ආන්ඩුව සුබසාධන සහනාධාර කපා දැමීමට එරෙහි ව දහස් සංඛ්‍යාත ජනයා විරෝධතා දක්වති

[මෙය Thousands protest Sri Lankan government’s attacks on welfare subsidies යන මැයෙන් 2023 ජූලි 07 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රටෙහි දුගීන් සඳහා ආරම්භ කොට ඇති “අස්වැසුම” නමැති නව සමාජ සුභසාධන වැඩ සටහන යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුස්සන් ලෙස හඳුනා ගෙන ඇති අයගේ නාම ලේඛන ප්‍රසිද්ධ කිරීමත් සමග, ප්‍රතිලාභ අහිමි වූ දුගී ජනයා, එකී නාම ලේඛන සකස් කල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වටලමින් ගෙන යන විරෝධතාවන්ගෙන්, පසුගිය දෙසතිය පුරා, සමස්ත දිවයින ඇලලී ගියේ ය.

2023 ජුනි 26 වැනි දින නුවරඑලියේ දී, අස්වැසුම සහනාධාර ගෙවීම් ඉල්ලා සිටිමින් විරෝධතා දක්වන කාන්තාවෝ [ඡායාරූපය: ෆේස්බුක්] [Photo: Facebook]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මැයි මාසයේ දී පැවති “සමෘද්ධි” වැඩසටහන වෙනුවට අස්වැසුම හඳුන්වා දෙන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ආන්ඩුවට මාර්තු මාසයේ දී ඩොලර් බිලියන 3 ක ඇප නය දීමේ කොටසක් ලෙස සුබසාධන සහ අනෙකුත් සමාජ වියදම් කපා හැරිය යුතු බවට නියෝග කලේ ය. ජාමූඅ ඉල්ලා සිටියේ, සුභසාධන වැඩසටහන, 'අන්ත දුගී කොටස්' සඳහා පමනක් සහාය විය යුතු බවයි.

විරෝධතාකරුවන් අතරින් බහුතරය වනුයේ, කලින් පැවති 'සමෘද්ධි' සමාජ සුභසාධන වැඩ සටහන යටතේ මාසික සහනාධාරය ලබා ගනිමින් සිට, 'අස්වැසුම' යටතේ එම සහනාධාරය අහිමිවූවන් ය. “අස්වැසුම” සහනාධාරය සඳහා තමා ඉදිරිපත් කල ඉල්ලුම්පත් භාර නොගත් බවට ද විරෝධතාකරුවෝ චෝදනා කරති.

ආන්ඩු පසුගිය දශක කිහිපය තුල ජනසවිය සහ සමෘද්ධි යන විවිධ සහන වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. කෙසේ වෙතත්, මෙම වැඩසටහන් දරිද්‍රතාවය අවසන් කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැති අතර, ඒවා ධනේශ්වර පාලක ප්‍රභූවට එරෙහි මහජන විරෝධය දිය කර හැරීමේ මංමුලා සහගත උත්සාහයන් පමනක් වේ.

දිවයිනේ විවිධ පලාත්වල පීඩිත ජනයා සමග ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කල සාකච්ඡාවන්හි දී, සහනාධාරය පවා අහිමි වීමෙන් තමා ඇද වැටී සිටින දුක්ඛිත තත්වය ගැන ඔවුහු කෝපයෙන් කතා කලහ.

මධ්‍යම පලාතේ, මහනුවර, හන්දෙස්සේ පදිංචි අශෝකා හේරත් පැවසුවේ සමෘද්ධියෙන් ඇයට ලැබුනු රුපියල් 2500 කපා ඇති බව යි.

“අපි ජීවත් වෙන්නෙ හරි ම අමාරුවෙන්. මහත්තයටත් රැකියාවක් නැහැ. ගැහැනු නිවුන් දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන් දෙන්න ම උසස් පෙල ඉගෙන ගන්නවා. ඔවුන්ට යන වියදම කීප ගුනයකින් වැඩි වෙලා.” යැයි ඇය පැවසුවා ය.

අශෝකා හේරත්

හේරත් පැහැදිලි කලේ ඇය වැනි දුප්පත් පවුල් නව සුබසාධන ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසට ආන්ඩුව අස්වැසුම වැඩසටහන සඳහා සමීක්ෂන සිදු කල නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

“ගෙදර බයිසිකලයක් තියෙනව දැක්කත්, කඩ කෑල්ලක් හරි කුකුලු කූඩුවක් හරි දැක්කත් නම කැපිල. කෑම් බීම්වලට, දරුවන්ගෙ අධ්යාපනයට, බේත් හේත්වලට යන වියදම් ගැන ආන්ඩු හොයනව ද?” යැයි අශෝකා ප්‍රශ්න කලා ය.

මහනුවර පුද්ගලික රෝහලක සේවයේ යෙදී, එක් ඇසක් නොපෙනී යාම හේතුවෙන් රැකියාව අහිමි වූ කාන්තාවක් අසෝකාගේ අදහස් අනුමත කරමින් කියා සිටියේ 'සමෘද්ධියෙන් මට ලැබුනු රුපියල් 3500 අස්වැසුම හඳුන්වා දෙද්දී කපල දාල. ජිවත් වෙන්න පුදුම සටනක් කරන්නෙ.”

