ශ්‍රී ලංකා ආන්ඩුව “පාතාලය මර්දනය කිරීමට විශේෂ මෙහෙයුමක්” ප්‍රකාශයට පත් කරයි

මෙම ලිපිය සැප්තැම්බර් 7දා Sri Lankan government declaressecurity operation to wipe out underworld මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනය යි.

අගෝස්තු 25දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පලාත බාර) දේශබන්ධු තෙන්නකෝන් (එස්ඩීඅයිජී) ඩේලිමිරර් පුවත්පතට කීවේ, පොලිසිය එහි විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) හා ඒකාබද්ධව සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඒවාට අනුබද්ධ පුද්ගලයන් හසුකර ගැනීම සඳහා “විශේෂ මෙහෙයුමක්” දියත් කර ඇති බවයි. මෙම වැඩසටහනේ අරමුන වන්නේ, “ඊලඟ මාස හය ඇතුලුත” සංවිධානාත්මක අපරාධ රටින් තුරන් කිරීම යැයි ඔහු කීවේ ය.

මහජන ආරක්ෂාව පිලිබඳ ඇමති ටිරාන් අලස් කොලඹදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් (පින්තූරය: ෆේස්බුක්) [Photo: Tiran Alles/Facebook]

ඉන් දින තුනකට පසුව එස්ඩීඅයිජීගේ නිවේදනය තහවුරු කරමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූයේ ය. මෙම මෙහෙයුම්වලදී “අවශ්‍ය වුවහොත් වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇති” බව අලස් සඳහන් කලේ ය. දඬුවම් නොලබාම “සැකකරුවන්ට” වෙඩි තැබීමට ශ්‍රී ලංකාවේ පොලිසියට අවසර ලැබෙන බව මෙහි අර්ථය යි.

ඇමති අලස් ඇඟවුම් කලේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස්වලට අනුකූලව මෙම විශේෂ මෙහෙයුම් සිදුකරන බවයි. මෙම මෙහෙයුම් කවදා පටන් ගත්තේ ද යන්න පිලිබඳව අලස් සහ එස්ඩීඅයිජී තෙන්නකෝන් නොපැවසුවද මාධ්‍ය වාර්තා පෙන්නුම් කරන්නේ ඒවා ආරම්භ කෙරී ඇත්තේ ජූනි මාසයේදී බවයි.

කම්කරුවන් සහ පීඩිත ජනයා වෙසෙන කොලඹ සහ තදාසන්න ප්‍රදේශවලත් රටේ අනෙකුත් පලාත්වලත් යහමින් සැලසුම්කරන ලද මෙහෙයුම් සිදුවෙමින් පවතී. පොලිසිය ඇත්තවසයෙන්ම පාතාල නායකයින් කීප දෙනෙකුට දැල එලනු ඇති අතරම මර්දනය යුක්තිසහගත කිරීමට නිල ප්‍රචාරනයේදී ඒවා හුවාදක්වනු ද ඇත.

කෙසේවෙතත්, වික්‍රමසිංහගේ ඊනියා “අපරාධවලට එරෙහි” මෙහෙයුම්වල සැබෑ ඉලක්කය වන්නේ කම්කරු පන්තිය සහ පීඩිත ජනයා බවට අප අනතුරු අඟවමු. ආන්ඩුව, එය විසින් ක්‍රියාවට දමන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙමින් පවත්නා මහජන විරුද්ධත්වයට මුහුන දෙමින් සිටින අතර එම විරෝධය මර්දනය කිරීමටත් කම්කරු පන්තිය බිය ගැන්නවීමටත් නීතියට පරිබාහිර ක්‍රියාවන් යොදාගනිමින් පවතී.

