ශ්‍රී ලංකාවට බලපා ඇති දැඩි නියඟයෙන් පීඩාවට පත් කුඩා ගොවීන් රජයේ නොතැකීම හෙලා දකිති

[මෙය Drought-affected small farmers in Sri Lanka denounce government indifference මැයෙන් 2023 අගෝස්තු 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඇඹිලිපිටියේ කෙසෙල් ගොවීන්

ශ්‍රී ලංකාවේ රත්නපුර, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, අනුරාධපුරය සහ කුරුනෑගල ඇතුලු දිස්ත්‍රික්ක 10කට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් එම දිස්ත්‍රික්කයන්හි පදිංචි 171,000කට අධික පිරිසකට පානීය ජලය පවා සපයා ගැනීම දැඩි ලෙස අසීරු වී ඇත. රත්නපුර දිස්ත්‍රික්කයෙහි උඩවලව, ඇඹිලිපිටිය සහ අම්බලන්තොට ප්‍රදේශවල 30,000ක් ඇතුලු ග්‍රාමීය ගොවි පවුල් 50,000ක් පමන ජල හිඟය හේතුවෙන් වගා විනාශයට මුහුන පා සිටිති.

පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ දැන් ගොවීන්ට මුහුන දී සිටින කටුක ආර්ථික හා සමාජ තත්වයන් ගැන සාකච්ඡා කිරීමට කොලඹින් කිලෝමීටර් 261ක් පමන දකුනින් පිහිටි අම්බලන්තොට මයුරපුර, බැරගම, ඉහල බැරගම, බැල්ලගස්වැව සහ රන්දියගම ආදි ප්‍රදේශ වල සංචාරය කලහ.

මහවැලි සංවර්ධන අධිකාරිය විසින් කුඩා ගොවීන්ට කුඹුරු හෙක්ටයාර් එකක පමන ඉඩමක් සහ ඔවුන්ගේ නිවාස සඳහා කුඩා ඉඩමක් බදු පදනම මත ලබා දී ඇත. විශාල ගොවීන්ට හෙක්ටයාර 20 ත් 40 ත් අතර ඉඩම් ප්‍රමානයන් ලබා දී ඇත. ජලය සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීමේදී අධිකාරිය විසින් විශාල ගොවීන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවට කුඩා ගොවීහු චෝදනා කලහ.

අම්බලන්තොට මයුරපුර ප්‍රදේශයේ ගොවි පවුලක් ඔවුන්ගේ කුඩා නිවස ඉදිරිපිට

කුඩා ගොවීන් බොහෝ දෙනෙක් කුඩා කාමර එකක් හෝ දෙකක් සහ මුලුතැන්ගෙයක් සහිත නිවාසවල ජීවත් වෙති. සමහර ඒවා සිමෙන්ති ගඩොලින් වටකොට ටකරන් සෙවිලි කල ඒවා වන අතර තවත් ඒවා පොල් අතු සෙවිලි කල කටු මැටි නිවාස වේ. ඔවුන්ට නල ජල පහසුකම් තිබුනා වූවත් හොඳ අධ්‍යාපනයක් හෝ සෞඛ්‍ය පහසුකම් නැත.

මයුරපුර මහආර ගම්මානයේ උසස් පෙල මට්ටම දක්වා පන්ති පැවැත්වෙන්නේ එකම එක පාසලක පමනකි. බොහෝ සිසුන්ට මෙම පහසුකම වෙත ලඟා වීමට කිලෝමීටර් දෙක තුනක් පයින් යා යුතුය. ආසන්නතම රෝහල් කිලෝමීටර් 10 ක් හෝ 15 ක් දුරින් පිහිටි අම්බලන්තොට හෝ හම්බන්තොට වේ. හදිසි ප්‍රතිකාර අවශ්‍ය අය රෝහලකට ලඟා වීමට රුපියල් 1,500 සිට 2,000 දක්වා (ඩොලර් 4.60 සිට ඩොලර් 6.20) දක්වා මුදලක් ගෙවා කුලී රථයක යායුතුය.

නියඟයෙන් තම වී වගාවෙන් අඩක් විනාශ වී ඇති බව ගොවීන් ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැහැදිලි කලහ. ඔවුන් මී ගවයින්ට කෑමට තම ගොවිපලවල් අත්හැර දමා ඇත. ඔවුන්ට දැන් කැනීමට බල කර ඇති මීටර් හයක් පමන ගැඹුර ලිංවලින් ජලය පොම්ප කිරීමෙන් තම අනෙකුත් වගාවන් බේරා ගැනීමට මංමුලා සහගත උත්සාහයක යෙදී සිටිති.

