ඉදිරිදර්ශන

නාසි වාග්ප්‍රහාරයකින්, ට්‍රම්ප් සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් සමූහිකව පිටුවහල් කරන ලෙස කැඳවුම් කරයි

[මෙම ලිපිය, In Nazi diatribe, Trump calls for mass deportations of socialists and communists මැයෙන් ජූනි 27දා පලවූ ඉදිරි දර්ශ​න ලිපියේ පරිවර්තනය යි.]

නිව්හැම්ස්පියර්,කොන්කෝඩ්වලදී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව් හැම්ස්පියර් රිපබ්ලිකන් වනිතා ලිලැල් ලන්චන් සාමූහිකයේදී කතා කරයි. [AP Photo/Steven Senne] [AP Photo/Steven Senne]

ජූනි 24දා, වොෂින්ටන් ඩී.සී. හි පැවති මැතිවරන ප්‍රචාරක කථාවකදී, හිටපු ජනාධිපති සහ ( එලැඹෙන ජනාධිපතිවරනය සඳහා) ඉදිරිපෙල රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපදය තුල සමාජවාදයේ සහ කොමියුනිස්ට්වාදයේ වැඩෙන අන්තරාය ලෙස ඔහු අදහස් කරන දෙයට එරෙහිව ෆැසිස්ට් වාග්ප්‍රහාරයක් එල්ල කලේ ය. ට්‍රම්ප් නිවේදනය කලේ, තමන් තේරී පත් වුවහොත් වාමාංශික පුද්ගලයින්, පුරවැසියන් සහ පුරවැසියන් නොවන අය සමූහ වශයෙන් පිටුවහල් කරන ලෙස ස්වදේශික ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කරන බවයි.

දක්ෂිනාංශික ඇදහිලි සහ නිදහස සඳහා වූ සංධානය (Faith and Freedom Coalition) විසින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රනයකදී අදහස් දක්වමින් ට්‍රම්ප් යුදකාමී වචන වලින් දමා ගැසුවේය: “අන්තිමේදී එක්කෝ කොමියුනිස්ට්වාදීන් ඇමරිකාව විනාශ කරනවා, නැත්තම් අපි කොමියුනිස්ට්වාදීන් විනාශ කරනවා.” ඔහුගේ දේශපාලන සුරුවමක් වන ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් නයට ගත් සංහාරක භාෂාව යොදාගනිමන් ට්‍රම්ප් තවදුරටත් මෙසේ පැවසීය: “මේ අන්තිම සටනයි. ඔබ මගේ පැත්තේ සිටින විට, අපි ගෝලීයවාදීන් පලවා හරිනු ඇත, අපි කොමියුනිස්ට්වාදීන් පිටමං කරනු ඇත”.

ට්‍රම්ප් තවදුරටත් මෙසේ පැවසුවේ ය: “අපි ගමන් කරන්නේ කොමියුනිස්ට්වාදය දෙසට යි. අපේ රටේ ඉතිහාසයේ කවදාවත් එහෙම කාලයක් තිබුනේ නැහැ. කොමියුනිස්ට්වාදය ආරම්භ වන ආකාරය එයයි. අපට එය සිදුවීමට ඉඩ දිය නොහැකියි.

ට්‍රම්ප්, එක්සත් ජනපදයෙන් සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් විරේක කිරීමේ අවශ්‍යතාව ඔහුගේ යලි තේරීපත්වීම සඳහා ගෙනියන මැතිවරන ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයට ඔසවා තැබුවේ ය.

ඔහු, වාමාංශික අදහස් ඇති සංක්‍රමනිකයන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමට කැඳවුම් කලේ ය: “ෆෙඩරල් නීතිය භාවිතා කරමින්, ආගමන හා පුරවැසිභාවය පනතේ 212 (f) වගන්තිය යටතේ, සියලුම කොමියුනිස්ට්වාදීන්ට සහ සියලුම මාක්ස්වාදීන්ට (රටට) ඇතුලුවීමට අවසර නොදෙන්නැයි මම මගේ රජයට නියෝග කරමි. අපේ රටට එකතු වෙන්න එන අය අපේ රටට ආදරය කල යුතුයි. ඔවුන්ට අපේ රට විනාශ කිරීමට අවශ්‍ය නම්, අපට ඔවුන්ව අවශ්‍ය නැත… එබැවින් අපි විදේශීය ක්‍රිස්තියානි- විරෝධී කොමියුනිස්ට්වාදීන්, සමාජවාදීන් සහ මාක්ස්වාදීන් ඇමරිකාවෙන් පිටමං කල යුතුයි. අපි ඔවුන්ව ඇමරිකාවෙන් පිටත රඳවන්නෙමු.”