බන්ඩාරවෙල, දඹඅතුපතන, හීල්ඔය ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකු සිටින වැන්දඹු කාන්තාවක්, තමා විවිධ කුලී වැඩ කර දෛනික වැටුපක් ලබා ගැනීම නිසා අස්වැසුම සුබසාධනය නොලැබෙන බව පැහැදිලි කලා ය.

'ස්වාමි පුරුෂයා මැරිල අවුරුදු හතරක් වෙනව. අපිට කිසිම ස්ථිර ආදායමක් නැහැ. මං හුඟක් වෙලාවට බඩගින්නෙ ඉඳල දරුවන්ට කැඳ ටිකක් හරි හදල දුන්නෙ සමෘද්ධියෙන්. අපිට මැරෙන්න තමයි වෙන්නෙ. මේ ගම්වල මටත් වඩා අමාරු මිනිස්සුන්ගෙ නම් කපල තියනවා' යැයි ඇය පැවසුවා ය.

බන්ඩාරවෙල උතුරු කැබිල්ලවෙල පදිංචි එච්. ධම්මිකා රුපියල් 12,000 ක මාසික වැටුපකට ගෘහ සේවිකාවක් ලෙස සේවය කල අතර මීට පෙර සමෘද්ධි සහනාධාරය ලබා ගත්තා ය. ඇය නව වැඩසටහනෙන් ඉවත් කර ඇත. ඇගේ ස්වාමිපුරුෂයා ඔත්පල වී සිටින්නේ ඔහුගේ පිටේ සැත්කමකින් පසු ඇවිදිය නොහැකි තත්වයට පත්ව ය.

'මාත් අසනීප වෙල ඉන්නෙ. අපි දෙන්නම බොහෙත් ගන්නෙ බදුල්ල මහ රෝහලෙන්. දැන් රෝහල්වල අත්‍යවශ්‍ය බොහෙත් නැති නිසා පිටින් බෙහෙත් ගන්න ලොකු මුදලක් යනව. බඩුමිල අහස උසට නගිද්දි, බෙහෙත් වලටත් ලොකු මුදලක් වියදම් කරන්න වෙල. අපි කොහොම ද ජීවත් වෙන්නෙ. අපි වගේ අන්ත දුප්පතුන්ට දීපු සහනාධාරයත් කපා දමන මේක අස්වැසුමක් වෙන්නෙ කොහොම ද?' යැයි ඇය ප්‍රශ්න කලා ය.

වැඩුනු විරෝධතා මධ්‍යයේ, අස්වැසුම සහනාධාරය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ආන්ඩුව මාසයක කාලයක් ලබා දී තිබේ. මාධ්‍ය වාර්තාවන්ට අනුව, මේ වන විට 550,000 කට වැඩි ප්‍රමානයක් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කොට ඇත. එයමත් රටෙහි ආන්තික දරිද්‍රතාව පිලිබඳ සිත් කා වදින දර්ශකයකි.

විරෝධතාකරුවෝ 2023 ජූනි 26 වැනි දින නුවරඑලියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලට බලෙන් ඇතුලු වෙමින් [ඡායාරූපය: ෆේස්බුක්] [Photo: Facebook]

කැප්ෂන්: විරෝධතාකරුවෝ 2023 ජූනි 26 වැනි දින නුවරඑලියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලට බලෙන් ඇතුලු වෙමින් [ඡායාරූපය: ෆේස්බුක්]

ලක්ෂ 33 කට අධික පිරිසක් අස්වැසුම ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරද්දී, වික්‍රමසිංහගේ ඊනියා සහන වැඩසටහන, පවුලක දිනකට අවම වියදමක්වත් පියවා ගත නොහැකි තරම් සොච්චමකි. මෙම යෝජනා ක්‍රමය යටතේ, වෙනස් කන්ඩායම් හතරකට ප්‍රතිලාභ ලබා දෙනු ඇත: අතරමැදි [දුප්පත්කම අද්දර සිටින], අවදානමට ලක්විය හැකි, දුප්පත් සහ අන්ත දුගී.

ඒ අනුව, අතරමැදි ප්‍රතිලාභීන්/පවුල් 400,000 කට ජූලි 1 සිට දෙසැම්බර් 31 දක්වා රුපියල් 2,500 ක මාසික දීමනාවක් ලැබෙනු ඇත; අවදානමට ලක්විය හැකි ප්‍රතිලාභීන් 400,000 කට 2024 මාර්තු 31 දක්වා රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලැබේ; 800,000 දිලිඳු සහ අන්ත දිලිඳු පුද්ගලයන්ට ඉදිරි වසර තුන සඳහා පිලිවෙලින් රුපියල් 8,500 සහ 15,000 මාසික දීමනා ලැබෙනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජූනි සමීක්ෂනයට අනුව, ජනගහනයෙන් දුප්පත්ම සියයට 40 ක් මසකට උපයන්නේ රුපියල් 26,931ක් පමනක් වන අතර, එය හතර දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට වේල් තුනක් සැපයීමට නොව, අනෙකුත් ජීවන වියදම් සඳහාවත් ප්‍රමානවත් නොවේ. දුප්පත්ම සියයට 20 ක් මසකට රුපියල් 17,532 ක සොච්චම් මුදලක් උපයයි.