ක්‍රියාවන් සාධාරනීකරනය කිරීමට පොලිසිය විසින් හුවාදැක්වුනේ, “සංවිධානාත්මක ඝාතක හෝ පාතාල කල්ලි” අතර මෑතදී සිදුවූ ගිනිඅවි යොදාගෙන කෙරුනු අපරාධවල වර්ධනයක් ඇතිව තිබීම යි. පොලිස් වාර්තාවලට අනුව, මේ වසර තුල අගෝස්තු 31 දක්වා වෙඩිතැබීම් පිලිබඳ සිදුවීම් 70ක් සිදුව ඇති අතර ඒවායේ ප්‍රතිපලය ලෙස ජීවිත 41ක් අහිමිවී තවත් 30ක් පමන තුවාල ලබා ඇත. පොලිසිය කියන්නේ මේවායින් බොහෝමයක් සිදුව ඇත්තේ බස්නාහිර සහ දකුනු පලාත්වල බවයි.

මෑතදී සිදුකෙරුනු පොලිස් මෙහෙයුම්වලින් සමහරක් මෙසේ ය:

ජූනි 12, කොලඹ ඉහල ජනඝනත්වයක් සහිත මෙන්ම කම්කරු පන්තික ප්‍රදේශයක් වන බොරැල්ලේදී පොලිසිය සහ මිලිටරිය විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කලේ ය. විවිධ මත්ද්‍රව්‍ය ලගතබා ගත්තේය යන චෝදනා එල්ල කරමින් පුද්ගලයන් පස් දෙනෙකු සහ තවත් 19 දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනුනි.

ජූනි 26, මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් අල්ලා ගැනීම සඳහා “විශේෂ සෝදිසි මෙහෙයුමකින්” දකුනු කොලඹ ප්‍රදේශ කීපයක් වටලන ලදි.

ජූලි 1දා, පාතාල මෙහෙයුම් මර්දනය කිරීම සඳහා අලස් බස්නාහිර පලාතේ සහ දකුනු පලාතේ පිලිවෙලින් විශේෂ මෙහෙයුම කන්ඩායම් 15ක් සහ 20ක් දිගේලි කෙරුනි. පොලිසිය සැකකරුවන් කීප දෙනෙකු ඝාතනය කල අතර තවත් වැටලීම්වලදී ඝාතන චෝදනා මත කීප දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.

මෙම මෙහෙයුම් පිටුපස පවතින ආන්ඩුවේ දේශපාලන උත්සුකතාවන් පිලිබඳ වඩාත්ම හෙලිදරව්කාරී සිදුවීම වූයේ කොලඹ විශ්වවිද්‍යාලයේ, කොලඹ කොටුව සහ ගොල්ෆේස් ග්‍රීන්හිදී මැයි 9දා දියත් කල පොලිස්-මිලිටරි මෙහෙයුම යි. මාර්ගබාධක අටවා ජල ප්‍රහාරක බවුසර් පෙරටු කරගෙන, දහස් ගනනක් හමුදාභටයින්, එස්ටීඑෆ් භටයින් සහ කැරලිමර්දන පොලිස් නිලධාරීන් මෙයට සම්බන්ධ විනි.

මාධ්‍ය සාකච්ඡාවකදී ආන්ඩුවේ ප්‍රකශක බන්ධුල ගුනවර්ධන සඳහන් කල ආකාරයට, පුපුරායාමට විභවය තිබූ ආන්ඩුට එරෙහි විරෝධතාවන්ට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද යන්න ගැන කැබිනට් සාකච්ඡාවකට පසුව, මෙම මිලිටරි බලගැන්වීම් සිදුකර තිබිනි. පසුගිය වසරේ අප්‍රෙල් සිට ගෝල්ෆේස් ග්‍රීන් වාඩිලාගෙන සිටි විරෝධතාකරුවන්ට රාජපක්ෂ ආන්ඩුවේ මැරයින් විසින් මැයි 9දා එල්ල කල සාහසික ප්‍රහාරවල ප්‍රථම සංවත්සරය යෙදුනු දිනට මෙම බලමුලු ගැන්වීම සමපාත විය.