ට්‍රම්ප් මෙයිනුත් ඔබ්බට යමින් කීවේ, ඔහුගේ උද්ඝෝෂනය ව්‍යාපාරය එක්සත් ජනපද පුරවැසියන් ඔවුන්ගේ දේශපාලන අදහස් කරනකොටගෙන නෙරපා හැරීම සලකාබලනු ඇති බවයි: “අද මම අපගේ ආගමනික පද්ධතියේ ආබද්ධතාව ආරක්ෂා කිරීම සඳහා නව සැලැස්මක් ප්‍රකාශයට පත් කරමි. ෆෙඩරල් නීතිය කොමියුනිස්ට්වාදීන්ට සහ ඒකාධිපතියන්ට එක්සත් ජනපදයට ඇතුලුවීම තහනම් කරනවා. නමුත් මගේ ප්‍රශ්නය නම්, දැනටමත් මෙහි සිටින, මෙහි හැදී වැඩුනු එවුන්ට අපි කුමක් කරමුද? මම හිතන්නේ අපි ඔවුන් වෙනුවෙන් අලුත් නීතියක් සම්මත කල යුතුයි.” (අවධාරනය එකතු කර ඇත.)

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන චරිතයක් මීට පෙර කිසිවිටෙක මෙව‍න් ප්‍රකාශයක් සිදු කර නැත.

ඔවුන්ගේ සමාජවාදී දෘෂ්ටීන් හෝ යුදෙව් හෝ රොමා (වාර්ගික) පසුබිම ඔවුන් “ප්‍රජාඝන සංඝයට” (“Volksgemeinschaft” -කොමියුනිස්ට්වාදයට එරෙහි නාසි සංකල්පයක්-පරිවර්තක) පරිබාහිරව සංස්ථාපනය කර ඇතය යන පදනම මත නාසි ආන්ඩුව -1933 පුරවැසි අයිතිය අහෝසි කිරීමේ නීතිය, රයික් පුරවැසි නීති සහ 1941 රීච් පුරවැසි නීතියට එකොළොස්වන ආඥාව වැනි නීති හරහා- දසලක්ෂ සංඛ්‍යාත ජර්මානුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කලේ ය. ට්‍රම්ප් සහ ස්ටීවන් මිලර් වැනි උපදේශකයින් හිට්ලර්ගේ සහ නාසි පක්ෂයේ දේශපාලන ඉතිහාසය පිලිබඳ ශිෂ්‍යයන් වන අතර, මෙම නීති ගැන හොඳින් දැනුවත්ව සිටිති. ට්‍රම්ප් ඔහුගේ නිදන කාමරයේ හිට්ලර්ගේ ප්‍රකාශන අඩංගු පොතක් සමඟ නිදා ගැනීමට පුරුදු වී සිටි අතර, 2018 දී ඔහුගේ ජනාධිපති කාර්ය මන්ඩලයට පැවසුවේ “හිට්ලර් ඇතම් යහපත් දේවල් සිදුකල” බවයි.

'ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය' යැයි හඳුන්වන දෙය, රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන (ජනපති) තරඟකරුවා සහ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයා නාසි වාදියෙකු වන ලක්ෂ්‍යටම පරිහානියට පත්ව ඇත. හිට්ලර්ගේ භාෂාව භාවිතා කරමින් ට්‍රම්ප් විස්තාරනය කරන්නේ ෆැසිස්ට්වාදයේ මූලික අරමුන වන අතර, එය ඓතිහාසිකව සියල්ලටමත් ඉහලින් එල්ල කර ඇත්තේ, සමාජවාදී ව්‍යාපාරය සහ කම්කරු පන්තියේ සියලු සංවිධානාත්මක ප්‍රතිරෝධයන් විනාශභාග් කිරීම කරා ය.

