කටුවාන කාර්මික ජනපදයේ කම්කරුවෝ එහි ශ්‍රම වහල් කොන්දේසි ගැන ලෝසවෙඅ ට කතා කරති

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් පිරිසක්, පසුගිය සති අන්තයේ, හෝමාගම, කටුවාන කාර්මික ජනපදයේ සංචාරයක යෙදී ගත්හ. ජනපදයේ කම්කරුවන් මුන ගැසුනු වාර්තාකරුවෝ, ඔවුනගේ රැකියා සහ ජීවන කොන්දේසි වලට එල්ල කෙරෙමින් පවත්නා ප්‍රහාරයන් ගැඹුරු කෙරෙන ආකාරය පිලිබඳවත්, එම ප්‍රහාරයන් පරාජය කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳවත් සාකච්ඡා කලෝය.

කොලඹ සිට කිමී 25 ක් ගිනිකොනින් පිහිටි කටුවාන කාර්මික ජනපදය, නාගරික සංවර්ධන අධිකාරිය (යූඩීඒ) යටතේ 1990 දී ආරම්භකොට ඇත. 1977 දී බලයටපත් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව හඳුන්වාදුන් විවෘත ආර්ථික පිලිවෙත යටතේ ජාතික සහ ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා ලාභ ශ්‍රම වේදිකාවන් ලෙස සුවිසල් නිදහස් වෙලඳ කලාප ගනනාවක් ස්ථාපිත කෙරුනි. ජයවර්ධනගේ අනුප්‍රාප්තික ආර්.ප්‍රේමදාස විසින්, සුලු පරිමාන ආයෝජන සඳහා කුඩා කාර්මික ජනපද කීපයක් පිහිටුවන ලද අතර, කටුවාන ඉන් එකකි.

2008 වනවිට, යූඩීඒ වාර්තාවන්ට අනුව, කටුවාන කාර්මික ජනපදයෙහි කම්කරුවන් 10,000ක් පමන සේවයේ යොදවමින් ව්‍යවසායන් 61 ක් ක්‍රියාත්මක වී ඇත. ප්‍රධාන වශයෙන් ඇඟලුම් ද, ඊට අමතරව මාංශ ආහාර, ප්ලාස්ටික් උපකරන සහ කාඩ්බෝඩ් පෙට්ටි ඇතුලු විවිධ භාන්ඩ මෙම ජනපදයේ නිශ්පාදනය කෙරුනු නමුදු අද වන විට ක්‍රියාත්මක වන්නේ කම්හල් 15 කට අඩු ප්‍රමානයකි. රැකියා සංඛ්‍යාව 2000 කට පමන කප්පාදු වී තිබේ.

වසර ගනනාවක සිට ජනපදය තුල වර්ධනය වෙමින් පැවති සේවක කප්පාදුව, කෝවිඩ්-19 වසංගතයත් සමග තීව්‍ර වූ බව කම්කරුවෝ පැවසූහ. එය ලංකාවේ පිහිටි අනෙකුත් ආයෝජන කලාපවලට පොදු විය. සංචරන සීමා හේතුවෙන් දින කිහිපයක් වසා තිබූ කම්හල් යලි විවෘත කරනු ලැබුවේ, විදේශ ඇනවුම් අඩුවී ඇති බව පවසමින්, සේවක සංඛ්‍යාව සහ වැටුප් අඩකින් කපා දමමිනි.

වසංගතයත් සමග, ජාත්‍යන්තර වෙලඳපොල තුල තම නිපැයුම් වලට පැවති ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ජනපදයේ කම්හල් බොහොමයක් වසා දමා ඇත. ලෝසවෙඅ වාර්තාකරුවන් පෙරකල දුටු ජනාකීර්නබව සහ කාර්යබහුලබව වෙනුවට සමස්ත ජනපදය පාලු ස්වභාවයකින් වෙලී පැවතුනි.

