හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි, ජලය පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කරන වෝටර්කෙයා කම්හලෙහි අගෝස්තු 17 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් කම්හල් ගබඩාව මුලුමනින්ම දැවී ගියේය. එම මොහොතේ කම්හලේ නිෂ්පාදන කටයුතු සිදු නොවූ බැවින් කිසිවෙකුට හානි සිදු නොවූ නමුත්, කම්කරුවන් සේවයේ යෙදී සිටි අවස්ථාවක එය සිදුවූයේනම් ජීවිත අහිමිවීම් ද ඇතුලු ඉමහත් ව්‍යසනයක් සිදුවිය හැකිව තිබුනි.
ගින්නේ උච්චතම අවස්ථාවක එය නිවාදැමීමට සම්බන්ධ වූ කම්කරුවන් ගත් වීඩියෝ දර්ශන
ගින්න ඇතිවී සති දෙකක් ගතවී ඇතත්, එය ඇති වූ ආකාරය පිලිබඳ කවර හෝ නිශ්චිත අනාවරනයක් සිදුකර නැත. එය, කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පාලක පංතියේ නරුම නොතැකීම යලිත් වරක් පෙන්නුම් කරයි.
වෝටර්කෙයා කම්හලේ ගබඩා ගොඩනැගිල්ල තුලින් රාත්‍රියේ 8.50ට පමන ගිනි ගැනීම ආරම්භ විය. එය නිවා දැමු පසුදා උදැසන 3 පමන වනවිට ගොඩනැගිල සම්පුර්නයෙන්ම විනාශ වී තිබුනි. යාබද පිහිටි එම සමාගමේ අනෙක් ගොඩනැගිල්ලටද ගින්නෙන් හානි සිදුවිය.
සිද්ධිය ඇසින් දුටු අසල ත්‍රිරෝද රථ රියදුරෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලේ එකවරම ඇවිලුනු ගිනි දැල්ල අහසට විහිදී ගිය බවයි. ඒ සමගම විශාල තාපයක් ද ආඝ්‍රහනය කල නොහැකි දුමාරයක් ද නිකුත් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.
ගිනි ගැනීම ගැන ප්‍රදේශවාසීන් දැන ගත්තේ රාත්‍රී නමයට පමනය. එතැන්සිට අසල නිවහන් වල කුලියට නවාතැන් ගෙන සිටින කර්මාන්තපුරයේ සේවය කරන කම්කරුවන් සහ ප්‍රදේශවාසී තරුනයන් ගින්න නිවා දැමීමට පෙරමුන ගෙන ක්‍රියා කලේය. අසල පිහිටි කම්හල් වලට ගින්න පැතිරීම වැලැක්වීමට ගත් පියවර සාර්ථක විය.
අසල පිහිටි මුද්‍රන තීන්ත සහ කාබනික වර්නක නිෂ්පාදන සමාගමක් වන ඩීඅයිසී ලංකා හි කම්කරුවෝ තම කම්හල ආරක්ෂා කර ගැනීම සඳහා පැතිරෙන රසායනික දුමාරය නොතකා කම්හලේ ජල මාර්ග විවෘත කරමින් ගින්න පැතිරීම වලක්වා ගත්තෝ ය.
ගිනි නිවන හමුදාව එම ස්ථානයට පැමිනෙන විට පැයක් පමන ගතවී තිබුනි. හෝමාගම නගර සභාවට හෝ කටුවාන කර්මාන්තපුරයට ගිනි නිවීමේ ඒකකයක් නැති තතු යටතේ කොලඹ නගර සභාවට අයත් ගිනි නිවන සේවා රථ වලට කිලෝමීටර් 17ක් පමන මගගෙවා පැමිනීමට සිදුවීම ප්‍රමාදයට හේතුවිය.
පසු දින අලුයම වන විට ගින්න පැතිරීම පාලනය කල හැකි වුවත් දින තුනකට පසුව සෙනසුරාදා උදෑසන පවා විනාශ වී ගිය ගුදම තුලින් දුමාරයක් අහසට නැගෙනු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට දැකගත හැකි විය.
ගින්න නිවීමට සම්බන්ධ වූ කම්කරුවෙකු පැහැදිලි කලේ හෝමාගම නගර සභාවට හෝ කර්මාන්ත පුරයට ගිනි නිවනය ඒකකයක් නොපැවතීම විනාශය දරුනු වීමට හේතු වූ බවයි. කම්කරුවන් මුහුනදෙන අන්තරායකාරී සේවා තත්වයන් ගැන සඳහන් කරමින් “කර්මාන්තපුරයේ ගිනි නිවන ඒකකයක් තියා වෛද්‍ය ප්‍රථමාධාර ඒකකයක් වත් නැතැ” යි ඔහු පැවසීය.
