් සිටියදී, වතු බෙහෙත් ශාලාවේ සේවය කරන සහ කලමනාකාරිත්වය සමඟ සමීප සබඳතාවයක් ඇති සන්දනන් සංමුගනාදන් කම්කරුවන් අතර බෙදාහරින ලද ඕල්ටන් දඩයම පිලිබඳ ලෝසවෙඅ මෑත කාලීන ලිපියක පිටපතක් සමග ඔවුන් වෙත පැමිනියේය.

සංමුගනාදන් පැවසුවේ වතු කලමනාකාරිත්වය සහ පොලිසිය උද්ඝෝෂනයට ඉඩ දීම සම්බන්ධයෙන් තමාට “දොස්” පවරන බවයි. “මෙම පෙත්සම් ව්‍යාපාරය ජාත්‍යන්තර තේ වෙලඳපොලේ සමාගමේ තේ අලෙවියට බලපාන බවත් එය කම්කරුවන්ට ද දැඩි ලෙස බලපානු ඇති බවත් කලමනාකාරිත්වය පැවසූ බවත්, ඒ නිසා අපි කරදරවලට මුහුන දෙනවා. ඒ නිසා වත්තේ කරන ප්‍රචාරක කටයුතු නවත්වන්න කියලා මම ඉල්ලා සිටිනවා' යැයි ඔහු පැවසීය.

සන්මුගනාදන් ලිපියේ බොරු ඇති බව කියා සිටි නමුත් පීඩබ්ලිව්ඒසී/සසප උද්ඝෝෂකයන් එය අභියෝගයට ලක් කල විට එවන් කිසිවක් පෙන්වා දීමට ඔහු අසමත් විය. පීඩබ්ලිව්ඒසී/සසප සාමාජිකයින් ඔහුගේ තර්ජනාත්මක “ඉල්ලීම” නතර කිරීම ප්‍රතික්ෂේප කරම්න්, ඔවුන්ගේ උද්ඝෝෂනය දිගටම කරගෙන ගියහ.

සන්මුගනාදන්ගේ ප්‍රකාශයේ අරමුන වූයේ, මෙම උද්ඝෝෂනය සමාගමේ තේ අලෙවියට බලපාන බව පවසමින් කම්කරුවන් බිය ගැන්වීමයි. එහෙත් ඔහුගේ උත්සාහය අසාර්ථක විය. පීඩබ්ලිව්ඒසී/සසප උද්ඝෝෂනයට සහය දක්වමින් කම්කරුවන් 25කට වැඩි පිරිසක් පෙත්සමට අත්සන් කලහ.

සංමුගනාදන් වතු කලමනාකාරීත්වයේ සහ පොලිසියේ ඒජන්තයෙකු වන අතර, වත්තේ කම්කරුවන්ගේ, පීඩබ්ලිව්ඒසී සහ සසප ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන්ට තොරතුරු සපයයි.

පීඩබ්ලිව්ඒසී සහ සසප සාමාජිකයින් ඕල්ටන් වත්තෙන් ආපසු පැමිනි පසු, සංමුගනාදන් ඒ පරිමලාදේවිගේ නැන්දම්මාගේ නිවසට ගියේය. ඇය, පීඩබ්ලිව්ඒසී හි සාමාජිකාවක් වන අතර, පසුගිය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරනයේදී මස්කෙලිය ප්‍රාදේශීය සභාව සඳහා සසප අපේක්ෂිකාවක් වූවා ය.

තවත් පුද්ගලයන් හතර දෙනෙකු කැටුව ගිය සන්මුගනාදන් සසප රැස්වීම්වලට සහ අනෙකුත් ක්‍රියාකාරකම්වලට සහභාගී නොවන ලෙස නිවැසියන්ට අනතුරු ඇඟවීය.

සසප සාමාජික කේ. කාන්දීපන් ඒ ගැන විමසූ විට, සංමුගනාදන් එය ප්‍රතික්ෂේප කල නමුත්, තමන් ඕල්ටන් වත්තේ පොලිස් සුපරීක්ෂාකාරී කමිටුවක සාමාජිකයෙකු බවත්, පොලිස් නිලධාරීන් ඔහු හමුවීමට නිතර එන බවත් පිලිගත්තේය.

මෙම කලමනාකරන-පොලිස් ඒජන්තයාගෙන් ප්‍රවේසම් වන ලෙස ඕල්ටන් වතුයායේ කම්කරුවන්ට පීඩබ්ලිව්ඒසී සහ සසප අනතුරු අඟවයි. කලමනාකාරීත්ව-ආන්ඩු ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට සහ සුපරීක්ෂාකාරී කමිටුවලට එරෙහිව ඔවුන්ගේ ආරක්ෂාව සංවිධානය කිරීමට ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර ගන්නා ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

ඒ අතරම, මෙම ඒජන්තයින්ට, පීඩබ්ලිව්ඒසී සහ සසප බිය වැද්දිය නොහැකි බව අපි අවධාරනය කරමු. දඩයම් කරන ලද කම්කරුවන් සඳහා වන ආරක්ෂක උද්ඝෝෂනය සහ වතු කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය ශක්තිමත් කොට ඉදිරියටම ගෙන යන්නෙමු.