අම්බලන්තොට මයුරපුර ගොවීහු දුෂ්කර අයුරින් ජීවිකාව සඳහා භූගත ජලය යොදා ගැනීමට උත්සාහ දරති

රන්දියගම නෙලුම් චින්තක දෙදරු පියෙකි. පාසල් අධ්‍යාපනය අවසන් වූ පසු මෝටර් රථ ගරාජයක සේවය කල ඔහු, පසුව ගොවිතැනට යොමු වූ බව පැවසීය. “හෙක්ටයාර් එකක ඉඩම වගා කිරීමට මම රුපියල් 150,000 (ඩොලර් 460) වියදම් කරා. සියයට 10ක පොලියට ගත් රුපියල් 60,000ක් ද මෙයට ඇතුලත්” බවත් පැවසීය.

“වර්තමාන ජල අර්බුදයට රජයේ නිලධාරීන් වගකිව යුතුයි. පසුගිය කන්නයේදී කිලෝ 50 යූරියා පොහොර මිටියක් සඳහා රුපියල් 40,000ක් පමන වැය වුනා. ඒ සඳහා දැන් රුපියල් 9000ක් පමන වැය වන නමුත් ජලය නොමැතිව කුඹුරු වගාව විනාශ වෙලා. ඊයේ, මගේ අනෙකුත් වගාවන් බේරා ගැනීමට උත්සාහ කිරීම සඳහා, මට ලිඳක් කපා ගැනීමට සිදු වුනා, නමුත් මෙය ප්‍රමානවත් වන්නේ දින හතරකට හෝ පහකට පමනි” ඔහු පැහැදිලි කලේය.

38 හැවිරිදි සිව්දරු පියෙකු වන උපුල්, වී වගා කර ඇත්තේ හෙක්ටයාර භාගයකට වඩා වැඩි ප්‍රමානයකි. “මට රුපියල් ලක්ෂ දෙකක බැංකු නයක් ලැබුනත් ගොවිතැන් කරන්න නය නොදෙන නිසා මම ඒක නිවාස නයක් විදිහට ගත්තා. මාසික වාරිකය රුපියල් 3,500 යි, නමුත් මම මේ මාසය සඳහා තවමත් වාරිකය ගෙව්වේ නැහැ” යයි ඔහු පැවසීය.

“පසුගිය වතාවේ අපි රජයෙන් බෙදා හරින ලද කාබනික පොහොර භාවිත කල නිසා වල්නාශක කෘෂි රසායන මෙවර දෙගුනයක් භාවිත කිරීමට සිදු වුනා. සෑම දෙයක්ම මිල අධික වන අතර දැන් නිතර නිතර නියගය ඇති වන නමුත් කිසිවිටකත් ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නැහැ”.

අම්බලන්තොට මයුරපුර වී ගොවියෙක් වන ඩිලාන් නියඟයෙන් විනාශ වූ ඔහුගේ කූඹුර මත

32 හැවිරිදි ඩිලාන් චතුරංග, තමා වයස අවුරුදු 18 සිට ගොවිතැන් කර ගවයන් ඇති දැඩි කරන බව පැහැදිලි කලේය. “මට ගවයන් 10 ක් සිටින නමුත් බෙහෙත් සඳහා පමනක් වසරකට එක් ගවයෙකු සඳහා රුපියල් 15,000 ක් පමන අවශ්‍ය වෙනවා. ඒ නිසා දැන් ගව පාලනය කරන්න අමාරුයි. හැම ආන්ඩුවක්ම ගොවීන් රවට්ටලා, මැතිවරන කාලයේ දී කියපු කිසිම දෙයක් සිදුවෙලා නැහැ. එන්න එන්නම දුෂ්කරතා මැදයි අපි ජීවත් වෙන්නේ,” ඔහු පැවසීය.

“අපට අපේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් අවශ්‍යයි, නමුත් ඔබ කියන පරිදි ධනපති ආන්ඩු යටතේ මෙය බලාපොරොත්තු විය නොහැකියි. අපගේ ප්‍රශ්න විසඳීමට වෙනත් ක්‍රම ගැන අප සිතිය යුතුයි. කම්කරුවන් සහ ගොවීන් එක්සත් වී අපගේ අයිතිවාසිකම් සඳහා පොදු අරගලයක් සංවිධානය කල යුතු බවට, මම ඔබ සමඟ එකඟ වෙනවා”.

