ඉදිරිදර්ශන

නැටෝව විල්නියුස් සමුලුව තුලින් රුසියාවට එරෙහි තම යුද්ධය උත්සන්න කිරීමට අවකාශ සලසා ගනු ඇත

[මෙය NATOs Vilnius summit will authorize escalation of its war against Russia යන මැයෙන් 2023 ජූලි 10 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

කැප්ෂන්: 2023 ජූලි 9 වන ඉරිදා, ලිතුවේනියාවේ විල්නියුස් හි නැටෝ සමුලුව පැවැත් වෙන ස්ථානය වටා ඇති වැටක් අසල සොල්දාදුවෝ මුර කරමින් [AP Photo/Mindaugas Kulbis]

යුක්‍රේන යුද ප්‍රයත්නය බිඳ වැටීම වැලැක්වීමට, රුසියාවට එරෙහි ව නැටෝවේ සෘජු හමුදාමය මැදිහත් වීමක් සඳහා වන මාධ්‍ය ව්‍යාපාරයක පසුබිම මත, නැටෝව අඟහරුවාදා සහ බදාදා ලිතුවේනියාවේ විල්නියුස්හි සමුලුවක් පවත්වනු ඇත.

මෙම උද්ඝෝෂනය, යුක්‍රේනය නැටෝවට ඇතුලත් කර ගත යුතු ය යන ඉල්ලීමේ ස්වරූපය ගනී. එයින් අදහස් වන්නේ, එය සිදු වුව හොත්, යුක්‍රේනය නැටෝවේ 5 වන වගන්තියෙන් ආවරනය වන බවයි; එනම් රුසියාව සමඟ යුද්ධයට යාමට එක්සත් ජනපදයට ගිවිසුම්ගත බැඳීමක් සතු වන බවයි.

යුක්‍රේනය නැටෝ සන්ධානයට ඇතුලත් කර ගැනීම හරහා වේවා, 'ආරක්ෂක සහතික' නිර්මානය කිරීම හරහා වේවා, නැටෝ හමුදා ගැටුමට සෘජු ව ම ඇතුල්වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික රාමුව හිතාමතා ම නිර්මානය කර ගනිමින් තිබේ.

නැටෝ ආන්ඩුවල ඉහල ම තල තුල පවතින ආකල්ප පිලිබිඹු කරන මෙම මාධ්‍ය ව්‍යාපාරය, තුන්වන ලෝක යුද්ධයක් සඳහා ප්‍රධාන පුවත්පත් තප්පුලෑමත් සමග, වඩ වඩාත් විකාර සහගත ස්වභාවයක් අත්පත් කර ගෙන ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කතුවැකි කොටසේ, “නැටෝ හි ආරාධනයක්, එක්කෝ යුක්‍රේනය බේරා ගනු ඇත; නැතහොත් විනාශ කර දමනු ඇත” යන මාතෘකාවෙන් පල වූ ලිපියක් ප්‍රකාශ කරන්නේ, “දැන් මොස්කව් හි අධිරාජ්‍යවාදී සිහින වලලා දැමීමට කාලයයි. එසේ කිරීමට ඇති හොඳ ම ආකාරය නම් විල්නියුස් හි දී නැටෝවට බැඳීමට යුක්‍රේනයට දේශපාලන ආරාධනයක් ලබා දීමයි.”

එවැනි ගැටුමකින් බලාපොරොත්තු සුන් වන තත්ත්වයක් තුල රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට 'තම න්‍යෂ්ටික අවි ගබඩාවට අත දැමීමට' තුඩු දෙනු ඇතැයි, එහි කතුවරිය වන ඇලියෝනා ගෙට්මන්චුක් සඳහන් කරයි.

ඇය මෙසේ ලියයි,

දැන්, පෙර වසරවල මෙන්, නැටෝවට යුක්‍රේනය බ
ඳවා ගැනීමට ආරාධනා කිරීම සමග එන අවදානම සම්බන්ධයෙන් කනස්සසලු සහගත තත්ත්වයක් ඇති ව තිබේ. නැවතත්, එය පුටින් මහතා තවදුරටත් කුපිත කිරීමේ අන්තරාය කෙරෙහි අවධානය යොමු කරයි... රුසියානු හමුදාවට නැටෝව සමග මිලිටරි ගැටුමකට හැකියාවක් නැත; එය යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවලට පවා මුහුන දෙන්නේ අසීරුවෙනි.

මෙය මුලුමනින්ම උමතු ප්‍රකාශයකි. න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් දෙදෙනෙකු අතර යුද්ධයකින් එල්ල වන අන්තරායන් විනිශ්චය කිරීමේ දී, දෙපාර්ශවයේ සාම්ප්‍රදායික බලවේගවල සාපේක්ෂ ශක්ති සංසන්දනය අර්ථ විරහිත ය.

