(මෙය Jacobin, Democratic Socialists of America cover up for Syriza and prepare new betrayals මැයෙන් 2023 ජුනි 29 වැනි දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)
ජුනි 25 වැනි දා ග්‍රීක මැතිවරනයේ දී සිරිසාව ලත් අන්ත පරාජයෙන් අනතුරු ව, හිටපු අගමැති ඇලෙක්සි සිප්රාස්ට පක්ෂය නායකත්වයෙන් අවමං සහගත ලෙස ඉල්ලා අස් වීමට සිදු විය. “නව දැක්මක් සඳහා අවශ්‍ය අසීරු හා ධෛර්යය සම්පන්න තීරන” ගැනීමට ඊනියා “රැඩිකල් වමේ සභාගය” (සිරිසාව) සූදානම් බව ඔහු ප්‍රකාශ කලේ ය.
සිප්රාස්ගේ ඉල්ලා අස්වීම, ඔහුගේ නායකත්වය යටතේ පක්ෂයට පවතින සහයෝගයෙහි ඇද වැටීම පිලිගැනීමක් වූ අතර, ඕනෑ ම “නව දැක්මක” ඉලක්කය වනු ඇත්තේ, බැංකු හා ධනපති පාලක ප්‍රභූන්ගේ තීරනාත්මක උපකරනයක් ලෙස දිගට ම ක්‍රියාත්මක වනු වස්, සිරිසාවට මුහුනත්තහඩුවක් සම්පාදනය කිරීම යි.
ඒ අතර, ජාත්‍යන්තර ව්‍යාජ-වාම කන්ඩායම්, සිරිසාවේ පාවා දීම් තුල තම තමන් ම ඉටු කල සාපරාධී භූමිකාව ආවරනය කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින්නේ, අනාගතයේ කරන නව පාවාදීම් සඳහා වඩා හොඳින් සූදානම් වෙමිනි.
මේ සඳහා ලාක්ෂනික වන්නේ, බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජිර්ගෝස් ගවුසොලිස් විසින් ලියන ලදු ව, ජැකොබින් සඟරාවේ පල කරන ලද “ග්‍රීක වාමාංශය බරපතල අර්බුදයක” නමැති ලිපිය යි. ජැකොබින් සඟරාව එක්සත් ජනපදයෙහි ඩිමොක්‍රටික් පක්ෂයේ කොටසක් වන ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා සංවිධානයට (ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් - ඩීඑස්ඒ) අනුබද්ධ ප්‍රකාශනයකි.
“ඒත්තු යනසුලු ප්‍රගතිශීලී පිලිවෙත් න්‍යාය පත්‍රයක් සකස් කරගෙන, වාමාංශයට යලි බලයට පැමිනීම සඳහා” “අප අවසානයේ මෙම තත්ත්වයට පත් වූයේ කෙසේ දැයි අවබෝධ කර ගැනීමට” තමන් උත්සාහ කරන බව, ජැකොබින් සඟරාව ලියයි. එහෙත් එය ඉදිරිපත් කරන්නේ ඓතිහාසික මුසාකරනයේ වෑයමකි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙම ඉතිහාසය සමකාලීන ව විශ්ලේෂනය කල ආකාරය හා එය විමර්ශනය කිරීම අවශ්‍ය ය. සිරිසාව කල සෑම දෙයක් පෙරදැකිය හැකි වූ අතර, නිවැරදි ව පෙරදක්නා ලදී. (ලෝසවෙඅහි, “The Syriza Government in Greece: The Pseudo-Left in Power” යන ඉදිරිපත් කිරීම බලන්න.)
අන් සෑම ව්‍යාජයක් ම පදනම් කරනු ලබන පලමු බොරුව වන්නේ, ආන්ඩු බලයේ සිටි සිරිසාව යම් හෝ ආකාරයකින්, “වම සඳහා බලයක්” නියෝජනය කල බව යි. 2015 ජනවාරියේ දී, සිරිසාව බලයට පත් කරනු ලැබූ විට, ජැකොබින්, ඩීඑස්ඒ හා ලොව පුරා ඔවුන්ගේ සම-චින්තකයන් විසින් එය ඉදිරිපත් කරන ලද්දේ, යුරෝපීය හා ලෝක දේශපාලනය තුල මහා වෙනසක් ලෙස යි. සිරිසාවේ තේරී පත් වීමෙන් පසු දින, එනම් 2015 ජනවාරි 26දා, ජැකොබින් සඟරාව ලීවේ, “සිරිසාවේ මැතිවරන ජයග්‍රහනය යුරෝපීය රැඩිකල් වමට හා කම්කරු ව්‍යාපාරයට යෝධ අවස්ථාවක් ගෙන දෙමින් බලාපොරොත්තුවක් ගෙනැවිත් ඇත” යනුවෙනි.