දැනට ක්‍රියාත්මක වන කම්හල්වල පාලකයෝ තම ලාභ ඉහල දමාගනුවස්, ස්ථිර සේවක සංඛ්‍යාව කපා දමමින්, කොන්ත්‍රාත් පදනම යටතේ දෛනික වැටුපකට සේවය කරන කම්කරුවන් මත වඩවඩාත් යැපෙමින් සිටිති. මිනිස්බල සමාගම් විසින් සම්පාදනය කරන මෙම කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 500 ක් තරම් සොච්චමකි. අනෙකුත් දීමනා සමග දිනක මුලු වැටුප යන්තමින් රුපියල් 1000 ඉක්මවයි. වත්මන් උද්ධමනය අනුව, එය පවුලක දෛනික ආහාර සඳහා හෝ ප්‍රමානවත් නොවේ. ස්ථිර සේවකයන් සතු මූලික අයිතීන් අහිමි මෙම කම්කරුවන්, වන්දියකින් හෝ තොරව, ඕනෑම මොහොතක රැකියාවෙන් ඉවත් කල හැක..

ජනපදයේ සේවයේ යෙදෙන කම්කරුවන්ගෙන් බහුතරයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිනි තරුන-තරුනියෝ වෙති. ගම්බද සහ නාගරික පීඩිතයන්ගේ ද, වතු කම්කරුවන්ගේ ද දරුවන්, ආන්තික දරිද්‍රතාවය නිසාම නවයෞවනය ඉක්ම වූ වහාම අධ්‍යාපනය අත්හැර ජනපදයේ රැකියාවට පැමින ඇත.

කටුවාන කාර්මික ජනපදයේ සේවයේ යෙදෙන කම්කරුවන්ට නවාතැන් ගැනීමට සිදුව ඇති පේලි කාමර-ඡායාරුප WSWS

ඔවුන්ට නවාතැන් ගැනීමට සිදුව ඇත්තේ, වතු කම්කරුවන්ට ලබා දී ඇති පේලි නිවාස වලට සමාන පේලි කාමර වලය. රුපියල් 6000-7000 ක කුලියට ලබාදෙන මෙම 10'X10' ප්‍රමානයේ කාමරයක් දෙදෙනෙකු විසින් බෙදාහදා ගනු ලැබේ. කෑම පිසීම කල යුත්තේ එය තුලම වන අතර, ගෑස්වල අධික මිල හේතුවෙන් බහුතරයක් කම්කරුවෝ, ඒ සඳහා දර ලිප් භාවිතා කරති. ඔවුනට සපයා ඇත්තේ පොදු වැසිකිලි සහ පොදු නාන ස්ථානයන් පමනි.

'ස්ටයිලිෂ් ගාමන්ට්' ඇඟලුම් කම්හලේ සේවයේ යෙදී සිටින දිල්හානි නමැති කම්කරු තරුනිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැවසුවේ, අතිකාල දීමනා කපා දමා ඇති බැවින් තම වේතනය මුලික වැටුපට පමනක් සිමා වී ඇති බවයි. 'රු 5000 ක පැමිනීමේ දීමනාව ලබා ගැනීම සඳහා සෑම දිනයකම වැඩට පැමිනිය යුතුයි. දින දෙකක් වැඩට නොපැමිනි විට එම දීමනාව කැපී යනවා. එමනිසා බොහෝ කම්කරුවන් අසනීප දරාගෙන රැකියාවට යනවා.'

තම ආයතනයේ කම්කරුවන් 'ඒ','බී','සී' යනුවෙන් කාන්ඩ තුනකට වෙන් කර ඇති බවත්, සුලු වැටුප් වැඩි වීමක් හෝ ලැබෙනුයේ තමා ද අයත් 'ඒ' කාන්ඩයට පමනක් බවත් ඇය පැවසුවාය. 'ඒ' තත්ත්වයෙන් පහලට වැටුනහොත් 'පවුල නඩත්තු කරන්න විදිහක් නැහැ' යි ඇය තවදුරටත් කීවාය.