38 හැවිරිදි අනුර, හෙක්ටයාර් එකක කෙසෙල් වගා කර ඇත.“මේ සඳහා මම දැනටමත් රුපියල් ලක්ෂ හතරකට වඩා වියදම් කර ඇතත් නියඟය නිසා කෙසෙල් පැල නඩත්තු කිරීම ඉතා අපහසුයි. මම පවුලේ ආහාර සඳහා අක්කර භාගයක් වී වගා කල නමුත් සියල්ල විනාශ වී ඇති බව” ඔහු පැහැදිලි කලේය.

“ගැඹුරු නල ලිඳක් හෑරුවොත් මේ වගාවන් යම් ප්‍රමානයකට බේරගන්න පුලුවන්, නමුත් විශාල මුදලක් වැය වෙනවා, රජය මේක කරන්නේ නැහැ. මේ ආන්ඩුවලින් අපට කිසිදාක ස්ථිර විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ.”

ජුලි 24 වැනි දින උඩවලව ප්‍රදේශයේ ගොවීන් සිය ගනනක් ඇඹිලිපිටිය නගරයේ සත්‍යග්‍රහයක් ආරම්භ කලේ හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ජලය නිකුත් කරන ලෙස ඉල්ලමිනි. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකත්වය දරන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය (සලංගොස) විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.

උඩවලව ජලාශයේ ජල මට්ටම අඩුවීම සහ සමනලවැව ජලාශයෙන් නියමිත වේලාවට ජලය නිකුත් කිරීමට රජයේ බලධාරීන් කටයුතු නොකිරීම මෙම ප්‍රදේශවල වගාවන් විනාශ වීමට මූලික වශයෙන් හේතු වී ඇත.

අම්බලන්තොට මයුරපුර දුලානි ඇයගේ තවමත් වැඩ සම්පූර්න කොට නොමැති නිවෙස ඉදිරිපිට

වික්‍රමසිංහ රජය ජලය මුදා හැරීම සඳහා වූ ගොවීන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේය. මෙමගින් සමනලවැව ජලාශයේ විදුලි උත්පාදනය අඩාල වන අතර ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශවල දෛනිකව පැය හතරක විදුලිය කප්පාදුවක් සිදුවන බව අගෝස්තු 1දා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කලේය.

අගෝස්තු 7 වැනිදා විරෝධතාවයේ නිරත ගොවීන් පිරිසක් සමනලවැව ජලාශයට ඇතුලු වීමට උත්සාහ කලේ උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම සඳහා සොරොව්ව විවෘත කරන ලෙස නිලධාරීන්ට බලකිරීමේ අරමුනිනි. ගොවීන් මැසිවිලි නගමින් කියා සිටියේ තම කුඹුරු වගාවෙන් අඩක් මේ වන විටත් විනාශ වී ඇති බවත් ප්‍රමානවත් ලෙස ජලය ලබා නොදුන්නේ නම් තම අනෙකුත් වගාවන්ද විනාශ වන බවයි. පොලිසිය බාධක දමා ඔවුන්ව නවත්වා අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කලේය.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන විරෝධතාකරුවන් හෙලා දුටුවේ, ඔවුන්ගේ ක්‍රියාව රජයට එරෙහි කුමන්ත්‍රනයක කොටසක් බව පවසමිනි. ජාතික බුද්ධි සේවා වාර්තා උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ, “ගොවීන්ගේ කෝපය උපයෝගී කරගනිමින් නැවතත් මැයි 9 වැනි දා වැනි මහජන අරගලයක් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවට ජනාධිපතිවරයාට වාර්තා කර ඇති” බවයි. මෙය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හරින ලද පසුගිය වසරේ මහජන නැගිටීම පිලිබඳ සඳහනකි.

කෙසේ වෙතත්, පසුවදා, උඩවලව ගොවි උද්ඝෝෂනය දිවයින පුරා අනෙකුත් ගොවි ප්‍රජාවන් වෙත පැතිර යා හැකි බවට බියෙන් පසුවන රජය, උඩවලව ජලාශයට දින තුනක ජලය මුදා හැරීමට තීරනය කලේය. ඒ උඩවලව ගොවීන්ට ජලය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නියෝගයක් නිකුත් කිරීමත් සමඟයි. සලංගොස ආන්ඩුවේ තීරනය අල්ලාගත් අතර අගෝස්තු 10 වෙනිදා විරෝධතාව නතර කිරීමට එය භාවිතා කලේය.

සලංගොස ජාතික සංවිධායක නාමල් කරුනාරත්න ගොවීන් අමතමින් මෙසේ ප්‍රකාශ කලේය: “ගොවීන්ගේ අරගලයට ආන්ඩුව හිස නමා ඇත. මානව හිමිකම් කොමිසම රජයට වතුර දෙන්න කියලා නියෝග කලා, අපි මානව හිමිකම් කොමිසමේ නියෝගයට ගරු කරනවා.”