එහෙත්, දේශපාලන ප්‍රවනතා හා ඒවා නියෝජනය කරන පන්ති අවශ්‍යතා පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක් මත තම තක්සේරුව පදනම් කල හෝ සිප්රාස් කියමින් සිටි දේවල් කියවූ ඕනෑ ම අයෙක්ට, සිරිසාව යනු කවරක් ද හා එය කුමක් කරනු ඇද්ද යන්න මුලුමනින් පැහැදිලි විය. එහි “රැඩිකල් වාම” පූච්චානම් කවරක් වුවත්, සිරිසාව වනාහි, මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථරයන් මත රැඳී සිටින හා බැංකුවල විධානයන් ක්‍රියාත්මක කරනු ඇති, ධනපති පක්ෂයක් විය.
“තමන් ගනුදෙනු කරමින් සිටින්නේ කවරෙක් සමග ද යන්න දන්නා පාලක පන්තිය, සිරිසාව සම්බන්ධයෙන් තමන්ට බිය වීමට දෙයක් නැතැයි ද දන්නා” බව, මැතිවරනයට සති තුනකට පෙර, එනම් 2015 ජනවාරි 5 වැනි දා සිරිසාවේ මැතිවරන ක්‍රියා මාර්ගය විභාග කල ලිපියක් තුල ලෝසවෙඅ ලිවී ය.
මැතිවරනයට පසු දිනය වූ 2015 ජනවාරි 26දා, ජැකොබින් සඟරාව “රැඩිකල් වාමාංශයට” තැබිය හැකි බලාපොරොත්තු ප්‍රකාශයට පත් කරද්දී, ලෝසවෙඅ මෙසේ ලිවී ය:
“ග්‍රීක ධනපති පන්තියේ සාම්ප්‍රදායික පාලක පක්ෂ වන පැසොක් හා එන්ඩීය මැතිවරනයෙන් ප්‍රතික්ෂේප වීම, බැංකු විසින් විධානය කරන කප්පාදුව කෙරෙහි මහජන කෝපය පිලිබිඹු කරයි. එහෙත්, සිරිසාව යනු යුරෝපා සංගමය, යුරෝව හා ධනවාදය ආරක්ෂා කිරීමට කැප වූ ධනපති පක්ෂයකි.”
ගවුසොලිස්ගේ ආඛ්‍යානයට අනුව, “2015 ජනවාරියේ දී, සිරිසා නායකත්වයෙන් යුත් පරිපාලනය සභාග ආන්ඩුවක් තැනීමෙන් පසු, යුරෝපා සංගමයේ ආයතනවලට, බලගතු කන්ඩායම්වලට හා යුරෝපා සංගමයේ උතුරේ දේශපාලන නායකයන්ට ප්‍රගතිශීලී පිලිවෙත් න්‍යාය පත්‍රයක් ක්‍රියාවට දැමිය හැකි යයි ඒත්තු ගැන්වීමට එම පරිපාලනය උත්සාහ කලේ ය. එහෙත් මාස හයක සාකච්ඡාවලින් පසුව, මෙම අභිලාෂයන් තලා දමන ලදී.”
යථාර්ථයේ දී, සිරිසාව, එහි අගමැති සිප්රාස් හා ඔහුගේ අගසවු වූ මුදල් ඇමති යානිස් වරුෆාකිස්, එහි සියලු මැතිවරන පොරොන්දු බිඳ දැමීම පලමු දිනයේ සිට ම ආරම්භ කල හ. මෙය ආරම්භ කරන ලද්දේ එහි ආන්ඩුව තැනීම සමගිනි. “සභාග ආන්ඩුවක්” ගැන ජැකොබින් සඟරාව සඳහන් කල ද එම සභාගය තනන ලද්දේ කවුරුන් සමගදැයි නම් කිරීම ආචාරශීලී ලෙස ප්‍රතික්ෂේප කරයි: එනම්, නව ප්‍රජාතන්ත්‍රවාදී (එන්ඩී) පක්ෂයෙන් බිඳී ගිය දක්ෂිනාංශික හා සංක්‍රමන-විරෝධී ඉන්ඩිපෙන්ඩන්ට් ග්‍රීක් (ස්වාධීන ග්‍රීක - ඇනෙල්) පක්ෂය සමගිනි.
