සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් ජූලි 6දා සවස 4ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පවත්වන ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන ලෙස සිතන මතන කම්කරුවන්, තරුනයින්, ශිෂ්‍යයින් සහ බුද්ධිමතුන් ඇතුලු අවශේෂ ජනයාගෙන් අපි ඉල්ලා සිටිමු.
“රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලට එරෙහිවනු!” රැකියා සහ වැටුප් සඳහා සටන් කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!” නමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල සසප ප්‍රකාශයේ අත්පත්‍රිකා දහස්ගනනක් බෙදා හරිමින් අප සාමාජිකයෝ රැස්වීම ගොඩනැගීම සඳහා කම්කරුවන් අතර බලගතු උද්ඝෝෂනයක් දියත් කලහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) පැනවූ විෂකුරු කොන්දේසි නිර්දය ලෙස ක්‍රියාවට දමමින් රාජ්‍ය ආයතන 400කට වැඩි සංඛ්‍යාවක් එක්කෝ සහමුලින්, නැතිනම් පාර්ශවීය වසයෙන් පුද්ගලීකරනය සඳහා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින ආකාරයත්, සියලු ධනපති පක්ෂ, ව්‍යාජ-වාම සංවිධාන සහ ද්‍රෝහී වෘත්තීය සමිති නිලධරයන් එම වැඩපිලිවෙලට එකහෙලා සහාය දක්වන ආකාරයත් සසප ප්‍රකාශයෙන් කරුනු සහිතව පෙන්වා දී ඇත.
අයිඑම්එෆ් කොන්දේසි ප්‍රකාරව එලෙස දංගෙඩියට යැවීමට නියමිත ලංකා විදුලි බල මන්ඩලයේ, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ, ජලාපවහන මන්ඩලයේ, කොලඹ වරායේ සහ මධ්‍යම කඳුකරයේ කම්කරුවන් අතර මෙන්ම, ගුරුවරුන්, ශිෂ්‍යයන්, ගොවීන් සහ ධීවරයන් අතර සසප/සසජාතශි ගෙනගිය උද්ඝෝෂනයේ දී පොදුවේ දැකගත හැකිවූයේ, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල කෙරෙහි කම්කරුවන් අතර වැඩෙමින් පවත්නා වෛරය හා කෝපය යි. අයිඑම්එෆ් වැඩපිලිවෙල ගැන කම්කරුවන් අඳුරේ තබමින් ඔවුන් වෙනත් විවිධාකාර උගුල්වලට හසුකිරීමට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරය කෙරෙහි බොහෝ කම්කරුවන් සිය පිලිකුල ප්‍රකාශයට පත් කලෝ ය.
දෙමටගොඩ දුම්රිය වැඩපොලේ (පාලම් අංශයේ) කම්කරුවෙකු සසප උද්ඝෝෂකයන්ට කීවේ, “පුද්ගලීකරනයට සපුරාම විරුද්ධ” බවයි. තමන් දැනටමත් වැටුප් කප්පාදු අත්දකින බව ඔහු පැවසීය. ආන්ඩුව ප්‍රතිපාදන ලබා නොදීම නිසා, පෙරදී මෙන් පාලම් ගොඩනැගීම් සඳහා අවශ්‍ය යකඩ දැන් තම අංශයට නොලැබෙන තත්වයක් යටතේ ඉවතලූ දුම්රිය පීලිවල කොටස් යොදාගෙන එම කටයුතු කිරීමට සිදුව තිබෙන ආකාරය ඔහු විස්තර කලේ ය. වෘත්තීය සමිති විසින් සම්පූර්නයෙන්ම කම්කරුවන් අත්හැර දමා ඇති බව කම්කරුවා කීවේ ය. අලුතෙන් සේවයට බඳවා ගන්නා කම්කරුවන්ට වෘත්තීය සමිතිවල සාමාජිකත්වය නොදෙන බවත් වෘත්තීය සමිති නායකයන්ට එසේ කිරීමට උවමනාවක් නැතිබවත් ඔහු කීවේ ය.