මෙම සිදුවීම්වලින් පසු දින මස්කෙලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරියෙකු මෙම ලිපිය ලියන මා අමතා විමසා සිටියේ මා ඕල්ටන් වත්තට ගියාද, සසප එහි රැස්වීමක් පවත්වන්නේද යන්නයි. ඕල්ටන් වතුයායට මා ගිය ගමනක් ගැන ඔහු දන්නේ කෙසේද යන්න සහ ඒ පිලිබඳව විමසන්නේ මන්දැයි ඇසූ විට නිලධාරියා පැවසුවේ වත්තේ මුර සංචාරයේ යෙදෙන පොලිසියෙන් තමා එය දැනගත් බවයි.

රුපියල් 1,000ක (ඩොලර් 3.40) දෛනික වැටුපක් ඉල්ලා 2021 පෙබරවාරි-මාර්තු මාසයේ දියත් කල ඕල්ටන් කම්කරුවන්ගේ වැටුප් අරගලයෙන් පසුව, කම්කරුවන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ තොරතුරු රැස් කිරීම සඳහා වතුයායේ පොලිස් මුර සංචාරය තීව්‍ර කර ඇත.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම හොරන වතු සමාගමේ, පොලිසියේ සහ ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ඒකාබද්ධ කුමන්ත්‍රනයකි.

ඕල්ටන් වතුයායේ උද්ඝෝෂනය අතරතුර කම්කරුවෙකු PWAC පෙත්සමකට අත්සන් කරයි. [ඡායාරූපය: WSWS]

රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලා ඕල්ටන් වතු කම්කරුවන් 500ක් පමන 2021 පෙබරවාරි 2 වැනි දින වැඩ වර්ජනයක් ආරම්භ කලහ. එම ඉල්ලීම මත පෙබරවාරි 5දා සීඩබ්ලිව්සීය විසින් කැඳවනු ලැබූ ජාතික වැඩවර්ජනයට ඔවුහු ලක්ෂ සංඛ්‍යාත වතු කම්කරුවන් සමග එක් වූහ.

කලමනාකාරීත්වයේ අඩන්තේට්ටම් සහ ප්‍රකෝපකරනයන්ට එරෙහිව ඕල්ටන් වතු කම්කරුවෝ මාර්තු 26 දක්වා වැඩ වර්ජනය දිගටම කරගෙන ගියහ. පෙබරවාරි 17 දා උද්ඝෝෂනයක් අතරතුර වතු කලමනාකරුට සහ සහකාර කලමනාකරුට ශාරීරිකව පහර දී කලමනාකරුගේ නිවසට අලාභහානි කල බවට ව්‍යාජ චෝදනා මත කම්කරුවන් 22ක් සහ තරුනයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් 22 දෙනා ඇතුලුව කම්කරුවන් 34 දෙනෙකු කිසිදු පරීක්ෂනයකින් තොරව සේවයෙන් පහ කරන ලදී. පෙබරවාරි 17 සිදුවීමට සම්බන්ධ යැයි කියනු ලබන කම්කරුවන්ගේ නම් සපයමින් සීඩබ්ලිව්සීය මෙම දඩයම් කිරීමට සහයෝගය දුනි. පසුව අත් අඩංගුවට ගත් කම්කරුවන්ට දැඩි කොන්දේසි මත ඇප ලබා දුන් අතර අධිකරනයේ නඩුව වසර දෙකකට වැඩි කාලයක් ඇදී ගොස් ඇත. කෙසේ වෙතත්, විත්තිකාර කම්කරුවන්ට එරෙහිව, හැටන් මහේස්ත්‍රාත් අධිකරනයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අපොහොසත් වී ඇත. මීලඟ නඩු විභාගය ජූනි 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

වසර දෙකකට වැඩි කාලයක් පුරා විඳ ඇති දුක් වේදනාවලට නිසි වන්දියක් සමග කොන්දේසි විරහිතව ඔවුන් නැවත සේවයේ පිහිටුවන ලෙස බලකරමින්, සසප සහ පීඩබ්ලිව්ඒසී පමනක් මෙම කම්කරුවන් ආරක්ෂා කිරීමට අඛන්ඩව සටන් කරමින් සිටී.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම වතු කම්කරුවන්ට සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසකි.

2021 ජුනි මාසයේදී, කෝවිඩ්-19 අගුලු දැමීමේදී ආන්ඩුව විසින් වෙන් කරන ලද ආහාර සහන ඉල්ලා පැවති විරෝධතාවයකින් පසු හැටන් වේලිඔය වත්තේ කම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

2021 සැප්තැම්බර් 29 වන දින, වතු කලමනාකාරිත්වය විසින් පී. පොන්නිර්සෙල්වි නමැති කම්කරු කාන්තාව දඩයමට ලක්කිරීමට විරෝධය පල කරමින් කටුකැලේ වතුයායේ වැඩ වර්ජනය කල කම්කරුවන් 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සීඩබ්ලිව්සී, කම්කරුවන්ගේ ජාතික සංගමය සහ උඩරට ජනතා පෙරමුන ඇතුලු සියලුම වතු වෘත්තීය සමිති මෙම කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ වසරේ මාර්තු 29දා, පෞද්ගලීකරනයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථා (ලඛස) කම්කරුවන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය බිඳ දැමීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව දහස් ගනන් සන්නද්ධ සොල්දාදුවන් සහ පොලිසිය යෙදවූ අතර වෘත්තීය සමිති නායකයින් ඇතුලු කම්කරුවන් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවන ලදී. මේ දඩයමද දිගටම සිදුවේ.