මැයි 9දා ප්‍රහාරවලට එරෙහිව මහජන වෛරය, මහා වැඩවර්ජන දෙකක්ද ඇතුලුව දීපව්‍යාප්ත මහජන ව්‍යාපාරක් පැනනැංවීමට මගපෑදු අතර, එම වසරේ ජූලි 30දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පැනයාමටත් අනතුරුව ඉල්ලා අස්වීමටත් අවසානයේ එම ව්‍යාපාරය විසින් බලකෙරුනි.

රාජපක්ෂ බලයෙන් පන්නා දමන ලද මහජන ව්‍යාපාරය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ විසින් පිටුබල දුන් වෘත්තීය සමිති විසින් විපක්ෂයේ ධනපති පක්ෂ වන සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන වෙතට සහය දෙන තැනට තල්ලු කර යැවිනි. මෙය, ජනාධිපති වසයෙන් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ අපකීර්තිමත් ආන්ඩුව බලයේ ඉන්දවීමට මාවත විවර කලේ ය. මේ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය පසුගිය වසරේ මහජන නැගීම ගැනත්, කම්කරුවන් සහ දුප්පතුන් වෙත එය විසින් දැන් එල්ල කෙරෙමින් පවතින සමාජ ප්‍රහාර කෙරෙහි පැතිරුනු මහජනය වෛරය ගැනත් ග්‍රස්තියට පත්ව සිටී,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක නයක් සඳහා සාකච්ඡා කරන ලදුව, වික්‍රමසිංහ ආන්ඩුව රැකියා සංහාරයක්, පුද්ගලීකරනය, බදුවැඩිකිරීම්, අත්‍යවශ්‍ය භාන්ඩ සහ සේවා සඳහා මිල වැඩිකිරීම් සහ අනෙකුත් ම්ලේච්ඡ ක්‍රියාවන් මහජනයා මත පටවමින් තිබේ.

මෙම වසරේ මාර්තු 1 සහ 15 යන දෙදිනම අර්ධ මිලියනක් පමන කම්කරුවෝ ආන්ඩුවේ අයිඑම්එෆ් පිලිවෙත්වලට එරෙහිව විරෝධතා පලකිරීමට පාරට බැස්සෝ ය. වෘත්තීය සමිති මෙම ක්‍රියාවන් සීමාකොට ඒවා ව්‍යාප්තවීමෙන් වැලක්වූවත්, කම්කරු පන්තියේ ඇස් ඉදිරිපිට වේගයෙන් කුජීතවෙමින් සිටින මෙම සමිති නිලධරය මත එකදිගට වාරුවී සිටීමට තමන්ට නොහැකි බවත්, රාජ්‍ය යාන්ත්‍රනයේ මර්දනකාරී බලය ශක්තිමත් කලයුතු බවත් ආන්ඩුව දනියි.

ආන්ඩුවේ කප්පාදුවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල වන ප්‍රහාරවලට එරෙහි ශිෂ්‍ය විරෝධයට ප්‍රතිචාර වශයෙන්, 2023 මාර්තු 7 වන දින, ආරක්ෂක හමුදා කොලඹ විශ්වවිද්‍යාලය අසල රැස් ව සිටි අයුරු.

කම්කරු පන්තිය ත්‍රස්ත කිරීමට සහ බෙදා වෙන්කිරීමට වර්ගභේදවාදය ඇවිස්සීමේ සහ නීතියට පරිබාහිර ක්‍රියාවන් යොදාගැනීමේ දීර්ඝ සහ ලේවැකි ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ ආන්ඩුවලට තිබේ.

1983දී එක්සත් ජාතික පක්ෂයේ (යූඇන්පී) ආන්ඩුව, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව වර්ගවාදී යුද්ධය ඇවිලවූයේ ය. දශක තුනක් තිස්සේ ඇදී ගිය එම යුද්ධය බෙදුම්වාදී සංවිධානයේ පරාජයෙන් අවසන් වනවිට ලක්ෂයක් පමන ජනයා -මෙයින් බොහෝමයක් දෙමල ජනයා ය- මරනයට පත්ව දැවැන්ත සමාජ ව්‍යසනයක් සිදුව තිබින.

