පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන සසජාතශි යුද විරෝධී රැස්වීමට ශිෂ්‍යයින්ගෙන් උද්‍යෝගිමත් ප්‍රතිචාර

[මෙය Sri Lanka: Enthusiastic student response to forthcoming IYSSE anti-war meeting at Peradeniya University යන මැයෙන් 2023 අගෝස්තු 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දී 'යුක්‍රේන යුද්ධය නවත්වන්නේ කෙසේද?' යන මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි. මෙය අඟහරුවාදා සවස 4 ට, දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ, අංක 86 දේශන ශාලාවේදී පැවැත්වේ.

භාග්‍යා (වමේ දෙවෙනියා) සහ රෝෂිකා (වමේ තුන්වෙනියා) පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි යුද විරෝධී රැස්වීම සඳහා ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදෙන සසප සාමාජිකයෙකුට සවන් දෙමින්.

සසජාතශි ඉල්ලීම පරිදි, දේශපාලන විද්‍යා සංගමය විසින් අනුග්‍රහය දක්වන මෙම රැස්වීම ගොඩනැගීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සසජාතශි සාමාජිකයෝ පසුගිය සතිය පුරා විශ්ව විද්‍යාලය තුල උද්ඝෝෂනය කලහ.

එක්සත් ජනපදය හා නැටෝව විසින් ඉටු කරන භූමිකාව වසන් කරමින්, යුද්ධය අවුලුවාලූයේ රුසියාව බවට, කොලඹ මාධ්‍යවල ඇතැම් ලිපි චෝදනා කරයි. කියෙව් වෙත වොෂින්ටනය ඩොලර් බිලියන ගනනක මිලිටරි උපකරන සහ යුධෝපකරන සැපයීම පිලිබඳ තවත් ලිපි වාර්තා කරයි. මෙම සියලු ලිපි අවසන් වන්නේ 'බුද්ධිමත්ව' කටයුතු කරමින් යුද්ධය අවසන් කරන ලෙස අයාචනා කරමිනි.

මෙම දේශපාලන මනෝගතීන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුල පැවතිය ද, සසජාතශි ව්‍යාපාරයට සිසුන් ප්‍රතිචාර දැක්වූයේ, රැස්වීමට සහභාගී වීමට බොහෝ දෙනා එකඟ වෙමින් සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් යුද්ධය ගැන සාකච්ඡා කිරීමට උනන්දුව දක්වමිනි.

පසුගිය දශක ගනනාව පුරා නැටෝව රුසියානු දේශසීමාව ආසන්නයේ සිය මිලිටරි පැවැත්ම පුලුල් කර ගත් ආකාරයත්, කියෙව් සම්පූර්නයෙන් සන්නද්ධ කර රුසියානු ආක්‍රමනය අවුලුවාලූ ආකාරයත් සසජාතශි උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. එක්සත් ජනපදයට සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ට රුසියාව යටත් කර ගැනීමට අවශ්‍යව ඇත්තේ එහි ඛනිජ සහ අනෙකුත් ස්වභාවික සම්පත් උදුරා ගැනීමේ කොල්ලකාරී අරමුනෙනි.

පුටින් තන්ත්‍රයේ ප්‍රතිගාමී යුක්‍රේනය ආක්‍රමනයට සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට විරුද්ධ වන අතරම, ලේවැකි ගැටුම සහ විනාශකාරී න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කරා ඇදී යාම අවසන් කිරීමටත්, කම්කරු පන්තියේ ජාත්‍යන්තරව ඒකාබද්ධ සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීමටත් සසජාතශි සටන් වදී.

උද්ඝෝෂකයින් විසින්, 'යුක්‍රේන යුද්ධය නැවැත්වීමට මහජන ව්‍යාපාරයක් ගොඩනඟමු!' යන සසජාතශි ප්‍රකාශයේ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල 'එක්සත් ජනපදය හිරෝෂිමාවට පරමානු බෝම්බ හෙලීමේ 78 වැනි සංවත්සරය: 2023 දී සමාජවාදය ද? ම්ලේච්ඡත්වය ද?' ලිපියේ පිටපත් සියගනනක් බෙදා හරින ලදී.

රෝෂිකා

කලා පීඨයේ ශිෂ්‍යාවක් වන රෝෂිකා පැවසුවේ: “අපිට ඇත්තටම යුද්ධය අවශ්‍ය නැහැ. අපි හැමෝටම ඕන නිදහස සහ ජීවත් වීමේ අයිතිය. මහජනතාව දැනුවත් කිරීම සඳහා සසජාතශි සහ ලෝසවෙඅ විසින් ගෙන යන වැඩ සටහන අතිශයින් වැදගත්; එය වර්ධනය වෙමින් පවතින තත්වය පිලිබඳව ජනතාව දැනුවත් කරනවා. මම රැස්වීමට එනවා; අනෙකුත් සිසුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ එයට සහභාගී වන ලෙස යි.”

