ඉදිරිදර්ශන

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල: අද දවසේ සමාජවාදය සඳහා අරගලය තුල ඉතිහාසයේ පාඩම්

[මෙය Socialist Equality Party Summer School: The lessons of history in the fight for socialism today යන මැයෙන් 2023 අගෝස්තු 07 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) එහි ද්විවාර්ෂික ජාත්‍යන්තර ගිම්හාන පාසල ජූලි 30 ඉරිදා සිට අගෝස්තු 4 සිකුරාදා දක්වා පැවැත්වීය. පාසල, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සඳහා, විශේෂයෙන් 1953 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටුවීමේ සිට 1985-86 කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) ජාතික අවස්ථාවාදීන් සමග භේදය දක්වා වසර 33 ක කාලය සඳහා කැප කරන ලදී.

ජාත්‍යන්තර කමිටුවේ සියලුම ශාඛාවල සහ අනුග්‍රහය දක්වන කන්ඩායම්වල සාමාජිකයින්ට සහභාගී වීමට ඉඩ සලසමින්, පාසල අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදී. සියලුම දේශන සහ සාකච්ඡා, කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂනයන් භාවිතා කරමින්, එකවර විවිධ භාෂා අටකට පරිවර්තනය කර සිරස්තල සම්පාදනය කරන ලදී. එපමනක් නොව, සසප නායකත්වය, වසංගතයක් මධ්‍යයේ ආරක්‍ෂිත සහ ඵලදායී ඔන්ලයින් විකල්පයක් පවතින විට, විශාල, සතියක් පුරා දිවෙන කායිකව සහභාගී වන රැස්වීමක් පැවැත්වීම වගකීම් විරහිත, වැරදි උපදෙසක් ලෙස සලකයි.

රටවල් 10 ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර කමිටුවේ සහ එහි සහයෝගී කන්ඩායම් වල ප්‍රමුඛ සාමාජිකයින් විසින් දින හයක් පුරා දේශන 12 ක් පවත්වන ලදී. 'ලියෝන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය' යන මැයෙන්, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති සහ සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද හඳුන්වාදීමේ දේශනයෙන් ආරම්භ වන මෙම දේශන මාලාව ඉදිරි සති කිහිපය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරෙනු ඇත.

ආරම්භක වාර්තාව, 2019 ගිම්හාන පාසලේදී ඉදිරිපත් කරන ලද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ දල විශ්ලේෂනය සිහිපත් කලේය. 2019 ආරම්භක වාර්තාව තුල, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ පැහැදිලි අවධීන් පහක් හඳුනාගෙන තිබුනි. පලමු හතර නම්: 1) 1923 දී වාම විපාර්ෂවය පිහිටුවීම සහ 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම අතර; 2) හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සහ 1953 නොවැම්බරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම අතර; 3) හජාජාක පිහිටුවීම සහ 1986 කවිපයේ ජාතික අවස්ථාවාදීන්ගෙන් අවසන් බිඳීම අතර; සහ 4) කවිපයෙන් බිඳී වෙන්වීමෙන් පසු කාලය.

2019 ආරම්භක වාර්තාව සඳහන් කලේ, දැන් ක්‍රියාත්මක වෙමින් පවතින පස්වන අදියර, ධනේශ්වර අර්බුදයේ දැවැන්ත තීව්‍රවීමක්, පන්ති අරගලයේ ඉහල යාමක් සහ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන බලපෑමේ වර්ධනය මගින් සංලක්ෂිත වනු ඇති බවයි.

2023 පාසලේ දේශන, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ තුන්වන අදියර කෙරෙහි අවධානය යොමු කලේය. මෙය, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරමින් හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට හා ධනේශ්වරය ජාතිකවාදී ව්‍යාපාරයන්ට යටත් කිරීමට උත්සාහ කල පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයේ විවිධ රූපාකාරයන්ට එරෙහිව ට්‍රොට්ස්කිවාදීන් විසින් දිග්ගැසුනු අරගලයක් ගෙන ගියා වූ, ජාත්‍යන්තර කමිටුව තුල තීව්‍ර ගැටුමක කාල පරිච්ඡේදයක් විය.