ඇඟලුම් කම්හල් බුරුතු පිටින් වැසී යද්දී තම රැකියා පවතින්නේ ඉතා අනතුරුදායක තත්වයක බව පැවසූ ඇය, රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමේ වැඩපිලිවෙලක සහ සංවිධානයක අවශ්‍යතාවය අවධාරනය කලාය.

කම්කරුවන්ට තමාගේම අවශ්‍යතාවයන් වෙනුවෙන් සටන් කරන සංවිධානයන් නොමැති බවත්, වෘත්තීය සමිති පවා තහනම් කෙරී ඇති තම කාර්මික ජනපදය තුල අවසර ලබා දී ඇත්තේ රාජ්‍ය මැදිහත් වීමෙන් ගොඩනගනු ලබන 'සේවක සභා' වලට පමනක් බව කටුවාන කම්කරුවෝ පැවසූහ.

සේවක සභා පනතට අනුව, කම්කරු කොමසාරිස් විසින් කම්කරුවන් සඳහා පවත්වනු ලබන රහස් නිලවරනයකින් මෙම සභාවට නියෝජිතයන් තෝරා පත්කර ගත යුතුය. පනතට අනුව, එකී සභාවේ අරමුන වනුයේ, ආයතනයේ 'කාර්මික සාමය, වැඩි කාර්යක්ෂමතාවයක් සහ ඵලදායිතාවයක් ඇති කර ගැනීම සඳහා සේවකයින්ගේ සහ සේවායෝජකයාගේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය සුරක්ෂිත කිරීම' යි. වෙනත් අයුරකින් පවසතොත්, මෙම ඊනියා සේවක සභාවන්හි කර්තව්‍යය වනුයේ, තම දැවෙන අවශ්‍යතා මත කම්කරුවන් විසින් දියත් කරන වැඩ වර්ජන, විරෝධතා ආදී කාර්මික ක්‍රියා කෙසේ හෝ වලක්වා 'කාර්මික සාමය' ඇතිකර දීම යි.

කටුනායක, බියගම සහ කොග්ගල ආදී නිදහස් වෙලඳ කලාපවල වෘත්තීය සමිති පැවතිය ද ඒවා විසින් ඉටු කරනු ලබන්නේ මෙම ද්‍රෝහී ක්‍රියා කලාපයම බව ලෝසවෙඅ වාර්තාකරුවෝ උදාහරන සහිතව පෙන්වා දුන්හ. ඇන්ටන් මාකස් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සහ ජනතා විමුක්ති පෙරමුනේ අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති, කෝවිඩ් වසංගතය ආරම්භවීමත් සමග, කම්කරු වැටුප් අඩකින් කපා දැමීමට විවෘතවම සහාභාගි වූ අයුරු මෙහිදී පැහැදිලි කෙරුනි.

කම්කරුවන්ට, තම අවශ්‍යතාවන් වෙනුවෙන් අව්‍යාජව සටන් කල හැක්කේ, තමා විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගැනෙන සාමාජිකයන්ගෙන් සමන්විත වන්නාවූ සහ වෘත්තීය සමිති, ධනපති පක්ෂ සහ ව්‍යාජ-වාම සංවිධාන වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔවුන්ට පෙන්වා දුන්හ. එම කමිටු තුල කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් තුලින් තම ඉල්ලීම් සූත්‍රගත කර ගැනීමටත්, එම ඉල්ලීම් දිනා ගැනීමේ වැඩපිලිවෙලක් නිර්නය කර ගැනීමටත් හැකි බව එහිදී පැහැදිලි කෙරුනි.