රෝෂිකා සමඟ සිටි භාග්‍යා සාකච්ඡාවට එක් වූයේ ලෝක ධාන්‍ය නිෂ්පාදනයෙන් සියයට 30 ක් යුක්‍රේනයේ නිපැයෙන බව තමාට කලින් නොදැන සිටි බව පැහැදිලි කරමිනි. ආහාර, විදුලිය, ප්‍රවාහන ගාස්තු සහ අධ්‍යාපනික උපකරනවල මිල දැරිය නොහැකි ලෙස ඉහල යාම පිලිබඳව ඇය අදහස් දැක්වූවාය. 'අප මුහුන දෙන පීඩාවන් ලෝක අර්බුදයේ කොටසක්,' යයි ඇය පැවසුවාය.

“අධ්‍යාපනයට යන වියදම අපේ දෙමාපියන්ට දරන්න බැරි නිසා බොහෝ සිසුන් අර්ධකාලීන රැකියාවල නිරත වෙනවා. වෙහෙස මහන්සි වී ඉගෙන ගත්තත් හොඳ රැකියාවක් සොයා ගැනීම හීනයක්. ආන්ඩුවලට එරෙහිව ශිෂ්‍ය සංගම් උද්ඝෝෂන කරනවා, නමුත් පාලකයන් ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගැන ද භාග්‍යා කතා කලාය. '1945 දී ජපානයේ හිරෝෂිමාවට සිදු වූ විනාශය ගැන ඔබ දැනගත් විට සහ තේරුම් ගත් විට, නව ලෝක යුද්ධයකදී කුමක් සිදුවේදැයි සිතා ගන්නට වත් බැහැ,' යයි ඇය පැවසුවාය.

පලමු වසරේ විද්‍යා සිසුන් දෙදෙනෙක් සාකච්ඡාවට සම්බන්ධ වූ නමුත්, ශිෂ්‍ය සංගමය විසින් නවක සිසුන්ට පනවා ඇති දේශපාලන තහංචි නිසා ඔවුන්ට නිර්නාමිකව සිටීමට අවශ්‍ය විය.

'නවීන විද්‍යාව හා තාක්‍ෂනයේ දියුනුව මෙන්ම ලෝකයේ සම්පත් සමානව බෙදාගත යුතුයි, නමුත් අපි යුද්ධයට හා පරිසරය විනාශ කිරීමට සහ වැඩිවන ආර්ථික ගැටලුවලට මුහුන දී සිටිනවා' යනුවෙන් එක් සිසුවෙක් පැවසීය.

“අපි පලමු වසරේ සිසුන්; අපට ශිෂ්‍ය සංගමයේ අවසරයකින් තොරව ක්‍රියා කරන්න බැහැ. අපි මේ වගේ සීමා කිරීම්වලට විරුද්ධයි,” සිසුන් පැහැදිලි කලහ.

1970 ගනන්වල අගභාගයේදී, සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) අත්පත් කරගෙන එහි සිය දේශපාලන බලපෑම පවත්වා ගැනීම සඳහා කායික තර්ජන සහ වෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම භාවිතා කලේය.

2011 දී ජවිපෙන් බෙදී ගිය කන්ඩායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) දැන් අවිශිබම මත ආධිපත්‍යය දරන අතර, එය යොදා ගන්නේ ද එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයන්ම ය.

සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් අතැතිව ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරීමට විරුද්ධව, පෙසප, ශ්‍රී ලංකා ආන්ඩුවලට බලපෑම් කිරීමෙන් නිදහස් අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කල හැකි බවට ව්‍යාජ ප්‍රකාශයන් කරයි.

පේරාදෙනිය විශ්වවිද්‍යාල සිසුන් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට විරුද්ධව, සසජාතශි ව්‍යාපාරයට සහාය දක්වයි.

ඉංජිනේරු ශිෂ්‍යයෙක් තෘතීයික අධ්‍යාපනය සඳහා ඉහල යමින් පවතින පිරිවැය ගැන පැහැදිලි කලේය. ඔහු නේවාසික ගාස්තු සහ අනෙකුත් අධ්‍යාපන වියදම් සඳහා මසකට රුපියල් 35,000 ක් පමන වැය කරයි. එහෙත් ඔහු පෙන්වා දුන් පරිදි, ඇතැම් විශ්වවිද්‍යාල පීඨවල ගුරුවරුන් ප්‍රමානවත් නැත. දුප්පත් පවුල්වලට තම දරුවන්ගේ තෘතීයික අධ්‍යාපනය සඳහා යන වියදම දැරීමට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

“විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් ලබා ගත හැක්කේ පලමු, තුන්වන සහ හතරවන වසර සිසුන්ට විතරයි. අපි දෙවෙනි වසරේ ඉන්නේ, විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් සීමිත නිසා එලියේ ඉන්න සිදුවෙලා.