ගින්න ඇති වන අවස්ථාවේ කම්හල තුල අනතුරු ඇඟවීම් සංඥා ක්‍රියාත්මක නොවූ බව කම්කරුවෝ ප්‍රකාශ කලහ. ප්‍රමිතීන්ට අනුකූල නොවන පරිදි රසායනික ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන යෑම මෙම ගින්නට හේතුව වන්නට ඇති බවට ඔවුහු සැක පහල කලහ.
කිසිවකු රෝහල්ගත කල බවට සාක්ෂි නොමැති වුවත්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ගින්න හටගත් ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. තවද, දුම ආඝ්රානය වීම වලක්වා ගැනීම සඳහා මුඛ ආවරන පලඳින ලෙස ඔහු ප්‍රදේශවාසීන්ට උපදෙස් දුන්නේය.
පසුදින 'අද දෙරන' රූපවාහිනී නාලිකාව කියා සිටියේ, වෝටකෙයා කම්හල පවත්වාගෙන යාම සඳහා වලංගු පරිසර ආරක්ෂන බලපත්‍රයක් (EPL) ලබාගෙන නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසූ බවයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර කියා සිටියේ, දුමාරය හේතුවෙන් ප්‍රදේශයේ වාතයේ ගුනාත්මකභාවයට බලපෑම් එල්ල වී ඇති අතර කර්මාන්ත ශාලාවෙන් පිටවන අප ජලයෙන් අවට පරිසරය දූෂනය වී ඇති බවයි. තවද, පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කර්මාන්ත කලාපයේ පරිපාලනය වගකිව යුතු බවට චෝදනා කල ඔහු, තම අධිකාරිය වෝටර්කෙයා කලමනාකරනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කලේය.
මෙම ප්‍රකාශ, කම්කරුවන්ගේ ජීවිත නොතකමින් සහ දීර්ඝකාලීන පරිසර ව්‍යසනයකට තුඩුදෙන අයුරින් කර්මාන්ත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැඩෙන මහජන විරෝධය විසුරුවා හැරීමේ ප්‍රයෝගයක් මිස ප්‍රදේශයේ මහජනතාව ආරක්ෂා කර ගැනීමට නොවන බව පැහැදිලිය.
වීරසුන්දර ලෝසවෙඅ ට කියාසිටියේ නීතිවිරෝධී ආකාරයට රසායන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බවයි. ගිනි නිවීම සඳහා භාවිතාකල ජලය රසායන ද්‍රව්‍ය සමග මුසුවී පරිසරයට නිකුත්වී ඇතිවී ඇති තත්වය අවම කරගැනීමට උපදෙස් ලබාදී ඇති බවත් එහි පැවතියේ කර්මාන්තශාලාවක් නොව ගබඩාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.
අසල්වැසි කම්හලක සේවකයෙකු ප්‍රකාශ කලේ වෝටර්කෙයා කර්මාන්තශාලාව නැවත වැඩ ආරම්භ කොට ඇති අතර ගිනිගත් ස්ථානය පිරිසිදු නොකර ඉටිකොල යොදා ආවරනය කිරීමෙන් පසු පෙර පරිදිම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන බවයි.
මේ පිලිබඳව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා ආශ්රිත කටයුතුවල නියැලෙන සංවර්ධන නිලධාරීවරයෙකුගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ තම කාර්යාලයේ උත්සුකය පැවතියේ ගින්න පැතිරීම වැලැක්වීම සහ ඉන් ඇතිවන ආපදාවන් වැලැක්වීමට පියවර ගැනීම බවයි. කෙසේ නමුත්, ගින්න නිවා දැමීමෙන් පසු කිසියම් පරික්ෂා කිරීමක් නොකල බව ඔහු පිලිගත්තේය.
පසුගිය දශකය පුරාම කම්කරුවන් මුහුනදුන් ව්‍යසනකාරී අත්දැකීම් පෙන්නුම් කරන්නේ, රැකියා ස්ථානයන්හි සිදුවන අනතුරු වලින් ඔවුන් ආරක්ෂා කිරීම හෝ ජීවත්වීමට හිතකර පරිසරයක් ලබාදීම සම්බන්ධයෙන් ධනපති ආන්ඩු වලට කවර හෝ උත්සුකයක් නොමැති බවයි.