ට්‍රම්ප් කතා කරන්නේ තමන් වෙනුවෙන් පමනක් නොවේ. පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් තම ධනයට හා වරප්‍රසාදවලට ලොකුම අන්තරාය ගෙන දෙන කම්කරුවන්ගේ දැවැන්ත සමාජ ව්‍යාපාරයකට මුහුන දීමට සිදුවන බව ඒත්තු ගෙන ඇත.

ට්‍රම්ප්ගේ වර්තමාන ක්‍රියාවලින් පැහැදිලි වන්නේ, 2021 ජනවාරි 6දා කුමන්ත්‍රනය සාර්ථක වූයේ නම්, ට්‍රම්ප් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර, බිහිසුනු රාජ්‍ය ප්‍රචන්ඩත්වයකින් පහලින් එල්ල වන විරෝධය කුරිරු ලෙස මර්දනය කරනු ඇති බවයි. ඔහු කැපිටාල් ගොඩනැගිල්ල වෙත මෙහෙයවූ මැර කන්ඩායම පැමිනියේ, උප ජනාධිපති මයික් පෙන්ස් සහ සභා කථානායක නැන්සි පෙලෝසි ඇතුලු ප්‍රමුඛ දේශපාලන පුද්ගලයින් අල්ලා ගැනීමෙන් තත්පර කිහිපයක් තුල ය. එය සාර්ථක වීමෙන් වැලැක්වීමට ඩිමොක්‍රටික් පක්ෂය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය යන කාරනය තිබියදීම කුමන්ත්‍රනය අසාර්ථක විය.

රිපබ්ලිකන් පක්ෂය ගමන් කර ඇත්තේ ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ප්‍රතිගාමී මාවත ඔස්සේ ය. අඟහරුවාදා, ෆ්ලොරිඩා සෙනෙට් සභික රික් ස්කොට් වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින්, “මට ඔබට සංචාරක අවවාදයක් දීමට ඉඩ දෙන්න. ඔබ සමාජවාදියෙක් හෝ කොමියුනිස්ට්වාදියෙක් නම්, නිවාඩුවක් ගත කිරීමට හෝ ෆ්ලොරිඩාවට යාමට ඔබ අදහස් කරන්නේ නම් දෙවරක් සිතන්න” යනුවෙන් පැවසීය.

මෑත මාසවලදී, ක්‍රිස් හෙජස් වැනි මංමුලාවූ දේශපාලන පන්ඩිතයන් සහ මනෝවිකාර ක්‍රියාකාරීකයෝ 'වාම-දක්ෂිනාංශික එකමුතුව' යන ධජය යටතේ ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ආධාරකරුවන් කරා නැඹුරුවූහ. ට්‍රම්ප්ගේ කතාවෙන් පැහැදිලි විය යුතු පරිදි, අත්අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට නොඑසේනම් ඊටත් වඩා නරක යමක් කල හැකි බලවේග සමඟ සභාගයක් වෙනුවෙන් ඔවුහු අද්වකාත්කම් කරමින් සිටිති.‍

ඩිමොක්‍රටිකයන් සම්බන්ධයෙන් ගත් කල, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දැවැන්ත සමාජ විරෝධතා අවුලුවාලීමට ඇති බිය නිසා ඔවුන්ට ෆැසිස්ට් අන්තරාය පිලිබඳව කතා කිරීමට නොහැක.

ඩිමොක්‍රටික් පක්ෂය වෑයම් කරමින් සිටින්නේ, ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව ගිය පසු රාජ්‍ය රහස් හෙලි කරන ලියකියවිලි ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට නඩු පැවරීමටත්, මිලිටරි-ඔත්තුසේවා ආයතන වෙත කරන අභියාචනයක් හරහා ඔහුව දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීමටත් ය. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ ඇති විය හැකි කඩාකප්පල් කිරීම හෝ ඊටත් වඩා නරක ලෙස ධනවාදයට එරෙහිව කම්කරු පන්ති ව්‍යාපාරයක් වර්ධනය කිරීම ගැන දක්වන සැලකිල්ලට වඩා ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදය ගැන ඔවුහු වද වෙන්නේ යාන්තමිනි.

