ඇඟලුම් කම්කරු අරගල පීලිපැන්නවීම සඳහා සමිති නායකයෝ අධිකරනවලට යති

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ලබාගන්නා ඩොලර් බිලියන 3ක නය වෙනුවෙන් එහි විධානයන් ක්‍රියාත්මක කරමින් සිටී. මෙමගින් සිදු කරමින් පවතින කප්පාදු වැඩපිලිවෙල තමන්ට බලපා ඇති ආකාරය ගැන කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැහැදිලි කලහ.

දේශීය නය ප්‍රතිව්‍යුහකරනය නිසා තම අර්ථසාධක අරමුදල් කප්පාදුවත් කම්කරු නීති සංශෝධනය කිරීමට ආන්ඩුව දරන ප්‍රයත්නයත්, නොයෙකුත් බදු පැනවීම හේතුවෙන් තමන්ට උහුලා ගත නොහැකි තරම් භාන්ඩ මිල ඉහල යාමත් පිලිබඳව කම්කරුවෝ කරුනු දැක්වූහ. කම්හල් තුල පවතින මර්දනකාරී පාලනය ගැන පෙන්වා දුන් ඔවුහු වෘත්තීය සමිති කෙරෙහි තමන්ට පවතින අවිශ්වාසය ගැන ද සඳහන් කලහ.

සසප වාර්තාකරුවකුට කලාපයේ කම්කරුවන් කතා කරති. ෆොටෝ ftz 08 aug 2023 (1)

ස්මාට් ෂර්ට් ඇඟලුම් කම්හලේ දීර්ඝ කාලයක් සේවය කරන කුඩා කුලී නිවසක ජීවත්වන දෙදරු කම්කරු යුවලක් තම කම්හලේ මර්දනකාරී පාලනයක් පවතින බව කීහ.

එම ස්මාට් ෂර්ට් සේවිකාව මෙසේ පැවසුවාය: “ඒගොල්ලන්ට [පාලනාධිකාරයට] ඕන වැඩ නැති බව කියමින් ලමයින් අයින් කරන්න. ටාගට් හරියට දෙන්නෙ නෑ කියලා වෝනිං ලෙටර්ස් (අවවාදාත්මක ලිපි) තුනක් දෙනවා. වෝනිං ලෙටර් එක කෙලින්ම ගෙදර ලිපියනටයි යවන්නෙ. ටාගට් කරගන්න බැරුව සමහරු අයින් වෙලා යනවා. සමහර අයගේ මොකක් හරි ප්‍රශ්නයක් පෙන්නලා අයින් කරනවා. සමහර අය වන්දි දීලා අයින් කලා..”

කම්කරුවන්ට සිදුවන අසාධාරනයන් පිලිබඳව කම්කරු කාර්යාල හා කම්කරු උසාවිවල ඇති නොතැකීම ගැන ඇය පැහැදිලි කලාය: “එයාලා [කම්කරු කාර්යාල හා කම්කරු උසාවි] ඉන්නේ අපේ ප්‍රශ්න බලන්න නේද. නමුත් ඒගොල්ල ඒව බලන්නෙ නැහැ..”

පැය 8 සිට 12 දක්වා දෛනික සේවා කාලය දීර්ඝ කරමින් සිදු කරන්නට යන කම්කරු පනත් සංශෝධනය ගැන ද ඇය සඳහන් කලාය. “ඒ ගැන ආරංචියක් තියෙනවා. අපි මේ වගේ පඩියක් ගන්නේ ඕවටයිම් කරලයි. අලුත් පනත් සංශෝධනය යටතේ ඕවර්ටයිම් ලැබෙන්නෙ නැත්නම් වැඩ කරල වැඩක් නැහැ. ඊට වඩා හොඳයි වැඩට නොගිහින් ඉන්න එක. ෆැක්ටරිවලට අපි යන්නේ කඹුරලා කීයක් හරි හොයා ගන්නයි. අපිට ලමයි දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕන දේවල් මේ පඩියෙන්වත් අරන් දෙන්න බැහැ.”