නැටෝ හමුදාව රුසියාව පරාජය කිරීමට තර්ජනය කරන්නේ නම්, රුසියාවේ මිලිටරි මූලධර්මය වන්නේ න්‍යෂ්ටික අවි භාවිතා කිරීමයි; රුසියානු න්‍යෂ්ටික අවි ගබඩාවට පමනක්, ඇමරිකාවේ සෑම ප්‍රධාන නගරයක් ම පමනක් නොව, මුලුමහත් මානව ශිෂ්ටාචාරය ම විනාශ කල හැකි න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවාලිය හැක.

විවේචනාත්මක ව, න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයක් සමඟ යුද්ධයට යාමේ තීරනය ඉදිරි ජනාධිපතිවරනයේ දී ප්‍රශ්නයක් වීමට ඉඩ නොතැබීම සඳහා ඉක්මන් විය යුතු බව ගෙට්මන්චුක් අවධාරනය කරයි:

ඇතැම් පසුබට නැටෝ නායකයෝ යුද සන්ධානය සඳහා යුක්‍රේනයට ආරාධනා කිරීමට එරෙහි ව කිසිවක් නොමැති නමුත් සුදුසු කාලය තවම පැමින නොමැති බව පවසති. නමුත් සම්පූර්නයෙන් ම සුදුසු කාලය කියා දෙයක් තිබේ ද? ලබන වසරේ, එක්සත් ජනපදය ජනාධිපතිවරන ව්‍යාපාරයක් මධ්‍යයේ සිටිය දී වොෂින්ටන් නේටෝ සමුලුවේ දී එය සැක සහිත බව පෙනේ.

යුද්ධයට එක්සත් ජනපදය ඇතුල් වීම සඳහා ඊටත් වඩා නොසැලකිලිමත් ඉල්ලීමක් පැමිනියේ ගාඩියන් හි සයිමන් ටිස්ඩෝල් ගෙනි; ඔහු සති අන්තයේ දී නැටෝ හමුදාවලට යුද්ධයට සම්බන්ධ වන ලෙස සෘජු ව ම ඉල්ලා සිටියේ ය. “රුසියාව නැවැත්වීමට නැටෝව අවසන් පියවර ගත යුතු ය” යන මාතෘකාවෙන් යුත් ලිපියක ටිස්ඩෝල් ඉල්ලා සිටින්නේ, “එබැවින් කරුනාකර තවත් කොන්දේසි, මැසිවිලි සහ පන්ඩිත අනතුරු ඇඟවීම් එපා. යුක්‍රේනයේ ජයග්‍රහනය සහතික කිරීම සඳහා නැටෝව එහි අති මහත් බලය මුදා හැරිය යුතුය.” යනුවෙනි.

“යුක්‍රේනයේ [නැටෝවට] ප්‍රවේශය වේගවත් කල යුතු” බව පවසමින්, ටිස්ඩෝල් මෙම උද්ඝෝෂනයේ කේන්ද්‍රීය අභිප්‍රේරනය හෙලිදරවු කරයි: “මෙම ප්‍රශ්නය වැදගත් වුව ද, නැටෝව මේ සතියේ වඩා විශාල ප්‍රශ්නයකට මුහුන දෙයි: එනම්, කියෙව් හි යුද ජයග්‍රහනය සහතික කිරීමට—නැතහොත් අඩු ම තරමින් පරාජය නොවී සිටීමට එය ප්‍රමානවත් වේ ද යන්නයි.”

මාස ගනනාවක් තිස්සේ, එක්සත් ජනපද මාධ්‍ය යුක්‍රේනයේ වසන්ත ප්‍රහාරය පිලිබඳ ප්‍රකාශ නිකුත් කල අතර, එය යුද්ධයේ තීරනාත්මක සන්ධිස්ථානයක් ලෙස හුස්මක් කටක් නොමැති ව ප්‍රකාශ කලේ ය. යන්තම් මාසයකට පෙර, ඉකොනොමිස්ට් ප්‍රකාශ කලේ, “මාස ගනනක ඵල රහිත ප්‍රහාරවලින් හෙම්බත් වී සිටින රුසියාවේ දුර්වල චිත්ත ධෛර්යකින් සහ නිසි පුහුනුවක් නොලත් හමුදාවලට, අගල් සහ බලකොටු ආරක්ෂා කිරීමට අසීරු උත්සහයන් දැරීමට සිදු වනු ඇති යැයි බටහිර හමුදා නිලධාරීහු විශ්වාස කරති.” යනුවෙනි.

