[මෙය Arrested Sri Lanka comedian Natasha Edirisooriya granted bail යන මැයෙන් 2023 ජූලි 13 දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]
ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩ්-අප් (standup) ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය, මහාධිකරන විනිසුරුවරයෙකුගේ මැදිහත්වීමෙන් පසු, ජූලි 5දා කොලඹදී රුපියල් 100,000 ඇප මත නිදහස් කෙරුනි. ඇය අප්‍රේල් මාසයේ “මෝඩාභිමානය” ප්‍රහසන වැඩසටහනේ ප්‍රසංගයක් අතරතුර “බුද්ධාගමට අපහාස කල” බවට එල්ල වූ චෝදනා මත, මැයි 28දා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්ව මාසයකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටියාය.
එදිරිසූරියට එරෙහිව දරුනු ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් ආරම්භ කල බෞද්ධ භික්ෂූන් සහ සිංහල අන්තවාදීන් කිහිප දෙනෙක්, අප්‍රේල් මාසයේ ඇයගේ රංගනයෙන් පසු බුදුන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෝ ය.
බෞද්ධ කටයුතු පිලිබඳ කොමසාරිස් සහ භික්ෂූන් කිහිප දෙනෙක්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) පනතේ 3 (1) වගන්තිය යටතේ ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පොලිස් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) වෙත නිල පැමිනිල්ලක් ඉදිරිපත් කලෝ ය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ විදේශ කටයුතු අමාත්‍ය ව සිටි රෝහිත බෝගොල්ලාගම විසින් 2007 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයිසීසීපීආර් පනත, සෑම විටම භාවිතා කර ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව යි.
ප්‍රහසන ශිල්පිනිය වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජූනි 11 දා පලකල ලිපියට අනුව, එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම භාෂනයේ නිදහසට ඇති අයිතිය ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ඍජු ප්‍රහාරයකි. එහි අරමුන වූයේ, වර්ගවාදී හැඟීම් අවුස්සමින්, වික‍්‍රමසිංහ ආන්ඩුවේ කුරිරු කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙන මහජන කෝපය අපසරනය කිරීම ය.
ප්‍රතිගාමී බෞද්ධ කොටස් සහ මාධ්‍ය කන්ඩායම්, පුලුල් ලෙස වාර්ගික හැඟීම් ඇවිස්සීමට මංමුලා සහගතව උත්සාහ කල ද ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වූයේ නැත. ඒ වෙනුවට, එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සැලකිය යුතු මහජන පිලිකුලක් සහ ජාත්‍යන්තර විරෝධයක් ඇවිලවූවේ ය.
ජුලි 5දා ඇප ලබාදීමට පැය කිහිපයකට පෙර, කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නියෝග කලේ, ප්‍රහසන ශිල්පිනිය ජුලි 12දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ය. එදිරිසූරිය වෙනුවෙන් ගොනුකල පෙත්සමකට ප්‍රතිචාර දක්වමින් මහාධිකරන විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් එදිනම සවස එම නියෝගය අවලංගු කරන ලදී.
මහේස්ත්‍රාත් ගමගේ, ජූනි 21දා එදිරිසූරියගේ පූර්ව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කල අතර, “අනුබල දීම” මත—එනම්, ප්‍රහසන ශිල්පිනියගේ වීඩියෝ පටය ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන බෲනෝ දිවාකරට ඇප ලබා දුනි.
ගමගේ කියා සිටියේ, එදිරිසූරිය “හිතාමතාම බුදුන් වහන්සේට අපහාස කල” බවත්, ඇයගේ ප්‍රහසනයේ “සාපරාධී බව” “ලඝු කල නොහැකි” බවත් ය. ඔහු, ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ද සඳහන් කරමින්, එය “බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දී ඇති” අතර, එබැවින් “බුදුරජානන් වහන්සේගේ නාමය (එදිරිසූරිය විසින්) අපකීර්තියට පත් කර ඇති බව” පැවසීය.
ජූනි 21දා මාධ්‍ය අමතමින්, බෞද්ධ භික්ෂුවෙකු වන පෙත්සම්කරුවෙකුගේ නීතීඥ මනෝජ් ගමගේ, මහේස්ත්‍රාත් අධිකරනය විසින් ඇප ප්‍රතික්ෂේප කිරීම 'අති විශිෂ්ඨ තීන්දුවක්' ලෙස ප්‍රශංසා කරමින්, ආගම සහ රාජ්‍යය වෙන් කිරීම ඉල්ලා සිටින්නන් හෙලා දුටුවේය. මෙම ප්‍රකාශයන් සහ මහේස්ත්‍රාත් ගමගේ ගේ ප්‍රකාශයන්, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය සහ අධිකරනය ඇතුලු රාජ්‍ය යාන්ත්‍රනය අතර සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සමඟ ඇති ගැඹුරු සම්බන්ධකම් අවධාරනය කරයි.