හෝමාගම, කටුවාන කාර්මික ජනපදයේ, මෑන්පවර් සමාගමක් යටතේ, ඇන්ට්ලර් රෙදි මුද්‍රන කම්හලේ සේවය කරන 22 හැවිරිදි එස්.සුසන්ත සහ ඔහුගේ බිරිඳ ඔවුහු මුහුන දෙන දරුනු සේවා කොන්දේසි සහ හිඟන වැටුප් පිලිබඳව සසප සාමාජිකයන් වෙත කරුනු දැක්වූහ. එක් අයෙකුගේ දිනක මූලික වැටුප රු.500ක් තරම් සොච්චමක් බවත්, එයින්ද කම්හලෙන් ලබාදෙන ආහාර සහ සේවක අර්ථසාධක අරමුදලට කපාගත් පසු මාසයක ඉතිරිවන වැටුපෙන් ඔවුන් ජීවත් වෙන 10'x10' කාමරයට රු.6000ක මාසික කුලිය ගෙවිය යුතු බවත් සුසන්ත කීවේ ය. ගෑස් ගැනීමට මුදල් ප්‍රමානවත් නැති නිසා දරවලින් කෑම උයනබවත් මස්, මාලුවල මිල අධික නිසා ඒවා කෑමවේලෙන් ඉවත් කර ඇතිබවත් ඔවුහු කීහ.
කාර්මික ජනපදය තුල වෘත්තීය සමිති ක්‍රියාත්මක නොවන තත්වයක් තුල ඒ ගැන සමීප අත්දැකීමක් නැතත්, ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට වෘත්තීය සමිතිවලට මොනම හැකියාවක් හෝ වුවමනාවක් නැතිබව සෙසු වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය දෙස බැලූවිට පැහැදිලිවන බව සඳහන් කලහ. පුද්ගලික අංශයේ කම්කරුවන්, රාජ්‍ය අංශයේ කම්කරුවන් සමග ඒකාබද්ධව හාම්පුතුන්ගේ සහ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කලයුතු බවත්, ඒ සඳහා සසප යෝජනා කරන සංවිධාන රූපය වන ක්‍රියාකාරී කමිටු පිලිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ඔවුහු කැමැත්ත පල කලහ.
එක් පසෙකින්, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ප්‍රතිප්‍රහාරයක් වලකාලීමේ භූමිකාවේ යෙදී සිටින ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරය, අනෙක් පසින් යුක්රේනය මැදිකරගෙන ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය සමස්ත මානව වර්ගයාගේම ඉරනම තර්ජනයට ලක් කරමින් ඕනෑම මොහොතක ඇවිලිය හැකි න්‍යෂ්ටික යුද්ධයක් බවට වර්ධනය වෙමින් පවත්නා ආකාරය සම්බන්ධයෙන් කම්කරු පන්තිය අඳුරේ තබා ඇත. ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් තොරව මෙම ව්‍යසනයෙන් ගැලවී ගත නොහැකිබව සසප උද්ඝෝෂනය තුල පැහැදිලි කෙරුනු අතර, විශේෂයෙන් තරුනයින් අතරින් උද්‍යෝගිමත් ප්‍රතිචාරයක් එයට ලැබෙමින් පවතී,
අයිඑම්එෆ් නියෝජිතයන් විසින්ම “රුදුරු අත්හදාබැලීමක්” ලෙස ගුනාංගීකරනය කල එහි කප්පාදු වැඩපිලිවෙල, දසලක්ෂ සංඛ්‍යාත මහජනයා ගේ ජීවිත අගාදයට ඇද දමමින් පවත්නා ආකාරය දැනටමත් පෙන්නුම් කර ඇත. අයිඑම්එෆ් කොන්දේසි ප්‍රකාරව මහජන සෞඛ්‍ය සේවය ඈවර කිරීමට පිඹුරුපත් සකසා ඇති ආන්ඩුව, එහි කොටසක් ලෙස රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ඇති කිරීම සඳහා ආන්ඩුව පියවර ගෙන ඇත.
අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කෙරෙන ප්‍රතිපාදන දැවැන්තව කපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස, ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ යොදාගැනීමෙන් අඩුම ගනනේ අසරන රෝගීන් 5 දෙනෙකුගේ ජීවිත ආන්ඩුව මෙම වසරේදී බිලිගෙන ඇත. ජනගහනයේ අතිශයින්ම පීඩිත කොටසකට ලබා දුන් සමෘද්ධි සහනාධාරය කපා දැමීම මගින් ලක්ෂ සංඛ්‍යාත ජනයා ආන්තික දරිද්‍රතාවට ඇද දමා ඇති අතර, එම කප්පාදුවලට එරෙහිව රට පුරා විවිධ ප්‍රදේශවල විරෝධතා අවුලුවා ඇත.
රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය මගින් ලක්ෂ 5කට අධික කම්කරුවන් පිරිසක් පාරට වැටීමට නියමිත අතර එයින් අසරන වෙන පවුල් ලක්ෂ ගනනකි. 'සෑම අයෙක් සඳහාම බදු ලේඛනයක්' වැඩසටහන යටතේ මහජනයා ඇටපොත්තටම සූරාකෑමට නියමිතය. මෙම රුදුරු අයිඑම්එෆ් ප්‍රහාරමාලාවේ නවතම පියවර වන්නේ, පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ බහුතර ඡන්දයෙන් සම්මත කරගත් “දේශීය නය ප්‍රතිව්‍යුහකරනය” (දේනප්‍ර) යි.
අයිඑම්එෆ් කොන්දේසි ප්‍රකාරව ආන්ඩුව දේශීයව (ප්‍රධාන වසයෙන් බැංකුවලින්) ලබා ගෙන තිබෙන ඩොලර් බිලියන 42.1 ක නයෙන් බිලියන 19.8ක් “ප්‍රතිව්‍යුහකරනයට” නියමිත අතර මෙහි මූලික ප්‍රතිඵලයක් වනු ඇත්තේ දසලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනයාගේ සේවක අර්ථසාධක අරමුදල් බරපතල ලෙස උවදුරේ හෙලීම ය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලයට පැනගෙන සිටින වික්‍රමසිංහට මෙම රුදුරු පිලිවෙත් මේසා පහසුවෙන් ගෙනයාමට හැකිව ඇත්තේ සියලුම ධනපති පක්ෂ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන සහ වෘත්තීය සමිති නිලධරයෙන් ඔහුගේ ආන්ඩුව ලබන සහාය නිසාවෙනි. ඇත්ත වසයෙන්ම වික්‍රමසිංහට බලයට ඒමට මාවත විවර කලේද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ක්‍රියාවට දැමූ මෙවැනිම කප්පාදු පිලිවෙත් සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයන්ට එරෙහිව, පසුගිය වසරේ පැනනැගි මහජන නැගිටීම තුච්ඡ ලෙස පාවා දුන් මෙම පක්ෂ විසින්ම ය.
දශක ගනනාවක් තිස්සේ කම්කරුවන්ගේ අරගල එකකට පසු එකක් ලෙස ධනපති හාම්පුතුන්ට සහ ධනපති රාජ්‍යයට පාවා දෙමින් ගෙනගිය ද්‍රෝහී ක්‍රියාකලාපය හේතුවෙන් වෘත්තීය සමිති නිලධරය කම්කරුවන්ගේ ඇස් පනාපිට කුජීතවී සිටී, සසප උද්ඝෝෂකයන්ට හමුවූ ඇතම් කම්කරුවන් මෙම නින්දිත පාවාදීම් හේතුකොටගෙන වෘත්තීය සමිති නිලධාරීන්ට සාප කිරීමට තරම් කෝපභරිතවී සිටියෝ ය.