කොලඹ ආන්ඩුව ගෙනගිය යුද්ධයේදී, දෙමල තරුනයින් පැහැර ගැනීමට, ඔවුන්ට වධ බන්ධන පැනවීමට සහ සරලවම “අතුරුදහන් කිරීමට” යොදාගත් වර්ගවාදී අතුරු සන්නද්ධ කන්ඩායම් වර්ධනය කිරීමක්ද අන්තර්ගතවූයේ ය. දෙමල ජාතික මව්පියන් සහ ඥාතීහු තවමත් ඔවුන්ගේ ආදරනීයන්ට කුමක් සිදුවූයේද යන්න අසමින් උද්ඝෝෂනය කරති.

1988 සහ 1990 අතරතුර කාලයේදී යූඇන්පී ආන්ඩුව සහ ආරක්ෂක සංස්ථාපිතය විසින් දිවයිනේ දකුනේ ගම්බද නැගිටීම් මර්දනය සඳහා ලිහා අරින ලද අතුරු හමුදා සහ ඝාතක කල්ලි, 60,000ක් පමන තරුනයින් ඝාතනය කලෝ ය.

එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් මාස තුනකට පසු 2009 අගෝස්තුවලදී, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව “පාතාලයට එරෙහි යුද්ධය” ප්‍රකාශයට පත් කලේ ය. මෙම මෙහෙයුම්වලදී දහස් ගනන් ජනයා අත්අඩංගුවට ගැනුනු අතර ඇතමුන් සිරභාරයට ගැනුනි.

මෙවැනිම “විශේෂ මෙහෙයුම්” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඊනියා “යහපාලන ආන්ඩුව” පැවැති කාලපරිච්ඡේදයේදී ද දියත් කෙරුනි. වසර 43ක් තිස්සේ මරන දන්ඩනය අත්හිටුවා තිබූ නියෝගය අවසන් කරන ලෙස 2018දී නියෝග කල සිරිසේන, 2019 ජනවාරියේදී පිලිපීනයට සංචාරය කලේ ය.

සිරිසේන, පිලිපීන ජනාධිපතිගේ ඊනියා මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය “ලෝකයටම ආදර්ශයක්” ලෙස ඔජවැඩුවේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සටහන කල ලෙස මරන සංඛ්‍යාව ගොරතර විය. දුතර්තේ යටතේ නිලවසයෙන් මිනිසුන් 7080ක්- පොලිසිය විසින් 2555ක් ද ඝාතක කල්ලි විසින් 4525ක් වසයෙන්-සාමාන්‍යයෙන් දිනකට මිනිසුන් 30 බැගින් ඝාතනය කෙරුනි. ඇත්ත මරන සංඛ්‍යාව මීට වඩා වැඩිය.

පාතාලයට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුම් සඳහා ජනාධිපති වික්‍රමසිංහගේ කැඳවුම්කිරීම් අහම්බයක් නොවේ. ආරක්ෂක හමුදා සමග අත්වැල්බැඳගත් ඝාතක කල්ලි විසින් ගම්බද තරුනයින්ට එරෙහිව 1988-90 කාලයේදී ගෙනගිය මිනීමරු මෙහෙයුම සහ එල්ටීටීඊයට විරුද්ධ දේමල විරෝධී වර්ගවාදය ඇවිස්සවූ යූඇන්පී ආන්ඩුවල මන්ත්‍රීවරයෙකි, වික්‍රමසිංහ.

ශ්‍රී ලංකාවේ ආන්ඩු පන්ති අරගල මැඩීමට පොලිස් සහ මිලිටරි ප්‍රචන්ඩත්වය ලිහා හැරි බව කම්කරුවන්ගේ මතකයේ පවතී. පසුගිය දශකයේදී පමනක් වුව මෙයට උදාහරන බොහෝමයකි.