දැන්—සොල්දාදුවන් ලක්ෂ ගනනක් මිය ගිය ද කිසිවක් අත්කර නොගත්—යුක්‍රේන ප්‍රහාරයේ අසාර්ථකත්වයට මුහුන දී සිටින එක්සත් ජනපද මාධ්‍ය කියා සිටින්නේ කියෙව් පාලනය මිලිටරි පරාජයකින් ගලවා ගැනීමට ඇති එක ම මාර්ගය සෘජු ව මැදිහත් වීමක් බවයි.

විල්නියුස් රැස්වීම සංකල්පනය කර තිබුනේ ජයග්‍රාහකයන්ගේ සමුලුවක් ලෙස ය. ඒ වෙනුවට, නැටෝ බලවතුන් හමු වන්නේ, මිලිටරි අසාර්ථකත්වයේ පසුබිමක සිට ය: රැස්වීම 'අපේක්ෂා භංගත්වයේ සමුලුවක්' වනු ඇත. සියලු ම නැටෝ පාලන තන්ත්‍ර ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුන දී සිටින අතර, ඒවා තමන් අවුලුවාලනු ලැබූ යුද්ධයේ සුවිසල් අසාර්ථකත්වයෙන් තීව්‍ර කෙරෙනු ඇත.

මැයි මාසයේ දී, බක්මුට් බිඳ වැටීම මධ්‍යයේ එක්සත් ජනපදය F-16 ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට යවන බවට වූ නිවේදනයෙන් පසු ව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මතු කලේ මෙයයි: “මෙම නවත ම පරාජයට එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේ ද? වොෂින්ටනයට තව කොපමන දුරකට යුද්ධය උත්සන්න කල හැකි ද? දියුනු ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට යැවීමෙන් පසු ව, බයිඩන් යුක්‍රේනයට 'ආරක්ෂක' න්‍යෂ්ටික අවි යැවීමට හෝ කෙලින් ම සටන් වලට සම්බන්ධද වීම සඳහා නැටෝ හමුදාවන් පවා ගුවනේ හෝ පොලවෙහි හෝ සිටිය යුතු බවට පුවත්පත් වල ඉල්ලීම් මතු වනු ඇතැයි කිසිවෙකුට සැක කල හැකි ද?'

මෙම අනාවැකි මාස කිහිපයක් ඇතුලත තහවුරු වී ඇත.

ඉරිදා බයිඩන් පැවසුවේ, යුක්‍රේනය නැටෝවට බැඳීම සඳහා “කාලය පැමින නොමැති” බවයි. 'විය යුතු පරිදි ම, අපි රුසියාව සමඟ යුද්ධයක යෙදී සිටිමු,' යැයි බයිඩන් පැවසී ය. මෙය, “අපි ප්‍රහාරක උපකරන යැවීම සහ ගුවන් යානා, යුද ටැංකි සහ දුම්රිය යැවීම යන අදහස… එය තුන්වන ලෝක යුද්ධය ලෙස හැඳින්වේ,” යන 2022 පෙබරවාරියේ බයිඩන් විසින් කරන ලද ප්‍රකාශයේ සන්දර්භය තුල බහා බැලිය යුතු ය; ඉක්බිති ව, එක්සත් ජනපදය විසින් ප්‍රධාන යුද ටැංකි සහ F-16 යෙදවී ය. බයිඩන් පරිපාලනය, තමන් යුක්‍රේනය තුල ඉක්මවා නොයන බව කියා සිටි සෑම රතු ඉරක් ම අවසානයේ—සමහර අවස්ථාවල දී සති හෝ දින කිහිපයකට පසු ව පවා—කපා ගෙන ගොස් ඇත.

යුද්ධයට එරෙහි ව තමන්ගේ ම ජාත්‍යන්තර ව්‍යාපාරයක් දියත් කිරීම මගින් ප්‍රතිචාර දැක්විය යුතු කම්කරු පන්තියේ සෘජු මැදිහත් වීමකින් තොර ව, යුද්ධයේ තීව්‍රතාවය දිගට ම පවතිනු ඇත. රුසියාව සමග යුද්ධයට තල්ලු කරන එම ධනේශ්වර අර්බුදය ම එවැනි ව්‍යාපාරයක් සඳහා පදනම ද සකසයි. මේ වසර පුරා ම, අහස උසට නැඟෙන ජීවන වියදම සහ ආන්තික සූරාකෑම මගින් මෙහෙය වනු ලබන දැවැන්ත වැඩ වර්ජන හා විරෝධතාවලට මිලියන ගනන් කම්කරුවෝ සහභාගී වී ඇත.

මිලිටරිවාදයට හා යුද්ධයට එරෙහි ව නැගී එන කම්කරු පන්ති ව්‍යාපාරය අසමානතාවයට, සූරාකෑමට හා ධනේශ්වර ක්‍රමයට එරෙහි විරෝධය සමග බද්ධ කිරීම අවශ්‍ය වේ.

Loading