ලෝසවෙඅ ලියූ පරිදි, මුලුමනින් ම සිරිසාවේ අභිමතය අනුව සිදු වූ ඇනෙල් සමග බලවේග ඒකාබද්ධ කිරීමේ තීන්දුවේ ඉලක්කය වූයේ, “තමන්ගේ නව ආන්ඩුව ග්‍රීක හා ජාත්‍යන්තර ධනේශ්වරයේ මූලික අවශ්‍යතාවන්ට තර්ජනයක් නො වන බවට ඔවුන්ට සංඥා කරන අතර, සිය පිලිවෙත දකුනට මාරු කිරීම සඳහා හොඳ ම කොන්දේසි” නිර්මානය කර ගැනීමයි.
ග්‍රීසියේ හා යුරෝපයේ කම්කරු පන්තිය බලමුලුගැන්වීමට උත්සාහ කරනු වෙනුවට, සිරිසාව ඉදිරියට දමන ලද්දේ, ඇබිත්තක් ලබාගැනීම සඳහා යුරෝපා සංගමයට යැදීමේ බංකොලොත් පිලිවෙතකි. සෑම යුරෝපීය අගනුවරක ම මුදල් ඇමතීන්ට සට්ටැඹිකම් කිරීමේ නායක භූමිකාව ඉටු කලේ වරුෆාකිස් ය.
එවකට පැවති හා වෛරයට පාත්‍ර යුරෝපා සංගමයේ පිටුබලය ලැබුනු “අවබෝධතාව” යටතේ වූ කප්පාදු පියවරයන් “කොයි අයුරකින් හෝ ආපසු හැරවීමෙන්” තමන් වලකින බවටත්, “ග්‍රීසියේ සියලු නය හිමියන්ට ඇති මූල්‍යමය වගකීම්වලට ග්‍රීසිය මුලුමනින් ම හා කාලානුරූපී ආකාරයකින් ගරු කරන” බවටත් යුරෝ කන්ඩායමට පොරොන්දු වෙමින්, සිරිසාව ගිවිසුමක් අත්සන් කලේ, බලයට පත් වීමෙන් මාසයක් ගතවන්නටත් පෙර ය.
“සිරිසාව එහි ආස්ථානය පවත්වා ගනී” යි කියමින් ජැකොබින් සඟරාව ඒ සමයේ බොරු කියද්දී, “‘වාම’ සුලු-ධනේශ්වර දේශපාලනයේ සමස්ත ඉතිහාසය තුල පවා, අගමැති සිප්රාස්ගේ රැවටීම, නරුමත්වය හා සත්‍ය වසයෙන් ම ජුගුප්සාජනක බියගුලුකමට සමාන වන උදාහරනයක් සොයා ගැනීම අසීරු ය” යි ලෝසවෙඅ ලිවී ය.
සිරිසාව හා සිප්රාස් ඉන්පසු යුරෝපීය මූල්‍ය ප්‍රාග්ධනය සමග ඔවුන්ගේ එකඟතාව පිලිගන්නා ලෙස කම්කරුවන්ට බල කිරීමට ප්‍රයත්න දැරුවේ, අප්‍රේල් මාසයේ විරෝධතාවේ යෙදුනු ශිෂ්‍යයන්ට එරෙහි ව පොලීසිය දිගේලි කිරීම මගින් පෙන්වා දුන් පරිදි අවශ්‍ය විට බලය යොදා ගනිමිනි..
2015 ජූලි මාසයේ දී, නව කප්පාදු පියවරයන් පිලිබඳ ප්‍රෝඩාකාරී ජනමත විචාරනයක් තුල මෙය කුලුගැන්වුනු අතර, ජැකොබින් සඟරාව දැන් එය විස්තර කරන්නේ, “යුරෝ කලාපය ඇතුලත ආර්ථික පිලිවෙත්වල දිශාව වෙනස් කිරීමට සිරිසාව දැරූ අවසන් උත්සාහය” ලෙස ය. ඒ සමයේ දී, එම සඟරාව ජනමත විචාරනය නිවේදනය කරමින් සිප්රාස් කල ව්‍යාජ කතාව සම්පූර්නයෙන් පල කලේ ය.