ඩේවිඩ් නෝර්ත්ගේ ආරම්භක වාර්තාවෙන් සමස්ත සතියේ ම තානය සකස් කෙරුනි. එය ආරම්භ වූයේ, 2022 ජූලි 27 වැනි දින මිය යන තෙක් ම වසර 35 ක් ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ විජේ ඩයස්ගේ ජීවිතය හා මතකය වෙනුවෙන් පාසල කැප කිරීමෙනි. නෝර්ත්, විජේ සහෝදරයාට උපහාර පුද කරමින්, දශක හයකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වය තුල ඔහු ඉටු කල කේන්ද්‍රීය භූමිකාව කෙරෙහි අවධානය යොමු කලේය. 'විජේගේ කැපී පෙනෙන ලක්ෂනයන් වූයේ අසීමිත සහ අප්‍රතිහත ධෛර්යමත්භාවය සහ දේශපාලන මූලධර්ම කෙරෙහි නොසැලෙන කැපවීම' බව නෝර්ත් පැවසීය. 'මෙය ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් පවා හඳුනා ගත්තකි; ඔහු ඉදිරියේ සිටින විට, තම අවස්ථාවාදය ගැන යම් ආකාරයක ලැජ්ජාවකට පත්වීම වලක්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය.'

නෝර්ත් අනතුරුව ප්‍රශ්නය ඉදිරිපත් කලේය: ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නව අදියරක් පිලිබඳ 2019 ඇගයීම කෙතරම් දුරට තහවුරු වී තිබේද? “පසුගිය වසර හතර දෙස ආපසු හැරී බලන විට, 2019 පාසල පැවැත්වූයේ අධිරාජ්‍යවාදයේ ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුදයේ දැවැන්ත උත්සන්න වීමේ ආසන්නයේම බව අවිවාදිත සත්‍යයකි,” යැයි ඔහු පැවසීය. මෙම අර්බුදයේ ප්‍රධාන මූලාවයව අතරට, 2020 මුල් මාසවලදී ගෝලීය කෝවිඩ්-19 වසංගතයේ ආරම්භය; 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපදයේ පැසිස්ට්වාදී කුමන්ත්‍රන ප්‍රයත්නය; එක්සත් ජනපද-නැටෝ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් උසිගන්වන ලදුව නිර්දය ලෙස උත්සන්න කෙරුනු, 2022 පෙබරවාරි 24 දින යුක්‍රේනය තුල රුසියානු ආක්‍රමනය; සහ ලොව පුරා කම්කරු පන්තියේ අරගලවල දැවැන්ත නැගිටීමක් ආදිය ඇතුලත් වේ.

රුසියාව සමග යුද්ධය මෙහෙයවීමේදී බයිඩන් පරිපාලනයේ ආන්තික නොසැලකිලිමත්කම කෙරෙහි අවධානය යොමු කරමින් නෝර්ත් අවධාරනය කලේ, එය, මිලිටරි බලය මගින් පිරිහෙන ගෝලීය ආර්ථික තත්වය සමනය කිරීමට ඇමරිකානු පාලක පන්තියේ දිග්ගැස්සුනු උත්සාහයේ කොටසක් ලෙස වටහා ගත යුතු බවයි. 'එහි ආධිපත්‍යය සඳහා වන ප්‍රයත්නය පසෙක තැබූවද, ගෝලීය භූ දේශපාලනයේ එක්සත් ජනපදයේ කේන්ද්‍රීය භූමිකාව සුරැකීම, එක්සත් ජනපද ඩොලරය අවිවාදිත ලෝක සංචිත මුදල ලෙස පවත්වා ගැනීම සමඟ මුලුමනින්ම බැඳී පවතී,' යැයි ඔහු පැහැදිලි කලේය.