පසුගිය වසරේ අප්‍රේල්-ජූලි පැවැති අරගලවලදී කටුනායක කලාපයේ සෙසු කම්කරුවන් සමග එක්දින වැඩවර්ජන දෙකකටම තමන් සම්බන්ධ වූ බව සඳහන් කල ඇය, “ඔක්කොම එලියට බහිනව නම් අපිත් කැමතියි එකතුවන්න,” යයි ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල එරෙහි සටන් කිරීමේ අධිෂ්ඨානය පෙන්වමින් කීවාය.

ඇගේ සැමියා සේවානියුක්ති නීති සංශෝධන හා වැඩ පැය ගැන සාකච්චා කලේය. “තාක්ෂනය දියුනු වෙන්න වෙන්න කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එතකොට හරිනම් [වැඩ කරන] පැය ගාන අඩු වෙන්න ඕනා. ඒක නොවෙන්නේ පාලකයන්ගේ වරද නිසයි.”

සේවා කාලය දීර්ඝ කිරීම පිලිබඳ ප්‍රශ්නය ලංකාව තුල පමනක් නොව ඇමරිකාව ඇතුලු අන් රටවල ද සිදුවන බව පැහැදිලි කල වාර්තාකරුවෝ මෙම ප්‍රශ්නයට විසඳුම ඇත්තේ තාක්ෂනය ඇතුලුව ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කර සැලසුම්ගත ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමනක් බව පෙන්වා දුන්හ.

“කම්කරු පනත් මේ ආකාරයට සංශෝධනය වුනොත් අපිව එලියට දැම්මත් වන්දියක් ලැබෙන්නෙත් නැහැ. අපිට මෑන් පවර් [කොන්ත්‍රාත්] කම්කරුවො හැටියට නේද වැඩ කරන්න වෙන්නේ,” යනුවෙන් ඔහු විමසුවේය.

විදේශ වෙලඳපල සඳහා උසස් මට්ටමේ සුරුට්ටු නිපදවන යූටීපී කම්හලේ වසර පහක් ඉක්මවා වැඩ කරන කුරුනෑගල ප්‍රදේශයේ ගොවි පවුලකින් පැමිනි තරුන කම්කරු කාන්තාවක් සිය අදහස් පලකලාය.

“අපි කාමරවලට ගෙවන්න ඕන. කඩවලට ගෙවන්න ඕන. වියදම් අධික නිසා, රැකියාවක් අත් හැර දමා ගෙදර යන එක හොඳයි කියලත් හිතෙනවා.“ දෙමව්පියන් තමා මත යැපෙන නිසා දිගටම වැඩකිරීමට සිදුවී ඇතිබව ඇය කීවාය. ඇගේ වැටුප මසකට රුපියල් 40,000-50,000 ක් අතර වේ. මාසික කාමර කුලිය රුපියල් දහදාහක් පමනද, විදුලිය සඳහා රුපියල් දාහක් සහ ආහාර සඳහා රුපියල් 10,000 ක් වියදම් වන බැවින් අත ඉතිරිවන්නේ ඉතාම සුලු මුදලක් පමනක් බව ද කම්කරු කාන්තාව කීවාය..

ජලය නොමැති ප්‍රශ්න නිසා ගොවි ජනතාව උද්ඝෝෂනවලට පැමින ඇති ආකාරයත් ආන්ඩුව ඔවුන් නොතකා හැර ඇති ආකාරයක් ගැන ඇය පිලිකුලෙන් කතා කලාය: “මිනිස්සුන්ට වතුර දෙන්න ඕන. මාස තුනෙන් තුනටයි ඒගොල්ලන්ට වතුර ඕන. අපිට ජීවත් වෙන්න ආහාර බෙහෙත් අවශ්‍යය වෙනව වගේ පැලවලටත් වතුර ඕනා.”