කම්කරුවන් දිරිසුන් කිරීමට හා විරුද්ධත්වයේ ගෙල සිර කිරීමට සිරිසාව දැරූ ප්‍රයත්නය, බැංකුවල විධානයන් ක්‍රියාවට දමනුවස් “ඔව්” යයි ඡන්දයක් නිෂ්පන්න කරනු ඇතැයි හෝ සිප්රාස්ට ඉල්ලා අස් වී එන්ඩීයට බලය පවරා දීමට පවා ඉඩ දෙනු ඇතැයි මුලුමනින් ම ඒත්තු ගෙන සිරිසාව මෙම ජනමත විචාරනය සංවිධානය කලේ ය. “නැත” යන ඡන්දයක් ලැබුන හොත්, එය නො තකා කප්පාදු පියවරයන් පිලිබඳ ව තමන් අඛන්ඩ ව යුරෝපා සංගමය සමග සාකච්ඡා ගෙන යන බව, සිප්රාස් පැහැදිලි කලේ ය. එම ඡන්දයට පෙර ලෝසවෙඅ විස්තර කලේ, “සිප්රාස් ජනමත විචාරනයේ අන්තර්ගතය වැඩකරන ජනයාට දැනුවත් ව විස්තර කලේ නම්, ඔහුට කිව හැක්කේ පොල්ල වැටුනොත් යුරෝපා සංගමය දිනුම්, නෝනා වැටුනොත් ඔබ පරාදයි” යනුවෙනි.
මහජනයා අතිමහත් බහුතරයකින් කප්පාදුවට එරෙහි ව ඡන්දය දුන් විට, මුලුමනින් ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුනු නව යෝධ ඇප තැබීමේ කප්පාදුවක් පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගැනීමට සිරිසාව ක්‍රියා කලේ ය. වරුෆාකිස් යන පරිපූර්න අවස්ථාවාදියා මුදල් ඇමති ධූරයෙන් ඒ සමයේ දී ඉල්ලා අස් වූයේ, සිප්රාස්ගෙන් තමන් ම දුරස්ථ ව සිටීම මගින් පුද්ගලික හා දේශපාලනික කඩවඩා ගැනීම් සඳහා තමන්ට වඩා හොඳ අවස්ථා තිබේ යයි හඟිමිනි.
2015 සැප්තැම්බරයේ දී, ඡන්දය දීමෙන් මහා පරිමානයෙන් වැලකී සිටීම මධ්‍යයේ, සිරිසාවේ යන්තමින් යලි තේරී පත් විය. 2019 මැතිවරනයේ දී පරාජය කරනු ලැබීමට පෙර, සිරිසාව හා සිප්රාස් ඊලඟ වසර හතර තුල බලයේ රැඳී සිටියේ ය.
හැකිතාක් කෙටියෙන්, 2015න් පසුව ආන්ඩුව මුදුනත සිරිසාවේ කාලය සලකා බැලීමට ජැකොබින් සඟරාව ක්‍රියා කරයි. ගවුසොලිස්ට අනුව, මෙම කාල පරිච්ඡේදය “වඩා දුගී කුටුම්බයන් ආරක්ෂා කල සීමිත සමාජ පිලිවෙත්” විසින් විලක්ෂනය කල නමුත්, එය සිදු වූයේ, “විශේෂයෙන් ම ග්‍රීක සමාජයේ වඩා දුගී කොටස්වලට පහර දෙමින්,” “අයවැය අතිරික්තනයන් හා රාජ්‍ය නය ගෙවීම් මත ප්‍රාථමික වසයෙන් කේන්ද්‍රගත වූ ආර්ථික පිලිවෙතක” සමස්ත රාමුව ඇතුලත ය.
2015 දී, කප්පාදුවට එරෙහි සංවිධිත විරෝධය මර්දනය කොට තලා දමා තිබුනු සිරිසා ආන්ඩුව, යුරෝපීය මූල්‍ය ප්‍රාග්ධනයේ හා ග්‍රීක පාලක පන්තියේ විධානයන් ම්ලේඡ ලෙස හා ක්‍රමානුකූල ව ක්‍රියාත්මක කලේ ය. ග්‍රීක පොලීසිය විසින් අධීක්ෂනය කරනු ලබන දේශපාලන සිර කඳවුරු ස්ථාපිත කිරීම ඇතුලු ව, සරනාගතයන්ට එරෙහි යුරෝපා සංගමයේ රුදුරු “යුරෝපා බලකොටු ගැන්වීමේ” පිලිවෙතෙහි පෙරමුනේ රාල ලෙස වඩාත් ම කුප්‍රකට ලෙස එය කටයුතු කලේ ය. ඒ අතර ම, එය නැටෝවට සහ එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ පිලිවෙත්වලට මුලුමනින් ම සහයෝගය දුන්නේ ය.