හොරන බැල්ලපිටියේ රබර් නිෂ්පාදන කම්හලක පැවති දැඩි අනාරක්ෂිතභාවය හේතුවෙන්, 2018 අප්‍රේල් 19 වන දා, එහි සේවකයන් දෙදෙනෙක් සහ අසල්වැසියන් තිදෙනෙක් මිය ගියහ. ඔවුන් සියල දෙනාම මියගොස් ඇත්තේ කම්හලෙන් පිට කෙරුනු ඇමෝනියා වායුවට නිරාවරනය වීමෙනි. පරිසර අධිකාරිය එම කම්හල තාවකාලිකව වසා දැමුවද, මාස තුනකට පසු කම්හල යලි ආරම්භ කලේ කිසිදු ආරක්ෂක පියවරකින් තොරවය
2013 අගෝස්තු 1දා රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන ගම්පහ, රතුපස්වල වින්ග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කම්හල හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජලය දූෂනය වීමට එරෙහිව විරෝධයේ යෙදෙමින් සිටි 5000 පමන මහජනතාවට වෙඩි තැබු මහින්ද රාජපක්ෂ ආන්ඩුව පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කලේය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනගිය දුෂ්කර කම්කරු පරික්ෂනයකින් එලිදරව් කරනු ලැබුවේ මෙම ජල දුෂනයට ඉහත කම්හල වගකිවයුතු බව සහ ආන්ඩුව කම්හල් හිමියන් ආරක්ෂාකිරීමට ගත් දුෂ්ඨ පියවර හේතුවෙන් එම මරන සිදුවූ බවයි.
එම වසරේම ඔක්තෝබර් මාසයේ පිලියන්දල බටකැත්තර අනවසරයෙන් පවත්වාගෙන ගිය පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන එස් ඇන්ඩ් ඩී කර්මාන්තශාලාවෙන් කාන්දු වූ ඇමෝනියා විෂවායුව පිටතට පැතිරයාම නිසා කම්හල අවට පදිංචිකරුවන් 72ක් රෝගී වූහ. කම්හල ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යාම නිසා කම්හල අවට ලිං ජලය අපවිත්රවීම පිලිබඳව ගම්මුන් විසින් කල පැමිනිල්ලකට අනුව ශ්‍රී ලංකා තාක්ෂනික හා විද්‍යා ආයතනය විසින් සිදු කල පරීක්ෂනයක දී ලිං ජලය පරිභෝජනයට නුසුදුසු ලෙස අපවිත්‍ර වී ඇතිබව තහවුරු විය.
අනුප්‍රාප්තික ආන්ඩු දිගින් දිගටම උත්සාහ දරා ඇත්තේ, පරිසරයේ සහ කම්කරුවන්ගේ ආරක්ෂාව පරදුවට තබා කම්හල් හිමියන්ගේ ලාභ අවශ්‍යතාවන් තහවුරු කර දීමටයි.
ධනපතියන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව පවත්වාගෙනයාමේ අවශ්‍යතාවයෙන් මෙහෙයවුනු ලොව අනෙකුත් ධනපති ආන්ඩුමෙන්ම ලංකාවේ ආන්ඩුව ද කෝවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිරෙද්දී, කම්කරුවන්ගේ ජීවිත නොතකා ඔවුන් වැඩට දැක්කූහ. කෙටිකලකට වසා තිබූ කම්හල් යලි ඇරඹුවේ කම්කරු සංඛ්‍යාව අඩකට කපා දමා වැඩ වේගවත්කල පසුබිමකය.
ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව ජාත්‍යන්තර ප්රාග්ධනය ආකර්ෂනය කර ගැනීම සඳහා මංමුලාසහගත ප්රයත්නයක යෙදී සිටී. ඒ සඳහා කම්කරුවන්ගේ වැඩ වේගවත් කරමින් සහ වැටුප් කපා දමමින් සිටින ආන්ඩුවක් යටතේ සිදුවනු ඇත්තේ කාර්මික ආපදා වලට කම්කරුවන් වඩවඩා ගොදුරු වීමයි.
අදාල අනෙකුත් ලිපි:
ඇමෝනියා වායුවට නිරාවරනය වීමෙන් හොරන කම්හලක පස් දෙනෙකු මිය යයි (ලින්ක්: https://www.wsws.org/sinhala/2018/2018apr/hrfd-21a.html)