සුරංග යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු තම ජීවිකාව සරිකර ගන්නේ පේරාදෙනිය අවට කරන උපකාරක පන්ති වලිනි. ඔහු උතුරු පලාතේ අයෙකි; ඔහුගේ පියා එහි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ශාඛාවක සේවය කරයි.

“පසුගිය දශක කිහිපය තුල, මෙම යුද්ධවලට, මැද පෙරදිග ඇතුලුව ලොව පුරා නායකත්වය දුන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. යුක්‍රේනය දැන් වසරකට වැඩි කාලයක් යුද්ධයක පැටලී සිටිනවා, නමුත් රුසියාව පසුබසින්නේ නැහැ, එනිසා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවදානම වැඩි වෙමින් පවතිනවා,” ඔහු පැවසීය.”

'තරුනයන් හා කම්කරුවන් උගන්වා ගැනීම වැදගත්,' ඔහු තවදුරටත් මෙසේ ද කියා සිටියේ ය: 'මට වැටහෙන ආකාරයට යුද්ධයට අභියෝග කිරීමේ හැකියාව ඇති එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.'

සුරංග, ශ්‍රී ලංකාවේ දෙමල ජනයාට එරෙහිව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද යුද්ධය හෙලා දුටුවේය. 'අපේ රටේ යුද්ධයේ භීෂනය සහ විනාශය මම අත්දැක තියෙනවා,' ඔහු පැහැදිලි කලේය.

“ශ්‍රී ලංකාවේ යුද්ධය මතුවුනේ සාමාන්‍ය සිංහල-දෙමල මිනිසුන්ගෙන් නෙවෙයි—අපි කිසිම ප්‍රශ්නයක් නැතිව එකට ජීවත් වුනා—ජාතිවාදය අවුස්සන්නේ සිංහල සහ දෙමල නායකයන්. ඒ වගේම මෑතක සිට මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රකෝප කිරීම් ඇති වුනා,” ඔහු පැවසීය.

29 හැවිරිදි සවින්ද පේරාදෙනිය විශ්වවිද්‍යාලය ආසන්නයේ ජීවත් වන්නේ, තම යතුරුපැදියෙන් ආහාර පාර්සල් සහ අනෙකුත් භාන්ඩ බෙදාහැරීමෙන් ආදායමක් උපයා ගැනීමේ අපේක්ෂාවෙනි. ඔහු මීට පෙර චීන ඉදිකිරීම් සමාගමක් වන සිනොහයිඩ්‍රෝ හි සේවය කල නමුත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මධ්‍යයේ, සමාගම ජල ව්‍යාපෘතියක ඉදිකිරීම් නතර කිරීමෙන් පසු ඔහුගේ රැකියාව අහිමි විය. “ලෝක බලවතුන් සිතන්නේ රටවල් කොල්ලකන්නේ කෙසේද යන්න ගැන පමනයි; මේ සමාජ ක්‍රමය පෙරලා දැමිය යුතු බවට මම එකඟයි. අපි දේශපාලනය, ජාත්‍යන්තර වර්ධනයන් සහ සමාජවාදය ගැන ඉගෙන ගත යුතුයි” ඔහු පැවසීය.

කලා පීඨයේ අනධ්‍යයන සේවකයෙකු වන රංජිත් මෙසේ පැවසීය: “මම [යුක්‍රේන] යුද්ධය ගැන දැනගත්තේ පුවත්පත් වලින් විතරයි; ඒ හින්දා මම හිතුවේ, පුටින් ප්‍රකෝපකාරයා බවත් රුසියාව තම බලය වැඩි කර ගැනීමට වෙනත් රටවල් ආක්‍රමනය කිරීමට උත්සාහ කරන බවත්‍. ඇමරිකාව මෙම යුද්ධය අවුලුවා ඇත්තේ මන්දැයි මට අදහසක් තිබුනේ නැහැ, නමුත් රුසියාවේ අත්‍යවශ්‍ය සම්පත් උදුරා ගැනීම එක් හේතුවක් බව දැන් තේරුම් ගත්තා.”

රංජිත් තමා මුහුන දෙන දුෂ්කර ආර්ථික තත්වය පැහැදිලි කලේය. “ජනාධිපති වික්‍රමසිංහ ජනතාව මත දැවැන්ත ප්‍රහාර එල්ල කරනවා. ජල ගාස්තු සහ විදුලි ගාස්තු විශාල වශයෙන් ඉහල දැමුවා. අනෙකුත් සියලුම භාන්ඩවල මිල අහස උසට නැඟෙමින් තියෙනවා.

“අපේ වැටුප ජීවත් වීමට ප්‍රමානවත් නැහැ, අපි කල්පනා කරන්නේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද කියලා. අපි මුහුන දෙන ආර්ථික ප්‍රශ්න සහ එම තත්ත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න නිසා අපේ නිවෙස්වල පවතින්නේ යුද්ධයක් වගේ තත්වයක් ,” ඔහු පැවසීය.

Loading