විනාශකාරී විපාක ඇති කරමින්, සමාජ අසමානතාවේ ආන්තික වර්ධනය සහ ග්‍රීක කම්කරුවන් හා තරුනයන් දරිද්‍රතාවට වැටීම, සිරිසා ආන්ඩුව විසින් අධීක්ෂනය කලේ ය. පසුගිය එන්ඩී ආන්ඩුවේ අවසන් මාස කිහිපය තුල, පුද්ගලයන් 57 දෙනෙකු මරා දැමූ දුම්රිය අනතුර ගැන ජැකොබින් සඟරාව සඳහන් කරන්නේ, “රාජ්‍ය යටිතල පහසුකම් තුල ආයෝජන හරනයේ හා දුම්රිය පුද්ගලීකරනයේ” බලපෑම ගෙනහැර දක්වමිනි. ග්‍රීසියේ රාජ්‍ය දුම්රිය සේවාව වූ ට්‍රේන්ඕඑස්ඊ විකුනා දැමීම ඇතුලු මේවායින් බොහොමයක් සිදු වූයේ සිරිසාව යටතේ බව සඳහන් කිරීම එය විසින් නො සලකා හරී.
ලෝසවෙඅ අනතුරු ඇඟ වූ ලෙස, මේ සමස්ත ක්‍රියා දාමයේ ප්‍රතිඵලය වී ඇත්තේ, දේශපාලනික දක්ෂිනාංශය ශක්තිමත් කිරීම යි. සිරිසාව ඉදිරියට දැමූ හා එයට ආවරනය සැපයූ සියලු සංවිධාන, සමහරුන් මුග්ධත්වයෙන් යුතු වුවත්, පොදු දැනුවත් අවබෝධයකින් හා ඒකාබද්ධ හතුරුකමකින් යුතු ව, කම්කරු පන්තියට එරෙහි ව ඔවුන්ගේ භූමිකාව ඉටුකල හ.
ලෝසවෙඅ “ව්‍යාජ-වම” යන වචනය භාවිතා කරද්දී, “ව්‍යාජ” යන්න මත අවධානය තැබිය යුතු ය. මේ සංවිධාන පිලිබඳ “වාමාංශික” කිසිවක් නැත. ඔවුන් “සමාජවාදී” යන වචනය භාවිතා කරන්නේ එක් අරමුනක් සඳහා පමනි: එනම්, කම්කරු පන්තිය අව්‍යාජ සමාජවාදී දේශපාලනයට හැරීමෙන් වැලැක්වීමට ය. ඔවුන් නියෝජනය කරන පන්ති අවශ්‍යතා සලකද්දී, ඔවුන් ඉහල මධ්‍යම-පන්තියේ වරප්‍රසාදිත කොටස් නියෝජනය කරන අතර, එහි ධනය හා දෘෂ්ටිය අධිරාජ්‍යවාදයට හා වෝල් වීදියට ගැටගැසී ඇත.
ග්‍රීසියේ සිරිසාවේ සැබෑ ඉතිහාසය හා පාඩම් මුසාකරනය කිරීම මගින්, ජැකොබින් සඟරාව පැහැදිලි කරන්නේ, එහි අභිප්‍රායය වන්නේ නව පාවාදීම් සංවිධානය කිරීම සඳහා එයට හැකි සියල්ල කිරීම බව යි. “ඊලඟ වසර හතර සඳහා ග්‍රීක පාර්ලිමේන්තුව තුල කප්පාදුවට හා පුද්ගලීකරනයට එරෙහි ව සටන් කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමත්, ඉතා අසීරු වනු ඇත” යි ගවුසොලිස් ඔහුගේ ලිපිය තුල නිගමනය කරයි. “නව අව්‍යාජ ලෙස රැඩිකල් දේශපාලන සන්ධාන නිර්මානය කිරීමට තුඩු දෙමින්... වාමාංශික සමාජ ව්‍යාපාරය හා දේශපාලන...යලි ගොඩනැගීම” අවශ්‍ය බව ඔහු ලියයි.