කම්කරු අරගල වලට එරෙහිව රාජ්‍ය ත්‍රස්තය යොදවනු ලැබූ ආකාරය ඇය සිහිපත් කලාය. 2011 මැයි මාසයේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් යෝජිත විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව කටුනායක කලාපයේ කම්කරුවන්ගේ අරගලයට ඇය ද සහභාගි වී ඇත. මෙම අරගලයේදී රොෂාන් චානක නමැති විසිඑක් හැවිරිදි සේවකයකු පොලිස් වෙඩි පහරින් මරනයට පත් විය.

කලාපයේ ඇඟලුම් නිෂ්පාදනය කරන චීෆ්වේ මැනුෆැක්චරින් කම්හලේ වැඩ කරන කම්කරු තරුනියක් තමන් මුහුනදී ඇති රැකියාවෙහි අවිනිශ්චිතභාවය සහ කම්හලේ පවතින මර්දනකාරී තත්වය ගැන පැහැදිලි කලාය.

“අපේ රැකියාවලට තර්ජනයක් තියෙනවා. මැනේජ්මන්ට් එකෙන් විශාල තර්ජනයක් කරගෙන යනවා. මොනව හරි උනොත් අපිව එලියට වැටෙන්න පුලුවන්. රස්සාව ආරක්ෂා කරගන්න එක ප්‍රධාන ප්‍රශ්නයක්.”

වෘත්තීය සමිති ගැන පවතින අවිශ්වාසය ඇය මෙසේ ප්‍රකාශ කලාය: “මම වෘත්තීය සමිතියක නැහැ. ඒත් වෘත්තීය සමිතිවලින් කැඳවපු විරෝධතා වැඩවලට මම සහභාගි වුනා. වෘත්තිය සමිති කිසිම ඵලදායී සටනක් කරන්නේ නැහැ. ඒවායේ නායකයන් ගැන මට විශ්වාසයක් නැහැ. . මම පිලිගන්නවා කම්කරුවෝ සංවිධානය වෙන්න ඕන කියලා,” යනුවෙනි.

රැකියාව වෙනුවෙන් විශාල කාලයක් වැයකිරීමට සිදු වුව ද අවස්ථාවක් ලැබුනු විට ඇය .ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි කියවන්නීය.

ඇඟලුම් සේවකයන් අනෙකුත් කම්කරුවන් සමග ද ඒකාබද්ධ වෙමින් අධිෂ්ඨානශීලිව යලියලිත් අරගලවලට පිවිස තිබේ. කම්කරුවන්ට දුෂ්කර කොන්දේසිවලට හා ප්‍රහාරවලට මුහුන දීමට සිදුවී ඇත්තේ වෘත්තිය සමිති නායකයින් තම පාවාදීම් මගින් කම්හල් පාලකයන්ට ඒ සඳහා ඉඩ ලබාදීම නිසාය.

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය (නිවෙකපොසේස), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) ඇතුලු සමිති ජූලි 25දා කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වූ එක් දින උද්ඝෝෂනයට ඇඟලුම් හා පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල කම්කරුවන් 2,000ක් පමන සහභාගීවූයේ එදින පැවති ධාරානිපාත වැසිද පොලිසිය විසින් බාධා කිරීම් ද නොතකමිනි. ජාමූඅ හි විධානයන් මත ආන්ඩුව කම්කරුවන්ගේ අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් කප්පාදු කිරීමට එරෙහිව සටන් පාඨ හඬ නගමින් කම්කරුවෝ උද්ඝෝෂනයේ යෙදුනාහ.

ඇඟලුම් කම්කරුවෝ මෙම විරෝධතාවට සහභාගි වූයේ ආයතනවල පාලනාධිකාරියේ තර්ජන නොතකා, තමන්ගේම නිවාඩු ලබා ගනිමින් හෝ එසේත් නැත්නම් වැටුප් රහිත නිවාඩු වල අවදානම ද නොතකමිනි.