රාජ්‍ය අංශයේ ව්‍යවසායන් කිහිපයක කාර්මික ක්‍රියාකාරකම් තහනම් කරන ලද අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි යටතේ කම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂනයක් පවත්වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නියෝග කර තිබේ. ඛනිජ තෙල් කම්කරුවන්ට එරෙහි මෙම මර්දනකාරී පියවරයන්ට එරෙහිව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ වතුකරයේ ක්‍රියාත්මක වන සමිති ඇතුලු වෘත්තීය සමිති කිසිවක් කවර හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ආන්ඩුවේ වැඩිවන මර්දනය මධ්‍යයේ, ප්‍රාදේශීය වතු සමාගම් වතු කම්කරුවන්ට එරෙහි සිය ප්‍රහාර තීව්‍ර කර ඇත. තේ දලු නෙලීමේ දෛනික ඉලක්ක දරාගත නොහැකි මට්ටමට - කිලෝග්‍රෑම් 18 සිට 20 දක්වා හෝ කිලෝග්‍රෑම් 16 සිට 18 දක්වා වැඩි කර ඇත. ඉලක්කයට ලඟා වීමට කම්කරුවන්ට නොහැකි නම්, ඔවුන්ගේ දෛනික වැටුපෙන් අඩක් අහිමි වේ.

ඒ අතරම, ප්‍රාදේශීය වැවිලි සමාගම් ඵලදායිතාව පදනම් කරගත් ආදායම් බෙදා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීම වේගවත් කර ඇත. තේ පඳුරු 1500ක් පමන ඇති ඉඩම් කට්ටි කම්කරුවන්ට වෙන් කෙරේ. සමාගම පොහොර සහ කෘෂි රසායන සපයන අතර පඳුරු නඩත්තු කිරීම සහ අස්වැන්න නෙලීමේ වගකීම කම්කරුවන් සතුය. ඔවුන්ට ගෙවනු ලබන්නේ එම යෙදවුම්වල පිරිවැය සහ සමාගමට කොටසක් අඩු කිරීමෙන් පසුය. සමාගම්වල ලාභය සඳහා මෙම ක්‍රමය තුල කම්කරුවන්ගේ මුලු පවුලටම දහඩිය සහ ලේ වැගිරීමට සිදුවේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු වැඩපිලිවෙල යටතේ, ප්‍රාදේශීය වැවිලි සමාගම් 21ක් ඇතුලුව රාජ්‍ය ව්‍යවසායන් 430ක් ප්‍රතිව්‍යුහගත කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව තීරනය කර ඇත. මෙය වතු කම්කරුවන් 150,000ක් සහ ඔවුන්ගේ පවුල් ඇතුලු 600,000කට අධික කම්කරුවන්ට දැඩි ලෙස බලපානු ඇත. වතු කම්කරුවන් යනු කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත හා අඩුම වැටුප් ලබන කොටසකි. වතු ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ, රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු සහ වඩාත් කුරිරු සේවා කොන්දේසි ඇතුලු තවත් ප්‍රහාරවලට මුහුන දීමට ඔවුන්ට සිදුවනු ඇත.

මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා, කම්කරුවන්ට බිම් මට්ටමේ සංවිධාන අවශ්‍ය වේ, එනම්, වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව, රටේ සහ ජාත්‍යන්තරව සමාන ප්‍රහාරවලට මුහුන දෙන ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ වීමට ඔවුන්ගේම ක්‍රියාකාරී කමිටු අවශ්‍ය වේ.

ඒ අතරම, පීඩබ්ලිව්ඒසී ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ඔබේ විරෝධතා ප්‍රකාශ ශ්‍රී ලංකාවේ අදාල බලධාරීන්ට යවමින් දඩයමට ලක්වූ ඕල්ටන් කම්කරුවන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයට සහාය දෙන ලෙස පීඩබ්ලිව්ඒසී සහ සසප ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

නීතිපති සංජය රාජරත්නම් මහතා,

අංක 159, අලුත්කඩේ, කොලඹ 12

විද්‍යුත් තැපෑල: administration@attorneygeneral.gov.lk

පී.වී. ගුනතිලක මහතා,

ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය

විද්‍යුත් තැපෑල:civilsecurity@defence.lk

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා

විද්‍යුත් තැපෑල: telligp@police.lk

SLPAC වෙත පිටපත් යවන්න:

විද්‍යුත් තැපෑල: plantationacsl@gmail.com

Loading