මහජන නැගිටීම තුලදී සිදුකලාත් මෙන්ම මෙම නිලධරය සෑම විටම කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වැලක්වීමේ අරමුනින් කම්කරුවන් තුලින් ස්වයංසිද්ධව පැනනගින අරගල සීමිත එක් දින සංකේත වර්ජන, කෑම පැයේ අරගල, ලෙඩ නිවාඩු දැමීම්, කලුපටි පැලඳ වැඩට ඒම සහ ඇතම් විට පොල් ගැසීම වැනි මිත්‍යාවන්ට පවා කොටුකිරීමට ක්‍රියා කර තිබේ.
එපමනක් නොව, අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත් වලට එරෙහිව පැන නගින කම්කරු අරගල එක් ආයතනයකට හෝ නොඑසේනම් ඒ ආයතනයේම එක් ශ්‍රේනියකට සීමා කිරීමටත් අනෙක් අතට කම්කරුවන්ගේ වෛරය ධනපති රාජ්‍යයට නොව ඒ හෝ මේ දූෂිත නිලධාරියා හෝ ඇමතිට එරෙහිව හරවා යැවීමටත් වෘත්තීය සමිති නිලධරය සැම විටම වෑයම් කර තිබේ.
අනෙක් අතට මෙම ද්‍රෝහී නිලධරය, පුද්ගලීකරනයට තමන් එකහෙලා විරුද්ධ නැතිබව එලිපිටම ප්‍රකාශ කරති. උදාහරනයක් ලෙස, ජූනි 21දා ලංකා විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව (ජේටීයූඒ) විසින් “විකිනීම ද? ප්‍රතිව්‍යුහකරනයද?' යන හිසින් කොලඹ විහාරමහාදේවි එලිමහන් රංගපීඨයේදී පැවැත්වූ සම්මේලනයේදී “සැබෑ ප්‍රතිව්‍යුහගත කිරීමට” පක්ෂපාතබව නිලධරය එකහෙලාම කියා සිටියහ. අනෙක් අතට ඔවුන් සඳහන් කරන්නේ, කම්කරුවන්ගේ වැටුප්, රැකියා හා වැඩ කොන්දේසිවල වියදමින් මෙම ආයතනයන්හි 'ලාභ වැඩිකර දීමට' කල හැකි සෑම දෙයක්ම කරනු ඇති බවයි.
ටෙලිකොම් පුද්ගලීකරනයට පුහු විරෝධයක් පාමින් එහි සමිති නිලධරය පවසන්නේ, එය “ජාතික ආරක්ෂවට දැඩි තර්ජනයක්” බවයි. 'ජාතික ආරක්ෂාව' යනු කම්කරු පන්තිය හෝ අනෙකුත් වැඩකරන ජනයා ආරක්ෂා කිරීම නොව, ධනපති ලාභ සහ එහි රාජ්‍ය යාන්ත්‍රනය ආරක්ෂා කිරීම යි.
විපක්ෂයේ සමගි ජනබලවේගය (සජබ) අනෙක් සියලුම ධනපති දේශපාලන පක්ෂ මෙන්ම අයිඑම්එෆ් වැඩපිලිවෙලට අනුමැතිය පලකර ඇත. ආන්ඩුවේ දේශීය නය ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලට සජබ මන්ත්‍රීන් තිදෙනෙකු පක්ෂව ඡන්දය දුන්හ. ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන වෛරය ගසාකනුවස් තවත් මන්ත්‍රීන් ගනනාවක් එයට විරුද්ධව ඡන්දය දුන්හ.