1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම සමග 1972 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම ප්‍රමුඛ ආගම ලෙස ස්ථාපිත කිරීම, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට හා දුර්වල කිරීමට පාලක පන්තිය ගත් උත්සාහයේ කොටසකි. ආගම රාජ්‍යයෙන් වෙන් කිරීම මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකි.
කොටුව මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ප්‍රතික්ෂේප කරන, ඔහුගේ පිටු 12 ක ඇප නියෝගයේ කොලඹ මහාධිකරන විනිසුරු ආදිත්‍ය පටබැඳි පැවසුවේ, අයිසීසීපීආර් “භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස තුල අර්ථකථනය කල යුතු” බවයි.
“සිදුවූයේ යැයි කියනු ලබන මෙම වැඩසටහනින් පසු එහි ප්‍රේක්ෂකයන් ඉලක්ක ගත කන්ඩායම අරභයා එසේ නොමැති නම් ඉලක්ක ගත කන්ඩායම වන බෞද්ධයන්ට එරෙහිව කිසියම් හෝ උසිගැන්වීමක් එනම්, සතුරුකම් කිරීමක් හෝ ප්‍රචන්ඩත්වය වැපිරීමක් (Hostility or Violence”) සිදුකර ඇති බවට කිසිදු සාක්ෂියක් බී වාර්තාවෙන් තහවුරු නොවේ' යැයි ඔහු තීන්දු කලේය.
තව ද, “බෞද්ධ භික්ෂුවක් හෝ වෙනත් ආගමික නායකයෙක් හෝ සමාජයේ පෙලඹවීමේ බලයක් තිබෙන පුද්ගලයෙකු (Influential Person”) පැමිනිල්ලක් කල පමනින් ම ඒ මත පිහිටා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම විමර්ශකයෙකුගේ කාර්යභාරය නොවේ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සීමිත කරුනුවලට යම් යුක්තිසහගත බවක් පැවතියද, මහාධිකරනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නෙකු ලෙස හුවා දැක්වීම අත්වැරැද්දක් වනු ඇත. එදිරිසූරියට ඇප ලැබී ඇතත්, ඇයට එරෙහිව එල්ල වී ඇති ගොතන ලද චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය නොවන බවට හෝ ඒ වෙනුවෙන් නඩු නොපවරනු ඇති බවට සහතිකයක් නැත.
මහේස්ත්‍රාත් අධිකරනය නිෂ්ප්‍රභ කිරීමේ මහාධිකරන තීන්දුව පෙන්නුම් කරන්නේ, පාලක පන්තියේ සහ සංස්ථාපිතයේ කොටසකට ජාත්‍යන්තර විවේචන සහ දේශපාලන බලපෑම් වලක්වා ගැනීමට අවශ්‍යව ඇති බවයි.
දකුනු ආසියාවේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුලු දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උත්සුකතාවන් පල කර ඇති අතර, ඇයව වහාම නිදහස් කර සියලු චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. අයිසීසීපීආර් පනත 'ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට නැවත නැවතත් භාවිතා කර ඇති' බව ඇම්නෙස්ටි පැවසුවේ ය.
මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය අතරතුර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්-නෂිෆ්, එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම විවේචනාත්මකව අවධාරනය කලාය. “විරෝධතා නායකයින් අත්අඩංගුවට ගැනීම සහ බලහත්කාරයෙන් ජන සමූහයන් පාලනය කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම, විරෝධතා දැක්වීම් නිරන්තර දෘඩ හස්තයෙන් මර්දනය කිරීමත්, විරුද්ධත්වය සීමා කිරීමට සහ සිවිල් නිදහස පාලනය කිරීමට කුරිරු නීති භාවිතා කිරීමේ පැරනි ප්‍රතීකයනුත්, පොලිස් කටයුතු සඳහා හමුදාව යොදා ගැනීමත් පසුගිය මාසවල අවාසනාවන්ත ලෙස දැකගත හැකි විය,” ඇය පැවසුවාය.
මේ වසරේ සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 13 දක්වා පැවැත්වෙන කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ සම්පූර්න වාර්තාවක් ඉදිරිපත් කරන බවට, එක්සත් ජාතීන්ගේ සරනාගතයින් පිලිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් කෙලී ටී. ක්ලෙමන්ට්ස් අනතුරු ඇඟවීය.
එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් අතීතයේ දී ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දේශපාලන වාසියක් ලෙස යොදා ගත්තේ, චීනය සමඟ ආර්ථික හා දේශපාලන සබඳතා බිඳ දැමීමට කොලඹට බලපෑම් කිරීම සඳහා ය. මෙම බලවතුන්ට ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කිසිදු සැලකිල්ලක් නැති මුත්, තම මූලෝපායික අවශ්‍යතා ඉටුකර ගැනීමට එය නරුම ලෙස භාවිතා කරයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව තවත් “දැඩි” යෝජනාවක් මීලඟ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ගෙන ආ හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගේ ප්‍රකාශය ආන්ඩුව විසින් සලකන බවට සැකයක් නැත.
තවදුරටත් ගත් කල, කොලඹ මහාධිකරනය, 2022 අප්‍රේල්-ජූලි විරෝධතා අතරතුර ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර ගනනාවක් සමඟ සමීපව සහයෝගී වෙමින්, ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් දහස් ගනනින් අත්අඩංගුවට ගැනීම සාධාරනීකරනය කර තිබේ. බුද්ධාගමට නිගා කල බවට චෝදනා එල්ල වූ ලේඛක ශක්තික සත්කුමාර සහ තවත් අය අත්අඩංගුවට ගැනීම ද එය අනුමත කර ඇත. ඒ අයුරින්ම, උසාවි කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ විරෝධතා තහනම් කරමින් අපමන නියෝගයන් නිකුත් කර තිබේ.
එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව මැයි 29 දා මාධ්‍ය හමුවක් පවත්වමින් කල අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ජූලි 4දා සීඅයිඩීයට කැඳවා තිබිනි.
සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ වර්ගවාදී ව්‍යාපාර ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව විසින් දිරිමත්කොට තිබේ. එදිරිසූරිය අත්අඩංගුවට ගත්තා සේම, “ආගමික සංහිඳියාව කඩාකප්පල් කරන පුද්ගලයන් හෝ කන්ඩායම් පිලිබඳව විමර්ශනය කරීමටත්, ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමටත්” විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස වික්‍රමසිංහ තම මහජන ආරක්‍ෂක ඇමැතිවරයාට උපදෙස් දුන්නේ ය.
මෙම ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට ඒකාබද්ධ වෙමින් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවකදී කියා සිටියේ, එදිරිසූරියට “මිනිසුන්ගේ හදවතේ පවතින ආගමික විශ්වාසයන් රිදවීමට අයිතියක් නොමැති” බවත්, “ඒක අදහස් ප්‍රකාශනයේ නිදහසට ගන්න බෑ” යනුවෙනි.. “ ලෝකය ඉදිරියේ අපේ රට අවමානයට පාත්‍රකිරීමට” මග පෑදීම සම්බන්ධයෙන් සිල්වා ප්‍රහසන ශිල්පිනියට ප්‍රසිද්ධියේ චෝදනා කරමින් හෙලා දුටුවේය.
ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ද මේ අදහස්ම වැමෑරුවේ ය. එදිරිසූරියගේ ප්‍රහසන රංගනය, “විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳින ජනයා, ඔවුන් විස්වාස කරන සංස්කෘතික, ආගමික විශ්වාසයන්ට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා.… ඒකෙන් ජනතාව කැලඹිලා, බෞද්ධයන්ගේ සිත් රිදීමක් මේ ප්‍රකාශය තුලින් වෙලා තියෙන්නේ” යැයි ඔහු මාධ්‍යයට කෙඳිරිගෑවේ ය. ජයගොඩ කියා සිටියේ, පසුගිය වසරේ මහජන නැගිටීමේදී එක්සත් වූ ජනතාව බෙදීමට ආන්ඩුවට දැන් අවශ්‍යවී ඇති බවත් ඒ අතර මෙම ප්‍රහසන ශිල්පිනිය ද සිටිනා බවත් ය.
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා උසාවිය වැනි ධනේශ්වර ආයතන මත විශ්වාසය තැබිය නොහැක. ධනේශ්වරයේ කිසිදු කන්ඩායමක් අතර හෝ ඔවුන්ගේ ව්‍යාජ-වාම හෙංචයියන් අතර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන කිසිදු කන්ඩායමක් නොමැත.
ජාත්‍යන්තර පාලක ප්‍රභූන්ට අනුව පාද තබමින්, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්තිය ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි සිය ප්‍රහාර තීව්‍ර කරමින් හා ආඥාදායක පාලන ආකාර කරා පියවර නගමින් සිටී. කම්කරු පන්තියට සිය මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ධනේශ්වර පන්තියේ සෑම කන්ඩායමකින්ම බිඳී, ධනේශ්වර ක‍්‍රමය අහෝසි කිරීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත සිය ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනි. මෙම දේශපාලන අරගලයේ දී එහි සගයා වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.