අධික උද්ධමනය පසුගිය වසර තුල ශ්‍රී ලංකාවේ සැබෑ ආදායම සියයට 40 කින් කපා හැර තිබේ. මෙම දුෂ්කර තත්වයන් මධ්‍යයේ ආන්ඩුව සීමිත සමෘද්ධි සුබසාධන වැඩසටහන වෙනුවට සාපරාධී ලෙස කිසිසේත් ප්‍රමානවත් නොවන අස්වැසුම දීමනා ලබා දී ඇත. තවත් මිලියන ගනනක් ශ්‍රී ලාංකිකයන් දරිද්‍රතාවයට ඇද දමන මෙම පියවර, ඔවුන්ගේ ඇපදීමේ නය ශ්‍රී ලංකාවේ “ම්ලේච්ඡ අත්හදා බැලීමකට” සමාන වනු ඇතැයි ප්‍රකාශ කිරීමේදී ජාමූඅ නිලධාරීන් අදහස් කලේ කුමක්ද යන්න තවදුරටත් අවධාරනය කරයි.

සමගි ජන බලවේගයේ සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ, පසු ගිය වසර කීපය තුල රටේ දරිද්‍රතා ජනගහනය මිලියන 3 සිට 7 ක් දක්වා වැඩි වී ඇති නමුත්, ආන්ඩුව 'අස්වැසුම' සහනාධාර ලබා දෙන්නේ මිලියන 1.2 කට පමනක් වීම 'මෙම විරෝධතාවන්ට හේතුව' බවයි. ප්‍රතිලාභීන් මෙ ලෙස සීමා කෙරී ඇත්තේ, ඔහු ද සහාය දෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල යටතේ බව ප්‍රේමදාස වසන් කරයි.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විජිත හේරත් පසු ගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ, අස්වැසුම සඳහා සුදුසුකම් නොලබන බොහෝ දෙනෙකුට එය නොලැබී ගියේ තේරීම් නිර්නායකවල පැවති “දෝෂ” නිසා බවයි. ඔහු අස්වැසුම ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ කොටසක් බව ද කියා සිටි අතර, ජවිපෙ එයට විරුද්ධ බව අවධාරනය කලේ ය. මෙම ප්‍රකාශ පච ය. ජාමූඅ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ජවිපෙ තරයේ කැප වී සිටී. ඇත්ත වශයෙන් ම, 2023 මාර්තු 24 දින හේරත් පාර්ලිමේන්තුවට පැවසුවේ ජාමූඅ ඇප ලබා ගැනීමට ජවිපෙ විරුද්ධ නොවන බවයි.

ආන්ඩුවේ පුද්ගලීකරන පියවරයන්ට සහ රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් වලට එල්ල කරන ප්‍රහාර වලට එරෙහි ව කම්කරුවන්ගේ විරුද්ධත්වය මැඩලීමේ කාර්යට කැප වී සිටින වෘත්තීය සමිති නිලධරය, දුප්පතුන්ට එරෙහි දුෂ්ට ප්‍රහාරය පිලිබඳ මරනීය නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය දරිද්‍රතාවයෙන් පෙලෙන මහජනතාවගේ ආරක්ෂාවට පැමිනිය යුතු අතර තවත් මිලියන ගනනක් අන්ත දරිද්‍රතාවයට ඇද දමන ආන්ඩුවේ ජාමූඅ කප්පාදු පිලිවෙත් වලට එරෙහි ව ඒකාබද්ධ දේශපාලන අරගලයක් තුල ඔවුන් පෙලගැසිය යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, වෘත්තීය සමිති, ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ගේ දේශපාලන ක්ෂමාලාපකයන්ගෙන් ස්වාධීන ව සෑම වැඩපොලක ම, වතුකරයේ, අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල සහ දුගී හා ග්‍රාමීය ජනතාව අතර ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි.

දිලිඳුකම නැති කල හැක්කේ සුලු පිරිසකගේ ලාභය සඳහා නොව, බහුතරයේ යහපත සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. මේ සඳහා ඉතා කුඩා ධනවත් ප්‍රභූ පැලැන්තිය අතින් නිෂ්පාදන හා බෙදා හැරීමේ මාධ්‍යවල පාලනය අල්ලා ගෙන, සම්පත් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම අවශ්‍ය වේ.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට කම්කරු පන්තියේ සහ ගම්බද දුගීන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප ඉල්ලා සිටින්නේ එබැවිනි. මෙම ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් ව ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී කොංග්‍රසයක් කැඳවීමට සසප කැඳවුම් කරනුයේ, මෙම ක්‍රියාමාර්ගය සඳහා අරගලය ඉදිරියට ගෙන යාම සඳහා බලගතු මධ්‍යස්ථානයක් නිර්මානය කිරීම සඳහා ය.

Loading