ධනේශ්වර අර්බුදයේ පරිමානය පමනක් නොව, කම්කරු පන්තියට ඉදිරිදර්ශනයක් සහ දිශානතියක් සැපයීමේදී හජාජාක සහ එහි ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ තීරනාත්මක භූමිකාව නෝර්ත් අවධාරනය කලේය. නිව් යෝර්ක් ටයිම්ස් හි 1619 ව්‍යාපෘතිය හෙලිදරව් කිරීමේ එහි කේන්ද්‍රීය භූමිකාව; කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනය ආරම්භ කිරීම ඇතුලුව පාලක පන්තියේ වසංගත පිලිවෙතට එරෙහි විරුද්ධත්වය බලමුලු ගැන්වීම; ජාත්‍යන්තරව ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනයට සහ යුක්‍රේනය අරබයා රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නැටෝ බලයන් ගෙනයන යුද්ධයට එරෙහිවත් කම්කරුවන් හා තරුනයන් අතර උද්ඝෝෂනය; සහ 2021 දී ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සඳහා වැඩෙන සහයෝගය තුල, පසුගිය වසර හතර පුරා හජාජාක දේශපාලන අධිකාරියේ ප්‍රසාරනය දැකගත හැකිය.

ඉන්පසු ඔහු, පාසල අභිප්‍රේරනය කරන මූලික දේශපාලන සංකල්පය සාරාංශගත කලේය. “අපගේ වැඩ කටයුතු ඉදිරියට යන්නේ,—නිෂ්පාදන ක්‍රියාවලියේ එහි වෛෂයික භූමිකාවට අනුව—ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ දී කම්කරු පන්තිය සමාජයේ මූලික විප්ලවවාදී බලවේගය බවට වන මූලික හා ඓතිහාසිකව තහවුරු කරන ලද පදනමෙනි. කම්කරු පන්තියට තම ඓතිහාසික කර්තව්‍යයන් පිලිබඳ දේශපාලන ස්වයං විඥානයේ සහ අවබෝධයේ මට්ටම සාක්ෂාත් කරගත හැකිද, නැද්ද යන්න නිෂ්ඵල සමපේක්ෂනයට අයත් කාරනයක් නොවේ. සාක්ෂාත් කරගත හැකි හෝ කල නොහැකි දේ තීරනය වන්නේ භාවිතයෙනි. විප්ලවයන් පරාජයට පත් වූ බව නිසැක සත්‍යයකි. එහෙත්,—සියල්ලටත් වඩා, 1917 ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීමෙන් පෙන්නුම් කර ඇත්තේ—කම්කරු පන්තියට අවශ්‍ය නායකත්වය ලබා දුනහොත්, පාලක පන්තිය පෙරලා දැමිය හැකි බව ය.”

එවන් නායකත්වයක් පදනම් විය යුත්තේ, සියල්ලටත් වඩා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල දැනුවත්ව විමර්ශනය කර ඇති සහ සටන් කර ඇති, 20 වන සියවසේ කම්කරු පන්තියේ දැවැන්ත අත්දැකීම් පිලිබඳ අවබෝධයක් මත ය.

නෝර්ත් පැවසුවේ, විප්ලවීය යුගයක අභියෝගවලට මුහුන දෙමින්, “පක්ෂ සාමාජිකත්වයේ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ. මෙම අධ්‍යාපනයේ වැදගත්ම අංගය වන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ කේඩරයන්ගේ දැනුම සහ අවබෝධය ඉහල නැංවීම” යැයි ඔහු තවදුරටත් පැවසීය.

මාක්ස්වාදී ව්‍යාපාරය සඳහා, ඓතිහාසික දැනුම, සැමවිටම විප්ලවවාදී භාවිතයේ පදනම වී ඇත. ඓතිහාසික අත්දැකීම් උකහා ගැනීම න්‍යායිකව මඟ පෙන්වන භාවිතයක පදනම වන අතර, එය, දේශපාලන ක්‍රියාකාරකම්වල ආරම්භක ලක්ෂ්‍යය සාමාන්‍යයෙන් පුද්ගල අත්දැකීම් සහ පුද්ගලික හැඟීම් ලෙස ගන්නා, දේශපාලනයේ තත්කාර්යවාදී ප්‍රවේශය ඉක්මවා යා යුතුය.