'වෝටර් කෙයා ටෙක්නොලොජීස්' ආයතනයේ කොන්ත්‍රාත් කම්කරුවකු වන 21ක් වයසැති සුරේන් පැවසුවේ, පාලකයන් තම වැටුපෙන් සේවක අර්ථ සාධක අරමුදල (ඊපීඑෆ්) සඳහා මුදල් අයකර ගන්නා බව පඩිපතෙහි හි පෙන්වා තිබුනත් එහි ඊපීඑෆ් අංකයක් සඳහන්කොට නොමැති බවයි. 'එය වංචාවක් බව දැනදැනත් ඒ ගැන කවුරුවත් කතා නොකරන්නෙ, නිලධාරියෙකුට ආරංචි වුනොත් රැකියාව අහිමි වීමට පවා ඉඩ ඇති නිසා' යැයි ඔහු කීවේය.

කොන්ත්‍රාත් කම්කරුවන් වන සුසන්ත හා ඔහුගේ බිරිඳ නදීෂා -ඡායාරුප WSWS

ටී ෂර්ට් සඳහා රෙදි මුද්‍රනය කරන ඇන්ට්ලර් නම් සමාගමේ කොන්ත්‍රාත් කම්කරුවන් වන සුසන්ත හා ඔහුගේ බිරිඳ නදීෂා ලෝසවෙඅ වාර්තාකරුවන් සමග සාකච්ඡාවට එක්වූහ. සුසන්ත ඔහුගේ පසුගිය මාසයේ පඩිපත (pay slip) පෙන්වමින් මෙසේ පැවසීය:

'අපි දෙන්නගෙම පඩි එකතු කරාම ලැබෙන්නේ රුපියල් තිස් දාහක් පමන මුදලක්. ඒකෙන් රුපියල් 6000 ක් මේ කාමරේට ගෙවනව. පඩියෙන් සමබල ආහාර වේලක් ගන්න පුලුවන් කමක් නැහැ. මස්, මාලු වල මිල කොහොමටවත් දරන්න බෑ. අපේ කනකර පවා උකස් කරල අපි ඉන්නෙ. මේ තත්වය යටතේ අපි අනාගතයක් ගැන හිතන්නේ කොහොමද?'

ඔහුගේ පඩිපතේ දිනක මූලික වැටුප ලෙස සඳහන්ව ඇත්තේ රුපියල් 500 ක් පමනි. අයවැය සහන දීමනාව දිනකට රුපියල් 140 කි. ඔවුන් පැය දහය බැගින් වූ වැඩ මුරයන්හි අනිවාර්යයෙන්ම සේවයේ නිරත විය යුතුය. අතිකාල සේවය සඳහා ගෙවනු ලබන්නේ පැයකට රුපියල් 131.50 ක් පමනි. සියලු දීමනා සහිතව දින 16 ක සේවය වෙනුවෙන් ඔහුට ලබා දී ඇති මුලු මාසික වැටුප රුපියල් 24,950 කි.

'අතීතයේ කම්කරුවො සටන් කරල වැඩ දිනය පැය අටකට සීමා කර ගත්ත කියල අපි දන්නව. ඒත් දැන් අපිට පැය 10 ක් වැඩ කරන්න වෙල තියෙනව. අපිව අතීතයට ගෙනිහිල්ල. වැඩ කරන පැය 12 අතරතුර කෑම සහ තේ වලට ලැබෙන මුලු විවේක කාලය පැයයි. අපේ තරුන ජීවිත වැඩපොලටමයි ගෙවිල යන්නෙ.'

ජාත්‍යන්තර වෙලඳපොලේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් තම ආයතනයේ නිෂ්පාදනය පහත හෙලා ඇති බවත්, ඒ අනුව සේවක සංඛ්‍යාව ද 90 සිට 80 දක්වා අඩුකර ඇති බවත් ඔහු පැවසීය.