කෙසේ වෙතත්, අගෝස්තු 11 වන දින ජල කලමනාකාරීන් සමනලවැව ජලාශයෙන් ජලය නිකුත් කිරීම විදුලි උත්පාදනයට බලපාන බව පවසමින් මුදාහරින ජල ප්‍රමානය අඩු කරන බව නිවේදනය කලහ.

ආරම්භයේ සිටම, සලංගොස හි අරමුන වූයේ රජයට එරෙහිව ඒකාබද්ධ අරගලයකට ගොවීන් බලමුලු ගැන්වීම නොවේ. දැන් මිලියන ගනනක් කම්කරුවන් හා ගම්බද දුගීන් වඩාත් ගැඹුරු දරිද්‍රතාවයකට ඇද දමමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුව විසින් පනවනු ලබන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) පියවරයන් සමග ජවිපෙට මෙන්ම එයට ද අතිමූලික මූලික වෙනස්කම් නොමැත.

සලංගොස හි සැබෑ අරමුන වන්නේ ග්‍රාමීය ගොවීන්ගේ නැගෙන කෝපය විසුරුවා හැරීම සහ එය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේග (ජාජබ) සභාගයට ගැටගැසීම සහ ඉදිරි මැතිවරනයකදී රජයක් පිහිටුවීම එහි බලාපොරොත්තුවයි.

ඕනෑම අනාගත ජවිපෙ - ජාජබ පාලනයක් ජාමූඅ විසින් නියම කරන ලද ප්‍රහාරයන්ම ක්‍රියාත්මක කරනු ඇත. 2021 මැයි මාසයේදී හිටපු රාජපක්ෂ ආන්ඩුව රසායනික පොහොර තහනම් කල අතර පොහොර සහනාධාර කප්පාදු කලේ ග්‍රාමීය ගොවීන්ට විනාශකාරී බලපෑම් ඇති කරමිනි. රට පුරා ගොවීන් දස දහස් ගනනක් මාස ගනනාවක් පැවති විරෝධතා දැක්වීය.

ඉහල යන ජීවන වියදම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය පිලිබඳව අප්‍රේල් සිට ජූලි දක්වා රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන පෙලපාලි සමග ඔවුහු එක්වූහ. රාජපක්ෂ පාලනය විස්ථාපනය කලද වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව මුහුන දෙන ප්‍රශ්න කිසිවක් විසඳා නැත. ඒ වෙනුවට එය ජාමූඅ, ජාත්‍යන්තර හා ජාතික මහා ව්‍යාපාරිකයන් විසින් ඉල්ලා සිටින සමාජ ප්‍රහාර උත්සන්න කර ඇත.

ශ්‍රී ලංකාවේ කුඩා ගොවීන් සහ ග්‍රාමීය කම්කරුවන් දශක ගනනාවක් පුරාවට දිලිඳුකමට සහ නයගැතිභාවයට මුහුන දී ඇත. කෙසේ වෙතත්, ප්‍රධාන කෘෂිකාර්මික සමාගම්වල ග්‍රහනයෙන් සහ ඔවුන් නය ගැතිව තබා ගන්නා ධනේශ්වර බැංකු ක්‍රමයේ ග්‍රහනයෙන් ගලවා ගැනීමකින් තොරව මෙම සමාජ ප්‍රශ්න කිසිවක් විසඳිය නොහැක. විශාල වතු, යෝධ කෘෂි ව්‍යාපාර සහ බැංකු ජනසතු කිරීම සහ ඒවා කම්කරුවන්ගේ පාලනය යටතට පත් කිරීම හරහා පමනක් ගොවීන්ට අඩු පොලී අනුපාත නයක් සහ ඔවුන්ගේ භෝග සඳහා යහපත් මිලක් සහතික කල හැකිය. පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය කෘෂිකාර්මික උපකරන බෙදා හැරීම මෙයට ඇතුලත් වේ.

ඔවුන්ගේ මූලික අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා දුප්පත් ගොවීන් සියලු ධනපති පක්ෂවලින් සහ ඔවුන්ගේ අනුබද්ධ ගොවි සංවිධානවලින් බිඳී තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය. මෙයින් අදහස් කරන්නේ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා සමාජවාදී සමානතා පක්ෂය විසින් ගෙන යන උද්ඝෝෂනයට සම්බන්ධ වීමයි.

එවැනි සම්මේලනයක් පදනම් වනු ඇත්තේ කම්කරුවන්ගේ හා දුගී ගොවීන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත වන අතර, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයට නායකත්වය දීම අරමුනු කරගනු ඇත.

Loading