සමස්ත පාසලම මෙම ඉදිරිදර්ශනයෙන් සජීවී විය. නිරන්තර තේමාවක් වූයේ විප්ලවවාදී භාවිතය සහ ඉතිහාසය අතර සම්බන්ධයයි. මේ අර්ථයෙන් ගත් කල, පාසල මුලුමනින්ම අසමසම විය. පසුගිය ශතවර්ෂයේ තබා, පසුගිය දශකය තුල, එහි භූමිකාව සහ දේශපාලන ආස්ථානයන් පිලිබඳ වෛෂයික හා අවංක වාර්තාවක් සැපයිය හැකි වෙනත් එකදු දේශපාලන ප්‍රවනතාවක්වත් නොමැත. ග්‍රීසියේ සිරිසා, ස්පාඤ්ඤයේ පොඩෙමෝස්, ජර්මනියේ වාම පක්ෂය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් සමාජවාදීන් වැනි සංවිධාන, සෑම පාවාදීමක් සමගම නොවරදවාම තව දුරටත් දකුනට ඇදී යමින්, එක් තත්කාර්යවාදී උපාමාරුවකට පසු තවෙකක් මත සිය දේශපාලනය පදනම් කරති.

දේශන, 1938 දී ට්‍රොට්ස්කි විසින් හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමේ දේශපාලන පදනම; 1953 දී පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයට එරෙහි සටනේ දී ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම; කියුබානු විප්ලවය සහ කැස්ත්‍රෝවාදයට සහ සුලු ධනේශ්වර ජාතිකවාදයට ජාත්‍යන්තර කමිටුවේ විරුද්ධත්වය; 1964 දී ලසසප ධනේශ්වර ආන්ඩුවට සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ සිදුවූ 'මහා පාවාදීම'; 1971 දී ප්‍රංශයේ ඕසීඅයි සමග භේදයට සම්බන්ධ වූ සංකීර්න දේශපාලන ගැටලු; අර්නස්ට් මැන්ඩෙල්ගේ 'නව ධනවාදී' ආර්ථික න්‍යායන් පිලිබඳ මාක්ස්වාදී විවේචනය; 1974 දී ටිම් වුල්ෆර්ත් සමග බිඳී යාම සහ සසප පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය තුල පැබ්ලෝවාදයට එරෙහි අරගලය නවීකරනය; ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධයෙන් 1975 දී ආරම්භ කරන ලද, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයේ විමර්ශනයේ මූලාරම්භය සහ වර්ධනය; සහ, 1985-86 කම්කරු විප්ලවවාදී පක්ෂය සමඟ ඇති වූ භේදයට සම්බන්ධ වූ දාර්ශනික හා දේශපාලන ගැටලු ද ඇතුලු විවේචනාත්මක අත්දැකීම් මාලාවක් සමාලෝචනය කලේය.

මෙම ඉතිහාසය පිලිබඳ සාමූහික සමාලෝචනය සිදු කරනු ලැබුවේ, නිෂ්ක්‍රීය සමපේක්ෂනයේ ආස්ථානයෙන් නොව විප්ලවීය ක්‍රියාකාරීත්වයේ ආස්ථානයෙනි. පාසැලේදී පවත්වන ලද සියලුම දේශන සහ සාකච්ඡා, වර්තමානයේ කම්කරු පන්තිය දිශාගත කිරීම සඳහා අතීත අත්දැකීම් පදනම් වන බවට අවබෝධ කර ගෙන ඇත. එම අර්ථයෙන් ගත්කල ඉතිහාසය යනු, බලය ලබා ගැනීමට, අසමානතාවය අහෝසි කිරීමට, අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීමට සහ සමාජවාදයේ පදනම මත සමාජ හා ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරු පන්තිය තුල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටනේ සක්‍රීය බලවේගයකි.

සසප ජාත්‍යන්තර ගිම්හාන පාසලේ වාර්තා ප්‍රවේසමෙන් අධ්‍යයනය කර ඒවා ඔබගේම දේශපාලන අධ්‍යාපනය සඳහා පදනම බවට පත් කර ගන්නා ලෙස අපි අපගේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

වැඩි දුරටත් ;

සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි

https://www.wsws.org/sinhala/2020/2020jan/pers-07j.html

Loading