* 2011 මැයි, තම විශ්‍රාම අරමුදල් කපාහැරීම සඳහා ආන්ඩුවේ වෑයමට විරුද්ධව උද්ඝෝෂනයේදී යෙදුනු කටුනායක වෙලඳ කලාපයේ කම්කරුවන්ට එරෙහිව ආන්ඩුව සන්නද්ධ පොලිසිය යෙදවූයේ ය. පොලිසිය උද්ඝෝෂනයට වෙඩි තබා එක් කම්කරුවෙකු ඝාතනය කරන ලද අතර තවත් කීප දෙනෙකුට තුවාල සිදු කලේ ය.

* 2012 පෙබරවාරි, පොලිසිය හලාවතදී ධීවර උද්ඝෝෂනයට තබා ධීවරයෙකු ඝාතනය කලේ ය.

* 2013දී, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ගම්පහ රතුපස්වල ගම්මුන්ගේ විරෝධතාවක් මර්දන කිරීමට මිලිටරිය මෙහෙයවූයේ ය. උද්ඝෝෂකයන්ට වෙඩි තැබූ මිලිටරිය මිනිසුන් තිදෙනෙකු ඝාතනය කොට තවත් ගනනාවකට තුවාල සිදු කලේ ය.

* 2022 අප්‍රේල්, සහන මිලට ඉන්ධන ඉල්ලා රඹුක්කනදී උද්ඝෝෂනයේ යෙදුනු විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිසිය දරුවන් දෙදෙනෙකුගේ පියෙකුවන 40 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කලේ ය.

පෙරදැකිය හැකි ලෙසම, සංවිධානාත්මක අපරාධවලට එරෙහි වික්‍රමසිංහගේ “විශේෂ මෙහෙයුමට” සංස්ථාපිතය විසින් අනුමැතිය පල කෙරී ඇත. මෙම මෙහෙයුම්වල ඉලක්කය කම්කරු පන්තිය මෙන්ම ආන්ඩුවේ සමාජ ප්‍රහාරවලට එරෙහි විරුද්ධත්වය දක්වන ඕනෑම අයෙකියැයි යන කරුන ගැන දැනුවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ පක්ෂවලින් මෙයට විරුද්ධත්වයක් එල්ලවී නැත.

පොලිස් සහ මිලිටරි වැටලීම්වලට අනුකූලව වික්‍රමසිංහගේ පාලානාධිකාරිය එහි අත්‍යවශ්‍ය සේවා නියෝග පවත්වා ගෙන යන අතර එහි එල්ලය වී ඇත්තේ සෞඛ්‍ය, විදුලිය සහ ඛනිජ තෙල් වැනි ප්‍රධාන කර්මාන්තවල කම්කරුවන් විසින් දියත් කරන කාර්මික ක්‍රියාවන්ට එරෙහිව ය.

එයාකාරයෙන්ම, වික්‍රමසිංහ රටේ සියලුම දිස්ත්‍රික්කවලත් රට වටා මුහුදේත් මිලිටරියේ සියලු අංශ සීරුවෙන් තබා සිටී. එමෙන්ම එය, පොලිසියට සහ සන්නද්ධ හමුදාවලට දැවැන්ත බලයක් පිරිනමන නව ත්‍රස්ත-විරෝධී පනතක් ක්‍රියාවට දැමීමට සූදානම් වෙමින් සිටියි.

සංවිධානාත්මක අපරාධවලට එරෙහි පොලිස් සහ මිලිටරි මෙහෙයුම්, පාලනයේ ආඥාදායක ක්‍රම සඳහා සූදානම්වීම් සහ කම්කරු පන්තියට එරෙහිව ධනපති රාජ්‍යය බලමුලු ගැන්වීමේ සහ ගොඩනැංවීමේ බොහෝ වැඩසටහන්වලින් තවත් එකකි.

Loading