සිරිසාවේ විවිධාකාර ඉතුරු පහදු හා කැඩී ගියවුන් කවර සංවිධානයක් වියමන් කරගත්ත ද එය සිරිසාවට වඩා “රැඩිකල්” නො වනු ඇත. අසමානතාවට හා කප්පාදුවට විරුද්ධ වීමේ මාවතක් සොයමින් සිටින කම්කරුවන්ට හා තරුනයන්ට නව උගුලක් නිර්මානය කිරීම එහි ඉලක්කය යි.
ඩීඑස්ඒ හා ජැකොබින් සඟරාව සිරිසාව ආවරනය කරමින් එයට සහයෝගය දෙන්නේ, 2015 සිට 2019 දක්වා එය බලයේ සිටි කාලය තුල සිරිසාවේ දක්ෂිනාංශික පිලිවෙත්වලට ඔවුන් ද යොමු ව සිටින බැවිනි. මෙය සමපේක්ෂනමය කරුනක් නො වේ. පසුගිය වසරේ දී දුම්රිය වැඩ වර්ජනයක් නීති-විරෝධී කිරීමට ඩීඑස්ඒ සාමාජිකයන් ඡන්දය දුන් අතර, යුක්‍රේනය අරබයා එක්සත් ජනපදය හා නැටෝව රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධයට ඩීඑස්ඒ ඉතසිතින් සහයෝගය දෙයි.
එක්සත් රාජධානියේ කෝබින්, එක්සත් ජනපදයේ සෑන්ඩර්ස්, ජර්මනියේ වාම පක්ෂය, ප්‍රන්සයේ මෙලෙන්චොන් සහ ලොව පුරා ගනන් නැති ප්‍රභේද වනාහි, කම්කරු පන්තිය නො ව, වරප්‍රසාදිත ඉහල මධ්‍යම පන්තිය නියෝජනය කරන සංවිධානවල දිරිගැන්වීම හා සහයෝගය ලබන දේශපාලන සංස්ථාපිතයෙහි කොටස් ය. ඔවුන්ගේ ධනපති-ගැති පිලිවෙත් අත්වැරදීමක් නො ව, ඔවුන් නියෝජනය කරන සමාජ බලවේගයන්ගේ නිෂ්පාදිතයි. සිරිසාව මෙන් ඔවුන් ද සේවය කරන්නේ, දේශපාලනික දක්ෂිනාංශය ශක්තිමත් කිරීමට පමනි.
සමාජ අසමානතාවේ ආන්තික මට්ටම්, තීව්‍ර වන අධිරාජ්‍යවාදී යුද්ධවල විපාක, ෆැසිස්ට්වාදයේ හා ආඥාදායකත්වය වර්ධනය, වසංගතයේ බලපෑම සහ ධනවාදී අර්බුදයේ සියලු ප්‍රකාශ වීම්වල නිෂ්පාදිත ලෙස, ලෝකය පුරා කම්කරුවන්ගේ හා තරුන ජනයාගේ වර්ධනය වන මහජන ව්‍යාපාරයක් පවතී.
එහෙත්, කම්කරු පන්තිය අව්‍යාජ සමාජවාදී ව්‍යාපාරයක වර්ධනය, ස්වයංක්‍රීය ක්‍රියා දාමයක් නො වේ. ඉතිහාසයේ පාඩම්වල පදනම මත අධ්‍යාපනගත කරනු ලබන කේඩරයක් සහිත ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනැගීම ඒ සඳහා අවශ්‍ය කරයි. වෙහෙස නො තකමින් හා සම්මුති විරහිත ව ව්‍යාජ-වම හෙලිදරවු කිරීමට හා එයට විරුද්ධ වීමට කම්කරුවන් හා තරුනයන් පුහුනු කරගැනීම, මෙම අධ්‍යාපනයේ කේන්ද්‍රීය මූලිකාංගයකි. ග්‍රීසියේ සිරිසාවෙහි අත්දැකීමේ සැබෑ පාඩම මෙය යි.
වැඩිදුර අධ්‍යයනයට
ග‍්‍රීසිය තුල සිරිසාව කල පාවාදීමේ දේශපාලන පාඩම් https://www.wsws.org/sinhala/2015/2015dec/icfi-13d.html
සිරිසාවේ මැතිවරන පරාජය: දේශපාලන පාවදීමක ශේෂ පත්‍රයක්
https://www.wsws.org/sinhala/2019/2019jul/pers-17j.html