එකිනෙකා සමග ඔවුන්ගේ බෙදීම් යථා සහ කටුක වන අතරම, සමාජවාදය කෙරෙහි ඔවුන්ගේ වෛරය පිලිබඳ කාරනයේදී පාලක පන්තියේ කන්ඩායම් එකට අත්වැල්බැඳගනිති. පෙබරවාරියේදී, නියෝජිත මන්ත්‍රී මන්ඩලය “සමාජවාදයේ බිහිසුනු බව හෙලා දකින” යෝජනාවක් සඳහා එකහෙලා ඡන්දය ප්‍රකාශ කලේය. රිපබ්ලිකන් නියෝජිතයින් 219 දෙනාම යෝජනාවට ඡන්දය දුන් අතර, ඇමරිකන් ඩිමොක්‍රටික් සෝෂලිස්ට්වරුන් විසින් අනුමත කරන ලද කොන්ග්‍රස් සභිකයන් ද ඇතුලුව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් බහුතරයක් ද ඡන්දය දුන්හ. ඡන්දය පැවැත්වුනේ, පුපුරායාමට නියමිතව තිබූ දුම්රිය වර්ජනයක් නීතිවිරෝධී කිරීමට බයිඩ්න් පරිපාලනය පාර්ලිමේන්තුවේ රිපබ්ලිකන්වරුන් සහ ඩිමොක්‍රටිකයන් සමඟ වැඩ කිරීමෙන් සති කිහිපයකට පසුව ය.

ලියොන් ට්‍රොට්ස්කි ඇමරිකානු පාලක පන්තිය හැඳින්වූයේ ලෝකයේ 'ප්‍රබලම හා වඩාත්ම භීතියට පත්' පාලක පන්තිය ලෙස ය. පිම්මේ ඉහලයන සෞඛ්‍ය හා ආර්ථික අර්බුද මධ්‍යයේ, සමාජ ආතතීන්ගේ ගිනි කන්දක් මත තමන් වාඩි වී සිටින බව පාලක පන්තිය දැනුවත් ය. පන්ති අරගලය ජාත්‍යන්තරව පුපුරා යමින් පවතින අතර, වැඩ වර්ජන සඵල ලෙස අවහිර කිරීමට සහ හුදකලා කිරීමට කම්කරුවන් ඉදිරියේ ප්‍රමානවත් නීත්‍යානුකූලභාවයක් වෘත්තීය සමිති නිලධරයන්ට ඇත්තේ නැත. එකකට පසු එකක් මතවිමසුම්වලින් පෙන්නුම් කරන්නේ, විශේෂයෙන්ම තරුනයින් අතර සමාජවාදය සඳහා නැගී එන සහයෝගයයි.

නැගී එන කම්කරු පන්ති ව්‍යාපාරය 1917 දී රුසියාවේදී සිදුවූවාක් මෙන් ස්වයං-සවිඤ්ඤානික සමාජවාදී නායකත්වයක් අත්පත් කර ගනු ඇතැයි පාලක පන්තිය භීතියට පත්ව සිටිති. 2017 දී රුසියානු විප්ලවයේ ශත සංවත්සරයේදී ඉතිහාසඥ සයිමන් සෙබග් මොන්ටෙෆියෝර් මෙසේ අනතුරු ඇඟවීය: “සෝවියට් සංගමය බිඳවැටෙන විට පරිකල්පනය කිරීමටවත් නොහැකියැයි පෙනී ගිය, ශතවර්ෂයකට ඉහතදී ව්ලැදිමීර් විසින් සංවිධානය කරන ලද ඔක්තෝබර් විප්ලවය දැනුදු අදාලව පවතී”. ඒ අතරම ඔහු. 1917ට පෙරාතුව ලෙනින් ඝාතනය නොකිරීම ගැන අවලාද කීවේ ය. වොෂිංටන් පෝස්ට් පුවත්පතේ ඈන් ඇපල්බෝම් පාඨකයන්ගෙන් ඉල්ලා සිටියේ: 'මතක තබා ගන්න, 1917 ආරම්භයේ දී... පසුකාලීනව බොල්ෂෙවික්වරුන් ලෙස ලෝකයට ප්‍රසිද්ධ වූ බොහෝ මිනිසුන් සමාජයේ අද්දර සිටි කුමන්ත්‍රනකරුවන් සහ දවල්හීන දකින්නන් ය. වසර අවසන් වන විට, රුසියාව පාලනය කලේ ඔවුහු ය.

වසර හයකට පසුව, ධනවාදයේ අර්බුදය විසින් මෙම සංත්‍රාසයන් ඇමරිකානු දේශපාලනයේ හරිමැදට ගෙනවිත් තිබේ.

Loading