ජනතා විමුක්ති පෙරමුන ද අයිඑම්එෆ් වැඩපිලිවෙලට එරෙහි නොමැති අතර සජබ මෙන් එය ද ගනන් බලන්නේ ආන්ඩුවට එරෙහි විරෝධය ගසා කමින් මැතිවරනයක් හරහා බලයට පැනගැනීමට ය. ඒ සඳහා ජවිපෙ, වංචාව හා දූෂනය නැති කිරීමේ මුවාවෙන්, කම්කරු පන්තිය දඬුගසා ඇටපොත්තටම සූරාකන ධනපති ක්‍රමයේ පනනල රැකදීමට හැකි එකම පක්ෂය තමායැයි ධනපති පන්තියට ඒත්තු ගැන්වීමේ වැඩපිලිවෙලක නිරතව සිටී.
වඩාත්ම වංචනික භූමිකාවක යෙදී සිටින්නේ, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය යි. කම්කරු පංතියේ ස්වාධීන බල සංස්ථාවන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප ගෙනයන වැඩපිලිවෙලට එරෙහිව, 'පාර්ලිමේන්තුවට පිටත බලයක් ගොඩනැගීම සඳහා' ඊනියා මහජන කවුන්සිල ගොඩ නැගීමේ උද්ඝෝෂනයක් දියත් කර තිබේ. ගොඩආගත නොහැකි ගැඹුරු ආර්ථික අර්බුදයක කිඳෙන ලෝක ධනේශ්වර ක්‍රමය එය විසඳා ගැනීමේ ක්‍රමයක් ලෙස විනාශකාරී තුන්වැනි ලෝක යුද්ධයක් කරා ඇදෙද්දී, එයට ඇති එකම විසඳුම වන සමාජවාදී විප්ලවය සූදානම් කිරීමට පෙසප වැනි ව්‍යාජ වාම පක්ෂ ඉදුරාම සතුරුය. ඒ වෙනුවට ඔවුන් වෑයම් කරන්නේ මේ බංකොලොත් ධනපති ක්‍රමයට බලපෑම් දැමීම හරහා ඊනියා “ප්‍රතිසංස්කරන” දිනාගත හැකිය යන මිත්‍යාව කම්කරුවන් තුල වගාදිගා කිරීමට යි.
ධනේශ්වර ක්‍රමයට බලපෑම් දමා ප්‍රතිසංස්කරන දිනාගත හැකිය යන පෙසප සාවද්‍ය උද්ඝෝෂනය සසප ඉදුරාම ප්‍රතික්ෂේප කරයි. ධනේශ්වර ක්‍රමය විසින් කම්කරුවන්ට අහිමි කර ඇති ජීවිතය අත්කර ගත හැක්කේ, මහජනයා විසින් පිලිකුලෙන් ප්‍රතික්ෂේප කර ඇති ධනපති පාර්ලිමේන්තුව ද ඇතුලුව සමස්ත ධනේශ්වර ක්‍රමය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.
ඒ සඳහා බල මධ්‍යස්ථාන ලෙස කම්කරුවන් විසින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු තැනිය යුතුබව සසප අවධාරනය කරයි. කම්කරුවන් විසින් ස්වාධීනව තීන්දු තීරන ගන්නා මෙම ආයතනවල කර්තව්‍යය වන්නේ ඊනියා මහජන කවුන්සිල මෙන් ධනපති ආන්ඩුවට බලපෑම් දැමීම නොවේ. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස රටපුරා ගොඩනගන එම ක්‍රියාකාරී කමිටු සටන් වදිනු ඇත්තේ කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට ය.
ලෝකය පුරා ධනේශ්වර ප්‍රහාරවලට එරෙහිව සටනට ඇදෙමින් සිටින කම්කරු-පීඩිත මහජනයාට ඇති ඉදිරි මාවත මෙයයි. ජූලි 6 රැස්වීම වඩාත් පුලුල්ව මෙම කාරනය පිලිබඳ සාකච්ඡා කරනු ඇත. එයට සහභාගී වන ලෙස, කම්කරුවන්, තරුනයින්, ශිෂ්‍යයින්. ගෘහනියන්, පීඩිතයන් ඇතුලු අවශේෂ මහජනයාට අපි ආරධනා කරමු.