කම්කරු පන්තිය බලමුලු ගන්වමින් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට හා ධනපති කොම්පැනිවල ප්‍රහාරවලට එරෙහිව අරගලයක් සූදානම් කරනවා වෙනුවට සමිති නායකයින් සිදුකලේ කලේ අයිතීන් කප්පාදු කිරීම පිලිබඳ ප්‍රශ්නය අධිකරනය වෙතට යොමු කිරීමයි.

අසසේයේ සභාපති වසන්ත සමරසිංහ විසින් ඊපීඑෆ් සහ ඊටීඑෆ් කප්පාදුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේය. ශ්‍රේෂ්ඨාධිකරනය එය ප්‍රතික්ෂේප කලේ කිසිදු හේතුවක් නොදක්වමිනි.

පෙත්සම මගින් ඉල්ලා සිටියේ, ජාමූඅ හි “උපදෙස් පරිදි සිදුකරන නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිලිවෙල යටතේ බැඳුම්කර සහ භාන්ඩාගාර බිල්පත්වල ආයෝජන කර ඇති සේවක අර්ථ සාධක අරමුදලේ පොලිය අඩු කිරීමට ගෙන ඇති තීරනය වලකාලන නියෝගයක් නිකුත් කරන” ලෙසයි.

ඒ අතරම, නිවෙකපොසේස නායක ඇන්ටන් මාකස්ද අර්ථසාධක අරමුදල් කප්පාදු තීන්දුව මගින් කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පෙත්සමක් ගොනු කලේය.

වඳ පියවරවලට යමින් සමිති නායකයන් මේ ආකාරයට අධිකරනය ඉදිරියේ බැගෑපත් වන්නේ කම්කරුවන්ගේ ස්වාධීන අරගලයක් සංවිධානය කිරීම වලක්වාලමිනි.

අධිකරනය හා ආන්ඩුව සිටින්නේ කම්කරුවන්ගේ පැත්තේ නොව හාම්පුතුන්ගේ පැත්තේ ය. තවද පසුගිය මාස ගනනාව පුරාම කම්කරුවන්ගේ, ගොවියන්ගේ සහ ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂන නැවැත්වීම සඳහා අධිකරනය විසින් දිගින් දිගටම වාරන නියෝග නිකුත් කෙරුනි.

කෙසේ වෙතත්, අධිකරන නියෝග මගින් ආන්ඩුවේ තීරන වෙනස් කිරීමට නොහැකි බවට ජනාධිපති තර්ජනාත්මකව ප්‍රකාශ කර ඇත.

මෙම තතුතුල ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීම කල හැක්කේ ආන්ඩුවට සහ ධනපති හාම්පුතුන්ට එරෙහි අරගලයක් මගින් බව පැහැදිලිවී තිබේ. එහෙත්, කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් සංවිධානය කිරීමට සමිති නායකයින් සූදානම් නැත. ඒ, මෙවැනි අරගලයක් ආන්ඩුවට මෙන්ම ධනපති පන්තියටද අභියෝගයක් වන බැවිනි. ආන්ඩුවට, රාජ්‍යයට හා ධනපති පන්තියට ගැටගැසී සිටින වෘත්තීය සමිති නිලධාරීන් තම සමිති කාර්මික පොලිසියක් ලෙස සේවයේ යොදවා ඇත.

එබැවින් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ අරගලය කම්කරුවන් තම අතට ගත යුතුය. මේ සඳහා සියලු කම්හල්, වතුකරයේ හා ආර්ථික මධ්‍යස්ථානවල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය ය. සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය එවන් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සෑම අධාරයක්ම දීමට සූදානම්ව සිටී. අපව අමතන්න.

අපගේ දුරකථන අංකය: 077 356 2327

ඊමේල් ලිපිනය: wswscmb@sltnet.lk