දුලාන් අසංක සහ සුමිත් මධුශංක, මාංශ ආහාර නිෂ්පාදනය කරන නෝෆෝක් ෆුඩ්ස් කර්මාන්තශාලාවේ සේවය කරන තරුන කම්කරුවන් දෙදෙනෙකි. ලෝකයේ අනෙක් රටවලද උද්ධමනය සහ රැකියා කප්පාදුව වේගවත් කෙරි ඇතිබව තමා අන්තර්ජාලය හරහා දැනගත්බව සඳහන් කල දුලාන් මෙසේ පැවසීය: 'ලංකාවෙ ගිය අවුරුද්දෙ ඇති වෙච්ච මහජන නැගිටීම වගේ තත්වයක් දැන් ප්‍රංශෙ ඇතිවෙලා තිබෙනව. ලෝකෙ හැම රටකම කම්කරුවො එකම ප්‍රශ්න වලට මුහුන දෙන්නෙ. එහෙම බැලුවම, අපි මුහුනදෙන ප්‍රශ්න ධනපති ක්‍රමයෙ අර්බුදයක් බවටත්, ඒවා ජය ගැනීම සඳහා ධනපති ක්‍රමයට එරෙහිව සටන් කලයුතු බවටත් ඔබ කරන පැහැදිලි කිරීමට අපිට එකඟ වෙන්න වෙනව.'

වතු පාලකයන්, පොලීසිය සහ වෘත්තීය සමිති එක්ව මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහිව ගෙනයන දඩයම පරාජය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සහ එහි මූලිකත්වයෙන් ගොඩනගා ඇති වතු කම්කරු ක්‍රියාකාරි කමිටුව දියත්කොට ඇති උද්ඝෝෂනයට කටුවාන කම්කරුවෝ සහාය පල කලහ. වර්ජනයේ යෙදීම හේතුවෙන් රැකියාවෙන් නෙරපා ඇති ඕල්ටන් කම්කරුවන් වහා රැකියාවේ පිහිටුවන ලෙසත්, ඔවුනට එරෙහි බොරු නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ඉල්ලා සිටින පෙත්සමට ඔවුහු උද්‍යෝගයෙන් අත්සන් තැබූහ.

කෝවිඩ්-19 වසංගතයෙන් සහ රුසියාවට එරෙහිව නැටෝ බලයන් ගෙනයන යුද්ධයෙන් ගැඹුරු කෙරුනු ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ, ලොවපුරා ධනපති පාලක පංතීහු, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් වෙනුවෙන් දශක කීපයකට පෙර ගොඩනගන ලද ලාභ ශ්‍රම වේදිකාවන්, කම්කරුවන් සතු සියලු අයිතීන් අහිමි කෙරුනු ශ්‍රම වහල් කඳවුරු බවට පත් කරමින් සිටිති. කටුවාන කාර්මික ජනපදය ඒ පිලිබඳ සිත් සසල කරවන උදාහරනයකි.

අර්බුදග්‍රස්ත ධනපති ක්‍රමය විසින් තරුන පරම්පරාවට අත්කර දෙමින් පවත්නා මෙම රුදුරු ශ්‍රමවහල්භාවයෙන් මිදී ශීලාචාර ජීවිතයක් ගත කරනුවස්, පැය අටේ වැඩ දිනය, කොන්ත්‍රාත් පදනම වෙනුවට ස්ථිර රැකියා, පහසුකම් සහිත නේවාසික ස්ථාන සහ වැඩිවන ජීවන වියදම අනුව වැඩිවන වැටුපක් ආදී දැවෙන අවශ්‍යතා සඳහා සටන් කරනුවස්, වැඩපොල මට්ටමෙන් ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට, කටුවාන කාර්මික ජනපදයේ කම්කරුවන් සහ ලොවපුරා ඔවුනගේ පංති සගයන් පෙරට පැමිනිය යුතුය.

මෙම ශ්‍රමවහල්භාවයෙන් මිදිය හැක්කේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මූලිකත්වයෙන් ගොඩනගා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග එම ක්‍රියාකාරී කමිටු ඒකාබද්ධ කරමින්, ලෝක ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙන්ම පමනකි.